2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

පොහොට්ටු මන්ත්‍රීවරු වන්දි සටනක

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 234

තවත් උණුසුම් දේශපාලන සතියක් ගෙවී ගියේය. සංයෝජන වියෝජන සේම සංශෝධනද දේශපාලන කරළියේ මාතෘකා විය. ආණ්ඩුව සහ විපක්ෂ හොඳ අඩව්වකට සැරසී සිටියහ. නිවාස අහිමි වූ මැති ඇමැති දුක් අඳෝනා පිළිබඳවද කතා පැතිරුණි. තවත් නාටකීය ජවනිකා බොහෝ විය. කෙසේ වෙතත් දස අත වූයේ තවත් දේශපාලන සන්දර්ශන පෙරනිමිතිය.

මැයි නව වැනිදා සිදුවීමෙන් නිවාස හානි වූ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පසුගිය සතියේ පැවැතියේය. මෙම මන්ත්‍රීවරු පිරිසට ලබාදෙන බව කියූ වන්දි පමාවීම පිළිබඳ ඔවුන් සිටියේ තරමක අමනාපයෙනි. මෙම පමාවට හේතු වී තිබුණේ රජයේ තක්සේරු වාර්තා පමාවීමයි. මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසම වෙතද එම වාර්තා ලැබී නොතිබුණි.

එකී තොරතුරු දැනගත් මන්ත්‍රීවරුන් අමනාපයෙන් පසුවූ බැවින් ජනපති මෙම හමුව කැඳවූ බව ආරංචි විය. ඒ අනුව රජයේ තක්සේරු සහ වන්දි ගෙවීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම හමුව සූදානම් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුවට නිවාස හානි වූ මන්ත්‍රීවරුන් 78 දෙනාගෙන් මන්ත්‍රීවරුන් 45 දෙනෙක් පමණ පැමිණ සිටියහ. කොළඹින් බැහැර සිටි මන්ත්‍රීවරුන් පිරිසකට මෙම හමුවට සහභාගී වීමට නොහැකි විය.

ඇතැමුන්ගේ නොපැමිණීමට අයහපත් කාලගුණයද බලපෑ බව කියැවුණි. සාකච්ඡාවේ මුලසුනේ රැඳී සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන පිරිසයි.

මෙම හමුව ආරම්භ වූ පසු නිවාස හානිවූ මන්ත්‍රීවරුන් අතරින් පිරිසක් කීවේ වෙනත්ම කතාවකි.

"අපිට වන්දි අවශ්‍ය නෑ. අපි අපේ කටයුතු කර ගන්නම්..."

එම මතය ප්‍රකාශ කළේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ඉසුරු දොඩන්ගොඩ ඇතුළු නව දෙනෙකුගෙන් යුත් පිරිසකි. නමුත් සියල්ලෝම මෙම මතයේ රැඳී නොසිටියෝය.

"අපිට වන්දි අවශ්‍යයි. කෝ අපිට තක්සේරු වාර්තාවක්වත් නෑ..."

තමන්ට සිදුවූ අසාධාරණය සහ වන්දි පිරිනැමීමේ ක්‍රියාවලියේ දුර්වලතා උපුටා දක්වමින් මෙම පිරිස හඬ නගන්නට වූහ. රජයේ තක්සේරුකරු සමඟද මෙම පිරිස වාද කළහ.

"වෙන කාලවල නම් මෙහෙම දේවල් ඉක්මනට කෙරෙනවා. දැන් මාස 4 කුත් ගත වුණා. අඩුගානේ තක්සේරු වාර්තාවක් වත් නෑ..."

පිරිස මෙලෙස චෝදනා නගන විට ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා මැදිහත් වී තවත් යෝජනාවක් කරළියට රැගෙන ආවේය.

"අපිට වන්දි දෙන්න බැරිනම් එකපාරට, බැංකු ණයක් දෙන්න අඩු පොලී යටතේ. අපිට මේවා හදාගන්න පටන්ගන්න ඕනෑ. වන්දි හම්බ වුණාට පස්සේ පියවගන්න පුළුවන්නෙ. අඩුගානේ එහෙමවත් කරන්න..."

මෙය තරමක් වෙනස් යෝජනාවකි. කෙසේ වෙතත් එය එතරම් දුර නොගියේය. මේ අතරේ අතර එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අමාත්‍ය වජිර අබේවර්ධන සභාවේ නැගී සිටියේය.

"මෙහෙම ප්‍රමාද කරන එක වැරදියි. සියලු මන්ත්‍රීවරුන්ට මේක ලැබිය යුතුයි. සමහරු ගොඩක් අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ."

දේශපාලන ආරංචි අනුව වජිර අබේවර්ධන මහතා මෙසේ හඬ නගන විට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, මැයි නව වැනිදා සිදුවීමෙන් නිවාස හානිවූ පිරිස්ද සිය හඬ අවදි කර තිබුණේ දැඩි ස්වරයෙනි.

"සති කිහිපයක් ඇතුළත අපි තක්සේරු වාර්තා අරගෙන වන්දි ගෙවීමේ වැඩපිළිවෙළකට යන්න ඕනෑ. නැත්නම් මේ අය දැඩි අපහසුතාවයකට පත්වෙනවා..."

වජිර අබේවර්ධන රැගෙන ආවේ බලාපොරොත්තුවකි. ඒ අනුව සාකච්ඡාවේ කටයුතු විසඳුමක බලාපොරොත්තුවෙන් මෙම හමුව අවසන් විය.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර මතගැටුම් උත්සන්න වූයේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසාවෙනි. ඔක්තෝබර් 20 සහ 21 යන යන දෙදින මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම සංශෝධනය සඳහා වන ඡන්ද විමසීමට නොපැමිණීමට පොහොට්ටුවේ පිරිසක් සැලසුම් කරමින් සිටිති.

පොහොට්ටුවේ ආරංචි මාර්ග අනුව ඔවුන් නව සංශෝධනය සඳහා වන ඡන්දය වර්ජනය කිරීමට ප්‍රධාන හේතු සාධක දෙකකි. ජනාධිපතිවරයාට අලුත් පාර්ලිමේන්තුවක් පත් වී වසර දෙකහමාරකට පසු විසුරුවා හැරීමේ බලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ කළ යුතු යැයි මෙම පිරිස කියා සිටිති. එහෙත් සංශෝධන කෙටුම්පතට එය ඇතුළත් වී නොමැත.

දෙවැනි කරුණ නම් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ අන්තර්ගතයයි. මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ප්‍රධානින්ට පොදුජන පෙරමුණ විසින් දන්වා යවා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර තිබෙන්නේ ද්විත්ව පුරවැසියකු බවත් ඔහු එම ධුරයට පත්කරන ලද්දේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බවත්ය. 22 සංශෝධනය ගෙනවිත් ද්විත්ව පුරවැසි බව සහිත අයට පාර්ලිමේන්තුවට ඒමට නොහැකි කළහොත් එය පක්ෂයේ ප්‍රතිපත්තිවලට කරන අගෞරවයක් නිසා එම කොන්දේසියට එකඟ වීමට බැරි බව පොහොට්ටුව ප්‍රකාශ කොට තිබේ.

මේ අතර පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබුණේ තමන්හට ජනමතය ලැබුණේ 19 වැනි සංශෝධනය මේ රටට විශාල විනාශයක් ඇති කිරීමටත් රට අරාජික කිරීමට හේතු වූ බව විශ්වාස කරමින් එය වෙනස් කිරීමට බවයි. ඒ අනුව පොහොට්ටුව සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සම්මත කරගත් බව ඔහු කියා සිටියි.

එම පාර්ලිමේන්තුවටම නැවත 19 වැනි සංශෝධනය බලාත්මක කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහාය ලබාදිය නොහැකි බවත් ආත්ම ගරුත්වයක් ඇතිව තමාට ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කරයි. මේ අතර ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි කටයුතු මෙම සංශෝධන හරහා සිදුකළ නොහැකි බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවද කියැවේ. එනිසාවෙන් නැවතත් අර්බුදකාරී තත්ත්වය වර්ධනය වෙමින් ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම බාරවී ඇති ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් විදෙස්ගතව සිටියි. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ඔහු නැවත මෙරටට පැමිණෙන්නේ ඡන්ද විමසීම සිදුවන දිනට පසු දිනයි. මෙය තවත් අර්බුදයකි.

ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් ද විශේෂ සිදුවීම් ‍පෙළක් වාර්තා විය. පසුගියදා දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 22 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී සර්වරාත්‍රික පිරිත් දේශනාවක් පවත්වා තිබුණි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පොහොට්ටු ආණ්ඩුවෙන් බිඳී ගිය සියලු දේශපාලන පාර්ශ්වවලට මේ සඳහා ආරාධනා ලැබී තිබුණු බවකි.

ඒ අනුව විමල් - උදය පාර්ශ්වයට මෙන්ම ඩලස් පාර්ශ්වයටත් එසේම අනුර යාපා ඇතුළු කණ්ඩායමටත් සර්වරාත්‍රික පිරිත් දේශනාවට සහභාගිවීමට ශ්‍රීලනිපය ආරාධනා කොට තිබුණි. මෙම පිරිස අතරින් බොහෝ දෙනෙක් මෙදින පැමිණ සිටියහ. අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි වැනි චරිත මෙහි නොපැමිණිය ද ඔවුන් නියෝජනය කරමින් ජෝන් සෙනෙවිරත්න මහතා ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මහ ගෙදරට පැමිණ සිටියේය.

ඩලස් අලහප්පෙරුම ශ්‍රීලනිප මූලස්ථානයට ගොඩවන විට ඔහු පිළිගැනීමට ඉදිරියට පැමිණ සිටියේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරයි. 

“ඔබතුමාව මහ ගෙදරට පිළිගන්නව." 

තරමක දේශපාලනික ආරාධනාවක් බඳු වූ පිළිගැනීමක් ඔහුට එහිදී ලැබී තිබුණි.

“මේක මට සුපුරුදු තැනක්, අවුරුදු 12ක් තිස්සෙම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික." 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ අතීත මතක ආවර්ජනයක් මෙහිදී සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තමා පාසල් කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි බව ඩලස් දයාසිරිට කියා තිබිණි.

ඩලස් අලහප්පෙරුම මහතාට අමතරව උදය ගම්මන්පිල, මහාචාර්ය ජී.එල්. පිරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. තිරය පිටුපස දේශපාලන කතා අතරේ අනාගතයේ ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයක පෙරනිමිති මෙම සර්වරාත්‍රික පිරිත් දේශනාවේ දී දැකගත හැකි වූ බව කියැවේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීමේ වැඩසටහනක් ද මේ වනවිට අරඹා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තවමත් ස්ථිර තොරතුරු නොමැති නමුත් කැලණියේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු ඇමැතිවරයකුට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයක් ලැබෙනු ඇතැයි තිරය පිටුපස කතා අතරේ කියැවේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය සමගි ජන බලවේගය ඇතුළු පක්ෂයේ බොහෝ දෙනාට නොරිස්සුවේය. එනිසාම ඉකුත් සතියේ ඒ සම්බන්ධව සජබ ප්‍රබල විරෝධයක් මතු කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් පිළිබඳ සංවාදයකට මුල පුරා තිබුණි. වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“ගිය සැරේ පළාත් පාලන මන්ත්‍රීවරු අපි 4000 ඉඳන් 8000 කළා. රට ඉල්ලුවේ නෑ. පක්ෂ නායකයන් එකතුවෙලා මේ කටයුත්ත කළා. ඒ නිසා අපිට දැන් තියෙන්නෙ ඊළඟ ඡන්දෙට ඉස්සෙල්ලා මේ 8000 ක පිරිස 4000 ක් බවට අඩු කරන්න කියලා මම කියන්ට කැමතියි."

මේ අතර නව මැතිවරණ ක්‍රමයත් සමඟ කරු ජයසූරිය මහතා යෝජනා කළ “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එසේම පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ බලතල අඩු කොට කමිටුවකට බලය පැවරීමේ ක්‍රමවේදයක් පිළිබඳව ද ජනපති සඳහන් කොට තිබුණි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ මෙය පළාත් පාලන මැතිවරණයට කල් ගැනීමේ උපායක් ලෙස අර්ථකථනය කළේය. 

ජනාධිපතිවරයා ඡන්ද පැවැත්වීමට බියෙන් ඡන්ද කල් දැමීමේ සැලසුමක් දියක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

“මේ උත්සාහ කරන්නේ පළාත් පාලන ආයතනවලින් කරන සේවාව ප්‍රශස්ත කරන්නට නෙවෙයි. මේ කරන්න හදන්නේ පළාත් පාලන පනතට සංශෝධන ගෙනල්ලා පළාත් පාලන මැතිවරණය කල් දැමීම. ඇයි? ආණ්ඩුව බයයි මැතිවරණවලට."
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂයේ පක්ෂ සහ කණ්ඩායම් එක්වී හදිසි සාකච්ඡාවක් සිදු කළේ ද ජනපතිගේ මැතිවරණ ක්‍රම සංශෝධන පිළිබඳ කතාව සම්බන්ධවයි. පක්ෂ 16ක පමණ පිරිසක් මීට සහභාගි වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මීට සහභාගි වී සිටියහ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් මහතා ද මීට සහභාගි වූහ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණය කල් දැමීමේ වැඩට විරුද්ධයි." 

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පවසන විට සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය. 

“විපක්ෂයේ ඉන්න සියලු දෙනා මෙතන වාඩිවෙලා ඉන්නවා. දැන් අපිට විපක්ෂය එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාවය පැහැදිලියි. දැන් අපිට පැහැදිලිව පේනවා ජනාධිපතිවරයාට ඕනෑ ඡන්දය කල් දාන්න." 

මැතිවරණය කල් දැමීමේ උත්සාහය නිසා කැරැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා සහභාගී නොවීම කැපී පෙනුණි. එම සාකච්ඡාව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන තිබුණේ නිදහස් ජනතා සභාවයි. 

තලවතුගොඩ MONARCH IMPERIAL පරිශ්‍රයේ පැවති මෙම සාකච්ඡාව සඳහා අතුරලියේ රතන හිමි, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්  ඇතුළු විපක්ෂයේ බොහෝ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන පිරිස් එක් වූහ.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම, මහජනයා සමඟ එක්ව මීට විරෝධය පෑම, අධිකරණමය ක්‍රියාමාර්ගයට යාම ආදී කරුණු පිළිබඳ තවදුරටත් මෙහිදී සාකච්ඡා වී තිබිණි.

ගෙවී ගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරකම් අතර කැපී පෙනුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහ ජාතික ජන බලවේගයේ නිලධාරීන් අතර බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ හමුවයි. රට වර්තමානයේ පත්ව ඇති ආර්ථික අර්බුදය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව වාණිජ මණ්ඩලය සහ ජාතික ජන බලවේගය එහිදී සාකච්ඡා කළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේය.

මේ අතර දේශීය ආදායම් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ ප්‍රබල විරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් සතියේ මතු කරමින් සිටියේය. ඒ අනුව බදුවලට මුවා වී ජනතාවගේ ආදායම හොරාකන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය පිළිබඳ රටට හෙළිදරව් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා තිබුණි.

“අපි අවධාරණය කරනවා හෙට දවසෙදි බදු ගෙවන්නේ නැති ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්න බැහැ. උඹලා බදු ගහපල්ලා. හැබැයි අපි ගෙවන්නේ නෑ. එහෙම කියන ව්‍යාපාරයක් සාධාරණ වෙන්නෙ ජනතාවට බදු ගෙවන්න බැරි හින්දා." 
මේ අතර ගෙවී ගිය සතියේ දී මෑත කාලීනව ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  සනත් නිශාන්ත හට ද අධිකරණයේදී අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.  පසුගිය බදාදා සනත් නිශාන්ත මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් නඩු කටයුත්ත කැඳවන අවස්ථාවේදී ඔහු ඊට සහභාගි වී නොසිටියේය. අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගැනීමට ලැබුණේ උදෑසන සනත් නිශාන්ත මහතා අධිකරණ පරීශ්‍රයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පැමිණි බවයි. කෙසේ වෙතත් යම් පටලැවිල්ලක් හේතුවෙන් අදාළ මොහොත ඔහුට මගහැරී ඇති බව කියැවේ. නඩු කටයුතු මගහැරී ගිය ද ඔහු ඇතුළු කිහිප දෙනකු අධිකරණය ආසන්නයේ ඒ අවස්ථාවේ රැඳී සිටි බව ද ඇතැම් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අවසානයේදී වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට භාර වී තිබිණි. ඉන් අනතුරුව විත්තිකාර සනත් නිශාන්ත මහතාට තරයේ අවවාද කළ විනිසුරු මඩුල්ල මින් මතුවට සෑම දිනකම අභියාචනාධිකරණය ඉදිරියේ පෞද්ගලිකව පෙනී සිටිය යුතු බවට ද තරයේ අවවාද කර ඔහුව මුදාහැරීමට නියම කළහ.

මේ අතර යුද සමයේ මෙරට දේශපාලනයෙහි ඓතිහාසික චරිතයක් වූ එරික් සෝල්හයිම් චරිතය ගැන පසුගිය සතියේ නැවත කරළියට පැමිණියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෝල්හයිම් මහතාට ජනාධිපති උපදේශක තනතුරක් පිරිනැමීම ඊට හේතු විය. එරික් සෝල්හයිම් හට ජනාධිපතිවරයා විසින් පිරිනමා තිබුණේ ජනාධිපති ජාත්‍යන්තර දේශගුණ උපදේශක තනතුරයි. 

ඒ අනුව නොවැම්බර් 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ජනාධිපතිවරයා සමඟ එරික් සෝල්හයිම් ද සහභාගිවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 
මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් මහතා පවසා තිබුණේ මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟ තමා ද එලෙස උපදේශකවරයකු ලෙස පත්වීම පිළිබඳ ආඩම්බර වන බවයි.

කෙසේ වෙතත් යුද සමයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව තරමක ආන්දෝලනාත්මක මතයක් දැරූ සෝල්හයිම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මුණගැසීම සුවිශේෂී සිදුවීමක් විය. ජනපතිගෙන් නව තනතුර ලැබුණු දිනයේ පස්වරුවේදීම සෝල්හයිම් මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට ගොස් තිබුණි. 

ඔහු ඒ පිළිබඳව ද ට්විටර් පණිවිඩයක් පළ කර තිබූ අතර, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේද යන්නත්, ජාතීන් මුහුණදෙන අභියෝගවලට හරිත විසඳුම් සෙවීම සඳහා ආර්ථිකය හා පරිසර විද්‍යාව ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්නත් සාකච්ඡා කළ බව එහි සඳහන් කර තිබුණි.

I චමිඳු නිසල් ද සිල්වා