2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

ජනවාරියේ දේශපාලන කැළඹීමක්..

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 417

වසරක දේශපාලන පරිච්ඡේදය ලියා අවසන් කිරීමට තවත් ඉතිරිව ඇත්තේ පිටු කිහිපයක් පමණි. එහෙත් තවදුරටත් කතාවේ අගක් මුලක් ගලපා අවසානය ලියා තැබීමට සකලවිධ ලේඛකයෝ අසමත් වූවෝ වෙති. ගෙවන හැම මොහොතකම නිර්මාපකයා අතීතය වී තිබේ. එම නිසාම අනාගතය ද මේ මොහොත මත තීරණය වනු ඇත. උඳුවප් මාසේ ගෙවී ගිය තවත් සීත දේශපාලන සතියක අළු යට ගිනි තවදුරටත් ඉතිරිව තිබුණි.

පසුගිය සතියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවකදී වූ සිදුවීමක් පිළිබඳවද දේශපාලන ආරංචියක් අප වෙත ලැබුණි. මෙදින ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමකට, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කැඳවා ඇත්තේ විශේෂ හේතු ගණනාවක් මතය. කෙසේ වෙතත් මෙය තරමක් විරල සිදුවීමකි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම හමුවේදී නිතිපතිවරයාගෙන් කරුණු කිහිපයක් විමසා ඇතැයි කියැවෙයි. ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රී ලංකා පුරවැසියකු නඩුවක් ගොනුකර ඇතැයි කියැවේ. ඊට හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර ධූරයක පුරප්පාඩු පිරවීමේදී අනුගමනය කළ බව කියැවෙන ක්‍රියාවලියකි.

අදාළ පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට මත්තෙන් ව්‍යවස්ථාදායක සභාව අග්‍ර විනිශ්චයකාරවරයා වෙත ලිපියක් යොමුකළ බවට පළවූ මාධ්‍ය වාර්තාවක් මෙම ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇතැයි අප වෙත ලැබුණු ආරංචි අනුව කියැවේ. මෙම සිදුවීම හේතු කොටගෙන අධිකරණයට බලපෑමක් සිදුවූ බව සඳහන් කරමින් අදාළ නඩුව ගොනු කොට තිබේ.

ඒ අනුව නීතිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව වෙත කැඳවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ සිදුවීම පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීමය.

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පහසු කරගැනීම සඳහා රීති සකස් කිරීමේ හැකියාවක් පවතී. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව එම රීති ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව වෙත යොමුකොට සම්මත කොටගෙන ගැසට් කිරීම සිදුවේ. කෙසේ වෙතත් පසුගිය සමයේ පැතිර ගිය ආරංචියකට අනුව කියැවුණේ ව්‍යවස්ථාදායක සභාව සකස් කළ රීති පාර්ලිමේන්තුවේ අනුමත කිරීමකින් තොරව ගැසට් කොට ඇති බවයි.

දේශපාලන කරළියේ මේ පිළිබඳ යම් විවාදයක් හටගෙන ඇති අතර අදාළ කෙටුම්පත් නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කොට තිබේ. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධවද ව්‍යවස්ථාදායක සභාව නීතිපති උපදෙස් ලබාගෙන ඇතැයි කියැවේ.
මීට අමතරව ව්‍යවස්ථාදායක සභාවේදී අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරීමත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර පුරප්පාඩු පිරවීමත් පිළිබඳ සාකච්ඡා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට අදාළ තොරතුරු නිශ්චිතව අනාවරණය නොවේ.

දෙසැම්බරයේ අයවැය ඡන්ද විමසීමෙන් පසු ජනවාරි මුල් සති කිහිපය තුළ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ඇතැති බවට මේ දිනවල දේශපාලන ආරංචි ලැබෙමින් තිබේ. එසේ වුවහොත් නැවත පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ පෙබරවාරි සිව්වැනිදා නිදහස් දින සැමරුමෙන්ද අනතුරුව බව කියැවේ. මැති සබයේ ආරංචිය අනුව මෙම වාර අවසාන කිරීම තවත් වියවුල් කිහිපයක් නිර්මාණය වීමට හේතුවනු ඇත.

''පාර්ලිමේන්තුවේ කමිටු අසූ පහක් තියෙනවා. වාර අවසාන කළොත් ඒ ඔක්කොම අහෝසි වෙනවා. එතකොට නැවතත් මේ කමිටුවලට සාමාජිකයන් සභාපතිවරුන් පත්කරන්න කතානායකතුමාට සිද්ධ වෙයි. ඒක ලේසි නැහැ.''

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවල පත්කිරීම් අපහසුවනු ඇතැයි මේ වනවිටත් අනාවැකි පළ වී තිබේ. මේ වනවිටත් කෝප් කමිටු සභාපති සම්බන්ධ ගැටලු මතුව ඇති බව අපි දනිමු.

''කෝප් සභාපති රංජිත් බණ්ඩාර එතනින් ඉවත් කරන්න කියලා ගොඩක් පාර්ශ්ව කියලා තියෙනවා. දැන් එතනට පත්කරන්නෙ කාවද? ඒක ප්‍රශ්නයක් වෙනවා.''

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පත්කිරීම සම්බන්ධවද පසුගිය වර විශාල ගැටලුවක් ඇති විය. මේ වනවිට එහි සභාපතිවරයා ලෙස සමගි. ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කටයුතු කරයි. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ ලසන්ත අලගියවන්න මහතාය.

මෙම තනතුරු ඇතුළුව සෙසු පාර්ලිමේන්තු කාරක සභාවලද තනතුරු වෙනස්වීමට වැඩි ඉඩකඩක් පැවති බව කියැවේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ අධීක්ෂණ, උපදේශන සහ ආංශික කාරක සභාවලද තනතුරු වෙනස් වනු ඇත.
මේ අතර සමගි ජනබලවේගයේ නව සන්ධානය ජනවාරියේදී කලඑළි දකින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 

''අපි ඩලස් කණ්ඩායම එක්ක සාකච්ඡා වට දෙක තුනක්ම කළා. එතැන 14ක් වගේ ඉන්න නිසා ඒ අය තමා ප්‍රධාන කණ්ඩායම වෙන්නෙ. ජනවාරි මාසය අවසන් වෙන්න කලින් අවබෝධතා ගිවිසුමක් වගේ දේකට අපි එළඹෙනවා.''

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේ ඉදිරි වසර මැතිවරණ වසරක් බැවින් ජනවාරියේදී මෙම කටයුත්ත තරමක් තීරණාත්මක වනු ඇති බවකි. ඒ අනුව සමගි ජන බලවේගය උත්සවශ්‍රීයෙන් අවසන් දිනය ආරම්භ කරනු ඇතැයි කියැවේ.

''පොහොට්ටුවේ තව කිහිප දෙනෙක් ඉන්නවා ඉඩිපෙන්ඩන්ට් ගතියක් තියෙන. ඒ අය එක්කත් කතා කරගෙන යනවා. රොෂාන්ලා එහෙම සන්ධානෙට එනවද නැත්නම් කෙළින්ම සජබෙට එනවද කියලා තාම තීරණයක් අරගෙන නැහැ. නමුත් අපිත් එක්ක එකතු වෙනවා.''

මේ අනුව ජනවාරි මාසයේදී සජබ ජනබලවේගය තවත් පක්ෂ විස්සක් සමඟ සන්ධානයක් ඇති කරගනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි. දැනට ඔවුන් සමඟ සිටින දේශපාලන කඳවුරු සහ පක්ෂද මැතිවරණය ඉලක්ක කර ගනිමින් නැවත මෙහිදී සන්ධානගතවන බව සඳහන් කොට තිබේ.

පසුගිය මාසයේ සමගි ජන බලවේගයේ පස්සර ප්‍රදේශයේ සංවිධායක ධූරයෙන් නෙරපනු ලැබූ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා හට පසුගියදා ආණ්ඩුවෙන් ඉහළ තනතුරක් ලැබුණි. උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් උපදේශන කටයුතු වඩිවෙල් සුරේෂ්හට ජනාධිපතිවරයා විසින් පවරා ඇත. බදුල්ල දිස්ත්‍රික්කයට අමතරව නුවරඑළිය සහ රත්නපුරේ දිස්ත්‍රික්කවල දේශපාලන වශයෙන් සක්‍රීය වීමටද වඩිවෙල් සුරේෂ් හට ජනපති ආශීර්වාදය ලැබී ඇතැයි කියැවේ.

මේ අතර එළඹෙන සතියේ මුළු රටම සරසා සිය පක්ෂ සම්මේලනය ජයටම සැමරීමට පොහොට්ටුව සූදානමින් සිටින බව කියැවේ. එළැඹෙන 15 වැනිදා පස්වරු 1.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සම්මේලනය ආරම්භ වීමට නියමිතය. මේ දිනවල සිය පක්ෂ සම්මේලනය සඳහා පාක්ෂිකයන් රුස්කර ගැනීමේ වැඩපිළිවෙළකට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව සිටිති. ඒ සඳහා ආසන මට්ටමේ රුස්වීම්ද ඔවුන් සංවිධානය කර ඇතැයි දැකගැනීමට ලැබේ.

සෑම ග්‍රාමසේවා වසමක්ම නියෝජනය වන පරිදි සිය පාක්ෂිකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි මහා සම්මේලනයට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පසුගියදා පවසා තිබුණි.

''ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ ලෙස සිදුවූ බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික සහ සමාජීය කාල සීමාවකට මුහුණදුන් දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දිය හැකියි. අපි බිම් මට්ටමින් පටන් ගත් තරුණ දේශපාලන පක්ෂයක්. අලුත් මුහුණුවරක් සමඟින් රටේ අවශ්‍යතාව, ජාතියේ අවශ්‍යතාව සහ අපි විශ්වාස කරන්නා වූ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් දෙවැනි මහා සම්මේලනය මෙවර පවත්වන්නේ. කුමන්ත්‍රණවලින්, අරගලවලින් බය කර තර්ජනය කර මේ පක්ෂය වට්ටන්න බැරි බව මතක් කරන්න ඕනෙ.”

ජාතික ජන බලවේගය පසුගිය සතියේ සිය විරෝධතා රුල්ල නැවතත් සක්‍රීය කළ අයුරු දැකගත හැකි විය. පසුගිය සඳුදා ජාතික ජන බලවේගය වීදි බැස තිබුණේ සිය කාන්තා පෙරමුණ පෙරටු කරගෙනය. ''බදු බර වැඩි කරන බඩු මිල වැඩිකරන ජන පීඩක ආණ්ඩුව පන්නමු'' යන මැයෙන් පොල්දූව මංසන්ධියේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණේ ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයයි. පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙහි පෙරමුණ ගෙන සිටියාය.
මෙදින පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගෙන තිබුණි. මෙම විරෝධතාවයට එම විවාදය නිමිත්තක් විය.

''අද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ විෂය විවාදයට ගන්නවා. මේක කැබිනට් අමාත්‍යාංශයක් විදිහට තිබුණු විෂයයක්. ගිය අවුරුද්දට සාපේක්ෂව මෙවර අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන්නේ සොච්චමක්. සාපේක්ෂව සියයට පනස් එකක විතර ප්‍රමාණයකින් ප්‍රතිපාදන කප්පාදු කරලා තියෙනවා.''

මෙම විරෝධතාවයේ නියුතු කාන්තාවන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පිවිසුම වෙත පාගමනින් යාමට උත්සාහ දැරීමත් සමඟ නිර්මාණය වී තිබුණේ උණුසුම් තත්ත්වයකි. ගමන වළාකාලන්නට පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර, දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. අවසානයේ මෙම කාන්තා විරෝධයට පොලිසිය ජල ප්‍රහාරයක් ද එල්ල කළේය. මෙම ජල ප්‍රහාරයත් සමඟ සිදුවූයේ එකම කලබගෑනියකි.

අවසානයේ විරෝධතාවය අවසන් වුවද ජාතික ජන බලවේග කාන්තා පෙරමුණ මෙම සටන අත නොහරින බව කියා තිබුණි. ඒ අනුව ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානයේ සාමාජිකාවක වන නීතිඥ නිලන්ති කොට්ටච්චි සිදුකොට තිබුණේ මෙවන් ප්‍රකාශයකි.

“මේ ප්‍රහාර හෙළා දැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනකදී මේ පහරදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.”

පසුගිය සතියේදී ආරංචි මාර්ග අනුව කියැවුණේ ජාතික ජන බලවේගය අයවැයට සමගාමීව තවත් විරෝධතා කිහිපයක්ම සූදානම් කර ඇති බවයි. ඔවුන් හා සම්බන්ධ වෘත්තීය සමිති සහ තවත් කණ්ඩායම් එම විරෝධතා සංවිධානය කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව උණුසුම් කළ සිදුවීම වූයේ සජිත් - මහින්දානන්ද ගැටුමයි. පසුගිය සඳුදා බුද්ධ ශාසන සහසංස්කෘතික අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි කිරීමත් සමඟ මෙම ගැටුම උද්ගත විය.

සිය පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ප්‍රේමදාස මහතා එවක භාවිත කර ඇතැයි අලුත්ගමගේ මහතා චෝදනා කරන විට පාර්ලිමේන්තුව උණුසුම් විය. ඒ අනුව මෙම අවස්ථාවේදී සභාවේ මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ මහතා ද අපහසුතාවට ලක්විය.

විපක්ෂ නායකවරයා එහිදී මෙසේ කරුණු පැහැදිලි කළේය.

“මෙතැන කියවුණා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියා කටයුතු සඳහා මම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පාවිච්චි කළා කියලා. ඒක ඔප්පු කළොත් මම විපක්ෂ නායක ධූරයෙන් දැන්ම ඉවත් වෙනවා. නමුත් මේ වගේ චෝදනා කරනවා නම් මටත් චෝදනා කරන්න පුළුවන්. මං මේවා කියන්න නෙවෙයි හිටියේ. ඒත් දැන් කියනවා."

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ පිළිතුරු දී තිබිණි.

''විපක්ෂ නායකතුමා මේ පාර්ලිමේන්තුව නොමඟ යවනවා. එතුමා හොඳ වැඩ කරලා තිබෙනවා. ඒකට අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් මේ සිදුවීම පාලක සභාවේ අනුමැතියෙන් තොරවයි සිදු වී තිබෙන්නේ. විගණකාධිපතිවරයා කියනවා මේවට මුදල් දෙන්න බෑ කියලා. මෙතැන තිබෙනවා ලක්ෂ 16ක් අරන් කියලා සිරිකොත අලුත්වැඩියා කරන්න. ඒ වගේම මගේ ගාව තව ලේඛන තිබෙනවා සැලුන්වලට ආරක්ෂකයො ගත්ත ඒවට වියදම් කරපු මුදල් ගැනත්. මෙතැන තිබෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ බිරියට රජයේ වැටුප් ලබා දීලා ආරක්ෂකයෝ දීලා කියලා. මේ විගණන වාර්තාව මම දෙන්නම් විපක්ෂ නායකතුමාට.''

මෙම විවාදය තරමක් දුරදිග ගිය අතර පසුදා ද පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සංවාදයක් නිර්මාණ විය. පසුදා ද මෙම ගැටුම නොනැවතී ඉදිරියට ගියේය. මහින්දානන්ද අලුත්ගමගේ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීය. එහෙත් විපක්ෂ නායකවරයා එදින පාර්ලිමේන්තුවේ නොසිටීම තත්ත්වය බරපතළ වීමට හේතුවක් විය. විපක්ෂ නායකවරයා චෝදනා ඔප්පු වුවහොත් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බවට කියූ කතාව මෙම තත්ත්වය බරපතළ කළේය.
සිතුල්පව්ව රජමහා විහාරයේ නාහිමියන්ගේ අපවත්වීම සහ ආදාහන පූජෝත්සවය ද ඉකුත් සතියේ වාර්තා වූ වැදගත් සිදුවීමක් විය. සිතුල්පව්ව විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැරීම නිසා පූජෝත්සවය සංවිධානය කිරීමේ වගකීම ඔහු වෙත පැවරුණි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා පළමුව සිදුකොට තිබුණේ ප්‍රධාන පෙලේ නාහිමිවරුන් කිහිප නමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් සහ මෙම සංවිධාන කටයුත්තට සම්බන්ධ වන පිරිස් සිය විජේරාම නිල නිවෙසට කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමය.

ඒ අනුව ගාල්ල යටගල රජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය ප්‍රමුඛ තදානුබද්ධ අෂ්ට මහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධූරන්ධර, සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීශ්වර රතනසාර, අග්ගමහා පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්නැයි ඉල්ලා සිටීමට පිරිස තීරණය කළහ.

මෙම අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ඥානරතන නාහිමි ප්‍රමුඛ නාහිමිවරුන් රුසක් වැඩම කර සිටියහ. චමල් රාජපක්ෂ, ඇමැති රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, චානක දිනූෂාන්, ඉන්දික අනුරුද්ධ, අජිත් රාජපක්ෂ ප්‍රමුඛ මැති ඇමැතිවරුන් සහ ගිහි ප්‍රභූ පිරිසක් ද එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවෙන් පසු කලකින් මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා සැලකිය යුතු වෙලාවක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කියැවේ. එය ඉතා හිත මිතුරු සුහද සාකච්ඡාවක් බව කියැවුණු නමුත් එහි හරය පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් නැත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ ඇතිවූ අභ්‍යන්තර ගැටුමක් හේතුවෙන් එම සංවිධානය විසුරුවා හැර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටුමට හේතුව හිටපු මහලේකම් දයාසිරි ජයසේකර හිතවාදී පිරිස් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.

පසුගිය සතියේ දයාසිරි ජයසේකර පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර ද විශේෂ ප්‍රකාශයක් කළ බවට මාධ්‍ය වාර්තා කළේය. ඊට හේතුව වූයේ දයාසිරි ජයසේකර සිදු කළ තවත් ප්‍රකාශයකි.

දයාසිරි කියා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැයට විරුද්ධ වන විට ඔහු දෙපස සිටින මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් අයවැයට පක්ෂව ඡන්දය දෙමින් නිදහස් පක්ෂයේ දෙබිඩි පිළිවෙත අනාවරණය කරන බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රතිචාර දක්වා තිබුණේ මෙම ප්‍රකාශයටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරද්දා ගත්තේ කට නිසා බවත්, දැන් ඔහු අවලංගු කාසියක් හා සමාන වී ඇති බවත් අමරවීර මහතා කියා සිටියේය. මේ අතර දයාසිරි සජිත් සමඟ එක්වෙතැයි යන අනාවැකි ද පළව තිබුණි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00