2023 පෙබරවාරි 12 වන ඉරිදා

අමෙරිකාව අත්හරින්න බැසිල් සූදානම්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 369

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීම, පුංචි ඡන්දය පිළිබඳ ගාලගෝට්ටිය ඇතුළු දේශපාලන සිදුවීම් ගහන සතියක් ගෙවී ගියේය. 13 වැනි සංශෝධනය පිළිබඳ තැටිය තවත් පසෙකින් රත් වෙමින් තිබුණි. බදු සටන්කරුවෝ ද වීදි බටහ. ළඟ විශාල වැඩවර්ජනයක් පිළිබඳ කතාවක් ද විය. 

ගෙවී ගිය සතියේ ප්‍රමුඛතම දේශපාලන සිදුවීම වූයේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමයි. බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය විය. කෙසේ වෙතත් ජනාධිපතිගේ රාජාසන කතාව වර්ජන කිරීමට විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක් කටයුතු කළේය.

පළමුව රාජාසන කතාව වර්ජනය කිරීමට තීරණය කළේ සමගි ජන බලවේගයයි. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී පැන නැගුණු විරෝධයේ දිගුවක් ලෙස රාජාසන කතාව වර්ජන කිරීම පිළිබඳ අදහස සජබ ප්‍රධානීන් තුළ ආරම්භයේ පටන් විය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස ස්ථිර කර සිය පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ.

“අපි පක්ෂයක් විදිහට රාජාසන කතාව වර්ජනය කරන්න තීරණය කළා." 

දේශපාලන ආරංචි අනුව විපක්ෂ නායකවරයා සජබ තීරණය ජාතික නිදහස් සන්ධානය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට දැනුම් දී තිබේ. 

“අපි දැන් මොකද කරන්නේ. මේක වර්ජනය කරනවාද නැද්ද? මේ වැඩෙන් ප්‍රයෝජනයක් තියෙයිද?”

උදය, විමල් ඇතුළු හෙලිකොප්ටර් සන්ධානයේ පිරිස් අතර කතබහක් නිර්මාණය වූ බව කියැවේ. ඒ අනුව අඟහරුවාදා එම සන්ධානයේ විධායක සභාවේදී රාජාසන කතාව වර්ජනය පිළිබඳ කතිකාවක් ඇතිවූ බව හෙලිකොප්ටර් ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපි නිකං නැගිටලා ගියාට කාටවත් ඒක දැන්නෙ නෑ. වර්ජනය කරනවා නම් දැනෙන විදිහට ඒක කරන්න ඕනෑ."

මෙවන් අදහසක් මතුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාය. 

මෙහිදී පාර්ලිමේන්තුවේ කැමරාවකට පවා නිරාවරණය නොවී විරෝධය දැක්වීමෙන් පලක් නැති බව පිරිස සාකච්ඡා කර ඇත. ඒ අනුව අවසානයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පිවිසෙන විට නැගිට යාමට මෙම කණ්ඩායම තීරණය කර තිබේ.

“අපි නැගිටලා යනවා නම් මොකක් හරි සද්දයක් දාගෙන නැගිටල යන්න ඕනෑ." 

උදය ගම්මන්පිල මහතා එවන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් දැමිය යුතු ශබ්ද යෝජනා කර ඇත්තේ විමල් වීරවංශ මහතාය.

අවසානයේ බදාදා උදෑසන නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. විශාල රථ පෙළපාලි සහ ආචාර වෙඩිමුරවලින් තොරව චාම් ලෙස උත්සවය සංවිධානය කරන ලෙස ජනාධිපති උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව මෙදින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී  ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූහ. පාසල්  දරුවෝ පිරිසක් ජය මංගල ගාථා ගායනා කළහ.

අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කතානායකවරයා, මහ ලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙළට පෙරහරින් සභා ගර්භයට ඇතුළු වීම සිදුවිය. මෙහිදී විමල් - උදය - වාසු ඇතුළු හෙලිකොප්ටර් සන්ධානයේ පිරිස් "රාජාසන මේනියාව" යනුවෙන් පවසමින් පිටව ගියහ.

කෙසේ වෙතත් අනතුරුව සභා ගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරමින් රාජාසන කතාව සිදු කළේය. මෙම කතාව පැයකට ආසන්න කාලයක් ගලා ගිය දීර්ඝ කතාවක් විය. ජනපති ක්ෂේත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු කළේය.

“ආර්ථිකය අර්බුදකාරි අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිල වැඩි වෙනවා. රැකියා අනතුරට පත් වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩි වෙනවා. සමාජයේ සියලු කොටස්වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස පහක හයක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වැනි, හතරවැනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.

පෞද්ගලික අංශයට සහන ලබා දෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගත වෙද්දි අද ලබන ආදායමට වඩා 75% ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්."

රාජාසන කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. මෙම සංග්‍රහය අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එක්කම වාඩි වී සුහද කතාබහක නිරත වන අයුරු කාගේත් අවධානය දිනා ගත්තේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ 13 වැනි සංශෝධනයෙන් උපරිම බලය බෙදීම පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැණිද යන්නයි.

“අපි ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය" 

යනුවෙන් මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා 13 පිළිබඳ තවදුරටත් විමසීමේදී ඔහු ඊට ලබා දුන්නේ අපූරු පිළිතුරකි.

“එච්චරම පටහැනි නෑ නේද?"

ගෙවී ගිය සතියේ රාජාසන කතාව සම්බන්ධව දේශපාලන වේදිකාවේ විවිධ කතා පැතිරෙමින් තිබුණි. 13 ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ තවත් කරුණු මේ කතාවේ අන්තර්ගත වුවද අවසන් මොහොතේ එල්ල වූ පීඩනය හමුවේ එම කරුණු කතාවෙන් ඉවත් කර ඇති බවට කතාවක් පැතිර ගියේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිවුරුම් දීමක් ද සිදු විය. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ, මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේය. ඔහුගේ දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න "එල ෆවුසි" පිළිබඳ අතීතය සිහිපත් කරමින් අපූරු සුබ පැතුමක් එක් කළේය.

“මෙතුමා ශ්‍රී ලාංකීය දේශපාලනයේ ජ්‍යෙෂ්ඨතම සම්භාවනීය චරිතයක්. ඉස්කෝලෙ යන කාලෙ මාත් එතුමා දාපු පුංචි බඩී බස් එකේ ඉස්කෝලෙ ගිය මිනිහෙක්. බොහොම ආදරෙන් මං ඔබතුමාට සුබ පතනවා. කොලු ගැටව් විදිහට අපි ඒ කාලේ ඉස්කෝලෙ යනකොට කිව්වේ එල ෆවුසි"

මේ අතර පසුගිය සතියේ කතානායකවරයා වෙත යොමු වූ සුවිශේෂී ලිපියක් පිළිබඳව ද දැනගැනීමට ලැබුණි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරුන් 14 දෙනකු අත්සන් කොට කතානායකවරයා වෙත ලිපියක් බාර දී තිබුණි.

මැතිවරණ කොමිසමේ යම් කටයුතු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බව එම ලිපියේ දක්වා තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇතැයි ද එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව ද එම ලිපියේ සඳහන්ව ඇති බව කියැවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනා අතර ද යම් මත ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. වාර්තා වන පරිදි එම ගැටලු මතුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය ලකුණ සම්බන්ධවයි.

“හෙලිකොප්ටරයෙන් මාව බැස්සුවේ නෑ. මමයි බැස්සේ" 

යනුවෙන් පවසමින් පාස්කු නඩු තීන්දුවෙන් පසුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළේ ශ්‍රීලනිප අත ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බවයි.

එහෙත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හෙලිකොප්ටරය සමඟ එක්ව තරග කිරීමට නාමයෝජනා බාර දුන්නේය. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන, අංගජන් රාමනාදන්, සාරතී දුෂ්මන්ත ඇතුළු පිරිසක් පක්ෂ අභ්‍යන්තරයේ මෙම තීරණයට විරෝධය පා ඇතැයි කියැවේ.

දේශපාලන ආරංචි අනුව දයාසිරි ජයසේකර මහතා  ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ද ආශිර්වාදය සහිතව මෙම තීරණය ක්‍රියාත්මක කර ඇතැයි කියැවේ. කෙසේ වෙතත් කුරුණෑගල හෙලිකොප්ටර් නාමයෝජනා වෙනුවෙන් ඇප තැන්පත් කිරීමේදී,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරමුදල් ඊට යොදවා ඇති රාවයක් පවතී. ඒ සම්බන්ධව ද මේ වන විටත් ශ්‍රීලනිපය තුළ ගැටලුවක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කී කතාව සම්බන්ධවද පක්ෂ අභ්‍යන්තරයේ කතාබහක් නිර්මාණය වී ඇතැයි දැනගන්නට ලැබේ. එවන් පසුබිමක් තුළ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පසුගිය සතියේ තවත් අපූරු කතාවක් කියා තිබුණි.

“බණ්ඩාරනායක මහත්තයාව මැරුවා, බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුවා. අද මාව නොමරා මරනවා. ඔය පේන අයට වැඩිය ඕක පිටිපස්සේ වෙන කණ්ඩායමක් ඉන්නවා. මේ මෙහෙයවන්නේ මාත් එක්ක තියෙන පෞද්ගලික ප්‍රශ්නයකට නෙවෙයි, විශේෂයෙන්ම මගේ තිබෙන ජාත්‍යන්තර සබඳතා නිසා තමයි මට ඔය ගැහිල්ල ගහලා මාවත් පක්ෂයත් අපි ඔක්කොමලාව විනාශ කරන්න හදන්නෙ."

ඒ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරමක් වෙනස් කටයුත්තකට මුල පිරුවේය. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබුණ ද තවමත් පළාත් පාලන ආයතන නියෝජිතයන් එම තනතුරුවල රාජකාරි කරන නිසාවෙන් පොහොට්ටුව නව සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට පොහොට්ටුව තීරණය කර තිබේ. ඊට අදාළ ලිපි නිකුත් කිරීමට ද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා කටයුතු කරමින් සිටින බව කියැවේ. ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් 200කට වැඩි පිරිසක් පොහොට්ටුවෙන් නෙරපා හරිනු ඇත.

පක්ෂයෙන් නෙරපා හැරීමෙන් නොනැවතී එම පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට වෙනත් මන්ත්‍රීවරුන් එම ආයතන වෙත පත් කිරීමටද පොහොට්ටුව සූදානම් වන බව කියැවේ. මෙම ඉදිරි සතියේ විශාල දේශපාලන ආන්දෝලනයකට හේතු වනු ඇතැයි පෙනී යයි. මැතිවරණය කල් යාම වැනි කරුණු ද මීට ඈඳෙනු ඇත.

මේ අතර රෑපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කී කතාවක් ද පසුගිය සතියේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. තම ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් වන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය වෙනස් කර අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබුණි. එම පක්ෂයේ ආරංචි මාර්ග ද සඳහන් කර සිටියේ සත්‍ය වශයෙන්ම බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය අතහැරීමේ සූදානමක පසුවන බවයි.

පසුගිය සතියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව භික්ෂු සමාජයෙන් එල්ල වූ විරෝධය ද විශේෂිත විය. පසුගිය බ්‍රහස්පතින්දා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක පවා නිරත වූහ. එහිදී භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි.

මේ අතර මල්වතු, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් සහ අමරපුර, රාමඤ්ඤ මහා නිකායවල නාහිමිවරුන්ගේ ද අත්සන් සහිතව ලිපියක් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එරෙහිව ජනපති වෙත භාර දී තිබුණි. අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන බව එහි සඳහන් විය.

කෙසේ වෙතත් මෙම ලිපිය සමඟ ඇතිවූ ආන්දෝලනය පිළිබඳව මාධ්‍ය විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේ පවසා තිබුණි.

“මං හිතන්නේ ඊට පස්සේ ජනාධිපතිතුමාව හම්බවෙලා තියෙනවා. ජනාධිපතිතුමා විස්තර කළාට පස්සේ මහා නාහිමිවරු විරෝධතාව පළ කරල නෑ."

කෙසේ වෙතත් 13 වැනි සංශෝධනයට පක්ෂව කටයුතු කරන බවට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් කිසි විටෙකත් ප්‍රකාශ කර නොමැති බව එම පාර්ශ්ව අවධාරණය කරයි.

මේ අතර පසුගිය සතියේ අපූරු දේශපාලන ඔට්ටුවක් පිළිබඳව ද අසන්නට ලැබුණි. මෙම ඔට්ටු අල්ලා තිබුණේ සනත් නිශාන්ත මහතා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන සුදන්ත තිලකසිරිය. එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ යූටියුබ් සංවාදයක් අතරතුර ඔවුන් දෙදෙනා මෙම ඔට්ටුව අල්ලා තිබුණි.

මෙම ඔට්ටුවට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යම් හෙයකින් පොදුජන පෙරමුණට වඩා ජවිපෙ එක් ජන්දයක් හෝ වැඩියෙන් ලබාගතහොත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ගාලු මුවදොර පිටිය දක්වා අමුඩයකින් සැරසී ගමන් ගමන් කළ යුතුය. එහෙත් පොහොට්ටුව ජය ගතහොත් සුදන්ත තිලකසිරිට එසේ කිරීමට සිදුවනු ඇත. මෙම ඔට්ටුව පිළිබඳ කතාව පසුගිය සතියේ සමාජ මාධ්‍ය කළඹා තිබුණි.

සතිය පුරා මෙරට සියලු දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටි නඩු තීන්දුව සිකුරාදා මද්දහනේ ලැබුණි. පෙරවරුවේ පළමු පෙත්සම් විභාගයෙන් මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බව තීරණය විය. එහෙත් දෙවැනි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 23දා දක්වා කල් දැමීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අදාළ පෙත්සමේ දෝෂ සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි මැතිවරණ කොමිසමට  මැතිවරණ ක්‍රියාවලියේ නිරත වීමට මෙම තීන්දුවලින් බාධාවක් එල්ල නොවුණි. මැතිවරණ කොමිසම ද බාධාවකින් තොරව සිය මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බව සිකුරාදා පස්වරුවේ වාර්තා විය. 

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00