2023 අප්‍රේල් 30 වන ඉරිදා

එක්ස්ප්‍රස් පර්ල් ගින්න මන්ත්‍රී කණ්ඩායමේදීත් ඇවිලෙයි

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 252

ගෙවී ගියේ තවත් තීරණාත්මක දේශපාලන සතියකි. දේශපාලන කරළිය කලබලකාරී වූ අතර කුඩා, අනු කුඩා මාතෘකා රැසක් යටතේ රැඟුම් පාන්නෝ බොහෝ වූහ. ජාතික ආණ්ඩුව, ප්‍රති ත්‍රස්ත පනත, අයි.එම්.එෆ් විවාදය, එක්ස්ප්‍රස් පර්ල් වන්දිය, රිළා ගනුදෙනුව ඒ අතරින් කැපී පෙනුණි. තිරයෙන් පිටුපස ද පිටපත් රචකයන් කිහිප දෙනකු වැඩ අරඹා තිබූ අතර, එම ජවනිකා ඉදිරි සති දෙක තුන තුළදී වේදිකා ගතවනු ඇතැයි කියැවිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සඳුදා රැස්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූ බව ආරංචි මාර්ග තහවුරු කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අසූපස් දෙනෙක් පමණ මෙහි පැමිණ සිටියහ.

පළමුවෙන්ම සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ කරුණු පහදමින් ජනපති පිරිස ඇමතුවේය. ඒ අනුව අයි.එම්.එෆ් යෝජනාවල තත්ත්වය සහ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය ගැන ද ජනපති මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. විවාදයට සියලු දෙනාම සහභාගි විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ අතර සභානායකවරයා පසුදා විවාදය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තේය. 

රටේ වර්තමාන දේශපාලන කරළියේ මාතෘකා වී ඇති සිදුවීම් කෙමෙන් කෙමෙන් සභාවේ සාකච්ඡා වන්නට පටන් ගත්තේ මින් අනතුරුවයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල පිළිබඳ සංවාදය පළමුවෙන්ම සභාවට පැමිණියේය. ජයන්ත කැටගොඩ, මධුර විතානගේ, ගාමිණී ලොකුගේ වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ස්ප්‍රස් පර්ල් කතාවේ මූලිකත්වය ගත්හ.

දේශපාලන ආරංචි මාර්ග අනුව ඔවුන් කීවේ මෙවන් කතාවකි.

“අධිකරණ ඇමැතිතුමා කිව්වා මේ නැවෙන් ඩොලර් මිලියන 250ක් ගත්ත කෙනෙක් ඉන්නවා කියලා. ඇයි ඒ පුද්ගලයාගේ නම කියලා පාර්ලිමේන්තුවේ කරුණු පැහැදිලි කරන්නෙ නැත්තේ. මෙතන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා, කරුණාකරලා ගත්ත කෙනා හෙළි කරන්න."

පාර්ලිමේන්තුවේ  ප්‍රශ්න විමසීමේදී අධිකරණ අමාත්‍යවරයා තොරතුරු හෙළි කළ යුතු බව මෙම පිරිස කීහ. ජනපති ද මීට හවුල් විය.

“අධිකරණ ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි. ඒ සම්බන්ධ ප්‍රශ්නයකටත් එතුමට හෙට උත්තර දෙන්න තියෙනවා."

මේ අතර විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද එක්ස්ප්‍රස් පර්ල් සංවාදයට හවුල් වූයේය.

“මට මේක අයිති කටයුත්තක් නෙවෙයි, ඒත් නීතිඥවරයෙක් විදියට මම කියන්නම් ඇයි මේ නඩුව සිංගප්පූරුවේ පවරන්නෙ කියලා. බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු සහ සිංගප්පූරු නීතිඥ සමාගම් තුනකින් මේ සිදුවීම අධ්‍යයනය කරලා අපේ රට නීතිඥ උපදෙස් ලබාගෙන තියෙනවා. ඒ අය අධ්‍යයනය කරල කියල තියෙනවා, මේ නඩුව සිංගප්පූරුවේ පවරන්න. එතනින් තමයි ඔබලට වැඩි වාසියක් ගන්න පුළුවන් කියලා."

මීළඟට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව උණුසුම් කළේ පළාත් ආණ්ඩුකාර විරෝධයයි. ආණ්ඩුකාරවරුන් සම්බන්ධව ඇති විවේචන සභාවට ගෙන ඒමේ මූලිකයා වූයේ මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

“මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා පළාතේ දේශපාලනඥයන් කාටවත් ඇහුම්කන් දෙන්නේ නෑ. කොටිකාවත්ත, කෝට්ටේ වගේ ප්‍රාදේශීය සභා, නගර සභාවල කොමසාරිස්වරුන් මාරු කරලා. දැන් කතරගම ප්‍රාදේශීය ලේකම් මෙතනට ගෙනත් දාලා තියෙනවා. ඒ මහත්මයා හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් එතුමා දන්නේ නෑ මේ වැඩේ කරන්න. අපි මේක වෙනස් කරන්න කියලා කිව්වා. ඒත් ඔහු සූදානම් නෑ කිසිසේත්ම ඒක වෙනස් කරන්න. දැන් අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මෙහෙම අයත් එක්ක කොහොමද දේශපාලනය කරන්නේ."

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද කල් බලා ආණ්ඩුකාර හබයට පැටළුණේය.

“බස්නාහිර විතරක් නෙවෙයි, වයඹ ආණ්ඩුකාරවරයත් මේ වගේ. මහජන නියෝජිතයන් කියන කිසිදේකට සවන්දීමක් නෑ. ජනාධිපතිතුමා සහභාගි වෙන එක්තරා රාජ්‍ය උත්සවයකටත්, රාජ්‍ය නිලධාරින්ට සහභාගි වෙන්න එපා කියලා වෙනත් කෙනෙක් හරහා ලියුම් ගැස්සුවා. වයඹ ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ, පළාතේ මන්ත්‍රීවරු ගණන් ගන්නෙත් නෑ. දවසක් ආශු මාරසිංහ ජනාධිපති උපදේශකතුමා ජනාධිපති කාර්යාලය හරහා ආණ්ඩුකාරවරයාට උපදෙසක් ලබා දෙනකොට, එයාට කියපු දේ මං එතන අහගෙන හිටියා. ආශු මාරසිංහ මහත්තයාටත් එයා කිව්වේ, ඔය උපදෙස් මට වැඩක් නෑ වගේ කතාවක්. බොරු නම් අහන්න."

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙයාකාරයෙන් කරුණු පැහැදිලි කරමින් සභාවේ පසෙක සිටි ආශු මාරසිංහ මහතා දෙස ද බැලුවේය. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ඔහු ද එය අනුමත කරමින් හිස සැලීය. ආණ්ඩුකාර හබය බරපතළ වන්නට විය.
“බස්නාහිර එක්කෙනා කියනවා තමන් හිටපු ගුවන් හමුදාපති කියලා, අනික් එක්කෙනා කියනවා තමා හිටපු නාවික හමුදාපති කියලා. මේ හමුදා පාලනය පළාත් සභාවලට හරියන්නේ නෑ. දේශපාලනය දන්න දේශපාලනඥයෝ, කවුරු හරි මේ තනතුරුවල වැඩ කරන්න ඕනෑ. ඒ නිසා කරුණාකරලා මෙතනට දේශපාලනඥයෝ කවුරු හරි පත් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා."

මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් එලෙස ඉල්ලා සිටියේය. ජයන්ත කැටගොඩ, ඩී.බී. හේරත්, ගාමිණී ලොකුගේ වැනි චරිත ද එම ඉල්ලීම ජනපති වෙත ඉදිරිපත් කළහ.

“මම කරුණු හොයලා බලලා, සුදුසු තීන්දුවක් ගන්නම්."

ආරංචි මාර්ග පැවසූ පරිදි ඊට ජනපතිගෙන් ලැබී ඇත්තේ එවැනි ප්‍රතිචාරයකි.

මීළඟට වී මිලදී ගැනීම සම්බන්ධව උද්ගත වී ඇති ගැටලුවක්ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ සාකච්ඡා වී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා මෙම කරුණ සභාවට රුගෙන ආවේය.

“බලන්න ජනාධිපතිතුමා, සමහර තැන්වල වී මිල දී ගැනීම ප්‍රමාද වෙලා සිද්ධ වෙන්නේ, සමහරක් තැන්වල සිද්ධ වෙන්නෙ නෑ. දිසාපතිවරුන්ට මුදල් දුන්න නම් මේ වැඩේ පහසු වෙනවා."

වී මිල දී ගැනීම සඳහා මුදල් දිසාපතිවරුන් වෙත ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව ද සලකා බලා තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

රට පුරාම සුවිසල් කතාබහක් නිර්මාණය කළ රිළා පැනය ද මෙම සභාවේ මාතෘකාවක් විය. එම කතාව සභාවට රුගෙන එමින්, තරමක අමුතු කතාවක් කිව්වේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාය.

“මේ එක එක්කෙනා රිළා ප්‍රශ්නේ ගැන එක එක කතා කියනවා. අපේ මහනුවර උඩවත්ත කැලේ ඉන්න විශාල රිළව් රංචුව හින්දා පළාතේ කිසි කෙනෙක්ට ගොවිතැනක් බතක් කර ගන්න බෑ. වගා ආලපාළු කරලා විනාශ කරලා දානවා. අනේ පුළුවන් නම් උඩවත්ත කැලේ ඉන්න රිළව් ටිකත් අල්ලලා ඔය කොහෙට හරි යවලා දාන්න."

ගුණතිලක රාජපක්ෂ මහතාගේ මෙම කතාව අතරතුරදී "හැමතැනම රිළව් ඉන්නව සර්, උන් ඔක්කොම අල්ලලා යවන්න ඕනෑ." සභාවේ තවත් මන්ත්‍රීවරයකු එලෙස කෑ ගසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රිළව් වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරයකුද මේ සභාවේ සිටි බව අසන්නට ලැබිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාය.

“ජනාධිපතිතුමා මගේ ඉල්ලීම රිළව් මෙහෙම රට යවන්න එපා, මමත් ගෙදර රිළවෙක් සුරතලයට ඇති කළා. අනේ මේවා මෙහෙම කරන්න එපා. හිතලා බලලා කරන්න. සමහරු කියනවා මේ සත්තුන්ගෙ අවයව කන්න තමා මේ ගෙනියන්න කියලා."
හනික ඊට මැදිහත් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙලෙස කරුණු පැහැදුවේය.

“ඔය අවයව කන කතාව අමූලික බොරුවක්. පෞද්ගලික සත්වෝද්‍යානවලට රිළව් ඉල්ලලා තියෙන්නේ. සමහරු බොරු කතා ප්‍රචාරය කරන්නේ."

එවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ හා සම්බන්ධව කරුණු පැහැදිලි කර දීමට ඉදිරිපත් විය.

“ඔව් ඔව්, ඕවා බොරු කතා. අවයව ආහාරයට ගන්න ඇති කරන සත්තු ඉන්නවා. ඒ අය ඉන්නේ තායිලන්තය වගේ රටවල සත්ත්ව ගොවිපොළවල."

මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී බොහෝ දෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කළහ. පොල්කුරුමිණි රෝගය හේතුවෙන් සිදුව ඇති විනාශය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සභාව හමුවේ තැබීය.  ජනපති ඒ පිළිබඳව ද සොයා බැලීමට පොරොන්දු විය.

අරගල සමයේ ගිනිබත් වූ මන්ත්‍රී නිවාස සඳහා ලැබිය යුතු වන්දිය තවමත් පමා වීම පිළිබඳව ද ගාමිණී ලොකුගේ මහතා ප්‍රශ්න කළේය. ඒ සම්බන්ධව කටයුතු ද ඉතාම ඉක්මනින් නිම කරන බවට පොරොන්දු ලැබුණි. සභාව අවසන් කරන්නට සැරසෙන විට ආණ්ඩුකාර හබය නැවත සිහිගන්වමින් ඩී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය.

“අනේ ජනාධිපතිතුමා මේ නැවතත් මතක් කරන්නේ, දේශපාලනය කරන ආණ්ඩුකාරවරු පළාත් සභාවට පත් කරන්න. දේශපාලනය නොකරන අය නම් පත් කරන්න එපා."

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධ විවාදයට පෙරාතුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද රුස්වී සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. මෙහිදීද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සහ කාලීන දේශපාලන සිදුවීම් කිහිපයක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් අයි.එම්.එෆ් විවාදය සහ සිකුරාදා ඡන්ද විමසීම පිළිබඳව සමගි ජන බලවේග අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව කියැවේ.

“අපි මේකට පාර්ලිමේන්තුවේදී එකඟ විය යුතු නෑ. හෙලිකොප්ටරයත් මේකට එකඟ වෙන්නේ නෑ." සමහර මන්ත්‍රීවරු කීහ.

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ ආණ්ඩුව ඉදිරිපත් කරන මතයට එකඟ නොවිය යුතුය යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරන අතරේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා වෙනත් අදහසක් ඉදිරිපත් කළේය.

“නායකතුමා, ඒ වුණාට මේ වෙලාවේ බහුතරයක් මිනිස්සු ඉන්නෙ අයි.එම්.එෆ් ණය අපිට ලැබීම හොඳයි කියන පදනමේ. මිනිස්සුන්ට මොනව හරි සහන ටිකක් ලැබුණෙත් ඕක ලැබුණු නිසා. ඒ නිසා මම හිතන්නේ නැහැ විපක්ෂයක් විදියට මේ වෙලාවේ අපි එකඟ නොවී ඉන්න එක හොඳයි කියලා."

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ඉදිරිපත් වූ මෙම අදහසට, හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සේම එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් එකඟතා පළ කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

“අයි.එම්.එෆ් යන්න කියලා අපිමයි කිවේ. ඒ නිසා මේ වෙලාවේ අපි පාර්ලිමේන්තුව තුළදි මේකට එකඟ වෙන්න ඕනෑ. මෙතනදි අපි විරෝධතාවය පළ කළොත්, ඒක අපිට හොඳ නෑ."

පිරිසක් එළැඹ සිට ඇත්තේ මෙවන් අදහසකය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කිහිප දෙනකු, ආණ්ඩුවේ යෝජනාවට එකඟ වීම සම්බන්ධව විරෝධාකල්පයක සිට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම සභාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වන්දිය සහ අල්ලස පිළිබඳව ද සාකච්ඡා ඇතිව තිබේ. ඒ අනුව මෙය හා සම්බන්ධව තොරතුරු සෙවීමට සහ හඬ නැගීමට සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි කියැවේ. 

“මේකට නඩු දාන්න සිංගප්පූරුවටවත්, වෙන කොහෙටවත් යන්න ඕනෙ නෑ. ලංකාවේ නඩු දාලා මේක හොඳටම කර ගන්න පුළුවන්කම තිබුණා."

මෙම ගැටලුව පිළිබඳ උපදෙස් ලබාදෙමින් මෙහි සිටි සමගි ජන බලවේගයේ නීතිඥ උපුල් ජයසූරිය මහතා සජබ මන්ත්‍රී කණ්ඩායමට එලෙස කරුණු පැහැදිලි කර ඇතැයි ද දැනගැනීමට ලැබේ.

මේ සියලු කටයුතු හමුවේ සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ "වැඩ බිමෙන් - ඇරඹෙන මව්බිමේ අරගලය" යන තේමාව යටතේ එළැඹෙන සඳුදා සිදු කිරීමට නියමිත සිය මැයි දින රුලිය සහ පෙළපාළිය පිළිබඳවයි. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අභිබවා යන ජන ගඟක් සිය රුලිය සඳහා සහභාගී කර ගැනීම සමගි ජන බලවේගයේ නායකත්වයේ අරමුණ වී තිබේ. ඒ අනුව එක් ආසනයකින් අවම බස් රථ දෙකක් හෝ රුගෙන ආ යුතු බවට ඉහළින් උපදෙස් ලැබී ඇතැයි බිම මට්ටමේ සජබ ක්‍රියාකාරීන් ඇසුරේ අසන්නට ලැබුණි.

මේ අතර ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ජාතික ජන බලවේගය කල් ඇතිවම තීන්දු කළේය. ජනතාව පිට අසීමිත බදු බරක් පටවා තිබීම, ලාභ ලබන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් විකුණා දැමීම ඇතුළු රටට අහිතකර කොන්දේසි රුසක් එහි ඇතුළත්ව තිබීම හේතුවෙන් තම පක්ෂය ඊට විරෝධය පළ කරන බව ඔවුහු පැවසූහ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කතාවට ද ජාතික ජන බලවේගය මැදිහත් විය. එම ගනුදෙනුව සම්බන්ධව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නයි විපක්ෂයෙන් සිදු කළ ඉල්ලීමට ඔවුහු විරුද්ධ වූහ.

“එක්ස්ප්‍රස් පර්ල් ගැන තේරීම් කාරක සභා පත් කරන්න ගියොත් පෙරහර ගිහින් තියේවි." යැයි පවසමින් එම විරෝධය ගොනු කළේ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් මහතාය.

“මීට වසර කිහිපයකට පෙර නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ගෙන්වීමේදී මෙහෙම අයථා ගනුදෙනුවක් වුණා. මම මේ පාර්ලිමේන්තුවේ ඉතා පැහැදිලිව බැංකු ගිණුම්, පුද්ගල නම් සහිතව හෙළිදරව් කරල එදා කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා. සී.අයි.ඩී. පරීක්ෂණ පවත්වනවා කියල කිව්වා. අදටත් වෙච්ච දෙයක් නැහැ. ඒ නැනෝ නයිට්‍රජන් පොහොර වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනකු තෝරාගත්තෙ කොහොමද? ඒ සල්ලිවලට වුණේ මොකක්ද? කියලා අදටත් අපි දන්නේ නැහැ. ඒ ගැන කිසිදු වාර්තාවක් ඉදිරිපත් වී නෑ. මේක එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට වෙන්න පුළුවන්. මේ නෞකාව ගිනිබත් වීමේ සිද්ධියට අදාළව ඩොලර් මිලියන 250 ක් පිටට ගියා නම්, රුපියල් බිලියන අසූවක්. මේ වෙලාවේ රුපියල් බිලියන අසූවක් කියන්නේ ඡන්ද දහයක්වත් තියන්න පුළුවන් මුදලක්. ඡන්දෙට බිලියන 8 ක් නෑ කියලා තමයි පළාත් පාලන ඡන්දය කල් දාන්න කටයුතු කරලා තියෙන්නෙ.”

මේ අතර මෙවර ජාතික ජන බලවේගය විසින් ඉතිහාසයේ දැවැන්තම මැයි රුලිය සංවිධානය කරන බවට ද එම පක්ෂ ක්‍රියාකාරීහු උදම් අනමින් සිටියහ. ඒ අනුව ජාතික ජන බලවේගය සියලු සංවිධාන ශක්තීන් මැයි රුලිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන බවක් පසුගිය සතියේ පෙනෙන්නට තිබුණි. ඒ අතර පොහොට්ටුව මැයි දිනයට කැම්බල් පිටියේදී විශාල ජන රුලියක් සංවිධානය සඳහා සැලසුම් කර තිබිණි.

වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් නිකුත් කිරීම ගෙවී ගිය සතියේ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අැමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් විසිනි.

යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේදී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට මෙම තහනම පැනවූ බව අමෙරිකානු රජය කියා සිටීයේය. යුද්ධයේ අවසන් සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය ලබා දුන් කරන්නාගොඩ මහතා කීර්තිමත් නාවික හමුදා නිලධාරියෙක් ලෙස ප්‍රකටව සිටියි. ඒ අනුව ඔප්පු නොකරන ලද චෝදනා පදනම් කරගත් මෙම තහනම මෙරට දේශ හිතෛෂීන්ගේ කලකිරීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟම වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ අැමෙරිකාවට ඇතුළු වීමට නුසුදුසු බවට අැමෙරිකාව ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව කනගාටුව පළ කර තිබේ.  විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ඒ බව පසුගිය බ්‍රහස්පතින්දා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා එක්සත් ජනපදයේ තානාපති ජුලී චන්ග් වෙත යොමු කරන කනගාටුව පළ කිරීමේ ලිපියේ ද සඳහන් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන සාකල්‍ය ප්‍රවේශයට අවාසිදායක බලපෑමක් එල්ල කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා ද කොළඹ පිහිටි සිය කාර්යාලයේ බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින්, අමෙරිකා එක්සත් ජනපදයේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ සිය අප්‍රසාදය පළ කළේය.
“මට අද දැනගන්න ලැබුණා ඔවුන් මෙරට වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව සම්බාධක පනවලා කියලා. ඒ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව යටතේ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා, ඔබ ජීවත් වන්නේ වීදුරුවලින් සෑදු නිවසක නම් එහි සිට ගල් ගහන්න එපා කියලා. අපි බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා කරමු. ඔවුන් අවධානය යොමු කරන්න ඕනේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන. ඔවුන්ට ඕන තරම් මීට වඩා ප්‍රශ්න තියෙනවා. එසේ තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අත පෙවීම කිසිසේත් පිළිගන්න බැහැ. ඔබ කළ යුතු දේ ගැන ඔබට දේශන තියන්න කිසිවකුට අයිතියක් නැහැ. එය ඔබේ අභ්‍යන්තර ගැටලුවක්." රුසියානු තානාපතිවරයා සඳහන් කර තිබිණි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00