ජිනීවා 34 වැනි මහසැසිය ශ්‍රී ලංකාවට අවුරුදු දෙකක් හුස්ම ගන්නට ඉඩදෙමින් සිකුරාදා (24) අවසන් වූයේය. අවුරුදු දෙකේ යෝජනාව අමෙරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හතරක් විසින් මහා සැසිවාරයට ඉදිරිපත් කළ විට ඡන්දයක් විමසීමකින් තොරවම මානව හිමිකම් කවුන්සලය මගින් සම්මත කර තිබුණේ ඊට කළින් දිනය (23) තුළදීය. මෙහිදී එම දෙරටට අමතරව උතුරු අයර්ලන්තය සහ මොන්ටිනිග්‍රෝ රටවල්ද යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් වී තිබුණි. ශ්‍රී ලංකාව මෙම යෝජනාවේ සම අනුග්‍රාහකයා වූ අතර සෙසු රටවල් 36ක්ද අමතරව සමඅනුග්‍රාහකත්වය ලබාදී තිබුණේය.
රුසියාවේ මේ දිනවල සංචාරයක යෙදී සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති පූටින් මුණගැසුණේද හරියටම එදා 23 වැනිදාය. ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට වසර දෙකක “සහන කාලසීමාවක්” ලැබෙන බව කළින් ප්‍රකාශ වී තිබුණත් එය ඡන්දය විමසීමකින් තොරව පහසුවෙන් සම්මතවනු ඇතිද යන කුතුහලය කා තුළත් තිබුණේය. එය මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ද එසේම දැනෙන්නට ඇත. ඒ අනුව ආණ්ඩුව මේ දවස්වල මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නවලින් එකකට හෝ මේ ආකාරයේ මඳ විරාමයක් ලැබීම ගැන ජනාධිපතිවරයාට සතුටක් දැනෙන්නට ඇති බව පැහැදිලිය.
එසේ වුවද ජිනීවා මහ සැසියේදී අල් හුසේන් කුමාරයා සැර කතාවක් කළ බවද ජිනීවාවලින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර තිබුණි. ලංකාව වඩාත්ම සංවේදී දෙමුහුන් අධිකරණය, අන්තර්ජාතික විනිසුරුවරුන්, ස්වාධීන වගවීමේ ක්‍රියාවලිය වැනි කරුණුද ඔහුගේ අවසන් කතාවේදී තදින්ම සඳහන් කර තිබුණේය. ශ්‍රී ලංකාවේ විදේශ අමැති මංගල සමරවීර වරක් තමාව හැඳින්වූයේ “අන්තර්ජාතික කරදරකාරයකු” (International nag) වශයෙන් බව ඔහුගේ කතාවේදී සඳහන් විය.
ඉදිරියේදී එළඹෙන වසර දෙක තුළදී “ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් පෙන්වීමට මේ අනුව ශ්‍රී ලංකාව දැන් බැඳී සිටී. එම ප්‍රගතිය සම්බන්ධ වාර්තාව 40 වැනි මහ සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බවද සඳහන්ය. හරියටම කිව්වොත් ඊළඟට 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයට වසරකට කළින් මේ වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබේ. රටේ ජනතාවට ඉතාම සංවේදී එවැනි කාලසීමාවකදී ලබාදීමට සිදුවන වාර්තාව කෙබඳු එකක්දැයි දැන් සිටම කේන්දර හැදීමට අවශ්‍ය නැති වුවද රටේ සහ ජාත්‍යන්තර දේශපාලනයේ සිදුවන වෙනස්කම්වල බලපෑම් ද ඊට එකතුවනු ඇතිබවට සැකයක් නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහා සැසිය අවසන් වූයේ අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ තර්ජනයක් පවතිද්දී බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුවෙයි. අමෙරිකාවේ මෙතෙක් පහළවූ ජනාධිපතිවරුන්ට වඩා වෙනම ආකාරයක පාලනයක් ගෙනයන බවට හැම ලක්ෂණයක්ම පෙන්නුම් කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට අමෙරිකාව ඉදිරියේදී තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බවය. එය වක්‍රාකාරයකින් මානව හිමිකම් කවුන්සිලයට එල්ල කරනලද තර්ජනයකි. එහි බලපෑම් කෙසේ අල් හුසේන් කුමාරයා විසින් බාරගනු ඇති දැයි දැන්ම පැවැසිය නොහැක.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කළ යෝජනාවේ සමස්ත ජනතාවගේ මානව හිමිකම්, මූලික නිදහස භුක්තිවිඳීම තහවුරු කිරීම සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේදී ශ්‍රී ලංකා රජය මගින් ගනුලැබූ පියවර අගයමින් ඒවා තවදුරටත් තහවුරැ කළ යුතු බව පෙන්වාදී තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් ආදී සිදුවීම් සම්බන්ධයෙන් වගවීම් ක්‍රියාත්මක කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මෙම යෝජනාවෙන් අවධාරණය කර තිබේ.
මේ අතර යෝජනාව සම්මත කිරීමට පෙර බදාදා (22) අල් හුසෙන් කුමරැන් සිදුකළ සැර කතාවේදී සිවිල් යුද්ධ සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත්ව සිටින බවට චෝදනා නගා තිබුණි. එම සිදුවීම්වලට වගකිව යුතු සෙබළුන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව බියවී ඇති බවටද චෝදනා කළ අල් හුසේන් යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහාය ගත යුතු බවද ඒ ඔස්සේ විමර්ශනවල අපක්ෂපතී බව තහවුරු කළ හැකි බවද කියා තිබුණේය. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසට තමා “කරදරකාරයකු” වී සිටින්නේ ඔවුන් අප වෙත ලබාදී ඇති පොරොන්දු සහ බැඳීම් ඉටුකරවා ගැනීම පිණිස යැයිද කියා තිබූ හුසේන් කුමරු තමා දිගටම එසේ කරන බවට සහතික විය. මේ ගැටලු සම්බන්ධයෙන් තමන් හැමදෙනා තුළම පවතින කලකිරීම දිගටම වැඩි වන බව කියා තිබූ හුසේන් කුමරු හයිබ්‍රඩ් අධිකරණයේ අවශ්‍යතාවද අවධාරණය කර තිබිණි.
හුසේන් කුමරුගේ චෝදනා එල්ල වූයේ රජය නියෝජිතයන්ට එරෙහිව පමණක් නොවේ. එම සැසියට සහභාගී වීමට ගොස් සිටි දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් රජයේ දැන් තිබෙන ස්ථාවරය අනුව සියල්ල අහිමි වී ඇතැයි යනුවෙන් දැක්වූ අදහස්වලට එකඟ වූයේ නැත. කුමරු කියා තිබුණේ තමන් මෙහිදී රජය සමඟ විවේචනාත්මක සහයෝගයකින් කටයුතු කරන බවය.
මේ අතර මෙම සැසි වාරයට සහභාගී වීම සඳහා යෑමට සූදානම් වෙමින් ටී.එන්.ඒ. මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණේ ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ලංකාවට තවත් අමතර කාලයක් ලබාදුන්නාට තමන් විරෝධය පළකරන බවය. 2015දී ලබාදුන් යෝජනා කිසිවක් ඉටුකිරීමට රජය උනන්දුවක් නොදැන්වූ බවත් කියා තිබූ සුමන්තිරන් යුද අධිකරණයක් පිහිටුවීම, විදේශීය විනිසුරුවරුන් පත්කිරීම ඇතුළු යෝජනා රැසක් තිබුණද ජනාධිපතිත් අගමැතිත් සෙසු අමැතිවරුන් ජනතාව ඉදිරියේ ඒවා ඉටුනොකරන බව ප්‍රසිද්ධියේ පැවැසීම අසාධාරණ බවද සඳහන් කළේය. ජිනීවා සැසියේදී ඔහු දැක්වූ අදහස් ගැන දැනගන්නට නැත.
මේ අතර පසුගිය දිනවල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයකම සඳහන්ව තිබුණේ විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවය. ජාත්‍යන්තර අධිකරණ පිහිටුවීමද අවශ්‍ය නැති බවත් රටේ රණවිරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නැති බවත් ඔහු කියා තිබුණේය.
ඊළඟට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හයිබ්‍රඩ් උසාවියක් නැති බව ප්‍රකාශ කළේ පසුගිය අඟහරැවාදා (21)ය.
අගමැතිගෙන් දිනේෂ් විමසා තිබුණේ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව යමින් විදේශීය නඩුකාරයන් සහ නීතිවේදීන් සහිත දෙමුහුන් අධිකරණයක් ඇති කර වීරෝධාර රණවිරුවන් දඩයම් කරීමට යෝජනාවක් සම්මත කර තිබේද යනුවෙනි. එහිදී අගමැතිවරයා ලබාදුන් පිළිතුරේ මෙසේද සඳහන්වී තිබුණේය.
“රටේ ඒකීයභාවය හා ස්වාධීනත්වය නැති කර විදේශ විනිශ්චයකාරවරුන්ගෙන් නඩු අසන්න අප එකඟ වී හෝ එවැනි යෝජනාවකට සහාය දී හෝ නෑ. එවැනි දේකට අප හවුල් වෙලත් නෑ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ප්‍රශංසා කර තිබෙනවා අපේ ආණ්ඩුව දහනව වැනි ව්‍යවස්ථාව සම්මත කර ජාතික සංහිඳියාව ඇති කිරීමට ගෙන ඇති පියවර ගැන. නීතිය උල්ලංඝනය කිරීම ගැන විභාග කරන අය ස්වාධීන විය යුතුබවත් ඔවුන් කියා තිබෙනවා. එල්.ටී.ටී.ඊ. විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳවත් විභාග කළ යුතු යැයි කියා තිබෙනවා. විදේශ නඩුකාරවරු පත්කිරීම පිළිබඳව කියා නෑ. අපේ ව්‍යවස්ථාවට අනුකූලව අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීමේ අපේ යෝජනාව ඔවුන් පිළිගත්තා.”
මෙහිදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජිනීවා සමුළුවලදී ඇති කරගත් එකඟතා පිළිබඳවද කරුණු දැක්වූයේය. “2009 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් රජයන් කළ ඉදිරිපත් කළ යෝජනාවට අනුව ක්‍රියාකිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකී මූන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් එකඟ වුණා. එහිදී යුද්ධ කාලේ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම ගැන විභාග කළ යුතුයි කියාද ලංකා අණ්ඩුව ඒ ගැන විභාග කරන්න එකඟ වුණා.” යනුවෙනි.
තමන් කවදාවත් දරුස්මාන් කමිටුව පත් නොකළ බවත් නිව්ෙයා්ක් ගිහින් ප්‍රකාශ නොකළ බවත් කී අගමැතිවරයා ජාත්‍යන්තර අපරාධ උසාවියට එකතුවීම සහ මිශ්‍ර උසාවියක් ගැන මානව හිමිකම් කොමසාරිස්ගේ 2009 වාර්තාවේ සඳහන් වන බවද ඒවාට තමන් එකඟ නොවන බවද කියා තිබුණි.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ මේ ප්‍රකාශය ඉන් පිටතදී පසුගිය කාලසීමාව තුළ ඒකාබද්ධ විපක්ෂය මගින් ආණ්ඩුවට එල්ලකළ දැඩි විවේචනයට ලබාදුන් පිළිතුරක් ලෙස සැලකිය හැකිය. මහින්දත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයනුත් ජිනීවා සැසිය ආරම්භයේ සිටම රජයට දැඩි ලෙස පහර ගැසුවේ රණවිරුවන් දඩයමට ආණ්ඩුව සූදානම් බව කියමිනි. ජාත්‍යන්තර අධිකරණ, විදෙස් විනිසුරුවරු මේ රටට ගෙන ඒමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බව ඔවුන්ගේ චෝදනාව වී තිබිණි. ඒවාට ආණ්ඩු පාර්ශවයෙන් කුමන පිළිතුරක් දුන්නත් ඒවා ඒකාබද්ධයේ චෝදනා තරම් සැරට රට තුළ සමාජ ගතවූයේ නැත. ඊට තවත් හේතුවක් වූයේ මංගල වරින් වර සිදුකළ ප්‍රකාශ කීපයකි.
කෙසේ වුවද ජිනීවා සැසියේදී ආණ්ඩුවට වසර දෙකක අමතර කාලයක් හිමිවීම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයට තරමක පහර වැදීමක් වූ බව පෙනෙන්නට තිබේ. ජිනීවා චෝදනා මතින් රණවිරැවන් දංගෙඩියට ගෙනයාමට ආණ්ඩුව සැරුසෙන බවට චෝදනා කරමින් සිටි උදය ගම්මන්පිල පසුගියදා පැවැසුවේ මෙසේය.
“විදේශ ඇමැති මංගල සමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ඒම වැළැක්වීමේ තුරුම්පුවක් ලෙස ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය වසර දෙකකට කල් දමාගෙන තිබෙනවා.
යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර අධිකරණයක සහාය ලබාගැනීමේ කිසිදු එකඟතාවක් නොමැති බවට අගමැතිවරයා ඉකුත්දා කරන ලද ප්‍රකාශයේ සත්‍යතාවයක් නෑ. එය පට්ටපල් බොරැවක්. විදෙස් අධිකරණ, විදෙස් විනිසුරුවරුන්, අධිචෝදකයන් මෙන්ම විමර්ශකයන්ද අවශ්‍ය බවට මංගල සමරවීර මහතා 2015දී ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වෙනවා. 2017 වසරේදී එම යෝජනාව වෙනස් කරන්නට ඉඩ තිබුණත් එය නොකිරීමෙන් එය නැවතත් පිළිගෙන තිබෙනවා.”
ගම්මන්පිලගේ ප්‍රකාශය ආණ්ඩුවට වසර දෙකක් ලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කනස්සල්ල පිට කිරීමක් වශයෙන්ද කෙනකුට හැඳින්විය හැකිය. වසර දෙක ලැබීම තුළ තාවකාලිකව හෝ සටන් පාඨයකට විරාමයක් ලැබීමද සිදුවෙයි. නමුත් වත්මන් ආණ්ඩුවට කට පුරා කිව හැකි එක් “ප්ලස්” පොයින්ට් එකක් වන ජාත්‍යන්තරය සමඟ පවත්වා ගෙනයන වඩා දියුණු මිත්‍ර සම්බන්ධතා ජිනීවා තුරුම්පු වෙනස් කිරීමේ සාධකයක් හැටියට ක්‍රියාත්මක වී ඇති බව ඕනෑ කෙනකුට වටහා ගැනීම අපහසු නැත. මහින්ද රාජපක්ෂ කාලයේ මුල පටන්ම වාගේ බලවත් රටවල් සතුරු කර ගැනීමේ ප්‍රතිවිපාක ජිනීවා සැසියේදී එළියට පැන්න බව රහසක් නොවේ. එක් දේශපාලන විචාරකයකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දිගටම තිබුණා නම් ජිනීවා සැසිය හරහා මේ වනවිට රටට මහත් අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදාවීමට ඉඩ තිබූ බවය. ඇතැම් ජාත්‍යන්තර මට්ටමේ ගැටලු ලිහාගැනීම සඳහා යෝජනාවල වගන්තිවලම එල්ලී සිටිය යුතු නැති බවත් විශේෂයෙන් ඉන්දියාවත් සමඟ බලවත් රටවල් බැලන්ස් කරගැනීම හරහා බොහෝ දේ ඉටුකරගත හැකි බවත් ඔහුගේ අදහසය. කෙසේ වුවද තව වසර දෙකක් අවසානයේ යළිත් ජිනීවා සැසිවාරයට “ප්‍රගති වාර්තාවක්” ඉදිරිපත් කළ යුතු බවත් පශ්චාත් යුද සමයේ සිදුවූ බවට චෝදනා එල්ල වී ඇති යුද අපරාධ සොයා බැලීම සම්බන්ධයෙන් තමන්ගේ බැඳීමක් ඇති බවත් සිහි තබාගෙන රජයට කටයුතු කිරීමට සිදුවන බව පැහැදිලිය.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා රටට පා තබන්නේ ජිනීවා සහන කාලසීමාවේ සතුටු සිතින් සහ ශ්‍රීලනිපයේ ඇතිවන ගැටලුවල පීඩනයෙන්ද යුතුව බවට සැකයක් නැත. දවස් 70කටත් වඩා අධික කාලයක් සිරභාරයේ පසුවන විමල්ගේ ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂය තුළද යම් කැළඹීමක් ඇතිකර තිබෙන බවද පෙනෙන්නට තිබේ. ඒකාබද්ධයේ ඉදිරියේ සිටින තවත් දේශපාලනඥයන් කීපදෙනකුටම එරෙහිව පවරා ඇති නඩු ඉදිරි මාස කිහිපය තුළ විභාගයට ගැනීමට නියමිත වීම ඊට එක් හේතුවකි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය මගින් රටපුරා සංවිධානය කෙරෙන “පෙරළියක පෙරමඟ” ජනරුලි මාලාවේ හබරාදූව රැලිය සෙනසුරාදා (25) පැවැත්වීමට නියමිත විය. ඊට පෙර ශ්‍රීලනිප දකුණේ සංවිධායකවරුන් තිදෙනකුම “තහනම”ට ලක්වීම පක්ෂය තුළ බල අරගලය තවත් දැඩි කරන පියවරක් බව පැහැදිලිය. මහින්දගේ ශ්‍රීලනිප පාර්ශ්වයට එරෙහිව මෛත්‍රීපාලගේ පාර්ශ්වය විසින් ටිකින් ටික තම ග්‍රහණය දැඩි කරන බව පෙනෙන්නට තිබේ. හබරාදූව රැලියෙන් පසුව තවත් කීපදෙනකුගේ බෙලි කැෙප්දැයි කීම අපහසුය.
ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයද ඇමැති මාරුවේ කතාබහ සමඟ තරමක කැළඹීමකින් සිටින බවට රහසක් නැත. එවැනි වෙනසක් සිදුවන බවට ලක්ෂ්මන් යාපා පසුගිය බ්‍රහස්පතින්දා (23) මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේය. කෙසේ වුවත් යූ.එන්.පීය ඇමැති මාරු කතා ගැන දක්වන්නේ දැඩි නිහඬ බවකි. ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහනයක් ලැබුණත් රට ඇතුළින් නම් සහනයක් නැති බව පැහැදිලිය.
♦ ශශීන්ද්‍ර