2022 දෙසැම්බර් 11 වන ඉරිදා

රනිල්- බැසිල් රහස් කතාවක

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 428

දේශපාලන අහුමුළුවල කතා සාගරයකි. සමහරුන් පිටු පෙරළන අතරේ තවත් සමහරු හොඳම පිටුව පෙරළෙන තුරු බලා සිටිති. සාදයද හමාර නැත. අයවැය විවාදයෙන් නිතර පාර්ලිමේන්තුව උණුසුම් වේ. දේශපාලන පක්ෂ අතර කල්ලිවාදය දළුලා වැඩෙන්නට පටන් ගෙන ඇත. මහජනයා තක්බීර් වී බලා සිටිති. විසඳුම් කෙසේ වෙතත් සැනසුම් නමැති තවත් සතියක් ගෙවී ගොසිනි.

පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පැමිණි පසු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවීමේ බලාපොරොත්තුවෙන් පසුවූයේය. විවිධ වැඩ රාජකාරි නිසාවෙන් අවස්ථා කිහිපයකදීම බැසිල් - ජනපති හමුව පමාවිය. එහෙත් අවසානයේ සතියකට ඉහතදී එම දිනය උදාවූයේ පොහොට්ටුවේ ඇමැතිවරු තුළ බලාපොරොත්තු දල්වමිනි.

බැසිල් රාජපක්ෂ සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති පැය එකහමාරක පමණ පෞද්ගලික සාකච්ඡාව පිළිබඳ තොරතුරු අප වෙතද ගලා ආවේය. ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම, රටේ අනාගතය, මැතිවරණවලට මුහුණදීම ආදී වූ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා වී ඇති බව කියැවේ.

"දැන් ඇමැතිකම් සම්බන්ධ කාරණාවට මොකද වෙන්නේ. ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකුත් පත්කරන්න තියෙනවා."

සාකච්ඡාව අතරවාරයේදී මෙවන් විමසුමක් බැසිල් රාජපක්ෂ පාර්ශ්වයෙන් ජනපති වෙත ඉදිරිපත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී දැනට සිටින ආණ්ඩුකාරවරුන් අතරින් පස්දෙනෙක් ඉවත් නොකොට ඉදිරියටත් තබාගැනීමට රනිල් - බැසිල් එකඟතාවයක් ගොඩනැගී ඇතැයි කියැවේ. ඒ අනුව පත් කෙරෙන්නේ නව ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පමණි. මෙහිදී එම පත් කිරීම් නම් ගම් සහිතවම සාකච්ඡා වූ බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොහොට්ටුව අභ්‍යන්තරයේ පැතිර කතාව වූයේ "එන සතියේ ඇමැතිවරු පත්කරනවා. ආණ්ඩුකාරවරුත් පත්කරන්න තීරණය කරාලු" යන්නයි.

"සර්, ඇත්තද ඇමැතිකම් දෙනවා කියලා කියන්නෙ. කාවද නම් කරල තියෙන්නේ. කාටද ලැබෙන්නේ. කාටද නොලැබෙන්නෙ?"

ගෙවීගිය සතියේ පොහොට්ටුවේ ඇතැමුන් මේ ගැන විමසීමත් සිය ප්‍රධානීන්ගෙන් සිදුකර ඇත. බැසිල් - රනිල් හමුවෙන් පසුව ඇති වූ මෙම දේශපාලන කලබැගෑනි මේ සති අන්තය වනතුරුද නිමා වී නොමැති බව පෙනී යයි.

මේ අතර පසුගිය සතියේ සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් නිසාවෙන් සමගි ජනබලවේගය තුළද යම් ගාලගෝට්ටියක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා යුදහමුදාව විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් සකස් කරදුන් ආරක්ෂිත ගමන් මල්ල පිළිබඳ කතා කරමින් ඇය මෙම ප්‍රකාශය කළාය.

"මේ රට භාගයකට වඩා විකුණලා ඉවරයි. දැන් රටේ සුරක්ෂිත දෙයක් කියලා හංගන්න තියෙන්නෙ එයාගෙ...."

සමගි ජනබලවේගයේ හෝකන්දර වනිතා බලමණ්ඩලයේ රැස්වීමේදී හිරුණිකා සිදුකළේ එතරම් සභ්‍ය ප්‍රකාශක් නොවේ. විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාසද මෙම සභාවේ රැඳී සිටියහ. ජලනි ප්‍රේමදාස මෙම ප්‍රකාශයට සිනාසෙන විට සජිත් ප්‍රේමදාස මේ ප්‍රකාශයෙන් මවිතවන අයුරු දැකගත හැකිවිය.

"අන්තිමට හරිම හිරුණිකා පැන්නා. මෙච්චර වෙලා කන්ට්‍රෝල් එකේ හිටියේ නායකතුමා ඉන්න නිසා. මට ඉතින් ඔය වගේ දේවල්වලට ඔහොම උත්තර තමා දෙන්න තියෙන්නෙ." පෙර කී ප්‍රකාශය අවසානයේ නැවත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කීවේ මෙලෙසය.

කෙසේ වෙතත් මෙම කතාව නිසාවෙන් සමගි ජනබලවේගයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිපුණු බව අසන්න ලැබේ. මේ අතර පසුගිය සතියේ සජබ විශේෂ රැස්වීමකට පැමිණි මන්ත්‍රීවරු මෙම ප්‍රකාශය පිළිබඳ කතාබහ කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

"නායකතුමා දැනගන්න ඕනෑ, මෙයාව මෙච්චර උඩ දාන්න හොඳ නෑ කියලා. මේ වැඩ නිසා පක්ෂය හදාගත්ත ප්‍රතිරූපය විනාශ වෙනවා."

මේ අතර ඉහත සතියක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, නාමල් රාජපක්ෂ සම්බන්ධව කී කතාවක් පිළිබඳවද නාමල් සමඟ පොහොට්ටුවේ පිරිස් කතාබහ කර තිබේ. නාමල් රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි.

"මම නම් එයා කියන දේවල්වලට උත්තර දෙන්නෙ නෑ. එයා පොඩි කාලේ ඉඳන් ඔහොම කතා කියනවා."

පසුගිය සතියේ දිනක කොළඹ හිල්ටන් හෝටලයේ සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සුවිශේෂී සාද දෙකක් පැවැත්වුණි. හිල්ටන් හෝටලයේ සාදය සංවිධානය වූයේ හිටපු අගවිනිසුරුවරයකු වූ අශෝක ද සිල්වා මහතාගේ නීතිඥ වෘත්තියට වසර 50ක් සැපිරීම නිමිත්තෙනි. අශෝක ද සිල්වා තම සරසවි පන්ති සගයකු වූයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊට සහභාගි විය.

බත්තරමුල්ලේ පැවති සාදය සංවිධානය කර තිබුණේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ය. කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ ඇතුළු පිරිසක් මෙම සාදය සංවිධානය කිරීමට කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර සාදය සංවිධානය කිරීමට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේද සහාය ලැබී ඇතැයි කියැවේ.

මෙම සාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආරාධනා ලැබී තිබුණි. කෙසේනමුත් පොහොට්ටුවේ තවත් පිරිසකට මේ සඳහා ආරාධනා නොලැබුණේය. ඒ අතර නාමල් රාජපක්ෂ, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ඩී.වී. චානක ඇතුළු පිරිසකගේ නම් කියැවුණි.

"සාදය පටන් ගත්තට පස්සෙ තමයි අපිට ආරාධනා ලැබුණේ. ඒ නිසා අපි ගියේ නැහැ."

ආරාධනාවක් නොලැබුණු පිරිසට පසුව ලැබුණු ආරාධනාවක් පිළිබඳවද එවන් තොරතුරක් අප වෙත ගලා ආවේය. ඒ අතර සුවිශේෂීම කරුණ වූයේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන රාජපක්ෂවරුන් තිදෙනාම මෙම සාදය වර්ජනය කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතා සාදයට නොපැමිණීම සම්බන්ධව පිරිස ඔහු අමතා විමසීමක්ද සිදුකර තිබේ.

"මම මේ මැදමුලනේ ආවා. අද මෙහි ඉන්නේ."

කෙසේ වෙතත් ජනපති රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් සාදයට පැමිණියහ. මන්ත්‍රී කණ්ඩායම පිරිස කා බී විනෝද වූහ. සාදය පැය ගණනක් පුරා පැවැත්වුණි. ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් නර්තනයේ යෙදෙද්දී මහින්දානන්ද අලුත්ගමගේ ගී ගැයූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙහි පැමිණියේ රාත්‍රී හතහමාරට අටට පමණය. ඩග්ලස් දේවානන්ද, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හිටපු ජනාධිපතිවරයා පිළිගෙන ඔහු සමඟ කතාබහ කරමින් සිටිහ. අනතුරුව සාදයට පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ‍ මේසයේ අසුන් නොගෙන, සාදයට පැමිණි මැති ඇමැතිවරුන් අසලට ගොස් ඔවුන් සමඟ කතාබහේ යෙදුණු බව කියැවේ.

"මගේ නීතිඥ වෘත්තිය ජීවිතයට අවුරුදු 50 පනහක් සැපිරීම නිමිත්තෙන්, නීතීඥවරු එකතු කරගෙන පොඩි සාදයක් පැවැත්වූවා. එතන හිටපු නීතිඥයෝ මට හොඳ කතාවක් කිව්වා."

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම කතාව කියන විට, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහු අසල සිටියේය.

"ජනාධිපතිතුමා ඔයා හිටියට වඩා හොඳයි. අපිට ගෝඨාභය මහත්තය හිටිය නම්. එතුමා හිටියා නම් අපිට අරගලයත් කරගෙන යන්න තිබුණා. ඔබතුමා ආවා මෙතැන ප්‍රශ්න ටිකත් විසඳුණා."

අරගලයේ සිටි නීතිඥවරුන් තමන්ට කී කතාව ජනපති පිරිසට කියන අතරේ සාදයේ තවත් අපූරු සිදුවීමක් සිදුවිය. මධුවිතෙන් සප්පායම් වී සිටී මැති ඇමැතිවරුන් අතරේ සිටි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හමුවට පැමිණියේය. මීට සති කිහිපයකට ඉහත පාර්ලිමේන්තුවේදී මේ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවූයේ පාර්ලිමේන්තු කාරක සභාවේ පත්කිරීම් සම්බන්ධවය.

“අනේ ලේකම්තුමා මම කනගාටු වෙනව. මම එදා කලබල වුණා. පරණ කතා අමතක කරලා අපි ඉස්සර වගේ සුහදව වැඩ කරමු."

සාගරගේ දෑත අල්ලාගත් රණවීර ඇමැති එසේ කියූ බව දැනගන්නට ලැබුණේ පොහොට්ටුවේ ආරංචි මාර්ග ඔස්සේය.

“නෑ නෑ මං ඕව ගණන් ගන්නෙ නෑ. අපි සුහදව වැඩ කරමු. මං දන්නවනෙ ඔයාගේ හැටි." 

මේ ආදී වශයෙන් සාගර කාරියවසම් සහ ප්‍රසන්න රණවීර අතර අපූරු සංවාදයක් දික් ගැසී ඇත.

පොහොට්ටුව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නොපැමිණි මෙම සාදය පිළිබඳ දේශපාලන කරළියේ බොහෝ කතා පැතිර ගියේය. සංවිධායකයන්ගේ අවුල් පිළිබඳව සහ යටි අරමුණු පිළිබඳව විවිධ කතා අසන්නට ලැබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගත් තීරණය පිළිබඳව පසුගිය සතියේ හිටපු ජනාධිපතිනිය ප්‍රතිචාර දැක්වූවාය.

“මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි. වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් විසින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවාදෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැකගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි."

නිවේදනයක් නිකුත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිවරිය එලෙස ප්‍රකාශ කළාය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ද පසුගිය සතියේ සිදුවූයේ අකරතැබ්බයකි. තමාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය  ප්‍රතික්ෂේප කළේය.

මෙම කතා මැද ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව නිර්මාණය කරගන්නට යන නව දේශපාලන සන්ධානයක් පිළිබඳව ඉඟි දේශපාලන කරළියේ පළවෙමින් තිබුණි. දේශපාලන අහුමුළුවල කියවුණු එම තොරතුරු තවදුරටත් ස්ථිර කරමින් කතා කළේ මහින්දානන්ද අලූත්ගමගේය. 

මේ සන්ධානය පිළිබඳව ඔහු සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රසිද්ධ වේදිකාවක කී කතාවක් නිසාවෙන් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ අවධානය ද නව සන්ධානය කතාව වෙතට යොමු විය.

“එළඹෙන පළාත් පාලන මැතිවරණය ආවොත් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වාමාංශික බලවේග ගණනාවක් පොදු සන්ධානයකින් තරග කිරීමට අපි ලෑස්තියි. කවුරු මොනව කිව්වත් ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරවන්න අපිට හැකියාව තියෙනවා."

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීරගේ නායකත්වයෙන් යුතු ‘දෙවැනි පරපුර’ ඇතුළු නව දේශපාලන පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කළ බවද පසුගිය සතියේ දැනගැනීමට ලැබුණි. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයැදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ යැයි මාධ්‍ය වාර්තා ද පළ වූයේය.

ලද දේශපාලන තොරතුරු අනුව කෝඩුකාර පක්ෂ 7 වූයේ එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවැනි පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂයි.

ජනතා විමුක්ති පෙරමුණද පසුගිය සතියේ යුරෝපා සංචාරයක් අරඹා තිබුණි. යුරෝපයේ පදිංචි සිය දේශපාලන ආධාරකරුවන් හමුවේ ඔවුන් දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අතර ඉදිරි දේශපාලන කටයුතු සඳහා පක්ෂයට ආධාර ලබාගැනීම ද මෙම සංචාරයේ අරමුණක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 10, 11 දිනවල ඉතාලියේ නාපෝලි, ෆිරෙන්සේ, මිලානෝ යන නගරවල සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමට නියමිත විය. මේ අතර බිමල් රත්නායක, ටිල්වින් සිල්වා යන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ක්‍රියාකාරීහු ද යුරෝපා සංචාරයට එකව සිටියහ.

එම පිරිස රුමේනියාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි යුරෝපයේ තවත් රටවල පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. එසේම එම රටවල විවිධ දේශපාලන පක්ෂ සමඟ සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට ද ඔවුන් කටයුතු  කරනු ඇතැයි කියැවේ.

පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ 2022 ආර්ථික සමුළුවේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කී කතාවක් නිසාවෙන් යම් දේශපාලන තිගැස්මක් නිර්මාණය විය.

“ආර්ථික ස්ථායිකරණයෙන් පසු අප කුමක් කළ යුත්තේද? මොනවද අපිට ප්‍රතිසංස්කරණ පිළිබඳ තියෙන සැලසුම්. අවංකවම මට ප්‍රතිසංස්කරණ පිළිබඳ සැලසුමක් නෑ. මම දන්නෙ නැහැ අර්බුදය අවස්ථාවේ ප්‍රතිසංස්කරණ සාර්ථක වෙයිද කියලා. ප්‍රතිසංස්කරණ කරන්න නං ආර්ථිකයක් තියෙන්න ඕනෑ."

ජනපති සිදු කළේ දීර්ඝ කතාවකි. චීනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුවන සාකච්ඡා සහ ආර්ථිකය ස්ථායිකරණ ක්‍රියාවලිය පිළිබඳ එහිදී කියැවුණු නමුත්, මාධ්‍යයේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබුණේ කතාවේ ඉහත කොටස සම්බන්ධවයි. එම නිසාම ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධව රජයට අදහසක් නැතැයි යන චෝදනාව දේශපාලන කරළියේ මතුවෙමින් තිබුණි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ද මේ පිළිබඳ සංවාදයක් ඇතිවූ බවට තොරතුරු දේශපාලන ආරංචි ඔස්සේ දැනගන්නට ලැබුණි.  ජනාධිපතිවරයා කළ කතාව පිළිබඳ වජිර අබේවර්ධන මහතා සහ ආශු මාරසිංහ මහතා ජනපතිගෙන්ම විමසා ඇත. ආරංචි අනුව එහිදී ඇතිව ඇත්තේ මෙවන් සංවාදයකි.

“ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සර්ටත් ආණ්ඩුවටත් අදහසක් නැහැයි කියලා සර් කියලා තියෙනව නේද?”

“ඔව් ඇයි මොකක්ද එතන තියෙන ප්‍රශ්නය?"

“නෑ සර්, එතකොට රටට වැරදි අදහසක් යන්න පුළුවන්නෙ."

“දැන් ප්‍රතිසංස්කරණ කරන්න තරම් ආර්ථිකයක් අපිට නැහැ. දැන් කරන්න ඕනෑ ආර්ථිකයක් මුල ඉඳන්ම හදන එක. එහෙම නැතුව මේ වැඩේ කරන්න බැහැ."

මේ අතර වැරදි රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොළොත්භාවයට ගෙන ගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී කීවේය.

පසුගිය බ්‍රහස්පතින්දා 2023 අය-වැය තෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසුම වැඩි ඡන්ද 43කින් සම්මත වීම ගෙවී ගිය සතියේ ප්‍රධානතම දේශපාලන සිදුවීම විය. එහිදී අය-වැයට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් ලැබුණි.

සභාවේ රැඳී සිටි නමුත් මන්ත්‍රිවරු දෙදෙනෙක් අය-වැයට ඡන්දය දීමෙන් වැළකී සිටියහ. වේලු කුමාර් මන්ත්‍රීවරයා සහ සී.වී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න හා දුමින්ද දිසානායක යන විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය දීමද විශේෂයකි.

කෙසේ වෙතත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරු දහනම දෙනෙක්  පාර්ලිමේන්තුවේ නොසිටියහ. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙන්ම පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ද අය-වැයට විරුද්ධව ඡන්දය ලබා දුන්හ. දෙමළ ජාතික සන්ධානය ඡන්දය පැවැත්වෙන අවස්ථාවේ සභා ගර්භයේ පිටත රැඳී සිටියේය.

දේශපාලන කරළියේ පැතිර ගිය ආරංචි අනුව අය-වැය තෙවැනි වර ඡන්ද විමසීමේදී සිදුවේ යැයි කී පක්ෂ මාරුව මෙහිදී සිදු නොවුණි. විපක්ෂයේ කිහිප දෙනකු ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටි නමුත්, ආණ්ඩුවට එක්වීමෙන් පසුව ඔවුනට ලැබෙන තනතුරු පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් නොවීම හේතුවෙන් එම කිහිප දෙනාගේ පක්ෂ මාරුව කල් ගොස් ඇතැයි ඇතැම්හු පවසති.

I චමිඳු නිසල් ද සිල්වා 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00