2022 මාර්තු 20 වන ඉරිදා

ඉන්දියාවෙන් ඩොලර් මල්ලක්

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 247

  • ජාතිය ඇමතූ ජනපති අර්බුදයේ හතර මායිම් පෙන්වා දෙයි
  • සජබ රැලියට මහ සෙනඟක්
  • රටට ජාතික ආණ්ඩුවක් ඕනෑ නැති බව රනිල් කියයි
  • විමල් උදය දිගටම බැසිල්ට පහර දෙයි
  • බැසිල් - මෝදි හමුවෙති
  • මිලින්ද මොරගොඩ තිරය පසුපස ලොකු රාජකාරියක
  • ඇමැති බන්දුල හැදූ චෛත්‍යයට උපන් දිනය දා කොත් පළඳයි
  • ජවිපෙ විරෝධයෙන් කොළඹ රත්වෙයි

දේශපාලන, ආර්ථික, පුපුරායාම් සහ කලබගෑනී රැසක් වාර්තා වූ තීරණාත්මක සතියක් ගෙවී ගියේය. විපක්ෂය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැලි පෙළපාලි සංවිධානය කිරීම සිය ප්‍රමුඛ රාජකාරි කරගෙන සිටියහ. ආණ්ඩුව සිය ආරක්ෂාව තහවුරු කරගනු රිසියෙන් විවිධාකර දේශපාලන උපක්‍රම අනුගමනය කිරීමට සැරසුණි.

ඉකුත් සතිය තුළ ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දුන්හ. ඉන්ධන සහ ගෑස් ලබාගැනීම වෙනුවෙන් රටපුරා දිගු පෝලිම් නිර්මාණය විය. බොහෝ ස්ථානවල විරෝධතා මෙන්ම ගැටුම්ද වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක් තුළ ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමේ ගැටලුව තවදුරටත් ප්‍රබල විය. මෙම අර්බුද බරපතළ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සඳහා දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ඉන්දියාව සමඟ පැවති සාකච්ඡා තීරණාත්මක සන්ධිස්ථානයක් කරා එළඹියේය.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු පිරිසක් එක්වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්, ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ. ශ්‍රී ලංකාව යෝජනා කර සිටියේ ආහාර ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමයක් ලබාදෙන ලෙසයි. එසේම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණයක්ද ඉල්ලා සිටියේය. මීට ඉහත අවස්ථාවකදී ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා ගොස් සාකච්ඡා කළේ මෙම ණය යෝජනා ක්‍රම පිළිබඳවය.

මෙවර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ තෙදින ඉන්දියානු නිල සංචාරය සිදුවූයේ මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසය. මෙම ණය යෝජනා සම්බන්ධ අවසන් ගිවිසුම් සඳහා එළඹීම මෙම සංචාරයේ අරමුණ විය. මෙම ගිවිසුම් පිළිබඳ නීත්‍යානුකූල කටයුතු ජනාධිපති ලේකම්වරයා කල්තබාම මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සමඟ එක්ව සිදුකොට තිබුණි. ඉන්දියාව බලා ගිය අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස නවදිල්ලියේ රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් ලැගුම් ගන්නා අයි.ටී.සී. සූර්යා නම් හෝටලයේ නවාතැන් ගත්හ. එහි සිටම ඉන්දීය රජයේ ආර්ථික කටයුතු සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් රුසක් සමඟ මෙරට දූත පිරිස සාකච්ඡා කළෝය.

අනතුරුව ඉන්දීය බලශක්ති අමාත්‍ය ආර්.කේ. සිං සහ ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් සිංපූරි යන අය මුණ ගැසීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කර තිබුණි. අනතුරුව ඉන්දියා හවුස් මන්දිරයේ ශ්‍රී ලාංකික දූත පිරිස වෙනුවෙන් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි. මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ඉන්දිය විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුවිය. මෙම ණය යෝජනාව කඩිනම් කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව ඉන්දීය ආරංචි මාර්ග පැවසීය.

මේ අතර ඉකුත් බදාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ කටයුතු කර තිබුණි. එදින පාර්ලිමේන්තු දිනයක් වූ බැවින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අතර හමුව ඉන්දීය පාර්ලිමේන්තුවේ ඔහුගේ නිල කාර්යාලය තුළ සිදුවිය. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. නව ආර්ථික යෝජනා පිළිබඳ මෙහිදී සාකච්ඡා ඇතිවිය.

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මිත්‍රශීලී අසල්වැසි  රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට සහ උදව් කිරීමට කැමති බවත් ශ්‍රී ලංකාවේ යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඒවා සලකා බලා ඉන්දීය රජය කළ හැකි දෑ කිරීමට සූදනම් බවත් පවසා තිබුණි. මේ අතර පුනර්ජනනීය බලශක්ති පිළිබඳව සේම සංචාරක ව්‍යාපාර පිළිබඳවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා ඇති වූ බව කියැවුණි. ඊට අමතරව මෙහිදී ඉන්දීය ධීවර ගැටලුව පිළිබඳ මෙහිදී සාකච්ඡා ඇතිවිය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ තීරණාත්මක දිනය වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයයි.

ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය ඒ. නාගේෂ්වරන් මහතා මුණගැසුණි. ඒ අනුව  බ්‍රහස්පතින්දා සවස් කාලයේ ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම අත්සන් කිරීම සිදුවිය. ආයෝජන බැංකුවක් වන ඉන්දීය රාජ්‍ය බැංකු පරිශ්‍රයේ දී මෙම ණය ගිවිසුම් අත්සන් තැබීම සිදුවිය. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී පුෂ්කර් ජා, ගිවිසුමට අත්සන් තැබූ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීය. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අනුව  අමෙරිකානු ඩොලර් බිලියනයක මෙම ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගත හැකිවනු ඇත. ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දීය රජයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය යෝජනා ක්‍රමය ද මේ සමඟ ක්‍රියාත්මක වේ. එසේම එම ඩොලර් මිලියන 500ට අමතරව ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබාදෙන ලෙස ඉන්දියාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින්  ඉන්දියානු රජයෙන් ඉල්ලීමක්  සිදුකොට ඇතැයි දැනගැනීමට ලැබේ. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් ඊට සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි. මේ අතර මෙම ණය ආධාරය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එකට සිටින බවකි.

මේ අතර කාලයේ විමල් වීරවංශ ඇතුළු පිරිස විසින් මුදාහල බැසිල් විරෝධය සමස්ත රටේම අවධානය දිනා ගත්තේය. විමල් වීරවංශ දිගින් දිගටම සියලු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබාදෙමින් සිටියේය. එම සාකච්ඡාවල ඔහු බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය නිරන්තර විවේචනය කළේය. එක්තරා අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට කුමන හෝ පාර්ශ්වයක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත් අවසානයේ ඔහු කියා සිටියේ බැසිල් රාජපක්ෂට එරෙහිව කවුරු විශ්වාසභංගයක් ගෙන ආවත් ඊට පක්ෂව ඡන්දය දෙන බවයි. එහෙත් තම කණ්ඩායම බැසිල්ට එරෙහිව විශ්වාසභංගයකට වඩා වැඩි යමක් සැලසුම් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

මීට අමතරව අමාත්‍ය බැසිල් රාජපක්ෂ  මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනුකර ඇති රිට් පෙත්සමක් ඉකුත් සතියේ අභියාචනාධිකරණය සලකා බලා තිබුණි. ඒ අනුව දැනගන්නට ලැබුණේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට ඉදිරි මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසියක් මගින් දැනුම් දෙන්නැයි නියෝග ලැබී ඇති බවකි.

මුදල් අමාත්‍යවරයා ඇමෙරිකානු පුරවැසියෙක් වන බවත් වෙනත් රටක පුරවැසියකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත් පවසමින් මෙම ගොනුකර තිබුණි. ඒ අමාත්‍ය ධුරයක් දැරීම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝණය වීමක් බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් සඳහන් කොට තිබුණි.

රට විනාශයි, දැන් ඇති, තවත් වනසන්න දෙන්න බැහැ, එක්වෙමු කොළඹට තේමාව යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමඟි ජන බලවේගයේ විරෝධතාව පසුගිය සතියේ අඟහරුවාදා කොළඹදී ක්‍රියාත්මක විය. මෙම විරෝධතා සඳහා රටේ බොහෝ ප්‍රදේශවලින් බස් රථ යොදාගනිමින් කොළඹට විශාල ජනකායක් රුස්කර ගැනීමට සජබ නායකත්වය සමත්විය. ඒ අනුව කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය සහ අසලට පස්වරු 2.00ට පමණ රුස්වූ විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන්පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

එම විරෝධතාකරුවෝ පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය, මරදාන, කොළඹ කොටුව ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියෝය. තවත් පිරිසක් පිරිස කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලය අසල සිට විරෝධතා පා ගමනින් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු පාරට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබුණි. ඒ අනුව මෙම විරෝධතා පෙළපාලි ද්විත්වයම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී එක්වූ අතර එහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් විරෝධතා රැලිය පවත්වනු ලැබීය. 

මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාව පිළිබඳව තිරය පිටුපස කතා රුසක් එළියට එමින් පැවතිණි. සජබ ආරංචි මාර්ග අනුව ඔවුන් පළමුව පොහොට්ටු රුලියට ප්‍රතිචාරයක් වශයෙන් අනුරාධපුරය ඇතුළු නගරවල විශාල රුලි සංවිධානය කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ඊට කැමැත්තක් දක්වා නැත. ඔවුන් පවසා ඇත්තේ ජනතාවට ඇති ප්‍රශ්න පිළිබඳ රුලි පවත්වා එම ප්‍රශ්න ජනතාවට කීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවය. ඒ අනුව මෙම විරෝධතාවට අදහස ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් විසිනි. පසුව සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එකඟ වී තිබිණි.;

ඒ අනුව ඉකුත් 15 වැනිදා පැවති විරෝධතාවයේ දී සිය උපරිම විරෝධතාව පළ කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ පසුපෙළ නායකයන්ට නායකත්වය විසින් උපදෙස් ලබා දී තිබුණි. සජිත් ප්‍රේමදාස මහතා විරෝධතාවයේ දී සිය බලය ප්‍රකාශ කිරීමට කටයුතු කළේය. මෙහිදී රුලිය ඇමතූ ඔහු ජනපතිට අභියෝග කරමින් ජනාධිපතිවරණයක් ඉල්ලා සිටියේය.

“අපිට ඕනේ නැවත වරක් ජනාධිපතිවරණයක්. වෙන මොනවත් නෙමෙයි. පුළුවන් නම් ජනාධිපතිවරණය පවත්වන්න.. එදාට රටේ ජනතාව වැඩ පෙන්වයි. මේ ආණ්ඩුවට මේ රටේ වෙන විකල්පයක් නෑ. සමගි ජන බලවේගයයි විකල්පය."

මෙම රුලිය හේතුවෙන් තෙවැනි වරටත් දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට නියමිත වූ සාකච්ඡාව කල් ගියේය. පහළොස් වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර එය කල් දැමීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය එතරම් සතුටු නොවුණි. කෙසේ වෙතත් සාකච්ඡාව මේ මස 25 වැනිදා පෙරවරු 10.00ට නැවත පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ නිලධාරියකු සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කළේය. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ටෙලෝ සන්ධානය මෙම සාකච්ඡාව වර්ජනය කිරීමට තීරණය කර තිබූ බවත් එදින සාකච්ඡාව පැවැත්වූයේ නම් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනකු සහභාගි නොවන බවට දැනුම් දී තිබූ බවත් එම ප්‍රකාශකයා පවසා තිබුණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ආණ්ඩුවක් ඉල්ලා සිටින බවට සති කිහිපයක සිට පළවූ පුවත් අසත්‍ය බව පෙනී යන ප්‍රකාශයක් ඔහු විසින්ම ඉකුත් සතියේ සිදු කළේය. ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව කී හෙතෙම ජාතික ආණ්ඩුවක් බිහිකිරීමෙන් සිදුවන්නේ ඇමැති ධුර බෙදාගැනීමක් පමණක් බව කියා සිටියේය. සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික රාමුවක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් සිදු කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබුණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මාර්තු 25 වැනිදා හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක් පැවැත්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ හා සම්බන්ධ සාකච්ඡා කිහිපයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි. එහිදී මෙම සත්‍යග්‍රහය ඉතා සාමකාමීව පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉකුත් සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වැනි වරටද ජාතිය ඇමතුවේය. රට තුළ පවතින ආර්ථික ගැටලු පිළිගනිමින් විදේශ විනිමය අර්බුදයේ ස්වභාවය පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. 

“අපි ඉතිහාසයේ ඕනෑ තරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණ වෙනුවෙන් කැප කරනවා.." 

පක්ෂ එකොළහක නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා කතාබහක් ඇතිකළ ‘මුළු රටම හරි මගට’ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය බදාදා පැවැත්වුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ඊට සහභාගි නොවීම විශේෂිත විය. මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රීලනිපය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණි. 

*ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපි අතර තියෙන්නෙ විශේෂ සම්බන්ධතාවක්. ඔවුන් අපේ සමූහය තුළ එකට ඉන්නෙත් නැහැ. නමුත් සමූහය එක්ක යම් යම් අවස්ථාවල සම්බන්ධතාව පවත්වනවා. ඔවුන් පක්ෂ එකොළහ එක්ක ඉන්න බව පැහැදිලිව කියලා තියෙනවා."
මේ අතර ඇමැති ධුරවලින් නෙරපන ලද විමල් වීරවංශ, උදය ගම්මන්පිල කණ්ඩායම විසින් නුගේගොඩ පැවැත්වීමට සැලසුම් කර තිබූ සිය පළමු රුලිය අත්හිටුවීමට තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම රුලිය "විමල් සුළඟ" ලෙස බොහෝ දෙනකු හඳුන්වා තිබුණි. ආරංචි මාර්ග අනුව එය මෙම මස 27 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම කර තිබුණි. එහෙත් පසුගිය සතියේ හමුවූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් විසින් මෙම රුස්වීම අත්හිටුවා ඒ වෙනුවට විකල්ප ගණනාවක් සාකච්ජා කොට ඇතැයි කියැවේ. දැවැන්ත මැයි රුලියක් පැවැත්වීම ඔවුන්ගේ සැලසුම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්, ඇමැති බන්දුල ගුණවර්ධනගේ ජන්ම දින උත්සවයක් වෙනුවෙන් සහභාගි වීම සම්බන්ධයෙන්  විශේෂ සිදුවීමක් ද ඉකුත් සතියේදී දැනගැනීමට ලැබුණි. උත්සවය පැවතියේ බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම වෙනුවෙනි. මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් එම කටයුතු සිදුවිය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු දේශපාලනඥයන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් මීට සම්බන්ධ වීම සුවිශේෂී විය.

මාර්තු 18 සිකුරාදා කොළඹදී තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගය විරෝධතාවක් සංවිධානය කළේය. ජාතික ජන බලවේගය මෙම මස තුළ සංවිධානය කිරීමට සැලසුම් කොට තිබූ ප්‍රධාන විරෝධතා ත්‍රිත්වයෙන් පළමුවැන්න එය විය. මීළඟ මහජන විරෝධතාව මාර්තු 23 බදාදා නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර ගොවීන්ගේ අවසන් මහා විරෝධතාව මාර්තු 29 වැනි අඟහරුවාදා පොළොන්නරුවේදී පැවැත්වෙන බව කියැවිණි.

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ මෙම විරෝධතාව පා ගමන් ලෙසින් මරදාන ටෙක්නිකල් හන්දිය අසලින් ආරම්භ විය. තෙල් පෝලිම් එපා....! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු..! යන මැයෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබුණි. ඒ අනුව කොටුව දුම්රියපොළ පසු කරමින් ජනාධිපති කාර්යාලය අසල දෙදහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ගමන් කලෝය.

 චමිදු නිසල්