2024 මාර්තු 23 වන සෙනසුරාදා

පක්ෂෙත් එක්ක නඩු කියන ෆොන්සේකාත් සජබ රැස්වීමේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 1511

භංග භංග වී යද්දී රහස් සාකච්ඡා සංවාද සටකපටකම් ඇතුළු දේශපාලන කෙළිකවටකම් රැසකින් හැඩ වැඩ වූ තවත් සතියක් ගෙවී ගියේය. පළමුව පැවැත්වෙන මැතිවරණය කුමක්ද යන්න පිළිබඳ වූයේ තවදුරටත් කුතුහලයකි. පන්දම් පාලිය සඳහා සියල්ලන්ම සූදානම් වෙමින් සිටිය ද සංදර්ශනය සඳහා දිනයක් වෙලාවක් වෙන් නොවීම ගැටලුවක් විය.

සෑම අතින්ම පොහොට්ටුවට පසුගිය සතියේ දේශපාලන වශයෙන් අතිශය වැදගත් සතියක් විය. පොහොට්ටුව ගෙයින් ගෙට යාමේ වැඩපිළිවෙළේ පළමු අදියර හම්බන්තොටින් ආරම්භ කර තිබුණේ ඉහත සතියේදීය.

“වැඩපිළිවෙළ ගොඩක් සාර්ථක වුණා. ඔය කියන විදිහේ විරෝධයක් ගමේ නැහැ. සාමාන්‍යයෙන් කැන්වසින් එකක දී වෙනදා දක්වන තරම්වත් විරෝධයක් මේ වැඩේදි තිබුණෙ නෑ." 

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ එවන් කතාවකි. කෙසේ වෙතත් මෙම ගෙයින් ගෙට යාමේ වැඩසටහනට සම්බන්ධ වී සිටියේ පොහොට්ටුවේ වෘත්තීය සමිති කණ්ඩායම බව කියැවේ.

“අපි ප්‍රාදේශීය මට්ටමින් පොහොට්ටුවේ ආසන සම්මේලන පවත්වා අවසන්. පළමු දිස්ත්‍රික් සම්මේලනය හම්බන්තොටින්ම පටන් ගන්නවා. මේ තිස් වැනිදා තමයි හම්බන්තොට සම්මේලනය පැවැත්වෙන්නෙ."

ගෙවී ගිය සතිය පොහොට්ටුවට සෑම අතින්ම තීරණාත්මක සතියක්  බව තහවුරු කරමින්  පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රුස්වූහ.

“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ තීරණාත්මක රැස්වීමක් පැවැත්වෙන්නේ."

ආරම්භයේදීම පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරණය පිළිබඳ මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක එකක් වනු ඇති බවයි. 

තම තමන්ගේ අභිමතයන් ප්‍රකාශ කිරීමේ අරමුණු සහිතව බොහෝ දෙනකු මෙම රැස්වීම සඳහා සහභාගි වූ බව කියැවේ. මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි විශේෂ පාක්ෂිකත්වයක් පෙන්නුම් කරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මූලිකත්වය ගෙන සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පාර්ශ්ව වෙතින් ලැබුණු ආරංචියකට අනුව මෙම රැස්වීම ආරම්භයේදීම යම් ගැටුමක ස්වභාවයක් නිර්මාණය වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග සහ පසුගිය දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ උදයංග වීරතුංග අතරයි. බැසිල් උදයංග මෙහිදි බැනවැදී ඇති අතර ප්‍රසන්න ද ඊට හවුල් වී තිබේ.

“මෙයා තමයි... මහින්ද මහත්තයාට කෙලවන්නේ. මයික් දැක්කම වාචාලකමට කියවන" 

යනුවෙන් පවසමින් ප්‍රසන්න සහ බැසිල් උදයංග වීරතුංගට පරිභව කර ඇතැයි ඒ අනුව කියැවේ. උදයංග වෙත බොහෝ දෙනකු අපේක්ෂා නොකළ මෙම වාග් ප්‍රහාරය තරමක් බරපතළ එකක් බව ලැබී ඇති වාර්තා සඳහන් කරයි.

“උඹ සමාව ඉල්ලන්න ඕනෑ මගෙන් නෙවෙයි. අර ඇතුළේ ඉන්න මහින්ද මහත්තයගෙන්. උඹේ ඔය වාචාලකම නිසා පාරෙ බැහැල යන්න බැරි වෙන්නෙ රත්තරං මනුස්සයට. උඹ උඹට ඕනෑ තැනක දේශපාලනය කර ගනිං. හැබැයි පොහොට්ටුවට ඇඟිලි ගහන්න එන්න එපා. ඒවා අපි බලාගන්නම්.”

මෙම ගැටුම සමනය කිරීමට මැදිහත් වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පැවැති හමුවේදී ජනාධිපතිපති අපේක්ෂකයා පිළිබඳ ස්ථිර තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බව පොහොට්ටුවේ පාර්ශ්ව කියා සිටිති. මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිළිබඳව ද කණ්ඩායම් රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වී ඇති බව කියැවේ. 

මේ අතර පසුගිය සතියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද පැවතියේය. මෙහිදී වැඩි අවධානයක් ලබා දී තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවටයි.

මෙම අවස්ථාව සඳහා සජබ සභාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වීම සුවිශේෂී සිදුවීමක් විය.

“මෙයා එන්නේ අපි කතා කරන දේවල් ටික අහගෙන යන්න. මේක හරියන්නෙ නැහැ."

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ෆොන්සේකාගේ පැමිණීම පිළිබඳ නොරුස්සන සිතින් කටයුතු කළ බව කියැවේ. 

පසුව සරත් ෆොන්සේකාගේ සහභාගීත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙලෙස අදහස් පළ කළේය.

“මම ඉන්නකොට කතා කළේ නෑ. මම හිතන්නේ එතුමාට අසනීපයි. මාස්ක් එකක් දාගෙන හිටියේ. එතුමාම නඩු දාලා මෙතැනට එනවා. මම කතා කළා එතුමා එක්ක. අසනීප ද ඇහුවා නෑ කිව්වා."

මේ අතර පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. මෙම හමුව සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රුසක් සහභාගි වී සිටියහ.

සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග තහවුරු කරන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලක්ෂ 220ක මෙරට ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බවය.
රජය අක්‍රමවත් ලෙස ආර්ථිකය හැසිරවීම හේතුවෙන් අගතියට පත්වී සිටින ජනතාවගේ දුගීභාවය තුරන් කිරීමේ වැඩපිළිවෙළක අත්‍යවශ්‍යතාවය ද මෙහිදී IMF නියෝජිතයන් විපක්ෂ නායකවරයාට අවධාරණය කර ඇතැයි කියැවේ.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟ වන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ කැනඩාව බලා පිටත්ව ගියේය. කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගි වීම සඳහා ඔහු මෙලෙස පිටත්ව ගිය බව කියවුණ ද ගමනට පෙරාතුව කැනඩාව තානාපති කාර්යාලය සමඟ සාකච්ඡා කිහිපයක්ම ජාතික ජන බලවේගය පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාව කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයන් විසින් සුහද ලෙස පිළිගෙන තිබිණි. සැලකිය යුතු පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රධාන ජනහමු දෙකෙන් පළමුවැන්න 23 වැනිදා සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදී පැවැත්වුණි.

අනුර කුමාර දිසානායක පමණක් නොව ජාතික ජන බලවේගයේ තවත් ප්‍රබලයන්ද විදෙස් සංචාර සඳහා එක්වීම ඉකුත් සතියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් විය. ඒ අනුව ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කළ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ දිනවල ඉතාලියේ සංචාරයක නිතරව සිටී.

නිමල් ලංසා ඇතුළු කණ්ඩායමේ නව සන්ධානය ජනපතිගේ අදහස් තවදුරටත් දේශපාලන කරළියේ ස්ථාපිත කිරීමේ කාර්යභාරය බාරගෙන සිටින බව ඉකුත් සතියේ පෙනී ගියේය. ඊට හේතු වූයේ ඔවුන්ගේ පාර්ශ්වයෙන්ම ලැබුණු දේශපාලන ආරංචියකි.
ඒ අනුව නව සන්ධානයේ මැති ඇමැතිවරුන් පිරිසක් බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු ලොබියේ වත්මන් දේශපාලන තොරතුරු කතාබහ කරමින් සිට තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඔවුන්ගේ සංවාදයට මූලික වී ඇත.

“ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයන් කරපු වැඩේට කතානායකතුමා මොනව කරන්නද? මේ යක්කු ඒක තේරුම් ගන්න එපැයි."

එම ආරංචිය අනුව එසේ පවසා ඇත්තේ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. ඊට පිළිතුරු දී ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාය.

“සට්ටඹිරාළ වෙන්න ඇති ශුවර් එකට උපදෙස් දෙන්න ඇත්තේ. තවත් මෙයාගෙන් උපදෙස් ගත්තොත් සජිත්ට බොහොම ඉක්මනට විපක්ෂ නායකකමත් නැතිවෙයි."

“සජිත් දැන් උපදෙස් ගන්නෙ සජබ අයගෙන් නෙවෙයි, ගොඩහේවල වගේ අපේ ආණ්ඩුව විනාශ කරපු අයගෙන්. අවංකවම සජබය ගොඩදාපු අය පැත්තක. වැරදි උපදෙස්  දීලා අපේ ආණ්ඩුවත් ඉවර කළා. ඒ විතරක් නෙවෙයි, අපි මිනිස්සුන්ට උදව් කරල බොහොම අමාරුවෙන් හදාගත්ත අපේ මුළු දේශපාලනයම ඉවර කළා. දැන් සජබයට ගිහින් ඒකත් විනාශ කරනවා."

මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ජන හමුවේදී කී කතාවක් ඇසුරෙන් නිමල් ලංසා සිදුකර ඇති පැහැදිලි කිරීමකි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ ජනපති පාර්ශ්වයේ ප්‍රධාන ඉලක්කයක් බවට නාලක ගොඩහේවා පත්ව ඇති බව පෙනී යයි. සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පවතින ගැටුම් උග්‍ර කිරීම උදෙසා මෙම න්‍යාය ඔවුන් භාවිත කරන බවද ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර පසුගිය සතිය උණුසුම් කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව රුගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉකුත් සතියේ විවාදයට ගැනුණි. එම පාර්ලිමේන්තු විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

මෙම විවාදය පුරාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වූහ.

විශ්වාසභංග යෝජනාව රුගෙන ආ සමගි ජන බලවේගයේ මූලික අදහස වූයේ කතානායකවරයා ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කර ඇති බවයි.

“මාර්ගගත පනතට සංශෝධන අධිකරණයෙන් ඉදිරිපත් කළා. සංශෝධන නැතිව සම්මත කරන්න විශේෂ බහුතරයක් අවශ්‍යයි කිව්වත් සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගත්තා. සම්මත කළ පනතට කතානායක අත්සන් කළා. එය ව්‍යවස්ථාවට පටහැණියි.

වැලිගම ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස කතානායක සිට තියෙනවා. එය කතානායකට සුදුසු නෑ. ඔහු අපක්ෂපාතී විය යුතුයි. වසර තුනක්ම ඒ තනතුර දරලා."

සමගි ජන බලවේගය වෙනුවෙන් එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් එසේ අදහස් දක්වන අතරේ විශ්වාසභංගය දෝෂ සහිත බව ආණ්ඩුව පාර්ශ්වයෙන් කියා සිටියේය.

“කතානායකවරයකුට විරුද්ධව අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පස්වැනි විශ්වාසභංගයයි මේක.

විශ්වාසභංග යෝජනාවම දෝෂ සහිතයි. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ව්‍යවස්ථාවේ වගන්ති සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු වැරුදියි. පරස්පරයි. කවුද මේ යෝජනාව හැදුවේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහි කසකාරයා ලෙස පෙනී සිටියා. ඔහු ද දන්නේ නෑ මේක හැදුවේ."

දෙදිනක් පුරා මෙලෙස පැවැති විවාදය අවසානයේ  විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් ලැබුණි. කාලසීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ නොවූ කතානායකවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සභාවට පැමිණ විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය. එහිදී තමන්ට එල්ල වී තිබුණු චෝදනා කිහිපයකට ද ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.

විශ්වාසංභගය ජය ගැනීමෙන් අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි කවියක් ද සටහන් කර තිබුණි.

“නිහඬවයි හඬ නගන්නේ
තිරසරවයි ගමන යන්නේ
මිණිබරණ නැත පතන්නේ
යන මඟට පහන වන්නේ”

I චමිඳු නිසල් ද සිල්වා

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00