2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ජනතාව ආණ්ඩුව මාස 6න් එපාවෙලා

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

 - සමගි ජන බලවේගය මහලේකම් - රන්ජිත් මද්දුමබණ්ඩාර

  • අද කැබිනට් ඇමැතිවරුන් විවේචනය කරන්නේ පසුපෙළ මන්ත්‍රීලා
  • අපි කරපු ලොකුම වැරැද්ද වැරදිකරුවන්ට දඬුවම් නොදීම
  • අහිංසක ළමයි පැහැරගෙන මරාදැමීම් ගැන පරීක්ෂණ කිරීම වැරුද්දක්ද?
  • ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ අපරාධකාරයන් නිදහස් කරන්න නොවෙයි
  • නායකත්වය වෙනස් නොවනතුරු එජාපය එක්ක ගනුදෙනුවක් නෑ
  • පාස්කු වාර්තාව අපරාධකරුවන් බේරලා
  • රනිල් මහත්තයා මේ දේ වලට වගකිව යුතු නෑ

මෙරට දේශපාලන ඉතිහාසය ගත්තාම විපක්ෂය හැටියට හිටපු අය බොහෝයි. ඒ අය කරපු දේවල් වෙනස්. හැබැයි මෙවර විපක්ෂය අලුත්ම පක්ෂයක්. අලුත්ම කණ්ඩායමක්. ඒ වගේම අලුත්ම අභියෝග රුසකට මුහුණදෙමින් ඉන්නෙ. අත්දැකීම් බහුල ඔබට විපක්ෂයේ කාර්යභාරය කොහොමද පේන්නෙ?

අපි අලුත් පක්ෂ නායකයෙක් සමඟ අලුත් පක්ෂයක් සමඟ අලුත් කණ්ඩායමක් එක්ක තමයි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙ. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට විපක්ෂයේ කාර්යභාරය හම්බවෙලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව පිහිටුවලත් හරියටම මාස හයයි. හැබැයි ඉතිහාසයේ මම කවදාවත් දැකලා නෑ මාස හයකින් පිරිහුණු මෙහෙම ආණ්ඩුවක්. අන්න ඒ අසාර්ථකත්වය අපි තමයි ඉස්සෙල්ලාම ජනතාවට පෙන්නුවෙ. ඒ නිසා තමයි ජනතාවට ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇතිවුණේ. විපක්ෂ නායකතුමා අවංක නායකයෙක්. ඒ වගේම අපේ කණ්ඩායම කාර්යක්ෂම කණ්ඩායමක්. අවසාන වශයෙන් මට කියන්න තියෙන විශේෂම දේ තමයි අද විපක්ෂය හොරු, වංචාකාරයො, දූෂකයො කවුරුත් නෑ. 

ඔබලත් ආණ්ඩු කරලා තමයි දැන් විපක්ෂයේ ඉන්නෙ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස හයයි. විශ්වාස කරනවද ජනතාව විසින් පරාජය කරපු ආණ්ඩුවක හිටිය ඔබලා කියන දේ රටේ මිනිස්සු පිළිගන්නවා කියලා?

පළවෙනි කාරණය තමයි ජනතාවට තමයි මේ තියෙන ආණ්ඩුව එපාවෙලා තියෙන්නෙ. ජනතාව මේ ආණ්ඩුව පත් කරලා යම්කිසි බලාපොරොත්තුවක් තබාගෙන හිටියා. ඒ දේවල් බිඳවැටීම තුළ තමයි ජනතාව දැන් අවස්ථාව එනකම් ඉන්නෙ මේ ආණ්ඩුව පෙරළන්න. අපේ ආණ්ඩුව කාලෙත් 2018 පළාත් පාලන මැතිවරණය වෙනකම්ම හොඳට තිබ්බා. අපි වැටීම දරුණු ලෙස පටන්ගත්තෙ 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක. හැබැයි මේ ආණ්ඩුව මාස හයක් ඇතුළත වැටිලත් ඉවරයි. ජනතාව ප්‍රතික්ෂේප කරලත් ඉවරයි. දැන් ජනතාව ප්‍රතික්ෂේප වීමටත් වඩා ආණ්ඩුව ඇතුළෙ බෙදීමක් ඇතිවෙලා තියෙනවා. ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු ස්වාමින් වහන්සේලා පවා ආණ්ඩුව විවේචනය කරන තැනට පත්වෙලා තියෙනවා. 

හැබැයි ඒ අය නම් කියන්නෙ ආණ්ඩුවක් හරි විදියට කරගෙන යනකොට ආණ්ඩුව ඇතුළෙ එවැනි සංවාද තිබිය යුතුයි කියලා?

නෑනෙ. බොහොම නරක තත්ත්වයකට ආණ්ඩුව ගිහිල්ලා තියෙන්නෙ. කැබිනට් ඇමැතිවරුන්ව විවේචනය කරන්නෙ පසුපෙළ මන්ත්‍රීවරු. මේ දේවල්වලට හේතුව තමයි පළපුරුදු අඩු නායකයෙක් රට කරවීම. 

ඔබලා මොන තර්කය දැම්මත් ආණ්ඩුවෙ අය කියන්නෙ හැට නම ලක්ෂයෙ ඡන්දය දුන්නෙ දේශපාලන පළිගැනීම් නවත්වන්න, සංවර්ධනය ඇතිකරන්න වගේ අරමුණු ඇතිව කියලා. ඉතින් මේ ආණ්ඩුව කරන්නෙ ඒක නේද?

ඕවා ඔය ජනතාවට දුන්න පොරොන්දු නෙමේ. පාලකයන්ගෙ අවශ්‍යතා සඳහා දුන්න පොරොන්දු. යහපාලන රජය කරපු ලොකුම වැරැද්ද තමයි වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලබා නොදීම. මේ ආණ්ඩුව කරපු දේ තමයි ආපු ගමන් මිනීමරුවන්ට, කප්පම්කාරයන්ට නිදහස දුන්න එක. ඒ වෙනුවට කොමිෂන් පවා පත් කළා. මේවාට කියන්නෙ කැකිල්ලෙ තීන්දු කියලා. ඉස්සර ජනාධිපති කොමිෂන් පත් කළේ වැරදි කරපු මිනිසුන්ට දඬුවම් දෙන්න. දැන් කරන්නෙ වැරදි කරපු මිනිසුන්ව නිදහස් කරන්න. අපිට දැනට ලැබෙන තොරතුරු අනුව මේ කොමිෂන් වාර්තාවලින් වැරදිකාරයො නිවැරදිකාරයො වෙලා ඉවරයි. පැමිණිලි දාපු අයයි සාක්කිකාරයොයි හිරේ යන තැනට පත්වෙලා තියෙනවා. 

දැන් ඔබ නොකියා කියන්නෙ දේශපාලන පළිගැනීම් සම්බන්ධ පත් කරපු කොමිසම ගැන. ඒ කොමිසමේ නිර්දේශ අනුව තියෙනවා කියලත් හැමතැනම කතා වෙන්නෙ බොහෝ පරීක්ෂණ දේශපාලන පළිගැනීමේ අරමුණින් සිදු කළ ඒවා බව. එහෙනම් ඒ කරපු වැරදි නිවැරදි විය යුතුයි නේද?

මෙහෙමනෙ. ඔය දූෂණ මර්දන කමිටුවේ හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයවත් අපිවත් වෙන කවුරුවත් දූෂිතයො වංචාකාරයො නෙමෙයි. අපිට ජනවරමක් ජනතාව ලබා දුන්නෙ සිදුවෙමින් පවතින අපරාධ නවතින්නත් සිදුවූ අපරාධ ගැන සොයා බලන්නත්. ඉතින් ඔය කියන කමිටුවටත් ඔය පැමිණිල්ල ලැබෙන්න ඇති. ඒත් විමර්ශනය කළේ ඒ කමිටුව නෙමෙයිනෙ. එය විමර්ශනය කළේ පොලීසිය. ඒ වගේම ඒ දේවල්වලට නීතිපති උපදෙස් පවා ගත්තා. අද වෙලා තියෙන්නෙ නිත්‍යනුකූලව කරපු පරීක්ෂණ දේශපාලන පළිගැනීම් හැටියට හුවා දක්වලා ඒ පැමිණිලි දාපු අයට විරුද්ධව දඬුවම් දීමට යන එක. 

ඒ අය කියනවනෙ ඔබලා ඒ අයගෙන් පළිගන්න තමයි මේ දේවල් කළේ කියලා?

ඔබ මට කියන්න මාධ්‍යවේදීන් ඝාතනය කරපුවා, අර අහිංසක ළමයි පැහැරගෙන ගිහිල්ලා මරා දාපුවා, සමහර පුද්ගලයන්ට පහර දුන් ඒවා යට ගිහිල්ලා තියෙන වෙලාවක ඒවා නැවත ආරම්භ කරලා පරීක්ෂණ කරපු එක වැරදි දෙයක්ද? දැන් ඒ ගැන පැමිණිලි කරපු අයයි විමර්ශනය කරපු අයටයි දඬුවම් දෙන එකද මේ කොමිසමේ තීන්දුව. 

ඒ කියන්නෙ ඔබලා මේ කොමිසමේ කියන දේවල් කිසිවක් පිළිගන්නෙ නෑ?

නෑ. කොහෙත්ම නෑ. අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. ලෝකෙ කොහේවත් නෑ මේ වගේ කොමිසම්.

මේ චෝදනා එල්ලවෙන එදා ඔබේ ආණ්ඩුවෙ කට්ටිය දැන් පක්ෂ දෙකක ඉන්නෙ. එදා අගමැතිතුමා දැන් ඔබලත් එක්ක නෑ. දැන් ඔබලා කොහොමද බෙදිලා මේ දේට මුහුණදෙන්නෙ?

අපි විපක්ෂයක් හැටියට රටේ සියලුම විපක්ෂ එකතු කරලා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වැඩපිළිවෙළට එරෙහිව සටන් කරනවා. මෙතනදි අපිට කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ. මෙතනදි අපි සියල්ල එකතුවෙලයි මුහුණ දෙන්නෙ. ඒ ගැන කතා කරලත් ඉවරයි. අපි මේ සම්බන්ධයෙන් ජනතාව අතරට යනවා. අපි ජනතා අධිකරණයට මේක බාරදෙනවා. මේ ගැන අපි ආණ්ඩුවෙන් විවාදයක් ඉල්ලලා තියෙනවා පාර්ලිමේන්තුවෙදි. හැබැයි තාම ආණ්ඩුව තාම ඒක නොදී මඟහරිනවා. 

මේ වෙනකොට පාස්කු කොමිසමේ වාර්තාවත් එළියට ඇවිල්ලා තියෙන්නෙ. එතනදිත් හිටපු අගමැතිතුමාට චෝදනා එල්ල වුණා. ඔබලා කොහොමද ඒ කොමිෂන් වාර්තාව සඳහා ප්‍රතිචාර දක්වන්නෙ?

පාස්කු ප්‍රහාරයේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ තොරතුරු ලැබී තිබියදී ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම. දෙවැනි එක තමයි මේ ප්‍රහාරයට කවුද වගකියන්න ඕනෙ කියන එක. හැබැයි ඔය දෙවැනි කාරණය මේ වාර්තාවෙ නෑ. ඕකෙ තියෙන්නෙ පළවැනි චෝදනාව විතරයි. හරියට නිකම් පොලීසියෙ රාලහාමි කෙනෙක් හිටන් ඉන්නකොට එතන ඉන්න මිනිහෙක්ට කවුරුහරි පිහියෙන් ඇන්නොත් ඒ පිහියෙන් ඇන්න පුද්ගලයා නෙමෙයි එතන ළඟ ඉන්න පොලිස් නිලධාරියාට විරුද්ධව පැමිණිල්ලක් කරනවා වගේ වැඩක්. වගකීම් විරහිතභාවය සම්බන්ධ දඬුවම් දිය යුතුයි. ඒක පිළිගන්නවා. හැබැයි මේවාට වගකිවයුතු මිනිස්සුන්ට දඬුවම් නැද්ද? ඒ ගැන හොයන්නෙ නැත්තෙ ආණ්ඩුව මේකෙන් අවශ්‍ය දේශපාලන වාසියක් ගත්තද කියලා අපිට සැකයක් තියෙනවා. 

ඔබ කියන්නෙ මේ කොමිෂන් සභා වාර්තාවෙ ඇත්ත වසන් කරලා කියලද?

අනිවාර් යෙන්. ඇත්ත කියන්න එපැයි. මේ ප්‍රහාරය සැලසුම් කළේ කවුද? මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා මේ වාර්තාවෙ නෑනෙ. 

මේ කොමිසම පත් කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමානෙ?

කවුරු පත් කළත් මේ ප්‍රහාරයට වගකිවයුත්තො කවුද කියලා මේකෙ නෑ කියලනෙ කියන්නෙ. 

මේකෙ තියෙනවා බොදුබල සේනා කියන සංවිධානයත් තහනම් කළ යුතුයි කියලා?

දැන් බලන්න මේ ප්‍රහාරවලට සම්බන්ධ වුණේ ත්‍රස්තවාදී සංවිධාන. බොදුබල සේනා කළේ ඔය සංවිධාන සම්බන්ධව හෙළිදරව් කරපු එක. ඒ සංවිධානය ත්‍රස්ත ක්‍රියා කළේ නෑනෙ. ඒ අය කළේ සමහර දේවල් ඇත්ත ඒ හැටියෙන්ම කියපු එක. අන්තිමේ තහනම් වෙන්න ඕන දේවල් රුකිලා ඒ සංවිධානය තහනම් කරලා දැම්මා. ඒක කොච්චර වැරදිද? 

මේකෙදි හිටපු අගමැතිතුමාට චෝදනා එල්ල කරලා තියෙනවා. හැබැයි එතුමා කියලා තිබ්බා එතුමාව ආරක්ෂක කමිටුවට කැඳවීමක් කළෙත් නෑ කියලා. දැන් එතුමා වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ඔබලා?

එතුමාගේ දේශපාලන ව්‍යාපාරය සහ දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට වගකියන්න ඕනෙ නෑ කියලා තමයි මම කියන්නෙ. මොකද එතුමා දින 52ක ආණ්ඩුව වෙලාවෙ මගෙන් ඔය ඇමැතිකම අයින් කළාම මම එතුමාට ගිහිල්ලා කිව්වා මට හරි ෆොන්සේකාට හරි ලබාදෙන්න කියලා. නමුත් ඒක කළේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම ආරක්ෂක රුස්වීමක් කැඳවලත් නෑ. මතක තියාගන්න ඒ කරපු වැරුද්ද නිසා එදා අපකීර්තියට පත්වුණේ අපේ පක්ෂය. නමුත් ආණ්ඩුව මේ සිද්ධියේ සැබෑ චෝදනාකරුවො සොයන්න මහන්සිවෙලා නෑ. වෙලා තියෙන්නෙ අපරාධකාරයො බේරිලා තියෙන එක විතරයි. 

මේ සියල්ල අස්සෙ ජිනීවා කොමිසමේදි බරපතළ චෝදනා ටිකක් ලංකාවට එල්ල වෙනවා. ආණ්ඩුව කියන්නෙ ඒ චෝදනා එල්ල වෙන්නෙ ඔබලගෙ ආණ්ඩුව කාලෙ ජාත්‍යන්තර වශයෙන් පාවාදුන්න නිසා කියලා. ඒක බරපතළ චෝදනාවක්?

2015 දි මහින්ද මහත්තයා කිව්වා එතුමාව විදුලි පුටුවට අරන් යනවා කියලා. ඒ වගේම ඒ වෙනකොට ලංකාවට රතු ලේබලෙත් අලවලා ඉවරයි. ජාත්‍යන්තර වශයෙන් විශාල පිරිහීමක හිටියෙ. හැබැයි අපිට තිබ්බ ජාත්‍යන්තර සබඳතා නිසා අපිට පුළුවන් වුණා ඒ ගැටලුවලින් යම් තරමක සහනයක් ලබාගන්න. අපි පොරොන්දු වුණා ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය පරීක්ෂණයක් සිදු කරලා අදාළ දඬුවම් දෙන්න. ඒ නිසා ඒ අයට අපි ගැන විශ්වාසයක් ඇතිවුණා. නමුත් දැන් මේ අය කියන කතාව බොරුවක්. ජිනීවා මානව හිමිකම් කොමිසමේ පිටු 17ක වාර්තාවෙ පිටු 2 ½ක විතරයි ඔබ යුද්දෙ සම්බන්ධව චෝදනා තියෙන්නෙ. ඉතුරු සියල්ලෙහි තියෙන්නෙ මේ ආණ්ඩුව ගත්තාම මේ ආණ්ඩුව විසින් සිදු කරන ලද අත්තනෝමතික ක්‍රියා. දේශපාලන පළිගැනීම්, සැකකරුවන් නිදහස් කිරීම්, කොමිෂන් සභා විසුරුවා හැරීම් සහ මිලිටරිකරණය සම්බන්ධයෙන්. ඒ නිසා අපිට පුළුවන් ඕනෑම වෙලාවක යුද්ධය වෙනුවෙන් නම් සාමූහිකව එකතුවෙලා රටක් හැටියට ඒ චෝදනාවට මුහුණ දෙන්න. හැබැයි ආණ්ඩුව කරන ලද වැරදිවලට අපිට පෙනී ඉන්න අවශ්‍ය නෑ. ආණ්ඩුවෙ වරද තමයි ඔතන තියෙන්නෙ. 

හැට නම ලක්ෂයේ ජනතාව මොවුන් විශ්වාස කරලා ඡන්දය ලබා දුන්නට දේවල් නේද මේ සිදු කරන්නෙ. ජනතා කැමැත්තට වැඩ කරන එක වැරැද්දක් නෙමෙයිනෙ?

ඒක හරි. හැබැයි අපරාධකාරයො නිදහස් කරන්න මිනිස්සු ඡන්දෙ දුන්නෙ නෑනෙ. නැගෙනහිර ජැටිය බැරි නම් බටහිර ජැටිය හරි ඉන්දියාවට විකුණන්න ඕනෙ කියලා ජනතාව ඡන්දෙ දුන්නෙ නෑනෙ. ඒ නිසා ලක්ෂ හැට නවයම මේකට අල්ලගන්න එපා. 
ඔබේ පක්ෂය දෙසට හැරුණොත් කට්ටියක් කියනවා එජාපය එක්ක ගනුදෙනුවක් සිදු කරමින් යනවා කියලා. ඔබ කියනවා එජාපය එක්ක ආයෙ කිසිම ගනුදෙනුවක් නෑ කියලා. ඒ කියන්නෙ එජාපය දැන් වැඩක් නැද්ද ඔබලට?
මෙහෙමයි. පක්ෂයට නම් අපි කිසිම විරුද්ධත්වයක් නෑ. අපි අයින් වුණේ පක්ෂය එක තැන පල් කරමින් පක්ෂ නායකත්වය වෙනස් වුණේ නැති නිසා. ඒ නිසා තමයි අපි අලුත් පක්ෂයක් හැදුවෙ. හැබැයි එහෙම ඇවිල්ලා එජාපයේ නායකත්වය තවමත් වෙනස් වෙන්නෙ නැත්නම් අපිට ඒ අය එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය නෑ නේද? අපි කැමතියි අලුත් නායකයෙක් එක්ක එජාපය සමඟින් එකතුවෙලා ගමනක් යන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එජාපය ප්‍රතික්ෂේප කරපු නිසානෙ අද ඒ පක්ෂය බිංදුවට වැටිලා තියෙන්නෙ. 

හැබැයි අපි දැක්කා වජිර අබේවර්ධන කියලා තිබ්බා 2024 එජාපය අලුත් ආණ්ඩුවක් බිහිකරනවා කියලා?

මම එතුමා ගැන නම් මොනවත් කියන්න යන්නෙ නෑ එතුමා මගේ මිත්‍රයා නිසා. බිංදුවට වැටිච්ච පක්ෂයක් ගැන ඔහොම කතා කරන එකත් විහිළුවක්නෙ. ඒ ඕනෙ නෑ. එතුමාගෙ ආසනේවත් දිනලා එන්න කියන්නකො. 

පසුගියදා පකිස්තාන අගමැති ආව ගමන් හදිසියෙ විපක්ෂ නායකතුමාව හමුවුණා. මොකක්ද එතන සිදුවෙච්ච සාකච්ඡාව?

සාමාන්‍යයෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයෙක් ආපුවාම ආණ්ඩුවේ අය වගේම විපක්ෂ නායකතුමාවත් හම්බවෙනවා. ඉතින් අමුතුවෙන් දෙයක් වුණේ නෑ. ඒ වගේම එතුමත් එක්ක අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙන්නා වෙච්ච ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමාත් කබීර් හෂීම් මැතිතුමාත් සහභාගි වුණා. අමුතු දෙයක් සිද්ධ වුණේ නෑ. අපෙන් අහන්න එපා ඔය ප්‍රශ්නෙ. අහන්න ආණ්ඩුවෙන්. නැගෙනහිර ජැටිය සම්බන්ධ අවුලට ඉන්දියාව බය කරන්නද පකිස්තාන අගමැති ගෙනාවෙ කියලා. 

අවසාන වශයෙන් ඔබගෙන් අහන්නෙ මාස හයක් ඇතුළත ආණ්ඩුවත් වැටිලා නම් කවද්ද මේ ආණ්ඩුවෙ බලය ගන්නෙ?

ආණ්ඩුව කඩා වැටුණාට කොහොම හරි ඒ අය ඇදගෙන යනවා. හැබැයි ජනතාව ඒ සම්බන්ධයෙන් කලකිරීමකින් ඉන්නෙ. ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් ඉන්නෙ. ආණ්ඩුවට යමක් උගන්වන්න පුළුවන් අවස්ථාව එනකම් ජනතාව බලන් ඉන්නවා. ඒ අවස්ථාව ආපු ගමන් ජනතාව අපිට බලය ලබා දෙයි.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00