2023 පෙබරවාරි 19 වන ඉරිදා

ලංකාවට හදිසියේ ඇවිත් ගියේ සී.අයි.ඒ ලොක්කාද?

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 355

විලම්භීත දේශපාලන සතියක් ගෙවී ගියේය. මැතිවරණය මාතෘකාව වූ නමුත් පැවැත්වීම තහනම් වචනය විය. ඇතැමුන් මැතිවරණයට සූදානම් වන අතරේ තවත් පිරිසක් විවේකීව පසුවූහ. මේ අතර බැණ අඬගසා ගැනීම් නොඅඩුව දැකගත හැකිවිය. බදු සහ විදුලි ගාස්තු පිළිබඳ කතිකාවද උණුසුම් මුහුණුවරක් ගත්තේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව උද්ගතව වූයේ අවිනිශ්චිත තත්ත්වයකි. රජයේ මුද්‍රණාලය සහ මැතිවරණ කොමිෂන් සභාව අතර නිර්මාණය වූයේ අවුල් සහගත තත්ත්වයකි. පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දැන්වීය.

ඒ අතර මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය කැඳවා සමඟ සාකච්ඡා කළේය. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි කොමිසම ඇයට පෙන්වා දී ඇත්තේ, ව්‍යවස්ථාපිත කරැණක් බැවින් ඡන්ද පත්‍රිකා කඩිනමින් තමන් වෙත භාරදීම මුද්‍රණාලාධිපතිගේ වගකීමක් බවයි.

කෙසේ වෙතත් මුද්‍රණාලාධිපතිනිය පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ වියදම් පිළිබඳ කරැණු පැහැදිලි කළේය.

"මේකේ ඇස්ටිමේට් කොස්ට් එක මිලියන හාරසීයක්. මම මිලියන දෙසීයයි ඉල්ලුවේ දැනට. මට මිලියන හතළිහයි ලැබුණේ. ඉතින් කොහොමද කරගෙන යන්නෙ?"

කෙසේ වෙතත් රජයේ මුද්‍රණාලය මේ වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා යම් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇතැයි දැනගන්නට ලැබේ. එහෙත් ඉදිරි කටයුතු කරගෙන යෑමට රජයේ මුද්‍රණාලය වෙත මුදල් ලැබී නොමැත.

මේ අතර පසුගිය සතියේ මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද තමන් හමුවට කැඳවා තිබුණි. පළාත් පාලන මැතිවරණය සඳහා කොමිසම ඉල්ලූ මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලේකම්වරයා කොමිසම හමුවට කැඳවූ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

තවද මැතිවරණය කල්දමන ලෙස පවසමින් කර්නල් විජේසුන්දර නම් විශ්‍රාමික හමුදා නිලධාරියා විසින් ගොනුකරනු ලැබූ නඩුව මැතිවරණ ක්‍රියාවලිය තවත් සංකීරණ කළේය. එම පෙත්සම් විභාගය පෙබරවාරි මස 23 වැනිදාට කැඳවීමට නියමිතව තිබුණද එය තැපැල් ඡන්දයට පෙර කැඳවන ලෙසට මෝසමක් ඉදිරිපත් වන බවද කියැවුණි. මේ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

මේ අතර ගෙවී ගිය සතියේ තැපැල් ඡන්ද විමසීම කල්දමා ඇති බවට කටකතාවක් පැතිර ගියේය. මෙම ප්‍රචාරක ප්‍රතික්ෂේප කරමින් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. කල්ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බව ඒ මහතා පෙන්වා දී තිබුණි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින් විශේෂ ආරංචියක් ලැබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධවය. පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප විධායක සභාව රැස්කිරීමට පියවර ගෙන තිබුණි. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ සාකච්ඡාව සඳහා විධායක සභාවේ සියලු සාමාජිකයන් පාහේ සහභාගී වී ඇත.

"අපේ ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?"

මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විධායක සභාවේ සියලුදෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඒ පිළිබඳ සංවාදයටය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන විශේෂ යෝජනාවක් සභාවට රැගෙන විත් තිබේ.

"අපි පැත්තකට වෙලා ඉඳලා හරියන්නෙ නෑ. අපි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑ. මම යෝජනා කරනවා මෛත්‍රීපාල සිරිසේන අපේ නායකතුමා දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කරන්න ඕනෑ කියලා."

දේශපාලන ආරංචි අනුව ඔහු සභාවේ නැගිට කියා ඇත්තේ එවන් කතාවකි. ආරංචි මාර්ග පවසන පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීට ප්‍රතිචාර දැක්වීමට අමතක කර නැත.

"මීට පෙර හිටපු ජනාධිපතිවරු හැමදෙනාම වාගේ වාර දෙකක් ඉදිරිපත් වුණා ජනාධිපතිවරණයට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඉදිරිපත් වෙන්න බැරුව ගියාට චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වගේ අය ඉදිරිපත් වුණා. මමත් එකපාරයි ඉදිරිපත් වුණේ. ඒ නිසා අවස්ථාව තියෙන්නෙ මට තමයි. ඒ නිසා ඒ ගැන මම හිතල බලන්න ඕනෑ."

ඒ අතරතුර  නැගී සිටි සජින් වාස් ගුණවර්ධන, සිය යෝජනාව ස්ථිර කර ගතයුතු බව කියා තිබේ.

"අපි යෝජනා ස්ථිර කරලා මෙතැනම සම්මත කරගමු. මම යෝජනා කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊළඟ ජනාධිපතිවරණෙ අපේ අපේක්ෂකයා විය යුතුයි කියලා."

"නෑ නෑ අපි ඔය ගැන ඡන්ද විමසීමක් කරල බලමු."

සජින් වාස්ගේ යෝජනාව හමුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙලෙස තවත් යෝජනාවක් රැගෙන විත් තිබේ. ඒ අනුව ශ්‍රීලනිප විධායක සභාවේ ඡන්ද විමසීමක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඡන්දය විමසීම සම්බන්ධ දේශපාලන කරළියේ අපූරැ කතා පැතිර යමින් තිබේ. ඒ අනුව එම පක්ෂයේ නම් දැරූ ප්‍රධානියෙක් ඡන්ද විමසීමේදී බාගෙට අත උස්සා ඇතැයි කියැවේ. එසේම ශ්‍රීලනිපයට සම්බන්ධ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුත් අත උස්සා නොමැති බව කියැවේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග අනුව කිසිවෙක් ප්‍රසිද්ධියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළකර නොමැත.

මේ අතර පසුගිය සතියේ සුවිශේෂී විදේශීය අමුත්තකුගේ පැමිණීම පිළිබඳවද තොරතුරු වාර්තා විය. ආරංචි මාර්ග අනුව කියැවුණේ ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධව පැතිර ගිය ප්‍රචාරවල සඳහන් වූයේ ඇමරිකානු සී.අයි.ඒ. ප්‍රධානියා රහසේ ශ්‍රී ලංකාවට ඇවිත් ගිය බවය.

ඉන්දියාවේ පැවැති G20 ආරක්ෂක සමුළුවට පැමිණි අතරවාරයේ ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ජනාධිපතිට අයත් පැජට් පාරේ නිවෙසේ උදෑසනක ජනපති සහ ඔහු අතර සාකච්ඡාවක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එම හමුවේදී කතාබහ වූයේ මොනවාද ඊට සහභාගී වූයේ කවුරැන්ද යන්න පැහැදිලි තොරතුරු නොමැත.

විදුලි ගාස්තු ඉහළ දැමීමද ගෙවීගිය සතියේ බරපතල මාතෘකාවක් විය. මහජනතාවට අමතර විදුලි ගාස්තු වැඩිවීමත් සමඟ අපහසුතාවයට පත්වූ චරිත වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍යි. අප වෙත ලද ආරංචි අනුව පක්ෂිකයන් මෙන්ම දේශපාලන හිතවතුන් විශාල පිරිසක්ද මෙම ගාස්තු සංශෝධනය පිළිබඳ පැමිණිලි මහින්ද රාජපක්ෂ මහතා වෙත රැගෙන විත් තිබේ.

කිසිම ඉස්පාසුවක් නොලැබෙන තරමට පසුගිය අවසන් දින කිහිපයේ රාජපක්ෂ මහතා අමතමින් සහ හමුවට පැමිණෙමින් විවිධ තරාතිරම්වල පිරිස් මේ හා සම්බන්ධ කරුණු දක්වා තිබේ. 

"මෙහෙම නම් දේශපාලනය කරන්න අමාරුයි."

මෙවන් අදහස් පළ කරමින් අවසානයේ මෙම පැමිණිලි හමුවේ මහින්ද රාජපක්ෂ මහතා විශේෂ තීරණයකට එළැඹ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු සම්බන්ධ සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානමින් සිටින බව කියැවේ.

පසුගිය සතියේ සමගි ජනබලවේගය සුවිශේෂී සමුළුවක් සංවිධානය කර තිබුණි. ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරනු ලැබූ මෙම ආර්ථික සමුළුව නම් කොට තිබුණේ “THE BLUE PRINT" නමිනි. පෙබරවාරි 14 වැනිදා පැවති මෙම සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික විශේෂඥයන් සහ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම විසින් සම්පාදනය ආර්ථික සැලසුම වර්තමාන ආර්ථික අර්බුදයට ගැලපෙන පරිදි තවදුරටත් යාවත්කාලීන කරමින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවූයේය. මෙම සැලසුමෙන් රට ගොඩනැගීමට කරුණු 10 කින් සමන්විත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.

මෙම සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කතාව ඉහළ අවධානය දිනා ගත්තේය.

“අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන් අපේක්ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ තරගකාරීත්වයෙන් යුතු තාක්ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි ක්‍රමානුකූලව ආයෙත් ලබාගන්නවා. ඒ වගේම, මේ විදිහට උපයාගන්නා ධනයෙන් කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදාහරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත්කමින් ගලවා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා."

මේ අතර පසුගිය සතියේ ආණ්ඩුව මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයක නිරත බවට සමගි ජනබලවේගයේ එල්ල කළ චෝදනාව දික්ඇදුණි. සජබ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ කුමන හෝ අයුරකින් මැතිවරණය පැවැත්වීම වැළැක්වුවහොත් ජනතාව සමඟ මහමගට බසින බවයි.

"ආණ්ඩුව දන්නවා මේ මැතිවරණයෙන් සියයට දහයකටත් වඩා පහළ මට්ටමකට ඔවුන් වැටෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මැතිවරණය කල්දාන්න හදනවා. ව්‍යවස්ථාව අනුවත්, මැතිවරණ පනත අනුවත් ජනාධිපතිවරයා බැඳිල ඉන්නවා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදෙන්න. මෙතැන සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී වැඩක් වෙලා තියෙන්නෙ. මැතිවරණය කල්දාන්න සූදානම් වෙනවා නම් අපි පාරට බැහැලා ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගන්න සටන් කරනවා."

රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය සතියේ දුරකථන සංවාදයක්ද ඇතිවූ බවට තොරතුරැ වාර්තා වේ. මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ඒකාබද්ධ සටනක් සිදු කිරීම සම්බන්ධව දෙපිරිස සාකච්ඡා කර ඇතැයිද කියැවේ. 

කෙසේ වෙතත් විපක්ෂයේ මෙම කණ්ඩායම් ද්විත්වය අතර පවතින මතවාදී ගැටුම් හේතුවෙන් මෙම උත්සාහය තවමත් පලදරා නොමැත. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි මැතිවරණය කල් දැමීමට විරුද්ධ දේශපාලන පක්ෂ, වෙන් වෙන්ව පෙළපාලිවලින් පැමිණ එක් ස්ථානයකදී එකතුව රැලියක් වීමේ සූදානමක් පිළිබඳවද කතාවක් තිබේ.

මේ අතර පසුගිය සතියේ පැතිර ගිය තවත් කතාවකට අනුව කියැවුණේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම දිගු සහ තවත් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩුවට සහාය දක්වන බවයි. ජාතික ජනබලවේගය එම කරුණු සිය දේශපාලන වේදිකාවට රැගෙන ආවේය.

“ඡන්දය කල් දැමීමට ව්‍යවස්ථානුකූලව කළ දේවල් ව්‍යර්ථ වූ පසු ජනාධිපතිවරයා දැන් ඡන්දය කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් උපයෝගී කරගෙන සිටිනවා. රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කර කරනවා මුදල් නොදුන්නොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ කියලා. ඒ වගේම භාණ්ඩාගාර ලේකම් කියනවා සල්ලි දෙන්න බැහැ කියලා. මේ දෙකම සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත. රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයො නොවෙයි. ඔවුන් මහ ජනතාවගෙන් වැටුප් ලබාගන්නා වගවීමට බැඳී සිටින පිරිසක්." මාධ්‍ය හමුවේ මෙලෙස පවසා තිබුණේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය.

මේ අතරේ හෙලිකොප්ටර් සන්ධානයේ පිරිසක්ද මැතිවරණය කල් දැමීමට එරෙහිව ලිපියක් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට නියමිත මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් පැහැර හැරීමත්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් හේතුවෙන් දින රහිතව ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි ඔවුහු කියා සිටියහ.

ඒ අනුව මෙම තීරණ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන බැවින් නියෝග 16 යටතේ වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාව මෙම පිරිස අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර ඇත. ඩලස් අලහප්පෙරැම, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, අතුරලියේ රතන හිමි, ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් මෙම ලිපියට අත්සන් තබා ඇතැයි කියැවේ.

මේ අතර ජාතික නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යම් ගැටලුවක් නිර්මාණය වී ඇති බවටද ආරංචි තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු හෙලිකොප්ටරේ සමඟ ඉතා සමීපව ගනුදෙනු කරමින් සිටින බව කියැවේ. පැතිරෙන ආරංචිය අනුව ඒ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප තවත් කණ්ඩායමක් දැඩි අමනාපයකින් පසුවේ.

මේ අතර අනුරාධපුරයේ පැවැති හෙලිකොප්ටර් සංධානයේ ජනහමුවක් අතරතුරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයකු සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳවද දේශපාලන කරළියේ සංවාදයක් නිර්මාණය වී තිබේ. ඡන්දය ලබාදිය යුත්තේ හෙලිකොප්ටරයටද අතටද යනුවෙන් අයෙක් විමසා සිටි විට "දැන් ඔරිජිනල් ශ්‍රී ලංකා කාරයෝ ඉන්නේ හෙලිකොප්ටරයක් එක්ක." යනුවෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා පිළිතුරු දුන් බව කියැවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ විදෙස් සංචාරකට එක්වීමද දේශපාලන කරළියේ යම් කතාබහක් නිර්මාණය කළේය. ඔහු චීනයට හෝ ඇමරිකාවට යන බවට කල් ඇතිවම විවිධ කටකතා පැතිර ගොස් තිබුණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වූයේ මියන්මාරයේ සංචාරකට බව අප ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහුගේ අරමුණ බුරැමයේ ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සහ වැඳපුදා ගැනීමට බව කියැවේ.

කෙසේ වෙතත් මෙම සංචාරය සිදුවූයේ මැලේසියාව හරහාය. කොළඹින් මැලේසියාවට ගොඩබට හිටපු ජනපතිව මැලේසියාවේදී තානාපති සුමංගල ඩයස් විසින් පිළිගෙන අවශ්‍ය පහසුකම් සලසලා දී ඇත. අනතුරුව මියන්මාරයට පැමිණි පසුව එරට ශ්‍රී ලංකා තානාපති ජානක ප්‍රියන්ත බණ්ඩාර ජනාධිපතිවරයා පිළිගෙන පහසුකම් සපයා ඇත. මෙම සංචාරය අතරතුර මියන්මාරයේ බෞද්ධ සිද්ධස්ථාන රැසක් වෙත හිටපු ජනාධිපතිවරයා ගමන් කරනු ඇතැයි දැන ගැනීමට තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි මෙම සංචාරය නිමාවෙන්නේ පෙබරවාරි 27 වැනිදාය.

පසුගිය සතියේ උතුරු දෙසින්ද විවිධ දේශපාලන ආරංචි ලැබෙමින් පැවතුණි. ඒ අනුව මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය දේශපාලනඥයන් කිහිප දෙනකුද යාපනයේදී ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ හමුවක් සූදානම් කර දෙන්නැයි උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඉන්දීය  රාජතාන්ත්‍රිකයන් ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මේ අතර තමිල්නාඩු දේශපාලකයකු වන නෙඩුමාරන් කී කතාවක් හේතුවෙන්ද ගෙවී ගිය සතියේ යම් දේශපාලන කසුකුසුවක් නිර්මාණය විය. ඉන්දියාවේ තංජාවූර් ප්‍රදේශයේදී නෙඩුමාරන්, කිවියර කාසි ආනන්දන් යන අය මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රභාකරන් ජීවත්ව සිටින බව කියා තිබුණි.

"ප්‍රභාකරන්ගේ පවුලේ අය සමග මට සබඳතාවයක් තිබෙනවා. ඒ මාර්ගයෙන් දැනගත් කරුණු ටික ඔවුන්ගේ අනුමැතිය ඇතිව මෙතැනදී කිව්වා. ඔහු කොහෙද ඉන්නේ, කවද්ද එන්නේ කියලා දැනගන්න හැමෝම සූදානමින් ඉන්නවා. නමුත් ඔහු ඉතා ඉක්මනින් ලෝකයා හමුවේ පෙනී සිටියි. බිරිඳ සහ දියණියත් සුවෙන් ඉන්නවා."

මෙම ප්‍රකාශයත් සමඟම එම පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේය. එහිදී ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට පළ වූ පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත්ගේ මහතා ප්‍රතිචාර දක්වා තිබුණි.
"2009 වසරේ පැවැති අවසන් යුද්ධයේදී ප්‍රභාකරන් ඝාතනයට ලක්වුණා. ඩී.එන්.ඒ. සාක්ෂි අපි ළඟ තියෙනවා. 2009 වසරේ මැයි මාස 18 දින අවසන් යුද්දයේ දී ඔහු ඝාතනයට ලක් වුණා. එදින ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා කියන ඩී.එන්.ඒ පරීක්ෂණ ඇතුළු සියලු සාක්ෂි අපි ගත්තා. ඔවුන් ලබා දී තියෙන්නේ වැරදි පුවතක්."

තැපැල් ඡන්දය සම්බන්ධව සතිය පුරා පැවති දෙගිඩියාව සිකුරාදා මද්දහනේ අවසන් විය. ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණයට අදාළව ලබන 23, 24, 28, යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම කල්තැබීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

මැතිවරණ කොමිසම කියා සිටියේ තැපැල් ඡන්දය පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි. රජයේ මුද්‍රණාල අධිපතිනිය එකඟ වූ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා නොදීම මෙම තීරණයට හේතුව බව මැතිවරණ කොමිසම සිකුරාදා වැඩිදුරටත් පැවසීය. සතියේ දේශපාලනික ගිනිකෙළි සංදර්ශනය ආරම්භය වූයේ ඒ අයුරිනි.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00