2022 ජුලි 10 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවකට වේදිකාව සූදානම්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 212

  • ඉන්ධන  - ගෑස්, පොහොර - ගල් අඟුරු ලංකාවට ඕනෑ බව ජනපති පුටීන්ට කියලා
  • රුසියානු තෙල් නියෝජිතයන් පිළිගන්න විමල් කටුනායකට
  • නිමල් සිරිපාලට අමාත්‍ය ධුරයෙන් යන්න වූ හැටි
  • එරෝෆ්ලොට් ප්‍රශ්නයත් සාකච්ඡාවට
  • ගෝඨා - පුටින් සාකච්ඡාවේ තොරතුරු එළියට
  • මැතිසබය ඇතු‌ෙළත් ගෝඨා ගෝ හෝම්
  • ජූලි 09 විරෝධය රට උණුසුම් කරන ලකුණු
  • අමෙරිකාවෙන් ජවිපෙට චරිත සහතිකයක්

සංදර්ශන, නාටක, පුරාජේරු අපමණය. තුන් හතර පැත්තෙන්ම ලොක්කෝ කටින් රට හදති. ගොඩදාති. කිසිවකුට මහජනයා වෙනුවෙන් පෙනී සිටීමට උවමනාවක් නැති සෙයකි. ඔවුන් සැමට ඇත්තේ බලය රුක ගැනීමේ සහ බලය ලබා ගැනීමේ න්‍යාය පත්‍රයය. අඳ ගොළු බිහිරි ලෙස සිටියද බොහෝ දනෝ ඔවුන්ගේ කියුම් කෙරුම් පිළිබඳ දැන් හොඳ හැටි දනිති.

ගෙවුණු සතියේ නාටකීය දේශපාලන සන්දර්ශන බොහොමයක් අතරේ කැපී පෙනෙන සිදුවීම වූයේ රුසියානු ජනපති පුටින් සහ ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති දුරකථන සංවාදයයි. දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ එම සංවාදය පිළිබඳ සැලකිය යුතු තොරතුරක් අනාවරණය කරගත හැකිවිය. මෙම සංවාදය මිනිත්තු 30ක පමණ කාලයක් පැවති බව කියැවේ.

සංවාදය ආරම්භයේදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ රුසියානු ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබේ. එනමුත් පැහැදිලි කිරීම් අතරතුරදී රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් මහතා පවසා ඇත්තේ  තමාට ලංකාවේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති බවයි. දේශපාලන ආරංචි අනුව ඔහු දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.

මම මේ සාකච්ඡාවට එන්නට පෙර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කළා. ලංකාව සෑහෙන්න අර්බුදකාරී තත්ත්වයක තියෙන්නෙ. අපිට පුළුවන් යමක් අපි කරන්නම්.

මෙවන් අදහසක් රුසියානු ජනපතිවරයා විසින් ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමානයේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් පිළිබඳ ජනපති පුටින් හට දන්වා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍ය වී තිබෙන්නේ ඉන්ධන, ගෑස්, පොහොර සහ ගල් අඟුරු බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසා තිබේ. ඒ අනුව අපගේ බලශක්තිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා ජනපති රුසියානු ජනපතිගෙන් ඉල්ලා ඇතැයි කියැවේ.

ඔබගේ නියෝජිත පිරිසක් මෙහෙට පැමිණෙනව නේද? මම රුසියානු අග්‍රාමාත්‍යවරයාටත් බලශක්ති අමාත්‍යවරයාටත් උපදෙස් ලබාදී තිබෙනවා අවශ්‍ය කරන සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස.

ඒ අනුව බලශක්ති අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා රුසියානු සහයෝගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මෙම සංවාදය සමඟ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විශ්වාස කළහ. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව මෙම සංවාදයේදී රුසියානු ගුවන් සමාගම සම්බන්ධව ඇතිවූ ගැටලුව පිළිබඳවද සාකච්ඡා වී ඇත. එම තොරතුරු අනුව මේ පිළිබඳ පළමුව විමසා ඇත්තේ ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂය.

ඔබගේ එරෝෆ්ලොට් ගුවන් සේවා නැවතුණා මෙහෙ අධිකරණමය කටයුත්තක් නිසා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයට රුසියානු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී තිබේ.

නඩුවක් තිබෙනවා නේද? අපි මේ වනවිට බලන් ඉන්නේ නඩුව සම්බන්ධව. ඒ කටයුතු අවසන් වුණාම නැවතත් එරෝෆ්ලොට් ගුවන් සේවයේ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප වෙත ලද දේශපාලන ආරංචි අනුව එවිට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙවන් අදහසක් දක්වා තිබේ.

ඔව්, අපිත් ඕනෑම සහයෝගයක් ලබාදෙනවා එය නැවත ක්‍රියාත්මක කරන්න. ලංකාවට සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එරෝෆ්ලොට් ගුවන් සේවා හරහා ආවා. ඒ සංචාරකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට ඔබතුමාලා අපිට උදව් කරන්න.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර මෙම සංවාදය මෙලෙස මිනිත්තු 30ක පමණ කාලයක් පැවති බව කියැවේ. දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතික අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ජනාධිපතිවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව නිවේදනය කොට තිබේ.

මෙම සංවාදය පවත්වා දිනක් ගතවෙද්දී  පසුගිය ජුලි හත්වෙනිදා උදෑසන ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් මෙරටට පැමිණියෝය. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණහිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙලෙස කොළඹ වෙත පැමිණ තිබේ. ඒ අතර ඔවුන් පිළිගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව වාර්තා විය. මීට අමතරව ජූලි 10 වැනිදා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු රුසියානු තානාපති සමන් වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

පසුගිය සතියේ සිදු වූ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබු ප්‍රකාශයක් හේතුකොටගෙන මෙම ඉල්ලා අස්වීමට පදනමක් සකස් වී තිබුණි.

ජපාන තායිසෙයි නම් සමාගමකින් කැබිනට් අමාත්‍යවරයකු අල්ලස් ඉල්ලා ඇතැයි විපක්ෂනායකවරයා චෝදනා කළේය. මේ සිදුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් බවත් ඒ නිසාවෙන් ඔහු බොහෝ සේ කලබල වූ බවත් විපක්ෂනායකවරයා සිය කතාවේදී කීය. අමාත්‍යවරයා කවුදැයි ජනපතිගෙන්ම අසා දැනගන්නා ලෙස ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සිදුවීම පදනම් කරගනිමින් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයද සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විවේචනයට බඳුන් විය.

මේ අතර අප වෙත ලද දේශපාලන ආරංචි අනුවද මෙම සිදුවීම පිළිබඳ එම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය ජපන් තානාපති කාර්යාලය සම්බන්ධ කරගනිමින් තොරතුරු විමසා ඇතැයි කියැවේ.

මෙම සිදුවීම හරහා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවීමත් සමඟම නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට අදාල පුද්ගලයා තමන් බව සඳහන් නොවුණද ජපාන තායිසෙයි සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිය තම විෂය පථයට අයත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම බව සඳහන් කරමින් ඔහු නිවේදනයක් නිකුත් කළේය. තමාගේ සහ ආණ්ඩුවේ දේශපාලන කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙලෙස ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීමද පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 5 වැනිදා පාර්ලිමේන්තුව වෙත පැමිණියේය. දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවුණේ පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි බවකි.

පාර්ලිමේන්තු පැමිණි ජනපති පාර්ලිමේන්තු සභා ගර්භයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යාබදව අසුන් ගෙන සිටියේය. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නට විය. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට බාධා කරමින් ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළෝය. ඔවුන් ගෝඨා ගෝ හෝම් ආදී විරෝධතා පාඨද ප්‍රකාශ කළහ.

එහිදී  සභාවේ කටයුතුද උණුසුම් වූ අතර ජනාධිපතිවරයා තවදුරටත් සිය ආසනයේ රැඳී සිටියේය. අවසානයේ කතානායකවරයා සභාවේ කටයුතු මිනිත්තු 10කට කල් තැබීමට කටයුතු කළේය. අනතුරුව සභාව යළිත් රුස්වූ අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා සභාවේ සිටින අයුරු දක්නට නොලැබිණි.

මෙදිනම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව විශේෂ තීරණයකට එළැඹියේය. ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති කාර්යාලය හරහා මන්ත්‍රීවරුන්හට පාර්ලිමේන්තු පැමිණීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ජනපති තීරණය කර තිබුණි. ඒ අනුව සති දෙකකට වරක් පාර්ලිමේන්තු පැමිණීම සඳහා යම් ඉන්ධන ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලය මගින් මන්ත්‍රීවරුන්ට ලබාදීම ඇරඹුණි. මෙම තත්ත්වය යටතේ පෙරවරුවේ ජනපතිට විරෝධය පෑ විපක්ෂ මන්ත්‍රීවරුද පස්වරුවේ ඉන්ධන ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය වෙත පැමිණි බව දේශපාලන කරළියේ කතාබහට ලක්විය.

පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණද සක්‍රීය දේශපාලන කටයුතු රුසක නිරතව සිටියේය. ඔවුහු රටපුරා විරෝධතා සංවිධානය කිරීමට පෙරමුණ ගෙන සිටියහ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නම භාවිත කරමින් යම් අයෙක් විසින් සකසනු ලැබූ වීඩියෝවක්ද විශාල ආන්දෝලනයක් ඇති කළේය. පෙට්‍රල් බෝම්බයක් සකසාගන්නා ආකාරය ඒම වීඩියෝවේ දැක්වුණි. මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ජවිපෙය අදාළ වීඩියෝ කුමන්ත්‍රණයක් බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා සිටියේය.

සතියකට පමණ ඉහතදී ජනතා විමුක්ති පෙරමුණ සහ ඇමෙරිකානු තානාපතිය අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ තානාපතිනි ජුලී චුන්ග් හදිස්සියේ පළකරන ලද අදහස් ද දේශපාලන කරළියේ අවධානය දිනා ගත්තේය. ඇය කියා සිටියේ ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා කිසියම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටින බවකි. දෙපාර්ශ්වයටම එවිට වැරදි තොරතුරුවලින් ගැලවිය හැකි බව ඇය පැවසීය. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයක් බවත් ඇමරිකානු තානාපතිනිය කියා සිටියාය.

මේ අතර පසුගිය සතියේ සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ සංවාදයද වඩාත් පුළුල්ව සිදුවන බව පෙනී ගියේය. ඇසිදිසි මානයේ වූ සාකච්ඡා මෙන්ම තිරය පිටුපස සාකච්ඡා රුසක්ද ඉකුත් සිදුවිය. මහජන විරෝධතා වර්ධනය වීම සහ යම් මොහොතක බලය මාරුවක අවකාශය උදාවීම යන දේශපාලන අනාවැකි සහ සලකුණු මෙම සාකච්ඡාවලට මූලික හේතුව විය. එසේම මහ නාහිමිවරුන්ගේ ඉල්ලීමද ජූලි නමවැනිදා විරෝධයද මෙම රහස් සාකච්ඡාවලට විෂය වී තිබුණි.

නැවත සියලු පක්ෂ නායකයන් කැඳවා නිර්ව්‍යාජ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගන්නැයි මහානායක ස්වාමීන්වහන්සේලා ජූලි පළමු වැනිදා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා සිටියහ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා සහ සියලු පක්ෂ නායකයන් එකඟ වියයුතු කරුණු ඇතුළත් යෝජනාවලියක්ද මහනාහිමිවරු ඉදිරිපත් කළහ. මෙම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් භික්ෂු විරෝධතාද ඉකුත් සතියේ සංවිධානය විය.

මේ සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා කඩිනම් කළයුතු බවට විපක්ෂ තීරණය කළේය. සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පළමුව මේ සම්බන්ධව සංවාදයක් ඇති වූ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ. යහපාලන රජය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු තිරය පිටුපස සාකච්ඡා සම්බන්ධීකරණය කරන බවද කියැවුණි.

සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට විපක්ෂයේ පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාකච්ඡාවක් සංවිධානය වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. මෙම සාකච්ඡාවේදී ඔවුන් විශේෂ තීරණ කිහිපයකට එළඹි බව දැනගැනීමට ලැබුණි. ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කටයුත්ත පිළිබඳ මූලික සාකච්ඡා පවත්වන බව කියැවේ. මෙම කමිටුවේ උපදේශකයන් ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරති. මීට අමතරව සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ. කෙසේ වෙතත් එම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් එක්ව සිටියේ නැත.

සාකච්ඡාවක් පිළිබඳ ලද තොරතුරු වලට අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා සහ ආචාර්ය චරිත හේරත් යන මහත්වරුද ඊට එක්ව සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මොහොමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට සහභාගී තිබේ.

මේ අතර ජූලි නව වැනිදා විරෝධතා වෙනුවෙන් පිඹුරුපත් සැකසීම ගෙවුණු සතියේ අරගලකරුවන්ගේ ප්‍රධාන රාජකාරිය විය. ඉතිහාසයේ දැවැන්තම විරෝධතා සංවිධානය කිරීමට සඳහා ඔවුහු විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සමගි සංධානයකට එළඹියෝය. %පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ නමින් සමුළුවක්ද ඉකුත් 6 වැනිදා රාමඩා හෝටලයේදී පැවැත්වුණි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කීරීම ඔවුන්ගේ මූලික අරමුණ වූ අතර විරෝධතාව සාර්ථකව වුවහොත් ජනපති ඉල්ලා අස්වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. විපක්ෂ කණ්ඩායම්ද සිකුරාදා වන විට එවන් තත්ත්වයක් ඇති වුවහොත් පිහිටුවන ලබන නව ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා තිරය පිටුපස සාකච්ඡාවක නිරත විය. ඒ අතර මස 08 සහ 09 කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක්ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

මේ අතර ධම්මික පෙරේරා රනිල් වික්‍රමසිංහ ගැටුමද ආණ්ඩු අභ්‍යන්තරයේ දැඩි උණුසුමක් ඇති කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතු බවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිදුකළ ප්‍රකාශය මෙම ගැටුමට හේතුව විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමක් ධම්මික පෙරේරාට සහය පළකමින් ඔහු පිටුපස ගමන් කරන බව පොහොට්ටුවේ අභ්‍යන්තර අරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. අමාත්‍යධූරයේ බලාපොරොත්තුවෙන් සහ රාජ්‍ය අමාත්‍යධුර නොලැබීමෙන් කෝප වී සිටි පිරිසක් මේ අතර වන බවද කියැවුණි. කෙසේ වෙතත් තවත් පිරිසක් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම ඔහුට විරෝධය පෑහ.

ඒ අතර මෙම ගැටුම ජනාධිපතිවරයා වෙත රුගෙන යෑමට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කටයුතු කර තිබූ බව කියැවුණි. දේශපාලන කරළියේ තිරය පිටුපස කතාව අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියෙන් දිනක රාත්‍රියේ ජනාධිපතිවරයා හදිසියේ මුණගැසී අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රශ්නය විසඳා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇතැයි කියැවේ. එහි දී මුදල් අමාත්‍ය ධූරය දරන්නේ නම් සියලු ‌පාර්ශ්ව සම්බන්ධීකරණය කොටගෙන කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට උපදෙස් ලබාදී ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.

කෙසේ වෙතත් සිකුරාදා වනවිට රට තුළ විශාල දේශපාලන ආවේගයක්, උණුසුමක් නිර්මාණය වෙමින් තිබුණි. ජූලි නමවැනිදා කොළඹට පැමිණෙන විරෝධතා පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු වී තිබිණි. විපක්ෂයේ දේශපාලනය චරිත එකිනෙකා අතර නිරන්තර සංවාදයක නිරත වී සිටියෝය. එළඹෙන සතියේ විශාල දේශපාලන පරිවර්තනයක් සිදුවීමට ඉඩ තිබෙන බවට ඔවුහු ඉඟි පළ කළහ.

 චමිදු නිසල් ද සිල්වා