පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපති කේ. පලනියන්ඩි සුන්දරම් මහතා මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා බෙදාහැරීම පිළිබඳ හසළ අත්දැකීම් හා දැනුමක් ඇත්තෙකි. ඔහු සිංහල දමිළ අවුරුදු සමයේ වෙළඳපොළ හැසිරීම ඇතුළු වෙනත් කරුණු පිළිබඳව දේශය සමඟ කළ සාකච්ඡාවයි මේ.
ඔබ පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපති වශයෙන් කොයිතරම් කාලයක් කටයුතු කර තිබෙනවද?
බණ්ඩාරවෙල සිට කොළඹට පැමිණ වසර හතළිහක් පමණ මම ව්‍යාපාරික කටයුතු කරනවා. අනතුරුව පිටකොටුව වෙළෙඳ සංගමයට සම්බන්ධ වී වසර විසිපහක් පමණ සංගමයේ සභාපතීත්වය දරනවා.
ඔබ මේ කටයුතු කළ කාලය තුළ ඔබට දේශපාලනඥයන්ගෙන්, රටේ නායකයන්ගෙන් බලපෑම් එහෙම එල්ල වෙලා නැද්ද?
එහෙම කිසිම දේශපාලනඥයෙක්, රජයක් අපිත් එක්ක ගැටලුවක් ඇතිකරගෙන නැහැ, හානියක් කරලා නැහැ. ආණ්ඩුවත් එක්ක සම්මුතිකාමී ගමනක් පවත්වාගෙන යන්න පුළුවන්කමක් අපිට තිබුණා. ආණ්ඩුව වුණත් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය දේවල් කරලා දෙන්න ඉදිරිපත් වෙනවා. ව්‍යාපාරිකමය වශයෙන් යම් ගැටලුවක් ඇතිවුවහොත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැතිඇමැතිවරු එක්ක අපි සාකච්ඡා කරනවා. සාකච්ඡාවෙන් අපේ ගැටලු විසඳගන්නවා.
ඔබට රාජ්‍ය නායකයකු නැත්නම් බලවතකු කතා කර බඩු මිල අඩුවැඩි කරන්න තර්ජනය කළ අවස්ථා එහෙම තිබුණද?
එවැනි අවස්ථා ඇතිවෙනවා. මිල අඩුකරන්න වැඩිකරන්න කියලා ඉල්ලීම් කරනවා. ඒත් කිසිම දවසක තර්ජනාත්මකව ගැටුම් ඇතිකරගන්න තත්ත්වයකට ගිහින් නැහැ. අවුරුදු සමයේ බඩු මිල අඩුකරන්න රජය අපට උපදෙස් දෙනවා. එහෙම අවස්ථාවන්වල අපේ ඉල්ලීම් රජයට අපි ඉදිරිපත් කළොත් රජයත් අපේ ඉල්ලීම්වලට සවන්දී සාධාරණයක් ඉටුකරනවා. ව්‍යාපාරිකයන් විදිහට අපි ලෝක වෙළඳපොළේ භාණ්ඩ තියෙන මිලට මිලදීගෙන සාධාරණ ලාභයක් සහිතව රට තුළ බෙදා හරිනවා. මිල අඩුවෙද්දී අඩු මිලටත් මිල වැඩි වෙද්දී වැඩි මිලකටත් බඩු බෙදා හරින්න අපිට සිදුවෙනවා.
ඔබ සභාපතිධූරය දරන්නේ එක් සංගමයක වුණත් ඒ සංගමය ආනයන ව්‍යාපාරයක්, විශේෂයෙන්ම ආහාර අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිම බලපෑමක් කළ හැකි සංගමයක්. ඔබ ඒ සංගමය හරහා ඔබේ වගකීම් හරියාකාරව ඉටුකරනවාද?
කාලගුණික හේතූන් නිසා සිදුවුණ සහල් හිඟයට කිසි කෙනකුට විසඳුම් දෙන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඒකට විසඳුමක් විදිහට අපි සහල් ආනයනය කිරීම ආරම්භ කළා. මේ විදිහට අර්බුදයක් ඇතිවෙන හැම මොහොතකම වගකීම් නොපිරිහෙලා අපි ඉටු කරනවා. රජයට ඍජුව සහල් ආනයනය කිරීමේ කාර්යය කරන්න හැකියාවක් නැහැ. රජය මැදිහත් වුණොත් රජයට පාඩු ලබන්න සිදුවන හින්දා පිටකොටුව ව්‍යාපාරිකයන්ට සහල් ආනයන කර බෙදා හරින්න අවසර දුන්නා.
ඒ කියන්නේ දැන් ලොකු සහල් හිඟයක් දේශීය වෙළඳපොළේ තියෙනවාද?
තාම හිඟයක් ඇති වුණේ නැහැ. මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් තියෙනවා. මෝල් හිමියන් කෘත්‍රීම හිඟයක් තමයි නිර්මාණය කළේ. ඒකත් එක්කම මිල වැඩිකිරීමක් කළා. ඒ මිල වැඩිකිරීම පාලනය කිරීමට රජය පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සහල් ආනයන කරන්න අවසර දුන්නා. ඒකෙන් පාරිභෝගිකයන්ට ප්‍රමාණවත් සහල් වෙළෙඳපොළේ ලබාගන්න හැකියාවක් ලැබුණා.
මෝල් හිමියො රටට අාදරේ නැහැ
ඒත් රජය ආනයනික සහල්වලට පාලන මිලක් නියම කරනවා. රජය දාන පාලන මිළට පුළුවන්ද බඩු ගෙන්වලා බෙදා හරින්න?
මේ වෙද්දී මිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගතව තිබෙනවා. ආණ්ඩුව සහල් ආනයන කරන්න අවසර දුන්නා වගේම සාධාරණ ලාභයක් තබාගෙන බෙදාහරින්නත් නියෝග කරනවා. ව්‍යාපාරිකයෝත් ටොන් ගණනින් සහල් ආනයනය කර ගබඩා කරගෙන තිබෙනවා. ඔවුන් දැන් අධික ලාභයක් ලබාගනු පිණිස දේශීය සහල් විකුණනු ලබන ඉහළ මිළටම ආනයනික සහලුත් විකිණීමට උත්සහ කරනවා. නමුත් රජය සහල් ආනයනය කරන්න අවසර දුන්නේ මෝල් හිමියන් ඉහළ දැමූ මිල පාලනයට විසඳුමක් විදිහටයි.
පිටරටින් හාල් ගෙන්වන නිසා රජරට වීමෝල් විශාල වශයෙන් වැහීගෙන යනවා කියලා වීමෝල් හිමියන් චෝදනා කරනවා. එතකොට වීමෝල් වැහීගෙන යාමේ චෝදනාව ඔබටත් වැටෙනවා නේද?
සහල් ආනයනය කීරීම රජය ගත්ත තීරණයක්. ඒ සම්බන්ධයෙන් රජයට දොස් පැවරීමේ හැකියාවක් නැහැ. මේ රජය බලයට පැමිණි පසු රුපියල් විස්සකට තිබුණු වී, ගොවියන්ගෙන් මිලට ගත්තේ රුපියල් පනහකට. මෝල් හිමියන්ට ඒ මිලටම ගන්න කිව්වා. ඒත් එක්කම මෝල් හිමියන් වී මිලදීගැනීම වර්ජනය කළා. ඊට පස්සේ ගොවියන්ගේ සහල් සේරම මිලදී ගන්න රජයට සිදුවුණා. රජය මිලදී ගත්තත් රජයට විශාල මෝල් නැති නිසා එම වී නැවතත් පෞද්ගලික මෝල් හිමියන්ටම දෙන්න සිදු වුණා. ඒත් මෝල් හිමියන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළා. මෝල් හිමියන්ට රට ගැන ආදරයක් තිබුණා නම් එදා රජය දුන්න වී මිලදී ගන්න තිබුණා.
ඔබ කියන්නේ මේ ප්‍රශ්නවලට හේතුව මෝල් හිමියන් කියලද?
ඔව්. මීට කලිනුත් මෝල් හිමියන් ගොවියන්ගෙන් රුපියල් විස්සකටයි වී මිලදී ගත්තේ. රුපියල් විස්සකට වී විකිණීමෙන් කිසිම ආදායමක් ගොවියාට ලැබෙන්නෙ නැහැ. නමුත් අතිවිශාල ආදායමක් මෝල් හිමියන් ඒකෙන් ලබාගන්නවා.
පහුගිය මාස කිහිපයේ හාල් මිල වැඩි වුණා. ඒත් එක්කම විශාල සහල් හිඟයක් ඇතිවෙයි කියා පාරිභෝගිකයන් තුළ බියක් ඇති වුණා. ඔබ හිතන්නේ නැද්ද ඉදිරියේදී සහල් හිඟයක් ඇති වෙයි කියා?
ව්‍යාපාරිකයෝ වෙළඳාම හරියාකාරව පවත්වාගෙන ගියොත් හිඟයක් ඇතිවෙන්නේ නැහැ. හැම මෝල් හිමියෙක් සතුවම විශාල වී ප්‍රමාණයක් තියාගෙන මිල වැඩි කරනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරිකයෝත් ටොන් ගණනින් සහල් ආනයනය කර ගබඩා කරගෙන ආනයනය කළ සහල් දේශීය ඇසුරුම්වල අසුරා වැඩි මිලට විකුණනවා. මේකයි ඇත්ත තත්ත්වය.
රටේ පාරිභෝගික ජනතාව කියනවා බඩු ගෙන්වන වෙළෙන්දෝ අධික ලාභ ලබන හින්දයි බඩු ගණන් ගිහින් තියෙන්නේ කියා. ඔබ මේ ගැන මොකද්ද කියන්නේ?
එය පිළිගන්න බැහැ. වෙළෙඳපොළේ තරගයක් තියෙනවා. එකම භාණ්ඩය ආනයනය කරන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඇතිවන තරගය හේතුවෙන් මිල පාලනයක් ඉබේම සිදුවෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට හැකියාවක් නැහැ අයුතු ලෙස ලාභ ලබන්න.
හැමතිස්ෙසම ජනතාව ගැනම හිතන්න බැහැ
ආණ්ඩුව විවිධ බදු පනවනවා. මේ බදුත් ගෙවාගෙන ලාෙබකුත් තියාගෙන කොහොමද ව්‍යාපාර පවත්වාගෙන යන්නේ?
හැම වෙලාවෙම ජනතාවගේ පැත්තම හිතන්නත් බැහැ. එහෙම හිත හිත හිටියොත් කිසිම දෙයක් කරගන්න වෙන්නෙ නැහැ. ඒත් රජය පුළුවන් හැම මොහොතකම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න උත්සහ කරනවා. ලෝක වෙළඳපොළේ මිල අඩුවෙද්දි රජයත් මිල අඩු කරනවා. ලෝක වෙළඳපොළේ මිල වැඩිවෙද්දී මිල වැඩි වෙනවා. ඒ දේ ඕනෑම රටක සිදුවෙනවා. නමුත් මේ කාරණයේදී ව්‍යාපාරිකයන්ගේ සහයත් රජයට අවශ්‍යයි.
ආනයන වෙළෙන්දෝ වෙළඳපොළට නිකුත් කරන අධික තෙල්, ලුණු, වර්ණකාරක, රසකාරක ඇතුලු ආහාරපානවලට එකතු කරන තහනම් රසායනික ද්‍රව්‍ය නිසා විවිධ ලෙඩ රෝගවලට පාරිභෝගික ජනතාව ගොදුරැ වෙලා. වෙළෙඳ සංගමයේ සභාපති වශයෙන් මේකට පිළිතුරක් තිබෙනවද?
අපි හැමෝම එක මවකගේ දරුවෝ, හැමෝම සහෝදරයෝය යන කාරණය ව්‍යාපාරිකයන් මුලින් අවබෝධකරගත යුතුයි. වෙළෙඳාම, ලාභය වෙනුවෙන් පවුල විනාශ කරන තත්ත්වයට යෑම පිළිගන්න අවාසනාවන්ත දෙයක්. ඇත්තටම සෞඛ්‍යයට අහිතකර භාණ්ඩ ආනයන කිරීම් බහුලව සිදුවෙනවා. ඒවා පැහැදිලිවම වැරදියි.
එහෙනම් මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?
මේ දේවල් ප්‍රසිද්ධියේ සිදුවෙන්නේ නැහැ. විවධ රසායනික ද්‍රව්‍ය රහසේම ගෙනවිත් ආහාර වර්ණගන්වන්න, රසකරන්න මිශ්‍ර කරනවා. ලාභය විතරක්ම අරමුණු කරන අය තමයි කරන්නේ.
අලුත් ආණ්ඩුව පිහිටුවායින් පස්සේ මේ රටේ වෙළෙඳ ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් ඇති වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒත් මේ වෙද්දි ඒ බලාපොරොත්තුව බිඳ වැටිලා. ව්‍යාපාරිකයෙක් ලෙස ඔබ මෙය දකින්නේ කොහොමද?
අර ආණ්ඩුව පත්වුණොත් මිල අඩුවෙයි. මේ ආණ්ඩුව පත්වුණොත් බඩු මිල වැඩි වෙයි යන බලාපොරොත්තුවක් සමහරැන්ට තියෙනවා. නමුත් එය පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොන පක්ෂය බලයට පත්වුණත් කරන්නේ එකම දෙයයි. ඒ ඒ පක්ෂ මැතිවරණ කාලෙට කියනවා මේ මේ දේවල් කරනවා කියලා. ඒ කියන දේවල් දෙවියන්ටවත් කරන්න බැහැ.
ව්‍යාපාරිකයෙක් වශයෙන් ඔබට මේ ආණ්ඩුවේ ආනයනය මත පදනම් වෙළෙඳපොළ ප්‍රතිපත්තිය පිළිගන්න පුළුවන්ද?
රටේ නිෂ්පාදනයක් පවතිද්දී ආණ්ඩුව එම භාණ්ඩය ආනයනය කරන්නෙ නැහැ. ආනයනය කරන්නේ යම් නිෂ්පාදනයක් වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත්ව නොතිබෙන විට පමණයි. දේශීය අර්තාපල් වෙළෙඳපොළේ තියෙද්දී ලෝක වෙළෙඳපොළේ අර්තාපල් ඉතාමත් ලාබෙට ලබාගත හැකි වුණත් ඒවා ආනයනය නොකර දේශීය අර්තාපල් සඳහා ඉහළ මිලක් රජය ලබා දෙනවා. එසේ මිල වැඩි කිරීම පවා වරදක් විදිහට මම දකින්නේ නැහැ. අප රටේ නිෂ්පාදන ඉහළ මිලකට කෑම වරදක් නැහැ.
සිංහල හින්දු අලුත් අවුරුදු සමය කියන්නේ අධික වෙළෙඳාමක් පවතින කාලයක්. ඒත් මෙවර අවුරුදු සමයේ විශාල ලෙස වෙළෙඳාම කඩාවැටිලා කියලයි හැම තැනම කතා කරන්නේ. මේකට හේතුව කුමක් කියලද ඔබ දකින්නේ?
ජනතාව අතේ මුදල් නැහැ.
මුදල් නැතිවෙන්න හේතුව?
මිනිස්සුන්ගේ අවශ්‍යතා වැඩියි. ජීවන වියදම වැඩියි. ඒවගේම ජනතාවගේ අනවශ්‍ය වියදමුත් වැඩියි. ඒ වුණත් මිනිස්සුන්ට සතුටින් අවුරැදු සමරන්න පුළුවන්. මොකද අනුන් ගැන හිතන මිනිස්සු ලංකාවේ ඉන්නවා. කෙනෙකුට අවුරැදු සමරන්න බැරි තත්ත්වයක් තිබුණොත් ඔහුට උදවු කරනවා. එසේ උදවු කිරීමේදී ඉදිරියෙන්ම ඉන්නේ සිංහල ජනතාව. ඒ හින්දා ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට සතුටින් අවුරැදු සමරන්න පුළුවන්.
සකීෆ් සාම් තන්වීරි
සේයාරුව l සුමුදු හේවාපතිරණ