2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

ගිනි පෑගිල්ල

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

 

සෙනසුරු ග්‍රහ මාරුවෙන් පසුව ප්‍රබල ඇමැති පදවි මාරුවක් සිදුවන බවට මේ වසර මුල පටන්ම ලොකු කතාවක් තිබුණේය. ඒ ගැන ජනාධිපති - අගමැති මට්ටමින් ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වුණු බවත් ඒ සමඟ ආරංචි විය. හැබැයි මේ ලොකු කතා ටික දවසක් යනවිට හුළං බැස්ස බැලූනයක් බවට පත් වී තිබුණේය. අවසානයේ කියැවුණේ ඇමැති මාරුව කල්ගිය බවය. සමහර විට නොකෙරෙණු ඇති බවටය. මාර්තු මාසයේ, මැයි මාසයේ පමණ සිදුවීමට ඉඩ ඇති බවය.

එහෙත් දැන් දැනගන්නට තිබෙන්නේ එය එසේ නොවන බවය. ඇමැති මාරුව කල් දමා ඇති බවට කිසිවකු හෝ ප්‍රකාශ කර නැති බවද සඳහන්ය. එක් දේශපාලන විචාරකයකු සඳහන් කරන්නේ ඇමැති මාරුව ළඟදීම සිදුවීමට ඉඩ ඇති බවය. ඇමැති මාරුව කල් යන බවට පුවත් පළ වී ටික දවසකින් මහින්ද අමරවීර කළ ප්‍රකාශයක් ඔහු මෙයට උදාහරණයක් වශයෙන් ඔහු දැක්වූයේය.

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් නොවෙයි කියලා මට කියන්න පුළුවන්කමක් නෑ. ජනාධිපතිතුමා මේ වනවිට සියලුම අමාත්‍යංශ පිළිබඳව යම් අධ්‍යයනයක්, සමාලෝචනයක් කරමින් යනවා. අවශ්‍ය සංශෝධන තිබේ නම් අගමැතිවරයාගෙනුත් කරුණු විමසා අවශ්‍ය තීරණයක් ගැනීමේ හැකියාව එතුමාට තිබෙනවා. සමහරවිට හෙට මම මන්ත්‍රීවරයෙක් වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නෙ ජනාධිපති.

මහින්ද අමරවීර මේ බව කිව්වේ බෙලිඅත්ත රත්මල්කැටියේ පැවැති උත්සවයකදී පසුගිය 10 වැනිදාය. දකුණේ තමන්ගේ දේශපාලන භූමියේ සිට මහින්ද අමරවීර මේ ප්‍රකාශය කරන්න ඇත්තේ නිකම්ම නොවන බව මේ දේශපාලන විචාරකයා ප්‍රකාශ කළේ ඔහු ජනාධිපතිට ඉතා සමීප දේශපාලනඥයකු බවද සඳහන් කරමිනි.

මේ කියන විදියට ඇමැති පුටු අද හෙටම ගැස්සෙයිද? මේ බව හරියටම සොයාගන්නට තව දින කීපයක් යනු ඇත.

කෙසේ වුවද මුදල් ඇමැති රවී කරුණානායක නම් මේ දිනවල රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටී. රජය ලබාගැනීමට බලාපොරොත්තු වන ඩොලර් බිලියන 1.5ක රන් බැඳුම්කරය කෙරෙහි ඔහු තම විශ්වාසය තදින්ම තබාගෙන සිටියි. රටේ තීරණාත්මක ලෙසට ක්ෂය වෙමින් යන සංචිතය ශක්තිමත් කරගැනීම සඳහා මේ බැඳුම්කරය සහාය කරගත හැකිවනු ඇත. එසේම රජයේ තැන්පතු වශයෙන් ඇති විදෙස් ආයෝජකයන් සතු ඩොලර් ගිණුම්වලින් මුදල් ආපසු ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් තමා එතරම් කනගාටු නොවන බවය. මෙය අමෙරිකාවේ ආයෝජන සමාගමක් වන &ටෙම්පල්ටන්* (Templeton) ආයෝජන සමූහය මගින් සිතාමතා සිදුකරන ක්‍රියාවක් බවද ඔහු සඳහන් කර තිබුණේය.

මුදල් සංචිතය ක්ෂය වීම පමණක් නොව හාල් ප්‍රශ්නය හේතුවෙන්ද ආණ්ඩුව සිටින්නේ හොඳ ස්ථානයක නොවේ. මේ වනවිට සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 100ට ආසන්න වී තිබීම බරපතළ ගැටලු ඇතිකර තිබේ. ගැසට් පත්‍රය නියම කළ උපරිම පාලන මිල ෙවළෙඳුන් විසින් නිකම්ම කැන්සල් කර දැමිණි. මෙය රටේ සියලු දෙනාටම බලපාන දැඩි ප්‍රශ්නයක් වුවද රජය එය විසඳීම සඳහා ගනු ලබන සෑම උත්සාහයක්ම මේ වනතුරැ සාර්ථක වී නැත. ඒ ගැන රජය එතරම් උනන්දු නොවීම මහජනයා තුළ බලවත් කනස්සල්ලක් ඇතිකර තිබේ.

එසේම සයිටම් ප්‍රශ්නයද රජය තීරණාත්මක තැනකට ඇද දමා තිබෙන බව පැහැදිලිය. මේ වනවිට සයිටම් ප්‍රශ්නයට දේශපාලනය තදින්ම කා වැදී තිබෙන බව පෙනෙන්නට තිබේ. රජය මුල සිටම මේ ගැටලුව සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ නොකිරීම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ කර තිබේ. එහිදී යූ.එන්.පී. ඇමතිවරුන් එකක් කියන විට ශ්‍රීලනිප ඇමැතිවරැන් කියන්නේ තවත් එකකි. සයිටම් වැනි ඉතා සංවේදී එසේම ඕනෑම දේශපාලන කණ්ඩායමකට පහසුවෙන් ගොඩවිය හැකි වේදිකාව ශක්තිමත්ව තනාදීමට රජය ක්‍රියාකර ඇති බව සමහර විචාරකයන්ගේ අදහසය. ආණ්ඩුවේ ඇතැම් නායකයන් සමඟ වෛද්‍ය සංගම් නිලධාරීන්ගේ පවතින මතවාදී ගැටුම්ද මේ තත්ත්වය වඩාත් උග්‍රකර ඇති බව පැහැදිලිය. ආණ්ඩුව ඊළඟට මුහුණ දෙන ගැටලුව වන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩේ ගොඩදා ගැනීමට ගන්නා උත්සාහයේදීය. ප්‍රශ්න වැලක් මැද ව්‍යවස්ථාවට අතගැසීම මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කතාව සිහිපත් කරන බව සමහරුන් කියන්නේ නිකමට නොවේ.

දිගින් දිගටම ඇදෙමින් පවතින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡා ඇණහිටින තත්ත්වයක් මතුවෙමින් තිබුණේය. එම තත්ත්වය වෙනස් කිරීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා මැදිහත් විය. පසුගිය මාසයේ අග භාගයේ සිට ශ්‍රීලනිප, යූ.එන්.පී. සහ ටී.එන්.ඒ. සමග සාකච්ඡා පැවැත්වූ ජනාධිපතිවරයා ඒ හැම සාකච්ඡාවකදීම මතුකර තිබූ ප්‍රධාන කරුණක් වී තිබුණේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට රජයේ තිබිය යුතු කැපවීම පෙන්වාදිය යුතු බවය. ඔහු මේ ආකාරයට සාකච්ඡා පැවැත්වීම නිසා අතරමංවන තත්ත්වයක තිබූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කතාවලට යළි ආරම්භයක් ලැබුණි. 

ඒකාබද්ධ විපක්ෂය නම් දිගින් දිගටම කියන්නේ රට කඩන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තමන් ඉඩ නොදෙන බවය. ඒ ගැන අදහස් සහ යෝජනා සලකා බැලීම සඳහා පත්කර තිබුණු පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදන කමිටු නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී පිරිස ඒවායින් ඉවත්වූයේ තම විරෝධය කියාපෑම සඳහාය. එසේ වුවද ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ රටේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් විය හැකි නව ව්‍යවස්ථා සාකච්ඡා මේසයෙන් ඉවත්වීම ඥානාන්විත පියවරක් නොවන බවය. එය ජාතිකවාදී සටන්පාඨයක් බවට මේ අවස්ථාවේදී යොදාගත හැකි වුවද කවදා හෝ යථාර්ථයට මුහුණදීමට සිදුවන බව ඔවුන් මතක තබා ගතයුතු  බවද එක් විචාරකයකු සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරයා ව්‍යවස්ථා කතාබහට යළි පණපෙවීමට උත්සාහ ගත්තේ මාර්තු මාසයේදී යළි කරළියේ රඟ දැක්වෙන ජිනීවා මානව හිමිකම් සැසිය ඉලක්ක කර ගනිමින් බව පැහැදිලිය. මෙවර සැසියේදී තව වසර දෙකක කාලයක් ලබාගැනීමට රජය අදහස් කරයි. මේ කාලසීමාව ඉල්ලන්නේ ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් සැසියට ලබාදී ඇති පොරොන්දු ගණනාවක් ඉටුකිරීමය. රජය යම් යම් අංශවලින් පෙන්වා ඇති ප්‍රගතිය පෙන්වා දෙමින් මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් උතුරට බලය බෙදන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇති කිරීම රජයේ එක් පොරොන්දුවකි. එවැනි ව්‍යවස්ථාමය එකඟතාවක් ඇතිකර ගැනීමට තමන් තුළ පවතින කැමැත්ත ටී.එන්.ඒ. නායකයන් විසින්ද වරින්වර පෙන්වාදී තිබේ. එසේ වුවද රජයට එරෙහිව අවි අමෝරාගෙන සිටින ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට ඍජුවම විරුද්ධය.

කෙසේ වුවද මේ සාකච්ඡා වටයෙන් පසුව ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් මාධ්‍යයෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ මෙසේය. මගේ හැඟීම නම් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම අව්‍යාජවම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයකට කැප වී සිටින බවයි. උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදීමේ සාකච්ඡා මේසයට සම්බන්ධ වන සම්පන්දන් තවදුරටත් කියා තිබුණේ පාර්ලිමේන්තුවෙන් සහ ජනමත විචාරණයකදී මහජනතාවගෙන්ද අනුමත කරගත හැකි බලය බෙදීම පිළිබඳව හරවත් පොදු එකඟතාවක් ඇතිකර ගැනීම අවශ්‍ය බවය.

ව්‍යවස්ථා සම්බන්ධ කමිටුවල අතුරු වාර්තා අධ්‍යයනය කොට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රීලනිපයත් ජවිපෙත් තවදුරටත් කාලය ඉල්ලා සිටීම නිසා ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳ කතාබහ දිගින් දිගටම ඇණහිට තිබුණේය. මේ නිසා පසුගිය නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කමිටු වාර්තා තවමත් පවතින්නේ දින නියමයක් නොමැති යෝජනාවක් වශයෙනි.

පක්ෂ තුනේ නායකයන්ගේ සාකච්ඡාවලින් පසුව අදාළ යෝජනා නීති විශාරදයන් අතට පත්කර ඇති බවත් සියලුදෙනාට එක්ව සාකච්ඡා කළ හැකි මට්ටමකට යෝජනා ගෙනඒම එහි අරමුණ බවත් පැවැසෙයි. මෙහිදී වඩාත් අවධානය යොමුවිය යුතු ප්‍රධාන කරැණු වශයෙන් ගැනෙන්නේ රාජ්‍යයේ ස්වභාවය සහ එතුළ බලය බෙදී යන පිළිවෙළ, උතුර සහ නැගෙනහිර එකතු කිරීමේ යෝජනාව සහ එකම ආගමකට ප්‍රමුඛත්වය ලබාදීම බවද සඳහන්ය. දැනගන්නට තිබෙන හැටියට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුවේ රුස්වීමක් ලබන 21 වැනිදා (අඟහරැවාදා) අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ජනමත විචාරණයකට යා යුතු බවට යූ.එන්.පී.ය අදහස් කරයි. ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ මෙසේය.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන සකස් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විචාරණයක් පැවැත්විය යුතු බව රජයේ ස්ථාවරයයි. මේ සඳහා ශ්‍රීලනිපයේද සහාය ලැබෙනවා.

අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනමත විචාරණයකට යාම අපි පිළිගන්නවා. අදට තිබෙන රජයේ නිල ස්ථාවරය එයයි.

කිරිඇල්ල ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදුකළේ දැනට සිරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රුස්වීමකට සහභාගි වෙමින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. විමල්ගේ ප්‍රශ්නය මෙසේ විය.

විදේශ අමාත්‍යතුමා විදේශ මාධ්‍යවේදීන්ට කියා තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව සහ ජනමත විචාරණයක් ලැබෙන බවත් කියා තිබෙනවා. මා සභානායකතුමාගෙන් දැනගන්න කැමැතියි එහෙම ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන තිබෙනවාද? විදේශ අමාත්‍යතුමා විදේශ මාධ්‍යවේදීන්ට කර තිබෙන එම ප්‍රකාශය ඩේලි එෆ්.ටී. පුවත්පත් පළ වී තිබෙනවා. මේක සත්‍යයද? මෙය රජයේ මතයද?

විමල් ඇසූ මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමෙන් පසුව යළි යළිත් ප්‍රශ්න සහ උත්තර හුවමාරැ විය. මහින්ද රාජපක්ෂ මැතිතුමා  තමයි කිව්වේ 13 ප්‍රමාණවත් නැහැ කියලා. එතුමා තමයි කිව්වේ තර්ටීන් ප්ලස් කියලා යනුවෙන් කිරිඇල්ල දුන් පිළිතුරකට විමල් පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තර්ටීන් ප්ලස් කිව්වේ ෆෙඩරල් ව්‍යවස්ථාවකට නොවන බවය. තමුන්නාසේලා බෙදුම්වාදීන්ට ඕනෑ න්‍යාය පත්‍රයයි ගේන්න හදන්නේ යනුවෙන් විමල් චෝදනා නැගුවේය. අපේ විසඳුම 13 වැනි ව්‍යවස්ථාව සංශෝධනය පදනම් කරගෙනයි. ඉන් එහාට මොකවත් නෑ. යනුවෙන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඉන්පසුවය.

කෙසේවුවද විමල් ප්‍රශ්නය ඇසුවේ විදේශ ඇමැතිවරයා නව ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බව සහ ජනමත විචාරණයකට යන බවට කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් වුවද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට යූ.එන්.පී.යේ සහායද ඇතිව ඉදිරිපත් වීමේදී ලබාදුන් පොරොන්දු අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව සහ එය ජනමත විචාරණයකින් සම්මත කරගන්නා බවට වූ පොරොන්දුවද තිබුණේය. එය විමල්ට අමතක වීමට හේතුවක් නැත. ඔහු උත්සාහ දරන්නේ නව ව්‍යවස්ථාව යනු මංගල හෝ වෙනත් කීපදෙනෙකුගේ උවමනාවට ගෙන එන යෝජනාවක් බව කියා පෑමටය. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කොටි ඩයොස්පෝරාවේ උවමනාවක් වශයෙන් පෙන්නුම් කිරීමටය. ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල ජයගැනීම නිසා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට මහජන වරමක් තිබෙන බව අමතක කළ යුතු නැත. විමල් මේ අවස්ථාවේදී කළ තවත් ප්‍රකාශයක් වූයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගතයුතු බවය. මේ ගැන කෙටුම්පත් සම්බන්ධ සාකච්ඡා කිරීමට තිබූ දින දෙක කල් දැමූ බවටද ඔහු චෝදනා කළේය. මේ කාරණාව සම්බන්ධයෙන් විමල් දරණ ස්ථාවරය නිවැරුදි බව නම් කිවයුතුය.

මේ අතර නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී රාජ්‍යයේ ස්වභාවය සම්බන්ධයෙන් ටී.එන්.ඒ. මෙතෙක් දැරූ ෆෙඩරල් ස්ථාවරය ඉවත් කරගෙන ඇති බවට රාවයක් පසුගිය සතියේ මුලදී පැතිර ගියේය. එය බොහෝ දෙනාගේ විමසිල්ලට ලක්වෙමින් තිබියදී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මාධ්‍යවල පළ විය. එහි මෙසේ සඳහන් විය.

ලෝකයේ ස්ථාවර ආණ්ඩු පවතින සියලු රටවල ක්‍රියාත්මක වන්නේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයි. ෆෙඩරල් පාලන ව්‍යුහය සම්බන්ධයෙන් සිංහල ජනතාව දක්වන වැරැදි අදහස් එම ජනතාව අතරට ගොස් නිවැරැදි කරනවා. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය සිටින ස්ථාවරය වුවද වෙනස් කිරීමට සූදානම්.

සුමන්තිරන් මේ අදහස් පළ කළ තිබුණේ බී.බී.සී. පුවත් සේවය සමඟ පැවැති සාකච්ඡාවකදීය. ඔහු තවදුරටත් කියා තිබුණේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්යයයේදී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලතල බෙදීමේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කිරීමට වුවත් ටී.එන්.ඒ. සූදානම් බවය. නව ව්‍යවස්ථාව සකස් විය යුත්තේ මහජනතාවගේ කැමැත්තට අනුව බවද ඔහු සඳහන් කර තිබුණි. සියලු ජනකොටස්වල සහායෙන් තොරව නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සුමන්තිරන් කියා තිබුණේය.

බී.බී.සී.ය මෙහිදී උතුර නැගෙනහිර එක්කිරීම සහ ෆෙඩරල් පාලන ව්‍යුහය ලබාදීම යන ඉල්ලීම අතහැර දැමීමට සූදානම් දැයි සුමන්තිරන් ගෙන් ඍජුවම ප්‍රශ්න කළ අතර ඔහු ලබාදුන් පිළිතුරේ ඉහත සඳහන් කරුණු ඇතුළත් වී තිබිණි.

සුමන්තිරන් කළ මේ කරුණු දැක්වීම ෆෙඩරල් යෝජනාව අත්හැර දැමීමක් වශයෙන් සැලකිය නොහැකි වුවද නව ව්‍යවස්ථාවක් සැකසීමේදී තම ස්ථාවර වෙනස් කරගැනීමට තරම් නම්‍යශීලී වන බවට පැහැදිලි ඉඟියක් එයින් ලැබී තිබෙන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. 

කෙසේ වුවද නව ව්‍යවස්ථාවක් සැකසීම යනු රට කැඩීමක් බවට වන සටන් පාඨය දකුණේ දැඩි මතධාරී දේශපාලනඥයන් විසින් අතහරින පාටක් පෙනෙන්නට නැත. සුමන්තිරන් ලා කිසියම් මට්ටමක හෝ නම්‍යශීලී බවක් පෙන්නුම් කරන විට ඒ පිළිබඳව හරවත් සංවාදයක් ඇතිවීම වෙනුවට සිදුවී තිබෙන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තිබෙන ව්‍යවස්ථා සම්පාදන කමිටුවලින් පවා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ඉවත් වීමය. රටේ ජාතික ප්‍රශ්නය විසඳීමට වඩා කුමන හෝ ක්‍රමයකින් බලය ලබාගැනීම එකම අරමුණ කරගත් විට මෙවැනි තීන්දු ගැනීමට සිදුවෙන බව නොකිව යුතුය. නමුත් දීර්ඝ කාලීන දේශපාලන සටන්වලදී මේ කාරණයම පාරාවළල්ලක් වීමට ඉඩ තිබෙන මේ බොහෝ දෙනා කවදාවත් තේරුම් ගන්නේ නැත.

 ශශීන්ද්‍ර