2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

රෙඩ් කාඩි සහ මැයි කාඩ්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

ලෝකෙ පුරාම මැයි දිනය සමරන්නේ ඒ ඒ රටවල කම්කරු ජනතාව එකතුවෙලාය. කොමියුනිස්ට් රටවල නම් ආණ්ඩුවේ නායකයනුත් එදාට කම්කරුවෝ වෙති. ඔක්කොම එදාට රතුය. සෙසු බොහෝ රටවල්වලද මැයි දිනය පෙනෙන්නේ රතු පාටින් පමණි. හැබැයි ලංකාවේ නම් එහෙම නැත.

ලංකාවෙ මැයි දිනය සැමරෙන්නේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. තනි රතුපාටින් පෙනිය යුතු මැයි පෙළපාළි පක්ෂවල පාටත් සමඟ මුසු වී විවිධ වර්ණවලින් දැකගත හැකිවෙයි. යූ.එන්.පී.ය කොළ පාටද, ශ්‍රීලනිපය නිල් පාටද, තම මැයි රැලිවල රතු පාට සමඟ කළවම් කර ගනියි. තවත් තැනක දම්පාටද එකතු වන බව දැකිය හැකිය. ජ.වි.පෙ පමණක් තනි රතු පාටින් තම මැයි දිනය සමරයි. මේ නිසා ලංකාවේ දැකිය හැකිවන්නේ රතුම රතු මැයි දිනයක් වෙනුවට පාට පාට මැයි දිනයකි.

මැයි දිනය ගැන මෙසේ කතා කිරීමට සිදුවුණේ වෙන වසරවලටත් වඩා මෙවර එකම පක්ෂයක බලය උරගා බැලෙන අවස්ථා කීපයක්ම එළැඹ තිබීම හේතුවෙනි. බලයේ සිටින නිල් සහ කොළ පක්ෂ දෙකම මැයි දිනය සමඟ ගැටලුවලට මුහුණදෙමින් සිටින බව දැනටම පෙනෙන්නට තිබේ. යූ.එන්.පී.යේ ගැටලුව පසුව කතා කරන්නට තබාගෙන මුලින්ම ශ්‍රීලනිපයේ ප්‍රශ්නය කතා කරමු.

මැයි දින රුලිය පවත්වන භූමිය වඩාත්ම වැදගත් වන්නේ ඒ ඒ අවස්ථාවලදී රටේ අවධානය වඩාත්ම යොමුව තිබෙන පක්ෂයකට හෝ පක්ෂයකින් කැඩී ගොස් තිබෙන කොටසටය. එයට හේතුව මැයි දිනය තමන්ගේ පක්ෂයේ හෝ පක්ෂ කෑල්ලේ ජනපදනම පෙන්වීමේ අවස්ථාවක් වන බැවිනි. සාමාන්‍යයෙන් ආණ්ඩුව කරවන පක්ෂය හෝ පක්ෂවලට විරැද්ධ ආසන්නම ප්‍රබල පක්ෂයට ලබාදෙන භූමියට හැමදාමත් කඹ ඇදීම් පවතී. විරැද්ධකාරයන් ඉල්ලන භූමිය ලබාදීමට කිසිම ආණ්ඩුවක් කැමැති නැත. බොහෝ වෙලාවට ලබාදෙන්නේ අඩු සෙනඟක් රැඳවිය හැකි වැඩිපුර ඇස නොගැටෙන ස්ථානයක භූමි භාගයකි. ප්‍රසිද්ධ පිට්ටනි සතුරු දේශපාලන පක්ෂවලට ලබාදීමක් සිදුවන්නේ නැත. එහෙත් මෙවර එහි වෙනසක් පෙනෙන්නට තිබේ.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශ්වය අතර පසුගිය වසර දෙකේම මැයි දින රැස්වීම් පැවැති භූමියට ගැටලු පැන නැගුණේය. මහින්ද පාර්ශ්වය දිගටම කියා තිබුණේ තමන් ඉල්ලන භූමිය ලබානොදීම නිසා තමන්ගේ ශක්තිය පෙන්වීමට නොහැකි වූ බවය. මෛත්‍රී පාර්ශ්වයේ කසකාරයන් කිව්වේ මොන පිට්ටනිය දුන්නත් මහින්ද පාර්ශ්වයට සෙනඟක් නැති බවය. මැයි දිනයට මහින්ද පාර්ශ්වය සහභාගි වන්නේ තනිවම නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ සෙසු පක්ෂවලද සහාය ඇතිවය. ඒ අතුරින් දිනේෂ්ගේ සහ විමල්ගේ පක්ෂයේ ආධාරකරැවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටියත් විශාලම බහුතරය එන්නේ මහින්ද පාර්ශ්වයේ ආධාරකරැවන්ගෙනි. ඒ කියන්නේ ශ්‍රීලනිපයෙනි. ශ්‍රීලනිපය ඇතුළේ තමන්ට ඇත්තේ වැඩි බලයක් බව පෙන්වීමට මහින්ද පාර්ශ්වය දිගටම උත්සාහ ගනිමින් සිටින බවද දිගටම පෙනෙන්නට තිබේ. මේ නිසා පසුගිය වතාවේ ලබාදුන් කිරුළපන භූමිය ඉඩ මදියැයි කියා ඒකාබද්ධ විපක්ෂය මෙවර ඉල්ලා සිටියේ ගෝල්ෆේස් පිට්ටනියයි. මේ ඉල්ලීම කරමින් ඒකාබද්ධ විපක්ෂය කියා සිටියේ තමන්ට පිට්ටනි පිරවීමට අවශ්‍ය සෙනඟ ඕනෑතරම් සිටින බවය. හැබැයි මේ ඉල්ලීම කරද්දී තමන්ට ගෝල්ෆේස් පිටිය ලබාදීමට ආණ්ඩුව තීරණය කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය තුන්හිතකවත් නොසිතන්නට ඇති බවනම් සහතිකය.

දැන් ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලූ පරිදිම ගෝල්ෆේස් පිට්ටනිය ලබාදී තිබේ. මේ නිසා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මෙවර ඒකාබද්ධ විපක්ෂයට මැයි රුලිය පැවැත්වීමට සිදුවන්නේ ගෝල්ෆේස් පිට්ටනියේය. එනම් ලංකාවේ වැඩිම සෙනඟක් රුස්කළ හැකි පිට්ටනියේය. මේ ගැන පසුගිය දිනවල විවිධ මට්ටමේ කතාබහ අසන්නට දකින්නට තිබුණි. යූ.එන්.පී.ය මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ ඔන්න අපි ඉල්ලපු විදියටම ගෝල්ෆේස් පිට්ටනිය දුන්නා. පුළුවන් නම් සෙනඟ පුරවලා පෙන්වන්නැයි කියාය. නමුත් ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයෙන් නම් කිසිවක් පැවැසුණේ නැත. එහෙත් මහින්ද පාර්ශ්වයෙන් කීපදෙනකුම ගෝල්ෆේස් අභියෝගයට පිළිතුරැ බැඳ තිබෙනු දකින්නට හැකි විය.

කටට බ්‍රේක් නැතුව කතා කරන්නට ගොස් අවස්ථා කිහිපයකදීම එළියට දැමූ වචන සෙට්එක ආපසු ගිලගන්නට සිදුවූ බන්දුල ගුණවර්ධන කියා තිබුණේ අපි ලක්ෂ 20ක් ගෙනැවිත් ගෝල්ෆේස් පිට්ටනිය පිරවීමට ක්‍රියා කරනවා කියාය. ඒ කතාවට මුලින්ම උත්තර ලැබුණේ ආණ්ඩු පක්ෂයෙන් නොව ඒකාබද්ධ විපක්ෂයේම කීපදෙනකුගෙනි. බැසිල් කියා තිබුණේ ගෝල්ෆේස් පිට්ටනියේ රුඳවිය හැකි සංඛ්‍යාව ලක්ෂයක් පමණක් බවය. තවත් ප්‍රධානියකු කියා තිබුණේ ගෝල්ෆේස් පිට්ටනිය පිරවීමක් ගැන කතා කිරීම පවා නිෂ්ඵල ක්‍රියාවක් බවය. මහාචාර්ය ජී.එල් පීරිස් ද ගෝල්ෆේස් පිට්ටනියට සෙනග ගෙන්වීම අභියෝගයක් නොවන බව ප්‍රකාශ කර තිබුණි. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කියා තිබුණේ ගෝල්ෆේස් පිට්ටනියට සෙනග ගෙන ඒමේ අභියෝගය තමන් බාරගන්නා බවය.්‍

කෙසේවුවද පෙනෙන්නට තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට තමන්ගේ මැයි රුලියට ගෝල්ෆේස් පිට්ටනිය දෙන්නැයි කළ ඉල්ලීම පාරාවළල්ලක් විය හැකි බවය. ඡන්දයක් පෙනෙන තෙක් මානයක නැති කල මැයි දිනයට පාක්ෂිකයන්ගේ තිබෙන උනන්දුවේ තරම කොතරම්දැයි බොහෝ පක්ෂ නායකයෝ දැන සිටිති. ආණ්ඩු පක්ෂය මෙන් නොව, විපක්ෂයේ කුමන පක්ෂයක් මැයි රැලියක් සංවිධානය කළත් ඒ සඳහා සෙනඟ ගෙන ඒමේදී දරන්නට සිදුවන වියදමත් කරන්නට ඇති සංවිධාන කටයුතුත් සුළුපටු නැත. වරින් වර පැවැත්වෙන රුස්වීමකට මෙන් නොව මැයි දිනයට ඒ වෙනුවෙන්ම සෙනඟ ගෙන්වාගැනීමට අවශ්‍යය. මහින්දත් සමඟ නැඟිටිමු රැස්වීම් ආරම්භ කළ කාලයේ වැනි උද්යෝගය හිණිපෙත්තටම ගිය කාලයක මැයි දිනයට ස්වේච්ඡාවෙන්ම පැමිණෙනු ඇතැයි කිවහැකි විශාල සංඛ්‍යාවක්ද සිටින බව සැබෑවකි. නමුත් දැන් පවතින තත්ත්වය එසේම යැයි කීම අපහසුය. මැයි දිනය දවසේ ගෝල්ෆේස් පිටිය අඩක් හෝ පිරවීමට සෑහෙන සෙනඟක් ගෙන්වා ගත හැකි වුවොත් ඒකාබද්ධ විපක්ෂය ගොඩය. එසේ නොවුණොත් මැයි දිනයට ගෝල්ෆේස් පිට්ටනිය ඉල්ලුවා වාගේ යැයි පිරුළක් හැදෙන්නට වුවද බැරිකමක් නැත. දැන් වුවත් තමන් ගත්තේ හරි තීන්දුවක්දැයි එම ඉල්ලීම කළ ලොකු ලොක්කන්ට හිතෙන්නේ නැතිනම් පුදුමය.

තවත් අතකට ගෝල්ෆේස් පිටියට සෙනඟ ගෙන එන බවට අභියෝග බාරගන්නා සියලුම මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරැන් සිදුකරන්නේ ශ්‍රීලනිපය තවදුරටත් දෙකඩ කොට භේදබින්න කිරීම බව පැහැදිලිය. එසේ සෙනඟ ගෙන ආ යුත්තේ ශ්‍රීලනිප පාක්ෂිකයන් අතරින්මය. ශ්‍රීලනිප පාක්ෂිකයන් දෙකට බෙදී මැයි දිනය සැමරීමේ වාසිය කෙළින්ම යා යුත්තේ යූ.එන්.පී.යටය. නමුත් එය එසේම වෙයිද? 

පසුගිය සතියේ යූ.එන්.පී මැයි දින සංවිධාන රුස්වීම් දෙකකදී වූ සිදුවීම්වලින් පෙනෙන්නේ යූ.එන්.පී.යටත් මැයි දිනය සාර්ථක කරගැනීමට සෑහෙන ධෛර්යයක් ගත යුතු බවය. මෙයින් පළමු සිද්ධිය වූයේ අම්බලන්ගොඩ රැස්වීමකදීය. එහිදී පී. හැරිසන් සහ වජිර අබේවර්ධන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බලපිටිය රත්ගම, අම්බලන්ගොඩ සහ කරන්දෙණිය ආසනවල පක්ෂ ක්‍රියාකාරිකයන් මැයි දිනය ගැන දැනුවත් කිරීමේ රැස්වීමකදී ඇමැතිවරුන්ට සිදුවූයේ එහි රැස්ව සිටි පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ රැවුම් ගෙරවුම්වලට මුහුණදීමටය. යූ.එන්.පී. පාක්ෂිකයකුට රස්සාවක් දීගන්න බැරිවීම, සහල් ඇතුළු බඩු මිල ඉහළ යාම වැනි ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වනවිට ඇමැතිවරැ දෙදෙනා සිදුකළේ ඒවාට උත්තර බැඳීම නොව, රුස්වීමෙන් ඉවත්ව යාමය. මෙයින් සිදුවූයේ පාක්ෂිකයන් තවදුරටත් කෝප ගැන්වීමයි. මැයි දින සූදානම කෙසේ වෙතත් යූ.එන්.පී. පාක්ෂිකයන්ට සිදුවූ අසාධාරණකම් ගැන එහිදී කතා කෙරිණි. ‍තමන්ට නැති රස්සා ශ්‍රීලනිප ඇමැතිලා දුසිම් ගණනින් පාක්ෂිකයන්ට ලබාදෙන බවට දිගටම චෝදනා එල්ල විය.

මේ පාක්ෂිකයන් ආසන හතරේ ප්‍රබල ක්‍රියාකාරීන් බවද ඔවුන්ගේ දුක්ගැනැවිලිවලට කන් නොදී ඇමැතිවරුන් මාරුවීම නිසා මේ පිරිස කෝපයට පත්වූ බවද දැනගන්නට ලැබුණි. මේ තත්ත්වය යූ.එන්.පී.යට හොඳ නැති බව කීම අවශ්‍ය නැත. රට ඇතුළේ පාක්ෂිකයන් අද පත්ව සිටින පීඩනය ඊළඟට පුපුරා ගියේ මාතලේ යූ.එන්.පී. බලකණු වන අළුවිහාරේ පවුලේ සාමාජිකයකුගෙනි.

මාතලේ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගි වූ දිස්ත්‍රික් බලමණ්ඩල රුස්වීමේදී ආණ්ඩුවට එරෙහිව මේ ප්‍රබල විවේචනය සිදුකළේ ඩල්ජිත් අළුවිහාරේය. ඔහු මාතලේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයාය. තම සොහොයුරැ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ මහතාද මූලාසනයේ තබාගෙන ඩල්ජිත් කියා තිබුණේ ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එජාපය පරදින බවය. පාක්ෂිකයන් යූ.එන්.පීයට ඡන්දය නොදෙනු ඇතැයි කී ඔහු මේ ආණ්ඩුව යටතේ යූ.එන්.පී. පාක්ෂිකයන්ට කිසිදු වැඩක් වී නැති බවත්, මාතලේට කැබිනට් ඇමැති ධූරයක් නැති බවත් කීය. ඉහළ ගොස් තිබෙන බඩු මිල ගැනද ඔහු කතා කළේය. තමන්ව රැස්වීම්වලට කැඳවීම සහ මැයි දිනයට යොදවා ගැනීම ගැන ඔහු දැඩි ආවේගයකින් කතා කර තිබුණි. ඔහුගේ අනෙක් සොහොයුරා වන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අළුවිහාරේ මහතාද එහි සිටියේය. ඊට අමතරව කම්කරු නියෝජ්‍ය ඇමැති රවී සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත රැස්වීමට සහභාගිව සිටියත් ඔවුන් කිසිවකුටත් පිරිස සන්සුන් කරගැනීමට හැකිවූයේ නැත. මේ නිසා රැස්වීම අතරමගම නතර විය.

මැයි රැලියට පාක්ෂිකයන් සූදානම් කරගැනීම යූ.එන්.පී. නායකයන්ටද කොතරම් දුෂ්කර කාර්යයක් වනු ඇතිදැයි සිතා බැලීමට මේ සිදුවීම් දෙක පමණක් ප්‍රමාණවත්ය. මේ සිදුවීම් ගැන යූ.එන්.පී. නායකත්වයේ ප්‍රතිචාරය තවම දැනගන්නට නැතත් මාතලේ ඩල්ජිත් සහ අම්බලන්ගොඩ සංවිධායක ඩෙනට් දෙදෙනාට එරෙහිව පක්ෂ ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියාකළ බවට ඇති චෝදනා ගැන විනය පරීක්ෂණයක් පැවැත්වීමට යූ.එන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය බදාදා (05) පැවැති රුස්වීමේදී තීරණයක් ගෙන ඇතැයි ප්‍රකාශ වී තිබුණි. විනය පරීක්ෂණ පැවැත්වීමට ගන්නා තීන්දුව ක්‍රියාත්මක කිරීම කෙසේ වුවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකුම ප්‍රකාශ කර තිබුණේ සංවිධායකයන් මුහුණදෙන ප්‍රශ්න ගැන අවබෝධයකින් ක්‍රියා කිරීම වැදගත් බවය. පක්ෂයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගෙන් එල්ලවෙන පීඩනය ආසන සංවිධායකයන්ගෙන් මුදාහැරෙන විට එයින් ප්‍රකාශ වන සංඥාව තේරැම් ගැනීම වඩා වැදගත් බව ඔවුන්ගේ අදහසය. කොළඹ සිට කුමන තීරණය ගත්තත් මැයි දිනයට පාක්ෂිකයන් බලෙන් කැඳවාගෙන ඒමට කිසිම සංවිධායකවරයකුට හැකියාවක් නැත. එවැනි බලකිරීමක් පාක්ෂිකයන්ට ඇති කිරීමට නම් ඔවුන්ගේ අවශ්‍යතා යම් පමණකට හෝ ඉටුකර තිබීම වැදගත්ය. දැන් ආණ්ඩුව පිහිටුවා මේ ගතවෙන්නේ තුන්වැනි වසරය. මේ වනවිටත් පාක්ෂිකයන් වෙනුවෙන් රුකියා ලබාදීමට හෝ වෙනත් ඇසට පෙනෙන ක්‍රියාමාර්ග ගැනීමට හෝ පක්ෂයට නොහැකි නම් පාක්ෂිකයන් කලකිරෙන බව නායකයන් දැන නොසිටින්නට හේතුවක් නැත. මේ බව ඇතැම් ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරැන්ද දැන සිටින නමුත් ඔවුන් තමන්ට සිදුවිය හැකි අවාසි හේතුවෙන් ඒ ගැන කිසිවක් නොකියන බව සමහරැන්ගේ මතයයි.

යූ.එන්.පී.ය තුළ පක්ෂයේ ප්‍රතිසංවිධානයක් පිළිබඳව කතා පැතිර යන්නේ මේ පසුබිම යටතේය. ප්‍රධාන නිලතල කිහිපයකට අලුතින් සාමාජිකයන් පත්කිරීමටත් තරැණ කොටස් අතට යම් වගකීම් පැවැරීමටත් සිදුකෙරෙන බව කියන මේ තනතුරු වෙනස මැයි දිනයෙන් පසුවට කල්යන බවද සඳහන් වෙයි. එම තීරණයද කෘත්‍යාධිකාරී කමිටුව මගින් ගනු ලැබූ බව කියන අතර මැයි දිනය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමටද තීරණය වී තිබිණි. කෙසේ වුවද තනතුරු වෙනස් කිරීම් කල්තැබීමට හේතු වූයේ මැයි දිනය නිසාම පමණක් නොවන බවද දැනගන්නට තිබේ. එදින කෘත්‍යාධිකාරී කමිටු රැස්වීම අවසන් වීමෙන් පසුව ඇති කරන්නට බලාපොරොත්තු වන නව තනතුරැවලට යෝජනා වී ඇති නම් පිළිබඳව පෞද්ගලික මත දැක්වීම් කීපයක් සිදුව තිබෙන බව කියති. එහිදී එක් උපනායක තනතුරක් සඳහා යෝජනා වී ඇති සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ නම පිළිබඳව බොහෝ දෙනකුගේ අකැමැත්ත පළ වී තිබේ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඉන් පසුව ඇමැති ධූරයක්ද ලබා ගත් සරත් ෆොන්සේකා දැන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට හිමි විය යුතු තනතුරකට ඉතාම කෙටි කාලයක් තුළදී පත්කරන්නට යාම ඔවුන්ගේ උදහසට හේතු වී තිබේ. 

පක්ෂයේ පැරැණි සාමාජිකයන්ව සිටිමින්, පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර ඇති ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා අලුතින් පක්ෂයට සම්ප්‍රාප්ත වූ පුද්ගලයකුට පක්ෂයේ උපනායක තනතුරක් පිරිනැමීමට යෝජනාවීම මේ පිරිසගේ විරෝධයට හේතු වී තිබේ. මේ ගැන ඔවුන් තවම පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡාවකර නැතත් ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ඇති බවක් ද සඳහන්ය. නමුත් පක්ෂයේ කටයුතු පිළිබඳව කළකිරීමකින් කතා කළ එක් යූ.එන්.පී. දේශපාලනඥයෙක් මාධ්‍යවේදියකුට මේ මෑතකදී ප්‍රකාශ කර තිබුණේ තමන්ට පක්ෂයේ නායකයෝ මුණගැසී කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත් එසේ ලැබුණත් එය තත්ත්පර 15කට හෝ 30කට පමණ සීමාවන බවත්ය. මේ තත්ත්වය යටතේ තම පාක්ෂිකයන්ට කිසිදු සේවයක් ලබාදීමට ඇති අවස්ථාව අහිමි වී ඇති බවත් ඔහු කියා තිබුණේය. තනතුරැ වෙනස් කිරීමට පෙර සිතන්නට බොහෝ දේවල් තිබෙන බව මේ කතා බහවලින් පැහැදිලි වෙයි. 

මේ අතර යූ.එන්.පීයත් ශ්‍රීලනිපයත් අතර පවතින ගැටුම් වලදී ශ්‍රීලනිපය පැත්තෙන් ලොකු කාර්යභාරයක් ඉටු කරන ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (06) සිදුකළ ප්‍රකාශයකින් දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කැළඹීමක් ඇතිකර තිබේ. ඔහුගේ ප්‍රකාශයද මැයි දිනයට සම්බන්ධ වුවත් ඒ තුළ මැදි දිනයට එහා යන පණිවුඩයක් තිබූ බව බොහෝ දෙනාගේ අදහසය. ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඩිලාන් කිව්වේ ජනාධිපතිතුමා බලය පාවිච්චි කරනවා මදි කියාය. ඔහුගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.

ජනාධිපතිතුමා බලය පාවිච්චි කරනවා මදි. අපි හදන්නේ එතුමා ජනාධිපති බව මතක් කරලා දෙන්නයි. ඒ බව මෙවර මැයි දිනයේදී මතක් කර දෙනවා. බලය පාවිච්චි කළ යුතු තැන්වල එය පාවිච්චි නොකිරීම වැරදියි. නමුත් ඒක සිද්ධ වෙනවා. ජනාධිපති බලතල වෙනත් අයට පාවිච්චි කරන්න දෙන්න එපා කියලා අපි මෙවර මැයි රුලියේදී මතක් කරලා දෙනවා එසේ කියු ඩිලාන් එතැනින් නැවැතුණේ නැත.

යෙලෝ කාඩ් පාවිච්චි කළා ඇති. දැන් රෙඩ් කාඩ් පාවිච්චි කරන්න කාලේ හරි කියලා ජනාධිපතිතුමා හිතවන්න අපි මේ මැයි දිනය යොදාගන්නවා. මෙවර මැයි රුලියේදී විශේෂ දේශපාලන ඉඟියකුත් ලැබෙනු ඇති. ජනාධිපතිතුමා දන්නෙ නැහැ එතුමා ජනාධිපති බව, රනිල් මහත්තයා දන්නෙ නැහැ එතුමා අගමැති බව. හිතාගෙන ඉන්නෙ විපක්ෂ නායක කියලයි. මහින්ද මහත්තයා හිතාගෙන ඉන්නේ එතුමා ජනාධිපති කියලා. චන්ද්‍රිකා නෝනත් එහෙමයි. හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලයි.

ඩිලාන් මේ ජනාධිපතිට කියන්නේ කාට රෙඩ් කාඩ් පෙන්නන්න දැයි කියන්න දන්නෙ නැත. බලය පාවිච්චි කළ යුතු තැන එය නොකරන බව කියන්නේ මොන මොන අවස්ථා වලදී දැයි ඔහු ඇඟවීමක් වත් කර නැත. ඒ වුණත් ඩිලාන් මේ අදහස් ටික ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ දැනුවත්භාවයකින් තොරව යැයි යම් කිසිවකු පවසන්නේ නම් ඒ බව පිළිගන්නට බොහෝ දෙනකු සූදානම් නැති වග නම් පැහැදිලිය. 

පසුගිය දිනවල බොහෝම උණුසුම් ලෙස කතාබහට ලක්වූ ඇමැති මාරුව සිදු නොවන තැනට වැඩ සිදුවෙමින් තිබීම මීට එක් හේතුවක් විය හැකිය. ඒ බවට එක් ඉඟියක් ඊට කළින් දවසේ එස්.බී. මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණි. එහිදී ඇමැති මණ්ඩල මාරුව කෙරෙන්නේ අභ්‍යන්තර අර්බුදයක් නිසාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරැ වශයෙන් එස්.බී. කියා තිබුණේ පොඩි අර්බුදයක ආණ්ඩුව සිටින බව තමන් පිළිගන්නා බවය. චෝදනා තිබෙන තැන් වෙනස් කිරීම හොඳ බවද ඔහු සඳහන් කර තිබුණි. එසේම එස්.බී. කියා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට සැබැවින්ම ආදරය කරන්නේ නම් දැන්වත් ඔහු ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවය. එසේම ඔහු පක්ෂයේ කල්ලි ගැසීම් ගැනද සඳහන් කරමින් කියා තිබුණේ පක්ෂයක කුමන කල්ලියක් හැදුණත් අවසානයේ පක්ෂය ඉතිරි වී කල්ලිය දිය වී යන බවට ඉතිහාසය සාක්ෂි දරණ බවය. 

ජනාධිපති බලය පාවිච්චි කරනවා මදි යැයි ඩිලාන් කිව්වේ ඊළඟ දවසේය. ජනාධිපතිවරයා රෙඩ් කාඩ් පෙන්වනු ඇත්තේ ශ්‍රීලනිපයේ කල්ලි කාරයන්ටද යූ.එන්.පියේ කෙරුම් කාරයන්ටද කියා බලාගැනීමට තව ටික කාලයක් සිටිය යුතුය.

 ශශින්ද්‍ර