2022 ජුනි 05 වන ඉරිදා

ගෝඨා-රනිල්-මහින්ද එක මේසයක

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 424

  • මන්ත්‍රී දිලීප්ගේ පුතාට සහ ලේලියට දසතින් විරෝධය
  • තමන් ගත් මෝඩම තීන්දුව ගැන දිනේෂ් කියයි
  • රනිල් ආර්ථික සටනට.එජාප මෙහෙයුම් රුවන්ට සහ රංගේට
  • හරීන්ගෙන් දේශපාලන ගේම් කතාවක්
  • මොන බම්බුවටද අපට එන්න කිව්වේ. දයාසිරි කෝපවෙයි
  • 21ට ආණ්ඩු පක්ෂයේ බෙදීමක්
  • ඕමල්පේ හිමිගේ  කතාවට දැඩි අප්‍රසාදය
  • ජවිපෙ සහ පෙරටුගාමීන් සාකච්ඡා මේසයට

 

සැනසුමක් පතා ඈනුම් හරිමින් මහජනයා බලා සිටිති. තවදුරටත් වාදනය වන්නේ පරණ තැටියමදැයි සැක සිතෙයි. සාකච්ඡා, යෝජනා, චෝදනා, අරගල මිස වෙනත් යමක් අසන්නට නොමැත. ආර්ථික ගංවතුරේ දේශපාලන බෝට්ටුවේ හිල් වසන්නට තනන්නෝ මිස අවතැන් වූවන්ට සරණ වන්නෝ නොමැති හැඩකි.

දේශපාලන කරළියේ ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. 21 පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඉකුත් සඳුදා පැවැත්වුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ. මෙම හමුවේ සිදුවූ දෑ පිළිබඳ දේශපාලන කරළියේ බොහෝ කතා පැතිර ගියේය. ඒ අනුව අප දේශපාලන ආරංචි මාර්ග ඔස්සේද මෙම හමුව පිළිබඳ තොරතුරු ගලා ආවේය. එහි සවිස්තර කතාව අප හෙළිකරමු.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුලසුන දැරෑ මෙම සාකච්ඡාවේ ප්‍රධාන මේසයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අසුන්ගෙන සිටියහ. ඊට අමතරව දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග මහත්වරුන්ටද ප්‍රධාන මේසයේ අසුන් වෙන් වී තිබීම විශේෂ විය. මේ අතර අභිනව කැබිනට් අමාත්‍යධුර ලැබූ සමගි ජනබලවේගය සිට පැමිණි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරද මෙහි පැමිණ සිටීම කැපී පෙනුණි.

සාකච්ඡාව අරඹමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව සභාව ඇමතීය. තමාට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණු බව ජනපති සිහි කළේය. එහෙත් ජනතාවගේ පසින් සිතා යම් යම් තීරණ ගැනීමට සිදු වූ බවද ජනපති කීය. පසුගිය කාලය පුරාවට තමා විසින් ගනු ලැබූ අසීරුම තීරණය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමේ තීරණය බව කී හෙතෙම හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කරනු ලැබුවේ ජනමතයට කන් දී යැයි කී බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළ බවත් බහුතරය නොමැති බව ඔහු පැවසූ බවත් ජනපති මෙහිදී සඳහන් කර තිබුණි. පොදුජන පෙරමුණ මන්ත්‍රී සහාය ඔහුට ලබාදිය හැකි බව තමා කී බවද ජනපති හෙළිකළේය. ජනපතිට අනුව එසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට පසුබට වී ඇත. අනතුරුව තමා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාර දුන් බවද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඔහුට සහයෝගය පළකරනු ඇතැයි විශ්වාසය මත වික්‍රමසිංහ මහතා එම තනතුර භාරගත් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ වනවිටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා යම් කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවක්ද ජනපති වැඩිදුරටත් පවසා ඇතැයි කියැවේ. විසිඑක් වැනි සංශෝධනය ගෙන ඒම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන්ද විමසා සිටි බව ජනපති මෙහිදී හෙළිකළේය. තමා ඊට කැමැත්ත පළ කළේ යැයි අවසානයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඉදිරියේ ජනපති සඳහන් කළේය. මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසි එක්වැනි සංශෝධනය කෙරෙහි නම්‍යතාවක් දක්වන බවත් හමුව ආරම්භයේ දීම පැහැදිලි විය.

අනතුරුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කළේය. මැති ඇමැති අදහස් දැක්වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ආණ්ඩුවේ මන්ත්‍රීවරු රුසක් 21 වැනි සංශෝධනය පිළිබඳ තම තමන්ගේ මත ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූහ. මන්ත්‍රීවරුන් ගණනාවක්ම පවසා සිටියේ මෙම සංශෝධනයට ඔවුන් කැමති නමුත් මෙම කෙටුම්පත සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුව වෙත රුගෙන ආ යුතු බවකි.

මේ ආදී වූ අදහස් දැක්වීම් මැද තනිව නැගී සිටි ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය කියා සිටියේ වෙනස්ම කතාවකි. 19 වැනි සංශෝධනය රුගෙන ආ අවස්ථාවේදී තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ හැටි ඇය සිහිපත් කළාය. අනතුරුව තමා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන නැවත පාර්ලිමේන්තුවට පැමිණි ආකාරයද ඇය සිහිපත් කළාය. සියල්ල අවසානයේ ඇය කියා සිටියේ යමෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ද්විත්ව පුරවැසිභාවය බාධාවක් නම් එම පුරවැසිභාවය අහෝසි කරගෙන පාර්ලිමේන්තු පැමිණිය හැකි බවකි. මෙම පිරිස ද්විත්ව පුරවැසිභාවය යන කරුණ පසුපස යන්නේ මන්දැයි ඈ මෙහිදී ප්‍රශ්න කළාය. ඇගේ ප්‍රකාශය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වුවද පොහොට්ටුවේ ඇතැමුන්ට වක්‍රව එල්ල කරනු ලැබූ ප්‍රහාරයක් බඳුවිය.

සරත් වීරසේකර හිටපු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ සියල්ලන්ම 19 සංශෝධනය වෙනුවෙන් පෙනී සිටියදී පවා තමා ඊට විරුද්ධ වූ බවයි. එම නිසා තමන්හට 21 වැනි සංශෝධනය හා එකඟවීමට නොහැකි බව ඔහු තරයේ කියා සිටියේය. මේ අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතමයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතා හඬ අවදි කළේය. ''19 වැනි සංශෝධනය රුගෙන ආ මොහොතේ අපි උදව් කළා. ඒක අපි ගත්තු මෝඩම තීරණයක්'' යනුවෙන් කීය. එම අවස්ථාවේදී මැතිවරණ ක්‍රමයද වෙනස් කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ නමුත් ඔහු එවැන්නක් සිදු නොකළ බව ගුණවර්ධන මහතා සිහිපත් කළේය. එය රුවටීමක් යැයිද ඔහු කීය.

මේ අතර තාරක බාලසූරිය මහතා කියා සිටියේ මෙහි දක්වා ඇති කොමිෂන් සභා සංයුතීන් සම්බන්ධව ප්‍රශ්න ඇති බවයි. ව්‍යවස්ථාදායක සභාව සංයුතිය පොහොට්ටුවට ඉඩක් නොමැති බවද ඔහු පැහැදිලි කළේය. තවදුරටත් පාර්ලිමේන්තු බහුතරය පවතින්නේ පොදුජන පෙරමුණ සතුව යැයි ඔහු අවධාරණය කළේය. මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාද මෙහිදී අදහස් දක්වා තිබුණි. තමාද නීතිඥයකු යැයි සඳහන් කළ ඔහු මෙහි දක්වා ඇති ඇතැම් කරුණු සම්බන්ධව එකදු වචනයක්වත් තමාට නොතේරෙන බවත් කීය.

මේ අතර ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ නිමල් ලන්සා මහතා නැගී සිටියේය. හැට නව ලක්ෂයක ජනවරමක් ඇති බවක් කීවද ආණ්ඩුව ඒ ජනවරමට පිටුපෑ බව ඔහු කීවේය. තමන් ඇතුළු කණ්ඩායමට ස්වාධීන වීමට සිදුවූයේද ඒ හේතුවෙන් බව ඔහු සිහි කළේය. එසේම මහ පොලවේ යථාර්ථය පිළිබඳ සිතා මේ මොහොතේ සියලු දෙනා එක්ව යම් කැප කිරීමක් සිදුකොට තීන්දුව ගැනීම සුදුසු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ  දුරකථන පක්ෂයේ ලෝගෝව පවා ඇන්දේ තමා බවයි. තමා සහ මනූෂ නානායක්කාර සිය පක්ෂයේ සහයෝගය ලබා ගැනීමට දැඩිව වෙහෙසුණු බව පිරිස හමුවේ පැහැදිලි කළේය. එහෙත් එය සිදු කිරීමට නොහැකි වූ බවද මේ වනවිට තමාව සහ මනූෂව පක්ෂයෙන් දොරට දමා ඇතැයි කීය. ''අපි මේක සමබර කරලා දේශපාලන වශයෙන් ගේම් එකක් ගහලා ළමයි වගේ අත පුච්ච ගන්නේ නැතුව රට වෙනුවෙන් වැඩක් කරමු'' යැයි හරීන් මෙහිදී කියූ බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.

මේ අතර චරිත හේරත් වැනි කිහිප දෙනෙක් සංශෝධනය සම්බන්ධව පක්ෂව කතා කළෝය. ප්‍රසන්න රණවීර, ඩයනා ගමගේ, සරත් මායාදුන්න, සරත් කුමාර රත්නායක වැනි පිරිසක් සංශෝධනයට දැඩිව විරුද්ධ වූ බවද වාර්තා විය. ''අපි මේ සංශෝධනයට විරුද්ධයි. සහයෝගය දෙන්නෙත් නෑ. ගේන්න දෙන්නෙත් නෑ.'' යනුවෙන් මේ අය ප්‍රකාශ කළේ යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් ඔස්සේ දැනගන්නට ලැබේ. මේ අතර නැගී සිටි ඩයනා ගමගේ කියා සිටියේ සමගි ජන බලවේග යනු තමන් හැදූ පක්ෂය බවයි. තමා මෙම සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බවද ඇය අවධාරණය කළාය. එසේම රෝහණ දිසානායක වැනි අයද සංශෝධනයට විරුද්ධත්වය පෑවෝය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙම සංශෝධනය හරහා තමාට විශාල බලයක් ලැබෙන බවක් ඇතැමුන් සිතන බවකි. එහෙත් සැබැවින්ම බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවට බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. ඒ සම්බන්ධ දීර්ඝ කතාවක් සිදුකරමින් අගමැතිවරයා පැහැදිලි කර සිටියේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවකි. එසේම දිනක ජනතාවට සහන ලැබෙන වැඩපිළිවෙළක් කරාද අප අවතීරණ විය යුතුව ඇතැද කියා සිටියේය.

මේ අතර ගුණතිලක රාජපක්ෂ නම් මන්ත්‍රීවරයා විමසා සිටියේ ''අගමැතිතුමා දැන් සූදානම් වෙන්නේ පළාත් පාලන ආයතන විසුරවන්නද?'' යනුවෙනි. එහිදී පළාත් පාලන ආයතන විසුරුවා නොහරින බවත් වගා සංග්‍රාමය සිදුකිරීමට බලාපොරොත්තු වන්නේද පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් බවත් අගමැති පැහැදිලි කළේය.

මේ අතරම මධුර විතානගේ, සුමිත් උඩුකුඹුර, අනූප පැස්කුවෙල් ආදී මන්ත්‍රී පිරිසක් නැවත 21 වැනි සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ කර සිටියෝය. මෙහිදී අනූප පැස්කුවෙල් විමසා සිටියේ ''ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මේ සංශෝධනය අපි සම්මත කරාම ජනතාවට ගෑස් ලැබෙනවාද? තෙල් ලැබෙනවාද? බඩු මිල අඩු වෙනවාද? අපි ජනතාවට සහන දෙන වැඩේ මුලින්ම කරමු. ඔය සංශෝධන පස්සට තියන්න. ජනතාව පීඩනයෙන් ඉන්නෙ'' යනුවෙනි.

එමෙන්ම මෙම සංශෝධනයට ඡන්දය ලබා නොදී ගමට නොයන ලෙස ඕමල්පේ සෝභිත හිමි සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මෙහිදී මන්ත්‍රීවරු අතර කතාබහක් ඇති විය. බොහෝදෙනෙක් එම ප්‍රකාශය දැඩිව විවේචනය කළෝය. මෙවන් තවත් කරුණු රුසක් සාකච්ඡා වී අවසානයේ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ ''ඔබතුමාලා බොහෝ දෙනකුට සංශෝධනය සම්බන්ධව ප්‍රශ්න තියෙන බව පෙනී යනවා. ඒ නිසා මේ සම්බන්ධ වැඩමුළුවක් ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට අපි කටයුතු සංවිධානය කරනවා. කරුණාකර ඊට සහභාගී වෙන්න'' යනුවෙනි. අවසානයේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුස්වීමේ කටයුතු නිමා කළේය.

මේ අතර ඉකුත් සතිය වනවිට සමගි ජනබලවේගයේ සිට අන්තර්වාර ආණ්ඩුව හා එක්වූ හරීන් සහ මනූෂ සම්බන්ධව සමගි ජනබලවේගය දැඩිව කිපී සිටියේය. හරීන්ගේ සහ මනූෂගේ ප්‍රකාශද මෙම නායකත්වයේ උදහසට හේතුවිය. විනය පරීක්ෂණය සිදුකරන තුරු ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සජබය කල් ඇතිව කටයුතු කර තිබුණි. එයින් නොනැවතුණු ඔවුන් ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් හරීන් ප්‍රනාන්දු මහතා වත්තල සමගි ජනබලවේගයේ ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත් කිරීමට පියවර ගත්තේය. දේශපාලන ආරංචි මාර්ග අනුව එම ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරා මහතා වෙත ලබාදීමට පක්ෂය තීන්දු කර ඇතැයි කියැවුණි.

කෙසේ වෙතත් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් සතියේ සමගි ජනබලවේගයෙන් දින 14ක කාලයක් ලබාදී දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මේ අතර ඉතා තීරණාත්මක අවස්ථාවක පාක්ෂිකයාත්, පක්ෂයේ ප්‍රතිපත්තිත් පාවා දී ආණ්ඩුවේ ඇමති තනතුර ගත් හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා යළිත් පක්ෂයට එකතුකර නොගන්නා ලෙස සමගි වනිතා බලවේගය ලිපියක් මගින් සමගි ජනබලවේගය වෙත දැනුම් දී තිබුණි. මේ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කියැවෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද පසුගිය සතියේ දැවැන්ත පිපිරීමක් සිදුවිය. කලක පටන් උඩුදුවමින් පැවති අර්බුදය අවසානයේදී පුපුරා ගියේය. මෛත්‍රී පාර්ශ්වය පක්ෂ බලය තහවුරු කරගනිමින් ඇමතිකම් ලබාගත් අයව තනි කළෝය. විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයිද මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය වී ඇතැයිද ඔහු කීය.

මේ අතර බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී පැවති 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී ද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හට සිදුවූයේ අකරතැබ්බයකි. දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රීලනිපය වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූහ. රුස්වීම ආරම්භ වී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරමින් සිටියදී හිටි හැටියෙම නැගී සිටි ශ්‍රිලනිපයෙන් පොහොට්ටුවට විත් රාජ්‍ය ඇමැතිකමක් දැරෑ සුරේන් රාඝවන් මෙසේ කියා තිබේ. "මේක ආණ්ඩු පක්ෂ රුස්වීමක්ද? පක්ෂ නායක රුස්වීමක්ද? මොන වගේ රුස්වීමක්ද? වෙනත් පක්ෂවල අයත් මේකට සහභාගිවෙලා ඉන්නවා." දේශපාලන ආරංචි අනුව රාඝවන්ගේ ඍජු ඉලක්කය වී ඇත්තේ ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසයි.

කල් ඇතුවම දැනුවත් කර මෙහි පැමිණ සිටි දයාසිරි ජයසේකර මේ සමඟ තරමක් කෝප විය. “මොන බම්බුවකටද අපිට මෙහෙට එන්න කියලා කිව්වේ" යනුවෙන් පවසමින් දයාසිරි ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් පිටව යාමට සැරසී ඇත. එවිටම මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිනේශ් ගුණවර්ධන ඇතුලු පිරිස දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායම නවතා "නෑ මචං, යන්න එපා. මේකට ඉඳලා යන්න. මේක 21 වැනි සංශෝධනය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්" යනුවෙන් පවසමින් අතින් අල්ලා දයාසිරි ඇතුළු කණ්ඩායම නවතාගෙන තිබේ. කෙසේ වෙතත් කටයුතු අවසානයේ දී දයාසිරි හොඳ හැටි රාඝවන් ඇමතූ බවක් ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී මතු වූ විශේෂිත කරුණක් පිළිබඳව ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. එය විපක්ෂ නායක ධුරය සම්බන්ධ ගැටලුවකි. දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම ප්‍රශ්නය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව කියැවේ. ඔහු ප්‍රශ්න කර ඇත්තේ විපක්ෂ නායකවරයා තෝරන්නේ කෙසේද යන්නයි. විපක්ෂයේ සිටින වැඩිම මන්ත්‍රීවරුන් ගණනක් සහිත පක්ෂයේ නායකයා විපක්ෂ නායකවරයා වශයෙන් තෝරාගන්නේද, එසේත් නැත්නම් වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ කැමැත්ත ඇති මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස තෝරාගන්නේද යන්න සම්බන්ධයෙන් නිර්වචනයක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් පෙනී යන ආකාරයට මෙය තවත් දේශපාලන අර්බුදයක පෙරමග ලකුණක් විය හැකිය.

කලින් කලට පුවත් මවන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  දිලිප් වෙදආරච්චි නැවතත් දේශපාලනයේ කරළියේ පුවතක් බවට පත්වූයේ ඔහුගේ පුතාගේ සහ ලේලියගේ අසෝබන හැසිරීමක් හේතුවෙනි. මෙම සිදුවීමට අදාළ වීඩියෝව ඉකුත් සතියේ සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. රවිඳු වෙදආරච්චි නැමැති මෙම තැනැත්තා තංගල්ල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් ද වේ.

පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයකු සිදු නොකළයුතු ඉතා පිළිකුල් සහගත හැසිරීමක් මෙම දෙපළ ප්‍රදර්ශනය කළෝය. දේශපාලන කරළියෙන් මෙන්ම මහජනයා අතරින්ද මෙම සිදුවීම සම්බන්ධව දැඩි විරෝධයක් මතු වූයේය. රවිඳු වෙදආරච්චි නැමැත්තා සහ ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිවේගි මාර්ගයේ වීරකැටිය බැදිගම අන්තර් හුවමාරුවේදී රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රකෝපකාරීව අසභ්‍ය වචනයෙන් බැණ වදින අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

එම සිදුවීම සම්බන්ධව  අදාළ පොලිස් සැරයන්වරයා මේ වනවිටත් වීරකැටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. නීති විරෝධීව ශීතකරණයක් ජීප් රථයක් උපයෝගී කර ගනිමින් අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹට ගෙන ඒමට උත්සාහ දැරීමේදී මෙම ගැටුම නිර්මාණය වී ඇත. මේ සම්බන්ධව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් පොලිසිය කටයුතු කරමින් සිටින බව කියැවේ.

මේ අතර පසුගිය සතියේ රාජ්‍ය ආයතන රුසක වියදම් කප්පාදු කිරීම් පිළිබඳව ද අසන්නට ලැබුණි. ඒ අතර පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය දෙසින් ද වියදම් කප්පාදුව සම්බන්ධයෙන් තොරතුරු ගලා ආවේය. පාර්ලිමේන්තුව ආපනශාලාවේ ආහාරපානවල මිල ගණන් සංශෝධනය කිරීමට කතානායකවරයා තීරණය කර ඇතැයි කියැවුණි. වර්තමාන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලු දෙනාටම බලපැවැත්වෙන පරිදි  මිල ඉහළ නංවන බව කතානායකවරයා පවසා ඇත. එසේම ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති කාර්යාලයේ ද ආහාරපාන ඇතුළු අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට කටයුතු කරමින්  ඇතැයි දැනගන්නට ලැබේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ද අළු ගසා දමා නැවත නැගිටින ලකුණු පෙනී ගියේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වලට තවදුරටත්  නායකත්වය  ලබා දීමටද නියමිතය. අග්‍රාමාත්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉදිරියේදී පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව කියැවේ. 

සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පක්ෂයේ දේශපාලන කටයුතුවල සියලු වගකීම් ජ්‍යෙෂ්ඨයන් වෙත පවරා තිබේ. රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීම සඳහා සිය සම්පූර්ණ කාලයම යෙදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ප්‍රකාශ වේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු සියලු වගකීම් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත බෙදා දීමට ඔහු කටයුතු කර තිබේ. ඒ අනුව ඉදිරි මැතිවරණයකදී සිය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ජාතික පක්ෂය සකසමින් ඇතැයි ද දැනගන්නට ලැබේ.

යහපාලන ආණ්ඩු සමයේ අරඹා පසුගිය ආණ්ඩු සමයේ දී නතර වූ මැති ඇමැතිවරුන්ගේ අල්ලස් දූෂණ සම්බන්ධ විමර්ශනය කිරීමේ කටයුතු අල්ලස් කොමිසම විසින් නැවතත් අරඹා ඇත. ඒ අනුව එහි පළමු ගොදුර වී ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය. තවදුරටත් වර්තමාන ආණ්ඩුවේ ඉහළම ස්ථරයේ සිටින කිහිප දෙනකු ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟ අමනාපයෙන් පසුවීම ද මීට හේතුවක් බව ඇතැමෙක් සඳහන් කරති. රටේ නායකත්වය පවා ගෝල්ෆේස් පහරදීම පූර්වයේ ඔහුගේ හැසිරීම සම්බන්ධව දැඩි අමනාපයකින් පසුවන බව කියැවේ. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ දිනවල දේශපාලන කටයුතුවලින් ද තරමක් ඈත් වී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය සතියේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නැවත නඩු 5ක් ගොනු කළේය. ස.තො.ස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදුව තිබුණි. මෙම චෝදනා යටතේම ඉකුත් යහපාලන රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනු කර තිබුණි. නමුත් ඒ සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අනුමැතිය නොමැති බවට විත්ති පාර්ශ්වය විසින් මතු කළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව, කොමිසම විසින් අදාළ නඩු යළි නඩු පැවරීමේ අයිතිය මත ඉල්ලා අස්කරගෙන තිබුණි. 

මේ අතර පසුගිය සතියේ දේශපාලන කරළියේ කැඩී ගිය දීගයක් නැවත එකතු වන ලකුණු පහළ විය. ජනතා විමුක්ති පෙරමුණ බෙදී යාමෙන් බිහි වූ දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගෙන බිහි වූ ජාතික ජන බලවේගය සමඟ ඉකුත් දා ප්‍රථම වරට සාකච්ඡාවක නිරත විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සෙසු දේශපාලන පක්ෂ සමඟ කරන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් හැටියට හඳුන්වනු ලැබුවද මෙය සුවිශේෂී සාකච්ඡාවක් විය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන පක්ෂ කාර්යාලයේම මෙම සාකච්ඡාව සංවිධානය වීම ද සුවිශේෂී විය. 

අරගලයේ උණුසුම මෙම සාකච්ඡා සඳහා මග පාදා තිබුණි. ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර යම් එකඟතාවක් ඇතිවෙතැයි දේශපාලන කරළියේ බොහෝ දෙනෙක් අනාවැකි කීහ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, චන්දන සිරිමල්වත්ත ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, කේ.ඩී. ලාල්කාන්ත, නිහාල් ගලප්පත්ති, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, චමින්ද ජයසූරිය යන අය ද මෙම සාකච්ඡාවට සහභාගි වූ බව කියැවුණි. 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං මහතා අතර හමුවක් බ්‍රහස්පතින්දා පස්වරුවේ පවත්වා තිබේ. එම සාකච්ඡාව ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළ බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මෙය ද තරමක් සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව ජවිපෙට චීනය ළංවීම පිළිබඳව ද දේශපාලන කරළියේ විවිධ කතා පැතිරෙමින් තිබේ.

 චමිදු නිසල් ද සිල්වා