2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

වතුර බිලට මැති ඇමැතිලා ගැටුමක; රවුෆ් තනතුර අත්හරින බව කියයි.

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 0

 වෙල්ගම කියන දේ ගණන් ගන්න එපා හිටපු ජනපති මන්ත්‍රීන්ට කියයි
 ජනපතිට ෆොනීගෙන් පිළිතුරු
 මෝදිගේ  කනස්සල්ල අගමැති ජනපතිට දැනුම් දෙයි
 සබරගමු ආණ්ඩුකාරවරියට ඒකාබද්ධයෙන් නඩු
 විග්නේෂ්වරන් දෙමළ සන්ධානය බිඳ දමයි
 හේමසිරි ආයෝජන මණ්ඩලයට: රොනල්ඩ් ඉවත් නොවේ

 

පසුගිය සති කිහිපය තිස්සේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.පය හා එ.ජා.ප.ය අතර හටගෙන තිබූ මතගැටුම පවතිද්දී රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අලුත් ප්‍රශ්නයක් මතුවිය. හේතු ගණනාවක් මත ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන මහජන බැංකුව හා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට මෙයට පෙර වාර තුනකදීම උපදෙස් දී තිබිණි. එහෙත් එ.ජා.පය බැංකු ප්‍රධානීන් ඉවත් කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත.

ඒ ගැන විමසිල්ලෙන් සිටි ජනාධිපතිවරයා පසුගිය සතියේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කැඳවා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙසත් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හරින ලෙසත් උපදෙස් දුන්නේය. ඉදිරි සතියේදී අගමැතිවරයාගෙනුත් විමසා සුදුසු අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් පත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීය. අමාත්‍ය කිරිඇල්ල එහිදී ඉල්ලා සිටියේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා ජනාධිපතිතුමාගේ නාම යෝජනා ලබන සතියේ ලැබෙන්නට සලස්වන ලෙසයි. ඉන් පසු ජනාධිපති කාර්යාලයෙන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි කතාව නිවේදනය කැරිණි. ඒ සමඟ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස සැලකෙන රුසිරුපාල තෙන්නකෝන් මහතා කැඳවූ ජනාධිපතිවරයා ඔහු සමඟ ද සාකච්ඡා කොට නව බැංකු ප්‍රධානීන් පත්කිරීම ගැන තීන්දුවක් ගත්තේය. ඉන් අනතුරුව ගිය සඳුදා නැවතත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපති කාර්යාලයට කැඳවා සාකච්ඡා කර බැංකු දෙකේ සභාපතිවරුන්ට ඉවත් වීමට සලස්වා නව සභාපතිවරියන් දෙදෙනකුගේ නම් යෝජනා කළේය. ඒ වනවිට ලංකා බැංකු සභාපති ධූරය දැරුවේ එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරාය. මහජන බැංකු සභාපති වූයේ ප්‍රවීණ පරිපාලන නිලධරයකු වන හේමසිරි ප්‍රනාන්දුය. හේමසිරි බැංකු සභාපති ධූරයට අමතරව ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ඔහු රජයට අවශ්‍ය ඕනෑම මොහොතක සභාපති තනතුරෙන් ඉවත් වන බව කල්තබාම පවසා තිබිණි. කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය කිරිඇල්ලට උපදෙස් දුන්නේ මහජන බැංකුවේ සභාපති ධූරයට හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියක වූ ආචාර්ය දමිතා ද සොයිසා ද, ලංකා බැංකු සභාපති ධූරයට මහා මාර්ග අමාත්‍යංශ ලේකම් පදවිය දැරූ සුජාතා කුරේ ද පත්කරන ලෙසයි. ඒ අනුව නව පත්වීම් දීමට කටයුතු සංවිධානය කෙරෙමින් පැවතුණි.

එහෙත් අවසන් මොහොතේ සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. පෙර දිනයේ දහවල් ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාව පරිදි බැංකු සභාපතිවරුන් දෙදෙනා ඉවත් නොකිරීමට එ.ජා.ප.ය සඳුදා රාත්‍රියේ තීන්දු කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ ප්‍රධානීන් ගණනාවක් පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීන්දුව ගත් බව ප්‍රකාශ විය. ඒ සමඟ ලංකා බැංකු සභාපති රොනල්ඩ් පෙරේරා මහතා ඇමතූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙක් සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙසත් පසුදා සේවයට ගොස් දිගටම සේවය කරන ලෙසත් දැන්වීය. එය මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දුට ද දන්වන ලෙස පක්ෂ ජ්‍යෙෂ්ඨයා රොනල්ඩ්ට කීය. ඒ දැන්වීමත් සමඟ නව සභාපතිවරියක් පත්කිරීම අත්හිටැවිණි. ලංකා බැංකු සභාපතිවරයා අනතුරුව මහජන බැංකු සභාපති හේමසිරි අමතා තනතුරින් ඉවත් නොවන ලෙස රජය දන්වා ඇති බැවින් තමන් අඟහරුවාදා සිට නැවත සේවයට යන බවත්, මහජන බැංකු සභාපතිට ද සේවය සඳහා යන ලෙස රජය  දන්වන බවත් කීය.

එහෙත් ඒ වනවිටත් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී සිය නිල වාහනය ද බැංකුවට යවා නිවසට වී සිටියේය. තමන්ට දුරකථන ඇමතුම දුන් ලංකා බැංකු සභාපතිවරයා ඇමතූ හේමසිරි කීවේ මෙම ඉවත් වීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ බැංකු සභාපතිවරැන් ඉවත් කරන්නේ වංචා හා දූෂණ අක්‍රමිකතා නිසා යැයි බරපතළ චෝදනාවක් රජයේ ඉහළ තැන්වලින් කියැවී ඇති නිසා එබඳු චෝදනා මත නැවතත් තනතුර භාර ගැනීමට අකමැති බවයි. ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයකු ලෙස තමන් නැවතත් සභාපති ධූරය භාර නොගන්නා බව රොනල්ඩ්ට කී හේමසිරි විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔහු මින් ඉදිරියට සභාපති ධූරය දරන්නේ පීපල්ස් ලීසිං ආයතනයේ පමණක් බව ද කීය. අනතුරුව සිය සුපුරුදු ජංගම දුරකථනය නිවා දමා සිය පුත්‍රයා සමඟ නිවසින් පිටතට ගිය බව හේමසිරිගේ නිවසට දුරකථක ඇමතුම් දුන් සියල්ලන්ටම නිවසින් පිළිතුරු ලැබිණි. මේ හේතු නිසා බදාදා වන විටත් බැංකු අර්බුදය විසඳුණේ නැත.

ඒ අතර අඟහරුවාදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි අමතා බැංකු සභාපති ධූරයෙන් ඉවත් කිරීම ගැන කනස්සල්ලෙන් සිටීදැයි විමසා තිබිණි. එවිට හේමසිරි එවැන්නක් නැතැයි කීවිට තමන් ඔහු එම තනතුරින් ඉවත් කළේ ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ධූර භාරදීමට බැවින් එම තනතුර භාර ගන්නා ලෙස දැන්වීය. දැනට අගාධයට ගොස් ඇති ආයෝජන මණ්ඩලය ගොඩ ගන්නා ලෙස ද හේමසිරිට කීය. ඒ සමඟ විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම ද හේමසිරිට කතා කොට ජනපති ආයෝජන මණ්ඩලය භාරගන්නැයි දැන්වූ බව කීය. ඒ අතර හේමසිරි වෙනුවට මහජන බැංකුවට නම් කළ ආචාර්ය දමිතා ද සොයිසා එම තනතුර ප්‍රතික්ෂේප කළ බව මෙම සටහන ලියන මොහොතේ වාර්තා විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය සඳදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණේය. ඒ මුණගැසුණේ තමන්ගේ තෙදින නිල ගමනේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව ගැන පළකළ අදහස් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහාය. ජනාධිපති සහ අගමැති පමණක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා තමන්ට ඉන්දීය නායකයා දුන් පණිවුඩ සියල්ල ජනපතිට කී බව සඳහන් වේ. මේ ගැන රජය කිසිදු නිල ප්‍රකාශයක් කර නැත.

ඉන්දියාවට ගිය රනිල් අගමැති මෝදි හමුවූයේ ‘රෝ’ චෝදනා කතාව නිසා ඉන්දු ලංකා සබඳතා ආතතියට ලක්ව තිබූ මොහොතකය. ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් හා ස්වදේශ ඇමැති රාජ්නාත් සිං වැනි ජ්‍යෙෂ්ඨයන් හමුවීමෙන් පසු රනිල් හයිද්‍රාබාද් හවුස්හිදී අගමැති මෝදි මුණගැසුණේය. මෙම කතාවේදී ළඟදී නැගූ ‘රෝ’ චෝදනාව ගැන අගමැති මෝදි දීර්ඝව රනිල්ට කරුණු පහදා ඇත. මෙම කතා නිසා ඉන්දියාව හෑල්ලුවට පත්වූ බව අගමැති මෝදි කියා තිබිණි. තමන්ට ඒ ගැන ජනාධිපති සිරිසේන කතා කළ බවත් රෝ ඝාතන කතාව නොකී බව ඔහු කී නිසා තමන් ඒ ගැන යමක් නොපවසන නමුත් ලංකාවේ සිදුවන සියලු දේ ගැන තමන් දැනුවත් බව අගමැති මෝදි රනිල්ට කීය. ජාත්‍යන්තරයේදීත් කලාපීය ප්‍රශ්නවලදීත් තමන් නිතරම ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව සඳහන් කළ හෙතෙම කිසියම් ප්‍රශ්නයක් තිබෙනවානම් තමන් සමඟ ඕනෑම වෙලාවක කතා කළ හැකි යැයිද සඳහන් කර තිබිණි. එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේ තමන් නිතරම ඉන්දියාව මිතුරකු ලෙසින් සලකන බවත් සහයෝගයෙන් ඉදිරියටත් වැඩ කරන්නට සතුටු වගත්ය. එවිට තවදුරටත් කරුණු දැක්වූ ඉන්දීය නායකයා ‘රෝ’ සංවිධානය ගැන තොරතුරු කියමින් තමන් ක්‍රම තුනකට මෙම කතාව පරික්ෂා කළේ යැයි කීය. ‘රෝ’ ප්‍රධානී රාම් ඩස්මාන් ෂාහ් මෙන්ම විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ්ගෙන් ද කරැණු විමසූ බව පැවසීය.

අනතුරුව ඉන්දු ලංකා ආර්ථික සබඳතා ගැන කතා කළ අගමැති මෝදි ප්‍රකාශ කළේ තමන් ජාත්‍යන්තර කටයුතුවලදී ලංකාව සඳහා සෑහෙන කාලයක් කැප කරමින් ක්‍රියා කළත් කිසිදු ව්‍යාපෘතියක් කතා කරන ආකාරයට ආරම්භ නොවීම කනගාටුවට කරුණක් බවය. ඉන් අනතුරු අගමැති රනිල් වරායේ නැගෙනහිර පර්යන්තය ගැන සාකච්ඡා කරද්දි මෝදි අගමැතිවරයා ප්‍රකාශ කළේ විරෝධතා මධ්‍යයේ මෙබඳු ව්‍යාපෘතියක් පටන් ගැනීම තමන්ගේ අරමුණ නොවන බවය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරාවාදා උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහිදී තීරණාත්මක කාරණා ගණනාවක් ගැන අමාත්‍ය මණ්ඩලය අවධානය දැක්වූ බව වාර්තා වේ. ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජල බිල්පත් ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට්ටුවට යෝජනාවක් ඉදිරිපත් කළේය. ජල මිල ඉහළ දැමිය යුතු යැයි අමාත්‍ය හකීම් යෝජනා කර ඇත. මෙලෙස ජල ගාස්තුව ඉහළ නංවන්නේ නැතිනම් ජල සම්පාදන අමාත්‍යංශය වෙනත් කාට හෝ බාරදන්නැයි තමන් රජයෙන් ඉල්ලන වග ද අමාත්‍ය හකීම් කැබිනට්ටුවට දැන්වීය. සමෘද්ධිලාභීන් මෙම යෝජනාවෙන් නිදහස් කර සෙසු පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු 65% සිට 100% දක්වා ඉහළ දමන්නට ඇමැති හකීම් යෝජනා කළ විට අමාත්‍යවරුන් වන සරත් අමුණුගම හා රිෂාඩ් බදුයුදීන් ඊට තරයේම විරෝධය පළකළහ. ජල සම්පාදන මණ්ඩලය පාඩු පිට දුවන්නේ අමාත්‍ය හකීම් මහතා විසින් අතිරික්ත සේවකයන් 800ක් රස්සාවල්වලට දමා වැටුප් ගෙවන්නට සිදුවීම නිසා යැයි පෙන්වා දුන්නේය. එහිදී හකීම් කියා ඇත්තේ චෝදනාව සත්‍යයෙන් තොර බවය. ජල ගාස්තුව වසර 2009 සිට වැඩිකර නැතැයි ඔහු පවසද්දී ඇමැති අමුණුගම සඳහන් කළේ රටේ ජීවන වියදම සීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවක මේ ආකාරයට ඉහළ ප්‍රතිශතයකින් ජල ගාස්තුව ඉහළ දැම්මොත් තවදුරටත් ජීවන බර වැඩි වී ජනතාව බලවත් පීඩාවකට පත්වන බවය. ඒ නිසා මේ වෙලාවේ ජල බිල ඉහළ නැංවීමට තමන් විරුද්ධ යැයි හෙතෙම පැවසීය. අමාත්‍ය චම්පික රණවක මෙහිදී අදහස් දක්වමින් කියා තිබුණේ ජල මණ්ඩලයේ කළමනාකරණ කටයුතු මෙයට වඩා විනිවිදභාවයෙන් යුක්ත වීම වැදගත් බවයි.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සත්‍ය කොමිසම පිහිටුවීමේ යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේය. එවිට ජනාධිපති මෛත්‍රී ප්‍රකාශ කළේ ජත්‍යන්තරය මානව හිමිකම් චෝදනා මත මාලි රටේ සාම සාධක මෙහෙයුමට නායකත්වය දෙන කර්නල් අමුණුපුරට චෝදනා එල්ල කර ඇත කියායි. ඔවුන් එලෙස ක්‍රියා කරද්දී අප රට ද ඊට ප්‍රතිචාර දැක්විය යුතු යැයි ජනපති කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් කර්නල්වරයාට අවශ්‍ය කරන සහතිකය ලැබී නැත කියායි. එවිට ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසම ගැන ද අසතුට පළකරද්දී අමාත්‍ය චම්පික රණවක ජිනීවා යෝජනාවෙන් මේ රට ඉවත් විය යුතු යැයි අලුත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ සඳහා නව රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් කළ යුතු යැයි චම්පික පැවසීය. ඒ අතර දැනට අනවසර රජයේ ඉඩම්වල පදිංචිව සිටින තැනැත්තන්ට රජයේ ඉඩම් සින්නක්කර ලබාදීමට යෝජනාවක් කැබිනට්ටුවට ඉදිරිපත් විය. ජනාධිපතිවරයා ඊට එකවර එකඟ නොවන බව කීය. ඊට හේතු ලෙස ඔහු සඳහන් කළේ මෙලෙස ඉඩම් සින්නක්කරව ලබා දුනහොත් ඒවා ඉඩම් හිමියන් විසින් විකුණා දමන්නට ඉඩ ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පසුගිය සඳදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මුලින්ම සඳහන් කළේ අයවැය පරාජය කරවන බව විපක්ෂය කියන නිසා සියලු මැති ඇමැතිවරුන් අයවැය විවාදය සිදුවන නිවාඩු දිනවල පවා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අනතුරැව පෙන්වා දුන්නේ රජය මඟින් යෝජිත ගම්පෙරළිය වැඩසටහනට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛනවල අඩුපාඩු ගණනාවක් තිබෙන බවයි. ඒවා නිවැරදි නොකර ගම්පෙරළිය සාර්ථකව සිදුවන්නේ නැති බව මන්ත්‍රීවරයා කීය. අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා නව යෝජනාවක් ඉදිරිපත් කරමින් ගම්පෙරළිය යටතේ පන්සල්වලට සූර්ය බල පද්ධති ලබා දෙමු යැයි කීය. සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් මුදල් ඉල්ලූ බවට අභූත චෝදනාවක් නැගෙන වගයි. මේ කාරණයේදී තම නම පිරිසිදු කරගන්නට වහා රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන්නැයි සුජීව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලුව ද අගමැති ඊට ප්‍රතිචාර දැක්වූ බවක් නොපෙනිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය අඟහරුවාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී රුස්විය. එහිදීත් ඇතැම් මන්ත්‍රීන් කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා විවිධ ස්ථානවලදී කරනු ලබන විවේචන සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කළෝය. එවිට හිටපු ජනාධිපතිවරයා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත්‍රීන් සමඟ කීවේ වෙල්ගම මන්ත්‍රීවරයාට  පිළිතුරැ දීම ඵල රහිත බවය. ඔහුට පක්ෂ ස්ථාවරය වාර ගණනාවක්ම දැනුම් දී ඇති බැවින් ඒ ගැන ඉදිරියේදී වෙල්ගම මන්ත්‍රීවරයා ක්‍රියා කරන ආකාරය අනුව අවශ්‍ය පියවර ගනිමු යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. අනතුරැව සබරගමුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාටත් රත්නපුරය දිස්ත්‍රික් මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් හිටපු ජනපතිවරයාටත් විශේෂ රාජකාරියක් පැවරීය. සබරගමුවේ ආණ්ඩුකාර පදවිය දරන නිලූකා ඒකනායක මහත්මිය ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභාව අක්‍රීයව තිබියදී පරිපූරක ඇස්තමේන්තුවකට අදාළව යැයි කියමින් මුදල් ලබාගෙන පළාතේ සංවර්ධන කටයුතු සඳහා ඒවා වැය කරන බව දැන්වීය. ආණ්ඩුකාරවරියගේ එම ක්‍රියාවට එරෙහිව වහාම අධිකරණයේ නඩු පවරන ලෙස හිටපු ජනපතිවරයා උපදෙස් දුන්නේය. එම නඩුවේදී ආණ්ඩුකාරවරියට එරෙහිව තහනම් නියෝගයක් ලබාගන්නා ලෙස ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

දේශය පුවත්පත විසින් පසුගිය සැප්තැම්බර් 23 වැනිදා මුලින්ම අනාවරණය කළ ආකාරයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව මේ සතියේ මුල් වරට ප්‍රකාශ කළේය. කලකට ඉහත පිහිටුවන ලද දෙමළ ජාතික සන්ධානය බරපතළ බෙදීමකට ලක්කරන විග්නේෂ්වරන්ගේ තීන්දුව ඔහු ගිය බදාදා යාපනේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. එම අවස්ථාවට දෙමළ සන්ධාන මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මෙන්ම පසුගිය දා විසිරුණු පළාත් සභාවේ හිටපු ඇමැතිනී ආනන්දි සසිදරන් මහත්මිය ඇතුළු පළාතේ දේශපාලනඥයන් ගණනාවක්ම එක්ව සිටියෝය.

දෙමළ ජනතා සන්ධානය නමින් නම් කර තිබෙන නව දේශපාලන පක්ෂය ඉදිරි කාලයේ උතුරේ රැඩිකල් දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ සන්ධානගත වනු ඇතැයි ද කියැවේ. දෙමළ සන්ධානයේ දැනට සිටින තවත් මන්ත්‍රීන් ගණනාවක් මෙන්ම උතුරේ ශිෂ්‍ය සංවිධාන සහ ජාත්‍යන්තර ඩයස්පෝරාවේ හිතවතුන් ද වැඩිපුර විග්නේෂ්වරන්ට සහාය දෙන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. නව පක්ෂය ආරම්භ කරන බව දැන්වීම සඳහා පවත්වන ලද මුල්ම රැස්වීමේදී හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයට මෙතෙක් උතුරේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බැරි වී තිබෙන බවය. පළාත් සභාවෙන් හෝ උතුරේ ජනයාට සේවය කරන්නට දෙමළ සන්ධානය තමන්ට ඉඩ නොදුන් බව විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කීය. ඒ නිසා තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ජනතාවට වැඩ කළ හැකි නව පක්ෂයක් සමඟ මහජන මෙහෙවරට එක්වන බව සඳහන් කළ විග්නේෂ්වරන් මහතා තමන් ගැන උතුරේ ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටින බැවින් ඒවා ඉටු කරන්නට ක්‍රියා කරන වගට ප්‍රතිඥාවක් ද දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා ප්‍රමුඛ සේනානායකවරුන්ගේ සමරුවේදී ආන්දෝලනාත්මක දේශනයක් පැවැත්වීය. තමන් 2015 වසරේ ජනාධිපතිවරණය සඳහා එ.ජා.පය සමඟ එක්වෙද්දී සිතා සිටියේ ඩී. එස්. සේනානායක හා ඩඩ්ලි සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රතිපත්ති එ.ජා.පයේ තිබෙන බව යැයි කී ජනාධිපතිවරයා එහෙත් අද ඇත්තේ ඩී. එස්. හෝ ඩඩ්ලිගේ එ.ජා.පය නොවන බව කීය. ඔහු මේ කතාව කියනවිට එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන කරු ජයසූරිය මහතා සභාවේ අසුන් ගෙන සිටියේය. තමන් හදවතින්ම ඩී. එස්. ගේ ඩඩ්ලිගේ ප්‍රතිපත්තිවලට ගරු කරන නිසා අනාගතයේ එම සේනානායකවරුන් විසින් ගෙනගිය ප්‍රතිපත්ති ඇතුළත් එ.ජා.පයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා සේනානායක ප්‍රතිපත්ති ගැන කළ කතාවට පිළිතුරු සැපයුවේ පසුගියදා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාය. ෆොන්සේකා මහතා සිරිකොත පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ ඩී. එස්.ලා ඩඩ්ලිලා එ.ජා.පයේ සාදාගෙන ගිය ප්‍රතිපත්ති අද ක්‍රියාත්මක කරන්නට ගියහොත් ඒ දේ කරන්නට යන තැනැත්තා පිස්සෙක් යැයි ජනතාව සිතනු ඇති බවයි. මේ කතා අහනවිට තමන්ට සිනහත් යන බව ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා ඩී.එස්. ලා එදා සටන් කළේ බ්‍රිතාන්‍ය පාලනයෙන් රට ගලවාගන්නට බව මතක් කළේය. ඒ සඳහා ගෙනගිය වැඩපිළිවෙළ අද කරන්න යාම පිස්සු වැඩක් යැයි ඔහු නැවතත් පැවසීය.

ෆොන්සේකා මහතා මෙලෙස පිළිතුරු දුන්නේ එදා ජනාධිපතිවරයා කළ කතාවටය. ජනාධිපතිවරයා සහ එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් අතර තිබෙන මතගැටුම සරත් ෆොන්සේකාගේ කතාවෙන් නැවතත් තහවුරු විය. මේ ආකාරයට ඉදිරියටත් යහපාලන රජය පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වෙමින් පවතිනා බව නම් ඉතා පැහැදිලිය.

- ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර