2024 මාර්තු 30 වන සෙනසුරාදා

මෛත්‍රීට උසාවි දොර විවෘත වෙයි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 1226

උදා වෙමින් ඇත්තේ දොන්ත බබක්කටවත් තුට්ටු දෙකක් දෙන්නට අතේ සතේ නැති අලුත් අවුරුද්දකි. මෙවර නැකත පවා මතභේදයකට හේතුවක් වී තිබේ. දේශපාලන කරළියේ නම් කණා මුට්ටි බිඳීම්, කඹ ඇදීම්, රට හරහා දිවීම් ද කල් ඇතුවම ආරම්භ වී ඇති සෙයකි. හොඳ හොඳ සෙල්ලම් අවුරුදු කෑමෙන් පසුව එළැඹෙනු ඇතැයි කියැවේ. අවුරුදු කුමාරයා තරගයට සහභාගි වීම සඳහා ආතලා සීයලා මෙන්ම අප්පච්චිලා බාප්පලා ද ඇඳුම් මසන්නට දී තිබේ.

පසුගිය සතියේ බදාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීම පැවතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවෙසේදීය. ඉදිරි තීරණාත්මක මැතිවරණ වසර තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණ සහිතව මෙම විධායක සභාව කැඳවා ඇතැයි කල් ඇතිව ආරංචි පැතිර ගියේය.

පොහොට්ටුවේ ආරංචි මාර්ග තහවුරු කළ පරිදි 280ක් පමණ වූ විධායක සභාවේ සාමාජිකයන් අතරින් 260කට ආසන්න පිරිසක් මෙදින පැමිණ සිටියහ. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ඇරඹුණි.

පිරිස පිළිගනිමින් කරුණු කාරණා පැහැදිලි කළ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සභාව උණුසුම් කළ කතාවට මුල පිරීය.

“අද අපිට පැවරිලා තියෙන ප්‍රධානම කටයුත්තක් තමයි පුරප්පාඩු වෙලා තියෙන ජාතික සංවිධායක ධූරය පිරවීම."

මෙම ප්‍රකාශයත් සමඟ සභාවේ එකම කාලගෝට්ටියක් විය. පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඉවත්වීමත් සමඟ වෙනත් අයකු එම තනතුර සඳහා පත්කර ගැනීම පිළිබඳ කසුකුසුව තිව්ර විය.

“අපිට ඕනෑ බැසිල් සර්. වෙන කෙනෙක්ට මේක කරන්න බැහැ."

පැමිණ සිටි අයගෙන් බහුතරය බැසිල් රාජපක්ෂ විසින්ම මෙම තනතුර හෙබවිය යුතු බව නැවත නැවත කීහ.

“මට මෙතැන මුකුත් කරන්න බැහැ. එතුමා මේ සභාවේ ඉන්නවනේ. ඔබතුමා ඇවිල්ල කරුණාකරලා මේක පැහැදිලි කරන්න."

ඇතිවූ කලබලය හමුවේ බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට ඉදිරිපත් විය.

“මම කාලයක් මේ තනතුර දැරුවා. මැතිවරණ තුනක් ජයග්‍රහණය කරලා දුන්නා. ඉදිරි මැතිවරණයත් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒත් තනතුර සඳහා ඕනෑ ගම් මට්ටමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන කෙනෙක්. මට ඒ සඳහා කාලයක් නෑ. මූලස්ථානයේ කළ යුතු වැඩ තියෙනවා."

බැසිල් රාජපක්ෂගේ පැහැදිලි කිරීම අතර මේ වන විටත් ගමට ගොස් වැඩ කරන රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ආදී චරිතවල නම් ද ඉස්මතු විය. අවසානයේ නාමල් රාජපක්ෂ මෙම තනතුර සඳහා යෝජනා වූයේද බැසිල් රාජපක්ෂ පාර්ශ්වයෙන්මය.

පසුගිය දිනවල පොහොට්ටුව වෙනුවෙන්  බර කරට ගෙන දසබල සේනා ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළ නාමල් රාජපක්ෂ මෙම තනතුර සඳහා සුදුසු බවට බැසිල් රාජපක්ෂ ගෙන ආ යෝජනාව සභාවේ සෙසු අය අනුමත කළහ. 

මෙම විධායක සභාවේදී තවත් වැදගත් දේශපාලන සාකච්ඡා රැසක් සිදුව තිබුණි. ඒ අතර පොහොට්ටුවේ ඇතැම් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිදි ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකු තෝරා නම් කරන තුරු අපේක්ෂකයන් ගැන කතා නොකිරීමට ද පොහොට්ටුව තීරණය කර ඇතැයි කියැවුණි.

මෙම රැස්වීම අවසන් වී විධායක සභිකයන් එළියට එන විට සිදුවූ තවත් සිදුවීමක් ඉකුත් සතියේ දේශපාලන කරළිය කැළඹීමට හේතු විය. මෙම සිදුවීම පිළිබඳ විවිධ වාර්තා ලැබුණි.

ඒ අනුව ඇමැති රමේෂ් පතිරණ, ඇමැති ප්‍රසන්න රණතුංග, ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඇමැති කාංචන විජේසේකර ඇතුළු ජනපති රනිල් වික්‍රමසිංහ හිතවාදීන් සහ පොහොට්ටු කණ්ඩායමක් හමුවේ මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා වේ.

පොහොට්ටුවේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන එරන්ද ගිනිගේ මෙම ඇමැතිවරුන් කිහිප දෙනා සිටි ස්ථානය අසලින් යන විට ඇස් රතුවෙන කතාවක් කියා තිබේ.

“රනිල්ගේ දරුවෝ වගේනේ.." 

මෙම ප්‍රකාශයත් සමඟ ඇමැති කාංචන කෝපයට පත්ව ඇතැයි කියැවේ. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එරන්ද ගිනිගේගේ කොළරයෙන් ඇද ඇමැතිවරයකු ඔහුට තර්ජනය කර ඇතැයි කියැවේ.

රැස්වීම අවසානයේදී මාධ්‍ය හමුවේ ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ අමුතුම කතාවකි.

“මගේ මතය ඒකයි. මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනෑ. මේ අභියෝගය බාරගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩනැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕනෑ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විඳින එකයි. රට ගැන හිතලයි අපිට තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනා ද හතර දෙනා ද, දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගෙනියන්න ඕනෑ."

මේ අතර පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයකු සිටින්නේද යන්න පිළිබඳව ද මාධ්‍ය ඔහුගෙන් විමසා තිබුණි.

“මට පේන මානෙක නම් කෙනෙක් නෑ"
“විශ්වාසයෙන්ද කියන්නේ?"
“මාධ්‍යයට බොරු කියනවැයි"

පොහොට්ටුවේ සැණකෙළි සංදර්ශන මෙලෙස රට කළඹද්දී පොහොට්ටු ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ධම්මික පෙරේරා තවත් කටයුත්තකට මුල පුරා තිබුණි. ධම්මිකගේ "පොහොසත් ගමක් - පොහොසත් රටක්" පළමු ආදර්ශ ගම්මාන අවුරුදු උත්සවයත් සමඟින් අප්‍රේල් 17 සහ 18 විවෘත කිරීමට ඔහු සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා  ඉදිරිපත් කර ඇති “පොහොසත් ගමක් – පොහොසත් රටක්” ක්‍රියාකාරී සැලැස්ම (Action Plan)  යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

කොනකලගල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සහ වෑගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් මෙම ව්‍යාපෘතිය සමඟ ධම්මිකගේ ආදර්ශ ගම්මාන බවට පත්වෙනු ඇති බව කියැවේ. මුළු විවෘත කිරීම්වලට සමගාමීව අවුරුදු උත්සව පැවැත්වෙන අතර ඒ සඳහා ද ධම්මික පෙරේරා සහභාගී වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ සමගි ජන බලවේගයටද තීරණාත්මක සතියක් විය. කලක පටන් දික්ගැසෙමින් තිබුණු සමගි ජන සන්ධානය නිර්මාණය කිරීමේ අවසන් අදියරේ වැඩ කටයුතු ඉකුත් සතිය පුරා සිදුවෙමින් පැවතුණි. සමගි ජන බලවේගය ආරංචි මාර්ග සඳහන් කළේ එළඹෙන අප්‍රේල් 5 වැනිදා මෙම සන්ධානය කලඑළි දකින බවටය. ආණ්ඩුවේ කිහිප දෙනකු සජබ සමඟ එක්වනු ඇති බවට ද ආරංචි පැතිර යමින් තිබුණි. 

සමගි ජන සන්ධානය එළඹෙන අප්‍රේල් 5 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තහවුරු කරනු ලැබුවේ මේ අතරය.

“ශක්තිමත් පක්ෂයක් ලෙස සමගි ජනබලවේගය මේ වන විට රටේ ව්‍යප්ත වෙමින් පවතිනවා. ^77 ට පසුව නැවත දක්ෂ කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කරන්න පුළුවන් පිරිසක් සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා සිටිනවා. වංචා දූෂණ චෝදනා නැති පිරිසක් තමයි සමගි ජන බලවේගයේ සිටින්නේ. සමගි ජනබලවේගයේ සිටින දක්ෂ කණ්ඩායමෙන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙයි කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සිදුවෙනවා.

අප්‍රේල් 5 වැනිදා සමගි ජන සන්ධානය එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මැයි දිනයට ඉතිහාසයේ පැමිණි විශාලම පිරිස මෙවර මැයි දිනයට සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. සමගි ජනබලවේගයේ යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත් වෙලා තිබෙනවා. අපි බලාපොරෙත්තු වෙනවා පාවෙන ඡන්ද ප්‍රමාණයත් සමගි ජන බලවේගය දෙසට හරවාගන්න."

මේ අතර සමගි ජන බලවේගය සිය දේශපාලන රැස්වීම සඳහා වැඩසටහන් තවදුරටත් රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටියේය. වනිතා සමුළුව කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කාන්තා සමුළු සංවිධානය කිරීමට පටන්ගෙන තිබුණේ තරගයටය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම සඳහන් කරන්නට වූයේ සමගි ජන බලවේගයෙන් පිරිසක් තමන් සමඟ එක්වන බවයි. පසුගිය සතියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය.

“පක්ෂයක් කියල එකක් නෑ, හැමෝම ජනාධිපතිතුමත් එක්ක එකතු වෙන්නේ. මම දැන් කාර්යාලයේ ඉඳලා එනකොටත් සමගි ජන බලවේගයෙන් ආපු කණ්ඩායමක් එක්ක කටයුතු කරලා ආවේ. හැමදාම සමගි ජන බලවේගයෙන් පිරිස් අපි සමඟ එකතු වෙනවා."

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රුලියට පනස් දහස ඉක්මවූ පිරිසක් නියත වශයෙන්ම සහභාගී කරවන බවද පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන රජයේ ආරාධනාවකින් චීනයේ සංචාරයකට එක්වූයේය. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික දේශපාලන තත්ත්වය ගැන චීනය සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ද මාර්තු 27 වැනිදා බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. මෙහිදී ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යොන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියා කිරීමට දෙරටම එකඟ වූ බව නිවේදනය කෙරුණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබා දෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළ බව ද කියැවේ.

දේශපාලන සහ සමාජ, ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා පවසා තිබේ.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දී ලබාදුන් සහාය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර ඇත.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද විශේෂ අවධානයක් ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කළ කී දෑ නිසාවෙනි. රට පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ මෛත්‍රීගේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතාව නිසා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දීමට සිදුවිය.

සී.අයි.ඩියට ගොස් ප්‍රකාශය ලබා දීමෙන් පසු මෛත්‍රී සී.අයි.ඩිය පිටුපස දොරෙන් මාධ්‍යයට හොරා පැන ගිය බව දේශපාලන කතා පැතිර යන්නට විය. ශ්‍රීලනිප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ සිය නිල නිවෙස වෙත බවයි.
නිල නිවෙසට පැමිණි මෛත්‍රී පැමිණ සිටි ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සුහද කතාබහක නිරත වුවද තමන් සිදු කළ ප්‍රකාශය ගැන කිසිවක් හෝ සී.අයි.ඩිය තුළදී සිදු වූ කාරණා ගැන හෝ සඳහන් කර නොතිබිණි.

“මේකේ බරපතළකම සහ අවදානම සුළුවෙන් තකන්න එපා. මේ කරුණු හෙළි කිරීමෙන් මට මගේ පවුලේ අයට දැඩි අවදානමක් තියෙනවා.'' 

ශ්‍රීලනිප ඇතැමකු කී පරිද්දෙන් මෛත්‍රී පිරිස වෙත මෙලෙස පවසා තිබේ. කෙසේ වෙතත් මෙම සමස්ත සිදුවීම් පෙළ දේශපාලන සංදර්ශනයක් බව ද ඇතැමෙක් සඳහන් කළහ.

කෙසේ වෙතත් ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් දැනුම් දීම සඳහා වහාම මේ සති අන්තයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්, විධායක සභිකයන්, ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සියලු නිලධාරීන් පක්ෂ මූලස්ථානයට කැඳවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම හමුව සඳහා සහභාගිත්වය අනිවාර්ය කරමින් නියෝජිතයන් වෙත ලිපි පවා යැවීමට ඔහු කටයුතු කර ඇතැයි කියැවේ.
කැනඩාවට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශ පිළිබඳව ද ඉකුත් සතියේ දේශපාලන කරළියේ වැඩි අවධානයක් යොමුවූයේය. ජාතික ජන බලවේගයේ කැනඩාවේ වැන්කුවර් හිදී පැවැති ජන හමුව අමතමින් අනුර කුමාර දිසානායක පවසා තිබුණේ මෙවන් කතාවකි.

“ශ්‍රී ලංකාවෙන් දුර බැහැර සුරක්ෂිත ජීවිතයක් ගත කරන ඔබ මෙතැනට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයයි. මා ඔබට පළමුකොට සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොනකින්වත් හානි වෙන්න ඉඩ නොදෙන බව. අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය කරන්න අපට අයිතියක් නැහැ. ඔබ ඉදිරිපිට තිබෙන කරුණු ඔබ ඉදිරිපිට දෙන සහතික අනිවාර්ය ලෙස ආරක්ෂා කරන්න අපට යුක්තිසහගත සාධාරණ අයිතියක්, වගකීමක් තිබෙනවා. එය ආරක්ෂා කිරීම සඳහා අප බැඳී සිටිනවා."

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය ගැන ද අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වා තිබුණි. 

“ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන වගකීම අත්හැරීම පිළිබඳව ඔහු වරදකරුවෙක්. ඔහු දැන් කියනවා “මම දන්නවා” කියලා. ඔබ අපෙන් සාධාරණය ඉල්ලුවා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා, නිසි වැරදිකරුවන් අධිකරණය හමුවට පමුණුවන බවට අපි ඔබට සහතික වෙනවා."

මේ අතර ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවට ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කොට තිබුණි. ඒ අනුව ඉදිරියේදී ලංකාවේ පැවැත්වෙන මැතිවරණයට සහාය ලබා ගැනීම සඳහා දිසානායක මහතා කැනඩා සංචාරයක නිරත වන බවට කැනඩා මාධ්‍ය දක්වා තිබුණි. 

I චමිඳු නිසල් ද සිල්වා

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00