2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ගුවන්තොට ඇරියත් ප්‍රවේසමින්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

බ්‍රහස්පතින්දා (21) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළේ ඕමාන් එයාර් ගුවන්යානය ගොඩබැසීමත් සමඟ මාස ගණනාවකට පසුව මෙරට වාණිජ ගුවන් ගමන්වල ආරම්භය සටහන් විය. සංචාරකයන් 50 දෙනෙකු රැගත් එම ගුවන් යානය මස්කට් ගුවන්තොටුපළේ සිට පැමිණ තිබිණි. එය කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදැමුණු කටුනායක ගුවන්තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත වූ අවස්ථාවද විය. මත්තල ගුවන් තොටුපළද යුක්රේන සංචාරකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් යළිත් සජීවී තත්ත්වයට පත්වුවද ශ්‍රී ලංකාවේ දොරටුව නිල වශයෙන් විදෙස් සංචාරකයන්ට විවෘත වූයේ 21 වැනිදා පැමිණි ගුවන් යානා සමඟිනි.

කොවිඩ් කරදර අස්සේ වුවද ගුවන්තොටුපළ විවෘත කර ගැනීම සම්බන්ධයෙන් රට තුළ ඇත්තේ මිශ්‍ර හැඟීමක් බව පළමුවෙන්ම කිවයුතුය. මාස ගණනාවක් තිස්සේ ගුවන් තොටුපළ වසා තැබුණේ කොවිඩ් මර්දනයේ මූලික අවශ්‍යතාවක් ඉටුකිරීම සඳහාය. සංචාරකයන් වශයෙන් නොව පිටරටින් රාජකාරි අවශ්‍යතා සඳහා පැමිණෙන සහ විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීමද ගුවන්තොට වසා දැමූ කාලය තුළද සිදුවිය. ඒ සඳහා කුලී ගුවන් යානා යොදාගනු ලැබීය. එසේම විවිධ අවශ්‍යතා සඳහා එතෙර ගමන් යෙදුණු පිරිස්වලට පිටත්ව යාමටද ගුවන්තොටේ පහසුකම් සලස්වා තිබිණි. එහෙත් නිල වශයෙන් ගුවන්තොට තිබුණේ දොරගුළු දැමූ තත්ත්වයකය. රටේ ප්‍රධාන ගුවන්තොටුපොළ එසේ වසා තැබීමට සිදුවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කිසිවකුගේ සතුටු විය නොහැකි තත්ත්වයකි. එසේම එය රටට වාර්ෂිකව ලැබෙමින් තිබූ ඩොලර් බිලියන 06ක පමණ ආදායම අහිමි වීමේ සංකේතයද විය. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් වෙනත් ගතහැකි පියවරක් තිබුණේද නැත.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වාණිජ ගුවන් යානා සඳහා විවෘත කිරීමටත් ඒ හරහා සංචාරකයන් රට තුළට ගෙන්වා ගැනීමටත් රජය සැලසුම් හැදුවේ මේ කාරණා සැලකිල්ලට ගනිමින් බව පෙනේ. සංචාරක කර්මාන්තයෙන් මෙරට පවුල් ලක්ෂ 03කට අධික ප්‍රමාණයක් ඍජු සහ අනියම් වශයෙන් යැපෙමින් සිටි බවද සඳහන්ය. මේ නිසා කොවිඩ් නිසි ලෙස මර්දනය නොවී පවතින අවස්ථාවකදී වුවද හැකි පමණින් ගුවන් තොටුපළ විවෘත කිරීමට රජය ගත් පියවර වැදගත් වෙයි. එසේම එය රටේ ජනතාවට කිසියම් සැනසුම් සුසුමක් හෙලීමට ලැබූ අවස්ථාවකි. 

එහෙත් ගුවන්තොටුපළ විවෘත වීමේ සතුට තිබුණද ඒ හරහා රට තුළට කොවිඩ් ආසාදිතයන් පැමිණීමට තිබෙන ඉඩකඩද සංචාරකයන් රට තුළ සිදුකරන සංචරණ කටයුතුවලදී වෛරසය ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩද සම්බන්ධයෙන් ජනතාව තුළ කිසියම් කුකුසක් පවතින බවද කිව යුතුය. එය බලාපොරොත්තු විය යුත්තකි. එහිදී පරෙස්සම ඉතාම වැදගත් සාධකයයි.

මාස 10කට පමණ පසුව මෙසේ ඇරඹීමට වෙරදරන සංචාරක ව්‍යාපාරය එකවරම ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීම සුදුසු නැත. තව ටික කාලයකින් හෝටල් පිරී ගොස් සංචාරකයන් රටපුරා සැරිසරනු ඇතැයි බලාපොරොත්තු වීම නිෂ්ඵලය. එසේ විය යුතුද නැත. සියල්ලටම පළමුව රටේ ජනතාවගේ ආරක්ෂාව අංක එකට තිබිය යුතුය. ගුවන් තොටුපළ විවෘත කිරීම හරහා ජනතාව තුළ ඇතිවන බලාපොරොත්තු ලත් තැනම ලොප් නොවන බවට වග බලාගැනීම බලධාරීන්ගේ ලොකුම වගකීම වෙයි. සංචාරක කර්මාන්තය ඉදිරියේදී කොතරම් දුරකට ව්‍යාප්ත වනු ඇතිදැයි යන්න තීරණය වනු ඇත්තේ එම වගකීම ඉටුවන තරමටය.

අප මේ කරුණු පෙන්වා දෙන්නේ යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම කිසිදු වෘත්තීමය භාවයකින් තොරව සිදුවෙනු බලා සිටි නිරීක්ෂකයන් වශයෙනි. යුක්රේන  සංචාරකයන් පිරිස ගෙන්වා ගැනීමේදී බොහෝ අඩුපාඩු සිදුවිය. අඩුම තරමින් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් හෝ මේ පිළිබඳව විධිමත් ආකාරයකට දැනුවත්ව සිටියේ නැත. යුක්රේන සංචාරකයන් ගෙන්වා ගැනීම තනි පුද්ගලයකුගේ ඒකාධිකාරයකට යටත්ව තිබූ බවටත් ඔහු බලවත් පුද්ගලයකු වශයෙන් පෙනී සිටිමින් සියල්ලන්ටම ඉහළින් කටයුතු කළ බවටත් වන හැඟීමක් රට තුළ පැතිරුණේය. ඊට අදාළ වැදගත් ප්‍රශ්න සමාජ මාධ්‍යවල සැර කටගැසුම් බවට පත් වී හතර අතේ විවේචනයට ලක්වූ බවත් ප්‍රසිද්ධ රහසකි. ඇතැම් සංචාරක ගමනාන්ත දේශීය සංචාරකයන් සඳහා වසා දැමුණේ තනි පුද්ගලයකුගේ කට වචනයට අනුව බවටද චෝදනා නැගුණි. එය සත්‍ය නම් රටට මෙතරම් වැදගත් ව්‍යාපාරයක් එලෙස සිල්ලර තත්ත්වයට වැටීම ගැන අපට ඇතිවන්නේ කනගාටුවක් පමණි. එවැනි අත්දැකීමක් කටුනායක විවෘත වීමේදී ඇතිවීමට ඉඩ නොදිය යුතුය.

මේ හේතූන් නිසා අප කියන්නේ නැවුම් බලාපොරොත්තු ඇතිව ආරම්භ කළ සංචාරකයන් ගෙන්වා ගැනීම ඉහළ වෘත්තීය මට්ටමකින් සිදුවීම අවශ්‍ය බවය. සංචාරකයන් පැමිණිය යුත්තේ සති කිහිපයකට පමණක් නොවේ. එය ව්‍යාපාරික වශයෙන් පෙර තිබූ තත්ත්වයට ක්‍රමානුකූලව ළඟාවනු දැකීම මේ රටේ සියලු දෙනාගේ බලාපොරොත්තුව බැවිනි. එම බලාපොරොත්තු කඩ නොවීමට නම් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව හොඳ වැටහීමක් ඇතිව සැලසුම් ක්‍රියාවට නැංවීම වැදගත් වෙයි.

කොවිඩ් වසංගතය ලොව තුළ හැමදාම පවතින්නේ නැත. එහෙත් තවත් සෑහෙන කාලයක් යනතුරු ලෝ වාසී සියලුදෙනාටම කොවිඩ් සමඟ ජීවත්වීමට සිදුවන බවද තේරැම් ගත යුතුය. කොවිඩ් සමඟ ජීවත්වීමට පුරුදු වීම හරහා කොවිඩ් තුරන් වූ ලෝකයකට පා තැබීම ඉතාම පහසු වනු ඇත. සංචාරක ව්‍යාපාරය යනු එවන් ලෝකයක අංක එකට වර්ධනය වන ව්‍යාපාරයක් බවත් ශ්‍රී ලංකාවද එම ව්‍යාපාරයේ වැදගත් තැනක් උසුලන බවත් අමතක නොකළ යුතුය.