2023 ජනවාරි 22 වන ඉරිදා

ඔබතුමාලා මේ බණ කතාකරනවා: විමලවීර දිසානායකගෙන් දෝස්මුරයක්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 406

කතිර සටන ඇරඹෙයි ද? නරඹන්නට හැකි වෙයි ද? කල්යයි ද? තියයි ද? සමස්ත දේශපාලන කරළියම එක ප්‍රශ්නාවලියක් බවට පත්වී තිබුණි. නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමට දේශපාලන පක්ෂ සංවිධායකයෝ කටයුතු කරමින් සිටියහ. රහස් සාකච්ඡා සහ අභ්‍යන්තර ගැටුම් පිළිබඳවද තොරතුරු ගලා ආවේය. ගෙවී ගියේ තීරණාත්මක දේශපාලන සතියකි.

පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පැවැත්විණි. මෙම විවාහ මංගල්‍යය පැවැතියේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් ඉම්පීරියල් මොනාක් හෝටල් පරිශ්‍රයේය. විවාහයේ සාක්ෂි අත්සන් තැබීමට එක්වූයේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතායි. ඊට අමතරව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන ප්‍රභූන් විශාල ප්‍රමාණයක්ද විවාහ මංගල්‍යයට සහභාගි වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අසුන් ගත්තේ ප්‍රධාන මේසයේය. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙහිදීද පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡාවක් සිදුව ඇතැයි සඳහන් වෙයි. ඡන්දය පැවැත්වීමට ඇති බාධා පිළිබඳව මෙන්ම ඡන්දය පැවැත්වෙන්නේ නම් ඒ පවත්වන ආකාරය පිළිබඳවද, මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇතැයි කියැවේ.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව කල් දමනු ඇතැයි පැතිරෙන ආරංචි පිරිසකට එතරම් සුබ නොවුණි. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාව වෙනුවෙන් සමගි ජනබලවේගයේ පුරපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට මෙම දෙගිඩියාව ගැටලුවක් විය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබාදීමට පෙර පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට ඔහුට සිදුවේ. ඔහු ඉවත් වූ සැණින් ඔහුගේ අනුප්‍රාප්තිකයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සිදුවේ. එහෙත් යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය නාමයෝජනා ලබා ගැනීමෙන් පසු මාස කිහිපයක් කල් ගියහොත්, මුජිබර් රහුමාන්ට අල්ලපු අත්ත සහ පය ගැසූ අත්ත අහිමිවීමට ඉඩ තිබේ.

මේ සමඟ සමගි ජනබලවේගය දෙසින් ගලා එන තවත් ආරංචියකට අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රද පුරපති සටනට අවතීර්ණ වීමේ සූදානමකින් සිටින බව මුලදී සඳහන් විය.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආශිර්වාදය හිරුණිකා වෙත ලැබී ඇති බව ඇතැම්හු සඳහන් කළහ. එහෙත් අවසානයේ සිකුරාදා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගන්නා බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේය.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත කැරකීමට ගිය පුරපති අපේක්ෂකත්වය මුජිබර් රහුමාන් ස්ථිර කර ගත්තේය. ඔහුගේ ඉවත් ඉවත්වීමත් සමඟ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා පසුගිය මහ මැතිවරණයේ කොළඹ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ඒ.එච්.එම්. ෆවුසි මහතා පත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මැතිවරණය කල්දැමීම පිළිබඳ කතා නිසාවෙන්, රැකියාවෙන් වැටුප් රහිත නිවාඩු ලබා දේශපාලනයට අවතීර්ණ වීමේ අදහසින් සිටින ඇතැම් රාජ්‍ය සේවකයෝද යළි යළිත් දෙගිඩියාවට පත්ව සිටිති. නාමයෝජනා ලබා ගැනීමෙන් පසු මැතිවරණය කල් දැමුවහොත් සංක්‍රාන්ති කාලය තුළ ඔවුන්ගේ රැකියාවද අහිමි වනු ඇතැයි එම පිරිස කියා සිටිති.

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවද පැවතියේය. ඒ සඳහා මන්ත්‍රීවරුන් 60ක, 70ක පමණ පිරිසක් පැමිණ සිටියහ. පළාත් පාලන මැතිවරණය මෙහිදීද ප්‍රමුඛ මාතෘකාව වූ බව අප වෙත හෙළිකරන දේශපාලන ආරංචි මාර්ගයි.
"පළාත් පාලන මැතිවරණය තියෙනවා කියල කියනවා. දැන් ඒක කල්දාන කතාවකුත් යනවා. මොකක්ද ඇත්තටම මෙතැන වෙන්නේ..." 

කණ්ඩායම් රැස්වීමට පැමිණි බොහෝ මන්ත්‍රීවරුන් ජනපති ඇතුළු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ඒ පිළිබඳවයි. ප්‍රශ්න කිරීම් හමුවේ ජනපතිවරයා එය විස්තරාත්මක පැහැදිලි කළේය.

"මැතිවරණ කොමිසම ඡන්දය තියනව කියලා කියනවා. නමුත් ආර්ථික තත්ත්වය අනුව ඡන්දය තියන්න පුළුවන් කමක් නෑ. මුදල් නැතිකම, පහසුකම් නැතිකම වගේම මිනිස්සු ඡන්දයකට සූදානම් නැතිකමත් මෙතැන තියෙනවා. මේ නිසා ඔබතුමාල කරුණාකරල ගිහිල්ලා ගම දැනුවත් කරන්න. මේ වෙලාවේ ඡන්දයක් තිබිය යුතුද කියන කාරණාව සම්බන්ධව..." දේශපාලන ආරංචි අනුව ජනපති එසේ පැහැදිලි කර ඇත.

"සර් ලයිට් බිලත් වැඩි කරන්න යනවා. දැන් කොහොමද අපි මේක කරන්නෙ. ජනතාව ආණ්ඩුවත් එක්ක ගැටෙයි." මන්ත්‍රීවරුන් අතරින් මෙවන් පැනයක් නැගී ඇත. 

"එහෙනම් ඉතින් විදුලි කප්පාදුවකට යන්න වෙනවා." ජනපති ඊට එලෙස පිළිතුරු ලබා දී ඇතැයි කියැවේ. මේ අතර ජනපතිගේ කතාවට සවියක් වීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද එක්ව ඇත.

"විදුලි බිල වැඩි නොකර ඉන්න පුළුවන්. අපිට දවසකට පැය පහක් හයක් විදුලිය කප්පාදු කරන්න වෙනවා. දැන් ඉදිරි A/L විභාගය කාලෙට විදුලිය දෙන්න ඕනෑ. ඒකටත් මිලියන 3850ක් විතර යනවා. අපි විභාගය කාලෙට විදුලිය කපන් නැතුව ඉන්නවා. නමුත් ඒකටවත් සල්ලි හොයාගන්න බැරුවයි ඉන්නෙ."

ජනපති සහ ඇමති විදුලි බිල වැඩිකිරීම නියත වශයෙන්ම කළ යුතුය යන මතය සභාවේ ස්ථීර කර ඇත්තේ මේ අයුරින් යැයි කියැවේ.

"මේ ගැනත් ඔබතුමාලා ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන්න."

මන්ත්‍රීවරුන් එතරම් සතුටු නොවූවද ජනපති කෙරෙන් නැවතත් ඉදිරිපත් වී ඇත්තේ එවන් යෝජනාවකි.

මේ අතර සැණකෙළි සංදර්ශනවලින් ගහන වූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ තවත් ගැටුමක් ඇති විය. මෙවර කතාවට මුල පිරුවේ විමලවීර දිසානායක සහ  සහ ඩී. වීරසිංහ යන අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ය. අරගල සමයේ සිදුවූ දේපළ හානිවලින් පසුව අම්පාරට ආ හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීම පිළිබඳ මෙම දෙපළ සිටියේ අමනාපයෙනි. එම නිසාම ඔවුන් පැටලුණේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ටිරාන් අලස් සමඟයි.

"ස්ථානාධිපතිවරයා මාරුකරල කාටවත් කියන්නෙ නැතුව. අඩු ගානේ ඒ ගැන අහන්න කෝල් එකක්වත් ගත්තම, ඇමැතිගේ ප්‍රතිචාරයක් නැහැ."

විමලවීර පාර්ශ්වයේ දිගින් දිගටම පැමිණි චෝදනාව හමුවේ අවසානයේ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් නැගී සිටියේය.

"මම මේකට සම්බන්ධ නෑ. සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි සිදුකළේ. මම අලුත් ආපු කෙනා දන්නෙත් නෑ. හිටපු කෙනාව දන්නෙත් නෑ..."

එම කතාව සමඟ හොඳටම කිපුණු විමලවීර දිසානායක "ඔබතුමාල මේ බණ කතා කරනවා..." යනුවෙන් පටන්ගෙන හතර අතටම බැණවැදී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"අපිව සත පහකට ගණන් ගන්නේ නෑ. අපේ දේපළ විනාශ වුණා. දේපළ තක්සේරු කරන්න අම්පාරේ නිලධාරියෙක් ආවා. ඒ මිනිහ වික්‍රමසිංහ ජනාධිපතිතුමාට, ෆේස්බුක් එක ඇතුලේ ඔළුවට අංතට්ටුවක් දාපු කෙනෙක්. එහෙම අයගෙන් අපිට සාධාරණය ඉෂ්ටවෙයිද? ඇත්තටම මොකටද අපි ආණ්ඩුවේ ඉන්නේ..."

අරගල වකවානුවේ සිදුවූ දේපල හානිවල වන්දි ක්‍රියාවලියේ තක්සේරුව පිළිබඳ ගැටලුවක්ද ඔහු සභාවට ගෙන ආවේය. ජනපති හමුවේ තමන්හට සිදුවූ අසාධාරණය පිළිබඳව විමලවීර දිසානායක මෙලෙස කරුණු දැක්විය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ හැසිරීම පිළිබඳවද මෙම සභාවේ සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"එයා විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නැත්නම් අපි කලින් කිව්වා වගේ ලයිට් කපන්න වෙනවා."

"එපා සර්... ලයිට් නම් කපන්න එපා මොනව හේතුවක් නිසාවත්. අපිට ගෙවල්වලට යන්න බැරිවෙනවා." මන්ත්‍රීවරුන්ගේ පාර්ශ්වයෙන් එසේ කියන විට "එහෙනම් ඉතින් එකම විසඳුම ජනක රත්නායක අයින් කරන එක" ජනපති ප්‍රතිපාර්ශ්වයේ ප්‍රතිචාරයේ එවැන්නක් වී ඇතැයි කියැවේ.

"මට ජනාධිපති හැටියට එයාව අස්කරන්න බෑ. පාර්ලිමේන්තුවට බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ 113 දෙනෙක් අත්සන් කරල දුන්නොත් ඒක කරන්න පුළුවන්."

ජනපති මෙසේ කියන විට කඩිමුඩියේම එහි වගකීම භාරගෙන ගත්තේ, ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයායි. ඔහු පෙත්සම සකස් කොට අත්සන් ලබාගෙන ගෙනැවිත් බාරදීමේ වගකීම තමන් වෙතම පවරා ගත් බව කියැවේ.

පසුගිය සතියේ බොහෝ දෙනකු බලාපොරොත්තු වූ  සිදුවීමක්ද සිදුවිය. ඒ කැබිනට් අමාත්‍ය දිවුරුම් දීමකි. එහෙත් පිරිනැමුණේ කැබිනට් අමාත්‍යධූර දෙකක් පමණි. ඒ හේතුවෙන් ආණ්ඩුවේ ඇතැම්හු අපේක්ෂාභංගත්වයටද පත් වූහ.

පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධුරයෙහිත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහිත් දිවුරුම් දෙනු ලැබූහ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ සමඟම පොහොට්ටුවේ තවත් කිහිපදෙනෙකු අමාත්‍යධූර බලාපොරොත්තුවෙන් සිටි නමුත්, එම අමාත්‍ය පදවිවල දිවුරුම්දීම තවදුරටත් කල් ගියේය. එනිසාම ඔවුන් යම් අමනාපයකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. අමාත්‍ය ධුර ලබාදීම තවදුරටත් අතපසු කළහොත්, ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතුවලදී විවිධාකාර ක්‍රමවේදයන් ඔස්සේ සිය විරෝධය පළ කිරීමට මෙම පිරිස කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියම කිරීම සමඟ ඉකුත් සතියේ විශාල අවධානයක් ඔහු වෙත යොමුවිය. අධිකරණ තීන්දුවට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබුණේ තමන්ට එම වන්දිය ගෙවීමට මුදල් නොමැති බවයි.

"මම සහ මගේ හිතවතුන් තීරණය කරල තියෙන්නේ, අපිට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. ඒත් එහෙම කියනකොට මම ඇහුවා, කොළඹ කොටුවේ බෝගහ යට ටින් එකක් හොල්ල හොල්ල මම ඉන්නද කියලා."

කොටුවේ බෝගහ ඉදිරිපිට ටින් හොල්ලන කතාවට දේශපාලන කරළියේ ඉහළ අවධානයක් ලැබුණි. මේ අතර නළුවකු සහ ප්‍රසිද්ධ යූටියුබ්කරුවකු වන සුදන්ත තිලකසිරි කොටුවේ සිඟමන් යැද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙනි. මෙය උපහාසය මුසු සන්දර්ශනාත්මක සිදුවීමක් වූයේය. ඔහු කවි කියමින් මෛත්‍රී වෙනුවෙන් සිඟමන් යැද්දේය.

"පිංවත පිංවතිය අද දින වෙන්න සමා... කියනව මෛත්‍රීගේ දුක අද දින ඔබට මෙමා... මගේ දුව හම්බ කෙරුවත් මට නොදුන් නිසා... වන්දිය ගෙවන්නට මුදලක් දෙන්න සමා..."

මේ අතර සිඟමන් යැද මුදල් ලබා දුන්නද, එය භාර ගැනීමට තමන්ට සිදුවී ඇති බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. වන්දි ගෙවීමට අරමුදලක් පිහිටුවන බවද ඔහු පවසා තිබුණි.

මේ අතර කාලයේ මෛත්‍රී සහ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී  පැටළුණි. ඊටද හේතුවුයේද පාස්කු වන්දි කතාවයි. හමුදාපතිවරයා ලෙස සිටියදී හමුදා මූලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ සරත් ෆොන්සේකා වැනි අයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා කිරීමේ හැකියාවක් නැතැයි මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කීය.

"ෆීල්ඩ් මාර්ෂල්කම දෙන්න ලෝක සම්මතයක් තිබෙනවා. ඒකවත් නොසිතා තමයි මම ඒ තනතුර එතුමාට දුන්නේ. මෙතුමා ෆීල්ඩ් මාර්ෂල්කම ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් ඇඬුවා."

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පවසන විට ඊට ප්‍රතිචාර දැක්වීමට සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. දින පනහේ ආණ්ඩුව කාලේ ජනාධිපතිවරයා විවේචනය කළ හෙයින් මෛත්‍රී තමන්ට හිමිව තිබූ ආරක්ෂක ඇමැති ධුරය නොදුන් බව ඔහු පැවසීය.

"හිටපු ජනාධිපතිවරයාට මිලියන 100ක් ගෙවන්න සිදුවුණා. දැන් කියනවා කැටයක් තියාගෙන පිටකොටුවේ ඉන්නවා කියලා. කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු. ජනාධිපති කළාම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ආරක්ෂක කවුන්සිලය හරියට තියන්න ඕන කියලා දැනගෙන හිටියේ නැතිලු. එය තියෙන්න ඕන හදිසි නීතිය තියෙන කොට විතරයි කියලලු. ඒත් හදිසි නීතිය ගෙන එන්න ආරක්ෂක කවුන්සිලය තියෙන්න ඕන. මේ වැරැදි කරපු මිනිස්සු රට ගැන හිතලා දැන්වත් ගෙදර යන්න ඕන."

පසුගිය සතියේ ජාතික ජනබලවේගයද සිය මැතිවරණ මෙහෙයුම් වේගවත් කරමින් සිටින අයුරු දැකගත හැකිවිය. ලබන සතියේදී මාලිගාවත්ත ප්‍රදේශයේ දැවැන්ත ජන රැලියක් පැවැත්වීම ඔවුන්ගේ එක් අරමුණක් විය. මේ අතර නාමයෝජනා අත්සන් කිරීමේ කටයුත්ත ද ඔවුහු ඉකුත් සතියේ සිදුකළහ.

ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාකාරී පැරණි සාමාජිකයන් කිහිප දෙනකුට නාමයෝජනා නොලැබීම පිළිබඳව අමනාපයෙන් පසුවන බවට අප වෙත තොරතුරු වාර්තා විය. ඇතමුන් සමාජ මාධ්‍ය සටහන්ද තබා තිබුණි. මේ අතර අලුත් මුහුණු කොට්ඨාසවලට තරග කිරීමට දමා පැරණි ජවිපෙ ක්‍රියාකාරීන් ලැයිස්තුවලට ඇතුළත් කිරීමට ජවිපෙ නාමයෝජන කමිටු කටයුතු කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. මැතිවරණය කල් දැමීමේ උත්සාහයක් ලෙස විපක්ෂය මෙම පනත අර්ථකථනය කළේය.

පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 18 වැනිදා සවස 2.30ට කැඳවා තිබූ සාකච්ඡාවට ද විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය. මෙය පාර්ලිමේන්තුවේ සැලසුම් අභිබවා යමින් පවත්වන රැස්වීමක් විපක්ෂය කීය.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා  ජනාධිපති පාර්ලිමේන්තුව යටකරන්න සැරසෙන බවත්, කතානායකවරයාගේ වගකීම වන්නේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම බවත් අවධාරණය කතා කලේය.

"එතුමා පාර්ලිමේන්තුට ඇවිල්ල, පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක් විදිහට කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව විවාදයක් නෑ. එතුමාගේ හැසිරීම් වලින් පෙන්නුම් කරනව පාර්ලිමේන්තුවට වගකියනවා වෙනුවට, දැන් නිරන්තරයෙන් පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත් වෙමින් පාර්ලිමේන්තු බලය විධායක බලයෙන් යටපත් කිරීමට උත්සාහ දරනවද කියලා. අපිට මේ ගැන සැකයක් තියෙනවා."

මේ සමඟම ජනපතිගේ මූලිකත්වයෙන් පැවති රැස්වීම වර්ජනය කිරීමට සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේය. විපක්ෂය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුන් පමණක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එදින පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම පනත පිළිබඳ විරෝධය පළ කරමින් කතා කළේය. කෙසේ වෙතත් මෙම පනතට ඡන්දය විමසන විට පාර්ලිමේන්තුව පාළුවට ගොස් තිබුණි. විපක්ෂ මන්ත්‍රීවරුන් අතරින් 67 දෙනෙක් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 23 දෙනෙක් මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ රැඳී නොසිටියහ.

පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවිය. ආණ්ඩුවේ ඇමැතිකම් නොලැබීම පිළිබඳ කලකිරී රැඩිකල් මතයක සිටින විමලවීර දිසානායක, එස්.බී. දිසානායක, ඩී. වීරසිංහ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් හිතාමතාම මෙම ඡන්ද විමසීම මගහැර ඇතැයි කතාවක්ද පැතිර ගියේය. කෙසේ වෙතත් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතාද ජන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව කියැවේ.

බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නාමයෝජනා සකස් කිරීමට ඇති බව පවසමින් මෙම ඡන්ද විමසීම මගහැර ඇතැයි දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය සහ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිසිවක් මෙම අවස්ථාවට සහභාගී නොවීමද කැපී පෙනුණි. එනිසාම ආන්දෝලනයට තුඩුදුන් මෙම පනත අවසානයේ සම්මත වූයේ කිසිදු හැල හොල්මනකින් තොරවය.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 19දා ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී ජනපති, අගමැති සහ රාජ තාන්ත්‍රිකයන් පිරිසක් හමුවූ ඔහු ඉන්දියාව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබා දුන් සහතිකය අනුව සෙසු ණය හිමියන්ද කටයුතු කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00