2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ලෝකෙන්ම මේ ආණ්ඩුව කොන්වෙලා!

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

පාලිත රංගේ බණ්ඩාර මහලේකම් - එක්සත් ජාතික පක්ෂය

  • කලකිරිලා නම් වනගතවෙලා තපස් රකින එක හොඳයි
  • විපක්ෂ නායකතුමා තමන්ගේ අය ගැන කිසිම දෙයක් කරන්නෙ නෑ
  • දේශපාලන පළිගැනීම් කොමිසම දවස් 200කදී නඩු 150ක් අහලා
  • සජබ පිරිසක් වෙලාව ආපු ගමන් අප සමඟ එකතු වෙන්න සූදානම්
  • සජිත් පිලෙත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ
  • හරීන් එක්ක තිබුණේ විනාඩි 2–3ක සාකච්ඡාවක්
  • රනිල් මහත්තයාට නායකත්වයේ ඉන්නැයි යෝජනා කළේ අපියි

ඔබ පක්ෂයේ අලුත් මහලේකම්. කොහොමද මේ පක්ෂයේ මහලේකම් ධූරයේ හැඟීම සහ එහි වැඩ කටයුතු සිදුවෙමින් යන්නෙ?

ගත වූ දවස් කිහිපය ඉතාම කාර්යබහුලයි. මොකද පක්ෂය නවත්වපු තැනින් අපි නැවත ආරම්භ කරලා ඉස්සරහට අරගෙන යනවා. අපේ වනිතා කටයුතු ඒකකයේ වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ කරල තියෙන්නෙ. අපි මේ සියල්ල අවසානෙ ආසන මට්ටමින් වැඩ කටයුතුත් අනිකුත් සංවිධානවල වැඩ කටයුතුත් අවසාන කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. 

අපි දැක්කා මාධ්‍යවල ප්‍රචාරය වෙනවා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබේ පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයව හම්බවුණා කියලා. මේක පෞද්ගලික සාකච්ඡාවක්ද? නැත්නම් පක්ෂ අතර නිල සාකච්ඡාවක්ද?

නායකතුමා අපිට මේ ගැන දැනුවත් කිරීමක් කරල තියෙනවා. ඔහු යෝජනා කළා ඉදිරියේ එකතුවෙලා වැඩ කිරීමේ යෝජනාවක් ගැන. ඒ සාකච්ඡාව විනාඩි දෙකක තුනක වගේ කාලයක් තිබ්බෙ. 

මොනවද ඉතින් හම්බවෙලා කතා කළේ?

නායකතුමා කියලා තියෙන්නෙ පක්ෂයේ ගොඩනගන වැඩ කටයුතු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහත්තයගෙ ප්‍රධානත්වයෙන් සිදුවෙන නිසා පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන එකතුවෙලා සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම කට්ටියට එකතු වෙන්න කියලත් එතුමා දැනුම් දීලා තියෙනවා. 

ඒ කියන්නෙ නායකතුමා පක්ෂය ගැන තීන්දු තීරණ ගන්නෙ නැද්ද?

නෑ. එතුමා මුල ඉඳලම කිව්වා පක්ෂය තරුණ අයට ලබා දීල එතුමා ඉවත් වෙනවා කියලා. ඒ අනුව පහුගිය කාලෙ වැඩි වශයෙන් පක්ෂයේ තරුණ අයට ඉඩ ලබාදීම සිදු කළා. ඊටපස්සෙ එතුමා ලෑස්ති වුණා නායකත්වය දීලා ඉවත් වෙන්න. ඒකට සුදුසුකම් ලත් කිහිප දෙනකුත් ඉදිරිපත් වුණා. නමුත් අපි යෝජනා කළා පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක එතුමට තවදුරටත් එම නායකත්වයේ රුඳී සිටින්න කියලා. මොකද පක්ෂය නැවත පෙළගැහෙනකම් එතුමා ඉන්න ඕනෙ. පසුපෙළ අයට ඉඩ දෙන එකට හොඳම උදාහරණය තමයි පසුගිය හතර වැනිදා සිරිකොතේ පැවති නිදහස් උත්සවේදි ජාතික කොඩිය ඔසවන්න එතුමට තිබ්බත් එතුමා දුන්නෙ නියෝජ්‍ය නායකතුමාටත් උප නායකතුමාටත්. 

ඒ කියන්නෙ දැන් ඔබලා තමයි එතුමාව රඳවගෙන ඉන්නෙ නායකත්වයෙන් ඉවත් වෙන්න නොදී. නැත්නම් එතුමා විශ්‍රාම යන්න කැමැත්තෙන්ද ඉන්නෙ?

නෑ. ඇත්තට එතුමට වුවමනාව තිබ්බෙ පක්ෂෙන් ඉවත් වෙලා තරුණ අයට බාරදීල විශ්‍රාම සුවයෙන් ඉන්න. නමුත් අපි තමයි යෝජනා කළේ තවදුරටත් එතුමට පක්ෂයේ නායකත්වයෙ ඉන්න කියලා. 

ඔබ කිව්වා පක්ෂ නායකතුමා කිව්ව කියලා අනිකුත් අයගෙන් අහලා සමගි ජන බලවේගයත් එක්ක එකතුවෙලා වැඩ කරනවද නැද්ද කියලා තීන්දු කරන්න කියලා. දැන් ඔබලා කැමතිද සජිත් පාර්ශ්වය සමඟ වැඩ කරන්න?

මේ පක්ෂය කඩාගෙන ගිය අයගෙන් ආයෙ නාවෙ බණ්ඩාරනායක මහත්තයා විතරයි. අනිත් හැමෝම ආවා. මෑත කාලයේදි රාජපක්ෂ මහත්තයා ගාවට ගිය කරු ජයසූරිය මහත්තය පවා නැවත ආවා. ඒ වගේම තමයි ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක මහත්තයත්. ඉතින් මේ අයටත් තියෙන්නෙ සහ පුළුවන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙලා වැඩ කරන්න. 

මේ එකතු වීම නැවත පක්ෂයට එකතු කර ගැනීමක්ද? නැත්නම් සන්ධානගත වීමක්ද? 

නෑ. අපි ඒ ගැන නම් තවම තීන්දු කරලා නෑ. අපේ ප්‍රධාන අරමුණ තියෙන්නෙ අපේ පක්ෂය ශක්තිමත් කරලා ඊටපස්සෙ අනිකුත් වැඩ කටයුතුවලට යන එක. කොහොම වුණත් එතන ඉන්න මන්ත්‍රීවරු පිරිසක් හිමිහිට මේ පැත්තට හැරෙමින් ඉන්නවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා වගේ පනහක් විතර ඉන්නවා ලිඛිතවම ඉල්ලීම් කරලා පක්ෂය සමඟ එකතු වෙන්න. 

පාර්ලිමේන්තුවෙ ඉන්න අයත් ඉන්නවද එකතු වෙන්න බලාගෙන?

ඔව්. නිශ්චිත පිරිසක් අපි සමඟ කතාබහ කරලා තියෙනවා. හරි වෙලාව ආපු ගමන් ඔවුන් අපිත් එක්ක එකතු වෙයි. 

ඒ කියන්නෙ පක්ෂයටම එකතු වෙන්න බලාගෙන කණ්ඩායමක් ඉන්නවා කියලද?

ඔව්. ඒ අය පැහැදිලිවම කියනවා වෙන වෙන පක්ෂ හරියන්නෙ නෑ එජාපය ගොඩගනගන්නම ඕනෙ කියලා.

දැන් ඔබ කිව්වා පක්ෂ නායකත්වය තියාගත්තෙ ඔබලගෙ ඉල්ලීමකට අනුව කියලා. හැබැයි පක්ෂයේ පිරිසක් කණ්ඩායමක් කඩාගෙන ගියේ නායකත්ව වෙනසක් ඉල්ලලා. දැන් නැවත එහෙම තියාගත්තාම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද?
රටේම ගියානෙ රනිල්ට බෑ කියලා කතාවක්. හැබැයි දැන් පේනවා නේද රනිල්ට පුළුවන් කියල. හැමෝම ඉල්ලන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයව. දැන් මහජන ආරක්ෂාවක් නෑ. ආර්ථිකය පවා දැන් කඩා වැටිලා. අධ්‍යාපනය විනාශ වෙලා. සෞඛ්‍ය කොතරම් පිරිහිලද කොරෝනත් එක්ක. දැන් මිනිස්සුන්ට පේනවා මේ අයට කිසිම දැක්මක් නෑ කියලා. අඩුම ගාණෙ බඩු මිලවත් පාලනය කර ගන්න බෑනෙ. විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් තිබුණු සියලු සබඳතා මේ ආණ්ඩුව විසින් විනාශ කරලා දැම්මා. ලෝකෙන්ම විතරක් නෙමේ කලාපීය වශයෙනුත් අපි වෙන්වෙලා ඉන්නෙ. 

ඔය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්නෙ නම් චෝදනා එල්ල වෙන්නෙ ඔබලට. ඔබලා තමයි මේ අනවශ්‍ය දේකට එකඟ වෙලා අද රට අමාරුවෙ දාලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙ අය චෝදනා කරන්නෙ?

ඒක අමූලික බොරුවක්. අපි එනකොට ඒ අයව දංගෙඩියට අරන් යනවා කියලා කෑගගහ හිටියෙ. අපි තමයි ඇවිල්ලා ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරන්න එකඟ වුණේ. ඒකට හේතුව තමයි ජාත්‍යන්තර වශයෙන් එල්ල වන චෝදනාවලට, පරීක්ෂණවලට අපිට මුහුණ දෙන්න බෑ. ඒ අය ගේන චෝදනා මොනවද කියලා අපි දන්නෙත් නෑ. හැබැයි අපේ යටතේ පරීක්ෂණයක් කළොත් අපි දන්නවා මොනවද වෙන්නෙ කියලා. 

මම ප්‍රථමයෙන් අහපු ප්‍රශ්නෙ නායකතුමා නැවත තියාගැනීම තුළ පක්ෂයේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද කියලා. ඇත්තටම කියන්න පක්ෂ නායකත්වය එතුමට දීම තුළ පක්ෂය තුළ නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩනැත්ද?

මෙතන ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියලනෙ කට්ටියක් කඩාගෙන ගියෙ. දැන් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? මෙතන නම් උප නායකයො, නියෝජ්‍ය නායකයො ඉන්නවා. හැබැයි එතන ඉන්නවද බලන්න. එතන ඉන්න හැම දෙනාම නායකයො. ඒවා නිකං විහිළු වැඩනෙ. දැන් ඒ මතය පිළිගන්නෙ නැති නිසානෙ ඒ පැත්තෙ අය අපිත් එක්ක එකතු වෙන්නෙ. 

ඔබ කියන්නෙ එහා පැත්තෙ කට්ටියගෙ නායකත්වයෙ කලකිරීමක් ඇතිවෙලා එනවා කියලද?

ඔව්. නායකත්වය විතරක් නෙමෙයි සියලුම වැඩපිළිවෙළ ගැන කලකිරීමක් ඇතිවෙලා තියෙන්නෙ. අපේ නායකත්වය ගැන තියෙන විශ්වාසය නිසානෙ නැවත එකතු වෙන්නෙ. 

ඔබලා තාම සජිත් ප්‍රේමදාස මහත්තයව නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත් කරලා නෑ නේද?

ඉවත් කරන්න දෙයක් නෑනෙ. එතුමා ගිහිල්ලා වෙනස් පක්ෂෙක එල්ලුණාම ඉබේම අහෝසි වෙනවා. 

නිදහස් දවසේ ජනාධිපතිවරයා කිව්වා පාස්කු කොමිසමේ වාර්තාව අනුව ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙනවා කියල. ඊට දවස් කිහිපයකට පස්සෙ මාධ්‍යවල පළ වුණා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඔබතුමාලගෙ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ චෝදනා එල්ල වෙනවා කියලා. ඒක බරපතළ සිද්ධියක් නේද?

මෙහෙමයි. දේශපාලනික වශයෙන් පළිගැනීමට නම් එහෙම කියන්න පුළුවන්. නමුත් රටේ ආරක්ෂක ප්‍රධානියා මහජන ආරක්ෂාව බාරව හිටියෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ආරක්ෂක කවුන්සිලය පවා අගමැතිවරයට තහනම් කරල තිබ්බා. ඉතින් එහෙම හිටපු කෙනෙක්ට කොහොමද ඔය කියන වගකීම් පැවරෙන්නෙ. අඩුම ගාණෙ ආරක්ෂක රාජ්‍ය ඇමැතිට පවා කැඳවීමක් තිබ්බෙ නෑ. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබුණෙ ආරක්ෂක ඇමැතිවරයට. එතකොට ඒක අගමැතිවරයට පටවනවා නම් එතන තියෙන්නෙ ද්වේශසහගත අරමුණක්. එහෙම කළොත් අපි ඒ ගැන කටයුතු කරනවා ඉදිරියෙදි. 

දැන් ඔබලා යහපාලන ආණ්ඩුව කාලෙ විසඳපු නඩු තීන්දු දේශපාලන පළිගැනීම් හැටියටයි සලකන්නෙ. ඒ ගැන කොමිසමකුත් පත් කරලා. ඇයි ඔබලා එහෙම දේශපාලන පළිගැනීම් සිදු කළේ?

දැන් බලන්න ඔය කොමිසමේ දින 200ක් ඇතුළත නඩු 150ක් අහල ඒ නඩු 150ට අනුව තීන්දු ගත්තා. සාමාන්‍ය නඩු තීන්දුවක්වත් එහෙම දෙනවද දින 200ක් ඇතුළත. ඒ විතරක් නෙමේ නඩු වෙනුවෙන් පෙනී හිටපු නිලධාරීන් වෙනුවෙනුත් කටයුතු කරන්න අරන්. එම නිලධාරියා පත් කරන්නෙ නීතිපති. රජයේ කටයුතු වෙනුවෙන් පෙනී ඉන්න තමයි නීතිපතිට බාර දෙන්නෙ. එවැනි අයකුට පවා නීති මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගන්නව නම් එතන කොහෙද සාධාරණත්වයක්. මොකටද එහෙනං එයාට දීලා.

දැන් මේ කොමිෂන් වාර්තාවට එරෙහිව උසාවි යනව කියල සජබ කට්ටිය කියලා තියෙනවා. ඔබලා මොකද කරන්නෙ?

බලමු. අපි ඒක අධ්‍යනය කරගෙන යනවා. අපේ නීතිඥ ප්‍රවීණයන් පසුව කළ යුතු දේ තීරණය කරයි.

ඔබලා මේ කොමිසමේ වාර්තාව පිළිගන්නෙ නැද්ද ඇත්තටම?

අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඊට සහාය දැක්වූ පුද්ගලයෙක් නම් නීතිය ක්‍රියාත්මක වුණාට කමක් නෑ. ඕනෑම අපරාධයකට කොටස් දෙකක් තියෙනවා. එකක් චේතනාව. අනිත් එක ක්‍රියාව. පාස්කු සිද්ධියෙදි රනිල් වික්‍රමසිංහගෙ චේතනාවක් තිබ්බද? ඊට අදාළව ක්‍රියාවක් තිබ්බද? රනිල් වික්‍රමසිංහ ආරක්ෂක කවුන්සිලයට ගෙනාවෙ නැත්තම් ඔහු යටතේ ආරක්ෂක අංශ හිටියෙ නැත්තම් කොහොමද සම්බන්ධ වෙන්නෙ. ඔය කියන සිද්ධියෙ ක්‍රියාවයි චේතනාවයි දෙකම තිබ්බෙ මෛත්‍රීපාල සිරිසේනට. 

පසුගිය දවසක අගමැතිතුමා කිව්වා විපක්ෂ නායකකමට සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියලා. මෙහෙම කිව්වාම මිනිස්සුන්ට සැකයක් එනවා නේද ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා කියලා?

මෙහෙමනෙ. මහින්ද රාජපක්ෂ මහත්තයට වසර 50ක දේශපාලන ඉතිහාසයක් තියෙනවා. එතුමා ඔය කතාව කියන්න ඇත්තෙ ඒ අත්දැකීමෙන්. ඉතින් ඕකට හොඳම උදාහරණය වෙන්නෙ ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවෙදි හරීන් ප්‍රනාන්දු විවේචනය කරනවා. ඒකෙදි 150ක් විතර ඉන්න ආණ්ඩුවෙ කිසි කෙනෙක් කතා කරන්නෙ නෑ. හැබැයි ජනාධිපතිතුමා එළියෙදි හරීන්ට තර්ජනය කරනවා. දැන් ඒකට ගන්න තියෙන ලොකුම පියවර මුඛවාඩම් දාගෙන බැනර් අල්ලන එකද? අන්තර් පාර්ලිමේන්තු සම්මේලනයට යන්න පුළුවන්. ජිනීවා කොමිසමට යන්න පුළුවන්. අඩුම තරමෙ පාර්ලිමේන්තුවෙදි හරි කතා කරන්න පුළුවන්. හැබැයි විපක්ෂ නායකතුමා කතා කළේ නෑ. රන්ජන් රාමනායක වෙනුවෙන් මොනවද කළේ. කිසි දෙයක් කළේ නෑ. 

ඇයි මේ ඔබේ පක්ෂයෙ නවීන් දිසානායකත් අර්ජුන රණතුංගත් පීල්ලෙන් පැනලා කතා කරන්න ගත්තෙ පක්ෂෙ මොකක් හරි ප්‍රශ්නයක්ද?

අනේ එහෙම එකක් නම් නෑ. අර්ජුන රණතුංග මහත්තය නම් අද උදෙත් මාත් එක්ක කතා කළා. එතුමා මහර සංවිධායක. ඒ පත්වීම ගැනත් කතා කළා. නවීන් දිසානායක මහත්තයත් කිව්ව මේ වෙලාවෙ ජාතික සංවිධායක ධූරයෙ කටයුතු කරන්න අමාරුයි කියලා. ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ. 

ඇත්තද රවී කරුණානායක, දයා ගමගේ, මර්වින් සිල්වා කියන අය වෙනම සංවිධානය වෙන්න යනව කියන්නෙ පක්ෂය ගැන කලකිරීමෙන්?

කලකිරීමක් ඇති අය යන්න ඕනෙ වනගත වෙලා තපස් රකින්න. එහෙම නැතුව සංවිධාන හදන්න නෙමේ. 

කවද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු යන්නෙ?

එතුමා අවශ්‍ය වෙලාවට පාර්ලිමේන්තු යයි. 

ආණ්ඩුවට 2/3ක බහුතරයක් තියෙනවා. ඒ ආණ්ඩුවට මුහුණ දෙන්න ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. එතනදි කොහොමද එක්සත් ජාතික පක්ෂයෙ කාර්යභාරය වෙන්නෙ?

ඇත්තටම විපක්ෂය එකතුවෙලා තමයි මේකට මුහුණ දෙන්න ඕනෙ. ඒකට හොඳම නායකයෙක් ඉන්නත් ඕනෙ විපක්ෂයෙ නායකත්වය ගන්න. ඒකට දැනට ඉන්න සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. 

ඒ කියන්නෙ එතුමා පාර්ලිමේන්තු ගියාම විපක්ෂ නායක කරන්න ඕනෙ කියලද?

ඔව්. එතුමා පාර්ලිමේන්තු ගියොත් ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි එකම පුද්ගලයා සහ එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා ඔය කාගෙ කාගෙත් දේශපාලන අනාගතයට හොඳයි එතුමා විපක්ෂ නායක කර ගන්න එක.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00