2022 මාර්තු 27 වන ඉරිදා

සර්ව පාක්ෂික සමුළුවේදී ජ.වි.පෙ කියන්න හිටපු දේ

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 258

  • අපි ඉතින් ඉන්නේ මහමඟනේ: රතන හිමි කියයි
  • ජනපති සුමන්තිරන්ට යැවූ පණිවුඩය
  • රන්ජන් රාමනායක උසාවියෙන් සමාවගනී
  • සජබෙන් දින 10ක පාද යාත්‍රා?
  • ලෝක ජල දින සමුවටත් ඇමැති වාසූ නැහැ
  • ජනපති ඩයස් පෝරාවත් සාකච්ඡා මේසයට කැඳවයි
  • ලන්සා අස් වී ජනපතිට යැවූ ලියුම
  • විමල්ලා උදයලා ආණ්ඩුවේ බහුතරය උදුරා ගන්නවාලු
  • මන්ත්‍රීනි ඩයනාට පසු ඇමැති බන්දුලත් කංසා වගාවේ ගුණ අගුණ දකී

දේශපාලන ආර්ථික වශයෙන් ඉතා තීරණාත්මක සතියක් ගෙවී ගියේය. සර්ව පාක්ෂික සමුළුව සහ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සතියේ ඉහළ අවධානයක් දිනාගත් සිදුවීම් විය. පාර්ලිමේන්තුව රැස්වූ රැස්වූ අතර ආර්ථික අර්බුද පිළිබඳ සංවාද රැසක් ඇතිවිය. ආණ්ඩුවෙන් ඉවත් කළ විමල් සහ උදයද නව වැඩපිළිවෙළක් අරඹා තිබුණි.

ගෙවුණු සතියේ තීරණාත්මක දේශපාලන දිනය වූයේ බදාදා දිනයයි. සර්ව පාක්ෂික සමුළුව සහ ජාතික ජනබලවේගය නුගේගොඩ විරෝධතා ඊට හේතුව විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණි. සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළෝය. ආණ්ඩුවේ පක්ෂ එකොළහේ කණ්ඩාමේ නියෝජනය කරමින් මෙහි පැමිණ සිටියේ මෙම සමුළුව කැඳවීමට මූලික වූ ශ්‍රීලනිප නායකත්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ මහාචාර්ය තිස්ස විතාරණය. මේ අතර පැමිණීම තහවුරු කොට තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය සහ වතු කම්කරු කොංග්‍රසයද අවසන් මොහොතේ සමුළුව මඟහැර තිබුණි.

පිරිස පැමිණ සාකච්ඡා සඳහා සූදානම් වන අතරේ ජනාධිපතිවරයා එක් කරුණක් නිරීක්ෂණ කළේය. ඒ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටි දෙමළ ජාතික සංධානයේ එම්.ඒ.සුමන්තිරන් මහතාට න්‍යාය පත්‍රයේ කතාවක් වෙන්කොට නොතිබුණි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලලිත් වීරතුංග මහතා කැඳවා සුමන්තිරන් මහත්මාට කතාවක් අවශ්‍යදැයි විමසන ලෙස පැවසීය. ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සුමන්තිරන් මහතා හමුවට ගොස් ජනපතිවරයා ඔහුටද සමුළුවේ අදහස් දක්වන ලෙස ආරාධනා කරන බව පවසා සිටියේය. ඒ අනුව දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්පන්දන් මහතා සහ එම්.ඒ. සුමන්තිරන් මහතා යන දෙදෙනාම මෙම සමුළුවේ අදහස් දැක්වූහ.

මෙම සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය විශේෂ අවධානයට ලක්විය. ජනාධිපතිවරයා සැම පිළිගනිමින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ කරුණු පැහැදිලි කිරීමේදී පසුගිය ආණ්ඩුව සම්බන්ධ කියැවුණු කරුණු හේතුවෙන් පළමුව රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදුකළේය.

අපි මෙතැනට ආවේ රටේ තිබෙන උග‍්‍ර ප‍්‍රශ්නයක් නිසා. පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ කියන ඒවා සම්බන්ධව කතා කරන්න ආවේ නැහැ. මහ බැංකු අධිපතිවරයා පැවසූ පටු දේශපාලනය සඳහා ආවේ නැහැ. මම කනගාටු වෙනවා එතුමා පටන් ගත්තෙම ගිය ආණ්ඩුවේ වැරුද්දක් කියලා. මම ඒකට පිළිතුරු දුන්නොත් එතකොට මොකක්ද වෙන්නේ? ඊළඟටත් පිළිතුරු දෙනවාද? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝ ලංකාවට ආවේ නැත්නම් මේ ප‍්‍රශ්නය තියෙන්නේ නැහැ කියලයි.*
මේ අතර අනෙක් කැපී පෙනෙන සංවාදය ඇතිවූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතරයි. රනිල් වික‍්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධව ලබාදී ඇති වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම සංවාදය ඇතිවිය.

බැසිල් - තවම අපට එහෙම වාර්තාවක් දීලා නැහැ.

රනිල් - එහෙනම් අපි එම වාර්තාව දෙන්න කියා එයාලගෙන් ඉල්ලමු.

බැසිල් - අපිට  'ඩ‍්‍රාෆ්ට්' එකක් දීලා තියෙනවා.

රනිල් - 'ඩ‍්‍රාෆ්ට්' එකක් හරි දීලා තියෙනවානේ. එහෙනම් ඔබ පැවසුවේ වාර්තාවක් දීලා නැහැ කියලා?

බැසිල් - 'ඩ‍්‍රාෆ්ට්' එක කියන්නේ අප දුන්න කරුණුවලට අනුව සකස් කළ එකක්. එය අවසන් වාර්තාව නෙමෙයි. ඔබ ඉල්ලන්නේ එම 'ඩ‍්‍රාෆ්ට්' එකද?

රනිල් - ඉල්ලන්නේ නැහැ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

බැසිල් - 'ඩ‍්‍රාෆ්ට්' එක ඉදිරිපත් කරන්න බැහැ. ඒක තවම අවසන් වාර්තාව නෙමෙයි. ඒක සාකච්ඡා කරලා අපේ යෝජනාද සමඟ අවසන් වාර්තාව ලෙස ඔවුන් සකස්කර දිය යුතුයි. එසේ අවසන් වාර්තාව එවූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. මට වඩා ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.

මේ අතර සමුළුවේ සිය දේශනය සිදුකිරීමට ගිය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අකරතැබ්බයකට මුහුණ පෑවේය. සිය කතාව අතරතුරදී ඔහු විසින් සකසා රුගෙනවිත් තිබුණු කතාවේ ලියවිල්ලක් පැටලී ඔහුට නිසි ලෙස සිය ඉදිරිපත් කිරීම සිදුකිරීමට අපහසු විය. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි හටද මෙම සර්ව පාක්ෂික සමුළුව එතරම් සතුටුදායක නොවුණි. දේශපාලන ආරංචි තහවුරු කළ පරිදි රතන හිමියන්ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කී කතාවක් හේතුවෙන් සිත රිදුණේය.
පක්ෂ කිහිපයක් මුළු රටම හරි මඟට කියලා මේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තිබුණා. මේක ඉදිරිපත් කරපු අය මහමඟට වැටිලා තියෙනවා* මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමුළුව අතරේදී පැවසීය. මෙම ප්‍රකාශය හේතුවෙන් සිතරිදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමුළුව අවසානයේ දානය ලබා නොගෙනම පිටව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලන කරළියේ ආරංචි අනුව රතන හිමි පිටව යන අවස්ථාවේදී හාමුදුරුවනේ දානේ වළඳන්නේ නැද්ද?යනුවෙන් විමසා ඇත. එහිදී දානය නොවළඳා පිටව යන බව රතන හිමි පවසා ඇතැයි කියැවේ. අනතුරුව අදාළ නිලධාරියා හාමුදුරුවෝ කොහෙද වඩින්නෙ? යනුවෙන් විමසූ අවස්ථාවේදී &අපි මේ මහ මඟනේ ඉන්නේ, අපි මගමඟට යනවා* යනුවෙන් පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර පසුගිය අඟහරුවාදා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. ජනාධිපති වෙත ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. තම අමාත්‍ය පරිශ්‍රයෙන් ඉවත්වූ නිමල් ලන්සා මහතා පසුගිය මස 22 වැනිදා අමාත්‍ය ධූරයේ වගකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදුවූ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමු කර තිබුණි.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු දක්වා තිබුණේ අදාළ ලිපියෙන් මතුකළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවන බවකි. අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ රැඳී සිටිය හැකි වුවද ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මෙම අවස්ථාවේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට හෘද සාක්ෂියට ඉඩ ලබා නොදෙන බව එම ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය. මේ අතර නිමල් ලන්සා හට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙන්න යන බව කියැවෙන කටකතාවක්ද දේශපාලන කරළියේ පැතිර ගියේය.

මේ අතර සජබය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමේ තීරණය පිටුපසද කතාවක් නිරාවරණය විය. සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීන්දුවට ඔවුන් එළඹියේ 22දා පැවැති සමගි ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ ජ්‍යෙෂ්ඨයන් අතර මෙම තීරණ සම්බන්ධ පසුගිය සතියකට ආසන්න කාලය පුරා සාකච්ඡා වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව කණ්ඩායම් රුස්වීමේ සියලුදෙනාම එකතු වී මෙම සමුළුව වර්ජනය කළ යුතුය යන තීරණයට එළඹියේය. එම තීරණයට සමගාමීව රට තුළ උද්ගතව පවතින ගැටලු ගණනාවක් ඇතුළත් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය විමසීමටත් ඔවුන් තීරණය කොට තිබුණි. එම ලිපිය සැකසීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට පැවරීමට මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

මේ අතර සමගි ජනබලවේගය පාද යාත්‍රාවක් සඳහා සැලසුම් සකස් කරන බවටද දේශපාලන කරළියේ කතාවක් පැතිර ගියේය. සමගි ජනබලවේගය විසින් මාර්තු 15 වැනිදා පවත්වන ලද දැවැන්ත විරෝධතාවයෙන් පසුව සජබ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇතැයි කියැවේ. බොහෝ විට මෙය දින 10 ක පමණ දීර්ඝ පාද යාත්‍රාවක් වනු ඇතැයි කියැවේ. කෙසේ නමුත් මේ සම්බන්ධව සමගි ජනබලවේගය නිල වශයෙන් ප්‍රකාශයක් මේ වනතුරුත් සිදුකොට නොමැත.

සතියේ තීරණාත්මක බදාදා දිනයේදී ජාතික ජනබලවේගය නුගේගොඩ සංවිධානය කළ දැවැන්ත රුළිය දේශපාලන කරළියේ ඉහළ අවධානයක් දිනාගත්තේය. ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු මැයෙන් එම රුළිය සංවිධානය විය. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මෙම රැළිය පැවැත්වුණි. රැළියට සම්බන්ධ වූ පිරිස එම ස්ථානයට පැමිණියේ විරෝධතා පෙළපාලිවලින්ය. ඒ අනුව දෙල්කඳ මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගයේ හරහා සහ ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ විරෝධතාකරුවෝ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණියෝය.

ඉන්ධන මිල අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, ලයිට් නැතේ තෙලුත් නැතේ, ගෑස් නැතේ පිටිත් නැතේ, මීට වඩා ඉවසනු බැහැ, රට හදන්න වරෙව් පුතේ යනාදී සටන් පාඨ විරෝධතාකරුවෝ මෙහිදී භාවිත කළහ. මෙම විරෝධතා පෙළපාලි හේතුවෙන් නුගේගොඩ අවට මාර්ග රුසක්ද අවහිර වූයේය. දැඩි රථවාහන තදබදයක්ද ඇතිව නිර්මාණය විය.

ජාතික ජනබලවේගයේ නායකයෝ මෙහිදී රුළිය ඇමතූහ. දැන් ඇති පලයල්ලා... නැත්නම් එළවන හැටි අපි දන්නවා යනුවෙන් සඳහන් කරමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉතා ආවේගශීලී කතාවක් කළේය. ඔහුගේ වාග් විලාසය වෙනදාටත් වඩා ප්‍රහාර ප්‍රහාරාත්මක වූ අතර සර්ව පාක්ෂික සමුළුව පිළිබඳවද සඳහන් කරමින් ඔහු ආණ්ඩුවේ නායකත්වය දැඩි ලෙස විවේචනය කළේය.

සර්වපාර්ශ්වික සමුළුවට අපට ආරාධනා කළා අපි එහි ගියානම් අපි කියන්නේ ‘අනේ ගෝඨාභය බැහැලා යන්න’ කියලා යන්න පමණයි. අප මේ නුගේගොඩට ආවේ රාජපක්‍ෂලා දැන් ගෙදර යන්න කියලයි. අද මම ශිෂ්ට භාෂාවෙන් මෙහෙම කිව්වට පෝලිම්වල ජනතාව ආමන්ත‍්‍රණය කරන්නේ මෙහෙම නෙමෙයි. ඒ කෙසේද යන්න ඔබ දන්නවා. නුගේගොඩට දස දහස් ගණන් ජනයා රුස්වෙලා කියන්නේ රාජපක්‍ෂලා දැන් උඹලා පලයල්ලා කියලයි. හැබැයි හිරිවැටුණු නායකයන්ට එය දැනෙන්නේ නැහැ.

මේ අතර උදය, විමල්, වාසු ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට යන බවටද ආරංචියක් දේශපාලන කරළියේ පැතිර ගියේය. කෙසේ වෙතත් ඔවුන් එවන් තීන්දුවක් තවමත් ගෙන නොමැති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

මේ අතර ඒ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයින් පසුගිය බ්‍රහස්පතින්දා අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියෝය. මෙම ගමනට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන මෙම පිරිස පළමුවෙන්ම දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැක තිබුණි. අනතුරුව, හවුල්කාර පක්ෂ නියෝජිතයින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් සහ එම පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුන්දෙනියේ ධම්මරතන හිමියන්ද හමු වූහ. එම හමුවීම් අතරේදී එහිදී “මුළු රටම හරි මඟට” ජාතික වැඩපිළිවෙළද මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කළ බව කියැවුණි. ඉදිරියේදී මෙම පිරිස සෙසු ආගමික නායකයන් සමඟද මෙලෙස සාකච්ඡා කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

මෙම ගමනේදී මාධ්‍ය ඇමතූ  හිටපු අමාත්‍ය විමල් වීරවංශ බරපතළ ප්‍රකාශයක් කළේය. ආණ්ඩුවේ බහුතරය ඉදිරියේදී අහිමි කිරීමට කටයුතු කරන බව ඔහු කීය.

මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන එන්න උදව් කරන්න ජීවිතයට අපේ බලාපොරොත්තුවක් නෑ. කවුරුහරි එහෙම කියනව නම් අපේ ගමනට බය වෙලයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ. මේ රට වෙනත් රටක කොලනියක් කරන්න හදනකන් බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. සජිත් හදන්න ගිය සුරංගනා ලෝකෙට වඩා මේ හැදුණු සුරංගනා ලෝක භයානක කමෙන් අඩුයි. ඒක හැදුවා නම් මේ රට මෙහෙමවත් ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි ආණ්ඩුවේ බහුතරය 113 නැතිකරනවා

මේ අතර සෑම වසරකම මාර්තු 22 දාට යෙදී තිබෙන ලෝක ජල දිනය ඉකුත්දා ජල සම්පාදන අමාත්‍යාංශය විසින් සමරනු ලැබුවේය. ඒ අනුව ලෝක ජල දින සැමරීම ඉකුත් අඟහරුවාදා අරලියගහ මන්දිරයේ සිදුවිය. ආරම්භයේදී ජල දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සම්බන්ධ වීමට නියමිත බව කියවුණි. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ජල දින සැමරුමට පැමිණෙන බව කල් ඇතිව ප්‍රකාශයට පත්වී තිබුණද ඔහු එදින ඊට සහභාගී නොවුණි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු සිදුවූයේය.

පසුගිය සතියේ කංසාද දේශපාලන මාතෘකාවක් බවට පත්විය. කංසා නීතිගත කිරීමට අදාළව තමා ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ක්‍රියාත්මක නොකළ නිසා රටට ඩොලර් බිලියන 2ක මුදලක් අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය සර්ව පාක්ෂික සමුළුවේදී සඳහන් කිරීමත් සමග මෙම සංවාදය ආරම්භ විය.

“අපි දන්නවා ඉන්දියාවේ ප්‍රාන්ත තුනකට නීත්‍යානුකූලව බලය දීලා තිබෙනවා කංසා පිටරට යවන්න. ඒත් අපේ රට අද මේ වගේ තත්ත්වයක තිබියදී ඩොලර් බිලියන 2ක් වාර්ෂික උපයගන්න තිබුණා. මම මේ යෝජනාව ගෙන ආපු දවසේ ඉඳන් ක්‍රියාත්මක කළා නම්. ඒ ගැන නීත්‍යානුකූලව කටයුතු නොකළ නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 2 ක් නැති වුණා.”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද කංසා සම්බන්ධව හඬ අවදි කර තිබුණි. රෑපවාහිනී සංවාදකට සම්බන්ධ වෙමින් ඔහු පවසා තිබුණේ කැනඩාව 2018 දී ඖෂධ සඳහා කංසා වගා කිරීම අනුමත කිරීමත් සමඟ ඔවුන් වසර දෙකක් තුළ තුල ඇමරිකානු ඩොලර් බිලියන 47 ක් උපයා ඇති බවයි. බ්‍රිතාන්‍යයන් විස මත්ද්‍රව්‍යක් ලෙස තහනම් කරනු ලැබූ කංසා නීතිගත කිරීම තුළින් ශ්‍රී ලංකාවටද විශාල ආදායමක් උපයා ගත හැකි බව ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම ඕනෑම දෙයක හොඳ නරක දෙපැත්තක් ඇති බවත් එය භාවිතා කරන ක්‍රමය අනුව සියල්ල තීරණය වන බවත් ඔහු සඳහන් කළේය.

වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ආරම්භයේ සිටම තමා මෙම කරුණ පෙන්වා දුන්නද ඇතැම් පිරිස් ඒ සම්බන්ධව විවේචන ඉදිරිපත් කළ බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ නීතිමය තහනම ඉවත් කළොත්, එක කඳුලක්වත් දේශීය පරිභෝජනයට නොගෙන අපනයනය කරන්න පුළුවන්. කෙටි කාලයක් තුළ අක්කර 1500ක් වගා කරලා මාස හයකදී ඇමරිකානු ඩොලර් බිලියනයක්, ඊට වඩා වගා කරොත් වසරකදී බිලියන පහ හයක් වුණත් උපයා ගන්න පුළුවන්.

ඉකුත් සතියේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්ධන අර්බුදය පිළිබඳව සෑම සඳුදාවකම සමාලෝචන රුස්වීමක් කැඳවීමට තීරණය කළේය. ඒ හරහා එම සතිය තුළ ඇතිවිය හැකි තත්ත්වයන් සමාලෝචනය කොට විසඳුම් ලබාදීම ජනපතිගේ අරමුණ විය.

මේ අතර තීරණාත්මක බදාදා දිනය පස්වරුවේ ජනපති ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සමඟ විශේෂ සාකච්ඡාවකට පවත්වා තිබුණි. ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම සාකච්ඡාවේදී සාකච්ඡාවේදී ප්‍රකාශ කිරීම බොහෝ මාතෘ සුවිශේෂී කොට වාර්තා කළේය.

ඒ අතර පසුගිය සතියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විශේෂ ස්තුතියක් සිදුකොට තිබුණි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දීය රජය ලබා දෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතිය පළ කළේය. එ අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබුණි.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සතියට ඉන්ධන නැව් දෙකක් ශ්‍රී ලංකාවට ලැබීම ආරම්භ වී තිබුණි. එය ඉන්ධන නැව් තුනක් දක්වා වැඩිකර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළේය. කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ සහ ඉන්දියාවේ සිටින මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මේ සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කළහ. ඒ අනුව අප්‍රේල් මාසයේ පළමු සතියේ සිට ඉන්දියාවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එක් සතියකට ඉන්ධන නැව් තුනක් ලබාදීමට එකඟ වී තිබුණි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියානු ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් පූරි මහතාද විශේෂ සහයෝගයක් දක්වා ඇති බව රජයේ ඉහළ පෙළ පෙළේ ආරංචි මාර්ග කළේය.

මේ අතර බිම්ස්ටෙක් සමුළුව ලබන 28 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබුණි. බෙංගාල බොක්ක ආශ්‍රිත රාජ්‍යයන් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව ,මියන්මාරය, ශ්‍රී ලංකාව, නේපාලය සහ තායිලන්තය යන රටවල් බිම්ස්ටෙක් සංවිධානය ඇතුළත් වේ. මෙවර සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි. ඒත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අවසන් මොහොතේදී මොහොතේ දී අවලංගු විය. ඒ අනුව බිම්ස්ටෙක් රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවට සම්බන්ධ වීමට නියමිතය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී බිම්ස්ටෙක් සංවිධානයේ මීළඟ සභාපතිත්වය භාර ගැනීම සඳහා තායිලන්ත අගමැති චන් ඕචා මහතා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

මාසයකට අධික කාලයක් පුරා විටින් විට පැවැත්වීමට උත්සාහ දැරෑ නමුත් විවිධ හේතූන් මත අසාර්ථක වූ විශේෂිත සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා දිනයේදී පැවැත්වුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර පැවැති මෙම සාකච්ඡාව ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්විය. කෙසේ වෙතත් ජනපති සමඟ මෙම සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධව දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේද මුලසිටම මතභේද රැසක් තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය මෙවර සාකච්ඡාව මගහැරියේය. ටෙලෝ සන්ධානය සර්ව පාක්ෂික සමුළුවද වර්ජනය කළ අතර ජනපති සම්බන්ධව විශ්වාසයක් නොතබන බව පවසා තිබුණි. එසේ වුවද වසර දෙකහමාරකට පසුව ලද මෙම සාකච්ඡාව මගහැරීමට නොහැකි බව දෙමළ ජාතික සංධානයේ අනෙකුත් පක්ෂ ස්ථාවරය විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි, ඉල්ලමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට දෙමළ පක්ෂ නියෝජිතයන් ලිපියක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.

සිකුරාදා පෙරවරු 10.30ට පමණ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුණි. සාකච්ඡාවට සහභාගී වීමට පිටත්ව යන අතරේ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේ නව ව්‍යවස්ථාවක් තුළින් බලය බෙදීමක් අපේක්ෂා කරන බවයි.  ඒ අනුව සාකච්ඡාවේදී නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, බලය බෙදීම සහ පළාත් ක්‍රමය, පළාත් මැතිවරණය මැතිවරණය පැවැත්වීම යන ආදිය කරුණු පිළිබඳ දෙමළ ජාතික සන්ධාන විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇතැයි කියැවුණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරදඬුවම් ලබා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන දෙවැනි අපහාස නඩුවේදී ඉදිරිපත් කර ඇති චෝදනාවලට අධිකරණයෙන් සමාව ඉල්ලා සිටීමට රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා පියවර ගත්තේය. ඒ අනුව නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල්තබන ලදී.

 චමිදු නිසල් 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00