2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

ජී.එල්. ගෝඨාභයගේ නිවෙසේ දොරගුළු ලා ගෙන රහස් කතාවක

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 495

වාද විවාද තර්ජන ගර්ජන රස මුසු කතාබහ නොඅඩු තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීමෙන් අනතුරුව ජනපති ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවමඟුලට සහභාගිවීමට ජපන් ගියේය. පාර්ලිමේන්තුවද විටින් විට උණුසුම් වූ අතර ජාතික සභාවේ කතිකාවන්ද සුවිශේෂී විය. විරෝධතා පෙළපාලිවල සිදුවූ ගැටුම් සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද සතිය පුරා අසන්නට ලැබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය සඳහා සඳහා සහභාගි වීමට පසුගිය 26 වනදා මෙරටින් පිටත්ව ගියේය. මෙම සංචාරය ජපානයේ සහ පිලිපීනයේ සිදුකරනු ලබන තෙදින නිල සංචාරයක් ලෙසින් හඳුන්වා තිබුණි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට එක් විය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා (Yoshimasa Hayashi) අතර හමුවක්ද එදින පෙරවරුවේ ටෝකියෝ නුවරදී සංවිධානය විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව එහිදී විශේෂ අවධානයක් යොමු කැරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් බදාදා (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී පවත්වා තිබුණි. මීට අමතරව ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද එදිනම පෙරවරුවේ පැවැත්වුණි. අධිරාජ්‍යයාගේ නිල නි‍ෙවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදුවිය.

ජපන් සංචාරය අවසන් කොට  බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා ගමන් කළේය. පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ (Ferdinand R.Marcos Jr.) මහතා අතර හමුව අනතුරුව පැවැත්වුණි. පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමුවිය. ජනපතිගේ සංචාරය නිමාවන තුරු මෙරට බලා සිටියේ තවත් පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය පොහොට්ටුවේ කැබිනට් ඇමැතිධුර අපේක්ෂා කරන්නෝ වූහ. ජනපති මෙරටට පැමිණි වහාම දිවුරුම් දීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ජනාධිපතිවරයා සිය නිල සංචාර ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමඟ කැබිනට් අමාත්‍යධූර පිළිබඳ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි. කෙසේ නමුත් පත්කිරීම් සිදුවන දිනයක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් දේශපාලන කරළියේ කිසිවකු සතු නොවුණි.

මාස දෙකක පමණ නිවාඩුවකට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතාහටද මෙම කැබිනට් කාලගෝට්ටියෙන් මිදීමට නොහැකි විය. රාජ්‍ය ඇමතිකම් නොලැබුණ පිරිස් සේම කැබිනට් අමාත්‍ය ධූර බලාපොරොත්තු වන පිරිස් ද ඔහු අමතමින් නිතර ඇවිටිලි කරන්නට වූහ. ඒ අතර ඔහු සිය අසනීපයක් සඳහා ප්‍රතිකාර ගැනීමට විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා ගියේය. ඒ සමඟ සිය ජංගම දුරකථනය විසන්ධි කොට තැබීමට පවා බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය ශ්‍රී ලංකාවේ පිරිස් සම්බන්ධ කර ගැනීමට වෙනත් වැඩපිළිවෙළක් ඔහු විසින් සකසාගෙන තිබූ බවද පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

නවතම දේශපාලන ආරංචි අනුව දැන ඉතිරිව තිබෙන්නේ කැබිනට් අමාත්‍ය ධුර දහයක පුරප්පාඩු පමණි. පොහොට්ටුවේ කිහිපදෙනෙක්ට සහ පොහොට්ටුවෙන් බාහිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවල කිහිප දෙනකුටත් මෙම අමාත්‍ය ධුරය හිමිවනු ඇත. කෙසේ නමුත් පොහොට්ටුවෙන් අමාත්‍ය ධුර සඳහා ඉදිරිපත් කර ඇති ලැයිස්තුවේ නම් දෙකක් පිළිබඳව ජනාධිපතිවරයාගේ අකැමැත්තක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව ඔවුන් දෙදෙනාට අමාත්‍යධුර ලබාදීම දෙවැනි අදියරකදී සිදුකළ යුතු බව ජනපතිගේ අදහස වී ඇතැයි කියවේ.

මේ වනවිට දේශපාලන කරළියේ බොහෝ දෙනකු බලාපොරොත්තු වන පරිදි ජනපතිගේ සංචාරයෙන් අනතුරුව කැබිනට් පත්වීම් සිදුවනු ඇත. කෙසේ නමුත් විසි දෙවැනි සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව අදාළ පත්වීම් සිදුවීමටද ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයාගේද අභිලාෂය විය හැකිය. කෙසේ නමුත් පොහොට්ටුවේ පිරිස් මෙම ප්‍රමාදය පිළිබඳ සිටින්නේ අමනාපයෙනි. මේ අතර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථන මාර්ගයෙන් කතාකොට කප්පම් ඉල්ලීම පිළිබඳ පුවතක් ඉකුත් සතියේ දේශපාලන කරළියේ පැතිර ගියේය. එතරම් දේශපාලන කටයුතුවලට උනන්දුවක් නොදක්වන හිටපු ජනපති ආර්යාවට මුහුණදීමට සිදුවූ සිදුවීම කුමක්ද? ඒ පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ගලා ආවේය. එම කතාවට අනුව මීට සතියකට ඉහත බ්‍රහස්පතින්දා දිනක අයෝමා රාජපක්ෂ මහත්මියගේ දුරකථනයට නොදන්නා දුරකථන අංකයකින් ඇමතුම් හත අටක් පැමිණි තිබේ. එම ඇමතුම් මගඇරුණු ඇමතුම් ලෙස සටහන්ව ඇත්තේ ඇය නොදන්නා දුරකථන අංක වෙත ප්‍රතිචාර නොදක්වන බැවිනි. කෙසේ නමුත් දින තුන හතරක් ඇතුළත දුරකථන ඇමතුම් විසි පහක් තිහක් පමණ ඇගේ දුරකථන අංකය වෙත ගලා ආවේය.

ආරංචි මාර්ග අනුව අවසානයේ මේ පිළිබඳව සොයා බැලීමට අයෝමා රාජපක්ෂ මහත්මිය තීරණය කළාය. ඒ අනුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාට එම කටයුත්ත පැවරුණි."මෙන්න මෙහෙම ඇමතුම් වගයක් එනවා. කවුරු කතා කරනවද මොකට කතා කරනවද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න."

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර එම දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. ඔහු තොරතුරු විමසන විට සිංහල බසින් දමිළ ඌරුවකින් ඊට පිළිතුරු ලබාදුන් පුද්ගලයා පවසා සිටියේ "දැන් ඒගොල්ලෝ රටනෙ ඉන්නෙ..." යනුවෙනි. අනතුරුව දෙවැනි වරද සුගීෂ්වර බණ්ඩාර අදාළ දුරකථන අංකය අමතා තොරතුරු විමසා සිටියේය.

"ඇයි ඔයා හැමතිස්සෙම මේ අංකයට කතා කරන්නේ. මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ..."

සුගීෂ්වර බණ්ඩාර එලෙස විමසන විට,"මොනවද ඉතින් අපිත් බොහොම අමාරුවෙන් ඉන්නෙ. ඒ ගොල්ලන්ගෙන් ලක්ෂ දහයක් පහළොවක් ගන්න පුළුවන්. මම මේ ලක්ෂ දහයක් පහළොවක් ඉල්ලගන්න තමා කතා කරන්නේ."කෙසේ නමුත් මෙම ඇමතුම් සෙල්ලම මෙතනින් නතර නොවුණි. අවසානයේදී අයෝමා රාජපක්ෂ මහත්මිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට දැනුම් දුන්නේය.
අවසානේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ගොස් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුගීෂ්වර බණ්ඩාර මහතා කටයුතු කර තිබුණි. සී.අයි.ඩී. විමර්ශනය අනුව පෙනී ගියේ මෙම දුරකථන ඇමතුම වැල්ලම්පිටිය ප්‍රදේශයේ බාබර් කෙනකු විසින් ලබාගෙන ඇති බවයි. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන විට අදාළ පුද්ගලයා වැරදීමකින් ඇමතුම් ලබාගත් බව පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් මෙම පුද්ගලයාට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයට අවශ්‍ය වී නොමැත. අවසානයේදී ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය ඇපමත ඔහුව මුදාහැර ඇතැයි දැනගන්නට ලැබේ. 

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂනායක රුස්වීම තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ හමුව පැවැත්වුණි. එහිදී පළමුව සාකච්ඡා වූයේ ඉදිරියේදී ගෙන ඒමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවයි. ඒ අනුව සංශෝධනය ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පිරිස එකඟ විය. මේ අතර සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කෝප්-කෝපා කමිටු සම්බන්ධ ගැටලුව කරළියට රැගෙන ආවේය. "අපි මේවා කොච්චර කතා කළත් වැඩක් නෑ. කෝප් කෝපා සභාවල සභාපතිකම් විපක්ෂයට ලබාදෙනවා කියලා කිව්වා. කතානායකතුමත් ඒක කිව්වනේ. කෝ දැන් ඒක වෙන්නේ නෑ."

විපක්ෂයට සිදුවන අසාධාරණය පිළිබඳ සුපුරුදු පරිදි කිරිඇල්ල හඬ අවදි කරද්දී පොහොට්ටුව වෙනුවෙන් හඬ අවදි කළේ සාගර කාරියවසම්ය. "කෝප් කෝපා කමිටුවලට විපක්ෂයෙ සභාපතිවරු දාමු කියලා කියන්නේ කොහොමද? මේක වරප්‍රසාද ප්‍රශ්නයක්. ස්ථාවර නියෝගවලින් මේ ගැන පැහැදිලිව කියලා තියෙනවා. මේක මටත් ප්‍රශ්නයක්, කතානායකතුමාටත් ප්‍රශ්නයක්." මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැවත මැදිහත් විය. "කතානායකතුමා තමයි අපිට පොරොන්දු වුණේ..." ඔහු කීවේ අමනාපයෙනි.

මේ අතර සාගර කාරියවසම් නොනවත්වා සිය පැහැදිලි කිරීම සිදු කරන්නට වූයේය. "කතානායකතුමා එහෙම කියන්නේ කොහොමද? මේකේ ස්ථාවර නියෝග එකසිය විසිඑකේ බොහොම පැහැදිලිව තිබෙනවා. රාජ්‍ය මුදල් කාරක සභාව වගේ තැන්වලට සභාපතිවරු විපක්ෂයෙන් දාන්න පුළුවන්. ඒක ස්ථාවර නියෝගවල තියෙනවා. නමුත් කෝප් කෝපා සභාවල සභාපතිවරු බහුතර මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් තෝරාගන්න ඕනෑ කියල වගන්ති අංක 127 තියෙනව. ඉතින් කොහොමද අපි ස්ථාවර නියෝග පැත්තකට දාලා වැඩ කරන්නෙ. පාර්ලිමේන්තුව ඉන්නෙ ස්ථාවර නියෝග අනුගමනය කරන්න."

මෙම පැහැදිලි කිරීම හමුවේ සභාව තවදුරටත් උණුසුම් කරමින් නැවතත් කිරිඇල්ල මහතා නැගී සිටියේය. "මේකෙන් වෙන්නේ අපේ විශ්වාස නැතිවෙන එක. කතානායකතුමා ගැනත් ආණ්ඩුව ගැනත් අපේ විශ්වාසය නැති වෙනවා."
"මයික් එකක් ඇල්ලුව පලියට එක එක කතා කියන්න එපා. නීති රීති සම්ප්‍රදායන් මෙතැන තියෙනවා. ඔය කියන විදියට සභාපතිකම් දෙන්න ගියොත් මගේ විතරක් නෙවෙයි කථානායකතුමාගේත් වරප්‍රසාද කඩ වෙනවා" කිරිඇල්ල මහතා මෙදින මේ සම්බන්ධව මාධ්‍යයටද කතාකොට තිබුණි. එනිසාම සාගර කාරියවසම් මෙසේ කියන විට දෙදෙනා අතර හටගත්තේ විවාදයකි.

කෙසේ වෙතත් අවසානය වනතුරුම තම කණ්ඩායම මේ සම්බන්ධ විරෝධතාව එලෙසම පවත්වාගෙන යන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැඩිව අවධාරණය කළේය. මේ අතර පසුගිය සතියේ රැස්වූ සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුවේද කෝප් කෝපා ගැටලුව පිළිබඳ විශාල වශයෙන් කතාබහට ලක්වුණ බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

සජබයේ මෙම සාකච්ඡාවට ඩලස් පාර්ශ්වයේ කිහිපදෙනකුට ආරාධනා ලැබී තිබුණු බවට විපක්ෂ ආරංචි මාර්ග කියා සිටියේය. මෙහිදී පැරණි ප්‍රශ්ණයක් පිළිබඳ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහ ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා අතර කතාබහක් ඇතිවූ බව වාර්තා විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දරන කාලයේ රැගෙන ආ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මෙම සංවාද ඇතිව ඇතැයි කියැවේ. ආරංචි අනුව මෙහිදී එදා එම ව්‍යවස්ථාව සම්මත වූවා නම් විධායක ජනාධිපති ක්‍රමය ඒ වනවිටත් අහෝසි වී හමාර බව පිරිස සාකච්ඡා කොට තිබේ.

"මේ ජී.එල්. පීරිස් කරපු වැඩේ නිසා තමා මේක ගේන්න බැරිවුණේ, කියලා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කිව්වේ." එලෙස පවසා තිබුණේ රාජිත සේනාරත්න මහතාය.

ඊට පිළිතුරු දෙමින් ජී.එල්. පීරිස් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කොට ඇත. "නෑ නෑ මම එහෙම දෙයක් කරේ නෑ. මම එහෙම දේකට සම්බන්ධ නෑ..." එවක භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා නිසා එම ව්‍යවස්ථාව සම්මත නොවූ බව ජී.එල්. පීරිස් මහතා පවසා ඇත. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා එම තොරතුරු නොපිළිගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව අතීතයේ සිදුවූ සිදුවීමට වගකිවයුත්තා කවුරුද යන්න පිළිබඳව වාද විවාද හට ගැණින.

මේ අතර පසුගියදාක ජී.එල්. පීරිස් මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණි. මේ සමඟම පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට නායකත්ව ලබාදුන් ජී.එල්. පීරිස් තමාව හමුවීමට උත්සාහ දැරීම පිළිබඳව හිටපු ජනපති තරමක් මවිත වූ බව ආරංචි මාර්ග අනුව කියැවිණි.

"ඔබතුමාට අවශ්‍ය නම් ඇවිල්ලා හම්බවෙන්න. මම ගෙදර ඉන්නෙ"  ඒ අනුව පසුදාම ජී.එල්. පීරිස් මහතා හිටපු ජනපතිවරයා මුණගැසීමට ඔහු රැඳී සිටින නිල නිවසට පැමිණියේය. එසේ පැමිණි ඔහු තවත් අපූරු ඉල්ලීමක් සිදුකර තිබුණි. මට ඔබතුමත් එක්ක තනියමයි කතා කරන්න ඕනා..." අවසානයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ඉල්ලීමට එකඟ වූයේය. ඒ අනුව දෙදෙනා පැය දෙකකට ආසන්න කාලයක් කිසිවකුගේ සහභාගීත්වයෙන් තොරව අතිශය සංවේදී කරුණු ගැන පෞද්ගලික සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන සිදුවීම් පිළිබඳ සමාලෝචනයක් එහිදී සිදුව ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙයි. කෙසේ වෙතත් මෙම රහසිගත සාකච්ඡාවේදී දෙදෙනා අතර හුවමාරු වූ අදහස් පිළිබඳව නිල වශයෙන් තොරතුරු නොලැබේ. මේ අතර ඉදිරියේදී ජී.එල්. පීරිස් ඇතුළු ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් හිටපු ජනාධිපතිවරයාව මුණගැසීමට සූදානමින් සිටින බවද තොරතුරු ලැබෙමින් පවතී.

සතියේ දේශපාලන කරළියේ විශේෂ අවධානයක් යොමුවූයේ අභිනවයෙන් පිහිටු වූ "ජාතික සභාව" දෙසටයි. එහි සමාරම්භක රැස්වීම සැප්තැම්බර් 21 වැනි බදාදා පෙරවරු 10.30 ට පමණ පාර්ලිමේන්තු සංකීරණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ජාතික සභාව ආරම්භ කරමින් කතා කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා තිබුණේ "දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණීම කාලීන අවශ්‍යතාවක්" බවයි.

ජාතික සභාවේ පළමු හමුවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොණ්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.

ජාතික සභාවේ පළමු තීරණය බවට පත්වූයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනාගැනීම සඳහා ස්ථාවර කමිටුවක් පත් කිරීමයි. දෙවැනි තීරණය වූයේ ආර්ථික ස්ථායීකරණ සඳහා දිගුකාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළ නිර්මාණය කිරීම සඳහා කමිටුවක් පත්කර ගැනීමයි. ඉදිරි බ්‍රහස්පතින්දා නැවත ජාතික සභාව රැස්වීමට නිමිතය. අදාළ කමිටුවල සාමාජිකත්වය දැරීමට කැමති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා නම් ලබාදෙන ලෙස මේ වනවිටත් දන්වා තිබේ. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජාතික සභාවට සහභාගී නොවීමද කැපී පෙනෙන සිදුවීමක් විය. කෙටි දැනුම්දීමක් මත පමණක් හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බව විපක්ෂනායකවරයා සඳහන් කර තිබුණේ තණමල්විල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය. ඔහු එහිදී ජාතික සභාව විවේනය කර තිබුණි. ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදී ගන්නා බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජාතික සභාව රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි’ යයි පාර්ලිමේන්තුවේ ජාතික සභාවට එක් නොවීම පිළිබඳ හේතු පහදමින් විමල්, උදය, වාසු නියෝජනය කරන උත්තර ලංකා සභාගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් දැන්වීය. ඊට අමතර "ජාතික සභාව කියන කපටි, වංක යෝජනාවට අපේ සහාය නෑ" යැයි ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා අවධාරණය කර තිබුණි. ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සමාජිකත්වය නොදැරුවත් ඔවුන්ද ජාතික සභාව ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය ජනතා පක්ෂයේ නායක  ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණියේය. රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන ඔහු පසුගිය කාලයේ සිදු වූ දේශපාලන සිදුවීම් පිළිබඳව පැයක පමණ කාලයක් හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ඇතැයි කියවේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවද පෞද්ගලික පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මුණගැසීමට ගොස් තිබූ සුබ්‍රමනියම් ස්වාමි මහතා  සමඟ ඉන්දියාවෙන් පැමිණි පූජකයන් පිරිසක්ද එක්ව සිටියහ. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ නවරාත්‍රී පූජාවක්ද පැවැත්වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙවර ලංකාවට පැමිණ තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමේ අරමුණින්ය.

මේ අතර ඉකුත් සතියේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් එක්ව මන්ත්‍රී කණ්ඩායම් හමුවක් පවත්වා ඇති බවට ද දේශපාලන ආරංචි ලැබුණි.

ඉදිරියේදී මුහුණ දීමට සිදුවන්නේ පළාත් පාලන ඡන්දයට බව මෙහිදී පක්ෂ නායකයන් මන්ත්‍රී කණ්ඩායමට අවධාරණය කර ඇතැයි කියැවේ. මෙහිදී පොහොට්ටුවේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, "අපිට අනිවාර්යෙන්ම ගම දිනන්න පුළුවන්. අනික් අයට තාම ගම දිනන්න බෑ. ඒක නිසා එකට වැඩ කරන්න ඕනෑ. අපිට පුංචි ඡන්දෙ දිනන්න පුළුවන්" යනුවෙනි.

I චමිදු නිසල් ද සිල්වා