2022 අගෝස්තු 21 වන ඉරිදා

හිටපු රාජ්‍ය ඇමැතිලා රහස් සාකච්ඡාවක

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 343
  • රනිල් - මහින්ද ජැක්සන්ගේ සුව දුක් බලන්න රෝහලට
  • බැසිල් මන්ත්‍රීන්ට දුන් අවවාදය
  • විමල්ගේ නායකත්වයෙන් නව සංධානයක්
  • 22ට විරුද්ධව පෙත්සම් 9ක්
  • පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසකට ඇතුළෙන් විරෝධය
  • සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ශ්‍රීලනිප බෙදීමක්
  • ආණ්ඩුවට යන කතාව බොරුවක්: මද්දුමබණ්ඩාර කියයි​

මහා කන්දක් තරණය කිරීමට පැමිණි පිරිස් කන්ද පාමුල කූඩාරම් ගසාගෙන කල්මරමින් සිටිති. සැබැවින්ම  මෙය සියල්ලෝම එක්ව තරණය කළ යුතු කන්දකි. එහෙත් එකිනෙකා අතරේ මේ කඳු තරණය සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් නැත. මහා කුණාටුවක් අත ළඟය. කූඩාරම් පවා සැඩ පහරට හසුවේද? කාට හෝ මේ කන්ද තරණය කළ හැකි වේද? සර්ව පාක්ෂික ආණ්ඩු පිළිබඳ කතිකා පිරුණු තවත් සතියක් ගෙවී ගියේය. අවසානයේ තවත් බලාපොරොත්තු සහිත සතියක් උදා විය.

පසුගිය සතිය නිමාවන විටත් සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර පොදු එකඟතාවක් නොවුණි. ඇතැම් පක්ෂ මෙම ක්‍රියාවලියෙන් සම්පූර්ණම බැහැර වන බව දන්වා සිටියේය. තවත් කණ්ඩායම් කිහිපයක් තනතුරු වරප්‍රසාද වෙනුවෙන් හොරගල් අහුලමින් සිටියෝය. මේ අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර තිබුණේ තවදුරටත් මෙම තාවකාලික ආණ්ඩුව පවත්වාගෙන යාම සුදුසු නොවන බවයි. 

අවසාන විසඳුම කරා එළැඹීමට නම් ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවය තදින්ම ඔවුනට දැනී තිබුණි. ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍ය කිහිපයක්ම ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අසන්නට ලැබුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් එළඹෙන සතියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර අවසාන වශයෙන් එකඟතාව පළ කරන පිරිස් එකතු කොට ගනිමින් නව ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

කෙසේ වෙතත් නිර්මාණය කරන නව ආණ්ඩුව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙසින් හැඳින්විය හැකිද යන්න  පිළිබඳ ගැටලු මතු විය. ආණ්ඩුවේම ඇතැමුන් කියා තිබුණේ මෙය බහු පක්ෂ ආණ්ඩුවක් බවයි. මේ අතර ඇතැම් පක්ෂ ආණ්ඩුව නියෝජනය නොකළ ද සර්ව පාක්ෂික වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

සර්ව පාක්ෂික වැඩපිළිවෙළ තුළ පාර්ලිමේන්තු කමිටුවල නායකත්වය සහ සාමාජිකත්වය ලබාගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවට වැඩපිළිවෙළින් බැහැර වූ සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් ප්‍රසිද්ධියේ එකඟතාව පළ කළේය.

කෙසේ වෙතත් පක්ෂ මට්ටමින් නව ආණ්ඩුවේ හවුල්කාරීත්වය ප්‍රතික්ෂේප කෙරුණද විපක්ෂයේ සැලකිය යුතු දේශපාලනඥයන් පිරිසක් නව ආණ්ඩුවට සම්බන්ධ වනු ඇති බවට ද තොරතුරු ගලා ආවේය. ඒ අනුව සමගි ජනබලවේගයේ ද දහයකට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් නව ආණ්ඩුවට සහයෝගය දෙන බවට ආරංචි පැතිර යමින් තිබුණි. 

මෙම පිරිසට කැබිනට් අමාත්‍ය ධුර දෙකක් හෝ තුනක් ද  රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් ද ලැබීමට නියමිත බව කියැවේ. එහෙත් ආණ්ඩුවට එක්වන සියලු දෙනාටම තනතුරු නොලැබෙන බවද තවත් පසෙකින් දැනගැනීමට ලැබේ.

මේ අතර සමගි ජනබලවේගය පිළිබඳ පැතිර ගිය කටකතා අතරේ සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඇමැතිකමක් ලබාගනු ඇති බව කියැවුණි. කෙසේ වෙතත් ඔහු එම පුවත ප්‍රතික්ෂේප කළේය. දේශයට දැනගැනීමට ලැබුණු පරිදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ආරාධනයක් කර ඇති බව සැබෑවකි. එහෙත් ඔහු ඊට එකඟතාව පළ කර නොමැත. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ බිහිවන නව ආණ්ඩුවේ තනතුරු භාරගැනීමට තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සමගි ජන බලවේගයේ කණ්ඩායම් ආණ්ඩුව සමඟ එක්වීමට යන බවට කියැවුණු තොරතුරු ප්‍රතික්ෂේප කොට තිබුණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය. විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මේ බව කී  සජිත් ප්‍රේමදාස මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා තමන් ඇතුළු කඳවුර පූර්ණ සහයෝගය ලබා දීමට සූදනම් බව කියා තිබුණි.

සියල්ල මෙසේ සිදුවෙමින් පැවති අතරතුර සර්ව පාක්ෂික ආණ්ඩුවේ තම පංගු පේරුව සම්බන්ධ පොහොට්ටුවේ නායකයෝ ද විශාල අවධානයකින් පසුවූහ. ඒ අනුව තම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ට අමාත්‍ය ධුර ලබා දිය යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දේශපාලන ආරංචි අතර කියැවුණි.

දැනටමත් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයන් වන රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග වැනි අයට අමාත්‍ය ධුර ලැබී තිබේ. මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇත්තේ ඔවුනට පරිබාහිර පිරිසක් සම්බන්ධවය. කෙසේ වෙතත් මෙම පිරිස අතරේ පසුගිය සමයේ දැඩි දෝෂදර්ශනයට ලක්වූවන් කිහිප දෙනකුගේ නම් ද ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබලයන්ට තනතුරු ලබාදීම පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම විරෝධතාවක් පවතින බව දැනගැනීමට ලැබේ. ජනාධිපතිවරයා ඇතැම් නම් නොසලකා හැරීමට කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ වැනි චරිත සම්බන්ධයෙන් ජනපතිගේ අවධානයක් යොමුවීමට ඉඩ ඇතැයි ද දැනගැනීමට ලැබේ. නව ආණ්ඩුවේ පොහොට්ටුවේ අමාත්‍යවරුන් දහ පහළොස් දෙනකු නියත වශයෙන්ම සිටිනු ඇතැයි තිරය පිටුපස කතාබහේ දී නිතර අසන්නට ලැබේ. ඒ අනුව මෙම නව ආණ්ඩුව පොහොට්ටුවේම ප්‍රධානත්වයෙන් වෙනත් ජනාධිපතිවරයකු යටතේ තවත් පක්ෂ කිහිපයක් හවුල් කරගෙන පිහිටුවන ආණ්ඩුවක් වනු ඇත.

මේ අතර රාජ්‍ය ඇමැතිකම් සම්බන්ධව ද යම් උණුසුම් තත්ත්වයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ නිර්මාණය වෙමින් පවතියි. බොහෝ දෙනකු රාජ්‍ය ඇමැතිකම් බලාපොරොත්තු වන බව  නොරහසකි. කෙසේ වෙතත් පසුගිය සතියේ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් 16 දෙනකු ඩී.වී. චානක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවෙසට එක් වී සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ. මෙතෙක් රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකිරීම සම්බන්ධව මෙම සියලු දෙනාම කනස්සල්ලට පත්ව සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙළි වූ තොරතුරු අනුව මෙම සාකච්ඡාව සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාය. ඊට අමතරව ජානක වත්කුඹුර, ඩී.වී. චානක ඇතුළු  කිහිප දෙනකු ද මීට මූලික වී තිබේ. සාකච්ඡාවේදී ජනාධිපතිවරයා හමුවී ඉදිරියේදී සාකච්ඡා කිරීමට ද කතිකා කොටගෙන ඇති බව කියැවේ. 

එසේම පළමුව තම ගැටලු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැන්වීමට ද මෙම පිරිස අතරින් යෝජනාවක් ඉදිරිපත් වූ බව දැනගැනීමට ලැබේ. තවද ජනපති හමුවී දමිළ ඩයස්පෝරාව ඇතුළු සංවිධාන ගණනාවක තහනම ඉවත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ යුතු බවට මෙහිදී එකඟ වී තිබේ.

මේ අතර කුඩා පක්ෂ කිහිපයක් ද නව ආණ්ඩුවට සම්බන්ධ වීම පිළිබඳ තීරණයට එළැඹ තිබුණි. ඒ අනුව ජීවන් තොණ්ඩමන්, මනෝ ගනේෂන් වැනි අයගේ නම් අමාත්‍ය ධුර සඳහා යෝජනා වී ඇති බව කියැවේ. කෙසේ වෙතත් මුස්ලිම් දේශපාලන පක්ෂ අතර අමාත්‍ය ධුර ලබාගැනීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් සිකුරාදා වන විටත් නිර්මාණය වී නොතිබිණි. ඇතැම් විට ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීමට ඉඩ ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසාන එකඟතාව කුමක්ද යන්න තවදුරටත් පැහැදිලි නොමැත.

පසුගිය සතියේ විමල්, උදය, වාසු ඇතුළු කණ්ඩායමේ දේශපාලන  සන්ධානය පිළිබඳවද තොරතුරු දැන කියාගැනීමට ලැබුණි. ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10ක එකමුතුවෙන් බිහිවන නව දේශපාලන සන්ධානය ‌ලබන සැප්තැම්බර් 4 වැනිදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදකිනු ඇති බව කියැවුණි.

කෙසේ වෙතත් මෙම පක්ෂ 10 කණ්ඩායම අවසානයේ පක්ෂ 8 ක කණ්ඩායමක් බවට පත්ව ඇතැයි ඇතැම් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. පසුව එය වාසුදේව නානායක්කාර මහතා ද පිළිගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම ඇතුළු කටයුතු රැසක් මේ වන විටත් අවසන් අදියරට පැමිණ ඇතැයි දැනගන්නට ලැබේ.

පැරැණි වාම දේශපාලන පක්ෂවල නායකයන් සමඟ විමල් වීරවංශ මහතාගේ සභාපතිත්වයෙන් මෙම නව සන්ධානය බිහිවනු ඇත. නව සන්ධානයෙහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද පසුගිය සතියේ සඳහන් කළේය. කෙසේ වෙතත් නව සන්ධානයේ නම සහ සලකුණ ප්‍රකාශයට පත් කිරීම වාසුදේව නානායක්කාර මහතා ප්‍රතික්ෂේප කළේය. මෙම නව සන්ධානයේ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්ම ඉකුත් සතිය පුරා පවත්වා තිබූ බවට ද වාර්තා පළ විය.

පසුගිය සතියේ බොහෝ දේශපාලන කලබල අතරේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී ගමනක් ගියේය. ඔහු ගියේ රෝගාතුර වී සිටින ප්‍රවීන රංගධරයකු වන ජැක්සන් ඇන්තනි මහතා බැහැදැකීම වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි කලාකරුවා සිය සමීපතමයකු ලෙස සලකන බව ප්‍රකට කරුණකි.

මෙම ගමනේදී ජැක්සන් ඇන්තනි සුවකර ගැනීමට රජය පාර්ශ්වයෙන් ඕනෑම උදව්වක් කිරීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා ඇන්තනි පවුලට කියා ඇති බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ. ඒ අනුව ජැක්සන් ඇන්තනි මහතාට කතා කිරීමට නොහැකි තත්ත්වයක සිටි බැවින් ඔහුගේ දරුවන් සහ පවුලේ අය සමග කතාබහ කළ මහින්ද රාජපක්ෂ ජැක්සන් ඇන්තනී හට ඉක්මන් සුවය පතා ඇත.

මේ අතර සිකුරාදා උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද  ජාතික රෝහලට ගොස් ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ සුවදුක් විමසා සිටි බව දැන ගැනීමට ලැබුණි. මෙහිදී ජනපති ජක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ද හමුව තිබේ. ඔහු සුව කරගැනීම වෙනුවෙන් අවශ්‍ය අතිරේක ප්‍රතිකාර සහ ඖෂධ තිබේ නම් ඒවාට සම්පූර්ණ වියදම් තමා සොයාදෙන බව වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි කියැවේ.

ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව ජාතික රෝහලේ අදාළ වාට්ටුව හොඳින් පවත්වාගෙන යාම සම්බන්ධව එහි කාර්ය මණ්ඩලයටද ස්තූතිය පිරිනැමීමට ජනපති කටයුතුකොට තිබේ. ජනාධිපති වරයාගේ මෙම ගමන තරමක සුවිශේෂීය. 
මේ ආදී කටයුතු අතර සම්මත කර ගැනීමට නියමිත ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉකුත් සතියේ සුවිශේෂී කතාබහක් ඇති විය. දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දීර්ඝ වශයෙන් මෙම සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කොට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කරුණට විරෝධය පළ කිරීමට පොහොට්ටුවේ පිරිස් සූදානම් වන බව ඒ අනුව කියැවේ. සෘජුවම තම පක්ෂයේ නිර්මාතෘවන බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් මෙම යෝජනාව ගෙන ආ බව කියමින් ඔවුන් ඊට විරෝධය පළ කරයි. අදාළ යෝජනාව අන්තර්ගත වුවහොත් මෙම පිරිස් සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදීමට ඉඩ ඇත.

මීට අමතරව 19 සංශෝධනයේ අන්තර්ගතය වසර දෙකහමාරකට පසු ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව වසර හතර හමාරක් දක්වා දීර්ඝ කරන ලෙසද පොහොට්ටුව යෝජනා කර ඇතැයි කියැවේ. මේ සම්බන්ධව දේශපාලන කරළියේත් තිරය පිටුපස සංවාදවලට අනුව, තමනට බහුතර බලය ඇති පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමට ජනපති කටයුතු කරනු ඇතැයි බියෙන් පොහොට්ටුවේ කණ්ඩායම් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මේ අතර පොදුජන පෙරමුණේ අනෙක් යෝජනා වී තිබෙන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය පෞද්ගලික අභිමතය පරිදි ඡන්දය දීමට තම මන්ත්‍රී කණ්ඩායමට අවස්ථාව ලබාදිය යුතු බවයි. ඇතැම්විට සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම වර්ජනය කිරීමට මෙම පිරිස උත්සාහ දරනවා විය හැකිය. කෙසේ වෙතත් සංශෝධනය සම්බන්ධ මත ගැටුමක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින බව මෙම ආරංචි හරහා පැහැදිලි වෙයි.

මේ අතරවාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 9ක් පසුගිය සතියේ ගොනු වූයේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතීන් කඩවීමක් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුවන බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.

එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු විසින් එම පෙත්සම් ගොනු කර තිබේ.

ඉදිරි සතියේදී බිහිවීමට නියමිත නව අාණ්ඩුෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංගුව පිළිබඳවද ඉකුත් සතියේ තොරතුරු ගලා ආවේය. දැනටමත් පක්ෂ අභ්‍යන්තරයේ බෙදීමක් ඇති බැවින් ආණ්ඩුවට එක්වීම සම්බන්ධ සාකච්ඡා උණුසුම් වී ඇති බව කියැවේ. ඉකුත් සති කිහිපයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම ආණ්ඩුවට එක් වීම සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි දැන ගැනීමට ලැබේ. කෙසේ වෙතත් ඔහුට ආණ්ඩුවේ තනතුරු ලැබුණද නොලැබුණද තවත් පිරිසක් නියත වශයෙන්ම තනතුරු ලබාගන්නා බව මේ වනවිටත් හෙළිදරව් වී තිබේ.

පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබුණේ සර්වපාක්ෂිකද ජාතිකද යන වචන කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කිහිපයක එකතුවකින් නව ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවයි. ඔව්. ශ්‍රීලනිපය ආණ්ඩුව තුළට එනවා. අපට විරුද්ධව විනය පරීක්ෂණ ගැන කියලා වැඩක් නෑ. ශ්‍රීලනිපයේ විශාල පිරිසකට ඇමති ධූර නියෝජ්‍ය ඇමති ධූර ලැබෙයි. මාධ්‍ය විමසීමකදී අමරවීර මහතා මෙසේ පවසා තිබුණි. ඒ සමඟම ශ්‍රීලනිප අරබුදයේ ස්වභාවය අපට අවබෝධ වේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් ප්‍රශ්න කිරීමකට මැදි වූයේය. ඊට හේතුව වී තිබුණේ ඔහු ජනාධිපති සමාව පිරිනැමූ ජූඩ් ශ්‍රමන්ත නැමැත්තා සම්බන්ධ සිදුවීමයි. දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණේ පැය තුනකට ආසන්න කාලයක් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පොලිස් ප්‍රශ්න කිරීම් සිදු වූ බවකි. 

යහපාලන ආණ්ඩු සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා රතන හිමියන්ගේ මැදිහත්වීම මත ජූඩ් ශ්‍රමන්ත නැමැත්තාට ජනාධිපති සමාව පිරිනැමුවේය. පසුව වින්දිතයන්ගේ පාර්ශ්වය ඊට දැඩිව විරෝධය පළ කළේය. මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධ නැවත පරීක්ෂණ සිදු කෙරෙයි.

මේ අතර සර්වපාක්ෂික යෝජනා ප්‍රතික්ෂේප කළ ජාතික ජනබලවේගය තම ස්ථාවරය පසුගිය සතිය ආරම්භයේදීම ජනපතිට දන්වා තිබුණි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන තවදුරටත් කතා කිරීම යථාර්ථවාදී නොවන බවත් දැනට පිහිටුවා තිබෙන රනිල් හා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ කොටස්කරුවන් වීම ඵල රහිත බවත් දන්වමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් කියා සිටියේය.

ජනතාව විඳින පීඩාවන්ට සහනයක් සලසමින් අන්තර්කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙළකට යෑමට අවංක වුවමනාවක් තිබුණේ නම් එම අවස්ථාව තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරමින් රටින් පිට වීමත් සමඟ යැයි ජාතික ජනබලවේගයේ නායකයා මෙම ලිපියේ සඳහන් කොට තිබේ.

මේ අතර පසුගිය සතියේ හිටපු පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති බවට තොරතුරු දැන ගැනීමට ලැබුණි. සර්ව පාක්ෂික කතිකාව සහ තවත් කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ. මෙහිදී පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම හා පක්ෂය සුරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පිරිසට කරුණු පැහැදිලි කර දී තිබේ.
මේ අතර  තවත් දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ විසින් මන්ත්‍රී කණ්ඩායමට විශේෂ අවවාදයක් ලබාදී ඇති බවයි. "කණ්ඩායමක් විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ගිහිල්ලා මුණගැහිලා ඉල්ලීම් සිදුකළාට කමක් නෑ. නමුත් තනි තනිව සන්තෝෂම් ඉල්ලන්න ගිහිල්ලා අනිත් පක්ෂ ඉස්සරා ලැජ්ජ වෙන්න එපා."

කෙසේවෙතත් ඉහත කී සාකච්ඡාවට සම්බන්ධ වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් ද පැමිණ ඇතැයි දැන ගැනීමට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බව ප්‍රකාශ කිරීම මෙම පිරිසේ කනස්සල්ලට හේතු වී තිබේ. තමන් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නා බවත් එම අවස්ථාවේදී වෘත්තීය සමිතිවල විරෝධතා නොසලකා හරින බවත් පසුගිය සතියේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවසා තිබුණි. පොහොට්ටුවේ මෙන්ම බොහෝ වෘත්තීය සමිති නායකයෝ මෙම ප්‍රකාශයෙන් කිපී සිටියෝය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ප්‍රතිපත්ති සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති අතර ගැටුමක් නිර්මාණය වෙමින් ඇති මෙම සාකච්ඡාවේදී පැහැදිලි වී තිබේ. ඒ අනුව මේ හා සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු රාජ්‍ය අමාත්‍යවරු තීරණය කර ඇතැයි කියවේ. එසේම ආණ්ඩුව තවදුරටත් ගැටුම්වලින් තොරව පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධ කමිටුවක් පත් කිරීමටද පොහොට්ටුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි දැනගැනීමට ලැබේ.

චමිදු නිසල් ද සිල්වා