2022 ජුලි 31 වන ඉරිදා

තීරණාත්මක වූ හදිසි නීති ඡන්දය

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 247

  • ශ්‍රීලනිපයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කොළ එළියක්
  •  ආරක්ෂක ලේකම්ගෙන් මන්ත්‍රීවරුන්ට සහතිකයක්
  • බොරළුගොඩින් බිහිවූ පළමු අගමැති දිනේෂ්
  • අරගලකරුවෝ අරාජිකයෝ: විමල්ගෙන් මැතිසබයේදී සැර කතාවක්
  • ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයමක - සජිත්
  • රෝහිතට - ජොන්ස්ටන්ට ඇමැති පදවි?
  • ජවිපෙ නායකයා ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

ගෙවී ගියේ උඩුකුරු තෙරපුමක් සහිත දේශපාලන සතියකි. බල බිඳී හැකිළුණු බොහෝ දේශපාලන චරිත නැවතත් හිස ඔසවා පාරම්බෑම අරඹා තිබුණි. අරගලයේ බල සිඳී ගිය සෙයකි. පාර්ලිමේන්තුවේ පැවතියේ දැඩි උණුසුමකි. අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගැනීම් ද රටපුරා අසන්නට ලැබුණි. ඒ අනුව අතරමග නැවතුණු සුපුරුදු දේශපාලන පරිච්ඡේදයක් නැවත ලිවීම ඉකුත් සතියේ ආරම්භ වූ බව පෙනී ගියේය. 

පසුගිය සතිය ඇරඹුමේ එනම් සඳුදා දිනයේදී තීරණාත්මක සාකච්ඡාවක් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබුණි. තමන්ට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් ඔහු මෙලෙස තමා හමුවට කැඳවීය. දැනගන්නට ලැබුණු පරිදි මෙම හමුව සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරු 97 දෙනෙක් පැමිණ සිටියහ. තවත් මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ විවිධ රෝගාබාධ සහ ඉන්ධන ගැටලු හේතුවෙන් රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබුණි. මෙම හමුව සම්බන්ධයෙන් වූ දේශපාලන ආරංචි ඇසුරෙන් සිදු වූ කතාබහ මෙලෙස හෙළිදරව් විය.

ආරංචි මාර්ග අනුව මෙහිදී පළමුව පිරිස ඇමතුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැස්ව සිටි පිරිස ඇමතුවේය. තමාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා සහයෝගය පළ කිරීම පිළිබඳව ඔහු පළමුව පිරිසට ස්තුතිවන්ත විය. ඒ අනුව ඔහු රුස්ව සිටි පිරිස අමතා කියා තිබුණේ මෙවන් කතාවකි.

“මම පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයි. මම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය පොහොට්ටුව. අපි එකතුවෙලා ගමනක් යන්න ඕන. මට පාර්ලිමේන්තුවේ ඉන්නේ වජිර අබේවර්ධන විතරයි. ආණ්ඩුවේ මමත් එක්ක දෙන්නයි. මේ ගමන යන්න තමුන්නාන්සේලා සියලුම දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා."

මේ අතර හදිසි නීතිය සම්බන්ධව ද මෙම හමුවේදී ජනාධිපතිවරයා සුවිශේෂී අවධානයක් යොමු කළේය. ඒ අනුව රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යා යුතු බවත්, ඒ සඳහා හදිසි නීතිය බලාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බවත් වික්‍රමසිංහ මහතා පිරිසට අවධාරණය කළේය. එසේම එළඹෙන අගෝස්තු 9 වැනිදා තවත් විරෝධතාවයක් සැලසුම් කිරීම පිළිබඳ තොරතුරු ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තමා සියලු කටයුතු සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සංචාරක කර්මාන්තය ඇතුළු කර්මාන්ත සියල්ලම මෙම විරෝධතා හමුවේ අඩාල වීමට ඉඩ ඇති බව ඔහු පැවසීය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ හදිසි නීතිය පනවන්නේ ජනතාව ගැන සිතා බලා බවයි.

අනතුරුව ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට කරුණු පැහැදිලි කරන්නට විය. දේශපාලන ආරංචි අනුව මෙහිදී සිදුවූයේ තරමක කලබගෑනියකි. කමල් ගුණරත්න මහතා සිය කතාව ආරම්භ කළේය.

 “අපි මාස තුනක් ඉවසගෙන හිටියා. මින් ඉදිරියට අපිට මෙතෙක් භාවිත නොකළ යම් යම් බලතල භාවිත කරන්න වෙනවා. පසුගිය කාලේ විශාල විනාශයක් වුණා. අපි වගේම ආණ්ඩුව පවතින්නේ ජනතාවගේ බදු මුදල්වලින්. ඒ නිසා අපි තවදුරටත් නිවට වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි රජයේ මර්මස්ථාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා."

මේ ආදී වශයෙන් ඔහු කරුණු දක්වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් සිල්වා මහතා නැගී සිට ආරක්ෂක ලේකම්වරයාට ප්‍රශ්නයක් යොමු කළේය.

“තරහ වෙන්න එපා ලේකම්තුමා, මට තේරෙන්නෙ නැති නිසා මේ ප්‍රශ්නය අහන්නේ. ඇයි ඔබතුමාලා ගිය නව වැනිදා ඕක නොකළේ. එතකොට ඔබතුමා ආරක්ෂක ලේකම් නෙවෙයිද? ඇයි ඔහොම නොකළේ?" 

මේ සමඟම ආරක්ෂක ලේකම්වරයාගේ කතාවට බාධා කරමින් මන්ත්‍රීවරු අදහස් දක්වන්නට වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද විමසා සිටියේ "මගේ ගේ ගිනි තිබ්බා. මන්ත්‍රීවරු හැත්තෑ ගාණකගේ ගෙවල් ගිනි තිබ්බා. කෝ ඔබතුමාලා මුකුත් කළේ නෑනෙ" යනුවෙනි. කවදත් මෙවන් අවස්ථාවලදී පෙරට පැමිණෙන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ද හඬ අවදි කළේය. "වෙන ආරක්ෂක ලේකම්වරයෙක් වෙන්නැති ඒ කාලේ ඉන්න ඇත්තේ.. නේද ලේකම්තුමා" පිරිස ආරක්ෂක ලේකම්වරයාව උපහාසයට ලක් කිරීමට සැරසුණි. තවත් පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරන්නට වූහ.

එහිදී මැදිහත් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තත්ත්වය සමනය කළෝය. "ආරක්ෂක ලේකම්තුමාත් කළේ කරුණු පැහැදිලි කිරීමක්" ජනාධිපතිවරයා පැවසීය. 

මේ අතර රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ද කරුණු පැහැදිලි කිරීමක් සඳහා මෙහි කැඳවා සිටියේය. ඒ අනුව  අගෝස්තු නව වැනිදා පවත්වන්නට යන විරෝධතාවය පිළිබඳ තොරතුරු හඳුනාගෙන ඇති බව ඔහු කියා සිටියේය. අවශ්‍ය කරන සියලු පූර්ව ආරක්ෂක පියවර ගන්නා බවද, විරෝධතාව තවදුරටත් ඉදිරියට යාමට ඉඩ නොදෙන බවද රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පිරිස හමුවේ අවධාරණය කළේය. එසේම සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති ප්‍රමාණවත් නැතැයි ද ජනපති ඇතුළු පිරිසට ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර නැවතත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නැගී සිට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ඇති ගැටලු සභාවට ඉදිරිපත් කළේය. "ඔබතුමාලා මොනවා කිව්වත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තවමත් ප්‍රමාණවත් නෑ. අපිට ආරක්ෂකයෝ හය දෙනෙක් දීලා තියෙනවා. ඒත් එක වාහනයයි තියෙන්නේ. අපේ ගෙවල් වාහන ගිනි තියලා දෙයියනේ. චූටි කාර් එකක අපි යන්නේ. ආරක්ෂකයෝ හය දෙනෙක්ට ඒකේ යන්න බෑ. කරුණාකර අපිට ප්‍රවාහන පහසුකම් සලසන්න. නැත්නම් බට්ටා කාර් එකක් හරි දෙන්න."

එහිදී මැදිහත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන්නට විය. ඒ හා සම්බන්ධව කිසිවකුටත් වද විය යුතු නැති බව ඔහු අවසානේ අවධාරණය කර තිබුණි. 

තමන් මෙතෙක් දැරෑ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය බදාදා පාර්ලිමේන්තුවට එවා තිබුණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ක්‍රියාකාරී චරිතයක්ව සිටි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහු පිළිබඳ විරෝධයක් ගොඩනොනැගෙන තැනට වූ පක්ෂය අභ්‍යන්තරය මෙන්ම ආණ්ඩුව තුළද කටයුතු සකසාගෙන තිබීම සුවිශේෂී කරුණක් විය. 

මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ හිස් වූ සභානායක ධුරයට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත්විය. ඔහු එක් අවස්ථාවක ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළමුත්, අනුප්‍රාප්තික ජනාධිපති පත්කර ගැනීමේ ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව ප්‍රසිද්ධියේ පැවසීය. එසේම දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙගිඩියාවෙන් සිටි මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකඟ කරවා ගැනීමට ද සුසිල් ප්‍රේමජයන්ත මහතා යම් සහයෝගයක් ලබා දී ඇති බව කියැවේ.

මේ අතර බදාදා දිනයේ රැස්වූ පාර්ලිමේන්තුව තවත් තීරණාත්මක ඡන්ද විමසීමක නිරත විය. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දිවයින පුරා හදිසි නීතිය පනවමින් නිකුත් කළ ප්‍රකාශය මෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණි. අවසානයේ මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 57 කින් සම්මතය විය. ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂයට ලැබුණේ ඡන්ද 63 ක් පමණි. 

මෙම යෝජනාවට පක්ෂව විමල් වීරවංශ මහතා ද ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී තත්ත්වයක් විය. ඔහු පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රකාශයක් සිදු කරමින් මෙම හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඔහුව අරගලකරුවන් හැඳින්වූයේ අරාජිකකරුවන් ලෙසය. රටම ගිනි තබා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මානසික බාධක පනවා, පොලිසියට, යුද හමුදාවට මානසික බාධක පනවා, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මානසික බාධක පැනවීමට කටයුතු කර පාර්ලිමේන්තුව පවා අත්පත් කර ගැනීමට අරගලකරුවන් කටයුතු කළ බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඔවුන්ට වුවමනා වී ඇත්තේ රට අරාජික කරවීමට බව ද අවධාරණය කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එයට කිසිම විදියකින් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.
මෙම ක්‍රියා කලාපය සමඟම දේශපාලන කරළියේ විවිධ කටකතා පැතිර යන්නට විය. විමල් වීරවංශ මහතාගේ පක්ෂය නැවතත් ආණ්ඩුවට එකතුවීමේ සූදානමකින් පසුවන බව ආරංචිවලට අනුව කියැවුණි. කෙසේ වෙතත් තමා රනිල් වික්‍රමසිංහගෙන් ඇමැතිකමක් බලාපොරොත්තු නොවන බව විමල් වීරවංශ මහතා පවසා තිබුණි.

මෙම ඡන්ද විමසීමෙන් පැයක් ගතවීමට පෙර තවත් අපූරු සිදුවීමක් සිදුවිය. එය සිදුවූයේ ආණ්ඩුවේ වට්ස්ඇප් සමූහය තුළයි. මෙම ඡන්ද විමසීමේදී හදිසි නීතියට විපක්ෂව ඡන්දය ලබා දුන් පිරිස එම සමූහයෙන් ඉවත් කිරීමට මෙම සමාජයේ ඇඩ්මින්වරයකු වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කටයුතු කර තිබුණි. ඒ අනුව ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, කේ.පී.එස්. කුමාරසිරි ඇතුළු පිරිසක් මෙලෙස වට්ස්ඇප් සමූහයෙන් නෙරපා හැර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද නැවත අවදි වීමට විවිධ දේශපාලනික උත්සාහයන් දරමින් සිටියේය. පොහොට්ටුව වෙනුවට වෙනත් සලකුණක් සහ සන්ධාන නාමයක් යටතේ ඉදිරියට යා යුතු බව පක්ෂ අභ්‍යන්තරයේ යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර නිලධාරීන් කිහිප දෙනකුගේ ඉවත්වීම සමඟ  පොහොට්ටුව පක්ෂ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද දැනගැනීමට ලැබුණි.

මේ අතර දැනට දේශපාලනයෙන් ඈත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මාසය වනවිට යළිත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ. සමාජයේ දැනට මතුව ඇති රාජපක්ෂ විරෝධය සමනය වීමත් සමඟ ඔහු සිය ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ගමින් ගමට ගොස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කොට ඇත. මේ සඳහා වන සැලසුම් මේ වන විටත් බැසිල් රාජපක්ෂ සකසමින් සිටින බව කියැවේ.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ද ඉකුත් සතිය වනවිට ආරම්භ වී තිබුණි. ඒ අනුව රහස් සාකච්ඡා කිහිපයක් ද සංවිධානය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුව කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන බව ඉකුත් සතියේ දේශපාලන ආරංචි අනුව පෙනී ගියේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවට එළඹියේ ඒ අනුවය. මෙම සාකච්ඡාව බ්‍රහස්පතින්දා දහවල් කාලයේ දී මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පවත්වා තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් බෙදී යාම වළක්වා ගැනීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ක්‍රියාවලියට අවතීර්ණ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ වන විටත් මහින්ද අමරවීර මහතා ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් හොබවමින් සිටියේය. ඔහුට සහ නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පක්ෂ මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටියේය. පසුගිය සතියේ සෙනසුරාදා දින වන විටත් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබුණේ මහින්ද අමරවීර තනතුරු ලබාගැනීමට එරෙහිව  පක්ෂය එක්ව කටයුතු කරමින් සිටින බවකි. කෙසේ වෙතත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම මත තත්ත්වයේ යම් වෙනසක් සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ද ඉකුත් සතියේ අමතක කළ නොහැකි සිදුවීමක් විය. එය සිදුවූයේ ජූලි 22 සිකුරාදා දිනයි. දිනේෂ් ගුණවර්ධන මහතා පැවතෙන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ඓතිහාසික දේශපාලන පවුලකිනි. දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළ වන්නේ මෙරට සමාජවාදයේ පියා වන, බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ පිලිප් ගුණවර්ධන සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනය. 

කෙසේ වෙතත් මෙරට පෙරළිකාර දේශපාලන පවුලක් වූ ගුණවර්ධන පවුල රජයේ ප්‍රධාන තනතුරු මගහැරීම පිළිබඳ ඓතිහාසික කතාවක් තිබුණි. එහෙත් මෙවර එම තත්ත්වය වෙනස් වූයේ රාජපක්ෂ පවුලේ දේශපාලනය බිඳවැටීම සමගිනි. 1949 මාර්තු 02 උපන් දිනේෂ් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධනගේ අභාවයෙන් පසු 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියි. ඔහු පසුගිය දශක කිහිපය පුරාවට අඛණ්ඩව මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලනයේ නිරත විය. ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දීමේ සිට මේ දක්වා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැමිණ ඇත්තේ තීරණාත්මක දේශපාලන ගමනකි.

මේ අතර පොහොට්ටුවේ තවත් අභ්‍යන්තර සැලසුමක් පිළිබඳ තොරතුරු කනින් කොණින් ආරංචි විය. ඇමති ධුරය අහිමිව සිටින රෝහිත අබේ ගුණවර්ධනට සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුට ද අමාත්‍ය ධුර දෙකක් ලබා දෙන ලෙස යෝජනා කිරීමට පොහොට්ටුව සූදානම් වන බව ඒ අනුව කියැවුණි. එසේම ආණ්ඩු පක්ෂ සංවිධායක ධුරය නැවතත් ජෝන්ස්ටන් වෙත ලබා දීම පිළිබඳවද පොහොට්ටුවෙන් ඉල්ලීම ඉදිරිපත් වනු ඇතැයි දැනගන්නට ලැබේ. මීට අමතරව සභා නායක සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පත්වීම පිළිබඳව ද පොහොට්ටුවේ පිරිසක් සිටින්නේ නොසතුටිනි. ඒ අනුව ඉදිරියේ දී එම තනතුරේ වෙනසක් ද බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‌ෙණ් ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධව ද සිකුරාදා වනවිට තීරණාත්මක කටයුතු රුසක් සිදුවෙමින් තිබුණි. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ සියලුම දේශපාලන පක්ෂවලින් ලිඛිත යෝජනා ලබාගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තුවෙන් සිටියේය. 

දේශපාලන ආරංචි මාර්ග අනුව ජනපති බලාපොරොත්තු වන්නේ එම යෝජනා සියල්ලම එක්කොට එක් ලියවිල්ලක් සැකසීමටයි. පසුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි. එහිදී කැබිනට් මණ්ඩලය පුළුල් කිරීම ආදී කරුණු පිළිබඳ ඔහු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කියැවේ. කෙසේ වෙතත් මෙම කටයුත්ත ඉදිරි සති දෙක තුන තුළ කඩිනමින් අවසන් කිරීමට ජනපතිට අවශ්‍ය වී තිබේ.

මේ අතර පසුගිය සතියේදී සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය ද සුවිශේෂී තීරණ කිහිපයකට එළඹ තිබුණි. ඒ අනුව ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් ඍජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්දනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ සම්බන්ධ නොවීමට තීරණය කළ බව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය  නිවේදනය කළේය. හදිසි නීතියට ද විරුද්ධ වීමට ඔවුන් තීරණය කළේ මේ අනුවය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව යෙදී සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් අරගල කළ අරගලකරුවන් පසුපස ලුහුබැඳීම වහාම නවතන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පසුගිය සතියේ දී ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සෙවීමේ අරමුණින් යුතුව ජාතික මහජන සභාව නම් අලුත් වැඩපිළිවෙළක් විපක්ෂ නායකවරයා විසින් හඳුන්වා දී තිබුණි. සෑම සඳුදාවකම එම ජාතික මහජන සභාව රුස්වීමට නියමිත බව කියැවේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 26දා මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව මුණගැසුණි. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ද සහභාගි විය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දියානු මහ කොමසාරිස් අතර වත්මන් දේශපාලන පසුබිම සාකච්ඡා වී ඇතැයි කියැවේ. 

මෙම සාකච්ඡාව සම්බන්ධව විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබුණේ දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දියාව අතර දිගු කාලයක් තිස්සේ පවතින අන්තර් සම්බන්ධතාවය තවත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහි දී සාකච්ඡා වූ බවයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත සහ ලබා දුන් මානුෂීය ආධාර පිළිබඳවත් මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කොට තිබේ.

 චමිදු නිසල් ද සිල්වා