♦එ.ජා.ප. නායකත්ව සටනේ ජය රනිල්ට
♦අමාරුවේ වැටුණේ නිමල් සිරිපාල බව මහින්ද පවසයි
♦සම්මුති ආණ්ඩුවෙන් යන්නට ගත් තීන්දුව ජනපති වෙනස් කරයි
♦ඒකාබද්ධයට දුන් ඇමැති ධූර පහම ප්‍රතික්‍ෂේපයි
♦තටු කැපෙන්න යන ඇමැතිලා දෙදෙනෙක්
♦යන්න හැදූ දුමින්දට ජනපතිගෙන් තරවටුවක්
පළාත් පාලන මැතිවරණය හමාර වී සතියක් පමණ ගතවන තෙක් රට තුළ පැවතියේ බලවත් අවිනිශ්චිත බවකි. යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන යාම ගැන බරපතළ අර්බුදයක් හටගත්තේය. මැතිවරණ සමයේ තමන් දූෂිත පිරිස් සමඟ ආණ්ඩු කරන්නේ නැතැයි ප්‍රසිද්ධියේම කීවේ ජනාධිපතිවරයාය. එයින් ඔහු අදහස් කළේ එ.ජා.පය ද මහින්ද පිල යන්න පැහැදිලි කළේ නැත. කෙසේ හෝ ඡන්ද ප්‍රතිඵලයෙන් එ.ජා.පයට අත්වූ අනපේක්ෂිත පරාජයෙන් පසු යළිත් පක්ෂය තුළ නායකත්ව සටනක් හටගත්තේය. අගමැති රනිල් වෙනුවට විකල්ප නායකයකු අවශ්‍ය බව එ.ජා.පයේම සමහරු මත පළ කරන්නට වූහ. වසන්ත සේනානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාලිත රංගේබණ්ඩාර වැනි මැති ඇමැතිවරු ඇතැම් විට ඍජුව ද වක්‍රව ද මේ ගැන කීහ. වත්මන් අගමැතිවරයා වෙනුවට තාවකාලිකව කරු ජයසූරිය මහතා පත් කළ යුතු යැයි යෝජනා කෙරෙද්දී කරු ජයසූරිය මහතා ඒ ගැන විමසූ සැමටම කීවේ තමන් කිසිදු තනතුරක් ඉල්ලා නැති බවත් පක්ෂ සමගිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම පොදු තීන්දුවකට හිස නමන බවත්ය. ඒ අතර එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් විකල්ප යෝජනාවක් සැලැසුම් කළෝය. එමගින් කියැවුණේ පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාටත් අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාටත් වෙන් කර ලබාදීමෙන් ප්‍රශ්නය විසඳෙන බවයි. ඒ අතර මලික් සමරවික්‍රම, මංගල සමරවීර, සාගල රත්නායක, අකිල විරාජ් ආදී මැති ඇමැතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට දැඩි කැපවීමෙන් ක්‍රියා කළෝය. පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර ආදී එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය බෙදීමකින් තොරව මධ්‍යස්ථ විසඳුමක් සඳහා සාකච්ඡා කරමින් උන්හ.
ඒ කටයුතු සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවීම් ගණනාවක්ම සිදුවිය. ඒ හැම අවස්ථාවකදීම වාගේ ජනාධිපතිවරයා යෝජනා කළේ අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කළ යුතු බවය. මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනාධිපති ලෙස තමාටත් අගමැතිටත් දෙදෙනාටම ජනතාව ප්‍රබල පණිවුඩයක් දී ඇති බැවින් ඊට අවනතව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට මෙම ඡන්ද ප්‍රතිඵලය කිසිදු බාධාවක් නොවන වගයි.
ඒ අතර ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ කොළඹ විවිධ ස්ථාන ගණනාවක දී ගත යුතු තීරණය ගැන සාකච්ඡා කළෝය. මෙයින් සාකච්ඡා වැඩි ගණනක් තිබුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නිවසේය. දයාසිරි, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, සුසිල් ප්‍රේමජයන්ත ආදීහු එහි රැස්වූහ. අනතුරුව ජෝන් සෙනවිරත්න මහතාගේ නිවසේ ද එස්.බී. දිසානායක මහතාගේ නිවසේ ද දුමින්ද දිසානායක මහතාගේ නිවසේ ද රැස්වීම් පැවැත්විණි. මේ හැම රැස්වීමකදීම තීන්දු වූයේ තවදුරටත් එ.ජා.පය සමඟ ආණ්ඩු කළ නොහැකි බවය. එ.ජා.පය සමඟ රජයක් පවත්වාගෙන යාමෙන් ඉදිරි මැතිවරණ ද පරාජයට පත්විය හැකි බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ එකම මතයකට පැමිණියහ. මේ නිසා තමන්ගේ පැරැණි මිත්‍රයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන පොහොට්ටුව කණ්ඩායම (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සමඟ සාකච්ඡා කොට තනි ශ්‍රී.ල.නි.ප. රජයක් ගෙන යාමට සාකච්ඡාවක් ඇරැඹිණි. සුසිල් ප්‍රේමජයන්ත සහ ජෝන් සෙනවිරත්න යන මහත්වරු ඍජුවම මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතා කළ අතර බැසිල් රාජපක්ෂ මහතා සමඟ කතා කළේ එස්.බී. දිසානායකය. බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ආදීන් සමඟත් ඇතැම් පිරිස් අදහස් හුවමාරු කර ගත්හ. මෙහිදී දෙපක්ෂයේ සබඳතා තහවුරු කිරීම සඳහා තිරයට පිටුපස සම්බන්ධීකරණ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ ජනාධිපතිවරයාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනයි. මේ කතාබහ අතරතුර වාර දෙකක් ඒකාබද්ධයේ නියෝජිතයෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. එම නියෝජිත පිරිසට බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ ආදීහු ඇතුළත් වූහ. ජනාධිපතිවරයාගේ හමුවේදී ජනාධිපතිවරයා තම පැරණි සගයන්ගෙන් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒකාබද්ධයේ නියෝජිතයන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපතිට දැන්වූයේ තමන්ගේ කණ්ඩායම විපක්ෂයේ සිට රජයට සහාය දෙනවා මිස ආණ්ඩුවේ තනතුරු බාරගන්නට කිසිම සූදානමක් නැති බවය. එහෙත් ජනාධිපතිවරයා දිගින් දිගටම කීවේ ඒකාබද්ධයේ කැපවීම පෙන්වන්නට තනතුරු බාරගත යුතු වගය. අඩුම තරමින් අමාත්‍ය ධූර 5ක්වත් බාරගන්නැයි ඔහු ඉල්ලා සිටියේය. මුදල් අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස බන්දුල ගුණවර්ධන මහතාට කෙළින්ම ඔහු කීය. එහෙත් බන්දුල කීවේ තමන්ට මේ අවස්ථාවේ මුදල් අමාත්‍ය ධූරය බාරගත නොහැකි වගයි. පක්ෂ තීන්දුව අනුව ක්‍රියා කරන බව බන්දුල ජනපතිවරයාට කීය. මේ වන විටත් ශ්‍රී.ල.නි.පයෙන් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් කර සිටි නිමල් සිරිපාල අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා අමතා තිබූ අතර ජනාධිපති මෛත්‍රී ද හිටපු ජනාධිපතිවරයාට දුරකතනයෙන් කතා කොට තිබිණි.
මේ ආකාරයට සාකච්ඡා වට ගණනාවකින් පසු නිමල් සිරිපාල අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට හා ඇමැතින්ට කියා තිබුණේ ඒකාබද්ධය දැන් රජයට සහාය දී පසුව සහාය ඉවත් කරගතහොත් තමන් පමණක් නොව ජනාධිපති ද අමාරුවේ වැටෙන්නට පුළුවන් කියාය. ඒ නිසා තවත් වරක් තනතුරු බාරගන්නට ඇරයුම් කළ යුතු යැයි තීන්දු විය. එවර එස්.බී. දිසානායක, ජෝන් සෙනවිරත්න, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත ආදීන් ගියේ බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසටයි. බන්දුලගේ නිවසේ රාත්‍රී භෝජනයක් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ බන්දුලලාගේ තීන්දුව වෙනස් කරන්නැයි දැඩි ඉල්ලීමක් කළහ. නමුත් බන්දුල එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. ඒ වන විටත් පොහොට්ටුවට ඡන්දය දුන් හිමිවරුන්, පක්ෂයේ හිතවතුන් රාශියක් රජයට එක් වී තනතුරු නොගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබිණි. එසේම බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ආදී රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ ද ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවනවා මිස රජයේ තනතුරු නොගත යුතු වගය.
ඒකාබද්ධයේ ස්ථාවරය එසේම තිබියදී මහින්ද අමරවීර ඇමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් තීන්දු කළේ තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව සඳහා ශ්‍රී.ල.නි.පය දායක නොවන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමටයි. ඒ සඳහා සකස් කළ ලිපිය මහින්ද අමරවීර සන්ධාන මහ ලේකම් විසින් ජනාධිපතිවරයාට ගිය සඳුදා රාත්‍රියේ බාරදුන්නේය. එහෙත් ශ්‍රී.ල.නි.පයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැතිවරු තිදෙනෙක් තමන්ට රාජපක්ෂලා සමඟ ආණ්ඩු කළ නොහැකි බව කියන්නට වූහ. දුමින්ද දිසානායක, විජිත් විජයමුනි සොයිසා සහ ආචාර්ය සරත් අමුණුගම ද මේ අතර වූ බව කියැවිණි. එහෙත් සරත් අමුණුගම හා මහින්ද සමරසිංහ අමාත්‍යවරුන් ජනාධිපතිවරයා කියන දෙයක් කරන බව පසුව කියා තිබිණි.
දුමින්ද දිසානායක ඇමැතිවරයා තම මතය ජනාධිපතිවරයාට කියන්නට ජනාධිපතිවරයා මුණගැසුණ අවස්ථාවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එහි සිටියේය. දුමින්ද තමන්ට රාජපක්ෂලා සමඟ සිටිය නොහැකි බව කියමින් පක්ෂයෙන් සහ රජයෙන් ඉවත් වන්නට සතුටු බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ඒ මොහොතේය. දුමින්දගේ කතාවෙන් දැඩි ලෙස කෝපයට පත් ජනාධිපතිවරයා ඔහුට දරුණු ලෙස දෝෂාරෝපණය කොට ජනපති නිවසින් වහා පිටව යන ලෙස දැඩිව කී බව පසුව දැනගන්නට ලැබිණි. එසේම ඒකාබද්ධය විපක්ෂයේ සිට රජයට සහාය දෙන්නට ගත් ස්ථාවරය ගැන එහි රමේෂ් පතිරණ ආදී මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතාට සිය අසතුට ප්‍රකාශ කළ විට රාජපක්ෂ මහතා රමේෂ්ලාට කීවේ “දේශපාලනය ඉගෙන ගන්නා” ලෙසයි. දේශපාලනයේ සදාකාලික සතුරන්වත් මිතුරන්වත් නැතැයි මහින්ද ඔවුනට පෙන්වා දීමෙන් පසු රමේෂ්ලා නිහඬ වූහ.
මේ ආකාරයට රටේ දේශපාලනය ආකූල ව්‍යාකූල වෙද්දී අමෙරිකානු ඉන්දියානු සහ යුරෝපා ප්‍රජාවේ තානාපති අංශ වෙතින් ජනාධිපතිවරයාට විවිධ බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණේය. සම්පන්දන් මහතා ජනාධිපතිවරයාට දන්වා සිටියේ යහපාලන රජය උතුරු නැගෙනහිර ජනතාවට ප්‍රතිඥා රාශියක් ලබා දී ඇති බැවින් ඒවා ඉටු කරන්නට ක්‍රියා කළ යුතු වගයි. එසේ නොවුවහොත් මාර්තු මස ඇරැඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවද විපක්ෂ නායකවරයා කීය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාලනයක් නැවත රටේ ස්ථාපිත වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සම්පන්දන් කීය. දැනට ජිනීවා නුවරට ගොස් සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ද උද්ගතව තිබෙන තත්ත්වය නිසා ජාත්‍යන්තරය හමුවේ අපහසුතාවට පත්ව ඇති බැවින් කඩිනමින් කුමක් හෝ කරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිගටම ඇමැති ධූරයේ රැඳී සිටින බව ප්‍රකාශ කරද්දී ශ්‍රී.ල.නි.පය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු හටගන්නා නීතිමය තත්ත්වය ගැන නීති විශාරදයෝ මත පළ කරන්නට වූහ. ඒ නිසා පැවති අර්බුදය සංකීර්ණ තත්ත්වයට පත් විය. ජනාධිපතිවරයා ගිය සති අන්තයේ කොළඹ දේශපාලන ජංජාලයෙන් මිදී සිය ගම් ප්‍රදේශය වන පොළොන්නරුවට ගොස් සෝමාවතී චෛත්‍ය ද වැඳ පුදා ගත්තේය. නීති සමුළුවක් සඳහා ත්‍රිකුණාමලයට ගොස් සිටි නීතිපති, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් ද අදහස් විමසීමක් කළ බව වාර්තා විය.
ඒ අතර එ.ජා.පයේ මන්ත්‍රීන් පිරිසක් සිරිකොත මන්දිරයට රැස්වී පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළෝය. ඊට පෙර දා මෙම මන්ත්‍රීන්ගෙන් ජ්‍යෙෂ්ඨයන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ ආදීන් කබීර් හෂීම් මහ ලේකම්වරයාගේ නිවසට ගොස් සාකච්ඡා කර තිබිණි. කෙසේ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ ලිපියකට අත්සන් ගැනීමට සිරිකොත රැස්වීමේ දී සැලසුම් කර තිබිණි. පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඊට අත්සන් කළ නමුත් ඇතැම් තරුණ මන්ත්‍රීන් පසුව අත්සන් කරමු යැයි කී බව සඳහන් විය. මෙහිදී ආවේගශීලී මත ගැටුම් හටගත් බව ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කළෝය.
මේ වන විට පක්ෂ අර්බුදය දුරදිග යා නොදී අතරමැද විසඳුමක් ඇතිකරන්නට කතානායක කරු ජයසූරිය මහතාට මැදිහත් වන්නැයි ඉල්ලීම් ලැබෙන්නට විය. ජනාධිපතිවරයා පවා කරු අමතා අග්‍රාමාත්‍ය ධූරය බාරගත හැකිදැයි විමසූ බව සඳහන් විය. එහෙත් ඒ සැමටම කතානායකතුමා කියා තිබුණේ පක්ෂයේ පොදු තීරණයකින් තොරව තමන් කිසිම තීන්දුවක් නොගන්නා බවය. එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මාධ්‍යයට කියා තිබුණේ පක්ෂයේ ප්‍රශ්න කිසිවක් නැත. ඒ ගැන මාධ්‍ය කලබල වන්නට එපා කියායි. සජිත් එසේ ප්‍රශ්නයක් නැත කීවාට තිබෙන ප්‍රශ්න රටම දැනගෙන තිබිණි.
මේ සතිය මුලදී අගමැති රනිල් හා කතානායක කරු ජනාධිපතිවරයා මුණගැහෙන්නට ජනපති නිවසට ගියේ තීරණාත්මක සාකච්ඡාවකටයි. මෙම රැස්වීමේදීත් ජනාධිපතිවරයා නැවතත් කරු ජයසූරිය මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ඉල්ලීමක් කළේ අගමැති ඉදිරිපිටදීම බව කියැවිණි. එහෙත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළ කතානායකවරයා තමන් පක්ෂ සමගිය වෙනුවෙන් පෙනී සිටින බැවින් අග්‍රාමාත්‍ය ධූරය රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදීමට නිර්දේශ කළේය. ඒ ගැන කළ සියලු පෙරැත්ත කිරීම් කතානායකවරයා ප්‍රතික්ෂේප කළ නිසා ජනාධිපතිවරයා තමන් තීන්දුවක් ගන්නා බව පවසා ඉතා ඉක්මනින් කැබිනට් සංශෝධනයක් කළ යුතු යැයි ද එහිදී වෙනස් කළ යුතු විෂයන් ගණනාවක් වන බවද ප්‍රකාශ කර ඇත. නීතිය හා සාමය, මහාමාර්ග ආදී විෂයන් වෙනත් අමාත්‍යවරැන්ට පැවරිය යුතු බවත් ආර්ථික පාලනය තමන් යටතට ගන්නා වගත් අග්‍රාමාත්‍යවරයාට කීය. ඒ සඳහා වෙනස් යෝජනා තිබේ නම් ඉක්මනින් තමා වෙත එවන්නැයිද ජනපති කීය.
රනිල් කරු හමුවෙන් පසුව එදින රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප මෛත්‍රී හිතවාදී මැති ඇමැතින්ගේ හමුවක් ජනපති නිවසේ පැවැත්විණි. යට කී ලෙස ඒ වන විටත් එ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර මහතා තමන් 2015 පිහිටවූ සම්මුතිවාදී රජයෙන් ඉවත් වන බව ලිඛිතවම ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි. මෙම හමුවේ දී ජනාධිපතිවරයා පවත්නා තත්ත්වය ගැන ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් දැනුවත් කළ අතර රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අග්‍රාමාත්‍ය ධූරය දරන බව ප්‍රකාශ කළ වග සඳහන් කර ඇත. මේ ගැන පවත්නා නීතිමය තත්ත්වය පිළිබඳ නීති විශාරද උපදෙස වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම බවද සඳහන් කැරිණි.
ඒ වන විටත් ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් හා ජනාධිපතිවරයාගේ කාර්යාල ප්‍රධානීන් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතු ප්‍රශ්න දෙකක් කෙටුම්පත් කර තිබුණි. කෙසේ හෝ ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ට කීවේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන බවත් ඒ නිසා සම්මුතිවාදී රජය තවදුරටත් ගෙන යා යුතු වගත්ය. ඊට උදව් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට එස්.බී. දිසානායක, මහින්ද අමරවීර ප්‍රමුඛ ඇමැතිවරු එකඟ වූහ. එහෙත් දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත ආදීන් ඒ මොහොතේ නිහඬව සිටියත් පසුව තමන්ට තවදුරටත් එ.ජා.පය සමඟ ආණ්ඩු කරන්නට නොහැකි බව කියා තිබිණි. දයාසිරි, සුසිල්, සුසන්ත පුංචිනිලමේ ආදී පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමඟ විපක්ෂයේ අසුන් ගන්නා බවද කියැවිණි. ඒ ආකාරයට ශ්‍රී.ල.නි.ප - එ.ජා.ප ආණ්ඩුව තවදුරටත් ගෙන යාමට තීන්දු කළ බව එදිනම රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කීවේද ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරයෙකි. මහින්ද ඊට ක්ෂණිකවම ප්‍රතිචාර දැක්විය. සටන පටන් ගත්තෙ ඔයගොල්ලො අමාරුවෙ වැටුණෙ නිමල් සිරිපාල අපිට කොහොමත් එකයි... කියාය.
මේ ආකාරයට දෙපක්ෂය නැවතත් සම්මුතිවාදී රජය ගෙනයන්නට තීන්දු කළ පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සැරසිණි. එය බදාදාට යොදාගෙන තිබුණද දෙපක්ෂය අතර අලුත් අමාත්‍ය නාමයෝජනා ගැන එකඟත්වයක් ඇතිකරගැනීම ප්‍රමාද වූ නිසා අමාත්‍ය සංශෝධනය බ්‍රහස්පතින්දා උදේ 10.00ට කල් ගියේය. ඊට පෙර බදාදා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළෝය. එහිදී කියැවුණේ තවදුරටත් දෙපක්ෂය එක්ව සම්මුතිවාදී රජය පවත්වාගෙන යන්නට තීන්දු කළ බවයි. ඒ සමඟම අමරවීර අමාත්‍යවරයා සිය පක්ෂය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වන බවට ලියූ ලිපිය අහෝසි විය.
ඇමැති සංශෝධනය දිගින් දිගටම ඇදි ඇදී ගියේ ජනාධිපතිවරයා විසින් සංශෝධනය කරන ලෙස යෝජනා කළ මහාමාර්ග, වාණිජ සහ වෙළෙඳ කටයුතු හා අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය අමාත්‍යාංශ සඳහා සුදුස්සන් තෝරාගැනීමේ දී ඇතිවූ මත ගැටුම් හේතුවෙන් බව කියැවේ. මෙම සංශෝධනයේ දී එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු දැනට දරන තනතුරුවලින් ඉවත් කරනු ඇතැයි සඳහන්ය. ඉන් එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙකි. අනෙක් අය කුරුණෑගල දිසාවේ ජ්‍යෙෂ්ඨයෙකි. මෙම දෙදෙනා විශේෂ කාර්ය ඇමැතින් බවට පත් කර තරුණ චරිත දෙකකට අමාත්‍ය පදවි පිරිනමන්නට සැලසුම් කළ බව එ.ජා.ප ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත් ඇමැති සංශෝධනයේ දී ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් තනතුරු ලබාගැනීම ගැන ඒ තරම් උනන්දුවක් නොදක්වන බවද වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවනු ලැබ සිටී. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු කොළඹට පැමිණි අතර කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු විශේෂ ආරක්ෂක රථයකින් ඉවතට කැඳවාගෙන යාම නිසා මාධ්‍යයට කිසිවක් දැනගැනීමට ලැබුණේ නැත.
බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා මෙරටට කැඳවූයේ යුද හමුදාව විසින් ඔහුගෙන් මෙම සිද්ධිය ගැන කරුණු විමසීමට බවත් ඔහු ආපසු ලන්ඩනයට පත්කරනු ඇද්ද නැද්ද යන්න කිව නොහැකි බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මාධ්‍යයට කීය. පසුගිය නිදහස් දිනයේ කොටිහිතවාදීන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරද්දී හස්ත මුද්‍රාවෙන් තර්ජනය කළ බවටත් ඔවුනට ජාතික කොඩිය පෙන්වා යමක් කී බවටත් මත ප්‍රකාශ වී තිබිණි. ඒ සමඟ බ්‍රිගේඩියර්වරයා කොළඹට කැඳවීමට රජය සැරසෙද්දී ජනාධිපතිවරයා මැදිහත්ව එය නතර කළේය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවා ප්‍රකාශ කර තිබුණේ තමන් බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට වරදක් නොකියන බවයි. කෙසේ හෝ මැතිවරණය හමාරවූ සැණින් බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මේ රටට කැඳවීම ගැන මෙරට ජාතික සංවිධාන රජයට දැඩි විරෝධය දැක්වීය. ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානි දොස්තර ගුණදාස අමරසේකර මහතා කීවේ රජය කොටි ඩයස්පෝරාවේ මතයට නටමින් බ්‍රිගේඩියර්වරයා කැඳවූ බවයි. ඒ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නාය. මෙම ඉවත් වීමට හේතු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර නැත. එහෙත් ජනාධිපතිවරයා ඇයගේ අස්වීම පිළිගෙන තිබේ.
► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර