මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ නව මැතිවරණ ක්‍රමයයි. එහිදී ඒ අතර සිටින ප්‍රධාන චරිතයක් වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ නව මැතිවරණ ක්‍රමයත් ඡන්ද කල්යෑමත් යන කරැණු ඇතුළු වත්මන් තත්ත්වය සම්බන්ධව සිදුකළ සාකච්ඡාවකි මේ.
නව මැතිවරණ ක්‍රමය ගැන කතා කරද්දී ඔබත් එහි එක් පුරුකක්. දැන් ඔබේ අතේ නේද ඉතුරු වැඩේ තියෙන්නේ?
නෑ මගේ අතේ නෑ. මේක අතට එන්නේ අශෝක පීරිස් මහත්තයලා දාපූ වාර්තාව පළාත් පාලන අමාත්‍යංශයෙන් ගැසට් කරලා. ඒවගේම ඒ ඒ පළාත් පාලන ආයතන බලාසිටින සභික සංඛ්‍යාව අඩංගු ගැසට් පත්‍රය සංශෝධනය කරලා, පනතේ තිබෙන තාක්ෂණික දෝෂ නැවත සකස් කිරීමෙන් පසුව තමයි මට ලැබෙන්නේ.
එතැනින් පස්සෙද ඔබේ රාජකාරිය?
නෑ. ඉස්සෙල්ලා කිව්වේ මූලික කරුණු. ඒත් අනෙක් ගැසට් ගැන කවුරුත් කරන්නේ නෑ. ඒ ගැසට් එක තමයි මහ නගර සභා සහ නගර සභා ආඥා පනතේ දෙවැනි වගන්තිවලිනුයි, ප්‍රාදේශීය සභා ආඥා පනතේ පස්වන වගන්තියෙනුයි කියනවා සභාව සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයක් අමාත්‍යවරයා විසින් නිකුත් කළ යුතුයි කියලා. ඒකෙන් තමයි සභාවලට නෛතික බලයක් ලැබෙන්නේ. එහි තියෙනවා ඒ සභාවේ මායිම් වගේම සහිත සංඛ්‍යාවක්. ප්‍රශ්න ඒක සංශෝධන කරන්නත් ඕන. සභික සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. කාන්තා නියෝජනය වැඩිවෙලා තියෙනවා. අන්න ඒ දේවල් වෙනස් කරන්න බලතල තියෙන්නේ ඇමතිතුමාට. මට දීලා නෑ කොමිෂන් සභාවට තිබ්බානම් මේ වෙනකොට ගැසට් ගහලා ඉවරයි. ඉතිං මහජනතාව අහනවා බලය නැති කොමිසමෙන් වැඩක් තියෙනවාද කියලා.
ඇත්තටම කොමිසමට මේකට දෙයක් කරන්න බලතල නැද්ද?
කිසිම රජයේ ආයතනයකට කොටින්ම ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නීති හදන්න බලය දීලා නෑ. හැබැයි ඉන්දියාවේ දීලා තියෙනවා. අපිට බලතල තියෙනවා නම් මෙච්චර බලබල ඉන්නේ නෑ. දැනටම මඩකලපුවේ ඡන්දය අවුරුදු 14ක් කල් ගිහිල්ලා. මට බලයක් තිබ්බා නම් මම මැතිවරණ කොමසාරිස් කාලෙම තියලා දානවා. මේ පනත බලත්මක කළේ නැතත් අපි ඡන්දය 2012 අවසානයේ තියන්න යනකොට පනත බලාත්මක කළා 2013 ජනවාරි 18 වෙනිදා ඉඳලා. එතැනින් පස්සේ ඡන්දය තියන්න බෑ. මඩකලපුවේ නගර සභාවේ පළාත් පාලන ඡන්දයක් තියලා නෑ 2008 මාර්තු මාසයෙන් පස්සේ. ඒවා නීතිවල තියෙන වැරදි මිසක් අපේ කොමිසමේ වරදක් නොවෙයි. ඔබ අහනකොටම ඇහුවෙත් අපේ අතේ තියෙනවද කියලා. අපේ අතේ නෑ. අපි 2013 ඉඳලා කියන්නේ ඔය පනතේ දෝෂ තියෙනවා කියලා.
ඒ පනතේ කොපමණ දෝෂ තියෙනවද?
දෝෂනම් බැලූ බැල්මට ටයිපින් මිස්ටේක්ස් එකක් තියෙනවා 60ක් විතර එයින් අත්‍යවශ්‍යම ඒවා 08ක් විතර තියෙනවා.
මොනවද ඒ අත්‍යවශ්‍යම කාරණා ටික?
නාම යෝජනා දෙන්න බලයලත් නියෝජිතයා කවුද කියන එක. ඒ අර්ථ දැක්වීම අයින් වෙලා තියෙන්නේ. ඒ වගේම තැපැල් ඡන්ද ගණන් කිරීම දෝෂයක් තියෙනවා. කොට්ඨාස ක්‍රමයට තෝරද්දී තැපැල් ඡන්දයකට දාලා ගණන් කරලා හරියන්නේ නෑ. ඒවා කොට්ඨාසවලට වෙන්කරලා ගණන් කරන්න ඕන. ඒ වගේ කරුණු කිහිපයක් තියෙනවා දෝෂ සහිත.
ඒ දෝෂවලට රජයේ පාර්ශවයෙන් ඉක්මන් පිළිතුරක් තියෙනවාද?
ඒවා දැන් නීතිපතිතුමාට, නීති කෙටුම්පත් සම්පාදකතුමාට යවලා ඔක්කොම හරි කියලා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මට කිව්වා. අපි ගිය වසරේ දෙසැම්බර් මාසයේ ලිව්වා අශෝක පීරිස් මහත්තයගේ වාර්තාව දෙන්න ඔන්න මෙන්න නිසා ඔය ටික ලියලා කරලා ලෑස්ති කරන්න කියලා.
ඔය කිව්වේ සැඟවිච්ච ගැසට් එක ගැනනේ. දැන් මේ අශෝක පීරිස් මහත්තයගේ වාර්තාව ගැසට් කරන්නේ කවද්ද?
මට ෆයිසර් මුස්තාපා ඇමැතිතුමා පැවසුවා ලබන බදාදා අශෝක පීරිස් මහත්තයට එන්න කිව්වා කියලා මේ වාර්තාවේ පරිවර්තන දෝෂ බලන්න. හැබැයි එයා ආවත් නාවත් ගැසට් කරනවා කිව්වා. ඒවගේ සභික සංඛ්‍යාව සංශෝධනය කරන එකක් පෙබරවාරි 21ට ඉස්සෙල්ලා කරනවාලු. අපි හිතනවා කිසිම එකක්වත් නොකරපු නිසා 28ට ඉස්සෙල්ලවත් නිකුත් කරන්න උත්සාහ කරයි කියලා. එතුමා කියනවාගේ මේක කල්දාන්න වුවමනාවක් නෑ කියලා. ඊට පස්සේ තියෙන්නේ පනත් ටික හදාගන්න එක විතරයි.
මැතිවරණ කල්දාන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි?
ඇත්තටම ඡන්ද කල්දානඑක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක්. පළාත් පාලන ආයතන අවුරුදු 04ක්, සමහර ඒවා 02ක් කල්දදා තියෙනවා. සමහර අය කියනවා මගේ නිලධාරින් කල්දානවා කියලා. දැන් මම මඟුල්ගේක ගියත් ඉස්කෝලෙට ගියත් ෆොටෝ එකක් ෆේස් බුක් දාලා කියනවා මෙන්න මේ යකා ඇවිද ඇවිද ඉන්නවා ඡන්දය තියන්නේ නැතිව කියලා. මම නෙවෙයි කල්දාන්නේ. මගේ කොමිෂන් සභාවට පුළුවන්කමක් නෑ කල්දාන්න. එහෙම බලයකුත් නෑ.
කවුද එතකොට උදව් කරන්න ගියේ?
රජය උදව් කරන්න ඕන ඒ සඳහා ආණ්ඩුව වටපිටාව සකසලා දෙන්න ඕන. අර මට නිතර කියන උදාහරණයක් තියෙනවා. අපේ ගමේ ප්‍රමුඛ ක්‍රිකට් ගහන පාසල් දෙකක් තියෙනවා. ධර්මාශෝක හා දේවානන්දේ කියලා. ඒ දෙකම මැච් ගහන්නේ අම්බලන්ගොඩ නගර සභා පිට්ටනියේ. ඒවා සංවිධානය කරන්නේ පාසල් ක්‍රිකට් සංගමයෙන්. ඒ කියන්නේ හරියට මැතිවරණ කොමිසම වගේ. දේශපාලන පක්ෂ අර ඉස්කෝල වගේ. දැන් හිතන්න නගර සභාව පිට්ටනිය හරලා. මේක හොඳ වැඩක්. හරියට හදන්නයි කරලා තියෙන්නේ. එතකොට පාසල් ක්‍රිකට් සංගමය පුළුවන්ද ඒකේ මැච් එකක් ගහන්න. ඉස්කෝලේ අය කියනවා ගහන්න දෙන්න කියලා. අන්න ඒවගේ තමයි මැතිවරණ කොමිසමට පුළුවන් ද මේ දේශපාලන මැච් එක ගහන්න අවශ්‍ය කරන ක්‍රීඩාංගණය හදලා දීලා නැතුව.
දේශපාලනය ගැන දන්න අයත් බණින්නේ ඔබට? අහන්නේ කෝ ඡන්දය කියලා?
සමහර අය කරුණු දැනගෙන බණිනවා. සමහර අය කරුණු නොදැනගෙන බණිනවා. හැබැයි දේශපාලන වාසි ගන්න මේ බණින නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් වෙනවා කියලා ඔය බණින කට්ටිය හිතන්න ඕන. ඕක 2010 ඉදලා වෙන දෙයක්. අන්තිමට සිදුවුණේ ඡන්ද පොළට ඡන්ද දායකයා නොයෙන එක. මේක හරියට වෘකයයි බැටලු පැටියගේ කතාව වගේ. වෘකයා කියනවා බැටලුවට උඹ තමයි මේ වතුර බොර කළේ කියලා. බැටලුවා කියනවා නෑ නෑ මම ඉන්නේ ඔබතුමාට පල්ලෙහායින් කියලා. ඊට පස්සේ ඇයි වෘකයා කියනවා එහෙනම් ගිය මාසේ උඹ උඩට ගිහින් බොරකරන්න ඇති කියලා. ඊට පස්සේ බැටලු පැටියා කියනවා. මම එතකොට ඉපදිලා නෑ කියලා. එහෙනම් උඹේ තාත්තා බොර කරන්න ඇති කියනවා. අන්න ඒවගේ තමයි මැතිවරණ කොමිසමට බණින්නේ. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ අල්පමාත්‍රයක වරදක් වෙලා නෑ.
ඔබ කියන දෙයින් තේරෙන්නේ මේක ආණ්ඩුවේ කල්මැරිමේ වැඩක් කියලා?
මම කිව්වනේ ඕකට මට උත්තරයක් දෙන්න බෑ කියලා මොකද මැතිවරණ කොමිසමට එහෙම තියන්න බෑ. ඒක නිශ්චිත නෑනේ. නමුත් ඕනෑම කෙනෙක් දන්නවා ගැඹුරු සුමුදු මුහුද යටින් මිනිස්සු ගහගෙන යනවා නම් යටින් දියවැලක් තියෙනවා කියලා. අපි වෙරළබඩ ජීවත් වුණු මිනිස්සුනේ වෙරළබඩ නොවන අයත් පොත පත කියවනකොට තේරුම් ගන්නවා සැකකරනවා කොහොම වුණත් ඔය කියන දියවැල තියනවාද නැද්ද කියන එක මට හෙළිකරන්නම් මාර්තු 01 වැනිදා.
ඒක කියන්නේ එදාට රහස් ගොඩාක් එළියට එයි?
අපිට කියලා තියනවානේ පෙබරවාරි 13ට කලින්, 21ට කලින් සිදුකරනවා කියලා. අපි බලමුකෝ 28 වෙනකල්. ඒකත් කල්ගියොත් එතකොට සැකකරන්න වෙනවානේ. ඒ ගැසට් දෙක කල්දැම්මොත් මට කියන්න වෙනවා හිතාමතාම කියලා. ඒත් අපි හිතනවා කාටවත් හිතාමතා උවමනාවක් නැතුව ඇති කියලා.
මේ අලකලංචි විසඳගත්තයින් පස්සේ ඉස්සෙල්ලාම කියන්නේ මොන ඡන්දයද? පළාත් සභාවද? පළාත් පාලනයද?
දැන්වත් පරක්කු ඡන්දය තියන්න එපැයි. පළාත් පාලන ඡන්දය හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ඒක තමයි ඉස්සෙල්ලාම. ඇත්තටම මේ ලෝකල් ගවර්මන්ට් කියන එක ගැන තවමත් හිතට වැදිලා නෑ. ලෝකල් ගවර්මන්ට් කියන්නේ වචනයෙන්ම තියෙන්නේ ප්‍රාදේශීය ආණ්ඩුව. ඒ ප්‍රදේශයේ පාලන කටයුතු සිදුකළේ මේ ප්‍රාදේශීය ආණ්ඩුවෙන්. අපේ ගමේ මැම්බර් තමයි අපිට ඕනදේ තීරණය කරන්නේ. ඒ විතරක් ද එතනින්නේ තරැණයෝ බිම්මට්ටමේ ඉඳලා ජාතික දේශපාලනයට එන්නේ. ඒකේ වැදගත්කම කවුරැත් දන්නවා. ඒ වගේම මේ වසරේ පළාත් සභා තියන්නත් නියමිතයි.
ඒකත් කල්දායිද?
සමහර අය කියනවා කල්දානවා කියලා. ආණ්ඩුව ව්‍යවස්ථාවයි තුන්වන ව්‍යවස්ථාවයි හතරවන ව්‍යවස්ථාවයි එකට බැඳිලා තියෙන්නේ. පාලන බලතල, ඡන්ද වීමසීම් කියන ඒවා එකට බැඳිලා තියෙන්නේ. මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගොඩාක් තියෙනවා. කල්දාන්න පුළුවන් හැබැයි තුනෙන් දෙකේ ඡන්දයකුයි, ජනමත විචාරණයකුයි එක්ක කියලයි මගේ මතය. හැබැයි ඒක තීරණය කරන්නත් ඕන නීතිවේදීන්. මොකද ඡන්ද බලය මූලික අයිතිවාසිකමද කියලත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා.
ඔබට හිතෙන්නේ නැද්ද මේ අලුත් මැතිවරණ ක්‍රමයක් ගේන්න ගිහින් ආණ්ඩුව පඹගාලක පැටලුණා කියලා?
ඒක ඉතින් ප්‍රතිපත්තිමය කරුණක්නේ. මැතිවරණ කොමිසමට ඒ ප්‍රතිපත්තිමය කරුණුවල ඇති දෝෂ සම්බන්ධයෙන් ප්‍රකාශ දෙන්න අමාරුයි.
ඔබ හිතන්නේ මොකක්ද අපේ මැතිවරණ ක්‍රමය තුළ තිබෙන දෝෂය?
විශේෂයෙන් අපේ මැතිවරණය ක්‍රමයට එල්ලවෙලා තියෙන කළුපැල්ලමක් තියෙනවා. ඒක තමයි නියමිත වෙලාවට මැතිවරණ නොපැවැත්වීම. මම හිතනවා ඒ ප්‍රශ්නය විධායකය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායකය විසඳයි කියලා. මේක ජනතාවගේ අයිතියක්. මැතිවරණ කොමිසමට බලයක් නෑ. ඒ ශුද්ධවූ බලය පාර්ලිමේන්තුවේ 225 සහ ජනාධිපතිවරයාට. අපි හිතනවා ඒ සර්වජන ඡන්ද බලය ඔවුන් සුරකියි කියලා.
ඔබ තමයි අවසාන ඡන්ද කොමසාරිස්. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ පළමු සභාපති. මේ තනතුරු දෙකේ බලය කොහොමද?
එදා තනියම කරනකොට තිබුණු බලය මේ වෙනකොට බෙදිලා ගිහින් තියෙනවා. වගකීමක් එක්ක. හැබැයි වගකීම බෙදිලා තියෙනවා තවමත් බැණුම් බෙදිලා නෑ. දෝෂාරෝපණ සහ විවේචන තනියම විඳින්න ඕනෑ. හැබැයි බලය බෙදිලා.
ඒ නිසා අඩුපාඩුවක් තියෙනවද?
කිසි අඩුපාඩුවක් නෑ. ආණ්ඩුව ව්‍යවස්ථාවේ වගේ ව්‍යවස්ථා සම්පාදකයෝ කිව්ව නිසා කොමිෂන් බිහිවෙලා තියෙනවා. අපි පරණ හණ මිටියෙම එල්ලිලා ඉන්න ඕන නෑ. මම සියල්ල සිදුවන්නේ යහපතටමැයි කියලා හිතන සර්ව සුබවාදී කෙනෙක්. ඒවගේම ඕනෑම දෙයක හොඳ දකින කෙනෙක්. බලය වැඩිවීමක් තියෙනවා. හැබැයි බෙදිලා තියෙන්නේ.
මොකක්ද මේ හැමදාම එන වත්කම් බැරකම් අවුල? ඡන්දයක් ඉවරවෙලා අවුරුද්දක් යනකොට එනවා මේ කතාව?
වත්තම් බැරකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ දීලා තියෙන්නේ. පළාත් සභා අයත් දීලා තියෙනවා. හැබැයි අපිට දීලා නෑ සමහර පක්ෂවල නිලධාරින් ඒවා අපි ලබන 28 වෙනිදා අල්ලස් කොමිසමට දන්වනවා. ඒ වගේම ඡන්දය ඉල්ලා පරාජය වුණු අපේක්ෂකයන් 300කගේ නාමලේඛනයක් මේ වෙනකොට අල්ලස් කොමිසමට ගිහින් තියෙන්නේ. මම හිතනවා ඒ අය නඩුදායි.
අලුත් පක්ෂ පිහිටවන එකක් දැන් හතු පිපෙනවා වාගේ නේද?
දේශපාලන පක්ෂ පිහිටුවන එකට මේ දවස්වල ඉල්ලුම් පත්‍ර අපි කැඳවනවා. හැබැයි ඒක ප්‍රමිතියකට සිදුකරනවා. අවුරුදු හතරක් ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තන් අවසන් මහ මැතිවරණයෙන් ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉන්න ඕන. හැබැයි එම පක්ෂයෙන්. ඉන්දියාවේ ජාතික වශයෙන් පිළිගත්ත පක්ෂ තියෙන්නේ 6යි. ප්‍රාන්ත මට්ටමින් පිළිගත්ත ඒවා 70යි. අපේ දැනටම 64ක් තියෙනවා. පිළිගත්ත ඒවා. ඒවාගේ පිළිඅරගෙන අක්‍රිය වෙච්ච පක්ෂ 04ක් තියෙනවා. හැබැයි අපි පිළිගත්තට මහජනතාව පිළිගන්නවද කියන එක බලන්න ඕන. ප්‍රාදේශීය සභාව තවමත් මන්ත්‍රීවරයකු තෝරාගන්න බැරි පක්ෂ පිළිගත් පක්ෂ හැටියට ගන්නවාද නැද්ද කියන එක සලකලා බලන්නයි. සමහර පක්ෂ තියෙනවා ඡන්ද අඩුයි. හැබැයි ප්‍රතිපත්තිමෙය කරුණු එක්ක බලද්දී ඔවුන් පිළිගත නැති තැනක ඉන්නවා. ඒ නිසා ඔය සම්බන්ධයෙන් තව හිතා බලන්න ඕන.
අලුතෙන් ඡන්දාෙයකයෝ එකතුවීම කොහොමද?
ඇත්තටම අපි අවුරුදු 18ට වැඩි අයට ඡන්ද අයිතිය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසලා තියෙනවා. මාස හතරින් හතර අවුරුදු 18 වැඩි අයගේ නාම ලේඛනයක් අරගෙන ඡන්ද නාම ලේඛනයක් හදන්න යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා පක්ෂ නායකයනුත් කැමතියි. දැන් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ.
2015 යහපාලන ආණ්ඩුව ගේන්න උදව් කළ අයකු ලෙස විපක්ෂය විසින් ඔබ නම් කළා. ඒක ඇත්තද?
ඒ කාලේ විපක්ෂයද? දැන් විපක්ෂයද? කවුරුත් මට චෝදනා කරන්නේ නෑ. මාව හම්බවෙන විපක්ෂයේ මන්ත්‍රීවරු නම් කියනවා එක එක දේවල්. මට කාටවත් දිනවන්න අවශ්‍යතාවයක් නෑ. මම ඡන්දය දැම්මෙත් නෑ. මට කොයි අපේක්ෂකයත් එකයි. හැබැයි අපි එකක් කළා. ඡන්දදායකයට ඡන්ද පොළට ගෙන්වන්න වැඩ කළා. ඒක දැනුත් කරනවා. ඒකට බැන්නට කරන්න දෙයක් නෑ. අපි ඒ දේ කරනවා. අපි පාක්ෂිකයි. හැබැයි ඒ මහජනතාවට. අපි අපක්ෂපාති ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂ සම්බන්ධයෙන්. හැබැයි අපි පක්ෂපාතියි ජනතාව වෙනුවෙන්.
මේ අත්දැකීම් ගැන හිතලා පොතක් ලියන්න කල්පනාවක් නැද්ද?
පොත්නම් හැමතැනම ලියන්න පුළුවන්. හැමෝම පොත් ලියනවනේ. පොත් ලියනවට වඩා මම කැමතියි මැරෙනකල් කතා කරන්න. මම කැමතියි ජනතාව දැනුවත් කරන්න. අපිට ඉර වෙන්න අමාරුයි. හැබැයි කනාමැදිරි එළියක් හරි වෙන්න පුළුවන්.
ඔබත් ඉන්නේ ආතතියෙන්ද?
මොන ආතතියක්ද මට? ආතතිය ආවත් ඔයාලා කතා කරද්දී ඒක නැති වෙනවා.
ගයාන් ගාල්ලගේ
ෙස්යාරුව I සුමුදු ෙහ්වාපතිරණ