ජිනීවා සැසිවාරය ශ්‍රී ලංකාවට තීරණාත්මක වී තිබෙන මේ වසරේද ශ්‍රී ලංකාව වෙනුවෙන් එංගලන්තයේ කොන්සර්වැටිව් පක්ෂයේ නේස්බි සාමිවරයා ඉදිරිපත්ව සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් යොමුකරන නේස්බි සාමිවරයා මිෂෙල් බැෂ්ලේගේ ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම වාර්තාව සකස් කර ඇත්තේ දෙමළ කොටින්ට උපරිමව කඩේ යන ආකාරයට බව කියා සිටී. වාර්තාව ලියා ඇති ස්වභාවය එයට දෙස් දෙන බවද ඔහු පෙන්වා දෙයි.
මේ දිනවල පැවැත්වෙන ජිනීවා සැසිවාරය තුළදී සාකච්ඡාවට ගනු ලැබීමට නියමිත බැෂ්ලේගේ වාර්තාවට තදින්ම පහරදෙමින් නේස්බි සාමිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත්වුණු ආණ්ඩුවක හමුදාවලට එරෙහිව කොටින් උපරිම ප්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් යුද වැදුණු බවයි. ඒ අතරවාරයේ කොටින් විසින් දෙමළ ජන සමාජයේ සියලු මධ්‍යස්ථ මතධාරී දෙමළ නායකයන් ඝාතනය කළ බවද ඉන්පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රේමදාස සහ ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළ බවද කියයි. විශාල සංඛ්‍යාවක් ඇමැතිවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිවිල් සමාජ නායකයන්ද කොටින්ගේ ගොදුරු බවට පත්වූ බවද පවසන සාමිවරයා මේ තරම් මිනීමැරුම් සිදුකළ කොටින් වෙනුවෙන් පණදෙන තරමට වාර්තාවක් සකස් කිරීම පිළිබඳව මානව හිමිකම් සහ කොමසාරිස්වරිය දැඩි ලෙස විවේචනය කර තිබේ.
විශාල පිරිසක් ඝාතනය කළ මේ වෛරීසහගත කොටින් උත්සාහ කළේ විප්ලවීය දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට බවද ඔවුන් සියලු ඝාතන සිදුකළේ එම ඊනියා ඊළාම් නාමයෙන් බවද ඔහු කියයි. බැෂ්ලේගේ වාර්තාවේ රටේ “ප්‍රතිසංධාන” වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට සහාය වන කරුණු ඇත්තේ ස්වල්පයක් බවද එම වාර්තාව නොසලකා හරින ලද ඉතා වැදගත් කාරණා අතර යුද්ධයේ අවසන් දිනවල සිවිල් වැසියන් ඝාතන පිළිබඳ ස්වාධීන සංඛ්‍යාලේඛන වන බවද පෙන්වා දෙයි. 2009 වසරේ ජනවාරි සිට මැයි 18 වැනිදා කාලය තුළ උතුරේ සිවිල් වැසියන් 40,000ක් ඝාතනය වූ බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වුවත් ස්වාධීන සාක්ෂි ගණනාවක් මගින් තහවුරු කර ඇති පරිදි එම සංඛ්‍යාව 5000ත්, 7000ත් අතර පමණක් බවද ඇතැම්විට ඊටත් වඩා අඩුවිය හැකි බවද සාමිවරයා සඳහන් කරයි.
- සන්ඩේ ටයිම්ස්
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ජයග්‍රහණය
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති වශයෙන් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්විය. සෞඛ්‍යාරක්ෂිත පියවර යටතේ වුවද නීතිඥවරැන් විශාල පිරිසක් මෙවර ඡන්දය භාවිත කර තිබීමත් ජයග්‍රාහක සාලිය පීරිස් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාවත් දේශපාලන ක්ෂේත්‍රය තුළද උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔහු ඡන්ද 5162ක් ලබාගත් අතර ඔහු සමඟ තරගවැදුණු ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ලබාගත්තේ ඡන්ද 2807ක් පමණි.
සාලිය පීරිස් මහතා 2015 වසරේදී ස්ථාපිත කෙරුණු අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ පළමු සභාපතිවරයා විය. එම කාර්යාලය පශ්චාත් යුද සමයේ ජාතික ප්‍රතිසංධාන වැඩපිළිවෙළට සමගාමීව පිහිටුවනු ලැබීය. එය 2015 ජිනීවා යෝජනාවේ ප්‍රතිඵලයකි. එම සභාපති තනතුරට පත්වීමට පෙර සාලිය පීරිස් මහතා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙක් වශයෙන්ද කටයුතු කළේය. එහි සභාපති වූයේ ආචාර්ය දීපිකා උඩගමය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2015 සිට 2017 දක්වා සාලිය පීරිස් මහතා නියෝජ්‍ය සභාපති වශයෙන් කටයුතු කළේය. එසේම ඔහු හිටපු අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගය අවස්ථාවේ ඊට එරෙහිව පැවැති විරෝධතාවල ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකළේය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිය පිළිබඳ කථිකාචාර්යවරයකුද වන අතර නීතිය සහ දේශපාලනය පිළිබඳ ලිපි සම්පාදකයෙක්ද වෙයි. ඔහුට පෙර නීතිඥ සංගමයේ සභාපති ධුරය දැරුවේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාය.
යහපාලන රජයේ පාලනය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ සාලිය පීරිස් මහතාගේ ජයග්‍රහණය නීති ක්ෂේත්‍රය තුළින් දේශපාලන වශයෙන් ආණ්ඩුවට කිසියම් සංඥාවක් ලබාදී ඇතැයි සමහරුන්ගේ මතය වී තිබේ. මේ පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන නීතිය හා සම්බන්ධ පාර්ශ්ව ගණනාවකගේ අවධානය යොමුවී තිබෙන බවද සඳහන් වෙයි.
පාස්කු කොමිසමේ නිර්දේශ සහ නීතිපති
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා බැඳී නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලැබෙනතුරු ඒ සම්බන්ධයෙන් කුමන හෝ පියවරක් ගැනීමට නීතිපතිවරයාට හැකියාවක් නැතැයි ප්‍රකාශ වී තිබුණත් පසුගියදා එම වාර්තාවේ පිටපතක් නීතිපතිට ලබාදෙනු ලැබීය.
මෙම වාර්තාව පෙබරවාරි 01 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත්කෙරුණු අතර පෙබරවාරි 22 වැනිදා කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරනු ලැබීය. කථානායකවරයා අතට එම වාර්තාව 23 වැනිදා පත්කෙරිණි.
සම්පූර්ණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසුව එය අධ්‍යයනය කොට මූලික කටයුතු සම්පාදනයට අවම වශයෙන් සති 06ක කාලයක්වත් ගතවන බවද සඳහන්ය. නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතිපති වශයෙන් පත්කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සතියකට පසුවය. ඒ වනවිට නීතිපති ධුරය දැරූ ජයන්ත ජයසූරිය මහතා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්කරනු ලැබීමෙන් නීතිපති ධුරය පුරප්පාඩු විය. ලබන මැයි මාසයේ 24 වැනිදා දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය. 20 වැනි සංශෝධනයට අනුව නීතිපති ධුරයට ජනාධිපති නියෝගයකින් සේවා දීර්ඝයක් ලබාදිය හැකිය.