2023 අප්‍රේල් 02 වන ඉරිදා

ජනපති තෙල් ඇමැතිට කියාදුන් අපූරු දේශපාලන උපාය

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 495

අවුරුදු මාසය එළඹෙන විට දේශපාලන කරළිය ද සැලකිය යුතු ලෙස උණුසුම් වී තිබුණි. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ග කාගේත් අවධානය දිනා ගත්තේය. පොහොට්ටුවේ ඇමැති පැතුම සහ සජබ පක්ෂ මාරු කතාවට ලැබුණේ ඉහළ වටිනාකමකි. තිරය පිටුපස වූ අවුල් වියවුල් පිළිබඳව මෙන්ම දේශපාලන රස කතා පිළිබඳව ද තොරතුරු අප වෙත ගලා ආවේය.

රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවය පැන නැගුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් තුළිනි. වරාය, විදුලිබල මණ්ඩලය ඇතුළු තවත් ආයතන රුසක් එම විරෝධයට ශක්තිමත්ව සූදානම් විය. ඒ අනුව නැවතත් දැවැන්ත වැඩවර්ජනයක අනතුරක් රජය හමුවේ විය.

“මේ වර්ජන වැඩේට නම් අපිට එකඟ වෙන්න බෑ. මේකට අපි ඉඩ දෙන්නෙත් නෑ." 

ආණ්ඩුවේ නායකයෝ දැඩි තීන්දුවකට එළඹ සිටියහ. ආණ්ඩුවේ ඇතැමුන් පෞද්ගලිකවම වෘත්තීය සමිති නායකයන් අමතා තිබුණි. කෙසේ වෙතත් ප්‍රතිචාරය යහපත් නොවීය. වර්ජන අනතුර බරපතළ විය. 

“ආරක්ෂාව තර කරන්න. වෙනත් ආයතනවල සිටින දක්ෂ නිලධාරීන් විකල්ප නිලධාරීන් ලෙස භාවිත කරන්න."

දේශපාලන ආරංචි මාර්ග අනුව ඉහළින් ලැබී ඇත්තේ එවන් නියෝගයකි. රාජ්‍යයේ පැවැත්මට තීරණාත්මක ආර්ථික මර්මස්ථාන, වෘත්තීය ක්‍රියාමාර්ග හරහා අඩපණ වීම වැළැක්වීම සඳහා විකල්ප නිලධාරීන් සහ කණ්ඩායම් සූදානම් කිරීම ආණ්ඩුවේ නවතම උපාය මාර්ගය බව ඒ අනුව අපට දැනගැනීමට ලැබුණි.

වරාය වර්ජනය පැවැති අවස්ථාවේදී, ඉන්දියානු රජය සහ අදානි සමාගම සමඟ ආණ්ඩුව මෙම විකල්පය පිළිබඳ පුළුල්ව සාකච්ඡා කර ඇතැයි කියැවේ. ඒ අනුව එම අවස්ථාවේදී ඉන්දියාවේ ප්‍රධාන වරාය අටක් පාලනය කරන අදානි සමාගමේ සහාය ඉල්ලා තිබේ. ආරක්ෂාව ඇතුළු අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් වරාය කටයුතු අකර්මණ්‍ය වී යා නොදී පවත්වාගත හැකි බව ගෞතම් අදානි ආණ්ඩුවේ ඉහළම තැනක සිටින අයකුට කී බවක් අසන්නට ලැබේ.

කෙසේ වෙතත් මෙවර ඛනිජ තෙල් වර්ජනය පිළිබඳ ඇසූ සැණින් රට පුරා නැවත ඉන්ධන පෝලිම් ඇතිවන්නට පටන් ගත්තේය. තත්ත්වය සංකීර්ණ වන විට ජනපති, බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමතා ඇත. දේශපාලන ආරංචි අනුව ජනපති කාංචනට කියා දී ඇත්තේ අපූරු දේශපාලන උපායකි.

“මාසය අවසන් වෙනකම් ඉන්න ඕනේ නෑ. හෙට වෙනකොට වහාම තෙල් මිල අඩු කරන්න."

තෙල් මිල අඩු කිරීමට සැලසුම් කර තිබුණේ අප්‍රේල් පළමු වැනිදාය. එහෙත් ජනපති නියෝගයෙන් පසු ඇමැති කාංචන බදාදා ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳ පුවත රටට කීවේය.

තෙල් මිල අඩුවන බවට වූ ආරංචිය රට පුරා පැතිර ගියේ පියාපත් ලබමිනි. පෝලිමේ සිට අධික මිලට ඉන්ධන ලබාගැනීම අනුවණකමක් බව ඒ ඇසිල්ලේ බොහෝ දෙනකුට අවබෝධ විය. ඒ අනුව ඉන්ධන පෝලිම් විසිර ගියේය. ජනපතිගේ උපාය සාර්ථක විය. දින කිහිපයකට කලියෙන්ම ඉන්ධන මිල අඩු වූ අතර එහි දේශපාලන වාසිය ආණ්ඩුවේ මල්ලට වැටුණි.

මේ අතර සේවය පවත්වාගෙන යාමට බාධා කළ බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට ද සංස්ථා පාලන අධිකාරිය කටයුතු කළේය. සංස්ථා පරිශ්‍රයට පවා ඇතුළත් වීම තහනම් කරමින් මෙලෙස නිවාඩු යැවූ පිරිස අතර පොහොට්ටුවට සම්බන්ධ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර ද සිටියේය.

ඒ අනුව පොහොට්ටු පක්ෂයේ නායකයෝ ඇමැතිගේ මෙම තීරණය පිළිබඳ අප්‍රසාදය පළ කරන්නට වූහ. මාධ්‍ය සාකච්ඡාවකදී පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ද ඒ පිළිබඳව කතා කර තිබුණි.

“ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයාගේ රැකියාව අත්හිටුවීම පිළිබඳව එකඟ විය නොහැකියි."

මේ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ද සිය වෘත්තීය සමිති නායකයන්ට ඇති වෘත්තිය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කතා කළේය. ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හැඳින්වූයේ අත්තනෝමතික ක්‍රියවක් ලෙසයි.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හැකිලීම සඳහා ආණ්ඩුව ගත් පියවර සමාජ මාධ්‍ය තුළ ප්‍රසාදයට ලක්වූ බවක් පෙනී ගියේය. ඛනිජ තෙල් සේවකයන් පිළිබඳ වන විරෝධය සමාජ මාධ්‍යයේ මනාව කැපී පෙනුණි.

“වෘත්තීය සමිති මාෆියාවෙන් රට බේරාගත්ත නිසා ඇමැතිතුමාට මැරිලත් පැයක් ආදරෙයි." 

මේ ආදී ප්‍රකාශ සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. වරෙක සමාජ මාධ්‍ය තුළ QR ක්‍රමය නිසා ගෞවරයටත්, තවත් වරෙක විදුලි ගාස්තු වැඩි කිරීම නිසා චෝදනාවටත් ලක්වූ ඇමැති කාංචන මෙවර නැවත් චරිතයක් විය.

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නැවතත් ජනපති රනිල් වික්‍රමසිංහ හමුවීමට ගිය බවට ද පසුගිය සතියේ දැනගැනීමට ලැබුණි. කැබිනට් පත් කිරීම් සහ ආණ්ඩුකාර පත් කිරීම් පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇති බව කියැවේ. මේ සාකච්ඡාව පිළිබද පැතිර යන ආරංචි බොහෝය. තහවුරු නොවූ එම ආරංචි අනුව බැසිල් රාජපක්ෂ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු කිහිපයක් සිහිපත් කොට දී තිබේ.

“අපි ඉල්ලීමක් කළා ඔබතුමාගෙන් කැබිනට් මණ්ඩලය පත් කරන්න කියලා. ඒක තමා මගේ ඉල්ලීම. මේ ඉල්ලීම හැමදාම කරන්න බෑ. මීට පස්සේ මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔබතුමා කැමැති දවසක කැමැති විදිහකට ඒක කරන්න. මම ආයෙත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ."

ආණ්ඩුකාර පත්වීම් පිළිබඳව ද මීට සමාන අදහසක් කියැවුණු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ජනපති සහ පොහොට්ටුව ඒකාබද්ධව ඉදිරියට යන වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බවට ද තොරතුරු වාර්තා වෙමින් තිබේ.
පසුගිය සතියේ දැනගැනීමට ලැබුණු තවත් සුවිශේෂී දේශපාලන ආරංචියක් වූයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට යන බවයි. ආණ්ඩුව තුළ සිය දේශපාලන බලය රඳවා ගැනීමේ අවශ්‍යතාවය පෙරදැරිව මෙම දේශපාලන සන්ධානය නිර්මාණය වන බවත්, ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ.

ජනපතිගේ සමීපතමයන් කිහිප දෙනකු මෙම කටයුත්ත මෙහෙයවමින් සිටින බව කියැවේ. ඔවුන් සමගි ජන බලවේගයේ සහ ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 
පසුගිය සතියේ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එන බවට ආරංචි පැතිර ගියේ ද මෙම සාකච්ඡා හේතුවෙනි.

“සමගි ජන බලවේයේ විස්සක් ආණ්ඩුවට එනවා."
“සමගි ජන බලවේගයේ හත් අට දෙනෙක් එනවා."

සමාජ මාධ්‍ය පුරා මෙවන් ආරංචි පැතිර යන්නට විය. ඒ අනුව අප්‍රේල් මස 4 වැනිදා වන විට මෙම පක්ෂ මාරුව සිදුවෙතැයි කියැවුණි. කෙසේ වෙතත් පස් හය දෙනකුගෙන් යුත් පිරිසක් ජනපති වටා කඳවුරු බඳිනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි. රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම ආදීන්ද මේ වන විටත් ජනපතිගේ ගුණ වයමින් සිටින ජ්‍යෙෂ්ඨයෝ ද මේ අතර සිටිති.

සමගි ජන බලවේගයේ නායකත්වයේ යම් යම් ක්‍රියා කලාපයන් පිළිබඳ එම පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන්ගේ සිත් පෑරීම ජනපති වෙත ඔවුන් නැඹුරු වීමට හේතු වූ බව කියැවේ. වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ඇතුළු සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙලෙස සිත් රිදවීම්වලට භාජනය වී සිටිතියි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ඉහළ තනතුරු දරන කිහිප දෙනකු ද විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධව කලකිරී සිටින බවට ආරංචි පැතිර යමින් තිබේ. ඇතැමුන් ජනපති අගය කරමින් ප්‍රසිද්ධියේ කතා කළ අවස්ථා ද වාර්තා වී ඇත. මේ නිසා නිර්මාණය වී ඇති දේශපාලන කසුකුසු බොහෝය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අයි.එම්.එෆ් සම්බන්ධව තැබූ ට්විටර් පණිවිඩය පිළිබඳව කතාවක් ද පසුගිය සතියේදී නිර්මාණය විය. එසේම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ පසුගියදා  ජනපති සිදු කළ සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සහභාගී වී සිටීම සම්බන්ධව ද දේශපාලන කරළියේ විවිධාකාර ආරංචි පැතිර යන්නට විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්. මරික්කාර් ද ඛනිජ තෙල් සංස්ථාව තුළ මතු වූ පෞද්ගලීකරණ ගැටලුව පිළිබඳ මාධ්‍ය විමසීමකට අපූරු පිළිතුරක් ලබා දී තිබුණි.

“පක්ෂය ඒ ගැන තාම සාකච්ඡා කරලා නෑ. ඒත් පෞද්ගලිකව ගත්තොත් මරික්කාර් මන්ත්‍රීවරයා ඒකට කැමැතියි. වෙළෙඳපොළ විවෘත කරන්න ඕනෑ. අපිට දූපත් මානසිකත්වයේ ඉන්න බෑ."

සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරාළ සහ රෝහිණී කවිරත්න පක්ෂ ක්‍රියාකාරකම්වලින් තරමක් පසෙකට වී සිටි බවට ද ආරංචියක් ලැබුණි. සමගි ජන බලවේගයේ කාන්තා හඬ බවට වෙනත් කණ්ඩායමක් පත්වීමත් සමඟ මෙම පිරිස නිහඬ වූ බව කියැවේ.

එසේම ආසන සංවිධායක ධූර සම්බන්ධව ද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ කාන්තා මන්ත්‍රීවරියන් වන මෙම දෙදෙනාට පසුගිය සමයේ ගැටලු ඇතිව තිබේ. විටක හේෂා විතානගේ සමඟ තලතා අතුකෝරාළ ගැටී තිබේ. එසේම අළුවිහාර පවුල හේතුවෙන් දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධූරය රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් ගිලිහී ඇත. මේ ආදී ගැටලු හේතුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරියන් කලකිරීමට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය නිරීක්ෂණය වීමත් සමඟම සමගි කාන්තා සංවිධානයේ ප්‍රධාන පුටුව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ මහත්මියට භාරදීමට නායකත්වය සූදානම්ව ඇතැයි දේශපාලන ආරංචි ලැබී තිබේ. එසේම අධ්‍යාපන අංශය රෝහිණී කවිරත්න මහත්මිය වෙත භාර දීමට ද ඉඩ ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර ලබන අඟහරුවාදා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බවට ද ආරංචියක් ලැබී ඇත. පක්ෂයේ අභ්‍යන්තර සමගිය ආරක්ෂා කර ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ අරමුණින් මෙම භෝජන සංග්‍රහය පවත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මත ගැටුම් පිළිබඳව ද දේශපාලන ආරංචි ලැබෙමින් පවතී. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ආණ්ඩුවේ ජනපති පාර්ශ්වයට වඩා සමීපව කටයුතු කිරීම පිළිබඳ ගැටලුව ඔඩු දුවමින් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර පොහොට්ටුවෙන් මන්ත්‍රී ධූර ලැබූ විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත ආදී ජ්‍යෙෂ්ඨයන් තවදුරටත් එම පක්ෂය සමඟ කටයුතු නොකරන බවක් ද කියැවේ.

මීට අමතරව පොහොට්ටුවේ පහළ මට්ටමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද ජනපතිගේ සමීපතමයන් සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන බවට තොරතුරු ලැබෙමින් තිබේ. ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරන්නට යන බව කියැවෙන නව දේශපාලන සන්ධානයට කවර හෝ මොහොතකදී මෙම පිරිස එක්වීමට ඉඩ ඇතැයි ද ඇතැම් පාර්ශ්ව පවසති. කෙසේ වෙතත් පොහොට්ටුව ආණ්ඩුවේ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මේ වනවිටත් ජනපතිට අවධාරණය කර ඇත. ඒ අනුව සිය පක්ෂයේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පොහොට්ටුවේ නායකත්වය ද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනී යයි.

මේ අතර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් නායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ගෙවී ගිය සතියේ පුවත් මවන්නෙක් බවට පත්විය. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන සුදත් චන්ද්‍රසේකර මහතා සමඟ ඇතිවූ මත ගැටුමක් ඊට හේතුව විය. මීට පසුබිම් වූ කතාව පිළිබඳව ද අප වෙත තොරතුරු ගලා ආවේය.

ඉකුත් වකවානුවේ අර්ජුන රණතුංග මෙම තනතුරට රුගෙන ඒමට මෙන්ම ඔහුව ආරක්ෂා කර ගැනීමට ද සුදත් චන්ද්‍රසේකර මහතා මැදිහත්ව ඇත. එහෙත් දිනක් සුදත් චන්ද්‍රසේකර මහතාගේ නිවෙසට පැමිණි නිර්නාමික දුරකථන ඇමැතුම් පිළිබඳ සිදුවීමක් හේතුවෙන් මෙම සබැඳියාව බිඳී ගොස් තිබේ. නිර්නාමික දුරකථන ඇමතුමේ කතාව දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා අතර විරසකයක් නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

අසන්නට ලැබෙන පරිදි ජාතික ක්‍රීඩා සභාවේ ගැටලු උග්‍ර වූයේ ඒ අනුවය. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරයෙන් වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ඉකුත් දා අර්ජුන රණතුංග මහතා වෙත ලිපියක් ද යොමු කර තිබේ. මීට පාදක වී ඇත්තේ පසුගිය සතියේ ජාතික ක්‍රීඩා සභාවේ රුස්වීමේදී වූ සිදුවීමකි. රණතුංග මහතා කැඳවූ මෙම රුස්වීමට ක්‍රීඩා සභාවේ සාමාජිකයන් කිසිවකු සම්බන්ධ වී නොමැති බව වාර්තා වේ.

එම සිදුවීම පාදක කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා මෙම ලිපිය යොමු කර ඇත. මේ වන විටත් මාධ්‍ය වෙත අනාවරණය වී ඇති මේ ලිපියේ, ජාතික ක්‍රීඩා සභාව රුස්වීම සඳහා සියලු දෙනා නොපැමිණීම පිළිබඳ මවිත නොවන ලෙස චන්ද්‍රසේකර මහතා, රණතුංග මහතාට දන්වා ඇත. එසේම ඔහුව තවදුරටත් සභාපතිවරයා ලෙස පිළිනොගන්නා බවද වැඩිදුරටත් සඳහන් වී තිබේ.

අර්ජුන රණතුංග මහතා සභාපතිවරයා ලෙස පත් කිරීමට මූලිකත්වය ගත්තේ තමන් බවද ලියුම්කරු ලිපියේ සඳහන් කර ඇත. ඒ නිසාවෙන් මෙම තනතුරෙන් ඉවත් වන ලෙස ඔහු රණතුංග මහතාගෙන් ඉල්ලා තිබේ. අමාත්‍යවරයාට ද දෙදෙනාගෙන් එක් අයකු තෝරාගන්නා ලෙස තමන් පැවසූ බව ඔහු එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

එමෙන්ම අර්ජුන - මහේල මත ගැටුමක් පිළිබඳව ද පසුගිය සතියේ සමාජ මාධ්‍යයේ ක්‍රිකට් පිටු රුසක් වාර්තා කර තිබුණි. ඒ ක්‍රිකට් සංචාර සම්බන්ධයෙනි. මහේල ජයවර්ධනගේ නිර්දෝෂී බව දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් පවා පළ කර තිබීම සුවිශේෂී විය.

මේ අතර පසුගිය බදාදා ජාතික ජන බලවේගය හමුවීමට විශේෂ පිරිසක් පැමිණියහ. ඒ අනුව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙප්‍රොස් මුචෙනා ඇතුළු මෙම පිරිස ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායකයන් හමුවූහ. 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙහිදී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයන් විසින් එම සංවිධානයේ 2022 වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාව ජාතික ජන බලවේගයේ අවධානයට යොමු කර ඇත.

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගය දෙසින් තවත් අපූරු කතාවක් අසන්නට ලැබුණි. ආගමට අනුව ජීවත් වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ තම කණ්ඩායම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය. එම ප්‍රකාශය පිළිබඳව දේශපාලන කරළියේ බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් උරුම වූ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බවද ටිල්වින් සිල්වා මහතා පවසා තිබුණි.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම ද සිදුවිය. එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය. එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වැනිදා කැඳවීමටද දින නියම කර තිබේ.

මේ අතර පසුගිය බදාදා රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ සිංගප්පූරු සංචාරයක් නිමා කරමිනි. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් ඔහු සිංගප්පූරු ගිය බවක් නොදත්හ.
සතියකට වඩා වැඩි කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ ගත කර තිබුණි. වාර්තා වන පරිදි එහිදී ඔහු මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත. පෙර සිදු කළ සැත්කමකට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


 I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00