2022 නොවැම්බර් 27 වන ඉරිදා

රනිල් - බැසිල් හමුවූ විශේෂ අමුත්තා!

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 322

කතා සාද සපිරි තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. අය-වැය විවාදයෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුවේ විවිධ රැඟුම් බහුල විය. සමහරු බිම ඉඳගත් අතර තවත් සමහරු ගුටිකෙළි සංදර්ශන සඳහා සැරසුණි. එහෙත් බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුවේ පැති මාරු සෙල්ලම ගෙවී සතියේ සිදු නොවීය. නමුත් රහස් සාකච්ඡාවල නම් හිඟයක් නොවුණි.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පැවතියේ පසුගිය අඟහරුවාදාය. මෙම ඡන්ද විමසීමේදී පක්ෂ මාරුවක් සිදුවෙතැයි දේශපාලන කරළියේ ආරංචි පැතිර ගොස් තිබුණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. තෙවැනි වර ඡන්ද විමසීම තෙක් පැති මාරු කල්ගිය බව සමහරු කීවෝය.

කෙසේ වෙතත් ඡන්ද විමසීමට පෙර විපක්ෂයේ කණ්ඩායම් අතර සිදුවූ සාකච්ඡා කිහිපයක් පිළිබඳවද දේශපාලන ආරංචි තිබේ. ඩලස් පාර්ශ්වය සහ සමගි ජනබලවේගය අතර පැවති සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැති බව දැනගන්නට ලැබේ.

මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඩලස් පාර්ශ්වය වෙනුවෙන්ද, සමගි ජනබලවේගය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක යන මහජන නියෝජිතයන්ද මෙම සාකච්ඡාවට එක් වී ඇත.

''අය-වැය ආණ්ඩුව දිනයි. ඒත් අපි විරුද්ධ වෙන්න ඕනෑ. මේකෙන් කිසිම ප්‍රශ්නෙකට සාධාරණ විසඳුමක් දීලා නෑ'' පිරිස අතරින් මතු වූ මෙම අදහසට සියලුදෙනාම පාහේ එකඟ වූහ. සාකච්ඡාව තරමක් දික් ඇදෙද්දී අය-වැය පසෙකට ලා පුංචි ඡන්දය පිළිබඳව කතා කිරීමට පිරිස කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''අපි මැතිවරණ කොමිසම එක්ක විතරක් සාකච්ඡා කරලා මදි. අපි රටේ ජනමතයක් හදන්න ඕනෑ ඡන්දෙ තියන්න කියලා'' මෙවන් අදහසක් මතුකර තිබුණේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. ''අපි ඡන්දෙට ලෑස්ති වෙමු. මැතිවරණ කොමිසම ඡන්දය තියයි. මට පෞද්ගලිකවම ආරංචි වුණා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඡන්දය තියන්න ඕනෑ කියලයි දැඩි ස්ථාවරයක ඉන්නව කියලා'' විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පවසන විට ජී.එල්. පීරිස් මහතා නැවත පවසා ඇත්තේ,
''මැතිවරණ කොමිසම ඔය විදිහට විශ්වාස කරන්න එපා. ඒ අයටත් ආණ්ඩුවේ දේශපාලන බලපෑම එල්ල වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒගොල්ලො මොන වගේ තීරණයක් ගනීද දන්නේ නෑ'' කියාය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එලෙස අවවාදාත්මක ස්වරයෙන් විපක්ෂනායකවරයාට ප්‍රතිචාර දැක්වූ බව කියැවේ.

මෙම සාකච්ඡාවේදී පුංචි ඡන්දය පවත්වන ලෙස ඉල්ලා අධිකරණය හමුවට යා යුතු බව තිස්ස අත්තනායක මහතා යෝජනා කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එහිදී ජී.එල්. පීරිස් මහතා පවසා ඇත්තේ නඩු මඟට බැසීමට ඡන්ද නාමලේඛනය සහතික කරනතුරු සිටිය යුතු බවයි. එවන් අවස්ථාවකදී එම නඩුව ජයගැනීමට පවා අවස්ථාවක් ඇතැයි එහිදී මහාචාර්යවරයා පවසා තිබේ.

කෙසේ හෝ අඟහරුවාදා පැවති 2023 අය-වැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 37කින් සම්මත විය. ඡන්දය විමසීමේදී අය-වැයට පක්‍ෂව ඡන්ද 121ක්ද, විරුද්ධව ඡන්ද 84ක් ලැබිණි. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනකු පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වය විය. සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අය-වැයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ.

විමල් ඇතුළු කණ්ඩායම සහ ඩලස් ප්‍රමුඛ කණ්ඩායම අයවැයට විරුද්ධ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදුන්හ. එහෙත් දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, ජෝන් සෙනවිරත්න යන පිරිස අයවැයට පක්ෂව වූහ. ඒ අතර අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳවද දේශපාලන කරළියේ කතා බොහෝ විය. ජනවාරියේදී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බැසිල් රාජපක්ෂ හදිසියේම ලංකාවට පැමිණීම පිළිබඳ රහස කුමක්ද? එය බොහෝ දෙනකුට පැනයක් විය.

ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ විදේශ අමුත්තෙක් මුණගැසීම පිණිස මෙලෙස ඔහු ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබේ. එම අමුත්තා බැසිල් රාජපක්ෂට අමතරව හමුවී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කියැවේ. කෙසේ වෙතත් ඔහු කවරෙක්ද? කුමන අරමුණකින් පැමිණියේද? සාකච්ඡා කළේ මොනවාද? යන්න පිළිබඳ කිසිවක් මේ වනතුරුත් අනාවරණය වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. බැසිල් රාජපක්ෂගේ හදිසි ලංකාගමනයට හේතු මෙම විදේශ අමුත්තා අතිශය වැදගත් පුද්ගලයකු විය යුතුය.

දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණු පරිදි ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමකට කල් ඇතිව පණිවිඩ ලැබී තිබුණි. ඒත් මේ සඳහා සහභාගි වී සිටියේ සීමිත පිරිසකි. බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිටියදී තම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳවද ඇතැමෙක් අමනාපයෙන් සිටින බව කියැවේ.

ලංකාවට පැමිණීමෙන් පසු නෙළුම් මාවතේ පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. මෙහිදී පුංචි ඡන්දය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''මේ පළාත් පාලන ඡන්දෙ තියන්න අපි විරුද්ධ වෙන්න ඕනේ නෑ. කවුරු දිනුවත් පැරදුණත් මේ ඡන්දය මාර්තු මාසයේදී තියන්න ඕනෑ. අපි දිගටම ඡන්දය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක්. අපි මේකට මුහුණ දෙමු'' පිරිස සමග එක්ව සාකච්ඡා කිරීමේදී බැසිල් රාජපක්ෂගේ මතය මෙවැන්නක් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

''දැන් බලන්න යහපාලන ආණ්ඩු කාලයේ පළාත් සභා ඡන්දය කල් දැම්මා. දැන් ඒක තියාගන්න බැරි මැතිවරණයක් වෙලා'' මෙලෙස අදහස් දක්වා ඇත්තේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ය. මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ජනමත විමසුමක් ලෙස සලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවදානමක් මතුවීම පිළිබඳවද කතාබහක් නිර්මාණය වී ඇත.

''නෑ එහෙම කරන්න බෑ. 2018 ඉද්දී පළාත් පාලන මැතිවරණය අපි දිනුවා ඉහළින්ම. ඒ කියලා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බෙ නෑ. ඒ ඒ මැතිවරණ අදාළ කාලවලට තිබ්බම හරි'' සාගර කාරියවසම් ඇතුළු පිරිස මෙහිදී මතුකර ඇත්තේ මෙවැනි අදහසකි.

තවත් දේශපාලන ආරංචියකට අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව තනියම තරග කරන්නේ නම් එය සිදුකළ යුතු ආකාරය පිළිබඳව විමසා බලන ලෙස බැසිල් රාජපක්ෂ පිරිසකට උපදෙස් දී ඇත. එසේම එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කණ්ඩායමක් සමග හවුලේ තරග වදින්න නම් එය සිදුකරන ආකාරය පිළිබඳ විමසා බැලීමටද පොහොට්ටුවේ කණ්ඩායමකට ඔහු නියම කොට ඇතැයි කියැවේ. 

මේ අතර පළාත් සභා ඡන්දය පිළිබඳ නැවතත් දේශපාලන කරළියේ සංවාද ඇතිවූයේ මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

''මහජන නියෝජිත ආයතනයක් වන පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරයෙකුගේ හෝ නිලධාරීන්ගේ පාලනයකින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කොහෙත්ම එකඟ නෑ. එමනිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියන ස්ථාවරයේ මැතිවරණ කොමිෂන් සභාව ඉන්නවා.''

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම විවේචනාත්මක අදහස් දක්වා තිබුණේ මැතිවරණ කොමිසම සහභාගී  වූ අනුරාධපුරයේ පැවති විශේෂ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදීය.

බදාදා පාර්ලිමේන්තු විවාදයේදී නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූයේය. චමින්ද විජේසිරි ලන්සාට පහර දීමට සැරසුණු බවත්, මෙම ගැටුම ගුටි කෙළියක් දක්වා දුරදිග යාමට ඉඩ තිබූ බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් ලැබී ඇති ආරංචි අනුව මෙම ගැටුම ඇතිවූ මොහොතේ එය සමනය කිරීමට විශේෂ උත්සාහයක් දරා ඇත්තේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාය.
මෙම සිදුවීමත් සමඟ නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙසේ පැවසීය. 

"ගරු කතානායකතුමා.. මම මගේ අදහස ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව තුළ. එතුමාට මට එක ෂොට් එකෙන් ගහන්න පුළුවන්. මම ඒ තත්ත්වයට ගියේ නෑ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න. ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා මට පිටිපස්සට ඇවිල්ලා ගහන්න හදපු කෙනාට පාර්ලිමේන්තුවේ නීති රීති අනුව කටයුතු කරන්න." 

“ඔව් කටයුතු කරනවා. අද දිනයට එතුමා රාජකාරියට සම්බන්ධ කර ගන්නෙ නෑ" කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රතිචාරය එය වූ අතර, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට සභා ගැබෙන් ඉවත්වන ලෙස නියෝග ලැබුණි. මේ අවස්ථාවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙක් ලන්සා වෙනුවෙන් පෙනී සිටියහ.

කෙසේ වෙතත් නැවත සවස චමින්ද විජේසිරි පාර්ලිමේන්තු සභාගැබේ රුදී සිටි අතර ඔහු කතාවක් ද සිදු කළේය. සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් ලන්සා පිළිබඳ ඔහු සිදු කළේ තදබල විවේචනයකි.

“චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා උදේ එළියට දැම්මා. දැන් කොහොමද මෙතැනට ඇවිල්ලා කතා කරන්නෙ." මෙලෙස ප්‍රශ්න කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතාය. 

“ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන දන්නේ නෑ. ඔබතුමා වැඩි කාලයක් හිටියේ හිරේ." තමන් ස්ථාවර නියෝග අනුව සභාවට පැමිණි බව චමින්ද විජේසිරි පැවසීය. 

එම අවස්ථාවේදී  මුලසුනේ මන්ත්‍රීවරයා ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත් කළේ ඒ මොහොතට පමණක් බව කීවේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව සිදුවීමෙන් පසු චමින්ද විජේසිරි කතානායකවරයා හමුවට ගොස් කතාබහ කොට සමතයකට පැමිණ ඇත. තවද මෙම ඉවත් කිරීම තාවකාලිකව සිදුවූ ඉවත් කිරීමක් බවත් දිනක් සඳහා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එහිදී අනුගමනය කොට නැති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

ගෙවී ගිය සති කිහිපය තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කාගේත් අවධානය දිනාගන්නා සැර කතා කිහිපයක්ම කීවේය. අයවැය කාරක සභා අවස්ථාවේ පළමු දිනයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් කතාවක් සිදු කළේය. 
“මන්ත්‍රීවරු 196ක්ම මෙතනට ආවේ ඡන්ද දායකයන්තේරුව නිසා. දැන් හොඳ වෘත්තියවේදීන් කියනවා අපිට ඊළඟ ඡන්දයට එන්න බැහැ කියලා. බිරිඳ කියනවාලු ගිහින් ගේ ගිනි තියාගන්න එපා කියලා. එහෙනම් අපි මේ අයට ආරක්ෂාව දෙන්න ඕනේ. වන්දි දෙන්න ඕනේ." 

මේ අතර ජනපති පාර්ලිමේන්තු කතාවකදී කී "ඩීන් ඩියම්" නම් චරිතය කවුරුන්ද යන්න පිළිබඳ කුතුහලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුළ ඇතිවූ බවක් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එනිසාම රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා ජනපතිගෙන් මේ පිළිබඳ විමසා තිබේ. 

“කවුද සර් අර කතාවේ කියපු ඩීන් ඩියම්"

ජනාධිපති ලේකම් සහ, ආශු මාරසිංහ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු කිහිප දෙනකු මෙම ප්‍රශ්න ජනපතිට ඉදිරිපත් වන අවස්ථාවේ එහි රැඳී සිට තිබිණි.

“දකුණු වියට්නාමේ රජතුමාව ඉවත් කරලා ඇමෙරිකානු ප්‍රංශ හමුදා සහාය ඇතුව බලයට ආපු කෙනෙක් තමා ඩීන් ඩියම් කියන්නෙ. වැඩි විස්තර ඕනෑ නම් විකිපීඩියා සර්ච් කරල බලන්නකෝ."

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරගලය මර්දනය පිළිබඳ කතා කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තරමක් කිපී සිටියේය. අරගලය නිසා ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ මහතා හරි නම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගලකරුවන්ට වැඳිය  යුතු යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා කියා තිබුණි.

පසුගිය සතියේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධව ද කතාවක් කරළියට පැමිණියේය. මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක පමණ වැටුපක් ලබන බව දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම කීහ.

මෙම චෝදනාව පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමන්ට එවන් වැටුපක් නොලැබෙන බව මහ බැංකු අධිපතිවරයා කීවේය.

“මට ලක්ෂ 25ක වැටුපක් කියන කතාවත් සම්පූර්ණ බොරුවක්. මම මහ බැංකුවේ අධිපති විදියට, මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කරලා ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා. මහ බැංකු අධිපති විදියට මම ආවා. මෙතෙක් කල් හිටිය හැම අධිපතිවරයාටම ලැබෙන යම්කිසි වැටුපක්, වාහනයක්, නිවෙසක් ලැබෙනවා නම් මට ලැබෙන්නේත් ඒකම තමයි.

මහ බැංකු අධිපති වශයෙන්, රජයේ නිලධාරියකු වශයෙන් මම කියන්න ඕනේ, මහ බැංකු අධිපති විදිහට මට ලැබෙන වැටුප මාසෙකට ලක්ෂ 4යි. මට ලැබුණු විශ්‍රාම වැටුප ලැබෙනවා."

මේ අතර මහ බැංකු අධිපතිවරයා තවත් අලුත් වැඩකට අත ගසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අපනයනයෙන් උපයන ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන නොඑන ව්‍යාපාරිකයන් පිළිබඳ තොරතුරු රටට හෙළිකර ඔවුන් උපයාගත් ආදායමත් සමඟ රුපියල් බවට පත් කිරීමට පියවර ගැනීමට බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සූදානම් වන බව කියැවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ප්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව පක්ෂයේ ප්‍රධාන තනතුරු දැරෑ කිහිප දෙනකු තනතුරුවලින් නෙරපා අලුත් අය ඒ සඳහා පත්කිරීමට ඉකුත් සතියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රීලනිපය සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අයවැයට විරුද්ධ වන බවට මධ්‍යම කාරක සභාවේදී එකඟ වී පසුව අයවැයට පක්ෂ වීම පිළිබඳ චෝදනාව ඔහුට එල්ල වී ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ලේකම්වරයා ලෙස පත් කෙරුණු තිලංග සුමතිපාල මහතාට එරෙහිව ද පිරිසක් සංවිධානය වී සිටිති. ඒ අනුව තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ඉතා නුදුරේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වනු ඇති බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විශ්වාසයකින් සිටින බවකි. ශ්‍රිලනිපයෙන් බිදී ගිය පිරිස් මේ සඳහා සංවිධානය වන බවට කතාවක් දේශපාලන කරළියේ පැතිර යයි.

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ නව නගර ශාලාවේ පැවති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු වැඩසටහනකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහභාගි වීම ද සුවිශේෂී සිදුවීමක් විය. ඉතිහාසයේ පළමු වරට ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවකට මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වී සිටියේය.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු  පිරිසක් මේ සඳහා සහභාගී වූහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය බොහෝ දෙනකු අපේක්ෂා කළ නමුත් ඔහු ඊට සහභාගී නොවීම මෙහිදී  කැපී පෙනුණි.

 චමිඳු නිසල් ද සිල්වා