පවතින දේශපාලන උණුසුම සමඟ බ්‍රහස්පතින්දා (02) පැවැත්වූ ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභා රැස්වීම දෙස කාගේත් අවධානය යොමු වී තිබුණි. තමන් කිසිවකුත් එම රැස්වීමට නොයන බව ඒකාබද්ධ විපක්ෂය කළින්ම කියා තිබූ බැවින් ඊට සහභාගි වීමට පැමිණෙන මැති ඇමැතීන් සහ සෙසු සාමාජිකයන් කවුරුදැයි දැනගැනීමට කාටත් උවමනාව තිබිණි. නමුත් කවුරුත් අපේක්ෂා නොකළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් එම රැස්වීමට සහභාගි වී මෛත්‍රීපාල ජනපතිවරයා අසලින්ම වාඩි වී සිටියේය.
එසේ පැමිණ සිටියේ චමල් රාජපක්ෂය. ඔහු ජනපතිවරයා සමඟ කුළුපහව කතා කරමින් සිටිනු දැකිය හැකි විය. එහිදී ජනපතිවරයා ආණ්ඩුව ගැන තරමක් විවේචනාත්මක අදහස් දැක්වීය. ආණ්ඩුවේ සමහර වැඩ ගැන තමන්ගේ කිසි සතුටක් නැතැයි ඔහු කෙළින්ම කිව්වේය. ඔහුගේ කතාවේ මෙසේද සඳහන් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් වී නැහැ.
ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ කොටස් පෞද්ගලික බැංකුවලට විකිණීමේ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවා. ආරම්භයේදීම එයට විරුද්ධ වී ප්‍රතික්ෂේප කළා.
මෙය එක් උදාහරණයක් පමණයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ වත්මන් සහයෝගිතා ආණ්ඩුව තුළ සිදුවන කටයුතු හරි මඟට ගැනීම සහ අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම යන කාරණා දෙක වෙනුවෙනුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වීමට බලපෑ කාරණා ගැනද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බවද, ජනතාවට අවශ්‍ය වී ඇත්තේ පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසුදු දේශපාලන චරිත බව පවසා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද පවසා තිබිණි.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත මහ බැංකු අධිපති ධූරයට පත් නොකිරීමට සහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ස්තූතිය පළ කිරීමේ යෝජනාවක්ද පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබිණි.
ලංකාවේ දේශපාලන කරළියේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතරවාරයේ ජිනීවා මානව හිමිකම් සැසියේදී කුමක් සිදුවනු ඇතැයි දැයි බොහෝ දෙනා බලා සිටිති. එහි සාකච්ඡාවන ලංකාවේ දිගටම ඇදී ගිය යුද්ධය ඉන්දියාවේ දේශපාලනඥයන්ටද මාතෘකා සැපයීය.
ඉන්දියාවේ දේශපාලනය ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව කතාබහට ලොකු අතීතයක් තිබේ. නමුත් අතීතයේ දෙරට අතර බොහෝ තීන්දු තීරණ ගනු ලැබුවේ මිත්‍රශීලී ආකාරයෙනි. සරල උදාහරණ දෙකක් වන්නේ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම සහ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඇතිකරගනු ලැබූ අවබෝධයයි. මේ තත්ත්වය උඩු යටිකුරු වූයේ යුද්ධයත් සමඟය. ශ්‍රී ලංකාවේ ඇවිලී ගිය යුද්ධය ඉන්දියාව මුල පටන්ම දුටුවේ බෙඳුම්වාදී ත්‍රස්තවාදී යුද ගැටුමක් වශයෙන් නොව, දෙමළ ජනතාවගේ අයිතීන් උදෙසා සිදුකෙරුණු විමුක්ති අරගලයක් හැටියටය. එහෙත් එම ජනවාර්ගික ගැටලුවට සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාවේ නිල ස්ථාවරය වි තිබුණේය. එවැනි විසඳුමක් කරා ශ්‍රී ලංකාව තල්ලු කිරීමට ඉන්දියාව ලංකාවට විවිධ බලපෑම් කළේය. එහි උපරිම තලය වූයේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සහායද ඇතිව තමිල්නාඩුවේ දේශපාලන නායකයෝ උතුරු නැගෙනහිරට අතපෙවීමය. දෙමළ “විමුක්තිකාමීන්ට” ආයුධ සහ පුහුණුව ලබාදීමට කටයුතු කිරීමය. අන්තිමට ලංකාවේ අරගලය තමිල්නාඩුවේ දේශපාලන බලය තීන්දු කරන ප්‍රධාන සාධකය බවට පත්විය.
ලොකු කතාවක් ඉතාම කෙටියෙන් කිව්වොත් ඉන්දියාව ලංකාවේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම තේරුම් ගත්තේ රජීව් ගාන්ධි මරාගැනීමෙන් පසුවය. ඉන්පසුව ඉන්දියාව ගනු ලැබූ තීන්දු තීරණ පිටතින් කෙසේ පෙනුණත් යටින් තිබුණේ ප්‍රභාකරන් කෙසේ හෝ ඉවරයක් කර ගැනීමේ අරමුණය. එම අරමුණ ඉටුකර ගැනීමට නම් ප්‍රභාකරන්ට ත්‍රස්ත්‍රයකු සේ සලකා ඔහුට අභියෝග කරන නායකයකු ශ්‍රී ලංකාවේ බිහිවිය යුතු විය. ඒ ගැන විමසිල්ලෙන් සිටි ඉන්දියාවට මහින්ද රාජපක්ෂ හොඳ තුරුම්පුවක් බව තේරැම් ගැනීමට වැඩිකල් ගතවූයේ නැත. ලංකාවේ ජාතිකත්වය මත පදනම් වූ ශක්තිමත් නායකයකු වශයෙන් මහින්ද හඳුනාගත් ඉන්දියාව ඒ වනවිට තමන්ටද මහත් හිසරදයක් බවට පත්ව තිබූ ප්‍රභාකරන් සහ කොටි සංවිධානය සහමුලින් විනාශ කර දැමීමට මහින්දට අවශ්‍ය සහාය ලබා දුන්නේය. එසේ කළේ කෙළින්ම නොවේ. සාමාන්‍ය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ දේශපාලන නිදහසත් බෙඳුම්වාදී ත්‍රස්තවාදී අරමුණත් අතර වෙනස ඒ වනවිට ඉන්දියාව හොඳින්ම තේරැම් ගෙන සිටියේය. ත්‍රස්තවාදය තුරන් කර දමා මධ්‍යස්ථ මතධාරී දෙමළ දේශපාලන නායකයන් පිරිසක් අතට බලය හුවමාරු වනු දැකීමට ඉන්දියාව කැමැත්තෙන් සිටියේය. ඒ සඳහා මහින්ද යුද්ධයෙන් පසුව ක්‍රියා කරනු ඇතැයිද දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස ආරක්ෂා කරදීම සඳහා ඔහු පොළොඹවා ගැනීම අසීරුවනු නැතැයිද ඉන්දියාව සිතන්නට ඇත.
මහින්දටත් යුද්ධය දිනාගැනීමෙන් පසුව එවැනි පියවරකට යාමට මුලින් අදහසක් තිබෙන්නට ඇත. නමුත් ඔහුගේ අසීමිත ජනප්‍රියත්වය හරහා ඔහු වටා ගොඩනැගුණු අතිධාවනකාරී, ජාතිවාදී, ආගම්වාදී, දැඩි මතධාරී දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට මහින්ද කොටුවිය. යුද ජයග්‍රහණයේ ගැම්ම මහින්ද හරවාගත්තේ තමාත් තම පවුලත් රජකරවා ගැනීමට මිස රටේ ඉතිරිව තිබූ එනම්, වසර 30ක යුද්ධයට හේතු වූ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට නොවේ. ඔහු ඒ තත්ත්වයට තල්ලු කිරීමේ වගකීම මහින්ද වටා සිටි බලවේග මතට වැටෙයි.
ඒ ගැන මෑතකදී අදහස් දැක්වූ ශිව් ෂංකර් මෙනන් හොඳ විග්‍රහයක් කර තිබුණි.
ශිව් ෂංකර් මෙනන් යනු ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්වරයෙකි. ශ්‍රී ලංකාවේ, චීනයේ සහ ඊශ්‍රායලයේ හිටපු තානාපතිවරයෙකි. ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු ඉන්දීය අගමැති උපදේශකවරයෙකි. යුද්ධයේ අවසන් කාලයේදී විදේශ ලේකම් වූ ඔහු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සිදුවූ තීරණාත්මක කතාබහවලදී විශාල භූමිකාවක් ඉටු කළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. මෙනන් මහින්දගේත් සිත දිනාගත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඔහු පසුගියදා තම රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් අළලා “CHOICES” (Inside the Making of India & Foreign Policy) නමින් පොතක් එළිදැක් වූයේය. එහි ශ්‍රී ලංකාව ගැන වෙනම පරිච්ඡේදයක් තිබිණි. මෙනන් වැනි රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවේ කෘතහස්ත දැනුමැති පුද්ගලයකු ලංකාවේ අර්බුදය පිළිබඳව දක්වන අදහස් වල විශේෂ වැදගත්කමක් තිබේ. ඔහු එහි මෙසේ සඳහන් කර තිබුණේය.
“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය යනු මගේ මතකයේ හැටියට ත්‍රස්තවාදය (බෙදුම්වාදය නොවේ) තනිකරම යුදමය ක්‍රියාමාර්ගයකින් සාර්ථකව මුලිනුපුටා දැමූ අවස්ථා කීපයෙන් එකකි. මෙවැනි යුද්ධයකදී කෘරකම් සිදුවීම නොවැළැක්විය හැකි බැව් කෙනකුට තර්ක කළ හැකිය. සටන් කෙරුණේ තමන්ගේම වර්ගයා පමණක් නොව දෙමළ හෝ සිංහල හෝ අභියෝගයක් විය හැකි සියලු දෙනා ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් කිරීමට කිසිදු බුරුලක් නොදැක්වූ බිහිසුණු ත්‍රස්ත කණ්ඩායමක් සමඟ බැවිනි. මෙහිදී කෙනකුට ඇත්ත වශයෙන්ම ගොඩනැගිය හැකි තර්කයක්ද තිබේ. යුද්ධයේ අවසන් මාස තිහේදී වඩාත් ක_ර උපක්‍රම භාවිත කළේ නම් යුද්ධයේ අවසානය ඉක්මන් කොට මීට වඩා ජීවිත ගලවා ගැනීමට හෝ විනාශය අවම කරගනීමට හෝ ඇත්තටම ඉඩක් නොතිබිණිද?”
දැනට ජිනීවා හි පවා කතාබහට ලක්වන මේ රටේත් විවිධ පාර්ශ්ව හරහා විවාදයට බඳුන්වන යුද්ධයේ අවසන් අදියර පිළිබඳ කතා කිරීමේදී ශිව්ෂංකර් මෙනන්ගේ මේ අදහස් ඉවත දැමිය නොහැකි බව අපගේ හැඟීමය. ජිනීවාහි ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා එල්ල වන්නේ යුද්ධයේ අවසන් දින කීපයේ හෝ අවසන් කාල සීමාවේ සිදු වූ බව කියන සැහැසිකම් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ සිදු වූ යුද්ධය අවසන් කිරීම සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ දේශපාලන නායකයන්ට විඳින්නට සිදුව ඇති අසීරුකම් වලට මුහුණදීම සඳහා මෙනන්ගේ අදහස් කිසියම් උත්තේජනයක් සපයයි. නමුත් මෙහිදී යුද්ධය අවසන් කිරීම සහ ජාතික ගැටලුව විසඳීම යන අන්ත දෙක පටලවා නොගෙන ක්‍රියා කිරීම අවශ්‍යය. අපේ ඇතැම් දේශපාලන නායකයන්ට නොපෙනෙන නැතහොත් උවමනාවෙන් නොපෙනෙන සේ සිටින මේ සංකීර්ණ පසුබිම පිළිබඳවද මෙනන් මෙසේ ප්‍රකාශ කර තිබුණේය.
“මෙය ඉතිහාසයේ දීර්ඝතම කාලසීමවක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධවලින් එකකි. දේශපාලන මානසික සහ වෙනත් විවිධාකාර විශාල බලපෑම් ඇති වූයේ එබැවිනි. පුනරුත්ථාපන කටයුතු වේගවත්ව සිදුකළ හැකි වුවද සංහිඳියා කටයුතු නොකෙරෙන තරම්ය. කාලය ගෙවෙද්දී පෙනී යන්නේ හැම පාර්ශ්වයටම තෘප්තිමත් විය හැකි විසඳුමක් ළඟපාතක නැති බවය. ජයග්‍රාහකයන් වූ සිංහලයන්ට මුළු ලොවම විවෘතව තිබේ. නමුත් මා දකින අන්දමට දෙමළ ජාතිකයන්ගේ දුක් ගැනැවිලි දෙස සංවේදී ආමන්ත්‍රණයක් නොසිදුවන්නේ නම් කාලයකදී වෙනත් මුහුණුවරකින් බෙඳුම්වාදය සහ විප්ලවය ආපසු පැමිණෙනු ඇත. තමිල්නාඩුවේ වර්ධනය වන දේශපාලන සහ සමාජ තත්ත්වය මත මේ බොහෝ දේ තීරණය වනු ඇත. එහි යන්තම් අනුකම්පාවක් පෙනෙන්නට තිබුණද එල්.ටී.ටී.ඊ.ය විසින් අනුගමනය කරන ලද ක්‍රම සහ විධි කෙරේ තමිල්නාඩුවේ සැබෑ සහායක් දැනට නම් නැත”
රටේ විසඳන්නට තරම් ජාතික ගැටලුවක් නැතැයි යන පදනමින් ජාතික තලයේ දේශපාලනය කරන බොහෝ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ශිව් ෂංකර් මෙනන්ගේ “චොයිසස්” පොත කියවා බැලීම යහපත් යැයි එක් දේශපාලන විචාරකයෙක් මෑතකදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට කියා තිබුණේ නිකම්ම නොවේ.
ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන්නේ 34 වැනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයයි. විදේශ ඇමැති මංගල ලංකාවේ දූත පිරිසේ නායකත්වය දරයි. ඔහු තම කතාව පැවැත්වූයේ පසුගිය 28 වැනිදාය. ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට හරස් කපන බවට ඔහු සිංහල - දෙමළ දෙපාර්ශ්වයේම අන්තවාදී කොටස් විවේචනයට ලක් කළේය. මේ අතර දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් රජයේ නායකයන් සමඟ සංහිඳියා වැඩපිළිවෙළට එක්ව සිටිම ඩයස්පෝරාවේ අන්තවාදී පාර්ශ්වයේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. ජිනීවා සැසිය අතර වාරයේදීද මේ බව පැහැදිලිව පෙනෙන්නට තිබූ බවද සඳහන්ය.
මංගල ජිනීවා සැසියේදී ප්‍රකාශ කර තිබුණේ යුද්ධය හේතුවෙන් බෙදී වෙන්වී සිටි ජනතාව යළි එක්කොට ඉදිරියට යාම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ එය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට රජය කටයුතු කරගෙන යන බවය. යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසාදීමේ අධිෂ්ඨානය නොවෙනස්ව පවතින බවත් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමේ සහ සත්‍ය දැන ගැනීමේ යාන්ත්‍රණයද ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය. සත්‍ය දැනගැනීමේ කොමිසමට අදාළ නීති කෙටුම්පත ඉදිරි මාස දෙක තුළ කැබිනට්ටුවට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කියා තිබිණි.
මේ සටහන තබන විට ජිනීවා වලින් ලැබෙන වාර්තා වලින් කියැවුණේ මානව හිමිකම් උල්ලංඝණ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙනු ඇති බවය. එසේ වුවහොත් විදේශ ඇමැති මංගලට එය ලොකු ජයග්‍රහණයක් වනු ඇත.
කෙසේ වුවද මංගල ජිනීවාහිදී දැක්වූ අදහස් ආණ්ඩුවේ සෑම පාර්ශ්වයක්ම පිළිගන්නේ යන දැඩි සැකය පවතී. නව ව්‍යවස්ථාව, එහි අන්තර්ගතය සහ ජනමත විචාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයේ මතය එකකි. යූ.එන්.පීයේ මතය තවත් එකකි. ජාතික ගැටලුවට විසඳුම් ලබාගැනීම සම්බන්ධයෙන් ටී.එන්.ඒ. මතය ද විවිධාකාරය. සමහරුන් නම්‍යශීලී බවක් පෙන්නුම් කළත් සෙසු මන්ත්‍රීන්ගේ මතය විදෙස් විනිසුරුවන් සහිත අධිකරණයක් සහ වෙනත් රටවලද සහාය ඇතිව විසඳුමක් සොයාගත යුතු බවය. එය රජය මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන විසඳුමකි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා එදා ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාවේදි ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව කරන හැම එකකටම තමාගේ සතුටක් නැති වුවද සතුටු විය හැකි දේ ද තිබෙන බවය. ජිනීවා සැසිය අවසානයේදී ලංකාවට වසර දෙකක කාලයක් ලැබෙන්නේ නම් එය ජනපතිගේ සතුටට හේතුවන කරැණක් වනු ඇත. නමුත් ඒ සමඟ එවැනි තීන්දු තමන් බලයට පත් කිරීමේදී සහාය දැක්වූ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සමඟ ගැටෙන බවද ජනපතිවරයා හොඳින්ම දනී. ජනාධිපතිවරයාට ශ්‍රීලනිප සමුළුවේදී චමල් රාජපක්ෂ හමු වූ අවස්ථාවේ ආණ්ඩුවත් දෙමළ ජනතාවත් පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයත් බැලන්ස් කරගෙන ඉදිරියට යන්නේ කොහොමදැයි ඇසුවාදැයි දන්නේ නැත.
♦ ශශින්ද්‍ර