2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඇමැති පදවිවලට කඹ ඇදිලි

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 371

ගෙවී ගියේ තවත් දේශපාලන කයි-කතන්දරවලින් පිරුණු සතියකි. උද්ඝෝෂණ විරෝධතා අතර සුපුරුදු දේශපාලන හූවත් අසන්නට ලැබුණි. තනතුරු පැතූවන් එම තනතුරු නොලද දුකින් වැළපුණු අතර දේශපාලන තරවටු කිරීම් පිළිබඳ කතාද පැතිර ගියේය. එළඹෙන අයවැය පිළිබඳ සංවාද විසංවාද බොහෝ විය.

සියල්ලෝම පුල පුලා බලා සිටින ඉතිරි කැබිනට් පත්වීම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර සංවාදයක් හටගෙන තිබේ.

"දැන්ම මේ ඇමැතිකම් දෙන්න කාලේ නෙවෙයි. තව ටික දවසක් ඉඳලා තමයි පත්වීම් දෙන්න ඕන..."

සංවාදය පුරාවටම ජනපති විසින් ඉදිරිපත් කරනු ලබන අදහස එය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පොහොට්ටුවේ පිරිස් මේ සම්බන්ධව සිටියේ අමනාපයෙනි.

"පත්වීම් 12ක් තියෙනවා... දැන්  ජනාධිපතිතුමාට පත් කරන්න. ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත වුණේ..."

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු බොහෝ  දෙනෙක් මෙම මතයේ සිටිති. ඔවුන් පෞද්ගලිකව හමුවන විට නිරන්තරව මේ පිළිබඳ සාකච්ඡා කරන බවද දැනගන්නට ලැබේ. මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දහ දෙනකුගෙන් පමණ සමන්විත ලැයිස්තුවක් කැබිනට් තනතුරු ප්‍රදානය කිරීම සඳහා ජනපති වෙත යොමුකර ඇති බවද කියැවේ. මෙම පිරිස් අතරින් නාමල් රාජපක්ෂ තනතුරු භාර නොගැනීමට තීරණය කර ඇති බවද දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් සෙස්සෝ තනතුරු බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම පිරිස් අතරින් දෙතුන් දෙනකු සම්බන්ධයෙන් ජනපති තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බවද කියැවේ. කෙසේ වෙතත් බලපෑම් වැඩිවීම හේතුවෙන් ජනපති පොහොට්ටුවට පණිවිඩයක් ලබා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

"කැබිනට් පත්වීම් හතක් කරන්න පුළුවන්. ඒකත් පත් කරන්නෙ අයවැය ඉවර වුණාම. ආණ්ඩුකාරවරුන් පස්දෙනකුගේ වෙනස් කිරීම සම්බන්ධ ඉල්ලීමත් ඉටු කරනවා. හැබැයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අයවැය ඡන්දය අවසන් උනාට පස්සේ..."

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පොහොට්ටුවට ලබාදී ඇත්තේ මෙවැනි පණිවිඩයකි. මේ අතර තනතුරු නොලද්දෝ අයවැය ඡන්දයේදී කේවල් කිරීමක් සිදුකරනු ඇති බවටද දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තිබේ.

"පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කරන්න ඕනෑ..."

අයවැය සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවකදී  ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන්නෙක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී මෙලෙස විදේශගත නොවිය යුතු බවට අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇත.

"මර්දනයට, ආර්ථික පීඩනයට, එරෙහිව නැගී සිටිමු" මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතා වෙත පසුගිය සතියේ කාගේත් අවධානය යොමුවිය. මෙම විරෝධතාවය සම්බන්ධ පුවත කන වැකුණු සැණින් ආණ්ඩුවේ පිරිස් ඊට විවිධාකාර වාග් ප්‍රහාරයන් දියත් කළේය.

"දැන් කොළඹට මිනිස්සු ගෙන්නන්න නියෝග කරලා තියෙනවා සමහර කණ්ඩායම්. මෙයාලව නම් කරන්න ඕන රාජද්‍රෝහීන් කියලා." මෙලෙස පවසා තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාය.
මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබුණේ ජනාධිපතිවරයා රට නිසි මඟට ගෙනයමින් සිටින බවත්, උද්ඝෝෂණය කිරීමේ අයිතිය සියලු දෙනාටම ඇති බවත්ය.

ජාතික ජනබලවේගය කල්ඇතිවම මීට සහභාගී නොවන බව කීවේය. කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණේ මෙලෙසය.

"රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ."

කෙසේ වෙතත් ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
විරෝධතාවයේදී විපක්ෂ නායකවරයාට හූ කීම දේශපාලන කරළියේ ප්‍රබල මාතෘකාවක් විය. විරෝධතාව අතර ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජනහමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සාහ කිරීම හේතුවෙන් මෙලෙස ජනතා විරෝධය එල්ල වී තිබිණි.

ආරංචි මාර්ග අනුව මයික්‍රෆෝන රැගෙන පිරිස හසුරවමින් කතා කිරීමට සූදානම් වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, අසල රැස්ව සිටි පිරිසගෙන් මයික්‍රපෝනය ඇති ස්ථානයෙන් අඩි 10ක පමණ දුරකින් සිටින ලෙස ඉල්ලා තිබේ.
"අපි ආවේ ඔයාලාගේ කතා අහන්න නෙවෙයි. අපිත් එක්ක ඉස්සරහට යන්න එන්න." 

එම සිදුවීමෙන් කුපිත වූ පිරිස් විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලඥයන් වෙත පවසා ඇත්තේ එලෙසය. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ පොලිස් බාධක අතරින් ඔවුන් සමඟ පෙරට යාමට දේශපාලඥයන්ද එක්විය යුතු බවයි.
දේශපාලන කරළියේ කතා අනුව මේ කලබල අතරේ සජිත් ප්‍රේමදාස මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියටගෙන් "හිරුණිකා, කැන් යූ කම්" යනුවෙන් විමසා තිබේ. එහෙත් ඇය තාවකාලිකව වේදිකාවට ගොඩ වී ජනතාව ඇමැතීමට එතරම් මනාප නොවූ බව ඇතැම් ආරංචි අනුව කියැවේ. "මම කට්ටියත් එක්ක ඉස්සරහට යනවා නායකතුමා" ඇගෙන් ලැබී ඇත්තේ එවන් ප්‍රතිචාරයක් බව මේ අනුව කියැවේ.

කෙසේ හෝ පිරිසගේ විරෝධතාව හේතුවෙන් පැවැත්වීමට ගිය ජනහමුව අතරමඟ නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගනු ලැබූහ. පිරිස පා ගමනට සම්බන්ධ වූහ.

මෙහිදී දයාසිරි ජයසේකර සජිත් ප්‍රේමදාස එකම වේදිකාවට ගොඩවෙන අයුරු දැකගත හැකිවිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම විරෝධතාවට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි බව කියැවේ. දේශපාලන ආරංචි අනුව එය වළක්වා ඇත්තේ දයාසිරි ජයසේකරය.

අවසානයේ දයාසිරි ජයසේකර වෙතද විරෝධතාකරුවන් අතරින් පිරිසක් සිය විරෝධය දැක්වූහ. ජවිපෙ ආරංචි මාර්ගවලට අනුව පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ එක්තරා චරිතයක් මෙහිදී සෘජුව දයාසිරි ජයසේකරට විරෝධය දක්වා ඇතැයි කියැවේ.
අනතුරුව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තමන් ප්‍රචණ්ඩ විරෝධතාවලට දායක නොවන බවයි. දේපල වනසන විරෝධතා තම ක්‍රමය නොවන බවද ඔහු පැවසීය.

මෙම විරෝධතාවය සඳහා යෙදූ පොලිස් ආරක්ෂාව පිළිබඳව මුලසිටම විශාල කතිකාවක් නිර්මාණය වී තිබුණි. විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීමට පොලීසිය ඉදිරිපත් නොවුණද පොලීසිය භාර අමාත්‍යංශය පවසා සිටියේ කොළඹ නගර කටයුතු අවුල් වීමට නොදීම පොලීසියේ වගකීම බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් හාර දහසකට වැඩි පිරිසක් කොළඹට කැඳවා ආරක්ෂාව සඳහා යොදවනු ලැබීය.

කෙසේ වෙතත් මෙතරම් විශාල පොලිස් ආරක්ෂාවක් යෙදවීම සම්බන්ධව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ විශේෂ අවධානයක් යොමුවූයේය. උද්ඝෝෂණය නිසාවෙන් කලබලයක් ඇති වී එය ගැටුමක් දක්වා දුරදිග ගොස් බරපතළ සිදුවීමක් නිර්මාණය වේ යැයි සැකයකින් ඔහු පසුවිය. එම නිසාම අමාත්‍යවරයා නිතර නිතර පොලිස් ප්‍රධානීන් ඇමැතුවේය.

"මොකක්ද මේ කරන්නෙ... මෙච්චර ආරක්ෂාවක් දාගෙන..."

"නෑ... නෑ... ඇමැතිතුමා. අපිට මේ අමාත්‍යාංශයෙන් ලබාදුන්නු නියෝග ක්‍රියාත්මක කරන්නේ. අපිට ඉතින් කරන්න දෙයක් නෑ ඇමැතිතුමා..."

පසුගිය සතියේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 6 වැනි සංවත්සරයද යෙදී තිබුණි. මෙවර සිය සංවත්සරය වෙනුවෙන් සන්දර්ශන රැස්වීම් නොපැවැත්වීමට කල් ඇතුව පොහොට්ටුවේ නායකයෝ තීරණය කළෝය. ඒ අනුව සංවත්සරය වෙනුවෙන් නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ පරිත්‍රාණ ධර්ම දේශනයක් සංවිධායක පිරිස එක්ව සංවිධාන කළහ.

බැසිල් රාජපක්ෂ නොසිටියද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ. ඒ අතරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් එක්වූහ.

කලකට පසුව එක් වූ පක්ෂයේ හිතවතුන් අතර බොහෝ සුහද කතාබහ ඇති වූ බව දැනගන්නට ලැබේ. නිල වශයෙන් සමුළුවක් රැස්වීමක් නොපැවත්තුනද මෙහිදී පක්ෂයේ ඉදිරි තීන්දු තීරණ පිළිබඳව නායකයන් අතර සාකච්ඡා ඇතිව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ දේශපාලන වශයෙන් තරමක සුවිශේෂී චරිතයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු නමින් ව්‍යාපාරිකයකු සහ ආයෝජකයකු වන ඉන්දීය ජාතික සූර්ය දොවාල් මහතාය. සූර්ය දොවාල් යනු ඉන්දියානු රාජ්‍ය තන්ත්‍රය හසුරුවන ප්‍රධානීන් අතර අතිශය ප්‍රබල චරිතයක් වන ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාගේ පුත්‍රයා වේ. ඔහුගේ ගමන සුවිශේෂී වූයේ එබැවිනි.

මෝදි රජය විසින් ගොඩනගා ඇති ඉන්දු ලංකා පදනමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරයි. ඒ අනුව සූර්ය දොවාල් ලංකාවට ආවේ ඇයි? ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රාන්තික සබඳතා පිළිබඳ අවධානයෙන් සිටින කොළඹ ප්‍රභූ සමාජයට ප්‍රශ්නයක් මතුව ඇත.

මේ අතර ව්‍යාපාරික සාකච්ඡා කිහිපයකට සහභාගි වූ සූර්ය දොවාල් මහතා අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මුණගැසීමට කටයුතු කළේය. ජනාධිපතිවරයා සමග තරමක දීර්ඝ සාකච්ඡාවක් ඔහු පැවැත්වූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එයද ඔහුගේ සංචාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවීමට හේතු විය.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට රැස්වූහ. පක්ෂයේ කටයුතුවලින් තරමක් ඈත්ව සිටි ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාද මෙම රැස්වීමට සහභාගි වීම සුවිශේෂී විය. අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව කියැවුණේ සාකච්ඡාව පුරා දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අසලින්ම අසුන්ගෙන සිටි බවයි. නමුත් විශේෂ යමක් ප්‍රකාශය කර නොමැත.

"අට දෙනෙක් පක්ෂෙන් ගිහිල්ලා ඇමැතිකම් ගත්තා. අපි හිතුවේ නවවැනියා විදිහට ඔබතුමත් එහෙම කරයි කියලා. එහෙම කරන්න එපා. ඔබතුමාගේ තාත්තාට ඒ අය සලකපු විදිහ මතකයිනෙ..."

පසුගිය අර්බුද සමයේ මධ්‍යම කාරක සභාවට අලුතින් පත්වූ අයෙකු දිසානායක මහතා අමතා මෙසේ පැවසූ බව දේශපාලන ආරංචි සඳහන් කරයි. කෙසේ වෙතත් ඊට නිසි පිළිතුරක් ලබාදීමට දුමින්ද දිසානායක කටයුතු කර නොමැති බවද කියැවේ. මේ අතර පක්ෂය නගාසිටුවීම පිළිබඳ දේශනය සිදුකිරීමට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් වාර්තාවක්ද ඔහු පක්ෂය වෙත ඉදිරිපත් කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් රැස්වීම අවසානයේ මාධ්‍ය සිදුකළ විමසීමට පිළිතුරු ලබාදීමට දුමින්ද දිසානායක මහතාට නොහැකි විය.

“පක්ෂයේ මත දෙකක් තියෙනවා. අපි හැමෝම කතාබහ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිච්ච පිරිසක් තමයි දැන් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නෙ කියලයි. අද මම හිතන්නෙ පොහොට්ටුවේ විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා."

ගෙවී ගිය සතියේදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දියාවේ සංචාරයක නිරත විය. ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්දියාවේ සහයෝගීතාවය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබුණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතිත් ගඩ්කාරි මහතා මුණ ගැසී ඇත.

අමාත්‍යවරුන් අතර පැවති මෙම සාකච්ඡාවේදී මෙරට දුම්රිය මාර්ග පද්ධතිය හා අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීම පිළිබඳවද විශේෂ අවධානය යොමු වූ බව කියැවේ. ඊට අමතරව ඉන්දියාවෙන් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන බස්රථ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දෙරටේ අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු වී ඇත.

මේ අතර ලබන වසරේ මුල පැවැත්වෙතැයි සැලකෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳවද බොහෝ පක්ෂවල අවධානය යොමු වෙමින් තිබේ. පොහොට්ටුවෙන් බිඳී ගිය "නිදහස ජාතික සභාව" ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත. මේ වනවිට පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට අකමැති පොහොට්ටු පළාත් පාලන මන්ත්‍රීවරු තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක ඔවුහු නිරත වී සිටිති. ඒ සඳහා සාකච්ඡාවක්ද ඉකුත් ඔවුන් පවත්වා තිබේ.

"අපිට දැන් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ. මිනිස්සු පිළිගන්නෙ නෑ. අපිට ඕන දේවල් ඒ අයගෙන් ඉෂ්ඨ වුණෙත් නෑ. ඒ නිසා පළාත් පාලන ඡන්දෙට ඔබතුමාලාගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්න අපි කැමතියි."

නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමක් මෙලෙස පවසා තිබේ. කෙසේ වෙතත් පක්ෂයක් ලෙස ඉදිරියට යනවාද සන්ධානයක් ලෙස කරළියට එනවාද යන්න පිළිබඳ මෙම පිරිස දෙගිඩියාවෙන් සිටින බව කියැවේ.

පසුගියදා නිදහස ජාතික සභාවේ ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ඉදිරි දේශපාලන සැලසුම් සහ ජනතාව ඉදිරියට යායුතු ආකාරය පිළිබඳ සංවාදයක් ඇතිවූ බව දැනගන්නට ලැබේ.

මේ අතර පසුගියදා පැවැති විරෝධතාවයෙන් පසුද එය හා සම්බන්ධ විවිධ කතා දේශපාලන කරළියේ නිර්මාණය වී තිබුණි. ඒ සඳහා සහභාගී නොවූ ජනතා විමුක්ති පෙරමුණ මතුකළ අදහස් විශේෂිත විය. එම සිදුවීම් පෙළ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව ඇති විවේචනය කරළියට ගෙන ඒමට ඔවුන් අවස්ථාවක් කොටගෙන තිබුණි.

"මේ වගේ උද්ඝෝෂණයක්වත් පාලනය කරගන්න බැරි සජිත් ප්‍රේමදාස විපක්ෂනායක, කොහොමද රටක් පාලනය කරන්නේ...?"

ජනතා විමුක්ති පෙරමුණ දෙසින් මෙවන් කතා ඇසෙන අතරේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගත් ප්‍රකාශයක් සිදුකළේය.

"සජිත් මහත්තයා පෙරටු කරගෙන ගිහිල්ලා පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්න. කොන්ද පණ නැති, පනතකට විරුද්ධව අත උස්සනෙ නැති සජිත් මහත්තයලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරයිද? මේ එන්නෙ මොකටද? පොදු සටනක් ආවම මේකට ඇවිල්ලා, ඔලුව දාලා, වොයිස් කට් එකක් දීලා ඒ හරහා ජනතා සටනේ නායකයෝ වෙන්න..."

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මාලදිවයිනේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීම සඳහා සංචාරයක නිරත වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් ජීවත්වන යුරෝපයේ සහ ආසියාවේ තවත් රටවල් කිහිපයක ඔහු සංචාරය කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.


I චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00