2023 ජුනි 04 වන ඉරිදා

ජනපතිගෙන් පොහොට්ටුවට අලුත් යෝජනාවක්

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 290

ගෙවී ගියේ නොහොඳ නෝක්කාඩු සපිරි සතියකි. ඇමැති හබය නැවතත් කරළියේ ප්‍රධාන මාතෘකාවක් විය. නතාෂාගේ නාට්‍යයද දේශපාලන කලකෝලහලයක් බවටද පත් වූයේය. පිරිසක් කල දුටු කල වළ ඉහගන්නට තැත් කරමින් සිටියහ. විනෝදයකට තිබුණේ මංගල උත්සවයකදී මෛත්‍රීපාල සිරිසේන කී අමුතු කවියයි. තිරය පිටුපසද පැනිලි රැවිලි ගෙරවිලි පිළිබඳවද කතා නොඅඩුව අසන්නට ලැබුණි.

පසුගිය සතියේ සඳුදා කැබිනට් මණ්ඩල හමුව පැවතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කිරීම ඇතුළු තීරණ කිහිපයක්ම එදින කැබිනට්ටුවට එළැඹි බව දැනගැනීමට ලැබුණි. මාලදිවයින සමඟ ඇතිකරගන්නා එකඟතා කිහිපයක් පිළිබඳව සහ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීම පිළිබඳ කැබිනට් පත්‍රිකා කිහිපයකටම එහිදී අනුමැතිය ලැබී තිබුණි.

මෙම කැබිනට් හමුව අවසානයේ ජනපති තවත් විශේෂිත සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීම විශේෂිත තත්ත්වයක් විය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේම පැවැති මෙම සාකච්ඡාව තරමක් විශේෂ එකකි. සියලු කැබිනට් අමාත්‍යවරුන්ට මේ සඳහා ඇරයුම් ලැබී තිබූ අතර කැබිනට් අමාත්‍යධූර නොදරන පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන්ටද මේ සඳහා ඇරුයුම් ලැබී තිබුණි. ඊට අමතරව පොහොට්ටුවේ මහලේකම්වරයාටද, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝද මේ සඳහා ආරාධනා ලැබූවෝ වූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම හමුවට සහභාගී විය.

රැස්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකත් පැමිණ සිටියහ. ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතුවලදී, ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් ලෙස කටයුතු කිරීමේ මෙම විශේෂිත රැස්වීමේ අරමුණ විය. කෙසේ වෙතත් මෙම හමුව පිටුපස වූ සැබෑ අරමුණ ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීම බවද ආණ්ඩුවේම දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

කෙසේ වුවත් රැස්වීමේ ඇරැඹුණි. ජනපති රනිල් වික්‍රමසිංහ අරමුණ පැහැදිලි කරමින් කතා කළේය.

''අපි ස්ථාවරව කටයුතු කරන්න ඕනෑ. එහෙම නැති වුණොත් පක්ෂත් ආණ්ඩුවත් අර්බුදයට ලක්වෙයි. අපි ආණ්ඩුකරණයේ නිරත වෙන්න ඕනෑ ඔක්කොම එකතුවෙලා. අපි දේශපාලනයේදී එකට යමු. තියෙන ප්‍රශ්න සම්බන්ධීකරණය කරලා විසඳගමු. මේ ඔක්කොම මෙහෙයුම් කමිටුවක් විදිහට වැඩකරමු.''

අප ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම රැස්වීම සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන් දෙදෙනාය. ආණ්ඩුව එකමුතුව ඉදිරියට ගමන් කිරීමේ අවශ්‍යතාවය පෙරදැරිව ඔවුන් මෙම සාකච්ඡාව සංවිධානය කළ බව කියැවුණි.

කෙසේ වෙතත් මෙම හමුව සඳහා පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නොපැමිණීම කැපී පෙනුණි. මෙහිදී පොහොට්ටු වෙනුවෙන් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ද සිය අදහස ඉදිරිපත් කළේය.

''ජනාධිපතිතුමනි, ගිය අවුරුද්දේ ඔබතුමා මේ ජනාධිපතිධූරයට පත් කරන්න විශාල වැඩ කොටස කළේ පොහොට්ටුව පක්ෂය. දැන් ඔබතුමා සෑහෙන්න දුරට ආර්ථිකය නගා සිටුවල තියෙනවා. ඒක හොඳයි රටටත් ප්‍රයෝජනයක් සිද්ධවෙලා තියෙනවා. අපි ඉදිරිකාලයෙත් ඔබතුමාට සහයෝගය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා, අපිට එකඟ විය හැකි තැන් වලදී.''

ආරංචි මාර්ග පවසන පරිදි මෙසේ ආරම්භ කර කතාව ඊළඟ අදියරේදී විශේෂ තැනකට රැගෙන යාමට සාගර කාරියවසම් කටයුතු කළේය.

''දැන් ජනාධිපතිතුමනි දේශපාලන හේතුමත මේ වගේ රැස්වීම් කැඳවනකොට, මෙහෙයුම් කමිටු එහෙම පත් කරනකොට, ඉස්සෙල්ලම පක්ෂ සමඟ සාකච්ඡා කරන එක තමා යුතුකම.''

එකවර කැබිනට් අමාත්‍යවරු කැබිනට් නොවන පක්ෂ ක්‍රියාකාරීන් සහ පක්ෂ නායකයන් කැඳවා කමිටු පිහිටුවීමට පෙර පක්ෂවල අනුමැතියක් ලබාගැනීම වඩාත් සුදුසු බව ඔහු පැහැදිලි කර තිබේ.

''පක්ෂ විදිහට කතාකරලා අපිව දැනුවත් කළාම, ඒකට සැලැස්මකුත් හදාගෙන අපිට වැඩ කරන්න පුළුවන්.''

මෙම යෝජනාව සමඟ මෙම රැස්වීම සංවිධානය කිරීමට මූලිකත්වය ගත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග කතාකොට තිබේ.

''ඔව් ඔව් ඒ යෝජනාව හොඳයි. අපි එහෙම කරමු. ඉදිරියටත් අපි එකතුවෙලා ප්‍රශ්න ගැන කතා කරමු.''

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

''ඔව්. මමත් සන්ධානයක ලේකම්වරයෙක් විදිහට අවුරුදු එකොළහක් ඉඳලා තියෙනවා. පක්ෂයක ලේකම්වරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. සන්ධාන හදලත් තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත අද කරන විදිහට නෙවෙයි. පක්ෂවලට වෙන වෙනම කතා කරලා, ඒ අයගෙ නියෝජිතයෝ පත්කරගෙන සිදුකරන එක තමා හොඳම.''

මෙම සාකච්ඡාව දික් ඇදෙද්දී ජනපතිගේ ගුණ වයන්නටද ඇතමුන් ඉදිරිපත් වූහ. අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ අතරින් එක් අයෙක් වූ බව අප ආරංචි මාර්ග සඳහන් කළේය.

''අපි මේ වගේ දේවල් කරන්න ඕනෑ. ඔබතුමාට තමයි මේ රට ගොඩගන්න පුළුවන්. ඔබතුමාම තමා ඊළඟ පාරත් ජනාධිපති වෙන්න ඕනෑ.'' ආරංචි මාර්ග පැවසූ පරිදි ඔහු ඉදිරිපත් කර ඇත්තේ එවන් අදහසකි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙහිදී සිය අදහස සභාව හමුවේ තැබීමට අමතක කළේ නැත.

''අපි පිළිගන්න ඕනෑ මේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් තවදුරටත් මේ රටේ ශක්තිමත් දේශපාලන පක්ෂ නොවන බව අපි පිළිගන්න ඕනෑ. පහුගිය කාලේ කාලෙ සිද්ධ වුණු දේවල් එක්ක, අපි පවතින තත්ත්වයට අනුගත වෙලා ක්‍රියා කරන්න ඕනෑ. එහෙම නැත්නම්  අපේ වගේම, රටේ අනාගතයත් අඳුරු වෙයි.''

අවසානයේදී මෙම සාකච්ඡාව නිමාවන විට, මෙහෙයුම් කමිටුව පිළිබඳව දේශපාලන පක්ෂ සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමටද සියලුමදෙනා එකඟව සිටි බව දැනගන්නට ලැබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් ජනපති මෙම ප්‍රකාශය කළේය. ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති මෙහිදී පැවසීය.

''ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?

අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.

අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදුකළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවකදී අවධාරණය කළා. 2023 අයවැය මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳව මම කරුණු සඳහන් කළා. යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි.''

මෙලෙස කතාව ආරම්භ කර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ගත වූ මාස 9ක කාලය තුළ රජය ගනු ලැබූ ප්‍රයත්නයන් නිසා රට මේ වනවිට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, ඊට දායක වූ රජයේ නිවැරදි ප්‍රතිපත්තිවලට මෙන්ම ජනතාවගේ සාමූහික කැපවීමට ස්තූතිවන්ත වන බවත් පැවසීය.

සමගි ජනබලවේගය දෙසින්ද පසුගිය සතියේ විශේෂ සිදුවීම් කිහිපයක් වාර්තා විය. රාජිත සේනාරත්න සහ වඩිවේල් සුරේෂ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපියක් යොමු කළේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලයි. පක්ෂයේ තීරණයට විරුද්ධව යමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව සහ ඡන්ද විමසීමට නොපැමිණීම පිළිබඳව මෙම ලිපියෙන් නිදහසට කරුණු විමසා තිබුණි.

''2023.05.23 දිනැති ත්‍රයිරේඛීය (Three Line Whip) ලිපිය මගින් දැනුම් දෙනු ලැබූ තීරණය අනුව ඔබ කටයුතු නොකර සිටීමට කරුණු ඇත්නම් මෙම ලිපිය ලැබී දින හතක් ඇතුළත එය මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.''
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පසුගියදා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ලබාගත් තීරණවලට අනුව මෙම ලිපි යොමුකිරීම සිදුව ඇති බවයි. ඉතාම කඩිනමින් පක්ෂයට පිටුපාන පිරිස් වලට එරෙහිව විනය පියවර ගෙන පෙන්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වුවමනා වී ඇති බවද ඒ අනුව දැන ගැනීමට ලැබුණි.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය පිළිබඳවද පසුගිය සතියේ දේශපාලන කරළියේ විශේෂ කතාබහක් ඇතිවිය. මාධ්‍යවේදියකු ඇයට අපහාස කළා යැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය මීට හේතුව විය. එසේම ඇය දේශපාලනය කරන බවට පැතිර ගිය මෙම කතාබහ තීව්‍ර කළේය.

ඒ අතර ජලනි ප්‍රේමදාස මහත්මියට අපහාස කිරීමට එරෙහිව සජබ පළාත් පාලන අපේක්ෂිකාවක් විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මෙම උද්ඝෝෂණයට පැමිණි කාන්තාවන්, උද්ඝෝෂණයට හේතුව නොදැන සිටි බව එම වීඩියෝ පටය ඔස්සේ අනාවරණය විය. අවසානයේ අදාළ අපේක්ෂිකාවට මාධ්‍ය සාකච්ඡාවක් පවා පැවැත්වීමට සිදු විය.

''ජලනි ප්‍රේමදාස දේශපාලනය කරන්න හදනවා.'' යනුවෙන් ආරංචියක්ද සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ පැතිර යමින් තිබූ බව කියැවුණි. එම නිසාම මන්ත්‍රීවරු පිරිසක් ඇගෙන් තොරතුරු විමසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබේ.

''මට එහෙම අවශ්‍යතාවයක් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණාම මම කොහොමත් ආර්යාව'' යනුවෙන් එම ප්‍රශ්නයට ජලනි ප්‍රේමදාස මහත්මිය, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු බැඳි බවද එම වාර්තාවල සඳහන් වේ.

බොහෝ කලකට පසුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වියත්මගේ සාමාජිකයන් සම්මුඛ වීමද පසුගිය සතියේ සිදුවූ විශේෂිත සිදුවීමක් විය. ඉකුත් බ්‍රහස්පතින්දා වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වූ වර්තමානයේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ විසින් රචිත Managing Mindfully නැමැති ඉංග්‍රීසි ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම පිරිස සම්මුඛ විය. 

මෙම උත්සවය, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් වූවාට පසු දේශපාලන හේතුවකින් තොරව පරණ මිතුරන් සමග එකතු වූ සුවිශේෂී අවස්ථාවක් වූයේය. හිටපු ජනාධිපතිවරයා උත්සවයෙන් පසුවද බොහෝ වෙලාවක් තම පැරණි හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටින අයුරු දැකගත හැකිවූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ පිරිස් අතර ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් සරත් වීරසේකර, ජෙනරල් කමල් ගුණරත්න විශේෂයෙන්ම කැපී පෙනුණු අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජයම්පති මොල්ලිගොඩ, චම්පි අමරසේකර, මනෝරි උනම්බුව වැනි ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ හිටපු සභාපතිවරු හා හිටපු තානාපතිවරු ගණනාවක්ම වූහ.

මේ අතර පසුගිය සතියේ දේශපාලන විනෝදය සැපයුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු සිය සහෝදරයකුගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමින් අමුතු කවියක් කීවේය.

''සත්‍යා හොඳ ළමයෙක් බව මම කියන්න ඕනෑ... සත්‍යා හොඳට හැදුනා... සත්‍යා හොඳට ඉගෙන ගත්තා... හොඳ ළමයෙක් සත්‍යා. සත්‍යා හොඳයි... කසුන් හොඳයි.. හොඳම හොඳයි'' යනුවෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කී මේ අපූරු හිටිවන කවිය සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් දිනා ගත්තේය. පසුව මේ හා සම්බන්ධව මාධ්‍ය විමසීමකට පිළිතුරු බැඳීමටද මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවිය.

“මගේ මල්ලිගේ දුවගේ මඟුල් ගෙදර. මනාල පාර්ශවයෙන් ආපු තරුණ දරුවෙක් ඒ මම කියපු විදිහටම කිව්වා ඒ මනමාල මහත්මයා ගැන. මං මනමාලියි, මනමාලයයි දෙන්නම ගැන මම විනෝදෙට එහෙම කිව්වා. මහප්පා විදිහට. ඉතින් ඕවගෙන් කවුරු හරි විනෝද වෙනවා නම් හිනාවෙලා ඉතින් ඒකෙන් මම සතුටක් ලබනවා. කවුරුහරි වින්දනයක් ලබනවා නේද මම කරපු දෙයින් කියලා.”

මේ අනුව ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ ප්‍රධාන අවධානය දිනාගත් විවාහ මංගල්‍ය කිහිපයක්ම පැවැත්වුණි. ඒ අතරින් ප්‍රධාන වූයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ බෝල්රෑම් ශාලාවේ පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ පුතුගේ විවාහ මංගල්‍යය. ආණ්ඩුවේ ප්‍රධානීන් රුසක් මෙම විවාහ මංගල්‍යය සඳහා සහභාගි වූහ.

මෙහි පළමුවෙන් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි වේලාවක් රුඳී නොසිටියේය. කෙසේ වෙතත් ජනපති රුඳී සිටි සුළු වේලාව තුළදී මෙහි පැමිණ සිටි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද වත්මන් ජනපතිට ප්‍රධාන මේසයේදී හමුවිය. හරිහැටි පැහැදිලි නොවූ මුත් ඔවුන් අතර සිදුව ඇත්තේ දේශපාලන සංවාදයක් බව ආරංචි මාර්ග තහවුරු කරයි. වර්තමාන ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට අමතරව මෙම ප්‍රධාන මේසයේ බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අයද අසුන්ගෙන සිට තිබේ.

පැමිණ සුළු වේලාවකට පසුව නුවරඑළියේ විනිශ්චකාරවරුන්ගේ රැස්වීමකට සහභාගී වීමට යා යුතු බව පවසමින් ජනපති පිටව ගියේය. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙහි පැමිණි රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ ප්‍රභූන් අතර සුහද කතාබහ සිදුවිය. අලුත් ආණ්ඩුවේ නිලධාරීන් මෙන්ම පසුගිය ආණ්ඩුවේ නිලධාරීහු ද මෙහි පැමිණ සිටියහ.

''ඡන්දයක් කවදද එන්නේ?''
''කැබිනට් පත් කිරීම්වලට මොනවා වෙයිද?''
''ඉස්සරහට මොනවා වෙයිද?''

මංගල සභාවේ සිටි ප්‍රභූන්ට සංවාද කරන්නට බොහෝ ප්‍රශ්න තිබුණි. එහෙත් කිසිවකු ළඟ එම ප්‍රශ්නවලට පිළිතුරු නොතිබුණු බව පැහැදිලි විය. රටේ වර්තමාන දේශපාලන ආර්ථික තත්ත්වයන් පිළිබඳව මෙහි පැමිණ සිටි විවිධ තරාතිරම්වල පිරිස් බොහෝ සාකච්ඡා පැවැත්වූ බව නම් පැහැදිලිව පෙනී ගියේය.

මෙම විවාහ මංගල්‍යය සඳහා ඇරයුම් ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණියේ පමාවීය. අනුරාධපුරයේ තවත් විවාහ මංගල්‍යයක් වෙනුවෙන් අත්සන් තැබීමට යාම ඔහුගේ පමාවට හේතු වී තිබුණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණෙන විට, වර්තමාන ජනාධිපතිවරයා සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සාදයෙන් පිටව ගොස් හමාරය.

මේ අතර පසුගිය සතියේ පැවති තවත් විවාහ මංගල්‍යයන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම විවාහ මංගල්‍යය සඳහා දේශපාලකයන්ට ආරාධනා ලැබී නොතිබීම විශේෂිත කරුණක් විය.

පසුගිය සතියේ ජාතික ජන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා පිඹුරුපත් සැකසීමට වැඩි ඉඩකඩක් වෙන් වී තිබිණි. පළාත් පාලන මැතිවරණය කල් දමා ජූනි 09 වැනිදාට මාස තුනක් ගතවන මොහොතේ ජූනි 08 මැතිවරණ කොමිසම ඉදිරියට විශාල විරෝධතාවක් සංවිධානය කිරීමට ඔවුන් සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මැතිවරණ කල් දැමීමට එරෙහි විරෝධය පුළුල් ලෙස ඉදිරිපත් කිරීම ජාතික ජනබලවේගයේ සැලසුම විය. මිහින්තලයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව තහවුරු කළේය.

''රනිල් වික්‍රමසිංහ හිතනවා නම්, ඡන්දය තියන්නේ නෑ කියලා එයා කිව්වහම එයාට යටත්වෙලා දේශපාලනය කරන්න ඕනෙ කියලා ඒක විහිළුවක්. එහෙම ඉන්න අපි ලෑස්ති නෑ. රනිල් වික්‍රමසිංහගේ අනීතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ඡන්ද කල් දැමීමට එරෙහි මහ පාරේ සටන අපි ආරම්භ කරන්න ලෑස්තියි. රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් 120 වගේ බලයක් තියෙනවා. නමුත් ජනතාවගේ බලය, ජනතාවගේ හයිය තියෙන්නෙ ජාතික ජනබලවේගයට බව අද තිරප්පනේට රුස්වී සිටින දහස් ගණන් ජනතාව එකතු වෙලා මේ කියන්නේ.''

මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන බදාදා අලුයම තායිලන්තය බලා පිටත්ව ගියේ, එක්සත් ජාතීන්ගේ ලෝක වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහාය. අග්‍රාමාත්‍යවරයා සමඟ අස්ගිරිය මහානායක හිමියන් ඇතුළු සියයක් නමක් තායිලන්තය වෙත වැඩ කළහ.

එදිනම දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්ත රජයේ මන්දිරය වෙත ගිය අතර, එරට අග්‍රාමාත්‍ය ජෙනරාල් Prayut Chan-o-cha මහතා හමුවීමට ද කටයුතු කළේය. සංචාර අතරේදී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධාන කර තිබූ, තායි ව්‍යාපාරිකයන්ගේ සංසදයේ රැස්වීමට ද අග්‍රාමාත්‍යවරයා එක්විය.

තායි කර්මාන්ත සම්මේලනය, තායිලන්ත සංචාරක කවුන්සිලය, තායිලන්තයේ ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ තායි වාණිජ මණ්ඩලය ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

I චමිඳු නිසල් ද සිල්වා