2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

භූමදාන ආදාහන ගෝරිය

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

“ඇති යන්තම්” කියා අපට කියැවෙන අවස්ථා තිබේ. සමහර විට “යන්තම් ඇති” යනුවෙන් ද කියැවෙයි. මේ අවස්ථා දෙකම එකම සිද්ධියක් හෝ සිද්ධි සමූහයක් හෝ අර්ථගැන්වීමට යෙදෙන යුගල පදයකි. බොහෝ කාලයක් බලා සිටීමෙන් පසුව හෝ සෑහෙන කට්ටක් කෑමෙන් පසුව හෝ අපේක්ෂිත දෙයක් ඉටුවීමේදී මේ වදන් පිටවෙයි. අපට මේ වදන් මතක් වූයේ පසුගිය බදාදා (10) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කෙරුණු කොරෝනා මෘතදේහ භූමදානයට අවසර ලබාදීමේ කතාවත් සමඟිනි.

කොවිඩ් ආසාදිත මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම මහා විශාල අර්බුදයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ පමණක්මදැයි යන ගැටලුව පසෙක තබා එය සිදුවූයේ කෙසේද යන්න විමසා බැලීම පමණක් මේ අවස්ථාවේදී ප්‍රමාණවත් වනු ඇත. කොවිඩ් හේතුවෙන් ලෝකයේ සියලු රටවල් දොරගුළු වසා ගනිද්දී අපට ද වෙනත් විකල්පයක් නොතිබිණි. කෙසේ හෝ රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දීම හැර වෙනත් මගක් තිබුණේ ද නැත. මේ හේතුවෙන් නිවෙස්වලටම කොටුවූ සිරවූ ජනතාවට සියලු මාධ්‍ය හරහා දැකගන්නට ලැබුණේ කොවිඩ් රෝගයෙන් දරුණු ලෙස බැටකමින් සිටි යුරෝපයේ සහ බටහිර රටවල දිනපතා සිය ගණනින් ජනයා මියයන බවත් ඉතාලිය වැනි රටවල ගොඩගැසුණු මළසිරුරු ඉවත් කිරීමට බැකෝ යන්ත්‍ර පවා යොදා ගැනීමට සිදු වූ බවත්ය. එය හද පාරවන වේදනාත්මක දර්ශනයක් වුවද වෛරසයට එරෙහිව මතුවෙමින් තිබූ දැඩි බියට ඒ සියල්ල යටපත් විය. නමුත් අපට එකම සැනසීමක් වී තිබුණේ අපේ රට තුළ ව්‍යාප්තිය ඉතා සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවීමත් ඒ නිසාම මරණ සංඛ්‍යාව ඉතාම අඩු වීමත්ය.

මරණ සංඛ්‍යාව අඩු වුවත් ඒ අතර සිදුවූ ප්‍රථම මුස්ලිම් මරණයේදී එම දේහය ආදාහනය කිරීම මුස්ලිම් සමාජයේ ප්‍රශ්න කිරීමට ලක්විය. මුලින්ම මේ ප්‍රශ්න කිරීම සිදුවූයේ මුස්ලිම් දේශපාලන නායකයන් විසිනි. ඒ වන විට ලොවේ කොවිඩ් මෘතදේහ අවසන් කටයුතු සිදුකෙරුණේ ආදාහනය මගින් පමණි. කොවිඩ් වෛරසයත්, මරණත් දෙකම ලොවට අලුත් අත්දැකීමක් වී තිබිණි. මේ නිසා අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්ණායක සැපයීමට බල කෙරුණි.

ඒ වගකීම පැවරුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයටය. ඔවුන්ගේ පිළිතුර වූයේ කොවිඩ් මළසිරුරු අවසන් කටයුතු ආදාහනය හෝ භූමදානය යන දෙආකාරයටම සිදු කළ හැකි බවය. මෘතදේහයක පවතින වෛරස මහපොළොව හරහා භූගත ජලයට හෝ වෙනත් සතුන්ට හෝ සම්ප්‍රේෂණය වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකී නිගමනයට හේතු වී තිබිණි. එසේම ආදාහනය හෝ භූමදානය සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්ණායකද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබිණි. උග්‍ර මුස්ලිම් විරෝධයක් සහිත අසල්වාසී ඉන්දියාවද මෙම තීන්දුව හා එකඟ විය. ඒ අනුව ලෝකයේ බොහොමයක් රටවල් ඒ ක්‍රම දෙකම අනුගමනය කිරීම ආරම්භ කළේය.

ඒ රටවල් එසේ වුවද මෙරට ක්‍රියාත්මක වූ ආදාහනයට පමණක් ඉඩ දෙන තීන්දුව වෙනස් නොවීය. රටේ සෞඛ්‍ය අංශවලින් ලැබුණු උපදෙස් අනුව තමන් කටයුතු කරන බව රජයේ ස්ථාවරය විය. නමුත් රජයට සහාය දක්වන දැඩි මතධාරී කණ්ඩායම්වල බලපෑම හේතුවෙන් මේ තත්ත්වය උදා වූ බවට මුස්ලිම් සමාජය තුළින් දෝෂාරෝපණ එල්ල විය. රට තුළ තිබූ මෘතදේහ ප්‍රශ්නය අවසානයේ ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය අතර “අනිවාර්ය ආදාහනයක්” සඳහා බලකෙරෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව හැඳින්විණි. එය වෙනස් කර ආගමික ඇදහීම් සහ විශ්වාසයන්ට අනුව අවසන් කටයුතු කිරීමට ඉඩ දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද අමෙරිකාව ඇතුළු බලවත් ජාතීන් සහ මුස්ලිම් රටවල් මගින් ද රජයෙන් දිගටම ඉල්ලීම් කෙරිණි. මෙරට මුස්ලිම් දේශපාලන පක්ෂ පමණක් නොව රජයේ අමාත්‍ය මණ්ඩලයේ සිටින එකම මුස්ලිම් අමාත්‍යවරයා වන අලි සබ්‍රි මහතා ද මේ ඉල්ලීම ඉදිරිපත් කළේය. රට තුළින් සහ ජාත්‍යන්තරයෙන් සිදුකෙරැණු මේ ඉල්ලීම් හේතුවෙන් රජයද අසීරුවට පත්ව සිටි බවද රහසක් නොවීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ අවසන් කටයුතුවලදී භූමදානයටද ඉඩ දෙන බව ප්‍රකාශ කළේ මේ පසුබිමේය. මාස ගණනාවක් තිස්සේ අනවශ්‍ය ලෙස රජය පීඩාවට පත් කළ තීන්දුවක් මේ සමඟ අවසන් වී ඇතැයි අපි සිතමු. එහෙත් කොවිඩ් මරණ කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කර ඇති තාක්ෂණික කමිටුවේ සභාපති අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා ප්‍රකාශ කර තිබුණේ මෘතදේහ භූමදානය සඳහා කිසිදු නිර්දේශයක් තමන් ලබා දී නොමැති බවය. තම කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ ආදාහනය පමණක් බවත් ඒ මහතා කියා තිබිණි. ඒ අනුව අපට ඇතිවන අදහස වන්නේ අග්‍රාමාත්‍යවරයා භූමදානයට ඉඩ දෙන බව ප්‍රකාශ කළත් කොවිඩ් තාක්ෂණික කමිටුව හෝ වෙනත් සෞඛ්‍යයට අදාළ පාර්ශ්ව හෝ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නැති නිසා අග්‍රාමාත්‍යවරයාගේ අදහස ක්‍රියාත්මක නොවන බවය. ඒ අතර ජාතික සංවිධාන ගණනක්ද භූමදානය ගැන නැවතත් විරෝධය පළකරමින් ප්‍රකාශ නිකුත් කළේය. එනිසා මේ පිළිබඳ හැකිතරම් ඉක්මනින් තීන්දුවක් ගැනීම සුදුසු බව අපගේ වැටහීමය. තවදුරටත් මේ ගැටලුව ඇදගෙන යාමට හැකියාවක් නැති බව සියලු දෙනා විසින්ම තේරැම් ගැනීම අවශ්‍යය.

කොවිඩ් වෛරසය මෘතදේහයකින් භූගත ජලයට හෝ පසට හෝ කාන්දු වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පළ කරන මතය පිළිගැනීමට මෙරට සෞඛ්‍ය අංශ සූදානම් නැත්නම් ඒ බව සනාථ කළ හැකි සාක්ෂි සහිතව තම මතය ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීමය. එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයාගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට හරස් වන්නේ නම් එතැන ඇත්තේ වෙනත් න්‍යාය පත්‍රයකි. ඒ බව කෙළින්ම කිව යුතුය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00