2023 මැයි 28 වන ඉරිදා

හෙළිකොප්ටරවලින් ඇම්බියුලන්ස්වලින් මැති ඇමැතිලා ඡන්දයට එති

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 493

අපූරු නාටකීය ජවනිකාවලින් පිරුණු දේශපාලන සතියක් ගෙවී ගියේය. ත්‍රාස්‍ය, හාස්‍ය මෙන්ම කුතුහලය ද නොඅඩුව දක්නට ලැබුණි. සමහරුන්ට වැඩ වැරදුණු අතර, හිසරද සුව කර ගත්තෝ ද වූහ. දේශපාලන ආරංචි කීවේ, තවත් අපූරු තිර පිටපත් කිහිපයක් රචනා වෙමින් ඇති බවකි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත්  කිරීමේ යෝජනාව සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පසුගිය සතියේ ප්‍රධානතම දේශපාලන සිදුවීම විය. මෙම සිදුවීම පිටුපස තවත් අතුරු කතා රැසක් අපට අසන්නට ලැබුණි. ඒ අතරින් කිහිපයක් ඔබව ඉදිරිපත් කිරීම වටී යැයි සිතේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවීමට පෙර පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් හමුවක් කැඳවූයේය. අප ආරංචි මාර්ග තහවුරු කළේ මෙම සභාවේ ද ප්‍රධාන මාතෘකාව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වූ බවයි. 

ලැබී ඇති තොරතුරු අනුව මෙදින කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් හැත්තෑපස් දෙනෙක් පමණ වූහ. කාංචන විජේසේකර අමාත්‍යවරයා ඔවුන් හමුවේ ජනක රත්නායකට එරෙහිව ගෙන එන පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳ කරුණු පැහැදිලි තිබේ.

“ඔහු අපි හැමෝම මේකට සහයෝගය දෙන්න ඕනෑ. මේ යෝජනාවේ තියෙන කරුණු ඇත්ත. එයාට එහෙම කරන්න දෙන්න බෑ." 

කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ කරුණු දැක්වීමත් සමඟ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඔහු කී කරුණු අනුමත කරමින් කතා කළ බවද ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විශේෂ කතාවක් කීය.

“ජනාධිපතිතුමා, මේ සභාපති විතරක් නෙවෙයි තව කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො අපි මන්ත්‍රීවරු කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑ. ප්‍රතිචාරයක් දක්වන්නෙත් නෑ. උදව්වක් කරන්නෙත් නෑ."

කැටගොඩ මන්ත්‍රීවරයාගේ කතාවට ද ඌණපූර්ණ එක් කරන්නට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එක්වූහ. රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විවේචන රැසක් ගලා එන්නට විය. මේවා අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කීවේ තමන්ට සිදුවූ අකටයුතුකමක් පිළිබඳවය. 

“ජනාධිපතිතුමා, දැන් සතියකට කලින් රාජකාරිමය අවශ්‍යතාවයක් සඳහා එක්තරා ප්‍රධාන ආයතනයක සභාපතිවරයෙක්ට කතා කරන්න උත්සාහ කළා. දින දෙක තුනක් ඇතුළත ඒ සභාපතිවරයාට දුරකථන ඇමතුම් පනහකට වඩා ගත්තා. එකකටවත් ආන්සර් කළේ නෑ. රාජකාරි කටයුත්තකට මේ කතා කරන්නේ කියලා එස්.එම්.එස් එහෙමත් දැම්මා. ඒත් ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. මං අහන්නේ, එච්චරටම බිසී වෙන්නෙ කොහොමද? අපිව සත පහකට ගණන් ගන්නේ නැති මේ වගේ මිනිස්සු තියාගෙන, ආණ්ඩුවක් විදිහට අපි කොහොමද ඉදිරියට යන්නේ."

රටේ ප්‍රධානතම ආයතනික සභාපතිවරයකු සම්බන්ධව මෙම චෝදනාව ඉදිරිපත් වූ බව පසුව දැනගැනීමට ලැබුණි. ජනක රත්නායක හබයට අමතරව අප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි තවත් විශේෂ සාකච්ඡා කිහිපයක් මෙහිදී සිදුව තිබේ. 

“බලන්න ජනාධිපතිතුමා, මේ කැසිනෝවල බද්ද අඩු කරපු එක වැරදියි. ඒ බද්ද වැඩි කරන්න ඕනෑ. අනික ලංකාවේ මිනිස්සුන්ට ඔය කැසිනෝවලට යන එක තහනම් කරන්නත් ඕනෑ."

ආරංචි අනුව මෙම අපූරු කතාව කීවේ ප්‍රේමනාත් සී. දොළවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. කෙසේ වෙතත් එම කතාව ජනාධිපතිවරයා ඒ තරම් නොතැකූ බවක් පෙනී ගියේය.

“මේ රටේ මිනිස්සුන්ට ඕනෑම තැනක යන්න එන්න අයිතිය ව්‍යවස්ථාවේම තියෙනවා. ඕවා තහනම් කරන්න ගියොත්, ඒවත් සංශෝධනය කරන්න වෙයි."

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි කරුණු පහදමින් ජනපති කියා ඇත්තේ මෙවන් කතාවකි.

මේ අතර ආණ්ඩුකාර පත්කිරීම සම්බන්ධවද යම් කතාබහක් සභාවේ නිර්මාණය වී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාළ එහිදී ජනපති වෙත විශේෂ ස්තූතියක් සිදු කළ බව වාර්තා වේ.

“නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඉවත් කරපු එක බොහොම හොඳයි. අපි ඒ සම්බන්ධව ජනාධිපතිතුමාට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා."

සතියේ දේශපාලන සැලසුම් රැසක් සාකච්ඡා වූ මෙම රුස්වීම නිමාවන විට ආණ්ඩුව විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබුණි.

ඒ අනුව ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රුගෙන එන බවත් එදිනට සියලු දෙනා පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය බවත්  අවධාරණය විය. කලකට පසුව ත්‍රී ලයින් විප් හෙවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කිරීමේ ඉරි තුනේ දැන්වීමක් ලැබුණි.

කෙසේ වෙතත් අප වෙත අසන්නට ලැබුණු පරිදි පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කිරීමේ නියෝග ලැබෙන විටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් විදේශගත වී සිටියහ. කෙහෙළිය රඹුක්වැල්ල, සුරේන් රාඝවන්, ප්‍රසන්න රණවීර, මොහාන් සිල්වා, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, අලි සබ්‍රි යන අයගේ නම් විදේශගත ලැයිස්තුවේ කියැවුණි. කෙසේ වෙතත් මෙම පිරිසට ද වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට නියෝග නිකුත් විය.

ඒ අනුව නම් සඳහන් මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවට පැමිණි අතර, සුරේන් රාඝවන්ට සහ අලි සබ්‍රිට පමණක් පැමිණීමට නොහැකි විය. ඊට අමතරව ජනක රත්නායක යෝජනාව හේතුවෙන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි මන්ත්‍රීවරුන්ට සිය ගමන් පමා කිරීමට ද සිදු වූයේය. එලෙස සිය විදෙස් ගමන් පමා කළ අය අතරින් බන්දුල ගුණවර්ධන ද අයෙක් විය. 

මෙම ඡන්ද විමසීම සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වමින් එය මනාව සංවිධානය කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් උත්සුක වන බවක් පෙනී ගියේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යම් ගැටලුවක් මතු වුවහොත් හෝ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව ආණ්ඩුව පැරුදවීමට උත්සාහ කළහොත් ඊට විකල්පයක් ද යොදා තිබේ. ඒ අනුව දැනගැනීමට ලැබෙන පරිදි අවශ්‍ය වුවහොත් විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන අට දෙනකු මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කල් ඇතිවම එකඟ කරවා සිට ඇත.

ආණ්ඩුව ගණන් බලා තිබූ පරිදි යෝජනාව ඉදිරිපත් වූ දිනය වන විටත් ආණ්ඩුව සතුව සිටියේ මන්ත්‍රීවරුන් එකසිය දහ නම දෙනකු පමණකි. මෙම නිසාම සැලසුම් සමීපව නිරීක්ෂණය කිරීමට නායකත්වය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙදින ද අපූරු දේශපාලන සිදුවීම් කිහිපයක් වාර්තා විය.

උදෑසන පාර්ලිමේන්තුවට සියලු දෙනාට වාර්තා කරන ලෙස දන්වා තිබුණද ආණ්ඩු පක්ෂයේ පිරිස ප්‍රමාණවත් තරම් පැමිණි බවක් නොපෙනුණි. විපක්ෂය කල් ඇතිවම ලක ලෑස්ති වී සිටියේය. රාජ්‍ය ඇමැතිවරයකු වන ලොහාන් රත්වත්තේ තමන්ගේ සහෝදරයාගේ පවුලේ විවාහ මංගල්‍යයට සහභාගි වෙමින් රැදී සිටියේ මහනුවර ප්‍රදේශයේය. උදෑසන වරුව විවාහ මංගල්‍යයේ ගත කරමින් සිටි ලොහාන් රත්වත්තේට ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින් දිගටම, පාර්ලිමේන්තු පැමිණෙන ලෙසට දැනුම්දීම් සිදු කරන්නට වූයේය.

අවසානයේ එය ඔහුට තවදුරටත් මගහැර සිටිය නොහැකි තත්ත්වයක් විය. තම සහෝදරයාගේ පවුලේ විවාහ මංගල්‍ය කටයුතු පසෙක තබමින්, මුදල් ගෙවා හෙලිකොප්ටරයක් රුගෙන කඩිමුඩියේම කොළඹ ඒමට ලොහාන් රත්වත්තේ කටයුතු කළේය.  
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන රෝගාතුර වී රෝහල්ගත වී සිටියේය. වකුගඩු ආබාධයකින් පෙළුණු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේ ගිලන් රථයක් ආධාරයෙනි. රාජ්‍ය අමාත්‍යවරයකු වන තේනුක විදානගමගේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් හේතුවෙන් රෝගීව නුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. අවසානයේ ඔහු ද රෝහලේ සිටම පාර්ලිමේන්තු පැමිණියේ මෙම ඡන්ද විමසීම සඳහා සහභාගි වීමේ අරමුණෙනි.

පාර්ලිමේන්තුවේ තීරණාත්මක විවාදය ඇරඹෙන විට තිරය පිටුපස ප්‍රධාන දේශපාලන චරිත කිහිපයක් සිදුවීම් පෙළ සමීපව නිරීක්ෂණය කරමින් සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ ජපාන නිල සංචාරයට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයා සමඟ රැදී සිටි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ආශු මාරසිංහ විවාදයේ සහ ඡන්ද විමසීමේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන්නා බවට පත්ව සිටි බව කියැවුණි.

ජනපතිට විටින් විට තොරතුරු වාර්තා කිරීමේ වගකීම භාරගෙන සිටි ඔහු නිතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කාංචන විජේසේකර අමාත්‍යවරයා සම්බන්ධ කර ගනිමින් තොරතුරු විමසීම සිදු කළේය. 

“දැන් කොහොමද? කී දෙනෙක් ඉන්නවද?"

“විවාදේ තත්ත්වය මොකක්ද?”

දිනය පුරා පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ඡන්ද ප්‍රමාණය සම්බන්ධව ජනපති විශේෂ අවධානයක් යොමු කළ බව ඒ අනුව පෙනී ගියේය. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද මෙම ඡන්ද විමසීම සහ පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබඳ සැලිකිලිමත් විය. විටින් විට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය සොයා බලමින් සංවිධාන කටයුතු සඳහා ඔහු ද සහාය දැක්වූයේය.

අවසානයේ සතියේ උණුසුම් විවාදය කෙළවර පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වුණි. යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතායි. ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණි. 

සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර ආණ්ඩුවට සහාය දෙමින් සිට පසුගියදා නීතිවිරෝධී ලෙස රත්රන් ගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් යෝජනාව විරුද්ධව ඡන්දය ලබා දුන්නේය. මේ අතර අවසන් මොහොතේ ඡන්දය ලබා දීමට ප්‍රමාද වී පැමිණ, අවස්ථාව මගහැරී ගිය චන්න ජයසුමන මන්ත්‍රීවරයා පිළිබඳවද දේශපාලන කසුකුසුවක් පැතිර ගියේය.

දීර්ඝ දේශපාලන ජවනිකාවක් අවසන් කරමින් සියල්ල අවසානයේ ජනක රත්නායක මහතා සාකච්ඡාවක් කැඳවමින් කතා කළේය. තමාව සභාපති ධූරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලාංකික ජනතාවට අත්වූ පරාජයක් බව ඔහු කීවේය.

“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේකඅනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා කියලා ඉවරයි."

කෙසේ වෙතත් මේ වන විට ජනක රත්නායක පිළිබඳ ඇති ප්‍රධානතම කතිකාව නම් ඔහු ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටින බවයි. ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේ ඔහුගෙන් මෙම ඉල්ලීම සිදු කළ අය ද සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

සතිය පුරා නොයෙක් කටකතා පැතිර ගිය තවත් සිදුවීමක් වූයේ ඉකුත් මැයි 19 වැනිදා යුද ජයග්‍රණයේ සංවත්සරය සැමරුමට රාජපක්ෂවරුන් නොපැමිණීම පිළිබඳ පුවතයි. එහෙත් සැබෑවට ඊට හේතුව පැහැදිලි කිරීමට කිසිවෙක් නොවුණි. කෙසේ වෙතත් අප වෙත මෙම සිදුවීම් සම්බන්ධ තිරය පිටුපස කතාවක් දැන ගැනීමට ලැබුණි.

යුද ජයග්‍රහණයට උරදුන් ප්‍රධානතම දේශපාලන නායකයා ලෙස සැලකෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම සැමරුමට නොපැමිණීම පිටුපස හේතු කිහිපයක් විය. ඉන් පළමුවැන්න වූයේ මහින්ද රාජපක්ෂ මහතා තරමක සනීප තත්ත්වයකින් සිටීමයි. රණවිරු සැමරුමට පමණක් නොව ඉන් අනතුරුව පැවැති අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ ආදාහන උත්සවයට පවා ඔහු සභභාගි නොවුණේ එබැවිනි. රණවිරු සැමරුමේ දීර්ඝ වේලාවක් සිටගෙන සිටීම මහින්ද රාජපක්ෂ මහතාට අපහසුවීම මේ පිටුපස වූ තවත් හේතුවක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමට තවත් හේතුවක් තිබුණි. එය මෙම උත්සවයේ තනතුරු ධූරාවලිය සැකසීමේදී සිදුවූ අවුලකි. ජනාධිපති අගමැති ඇතුළු ප්‍රධාන අමුත්තන් කිහිප දෙනාට හැර සෙසු අමුත්තන්ට ප්‍රධාන පිවිසුමෙන් නොපැමිණ, ආරක්ෂක ඇවුරුම පිටුපසින් උත්සවය සඳහා පැමිණෙන ලෙස සංවිධායකයන් දන්වා ඇත. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ආරක්ෂා ඇවුරුම පිටුපසින් උත්සවයට සහභාගි වන ලෙස ඔවුන්ට දන්වා තිබූ බව කියැවේ.
තම පාලන සමයේ නිමා කළ යුද්ධයේ රණවිරු සමරුමට, පසුපසින් පැමිණීමට මහින්ද රාජපක්ෂ මහතා එතරම් මනාපයක් දක්වා නැත. 

“මම මොකටද පිටිපස්සෙන් යන්නෙ"

යනුවෙන් රාජපක්ෂ මහතා පවසා ඇතැයි ද ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ. කෙසේ වෙතත් අසනීප තත්ත්වය මෙම නොපැමිණීමට මූලික වූ බව කියැවේ. එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිට කිසිදු රාජපක්ෂවරයකු මෙම අවස්ථාවට නොපැමිණීම සුවිශේෂී විය. එවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරටයි. ඊට අමතරව මෙම උත්සවයට ආරාධනා ලැබූ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද මීට සහභාගී නොවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සමගි ජනබලවේගය සිය විනය ක්‍රියාමාර්ග තර කිරීමට නව වැඩපිළිවෙළක් සකසමින් සිටින බව අරංචි මාර්ග සඳහන් කළේය. පක්ෂයේ තීරණයට පිටුපාමින්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සජබ සැරසෙන බව දැනගැනීමට ලැබුණේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙනි.

මෙම ඡන්ද විමසීමේදී  වඩිවෙල් සුරේෂ්ට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම්. ෆවුසි ද ආණ්ඩුව ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ තිබුණි. ඒ අනුව ඡන්ද විමසීම අවසානයේ සමගි ජනබලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ මෙවන් කතාවකි.

“රටම දැක්කා ජනතාවගෙ පැත්තෙ හිටගත්ත අය සහ රටට කොඩිවිනයක් වුණු ආණ්ඩුව පැත්තෙ හිටගත්ත අය කවුද කියලා. කවුද වසලයෝ කවුද බ්‍රාහ්මණයෝ කියලා රටේ ජනතාවට සුදුසු නිගමනයකට එන්න අවස්ථාව ලැබුණා." 

මේ අතර සමගි ජන බලවේගයෙන් එළියට පැමිණි හිටපු අමාත්‍ය පී. හැරිසන් සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය කරමින් සිටියේ මාධ්‍ය සාකච්ඡා පවත්වමිනි. ඒ අතර තවත් පක්ෂ මාරුවක් පිළිබඳ අනාවැකියක් ප්‍රකාශයට පත්විය.

“මගේ මිත්‍රයා හෙක්ටර් අප්පුහාමි මැතිතුමාත් කිහිප සැරයක් ගිහිල්ලා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරල තියෙනවා. අවශ්‍ය වෙලාවට එතුමාත් හරි පැත්තෙන් හිටගනී." 

තවද පොසොන් සහ ඇසළ පෝය ඉවසා සිටින ලෙසත්, තමන් කී පරිදි සජබෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට එක්වන බවත් පී. හැරිසන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය සතියේදී ජාතික ජනබලවේගය රණවිරු සතිය ද පදනම් කර ගනිමින් "විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය" නමින් එකමුතුවක් නිර්මාණය කරමින් දිවයින පුරා දිස්ත්‍රික් සමුළුව පැවැත්වීම ආරම්භ කළේය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් සමුළුව පසුගිය ඉරිදා පැවැත්විණි. 

ජනක රත්නායක සම්බන්ධවද ජාතික ජන බලවේගය මැදිහත් විය. ජනක ඉවත් කිරීම පිටුපස තවත් හේතු ඇති බව පවසමින් ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කීවේ වෙනස්ම කතාවකි.

“ජනක එපා වුණේ මූල්‍ය අරමුදලේ තීන්දු ක්‍රියාත්මක කරන්න බැරි වුණාමයි. විදුලි බිල වැඩි කරන්න කියලා අරමුදල කිව්වා. කොමිසම විරුද්ධ වුණා. ජනකට පෙර සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වුණා. කැමැත්තෙන් අස්වුණා කිව්වත් රටම දන්නවා නිකම් ඉල්ලා අස් නොවූ බව. කොමිසමම ඉල්ලා අස්වෙන්න කිව්වාම ජනක හැර අනිත් අය අස්වුණා.

මැතිවරණ කොමිසමට ඉල්ලා අස්වෙන්න කිව්වාම චාල්ස් මහත්මිය අස්වුණා. කිව්වේ පෞද්ගලික හේතු කියලා. දැන් ආණ්ඩුකාරවරිය වුණා. උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත් කළා. ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ සිට ඔහුගේ නිලධාරියෙක් ලෙස සිටියා. තිත්ත ඇත්ත කවුරුවත් දන්නවා. සභාපති ඉවත් කර ගන්න බැරිවුණාට හීලෑ වූ අනිත් අය දාගෙන බිල වැඩි කර ගත්තා."

I චමිඳු නිසල් ද සිල්වා