2023 පෙබරවාරි 26 වන ඉරිදා

පොහොට්ටුවෙන් ජනාධිපතිට විශේෂ පණිවුඩයක්

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 310

ඡන්දය කල් දමන ලෙස ඉල්ලා දැමූ නඩුව ද කල් ගියේය. කල් යල් බලා මැතිවරණයට අතගැසූ පිරිස් අනාථ වූහ. ඒ අනුව ගෙවී ගියේ තවත් තීරණාත්මක දේශපාලන සතියකි. විරෝධතා සහ නඩු තීන්දු සතියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. පොහොට්ටුවේ තනතුර හබය ද අළු යට ගිනි පුපුරු ලෙස දැල්වෙන්නට විය.

අරගලයෙන් පසුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් කිරීමට මූලිකත්වය ගත්තේ පොහොට්ටුවයි. ජනපතිට බලයට පත්වීමට පොහොට්ටුවේ ඡන්ද ලබා දීමේදී දෙපිරිස අතර එකඟතා තිබූ බව කියැවේ. මේ වන විට පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි කැබිනට් පත් කිරීම පිළිබඳව සේම ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධවද එකඟතාවන් ඔවුන් අතර තිබී ඇත.

ඒ අනුව නවතම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම එකඟතා පාදක කොටගෙන අලුත් අර්බුදයක් ආණ්ඩුව තුළ නිර්මාණය වෙමින් ඇති බවකි. ජනාධිපතිවරයා බලයට පත් වී මාස හයකට වඩා වැඩි කාලයක් ඉක්මවා ගියද එදා දුන් පොරොන්දු තවමත් ඉටු නොවීම පිළිබඳ පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවක් නිර්මාණය වී තිබේ.

වාර කිහිපයක් ජනපති සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ ද විවිධ හේතු පදනම් කර ගනිමින් පොහොට්ටුවේ අවශ්‍යතා ඉටු කිරීම ජනාධිපති පාර්ශ්වය විසින් කල් දමා ඇති බව පොහොට්ටුව ආරංචි මාර්ග පවසයි. අවසන් සාකච්ඡාවේදී නිදහස් උත්සවයෙන් පසුව අදාළ ඉල්ලීම් ඉටු කරන බවට ජනපති පොරොන්දු වුවද, කැබිනට් පත් කිරීම සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීම තවමත් සිදු වී නොමැත. 

දේශපාලන ආරංචි අනුව මෙම කරුණ හේතු කරගෙන පොහොට්ටුව මේ දිනවල සිටින්නේ තරමක කලකිරීමෙනි. මේ පිළිබඳව විමසීම් කරන විට, ඉහළින් දන්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන් ඇතුළු පත්වීම් ඉවත් කිරීමට ගියහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමනාප වනු ඇති  බවයි.

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරත වී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණි පසුව ඔහු සමඟ කතාබහ කොට තීරණයක් ගැනීමට සූදානම් බව ආණ්ඩු‍වේ ඉහළ තැනකින් පොහොට්ටුවට දන්වා ඇතැයි කියැවේ. ඒ අනුව පසුගිය සතියේ දිනක පොහොට්ටුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට විශේෂ පණිවුඩයක් යවා ඇතැයි අප ආරංචි මාර්ග තහවුරු කරයි.

“අපි එකට වැඩ කරගෙන යන්න කැමැතියි. ඒත් එහෙම වැඩ කරගෙන යන්න අපි කියූ කාරණා ටික ඉටු කරන්න. අදාළ පත්වීම් කඩිනමින් සිදු කරන්න"

මෙය අවධාරණාත්මක ස්වරෑපයකින් යොමු කළ පණිවුඩයක් යැයි ඇතැම්හු කියති.

මේ අතර පසුගිය සතියේ සමගි ජන බලවේගය විරෝධතා සහ ජන හමුවලට ප්‍රධානත්වය ලබා දී තිබුණි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින්  සමගි ජන බලවේගය  කොළඹදී සංවිධානය කළ විරෝධතාවට පොලිසියේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් විය. "ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු - කොළඹට රොක් වෙමු" තේමාවෙන් මහ වැසි මධ්‍යයේ පැවති විරෝධතාවයට ටෙක්නිකල් මංසන්ධියේදී ජල ප්‍රහාරයක් එල්ල විය.

මෙම සිදුවීමත් සමඟ ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුනහොත් මහ පාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබාගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

“රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එළවා දැමුවත් ඉන් පසුව පත්වූ රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රෑකඩයක් වූ ජනාධිපතිවරයා නිසා ඒ රාජපක්ෂලා සුරසැප ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට තෙල් ප්‍රශ්න, ආහාර මිල ඉහළ යාම ගැටලුවක් වී නෑ. මේ ජනාධිපතිවරයා නිසා ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු වූයේ නෑ.”

මැතිවරණයක් නොදුනහොත් සාමකාමී අරගලයක් සඳහා සූදානම් වන ලෙස විපක්ෂ නායකවරයා  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි සති කිහිපයේදී විරෝධතා රැසක් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කරමින් සිටින බවකි. මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ විරෝධතාවයක් පිළිබඳව ද සජබ ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇතැයි කියැවේ.

මේ අතර මැතිවරණය කල් දැමීම සම්බන්ධව පොහොට්ටුවේ නායකයන් තුළ යම් කලකිරීමක් නිර්මාණය වී ඇතැයි ද කියැවේ. පසුගිය සතියේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී මැතිවරණය කල් දැමීමට එරෙහිව සිදු කරනු ලැබූ උද්ඝෝෂණයට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ලැබී ඇත්තේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ මෙම විරෝධතාවට ආණ්ඩුවේ ප්‍රධාන චරිත කිහිපයක් ද එක්ව සිටින අයුරු කා හටත් නිරීක්ෂණය විය. ඒ අතරින් පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක ආදී චරිතවල සහභාගිත්වය කැපී පෙනුණි. "ඡන්දය දියව්" යන සටන් පාඨය මෙහි පිරිසක් විපක්ෂය සමඟ එක් වී පවසන අයුරු පැහැදිලිව පෙනී ගියේය. 

“ඇයි ඕගොල්ලෝ ආණ්ඩුවේ ඉඳගෙන මේ විදිහට වැඩ කරන්නේ. ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කරන්නේ" 

මෙම සිදුවීමෙන් පසු ආණ්ඩුවේම පිරිසක් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමෙන් ප්‍රශ්න කර තිබේ.

“අපි එළියට බැස්සේ ඡන්දයක් ඉල්ලලා. අපි ජනාධිපතිතුමාට උදව් කළා තමයි. නමුත් මේක තනිකර පොහොට්ටු ආණ්ඩුවක් නෙවෙයි. මේකෙ ඉන්නව සජබ සාමාජිකයෝ, ශ්‍රීලනිප සාමාජිකයෝ, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ. ඇත්තෙන්ම අපිත් එක්ක හිටපු නැති ගොඩක් අය මේ ආණ්ඩුවෙ ඉන්නවා. ඉතින් අපි නම් කැමැතියි ඡන්දයක් තියනවට. අනෙක් පක්ෂවලට වගේම අපේ පක්ෂයටත් පුළුවන් අපේ ශක්තිය බලාගන්න."

දේශපාලන ආරංචි මාර්ග අනුව මෙලෙස පවසා ඇත්තේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාය. මහින්ද රාජපක්ෂ ඇතුළු තම කණ්ඩායම කිසි දිනක මැතිවරණය කල් නොදැමූ පිරිසක් බව ඔහු තවදුරටත් පවසා තිබේ. 
මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී  කණ්ඩායම් හමුවක් ද ඉකුත් සතියේ මුලදී පැවැත්වුණි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව තරමක් උණුසුම් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

“මේ සමහර ඇමැතිවරු අපිට නොකියා අපේ ආසනවලට එනවා. එහෙම කරන්න බෑ. එතකොට මොකක්ද අපේ තත්ත්වය"

ඇමැතිකම් නොලද ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ජනපති හමුවේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ට මෙලෙස චෝදනා කර තිබේ. රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අතර මේ හා සම්බන්ධ උණුසුම් අදහස් හුවමාරුවක් ඇති වූ බවක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රුස්වීම ආරම්භයේදීම මැති ඇමැති අදහස් හුවමාරු සිදුව තිබේ. ඒ අතර සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේ හා සම්බන්ධව ජනපතිට කරුණු දක්වා ඇත.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් තියෙන කෙනෙක් හැටියට මම මේ කියන්නේ. අපේ ඇමැතිවරු ගිහිල්ලා ආසනවල වැඩ කරන කොට ඒ ආසනයේ මන්ත්‍රීතුමාටත් කියන්න. නැත්නම් මේ අයට ආත්ම ගෞරවය සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමනි, කරුණාකරලා ඇමැතිවරුන්ට කියන්න එකඟතාවකින් වැඩ කරන්න කියලා."

දේශපාලන ආරංචි පවසන පරිදි මෙම පැහැදිලි කිරීම් හමුවේ ජනපති සිනහමුසු මුහුණෙන් කියා ඇත්තේ මෙය අදක ඊයෙක පටන් පවතින ගැටලුවක් නොවන බවයි. 

“ඕක හැමදාම තියෙන ප්‍රශ්නයක් සාගර. මම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ වාර නමයක් විතර මේ වගේ යෝජනා ආවා"

ජනපතිගෙන් මෙවන් ප්‍රතිචාරයක් ලැබෙන අතරේ සාගර කාරියවසම් "ඔව් ඒක තමා.. ඔබතුමා කැබිනට් එක මේ ගැන දැනුවත් කරන්න" යනුවෙන් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙම ගැටලුවට නිසි පිළිතුරක් නොලැබීමත් සමඟ ඉතා ආවේගයෙන් අදහස් දක්වන්නට පටන්ගෙන ඇත්තේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය.

“ජනාධිපතිතුමනි, අපි මේවා ඉවසගෙන ඉන්නවා සද්ද නැතුව. ඒත් මේ වගේ දේවල් දිගින් දිගටම වෙනවා නම්, අපි දන්නවා කරන්න ඕනෑ දේ. අපිට පුළුවන් ඔහොම ආසනවලට ආවොත් ඇමැතිවරුන්ට උගන්වන්න ඕන පාඩම උගන්වලාම පිටත් කරන්න. ඒ නිසයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ ගැන පියවරක් අරගන්න කියලා. කරුණාකරලා මේ දේවල් පාලනය කරන්න."

මෙම ප්‍රකාශයත් සමඟ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි අප දේශපාලන ආරංචි මාර්ග පවසයි.

“ඔබතුමාලා කලබල කරන්න එපා. මම ඇමැතිතුමාලට කැබිනට් එකේදී මේ ගැන කියන්නම්"

මෙම කණ්ඩායම් හමුවේදී උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ද ඇමැති ගැටලු පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“මම උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති. බලන්න අද විශේෂ කාරක සභාවක් රැස් කරලා තිබෙනවා අපේ අමාත්‍යාංශය පිළිබඳව. කැබිනට් ඇමැතිතුමා රට ගිහිල්ලා. මම මොකුත් දන්නෙ නැහැ. ඒ වැඩේ කරන්න කියලා වෙනත් ඇමැතිවරයෙක් වුණු විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට පවරලා ගිහිල්ලා.”

මේ ආදී ඇමැති මන්ත්‍රී ගැටලු පිළිබඳ ගැටලු පිළිබඳ විශාල කතාබහක් පසුගිය සතියේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේ සිදු වූ බව කියැවේ.

රාජ්‍ය මුදල් කාරක සභාව සම්බන්ධ පත්කිරීම් ඉකුත් සතියේ විශාල කතාබහක් ඇති කළේය. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට පෙර මෙම කාරක සභාවේ සභාපතිව සිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිටියේ මෙම තනතුරු බලාපොරොත්තුනි.

ආරම්භයේදී දැන ගැනීමට ලැබුණේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කර ඇති බවකි. එහෙත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නමද ඊට යෝජනා කර ඇතැයි කියැවුණි.

හර්ෂ ද සිල්වා ආණ්ඩුවේ අණපනත් පමා කරමින් රාජ්‍ය මුදල් කාරක සභාව මෙහෙය වූවා යැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර අදහසක් ඇතැයි දැනගන්නට ලැබේ. ඔහු වෙත එල්ල වූ විරෝධය පිටුපස ඇත්තේ එම අදහස බව කියැවේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියේ මෙම මතභේදය සම්බන්ධ අවසාන වගකීම තේරීම් කාරක සභාවට පැවරුණු බවකි. කෙසේ වෙතත් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාඨලී සහ හර්ෂ මුණගැසී සාකච්ඡා කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

"මම වසර 20කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරල තියෙනවා.  වසර 13ක් පමණ අමාත්‍යවරයකු විදිහටත් රටට උපරිම සාධාරණය කළා. රාජ්‍ය මූල්‍ය නීති සම්බන්ධයෙන් මටත් හොඳ අවබෝධයක් තියෙනවා." යනුවෙන් පාඨලී චම්පික රණවක මහත මෙහිදී සඳහන් කර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් විපක්ෂයේ සහ ආණ්ඩුවේ එකඟතාවයකින් තොරව තමා මෙම තනතුර භාර නොගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ සියලු කතිකාවන් අතරේ අවසානයේ රජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ අභිනව සභාපති ධූරය මයන්ත දිසානායක මහතා හට හිමිය. ඒ කිසිවෙක් අපේක්ෂා නොකළ සිදුවීමකි. කෙසේ වෙතත් තමාට අසාධාරණයක් සිදු වූ බව අවසානයේ පාර්ලිමේන්තු අමතමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.

"මාව මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් අනීතිකව එළවන්නේ මේ හොර රුළට නැවතත් රිසිසේ ජනතා ධනය මංකොල්ල කෑමට බව පැහැදිලියි. රට සහ ජනතාව වෙනුවෙන් වැඩකර මා දේශපාලන ගොදුරක් වීම පිළිබඳව කණගාටුවන නමුත් මේ චෞර වළල්ල පරාජය කිරීමට මා වෙනදාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව මේ අවස්ථාවේ අවධාරණය කරනවා. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට මා සියලු සුදුසුකම් සම්පූර්ණ කර ඇතැයි මා සිතනවා.

නමුත්, හොරුන් රුකීමට ඔවුන්ට හොරා කෑමට අවස්ථාව ලබාදීමට මා සූදානම් නොවීම මා එම තනතුරින් එළවා දැමීමට එකම හේතුවයි. මේ අසාධාරණයට එරෙහිව සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නැගී සිටිනු ඇතැයි මා සිතන අතර ඔවුනොවුන්ගේ හැසිරීම මත ජනතා අධිකරණයේදී සියල්ල මැනවින් විසඳෙනු ඇතැයි මා දැඩිව විශ්වාස කරනවා."

මෙවන් සිදුවීම් අතරේ මැතිවරණය කල් දැමීම පිළිබඳ පෙත්සම් විභාගයට පෙර බදාදා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ලේදී අපූරු කතාවක් කියා තිබුණි.

"ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගෙ ඡන්දය කල් දැම්මා කියල කොමිසම ගැසට් නිවේදනය නිකුත් කරන එක විතරයි.”

ඒ අනුව දේශප්‍රිය මහතා  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස සිටියා නම් මැතිවරණය පවත්වනවාද යන්න පිරිස් ඔහුගෙන් විමසා ඇත.

"මම හිටියා නම් මම බැට් කරන හැටි දන්නවා. නමුත් මම දැන් එළියේ ඉන්නේ. ගහන්න ඕන කොහොමද කියල ඒ අයට කියන්න මට බැහැ. විකට් එකේ ඉන්න එක්කෙනා ඒක දැනගන්න ඕන.”

අවසානයේ බ්‍රහස්පතින්දා දිනයේදී ලද මැතිවරණය පිළිබඳ අධිකරණ තීරණය සතියේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කළේය. රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම එදින විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි බොහෝ දෙනෙකු අනාවැකි කීය.

එහෙත් සියල්ලන් මවිත කරමින් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අධිකරණ කැලැන්ඩරය අනුව ලබාදිය හැකි ආසන්නතම දිනය මැයි 11 වැනිදා බව පවසමින් මෙම පෙත්සම් විභාගය මෙලෙස කල් දමනු ලැබීය.

පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය අධ්‍යයනය කොට කරුණු දැක්වීම සඳහා මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශ්වකරුවන්ට අවසර ලබාදෙමින් මෙම කල් තැබීම සිදුව තිබුණි. ඒ අනුව මැයි 9 වැනිදා මැතිවරණ පැවැත්වීමට ඇති අවකාශ එන්න එන්නට පටු වන බව පෙනී යමින් තිබුණි. මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමද ඉකුත් බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෝසමේ පාර්ශ්වකරුවන් වශයෙන් නම්කර සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රජයේ මුද්‍රණාලාධිපති අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණි. එහෙත් එදින අධිකරණය ඒහා සම්බන්ධය තීරණයක් ප්‍රකාශයට පත් නොකළේය.

මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් බහස්පතින්දා මැතිවරණය පිළිබඳ කතා කළේය. මෙහිදී මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ගැටලු අඩුපාඩු පිළිබඳ දීර්ඝ වශයෙන් ජනාධිපති කරුණු දක්වූයේය. කොමිසමේ ඇතිවූ බෙදී, ලිපි ගනුදෙනු, ව්‍යවස්ථානුකූල අඩුපාඩු ආදීය ජනපති හෙළිදරව් කරේ මුදල් අමාත්‍යංශයේ තමා යටතේ සිටින නිලධාරීන් වෙනුවෙන් බව පවසමිනි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි ජන බලවේගයේ කොළඹ මහ නගරසභා පුරපති අපේක්ෂකයා මුජිබර් රහුමාන් පිළිබඳව සිහිපත් කිරීමටද අමතක නොකළේය.

“මම තමයි මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාව ගෙනාවේ. ඉතින් ඒ නිසා මම පණිවිඩයක් යවලා කිව්වා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. දැන් සමහරු කියනවා මම ඡන්දය කල් දාලා කියලා. මම අහනවා කල්දාන්න කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා”

මැතිවරණ කොමිසමේ බෙදීම පිළිබඳ කරුණු දක්වමින්, මැතිවරණ කොමිසම ඡන්දය තැබීමට නිල තීරණයක් ලබාගෙන නොමැති බවටද ජනපති තර්කයක් ගොඩ නැගුවේය.

"ඇත්ත වශයෙන්ම නිල තීරණයක් අරගෙන නෑ ඡන්දෙ තියන්න. අපි ගිහින් ඡන්දෙ තියන්න සල්ලි දුන්නොත් මගේ ලේකම් ඉවත් කරලා, කියන්න වෙයි පොලීසියට එයාට විරුද්ධව නඩු දාන්න කියලා. ඒකයි වෙන්නෙ රාජ්‍ය මුද්‍රණාලාධිපතිටත්. ඉතිං ඒ අයට දොස් කියන්න බෑ. ඒ අය රජයේ නියෝජිතයන්."

මෙය අතර මැතිවරණය කල් දමන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද තමාට කී බව ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙහිදී ජනපති කළ ප්‍රකාශයක් හේතුවෙන් ජාතික ජන බලවේගයද කරළියට පැමිණියේය.

"කිව්වේ නැද්ද? ජේවීපිය නවත්තන්න, ඡන්දෙ කල් දාන්න කියලා..."

ජනපති කළ මෙම ප්‍රකාශය හේතුවෙන් ජාතික ජනබලවේගය ජනපතිගෙන් පෙරළා ප්‍රශ්න කළේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ වැළැක්වීම සඳහා මැතිවරණය කල් දමන්නැයි ඉල්ලා සිටි විපක්ෂයේ පුද්ගලයන් සහ පක්ෂ පිළිබඳ රටට හෙළිදරව් කරන ලෙස ජනපතිගෙන් අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය. මීට ඉහතදී පාර්ලිමේන්තුවේදී මැතිවරණය කල් දමන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටි බව විජයදාස රාජපක්ෂ මහතාද සඳහන් කළේ යැයිද දිසානායක මහතා පැවසීය.

මේ අතර මැතිවරණය කල් දැමීමට එරෙහි "විරෝධය කොළඹට" නමින් දැවැන්ත ජන රුළියක් සංවිධානය කිරීමට පසුගිය සතියේ ජාතික ජනබලවේගය සැලසුම් කරමින් සිටියේය. ඒ අනුව එම ජන රැළිය පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙනු ඇතැයි කියැවේ. ඉරිදා පවත්වන මෙම විරෝධතාවය පිළිබඳව මේ වනවිටත් ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවල විශාල අවධානයක් යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

I චමිඳු නිසල් ද සිල්වා