2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පාස්කු කොමිසමේ හෙළිදරව්ව

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

පාස්කු ප්‍රහාරයේ ඛේදවාචකය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රමාද වීම පසුගිය සති කිහිපය තුළ මේ රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබිණි. කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ඇතිවූ උද්‍යෝගිමත් බව සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ උණුසුම විසින් “හයිජැක්” නොකරන්න පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳ ආන්දෝලනාත්මක කතා මීට වඩා ආවේගශීලී වන්නටද ඉඩ තිබිණි. අදාළ වාර්තාව පිළිබඳ පසුගිය කාලසීමාව තුළ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් සිදුකෙරුණු ප්‍රකාශ කිහිපය එම තත්ත්වයේ සෙවණැල්ලක් විය.

පාස්කු ප්‍රහාරයේ වාර්තාව නිකුත් වන්නේ මේ පසුබිම තුළය. එහි නිර්දේශ මේ රටේ දේශපාලනයේ එක් අඳුරු පැතිකඩක් පැහැදිලිව පෙන්වා දී තිබේ. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තමන්ගේ බලය රැකගැනීම සඳහා සුළු ජාතික නියෝජනයක් සහිත දේශපාලන පක්ෂවල අල්ලේ නැටවෙන රූකඩ බවට පත්ව තිබීම කොතරම් බරපතළ ඛේදවාචකයක්ද යන්න මේ නිර්දේශ මගින් පෙන්වා දී ඇති කටුක යථාර්ථයයි. අප මේ බව සඳහන් කරන්නේ පිටු සිය ගණනක කොමිෂන් වාර්තාව මුළුමනින්ම අධ්‍යයනය කිරීමෙන් පසුව නොව එහි නිර්දේශ කිහිපයක් සහ එයට බලපෑ හේතු සාධක පිළිබඳ වාර්තාවේ සඳහන් කොටස් කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසුව බවද සඳහන් කරමු. එම තොරතුරු අනුව පැහැදිලිවම කිව හැක්කේ මේ වාර්තාව සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීමෙන් රටේ පවතින දේශපාලනයේ සැබෑ මුහුණුවර වඩා හොඳින් තේරුම් ගැනීමට හැකිවන බවය.

මේ බව අවබෝධ කර ගැනීමට වාර්තාවේ ප්‍රධාන නිර්දේශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකිරීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. රටේ සියලු විධායක බලතල සහිතව මහජන ඡන්දයෙන් තේරීපත්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් විසින් පිහිටුවාගනු ලැබූ යහපාලන රජය පාස්කු ඉරිදා ඛේදවාචකයට වගකිව යුතු බව එහි කෙළින්ම සඳහන්ය. ජනාධිපතිවරයා තමන් රටින් බැහැරව සිටින විට රටේ ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවකු හෝ වැඩබැලීම සඳහා පත් නොකර සිටීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි පැහැදිලි වන බව කොමිසම කියයි. ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් තිබියදී එය සිදුකිරීම චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මග පාදා තිබෙන බවද එහි සඳහන්ය.

මේ චෝදනාව රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලන විට බරපතළ විශ්වාසය කඩකිරීමක් බව පෙන්වා දිය හැක. රටේ මහජනතාව පැහැදිලි ජනවරමකින් විධායක ජනාධිපතිවරයකු පත්කර ගන්නේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවද දැඩි විශ්වාසයකින් යුතුවය. වසර 30ක් තිස්සේ දරුණු යුද්ධයකින් බැට කෑ රටක් යළිත් රුදුරු ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වනු දැකීමට මේ රටේ කිසිවකුත් කැමැති නැත. රට යළිත් ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව කටයුතු කිරීම නිසැකවම රටක නායකයකුගේ ප්‍රධානම වගකීම වන ජාතික ආරක්ෂාව බිල්ලට දීමකි. එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්නුම් කර ඇති සුළු පක්ෂ කෙරෙහි දැඩි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද මේ ඛේදවාචකය වළක්වා ගැනීමට බාධා කර ඇති බවද පෙන්වා දී තිබේ.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා සුළු පක්ෂ කෙරෙහි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ප්‍රධාන සාධකය වන්නේ මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් යහපාලන රජය පිහිටුවීමේදී සහ පවත්වාගෙන යාමේදී නිරෑපණය කරන ලද වැදගත් භූමිකාව බවද සඳහන්ය. අපේ රටේ දේශපාලනයේ සැබෑ ඛේදවාචකය තුළ මෙය පැහැදිලි රේඛාවකි. රටේ විධායක ජනාධිපති ක්‍රමය බිහිවීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ විශාල බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සෑම ප්‍රධාන දේශපාලන සන්ධානයකම අරමුණ වූ බව ප්‍රකට රහසකි. ඒ සඳහා ඕනෑම ආකාරයක දොළපිදේනි ලබාදීමට මෙතෙක් බලයට පත් සෑම විධායක ජනාධිපතිවරයකුම ක්‍රියා කළ බව අපේ දේශපාලන ඉතිහාසය පෙන්වා දෙයි. සහරාන්ලා බිහිවීම එම ක්‍රමවේදයේ එක් “අග්‍රඵලයක්” බව පාස්කු කොමිසම වාර්තාව පෙන්වා දී තිබේ.

2015 දී මේ න්‍යායම අනුගමනය කරමින් බිහිවූ යහපාලන රජය තම අනුගාමික මුස්ලිම් දේශපාලන නායකයන්ගේ අභිලාෂයන්ට අනුව කටයුතු කිරීමට ගොස් අවසානයේ අකර්මණ්‍ය, අකාර්යක්ෂම සහ රටේ ජාතික ආරක්ෂාව විනාශ කළ රජයක් වශයෙන් ඉතිහාසයට එක් වී තිබේ. පාස්කු කොමිසම් නිර්දේශවලින් යහපාලන නායකයන් නෙළාගන්නේ එම පාලන ක්‍රමයේ අස්වැන්නයි. එසේම ඉස්ලාම් අන්තවාදය තවුහිද් මතවාදයෙන් පන්නරය ලබද්දී මුලදී හරිහැටි කළමනාකරණය නොකරන ලද බෞද්ධ අන්තවාදය ද විසින් එය තවදුරටත් පැසවීමට ලක්කරන ලද බවද කොමිසම පෙන්වා දී තිබේ. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අනාගතයේදී හෝ හැදෙනවා නම් මේ වාර්තාව පමණක් එයට ප්‍රමාණවත්ය. එහෙත් එවැනි වෙනසකට අවශ්‍ය දේශපාලන ධෛර්යය කිසිවකුටත් තිබේදැයි යන්න සැකසහිතය. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00