2021 මාර්තු 13 වන සෙනසුරාදා

බැඳුම්කර වංචාවට වඩා ලොකුයි සීනි බදු වංචාව

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

- සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

  • බෝම්බ පිපිරුණාට පස්සෙ මොන ජාතික ආරක්ෂාවක්ද?
  • වරාය කෑලි කඩලා දෙන්න සිහින මවනවා
  • පාර්ලිමේන්තුවෙදි යුක්තිය ඉල්ලුවම මට අපහාස කළා
  • විපක්ෂ නායකතුමා කිව්වා වැරදිකරුවන්ට මරණ දඬුවම දෙන බව
  • රනිල් මහත්තයා පාස්කු ප්‍රහාරයට වගකියන්නෙ මොකටද?
  • ඇයි පාස්කු වාර්තාවෙ කෑලි හංගන්නේ

මන්ත්‍රීතුමා, මොකද පහුගිය දවසක පාර්ලිමේන්තුවේ ටිකක් තරහෙන් වගේ කතා කළේ?

නෑ. මම ඇත්තටම පාස්කු ප්‍රහාරයෙන් අසාධාරණයට ලක්වුණු ජනතාව වෙනුවෙන් එදා කතා කළේ. මොකද කතෝලික ජනතාව වෙනුවෙන් තවම යුක්තිය ඉෂ්ට වෙලා නෑ. මම බෝම්බේ ගහපු ගමන් කටුවාපිටියට ගියා. ඊට පස්සේ කොච්චිකඩේ, මඩකලපුව සියෝන් දේවස්ථානය වගේ තැන්වලටත් ගියා. ඒ ගිය හැම මොහොතකම මම මගේ ඇස්වලින් දැක්කා, ඒ මිනිස්සුන්ගේ ලේ, කඳුළු, ඇස් ඉස් මස් නහර ඒ දේවස්ථාන පුරා විසිරිලා තිබුණු හැටි. ඉතින් ඒ මිනිස්සුන්ට තවම සාධාරණයක් ඉටුනොවීම ගැනයි මම කතා කළේ.

ඔබලගේ ආණ්ඩුවේදී තමයි මේ සිද්ධිය වුණේ. ඇයි ඔබට ඒ ආණ්ඩුවේදී මේ වෙනුවෙන් දෙයක් කර ගන්න බැරිවුණේ?

ඇත්ත. අපේ කාලයේදී තමයි සිද්ධ වුණේ. අපිට මේ ප්‍රහාරය නවත්තගන්න තිබුණා. නමුත් අවසනාවන්ත විදිහට ඒක සිද්ධ වුණා. ඒත් මම මන්ත්‍රීවරයෙක් වශයෙන් එදා අපේ ආණ්ඩුව තියෙන කාලයෙත් මේ වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉල්ලලා කතා කළා. මොකද මගේ සහෝදර කතෝලික ජනතාවගේ තමයි ජීවිත නැතිවෙලා තියෙන්නේ. මම හොඳ කතෝලිකයෙක්. මම කතෝලික සභාව එක්ක සමීපව වැඩ කටයුතු කරනවා. ඉතින් මට වගකීමක් වගේම යුතුකමක් තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න.

හැබැයි ඔබ එදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවෙන් ඉල්ලලා අස්වුණානේ?

ඔව්. ඉල්ලලා අස්වුණා. ඒ ඉල්ලලා අස්වුණේ මම හිතුවා ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය කාරක සභාවකින් හෝ කොමිසමකින් සිද්ධ වෙන්නේ නෑ කියලා. මම හිතුවෙම ඊට එහා ගිය අපරාධ පරීක්ෂණයක් මේකට අවශ්‍යයි කියලා. ඒ නිසා මම ඒ දේවල්වලින් ඉල්ලලා අස්වුණේ මම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ප්‍රවීණයෙක් නොවන නිසා. මේ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්. අන්න ඒ ගැන කරන්න ඕන අපරාධ පරීක්ෂණයක්. ඒ ඔස්සේ මේකට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දෙන්න ඕන.

එදා පාර්ලිමේන්තුවේදී තරහා ගියේ ඇයි කතා කරද්දී?

නෑ. මම මේ අසරණ ජනතාව වෙනුවෙන් කතා කළේ. මට කලින් කතා කළ කිසිම මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු බාධා කළේ නෑ. හැබැයි මගේ කතාව කරන්න පටන් ගන්නවා එක්කම එකදිගට බාධා කිරීම් ආවා. ඒක ඉතාම සංවිධානාත්මකව කළ දෙයක්. අර චාමර සම්පත් කියන මන්ත්‍රීවරයා දිගින් දිගටම ඒ බාධා කිරීම කළා.

සංවිධානාත්මකව ඔබට බාධා කරන්න හේතුව මොකක්ද?

මට සැකයක් තියෙනවා මම කතෝලිකයෙක් වීම නිසා සුළු ජාතියක් කණ්ඩායමක් නියෝජනය කරන නිසා ඇතිවුණු අවුලක් කියලා. මට ඒ වෙලාවේ කම්පනයක් ඇතිවුණා. මොකද මට දිගින් දිගටම බාධා කිරීම් කළා. අපහාස කළා.

ඔබට මොකක්ද කියන්න ඕන වුණේ?

මේ ප්‍රහාරය වළක්වාගන්න එදා අපේ ආණ්ඩුවට බැරිවුණා. ඒ වගේම ඒ ප්‍රහාරය පෙන්නලා ඒකට සම්බන්ධ අයට දඬුවම් දෙනවා කියලා ආපු මේ ආණ්ඩුවටත් බැරිවුණා වැරදිකාරයන්ට දඬුවම් දෙන්න තියා වැරදිකාරයෝ හරියට අඳුරගන්නවත්. ඒ නිසා මේ රජයත්, අපේ රජයත් වගේම මේ සිද්ධියට යුක්තිය ඉෂ්ට කිරීමට අපොහොසත්.

දැන් ඔබ එහෙම කිව්වට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසමේ වාර්තාව එළියට ඇවිත්, වගකිවයුත්තො නම් කරලා ඔබ ඒක පිළිගන්නේ නැද්ද?

මෙහෙමයි. ඕක සම්පූර්ණ වාර්තාව නෙමෙයිනේ. රජයත් පිළිගන්නවා, නීතිපති දෙපාර්තමේන්තුවත් පිළිගන්නවා, කතෝලික අගරදගුරු මණ්ඩලයත් පිළිගන්නවා වෙළුම් 22 දීලා නෑ කියලා. ඒ 22 නැත්තම් ඒකේ ඉන්න වැරදිකාරයන්‍ට නඩු පවරන්නේ කොහොමද? නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? බෑ කිසිම වෙලාවක. ඒ නිසා මේ වාර්තාව සංක්ෂිප්තයක් පමණයි.

ඒ කියන්නේ ඔබ පිළිගන්නේ නෑ මේ වාර්තාව?

ඉන්න මම තේරුම් කරන්නම්. අපි මේ කොමිසමෙන් බලාපොරොත්තු වුණු කාරණා තුනක් තිබුණා. එකක් වැරදිකරුවන් හඳුනා ගැනීම. ඊට පස්සේ මේ ප්‍රහාරය වළක්වා ගැනීමට බැරිවුණු අයට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය. තුන නැවත වතාවක් මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවෙන්න ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහනක්. මෙන්න මේ තුන තමයි අපි බලාපොරොත්තු වුණේ.

ඉතින් ඒ ටික තියෙනවනේ?

කොහෙද තියෙන්නේ ඔක්කොම. වෙළුම් 22ක් නැතුව අපි කොහොමද හරි කියලා කියන්නේ. මේක අඩුපාඩු සහිත වාර්තාවක්නේ. ඒ නිසා මේ කොමිසම ගැන, පරීක්ෂණ ගැන අපිට කිසිම සෑහීමක් නෑ.

ඒ කියන්නේ මේ වාර්තාව පිළිගන්න බෑ?

අපි නෙමෙයිනේ කියන්නේ. ආණ්ඩුවේ ඉන්න විමල් වීරවංශ මහත්තයම කියනවා මම දැකලා තිබුණා පත්තරේක මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන පරීක්ෂණ පවා වළක්වන පිරිසක් ආණ්ඩුවෙත් ඉන්නවා කියලා. ඒ අය සුළු ජාතික ඡන්ද බලාගෙන තමයි එහෙම කරන්නෙත් කියලා තිබුණා. කොහොම වුණත් අපි කතා කරන්නේ අපේ හදවතේ තියෙන වේදනාවට. කොහොම වුණත් හෙට අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම කෙනෙක්ට මෙවැනි කරදරයක් වුණත් මම ඒ හැමදෙනාම වෙනුවෙන් පෙනී ඉන්නවා.

දැන් මේ කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ දීලා තියෙනවා. ඔබ ඒවා පිළිගන්නවද?

මේකේ ඇතැම් නිර්දේශ පිළිගන්නවා. ඒත් ආණ්ඩුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරයි කියලා හිතන්නේ කොහොමද? සාෆි සහබ්දීන්ලා, ශරියා විශ්වවිද්‍යාල, වඳ කොත්තු, වඳ ඇඳුම් ගැන කතා කළා. කෝ ඒවට ගත්ත පියවර. මොනවද කළේ? දැන් ඒ අයගේ ආණ්ඩුව. හැමදේම දේශපාලන බලය අල්ලන්න කරපු දේවල්. ඒවා ගැන මතකයක්වත් නෑ. ඒත් අපි ඒ දේවල් ගැන කතා කරද්දි නොයෙකුත් බාධා. ඒ නිසා පාස්කු ප්‍රහාරයත් එක පැත්තකින් දේශපාලන වාසි ගන්න පාවිච්චි කරනවා. ඒ නිසා අපි දෙවියන් ඉදිරියේ යාඥාවෙන් සාධාරණයක් ඉල්ලනවා.

ජනතා ඡන්දයෙන් පත්වුණු ඔබත් දැන් මේ සිද්ධියට සාධාරණය බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගෙන්ද?

මෙහෙමයි. මම දෙවියන් අදහන මනුස්සයෙක්. ගිය පස්වැනිදා මමත් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමත් මීගමුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පිළිරුව ගාව යාඥාවක් කළා. ඒ කළේ අපි දැන් ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. මේ ආණ්ඩුව කරන දේවල් ගැන අපිට සෑහීමකට පත්වෙන්නත් බෑ. ඒ නිසයි අපි අපේ දේවල් කරන ගමන්ම දෙවියන්ටත් මේ ගැන කියන්නේ. ඒ දෙවියන් විශ්වාස කරන මිනිස්සුන්ගේ විශ්වාසය.

ඔබ පාස්කු වාර්තාව ගැන විවේචනය කළාට කතෝලික අගරදගුරු මණ්ඩලය ඒ වාර්තාව පිළිගන්නවා කියලා නිවේදනය කරලනේ?

මම ඒ ලිපිය ගෙන්නගෙන බැලුවා. ඒක හැන්සාඩ් ගත කළා. උන්නාන්සේලා කියලා තියෙන්නේ මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න, මහමොළකරුවෝ අල්ලන්න, ඒ වගේම අර වෙළුම් 22ක ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපි කියන්නෙත් ඒක. උන්නාන්සේලා ඉල්ලන්නෙත් ඒක. ඒත් ආණ්ඩුව සූදානම් නෑ ඒකට. මට පියතුමෙක් ලස්සන කතාවක් කිව්වා. "කාවින්ද අපි කතෝලිකයෝ හැටියට සමාව දෙන ජාතියක්. එක කම්මුලකට ගැහුවම අනෙක් කම්මුල දෙන ආගමක්. එහෙමයි ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි අපි සමාව දෙන පුද්ගලයා දැනගන්න ඕන, ඒ පුද්ගලයා සමාව ඉල්ලන්නත් ඕන. ඒත් අපි මෙතනදී ඒ කිසිදෙයක් දන්නේ නෑ" කියලයි ඒ පියතුමා කිව්වේ. එහෙම කරන්නවත් අපිට ඒ අපේ අයිතිය දෙන්න.

පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු කියලා තිබුණා හැමදේම එළියට දාන්න බෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා?

ඒක හතරබීරි කතාවක්. මොන ජාතික ආරක්ෂාවක්ද? දැන් බෝම්බේ පිපිරිලා ඉවරයි.  මතක තියාගන්න ඔය කොමිසමට සල්ලි වියදම් කළේ මේ රටේ දුක් විඳින ජනතාවගේ බදු මුදල්වලින්. ඒ නිසා ඒ ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතියක් තියෙනවා.

ජනාධිපතිවරයා කිව්වා තමන්ටවත් ආණ්ඩුවටත් බණින්න එපා මේක හිටපු ජනාධිපතිවරයා පත්  කළ කොමිසමක් කියලා?

ඔය කියන එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම බලන්නකෝ. සති ගණනින් මාස ගණනින් වැරදිකරුවන්ට දඬුවම් දෙනවා කියලා ඒකේ කියලා නෑනේ. ඒ කොමිසමට වගකියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන, අරකට වගකියන්න ඕන මෙයා කියලා නේද? ඒ අය බලයට ආවේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා කියලා. මිනිස්සු ඒ නිසා බලය ලබා දුන්නා. එහෙම ඇවිත් දැන් කියලා හරියන්නේ නෑනේ අපිව මේකට අල්ලගන්න එපා කියලා.

ඔබ හිතන්නේ ඇයි ආණ්ඩුව මේක මඟ අරින්න හේතුව?

දැන් බලන්න මේ කොමිසමේ නිර්දේශයට ලක්වෙලා තියෙන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඉන්නේ කොහෙද? ආණ්ඩුව පැත්තේ ඉන්නේ. ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ එතුමාගේ ශ්‍රීලනිපයේ අයත් එක්ක. එහෙම තිබුණම ඔයා හිතන්නේ මොකක් වෙයි කියලද? කිසිදෙයක් වෙන්නේ නෑ.

ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඔබේ පක්ෂයේ ඉන්නේ විපක්ෂ නායකතුමා. එතුමා මොකද මේ වෙනුවෙන් කරන්නේ?

පැහැදිලිවම එතුමා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා එතුමා මේ වෙනුවෙන් උපරිම කටයුතු කරනවා කියලා. ඒ වගේම අපේ ආණ්ඩුවක් කාලෙදී ඒ අයට මරණ දඬුවම දෙනවා කියලත් එතුමා පැහැදිලිවම කිව්වා. කොහොම වුණත් අපේ ආණ්ඩුවකදී නම් මේ ප්‍රහාරය සම්බන්ධ අයට දඬුවම් දෙනවාමයි.

නීතිය හා සාමය භාර අමත්‍ය සරත් වීරසේකර මහත්තය කිව්වනේ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට නඩු පවරන්න තීරණය කරලා තියෙන්නේ කියලා?

ආණ්ඩුව දැන් විහිළු සපයන්නෝ වෙලා. වෙළුම් 22ක් නෑ. ඒත් නීතිය ක්‍රියාත්මක කරනවලු. කාටද? කියලා අපි දන්නවද? ඒ වෙළුම්වල කාට චෝදනා කරනවද කියලා කවුද දන්නේ? ඉතින් එහෙම තියෙද්දී නීතිය ක්‍රියාත්මක කරනවා කියන එක විහිළුවක් නෙමෙයිද?

විමල් වීරවංශ ඇමැතිතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයට වේවැල් පාරක්වත් මේ කොමිසමෙන් නිර්දේශ කරලා නෑ කියලා?

එතුමා කොහෙද ඒකට වග කියන්නේ. එතුමා නෙමෙයිනේ නීතිය හා සාමය භාර ඇමැති හිටියේ. ඒ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මම කිව්වේ දැන් මේක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. හැමෝම දේශපාලන වාසි ගන්නවා මේකෙන්.

මේ වාර්තාවේ එක නිර්දේශයක් තියෙනවා බොදුබල සේනා සංවිධානය තහනම් කරන්න ඕන කියලා. ඔබත් එය පිළිගන්නවද?

මට ඒ ගැන කිසිදෙයක් කියන්න බෑ අර වෙළුම් 22 එළියට එනකල්. ඒකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ නෑනේ. නිකම් සංවිධානයක් තහනම් කරන්න කියලා තිබුණා කියලා අපිට ඒක පිළිගන්න බෑ. හේතුව මේක අසම්පූර්ණ වාර්තාවක් නිසා. ඒකත් ආපුවම අපි බලමු.

නිකමට හරි පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්‍ට කරගන්න බැරි වුණොත් ඔබට ජනතාව ඉදිරියට යන්න පුළුවන්ද මෙච්චර සටන් කරලා?

අපි බෝම්බ ගැහුවේ නෑනේ. ඒ නිසා අපි ජනතාව එක්ක මේ සටන තවදුරටත් කරගෙන යනවා. අනික මේකට යුක්තිය ඉටු නොවී තියෙන්නෙත් නෑ. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන් මේකට යුක්තිය ඉෂ්ට වෙනවාමයි කියලා.

ආණ්ඩුව එක්ක එකතුවෙලා ජනතාව වෙනුවෙන් මේ යුක්තිය හොයන්න බැරිද?

ආණ්ඩුව නිවැරදි දේ කරනවා නම් ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. හැබැයි මිනිස්සු රවට්ටද්දි අපි කොහොමද ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ. මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු දීලා ආපු එක දෙයක් කළාද? බැඳුම්කර වංචාවට වඩා ලොකුයි සීනි බදු වංචාව. අද මිනිස්සු කතා වෙන්නේ ඒ දේවල්. එක පැත්තකින් වරාය කෑලි කරලා දෙන්න සිහින මවනවා. තව පැත්තකින් මිනිස්සුන්ට දරන්න බැරි ජීවන බර. මේ සියල්ල එක්ක ඔබ හිතනවද මේ පාස්කු ප්‍රහාරයට සාධාරණයක් වෙයි කියලා. තව පැත්තකින් වැරදිකාරයෝ බේරගන්න කොමිෂන් දාලා. ඉතින් මම නම් හිතන්නේ නෑ මේ ආණ්ඩුවෙන් කතෝලික ජනතාවට සහනයක්, යුක්තියක් ලැබෙයි කියලා.

 ගයාන් ගාල්ලගේ