2023 ජනවාරි 01 වන ඉරිදා

පොහොට්ටුවේ ඉන්න ගමන් ආණ්ඩුවෙන් යන්න හදන කට්ටිය

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 336

දේශපාලන ඕපාදූපවලින් මෙරට දේශපාලන රසික සමාජය කුල්මත් වූ සතියක් ගෙවී ගියේය. එහෙත් මෙරට දේශපාලන මඩ ගොහොරුවෙන් හමා ආවේ සුගන්ධයක් නොව දුර්ගන්ධයකි. තිරය පිටුපස බොහෝ කතා සාද පැවැති අතර නත්තල් සීතල පරයමින් මැතිවරණ උණුසුම දැඩිවෙමින් පැවති බවද හැඟුණි.

පළාත් පාලන මැතිවරණය සහ නව සන්ධාන නිර්මාණය වීම සම්බන්ධව ගෙවී ගිය සතියේ විශාල කතාබහක් ඇතිවූයේය. මැතිවරණ කොමිසම දෙසින් ලැබෙන ආරංචි අනුව ජනවාරි සිව්වැනි දා හෝ පස්වැනි දා වනවිට මැතිවරණය සම්බන්ධ නිල ප්‍රකාශය නිකුත් වීමට නියමිතය. මේ හා සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද අදහස් දක්වා තිබුණි.

දැනට පවතින ප්‍රතිපාදන අනුව මාර්තු විසිවැනිදා වනවිට පළාත් පාලන ආයතන රැස්වීමට අවශ්‍ය නම්, ජනවාරි නවවැනිදාට පෙර මැතිවරණය ප්‍රකාශයට පත් විය යුතුව තිබේ. මෙවන් වටපිටාවක් තුළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව විවිධ ආරංචි පැතිර යමින් පවතී.

"ඔය මොනවා කිව්වත් ඡන්දය අනිවාර්යයෙන්ම කල්දානවා. විදුලි බිල වැඩි වෙනවා. තව ප්‍රශ්න ගොඩක් තියෙනව. ආණ්ඩුවට ඡන්දයක් තියලා දිනාගන්න බැහැ. ආණ්ඩුව මාස කිහිපයකට හරි අවුරුද්දකට හරි ඡන්දය කල්දාන්න යන්නෙ..."

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව වෙතින්ම මෙවන් ප්‍රකාශ අසන්නට ලැබේ. ඒ අනුව ඇතැමුන් කියා සිටින්නේ නාමයෝජනා කැඳවීමෙන් පසුව මැතිවරණය කල්දැමීමේ උප්පරවැට්ටියක් ක්‍රියාත්මක වන බවකි.

කෙසේ නමුත් මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දවසට පැය 18ක පමණ කාලයක් පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කමිටුවේ කටයුතු සිදුකරමින් සිටින බව කියැවේ. නාමයෝජනා ලබාදීම වෙනුවෙන් ප්‍රාදේශීය නායකයන්, විවිධ සංවිධාන, ආසන සංවිධායකයන් කැඳවමින් ඔහු සාකච්ඡාවල නිරත වන බවද දැනගන්නට ලැබේ.

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ‍එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ඇතිවීමට යෝජිත සන්ධානය පිළිබඳ කතාව තරමක් යට ගොස් තිබේ. සති කිහිපයකට ඉහතදී නියත වශයෙන්ම මෙම සන්ධානය බිහිවන බවට කැට තැබූ බොහෝ දෙනකු මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු දැකගත හැකි විය.

ඒ අනුව දේශපාලන කරළියේ තිරය පිටුපස වූ ආරංචියක් ඔස්සේ දැනගන්නට ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය වතුකරයේ තමන්හට වාසිදායක ස්ථානවල තනිව තරග කිරීමට උත්සාහ දැරීමත්, පොහොට්ටුවේ හිටපු පළාත් පාලන නියෝජිතයන් එජාපය සමඟ හවුල් වීමට අකමැතිවීමත් හේතුවෙන් ගැටලු කිහිපයක් නිර්මාණය වී ඇති බවයි. එහෙත් මේ සම්බන්ධ නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හිටි හැටියේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බවට පුවතක් පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතියේ දේශයේ අප විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඇසුරෙන් වාර්තා කළේ හිටපු ජනාධිපතිවරයා ඩුබායි බලා පිටත්ව යන බවයි. අප තහවුරු කරගත් පරිදි සැබවින්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගිය ඉරිදා සිය බිරිඳ පුතු ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ පිටත්ව ගියේ ඩුබායි සංචාරයක් සඳහාය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය බවට පළ වූ පුවත සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට අමුතුම් රැසක් ගලා ආවේය.

"ඇයි සර් කියන්නෙ නැතුව ගියේ. ඇමෙරිකාවට යනවා නේද?"

"යුරෝපා රටකට යනවා කියලා කියන්නේ ඇත්තද?"

"මොකක්ද මේ පලවෙලා තියෙන නිවුස් එක?"

මේ ආදී විවිධ ප්‍රශ්න රැසක් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වෙත ගලා ආවේය. සමාජ මාධ්‍ය මෙන්ම පුවත්පත්ද විවිධ තොරතුරු වාර්තා කොට තිබුණි. මේ අනුව දේශයේ අපිද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අමතා මෙම පුවත් පිළිබඳ තතු විමසා සිටියෙමු.

"මේ පුවත තුළ කිසිම සත්‍යතාවයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දින කිහිපයක සංචාරයක් සඳහා ඩුබායිවලට විතරයි ආවේ. මේ පුවත කොහොම නිර්මාණය වුණාද අපි දන්නේ නැහැ. මේක හිතලා ලියපු එකක්..."

විශ්‍රාම ගෙන දේශපාලනයෙන් ඉවත් වී නිස්කලංකව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට පාඩුවේ ඉන්නට ඉඩ ලබාදෙන ලෙස, මෙවන් පුවත් නිර්මාණය කරන්නන්ගෙන් තමා ඉල්ලා සිටින බව සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කළේය. යම් හෙයකින් හිටපු ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා ගියද, කිසිවෙක් එය ප්‍රශ්නයක් කරගත යුතුව නැතැයි ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අපට දැන ගැනීමට ලැබුණු පරිදි මේ වනවිට ඩුබායි රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව අවුරුදු උදාවත් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මේ අතර ඇමැතිකම් නොලැබීම හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සහ ජගත් කුමාර ඇතුළු පිරිසක් පසුගිය සතියේ ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති මාරු හේතුවෙන් තවදුරටත් කලකිරීමට පත්ව සිටින බව දැන ගැනීමට ලැබුණි. පසුගිය සතියෙහි රටපුරා බොහෝ ප්‍රදේශවල පොලිස් ස්ථානමාරුවීම් රැසක් සිදුව තිබුණේ බොහෝ දෙනෙකු මවිත කරමිනි.

"අපි දන්නෙත් නෑ. අපිට කියන්නෙත් නෑ. අපිටත් මේ වෙලාවේ ආරක්ෂාව අවශ්‍යයි. මේ වගේ දේවල් කරන්න ඉස්සෙල්ලා, පළාතේ මැති ඇමැතිවරුන්ගේ මත විමසන්න තිබුණා මේ ගොල්ලන්ට." 

පොලිස් ස්ථානමාරු සම්බන්ධව මෙවන් චෝදනාවක් විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉදිරිපත් වූ බව කියැවෙයි.

"මේ ගැන කතා කරන්න පොලීසිය භාර අමාත්‍යවරයාව හරි අමාත්‍යාංශ නිලධාරියකු හරි සම්බන්ධ කරගන්න බැලුවා. ඒකත් හරි ගියේ නෑ. ඒ නිසා අපිට මේ ආණ්ඩුවේ ඉන්න එක ඇතිවෙලා." 

දේශපාලන ආරංචි මාර්ග අනුව මෙවන් අදහසක් දක්වා ඇත්තේ විමලවීර දිසානායක මහතාය.

විමලවීර දිසානායක මහතා මෙවැනි දෑ කියමින් පොහොට්ටුවේ ප්‍රධානීන්ටද සිය විරෝධය දැනෙන්නට ඉඩහැර ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී. තමා සමඟ තවත් දෙතුන් දෙනෙකුත් සිටින බවද ඔහු පවසා ඇතැයි කියැවේ. එහෙත් එම පිරිස කවුරුන්ද යන්න තවදුරටත් පැහැදිලි නැත. කෙසේ වෙතත් ඇමැතිකම් නොලැබීම සහ පොලිස් ප්‍රධානීන් පිළිබඳ ගැටලුව මෙම කලකිරීම් පසුපස ඇති හේතූන් බව කාටත් නොරහසකි. 

පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට හේතුවූයේ ජනාධිපති උපදේශකයකු වූ ආශු මාරසිංහ මහතා වෙත එල්ල වූ බරපතළ චෝදනාවයි. මෙම චෝදනාව එල්ල වීමට පැය කිහිපයකට පෙර ආශු මාරසිංහ මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමිනි.

අදාළ බරපතළ චෝදනාව සමාජගත කිරීමට පෙරමුණ ගත්තේ සමගි ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි. අංශු මාරසිංහව ඉතා සමීපව ඇසුරු කළ බව කියන ආදර්ශා කරඳන නමැති කාන්තාවක් විසින් මෙම චෝදනාව ඉදිරිපත් කර තිබිණි. ඇය කියා සිටියේ මාරසිංහ මහතා ඇගේ සුරතල් බලු පැටවාට ලිංගික අඩන්තේට්ටම් සිදුකළ බවකි.

මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආශු මාරසිංහ කටයුතු කළේය. එම ඡායාරූප, වීඩියෝ සංස්කරණය කළ ඒවා බව ඔහු කියා සිටියේය.

"මෙය නීතිය ඉදිරියේ තිබෙන කාරණයක්. අසත්‍ය කාරණයක්. ඒ නිසා මම මේ ගැන කතා කරන්නේ නැහැ. මගේ නීතිඥවරයා මේ ගැන කතා කරයි." ඔහුගේ නීතිඥවරයා කිව්වේ මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවකි.

මෙම සිදුවීම් පෙළෙන් පසුව තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවිය. සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ හඬපටයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වන්නට විය. ආදර්ශා කරඳන සහ බුද්ධික පතිරණ අතර සංවාදයක් එහි අන්තර්ගත විය. මත්පැන් ගැන කතාවක්ද එහි අන්තර්ගත වී තිබුණි.

"එදා ඇවිල්ලා බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා මත්පැන් පාවිච්චියක් සිදුකළේ නැහැ. මං දන්න විදියට බුද්ධික පතිරණ කියලා කියන්නේ, මාළු පාන් ගෙඩියක්වත් අරන් දෙන්න රුපියලක්වත් වැයකරන කෙනෙක් නෙවෙයි."

මෙම   හඬපටය පැරණි එකක් බව සඳහන් කරමින් ආදර්ශා කරඳන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සම්බන්ධ වූ පළකර තිබුණේ මෙවන් අදහසකි.

"ඔය හඬපටය එකපාරක් අහන්න එපා දෙතුන් පාරක් අහන්න. අනිත් එක ඔය හඬපටය 2018 නත්තල් දවසේ එකක්. මට මතක විදියට මේක 2019යේ ජනවාරි විතරත් එළියට දැම්මා. නැවතත් ජනාධිපතිවරණය කිට්ටුව එළියට දැම්මා. නැවත මහ මැතිවරණය කිට්ටුවත් එළියට දැම්මා."

ආදර්ශා කරඳන ඒ වකවානුවේ “විශ්වාසනීය හඬක්“ නමින් පදනමක් පිහිටුවාගෙන කටයුතු කරමින් සිටි බවත්, ඇය සහ තවත් දෙදෙනකු සමඟ තමන් හමුවීමට පැමිණියේ අධ්‍යාපනය හා සමාජ සුබසාධනය වෙනුවෙන් තම සමාධි පදනමත් සමග අවබෝධතා ගිවිසුමක් සකස් කරගැනීමට බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙවන් සිදුවීම් අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසින්ද විවිධාකාර දේශපාලන ආරංචි ලැබෙමින් පැවතුණි. දයාසිරි ජයසේකර ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විසිපහක තිහක පමණ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීමට යන බවකි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පාර්ශ්වය සහ මෛත්‍රීපාල පාර්ශ්වය අතර නව ගැටුමක් නිර්මාණය වූයේ සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේ කතරගමදී පක්ෂය විසින් පවත්වනු ලබන පිරිත් පිංකම සම්බන්ධයෙනි.

"සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ තිස් එක්වැනිදා කතරගමදී තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි අපේ පිරිත් පිංකම පවත්වන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වුන පිරිසක් ගිහිල්ලා ඒක ආක්‍රමණය කරලා තියෙනවා. එතැන ප්‍රධාන ආරාධිතයා බවට පත්වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා."

මෙම පිරිත් පිංකම පිළිබඳ දයාසිරි ජයසේකර මෙලෙස අදහස් දක්වද්දී මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක ඊට ප්‍රතිචාර දක්වා තිබුණි.

"ඒවට අපි උත්තර දෙන්න ඕනෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතය පිළිබඳ තියෙන අත්දැකීම් බොහොම අඩුයි. මේක ගහමරා ගන්න ඕන කාරණාවක් නෙවෙයි. මේකට අපි හැමෝටම ආරාධනා කරලා තියෙන්නේ. "අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය සාකච්ඡාවකදී එලෙස පවසන විට ඊට ඌනපූරණය සපයා තිබුණේ දුමින්ද දිසානායකයි. "ආක්‍රමණය කරලා තියෙනවා නම් කොහෙද ශ්‍රී ලංකා එක දැන් තියෙන්නෙ? එතුමාට බැරි වුණා ඒක කරගන්න. ඒක හරියට හරි."

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තම කණ්ඩායම බව හැඟවෙන පරිදි මහින්ද අමරවීර පාර්ශ්වය මේ වනවිට කටයුතු කරමින් සිටිති.

මේ අතර පසුගිය සතියේ සමගි ජනබලවේගය පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට සම්මුඛ පරීක්ෂණ අරඹා තිබුණි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සජබ ප්‍රධාන කාර්යාලයේ දෙසැම්බර් 29 වැනිදා දින හතක් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

"සම්මුඛ පරීක්ෂණ පවත්වලා සුදුසුම කණ්ඩායම අපි අපේක්ෂකයෙක් විදිහට මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරනවා. සම්මුඛ පරීක්ෂණවලට අපි දූෂිත අයව ගන්නේ නැහැ. පොහොට්ටුවෙන් අප්‍රසාදයට ලක්වෙලා ඉන්න අය ගන්නෙත් නැහැ. අපිට ඉන්නවා හොඳ පාක්ෂිකයො ටිකක්."

සම්මුඛ පරීක්ෂණ පිළිබඳ අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එලෙස කීය. සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණ පළමු දිනවලදී සජබ ප්‍රධාන කාර්යාලයේ දැඩි තදබදයක් ඇතිව තිබූ බව කියැවුණි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඇතැම් අපේක්ෂකත්වය බලාපොරොත්තු වූ පිරිස් අතර ඇතිවූ නොහොඳ නෝක්කඩු නිසාවෙන් උණුසුම් වචන හුවමාරුද සිදු වූ බවයි.

පුංචි ඡන්දය වෙනුවෙන් උතුරේද දේශපාලන සන්ධාන බිහිවීමට පටන්ගෙන ඇති බව අසන්නට ලැබේ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුත් (ඊ.පී.ආර්.එල්.එෆ්.), පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ (තමිල් මක්කල් පක්ෂය) සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීකාන්ත ප්‍රමුඛ (දෙමළ ජාතික පක්ෂය) දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වීම සාකච්ඡා කර ඇති බව කියවේ.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ නායකයන් සාම්ප්‍රදායික පක්ෂ හැර අනෙකුත් දෙමළ පක්ෂවලට තමන් සමඟ සන්ධානගත වීමට ඉඩලබා නොදීමට තීරණය කර ඇතැයි කියැවේ. ITAK-TELO සහ PLOTE යන පක්ෂ සන්ධානය දිගටම පවතිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවන් දේශපාලන කලබගෑනි අතරේ ජාතික ජනබලවේගය සමූපකාර ඡන්ද දිනා ගැනීම සඳහා ප්‍රබල අවධානයක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි අනුව මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක සමුපකාර බලය සියතට ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව කියවේ. පසුගිය සතියේ මහව බල ප්‍රදේශයේ සමුපකාර ඡන්දයේදී එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත්ව ඇත.

මේ වනවිට යුරෝපා සංචාරය නිමා කරමින් මෙරට පැමිණ සිටින ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාද රටපුරා ප්‍රාදේශීය බල මණ්ඩල ආමන්ත්‍රණය කිරීමට පටන්ගෙන ඇත. පුංචි ඡන්දෙ ඉල්ලක්ක කරගනිමින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වන බව කියැවේ. පසුගියදා කටුගම්පොලදී අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණේ ආණ්ඩුව තවදුරටත් පුංචි ඡන්දය කල් දැමීමට උත්සාහ දරමින් සිටින බවයි.

"කොමිසම රනිල්ගේ දහන් ගැටවලට අවස්ථාවක් එනකල් මේක ඇද්දා. අන්තිමට කොමිසම හිර වුණා. දැන් කියනවා ජනවාරි මාසේ පස්වෙනිදාට කලින් කියනවලු. ඇයි ඒ, ජනවාරි මාසේ තුන්වැනිදා හදිස්සියේම පාර්ලිමේන්තුව කැඳවනවා. කැඳවන්න තිබුණෙ දාහත් වැනිදා. දැන් පුංචිහේවා බලනවා එදාටත් මොකක් හරි කරයිද කියලා."

I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00