2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

හරි මාවත තෝරා ගැනීම

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

73 වැනි ජාතික නිදහස් දිනය අපි මහත් අභිමානවත් අයුරින් සැමරුවෙමු. රටේ පවතින තත්ත්වය හේතුවෙන් උත්සවයට චාම් බවක්ද එක් විය. මහජනතාවගෙන් තොරව නිදහස් දිනය සැමරීමට සිදුවීම කනගාටුවට හේතුවක් වුවද පවතින කොවිඩ් වසංගතය හමුවේ ගතහැකි වෙනත් මාර්ගයක් නොතිබිණි. එහිදී ජනාධිපතිවරයා කළ කතාවට රටේ ජනතාවගේ අවධානය දැඩිව යොමු වී තිබූ බවද පෙනී ගියේය. කොවිඩ් වසංගතය හමුවේ රට ඉදිරියට ගෙනයාමේ අසීරු අභියෝගයට තම රජය මුහුණ දෙන ආකාරය ජනාධිපතිවරයාගේ කතාවෙන් පැහැදිලි කරනු ලැබීය.

මෙහිදී රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කළත් රටේ ජනතාවගේ වඩාත්ම අවධානය දිනාගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොදෙන බවටත් මේ මහා අපරාධයට වගකිවයුතු සෑමදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටත් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය බව පැහැදිලිය. පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිවකුටත් අමතක කළ නොහැකි මෙරට යුද්ධය අවසන් වීමෙන් පසුව සිදුවූ දරුණුම ත්‍රස්ත ක්‍රියාව විය. එයට සම්බන්ධ සියලු වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා ප්‍රහාරයේ මියගිය සහ දරුණු තුවාල ලැබූ, දේපොළ අහිමි වූ සියලු වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඇතුළු කතෝලික ජන සමාජය මගින් නගන ලද හඬ ඉතාම ප්‍රබල විය. ඒ පිළිබඳ කරුණු සෙවීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශද තමන්ගේ අවධානයට යොමුවී තිබෙන බවද ජනාධිපතිවරයාගේ කතාවේ සඳහන් විය. ඒ අනුව ඉදිරියේදී කටයුතු සිදුවනු ඇතැයි රටේ ජනතාව දැන් බලාපොරොත්තු තමා සිටින බව රහසක් නොවේ.

ඉදිරි කාලය තුළදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්ම කර්මාන්ත සහ සේවා අංශ වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවද ඊට සහාය ලබාගැනීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි. මෙය පැහැදිලිව රට ඉදිරියේදී යා යුතු මග පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිදුකරන ලද ප්‍රකාශයක් වශයෙන් අපි දකිමු. රටේ ආර්ථිකය වැටිලා කියමින් ඒ පිළිබඳ කම්පා වෙමින් සිටිනවාට වඩා තිබෙන තැනින් ගොඩඒමට ක්‍රමවේද සකසා ගැනීම පාලකයන්ගේ වගකීමය. වඩාත් අමාරු වන්නේ ඒ සඳහා යා යුතු මාර්ග නිවැරදිව හඳනා ගැනීමය. කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ වර්ධනය කිරීමකින් තොරව රටේ ආර්ථිකය නගා සිටුවීමට වෙනත් ක්‍රමයක් තිබේදැයි සැකසහිතය. මේ අරමුණු ජයගැනීම සඳහා පිරිසුදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.

කෙසේ වුවද නවීන ලෝකය රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව මත පමණක් යැපෙමින් කටයුතු නොකරන බවද පෙන්වා දිය යුතුය. රටක ආර්ථික දියුණුවේ ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටුවන්නේ පෞද්ගලික අංශය මගිනි. මේ නිසා දූෂණයේ සහ නාස්තියෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයත් සමඟ කාර්යක්ෂම, ක්‍රියාශීලී පෞද්ගලික අංශයද සංකලනය කර ගැනීම විශාල ප්‍රගතියක් අත්කර ගැනීමේ එක් මාර්ගයකි. පෞද්ගලික අංශය යනුවෙන් සඳහන් කරන විට විදෙස් ආයෝජනද ඒ සමඟ බැඳී තිබෙන බවද තේරුම් ගැනීම අවශ්‍යය. විදෙස් ආයෝජකයන් යනු අපේ රටේ ජාතික සම්පත් කොල්ලකන රටේ කෑලි ගලවාගෙන යාමේ කෑදරකමකින් පෙළෙන අසමජ්ජාති පිරිසක් වශයෙන් සිතනවා නම් විශේෂයෙන් කර්මාන්ත සහ සේවා අංශ මගින් අපේක්ෂිත දියුණුව ළඟාකර ගැනීමේ බලාපොරොත්තු අප අතහැර දැමිය යුතුය. ආයෝජන නොමැති ආර්ථික දියුණුවක් ගැන කතා කිරීම “ජෝක්” එකක් පමණි. ඒ අනුව විදේශ ආයෝජන එක්කර ගැනීමේදී ඊට එරෙහිව බොරු වපුරණ පුද්ගලයන් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකළේ කාලෝචිත අනතුරැ ඇඟවීමක් බව අපගේ විශ්වාසයයි.

දූෂණය සහ වංචාව පිටුදැකීම පිළිබඳ අදහස් දැක්වීම වාර්ෂිකව පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙලවලදී පමණක් නොව වෙනත් බොහොමයක් උත්සව අවස්ථාවලද සුලබ මාතෘකාවකි. එය කතාවට පමණක් නොව ඇතැම් නායකයන් විසින් එය ප්‍රායෝගිකව ඉටු කිරීමට සෑහෙන තරම් උත්සාහ ගත් අවස්ථාද තිබේ. එහෙත් දූෂණය සහ වංචාව රටේ ඉතා ගැඹුරට කාවැදී තිබෙන බරපතළ ව්‍යසනයකි. දූෂිත සහ වංචනික නිලධාරීන් හැමකල්හිම වැජඹෙන්නේ ඊට ආධාර සහ අනුබල දෙන ඔවුන්ට රැකවරණය ලබාදෙන ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අනුභාවයෙනි. රාජ්‍ය සේවය තුළින් දූෂණය සහ වංචාව පිටුදැකීමට නම් ඔවුන්ට සහාය දෙන දේශපාලනඥයන් මුලින්ම හඳුනාගත යුතුය. වංචාවක් සිදුවූ විට ගනුදෙනුවට අස්සන ගැසූ නිලධාරීන් මාරුකර යැවීමෙන් පමණක් මේ ගැටලුවට විසඳුම් සොයාගත නොහැකි බව සඳහන් කරනු කැමැත්තෙමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී මේ ගෙවී යන්නේ 14 වැනි මාසයයි. මේ කාලයෙන් මාස 10ක් පමණ ජනාධිපතිවරයා රටේ පාලනය ගෙන ගියේ කොවිඩ් වසංගතයේ අභියෝගයද සමඟ බව අමතක නොකළ යුතුය. එය අපේ රටට පමණක් නොව මුළු ලොවටම බලපාන බරපතළ ගැටලුවක් වී තිබේ. ඊට සම්බන්ධ සියලු කාරණා රටේ ඉදිරි ගමනට එල්ලකරන බලපෑම් සුළුපටු නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. නිදහස් දිනයේදී ප්‍රකාශ කළ රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා කුණාටු සහ ගල්පර පිරි සාගරයක යාත්‍රා කරන නැවක කැප්ටන් කෙනකු මෙන් ජනාධිපතිවරයාට කටයුතු කිරීමට සිදුවන බව නම් නිසැකය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00