2022 අගෝස්තු 14 වන ඉරිදා

ගෝඨාභයගේ තායි වීසාවේ කතාව

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 353

  • තෙල් ඇමැති කාංචනගේ වැඩේ අගයති
  • ගේ ගිනි තැබීම ගැන ජනාධිපති රනිල් කියූ කතාව
  • ගෝල්ෆේස් අරගලයේ අවසානය!
  • ඩලස්ගෙන් අමුතු කතාවක්
  • රන්ජන් රාමනායකට ජනපති සමාව
  • ආණ්ඩු පක්ෂයෙන් සරත් ෆොන්සේකාට දැඩි විරෝධයක්

 

කුණාටුවට පෙර ද කුණාටුවට පසුව ද සයුර නිශ්චලය. ගෙවී ගියේ නිශ්චිත දේශපාලන සතියකි. පුරා මාස හතරකට ආසන්න කාලයක් පැවති ගෝල්ෆේස් අරගලය විසිර ගියේය. විරෝධතා උද්ඝෝෂණ තරමක් අවම විය. තෙල් පෝලිම්වලද අඳුරු වලා අතර රිදී රේඛාවක් දිස් වූයේය. බොහෝ දෙනකු කීවේ කුණාටුව නිමවූ බවකි. නමුත් මහා කුණාටුවකට පෙර එළඹෙන නිහැඬියාව මෙය විය හැකි බවට අනාවැකි කී පිරිස් ද වූහ.

සර්වපාක්ෂික ආණ්ඩු නිර්මාණය සම්බන්ධ වූ කතිකාව සතියේ ප්‍රධාන දේශපාලන මාතෘකාව විය. ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධ අවසන් අදියරේ සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සතියේදී පැවැත්වුණි. මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව කියැවුණේ ඉදිරි දෙසතිය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුව බිහිවනු ඇති බවකි. මේ ඉදිරි සතියේදී පවා සිදුවිය හැකි බව කියැවුණි.

ඒ අනුව ''සර්වපාක්ෂික ආණ්ඩුව'' යන නාමකරණය වෙනුවට ඉදිරියේදී ''සර්ව පාක්ෂික පාලනය'' යන වචනය භාවිතයට පැමිණෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගැනීමට ලැබුණි. ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා පිරිස් පාලනයට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උපක්‍රමය භාවිතයේ යොදවන බව කියැවේ.

ඒ අනුව පවතින කැබිනට් මණ්ඩලයටම වෙනත් පක්ෂවලින්ද නියෝජිතයන් එක් කරමින් සර්ව පාක්ෂික පාලනයේ කැබිනට් මණ්ඩලය පත් කෙරෙනු ඇත. මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් විවිධ පක්ෂවල ප්‍රධාන ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට විවිධ මාර්ග ඔස්සේ පණිවිඩ ලබාදෙමින් ඇතැයි වාර්තා පළ වෙයි.

ඇතමුන් සෘජුවම ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර තව කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂය හරහා මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන් හරහා මෙම ඉල්ලීම් කරමින් සිටිති. ඔවුන් ප්‍රබල අමාත්‍ය ධූර නම් කරමින් ඒවා ඉල්ලා සිටින බව කියැවේ. මේ පිළිබඳ අවසන් අදියරේ අභ්‍යන්තර සාකච්ඡාව මෙම සති අන්තයේදී සිදුවනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය සතිය ආරම්භයේදී තීරණාත්මක ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවක්ද පැවැත්වුණි. මෙහිදී පළමුව සාකච්ඡාවට ලක්ව තිබුණේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉකුත් සතියේදී අරගලය සම්බන්ධව සිදුකළ ප්‍රකාශයයි. ඒ අනුව මෙම සාකච්ඡාව පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ලබාගත් තොරතුරු අපි මෙසේ පෙළගස්වමු.

මේ නව වැනිදාත් කොළඹ වටලන්න කියලා සරත් පොන්සේකා  මිනිස්සු උසිගන්වනවා. මේක හරි සවුත්තු වැඩක් මෙයාට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනෑ...''

කණ්ඩායම් හමුවේදී මේ ආදී වූ විරෝධතා රැසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතරෙන් මතුවන්නට විය. රට නොබෙදන බවත් සාමය ආරක්ෂා කරන බවත් පාර්ලිමේන්තුවේදී දිවුරා ඇති බැවින් ඔහුව විරුද්ධව නීතිමය පියවර ගැනීම අනිවාර්ය බව පිරිසක් කීහ.

ජනාධිපති මන්දිරය වැනි රටේ පාලන මර්මස්ථාන අරගලකරුවන් අත්පත් කර ගැනීමේ ප්‍රධාන වගකිව යුත්තා වෙන කිසිවකු නොව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා බව කීවේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයාය. එමනිසා ඔහු අත්අඩංගුවට ගත යුතු යැයිද තවත් පිරිසක් කීහ. ෆොන්සේකා විරෝධය තදින්ම පැතිර ගිය අතර ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය සම්බන්ධවද තීරණයක් ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කීහ. මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද කියා සිටියේ ''කවුරුහරි නීතිය කඩ කරනවා නම් දඬුවම් කරන්න ඕනා. ඒකට තරාතිරම බලන්න බලන්න බෑ'' යනුවෙනි. 

ෆොන්සේකා විරෝධතාවෙන් ඉනික්බිති ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනපති අමතා ස්තූති ප්‍රකාශ‍යක් කළේය.

''ජනාධිපතිතුමනි දැන් ආණ්ඩුව යන විදිය හොඳයි. කාටත් සහන ලැබිලා තියෙනවා. පහුගිය කාලයේ අපි කිව්ව ගොඩක් දේවල් සිද්ධ වුණේ නෑ. දැන් හුඟක් දේවල් සිද්ධ වෙනවා.''

මේ අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක්ම කංචන විජේසේකර අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පිරිනැමීමට අමතක නොකළෝය. කිව්.ආර්. සංකේත ක්‍රමය රැගෙන ඇවිත් ඉන්ධන පෝලිම් අවම කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ගය මෙහිදී අගය කෙරුණි. මේ අතර කංචන විජේසේකර අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ  කිව්.ආර්. ක්‍රමය ස්ථාපිත කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ආයතන සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබාදුන් බවද සිහිපත් කර තිබුණි.

මේ ආදී වශයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රුස්වීම ඉදිරියට ඇදෙන විට සරත් වීරසේකර මහතා චීන නැව සම්බන්ධ අර්බුදය කරළියට ගෙන ආවේය. ඉන්දියාව හේතුවක් කොටගෙන බිය වී චීන නැව පැමිණීම නතර කිරීම සුදුසු නැති බව ඔහු කීය. ''චීන නැවට කරුණාකරලා එන්න දෙන්න. ඉන්දියාව හේතුවක් කරගෙන මේක නවත්තන්න ඕනේ නෑ.'' 

මෙහිදී ඉදිරිපත් වූ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා කරුණු පැහැදිලි කළේය.

''අපි දෙපැත්තම බැලන්ස් කරන්න ඕනා. ඉන්දියාව අපිට ගොඩක් උදව් කරල තියෙනවා. ඉන්දියාව අපේ අසල්වැසියා. චීනෙත් අපිට උදවු කරලා තියෙනවා. මෙතනදී අපි මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනා. මේක නිලධාරි මට්ටමෙන් ගත්ත තීන්දුවක්. දේශපාලන මට්ටමෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ වගේ මේ වගේ ආරක්ෂක නැව් ගොඩක් එනවා. ඒවාට නිලධාරී මට්ටමින් තමයි අවසර දෙන්නේ. ජනාධිපතිවත් විදේශ ඇමතිවත් ආරක්ෂක ඇමැතිවත් ඒකට මැදිහත් වෙන්නේ නෑ.''

මේ අතර නවවැනිදා පැවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණය පිළිබඳවද සතිය මුල පැවැති මෙම සාකච්ඡාවේදී සංවාදයට බඳුන් විය. ඒ අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ නි‌ෙවස ගිනි තැබීම සම්බන්ධව කතාවක් කීවේය.

''මට තමුන්නාන්සේලාට කියන්න අවශ්‍යයි මගේ ගෙටත් ගිනි තියලා විනාශ කළා. එදා මම ගෙදරයි හිටියේ. මගේ භාර්යාව කොළඹ නගරයේ වෙන තැනක හිටියේ. එතුමිය මට හදිසියේ එතැනට එන්න කියලා කිව්වා. මම ගෙදර ඉඳලා එතැනට ගියා එහෙම නැත්නම් ගිනි තියන වෙලාවේ මමත් ගෙදර තමයි ඉන්නේ. මගේ ජීවිතේ බේරුණේ භාර්යාවගේ කීම අහලා ගෙදර ඉඳලා එතැනට ගියපු නිසා...''

මේ ආදී සංවාද රැසක් අවසානයේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුව නිමාවට පත්විය.

පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූ තවත් සිදුවීමක් වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවෙන් තායිලන්තයට ගමන් කිරීමයි. මේ පිළිබඳ විවිධ කතා පැතිර ගිය අතර අපට මෙහි යථා තතු දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ හෙළිදරව් කර ගැනීමට හැකි විය.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින හරහා මසකට පමණ පෙර සිංගප්පූරුව වෙත පැමිණියේය. ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේ සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ශන්මුගම් මහතාය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය භාර්යාව සහ ආරක්ෂකයන් සමඟ සිංගප්පූරුවේ මරීනා බේ ප්‍රදේශයේ තරු හතරක හෝටලයක කාමර දෙකක් වෙන් කරවාගෙන එහි රැඳී සිටියේය. මේ අතර කාලයේ ලංකා සම්භවයක්ද සහිත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිත්‍රයෙක් වන සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය ශන්මුගම් අවස්ථා කිහිපයකදීම රාජපක්ෂ මහතා සමඟ දිවා භෝජනයට සම්බන්ධ වී තිබුණි.

සිංගප්පූරුවේ සිටි මාසයක කාලය අවසානයේදී බොහෝ පිරිසක් කීවේ තවත් සති දෙකක් වීසා දීර්ඝ කරගැනීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසය. රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව සිංගප්පූරුවට පැමිණීම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔවුහු පෙන්වා දුන්නෝය. මේ අතර තවත් පිරිසක් කියා සිටියේ වියට්නාමය හෝ තායිලන්තය බලා ගමන් කිරීම සුදුසු බවයි. මේ අතර කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමතුමක් ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේ තවත් සති කීපයක් පමණ රුඳී සිට ලංකාවට පැමිණෙන ලෙසයි.

''ඔබතුමාට ලංකාවට එන්න පුළුවන් ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නවවැනිදාත් මොකක්ද උද්ඝෝෂණයක් තිබෙනවා කියලා කියනවා. අපි එක පාලනය කරල තියෙන්නෙ. ඒත් මම යෝජනා කරන්නේ තවත් සුමාන දෙක තුනක් ඉඳලා ආවොත් හොඳයි කියලා.''

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා තායිලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවකි. ඒ සමගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ඊට අවශ්‍ය පහසුකම් තමාට සලසා දිය හැකි බවයි.

''මම ඒ ගැන බලා ගන්නම්. තායිලන්තයේ  තානාපතිතුමියට කතා කරන්නම්....''

එලෙස සඳහන් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දී තිබුණේ තායිලන්තයේ තානාපතිනී චාමිද්‍රි කොලොන්නේ මහත්මියට කතාකොට කටයුතු සූදානම් කරන ලෙසය. ඒ අනුව තනාපතිනිය අවශ්‍ය කටයුතු සූදානම් කළාය.
මේ අතර විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා කාම්බෝජයේදී තායිලන්ත විදේශ ඇමතිවරයාද හමුවී තිබුණි. ඒ අතරවාරයේදී හිටපු ජනාධිපතිවරයාගේ තායිලන්ත සංචාරය පිළිබඳවද සඳහන් කොට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී එහි අවශ්‍ය කටයුතු සකස් කරදීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා එකඟ වූ අතර අවසාන වශයෙන් තායිලන්ත අගමැතිවරයාගේ අනුමැතිය හිමිවිය. මසකට නොව දින 90ක් සඳහාම වීසා ලබාදීමට ඔහු සිය කැමැත්ත පළකර තිබුණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වීසා පහසුකම් ලැබුණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අගෝස්තු 11 වැනිදා එරට වේලාවෙන් රාත්‍රී 7.30ට පමණ පැමිණියේය. තායිලන්ත ශ්‍රී ලංකා තානාපති, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් කිහිපදෙනෙක් හිටපු ජනපතිවරයා පිළිගැනීමට පැමිණ සිටියහ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්ත සරණාගත වීසා ඉල්ලූ බවට පැතිරෙන කටකතා සත්‍යයක් නොවන බවට හෙළිදරව් කරමින් රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරය පිළිබඳව මෙරට රජයේද නිල නිවේදනයක් නිකුත් කොට තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන රුකවරණ පතා නොමැති බවද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

සරත් ෆොන්සේකා මහතා යටකී සැර ප්‍රකාශය සිදු කර තිබුණේ අගෝස්තු නම වැනිදා පැවැත්වෙන බව කියූ විරෝධතාවයක් පිළිබඳ අදහස් දක්වමිනි. එහෙත් එවන් විරෝධතාවයක් එදින සංවිධානය නොවීය. අවසානයේ ඓතිහාසික දේශපාලන පෙරුළි රුසකට හේතු වූ ගාලුමුවදොර අරගලය අවසානය කරා පැමිණියේය. දින 125ක් පුරා ගාලුමුවදොර පිටියේ පවත්වාගෙන ආ විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් කරන බව එහි සංවිධායකයෝ කියා සිටියහ. රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගාලුමුවදොර දී මාධ්‍ය වෙත කියා සිටියේ භෞතිකව අරගල භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නැති බවයි.

මේ අතර පසුගිය සතියේ දී රන්ජන් රාමනායක නිදහස් කිරීම සම්බන්ධවද විශාල කතිකාවතක් නිර්මාණය විය. දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක හට නිදහස ලබාදීමට නම් ඔහු දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවට කොන්දේසියක් පනවා ඇති බවයි. ඒ අනුව මෙම සමාව අයැදීම මත ඔහුගේ නිදහස සම්බන්ධ කරුණු තීරණය වනු ඇතැයි දේශපාලන කරළියේත් තිරය පිටුපසත් කතාබහට ලක්වේ.

ආරම්භයේ දී මෙම සමාව අයැදීමට රන්ජන් රාමනායක මහතා එතරම් ප්‍රිය නොකළ බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ ඉල්ලීම පරිදි ඔහු මෙම සතිය අවසානයේ දී කනගාටුව පළ කිරීමේ දිවුරුම් ප්‍රකාශය ලබා දීමට නියමිතය. ඔහු එම ප්‍රකාශය ලබා දුනහොත් එළඹෙන සතියේ දී ඔහු හට ජනාධිපති සමාව ලැබීමට වැඩි ඉඩක් ඇතැයි කියැවේ. පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසා තිබුණේ දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබා දීමට ඇති හැකියාව මත රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බවය.

ගෙවී ගිය සතිය පාර්ලිමේන්තු සතියක් වූයෙන් මහජන නියෝජිතයන් කාර්යබහුල වූ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ ප්‍රමුඛව සිදුවූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයයි. මෙම විවාදය විවිධ කරුණු පාදක කොටගෙන නිරන්තර උණුසුම් විය. 

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනපති සටනට එක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ කතාව පිළිබඳ විවාදය කාගේත් අවධානය යොමු වී තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාවේ භාෂාව, වචන ඉදිරිපත් කිරීම, අන්තර්ගතය පිළිබඳව කිසිම ගැටලුවක් නැති නමුත් එම කතාව කියවා ගත යුත්තේ භාෂා අලංකෘත වලින් නොවේ යැයි ද ඒ සඳහා වෙනම මිනුම් දණ්ඩක් තිබෙන බවද අලහප්පෙරුම මහතා සිය කතාවේදී කීය. 

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දා සිට  මාස තුනක කාලයේදී පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ අර්බුද සහ පාර්ලිමේන්තුවේදී එතුමාට උදව් පදව් කළ මන්ත්‍රීවරුන්ගේ අර්බුද විසඳන්නට කටයුතු කර තිබෙන නමුත් ජනතාවගේ අර්බුදය විසඳීමට යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අයුරු දුටුවේ නැතැයි ද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ඒ අතරතුර පසුගිය බදාදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ අතර, ඉන් පසුව විෂය භාර ඇමැතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළේය. මීට අදාළ විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ද පසුගිය සතියේ දී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ කිහිපයකටම එළැඹ තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 විසර්ජන (සංශෝධිත) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින නියම විය. එය අගෝස්තු 30, 31 සහ සැප්තැම්බර් 01, 02 යන දිනවලදී සිදු කිරීමට නියමිතය.

ඉකුත් සතියේ කැපී පෙනුණු සිදුවීමක් වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සක්‍රීය දේශපාලනයයි. ඔහු පාර්ලිමේන්තුව තුළ ද පාර්ලිමේන්තුවෙන් පිටතද විවිධ ප්‍රකාශ කරනු දැකගත හැකි විය. ඒ අතරේම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඉහළ තනතුරක් ඔහු හට ලැබෙනු ඇතැයි කියැවුණු දේශපාලන ආරංචි ද අප වෙත ලැබුණි. තවත් තැනක කියැවුණේ ඔහුගේ මේ හදිසි දේශපාලන අවදිවීම තනතුරක් වෙනුවෙන් බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා චීන නැව් ගැටලුව සම්බන්ධව සිදු කළ ප්‍රකාශය විදෙස් මාධ්‍යවලද අවධානයට ලක්ව තිබුණි. ආණ්ඩුව මේ අවස්ථාවේ ඔලුව පාවිච්චි කර වැඩ නොකළොත් ශ්‍රී ලංකාවට චීනයත් නැතිවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා පැවසීය. යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වය රටට අහිතකර හා පාඩු නොවන ලෙස ආණ්ඩුව විසඳාගනු ඇතැයි විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අතර ඔහු තවත් හෙළිදරව්වක් සිදු කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ වත්මන් විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා ඉතා හොඳ මානවවාදී උගත් අයකු වුවත් අමාත්‍යාංශ නිලධාරීන් මෙම නෞකාවට අවසර දී ඇත්තේ අමාත්‍යවරයාගේ අවසරය හෝ නොමැතිව බව දැනගන්නට ඇති බවකි. ජපානය ද ශ්‍රී ලංකාව කෙරෙන් ඈත්වූයේ මේ විලස බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේ එය මේ රටේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් බවයි. ශ්‍රී ලංකාවට ලොව සෑම රටක්ම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 චමිදු නිසල් ද සිල්වා