2022 මාර්තු 06 වන ඉරිදා

විමල්-උදය-වාසු මහින්දගේ ගෙදර

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 481

  • කාදිනල්තුමා මානව හිමිකම් කොමසාරිස් හමුවෙයි
  • රතන හිමිට අනපේක්ෂිත ප්‍රහාරයක්
  • රට ගොඩගන්න මට පුළුවන්:සජිත් කියයි
  • ආණ්ඩුවේ ප්‍රබලයන් තීන්දුව ගත් රැස්වීම
  • විමල්ගේ ඉලක්කය බැසිල්
  • විදුරට දොළවත්තට විනය පරීක්ෂණ
  • මෛත්‍රීපාල සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි

ආණ්ඩුවේ දේශපාලන කක්ෂය වටා භ්‍රමණය වෙමින් පැවතුණු උල්කාවක් හිටි හිටිහැටියේම ආණ්ඩුව මත කඩා වැටුණි. ආණ්ඩුවෙන් තිහක් වෙනම මතයක් දරමින් නොබියව කළඑළි බැස්සෝය. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතෝලික පල්ලිය අතර වන මත ගැටුමද උණුසුම් විය. අධිභාර බද්දට එරෙහිව අධිකරණයට ගිය සමගි ජනබලවේගයට පමණක් ගෙවුණු සතියේ සතුටුදායක ආංචියක් අසන්නට ලැබුණි.

ඉකුත් සතිය තීරණාත්මක දිනය වූයේ බදාදා දිනයයි. එදින ආණ්ඩුවේ හවුල් හවුල්කාර පක්ෂ 11 විසින් සකස් කරන ලද මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළි දුටුවේය. අවසන් මොහොත වනතුරුත් මෙය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලැබේදැයි වූයේ ගැටලුවකි. එහෙත් අවසානයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ අවශ්‍යතාව මත මෙම ප්‍රකාශනය සමඟ පක්ෂය අත්වැල් බැඳ ගත්තේය. කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධව සතුටු නොවන කිහිපදෙනකුද ශ්‍රීලනිපය තුළ වන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. එහෙත් ඔවුන්ටද වෙනත් විකල්පයක් තෝරා ගැනීමට නොහැකි වන පරිදි කටයුතු සකස් වී තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර උත්සව ශාලාවකදී මෙම උත්සවය සංවිධානය විය. උත්සවය ආරම්භයේදී සියලුදෙනා පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම ජ්‍යෙෂ්ඨත්වය අනුව වාසුදේව නානායක්කාර මහතාට පැවරීමට කල් ඇතුවම පිරිස තීරණ කළහ. ඒ අනුව වාසුදේව නානායක්කාර මහතාගේ කතාවෙන් අනතුරුව රුස්ව සිටි පිරිස අතර ප්‍රකාශය බෙදාදීම සිදුවිය. මෙහිදී කැපී පෙනුණු සිදුවීමක් වූයේ ආණ්ඩුව නිර්මාණය කිරීමට දායකත්වය සැපයූ ප්‍රබල භික්ෂු චරිත රුසක් පක්ෂ 11 කණ්ඩායමේ මෙම හමුව වෙත පැමිණ සිටීමයි. මෙහිදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ කතාවෙන් අනතුරුව සභාවේ තවත් භික්ෂුවකගෙන් එල්ල වූ විරෝධතාවයි.

දේශපාලන වාර්තා අනුව මෙලෙස විරෝධය දක්වා තිබුණේ ජනබල පක්ෂයේම හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ය. රතන හිමියන් සභාව අමතා අවසන් වනවාත් සමඟම එහි පැමිණි වේදිනිගම හිමියෝ රතන හිමිට එරෙහිව අදහස් දක්වන්නට වූහ. මෙම අනපේක්ෂිත තත්ත්වය නිසා සියලුදෙනාම පාහේ කලබල වූහ. අනතුරුව සභාවේ සිටි සෙසු ප්‍රබල භික්ෂූන් වහන්සේලා පිරිසක් මැදිහත්ව ඒ හිමියන්ව ශාලාවෙන් ඉවතට රුගෙන යන ආකාරයද දක්නට ලැබිණි. ශාලාවෙන් ඉවතට ගෙන ගිය පසුවද පිටත හිඳිමින් අදහස් දැක්වූ වේදිනිගම හිමියන් පැවසුවේ බෞද්ධයන්ගේ ඡන්දවලින් පාර්ලිමේන්තු ගියත් රතන හිමියන් මෙතෙක් තම පක්ෂයට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කිසිවක්ම කර නොමැති බවයි. රතන හිමියන් මෙම රුස්වීමටද සහභාගී වෙමින් කරන්නේ කොන්ත්‍රාත්තුවක් පමණක් බවද වේදිනිගම හිමියෝ පැවසූහ.

උත්සව සභාවේ සංවිධාන වැඩ කටයුතුවලට වැඩි බරක් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ විසින් දැරෑ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. පක්ෂ එකොළහේ නායකයන් උත්සව සභාව අමතන්නට වූ අතර උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ මෛත්‍රීපාල සිරිසේන යන පක්ෂ නායකයන්ගේ කතා අවසාන අදියරට යොදා තිබුණි. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමකදී තමා සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නුදුරු අනාගතේදී රට මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය ගැන සඳහන් කළ බව සඳහන් කරමින් ඊට ලැබුණු ප්‍රතිචාරයද අනාවරණය කළේය.

විදේශ විනිමය අර්බුදයක් නැහැ. මේ තියෙන්නෙ ආණ්ඩුවේ බැංකු දෙකේ නිලධාරීන් කරන මගඩියක්. ඒක සති දෙකක් ඇතුළත විසඳනවා. යැයි ඒ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් නැගිට සඳහන් කළ බව ගම්මන්පිල මහතා පැවසීය. මේ අතර අමාත්‍යවරයා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්ද සිදු කළේය. ඒ මේ වනවිට අඳුරේ අතපත ගාමින් සිටින ජනතාව විශ්වාසභංගත්වයට පත්වුවහොත් ඔවුන් කැරුලි ගසන තත්ත්වයකට පත්වීම නැවැත්වීමට කිසිවකුටත් නොහැකි වනු ඇතැයි ඔහු කීය.

මේ අතර කලක් නිහඬව සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා මෙවර සෘජු ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගත් ප්‍රහාරයක් දියත් කළේය. මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර ඇතැයි පැවසෙන අර්බුදයක් පිළිබඳවද ඔහු තොරතුරු අනාවරණය කළේය. මගෙ මොළෙයි තව හයකුයි තියන අයට මේ අර්බුදය විසඳන්න බෑ. මේකට විශේෂඥ උපදෙස් ගත යුතුයි. ඒ අනුව යම් සැලසුමක් සකස් කරන්න අපට උදව් දෙන රටවලින් සහාය ලබාගත යුතුයි. නමුත් මේ උද්ධච්චකමට මේ අර්බුදය විසඳන්න බෑ. මහ බැංකු අධිපතිටවත් මුදල් ඇමැති මුණගැහෙන්න බෑ. යනුවෙන් විමල් වීරවංශ මහතා සිදුකළ පැහැදිලි කිරීම මෙහිදී සියලු දෙනාගේ අවධානය දිනා ගත්තේය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට අරාජික කොට ලෝක බලවතුන්ට රට අල්ලා ගැනීමට අවකාශ සැලසෙන පරිදි ඇතැමුන් කටයුතු කරමින් සිටින බවකි.

සභාව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල කියා සිටියේ පවතින අර්බුදයෙන් රට මුදා ගැනීමට සර්වපාක්ෂික සමුළුවක් වහා කැඳවිය යුතු බවයි. මේ අතර රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුව නම්‍යශීලී සහ නිහතමානී විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක්, සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබී නැතැයිද කියා සිටියේය. මෙම උත්සව සභාවේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ හමුව ඇමතු කිසිදු කථිකයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතාව සෘජුව විවේචනය නොකිරීමට ප්‍රවේසම් සහගත වීමය. එය සිය පූර්ව එකඟතාවයක් මත සිදුවූවක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

මෙම රුස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊට සහභාගී වී සිටියහ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා මෙලෙස මෙම වැඩසටහනට සම්බන්ධ වූහ. ඔවුන් සම්බන්ධව විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම හමුවේදී පළවූ ඇතැම් අදහස් අනුමත නොකරන බවත් එදිනම පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණේ මෙම හමුව අවසන් වෙත්ම ආණ්ඩුව අභ්‍යන්තරයේද කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් නිර්මාණය වී තිබූ බවයි. ඒ අනුව ඔවුහු එම කටයුත්ත කල් නොදමා බ්‍රහස්පතින්දා දිනයේදීම සිදුකිරීමට අදහස් කළෝය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිදුවෙමින් පවතින ගැටුම් සේම සමගි ජනබලවේගයට අධිකරණ තීන්දුවක් හේතුවෙන්ද මෙම සතිය සුභ විය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණි. කෙටුම්පත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස සමගි ජනබලවේගය එම පෙත්සමින් ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය සතියේදී නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ කමිටු අවස්ථාවේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ඇතුළු බාරකාර අරමුදල් 13ක් බදුවලින් ඉවත්කරගන්නා බවට සංශෝධනයක් ගෙන එන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට මෙය ඉතා සුබ ආරංචියක් වූ අතර ඔහු මේ සම්බන්ධව මහජන මහජන හමුවලදී අතිශය සතුටින් කතා කරමින් සිටින පසුගිය සතිය පුරා දක්නට ලැබුණි. ඒ අනුව මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකිරීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කළ අතර එය සමගි ජනබලවේගය විසින් පරාජයට පත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තවත් විශේෂ ප්‍රකාශයක් ගෙවුණු සතියේ දී සිදුකර තිබුණි. මැදපෙරදිග රටවල් තුනකින් තමන්ට තෙල් ලබාදීමට පොරොන්දු වූ බව ඔහු කියා සිටියේය. වසර දෙකකට සහනදායි ක්‍රමය යටතේ තෙල් ලබාගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, එම රටවල් තුනම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, එහෙත් වර්තමාන පාලනය යටතේ එවන් සහයක් ලබාදීමට එම රටවල් අකැමැති බවද පැවසීය. සමගි ජනබලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සතියේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරු ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර බලා පිටත්ව ගියෝය. දැනට සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරුණු දැක්වීම සඳහා ඔවුන් එලෙස පිටත්ව යන බව කියැවුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය මේ දිනවල ජීනිවා නුවරදී පැවත්වේ.

මේ අතර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බදාදා (3) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේ හමුවිය. බීබීසීය වෙත අදහස් දක්වමින් කොළඹ සහායක රදගුරු ඇති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් පවසා තිබුණේ මෙම හමුව විනාඩි 45ක් පැවති බවයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් ඇයගේ අවධානයට යොමු කිරීම එම හමුවේ අරමුණ වී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයේ වින්දිතයන්ට දේශීය වශයෙන් සාධාරණය ඉෂ්ඨ නොවන පසුබිමක මෙය ජාත්‍යන්තරයට අරන් යන බව කතෝලික සභාව මීට පෙර පවසා සිටියේය. 

මෑතකාලීන දේශපාලනයේ තීරණාත්මක දිනයක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා උදාවන බව බදාදා වනවිට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර තිබුණි. අභ්‍යන්තර මත ගැටුම විනයක් නොමැතිව ඉදිරියට ඇදෙන බව ආණ්ඩුවේ ප්‍රධානීන් බදාදා සන්ධ්‍යාව වනවිටත් සාකච්ඡා කොට තිබුණි. ඒ අනුව බ්‍රහස්පතින්දා උදෑසන විශේෂ රුස්වීමක් කැඳවීමට ඔවුහු තීරණය කළහ.

ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම විශේෂ රුස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි. ඊට ඇරයුම් ලැබුණේ ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් පිරිසකටය. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වූහ. ඊට අමතරව පොදුජන පෙරමුණ මහා ලේකම් සාගර කාරියවසම්, ජනක තෙන්නකෝන්, කාංචන විජේසේකර, සීතා අරඹේපොළ, නාලක ගොඩහේවා, කෝකිලා ගුණවර්ධන, සුමිත් උඩුකුඹුර, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගි වී සිටියහ. සමස්ත පිරිස තිස් පස් දෙනෙක් පමණ වූහ.

මේ ආකාරයෙන් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් මෙම හමුවේදී මතු වූ මූලික අදහසයි. මෙම සභාවේදී ආණ්ඩුවට මෙලෙස ඉදිරියට යා නොහැකි බව පළමුවරට කීවේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනය. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා ඉලක්ක කරගෙන දිගින් දිගට පහර දෙනවා. අපි මොකක් හරි කරන්න ඕනෑ යනුවෙන් පවසමින් ඔහු කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය. ඔහුගේ පැහැදිලි කිරීම අනුව යමින් සභාවේ බොහෝ දෙනා විමල්-උදය වාසුට එරෙහිව කරුණු දක්වන්නට වූහ.

මධ්‍යස්ථ මතවාදයක සිට කරුණු දැක්වීම සිදුකළ කිහිප දෙනෙක්ද වූහ. එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැපී පෙනුණි. බෙදන්න නෙමෙයි එකතු කරන්න අපි ඉගෙනගන්න ඕනෑ. තවදුරටත් මේක ඉදිරියට ගෙනියන්නේ නැතුව මෙයාලත් එක්ක කතා කරලා බැලුවොත් නරකද? බන්දුලගෙන් මතුවූයේ මෙවන් අදහසකි. එක්සත් ජාතික පක්ෂය ලලිත්, ගාමිණී ඉවත් කිරීම සම්බන්ධව ගත ඓතිහාසික තීන්දුව සහ එහි ඵලවිපාක පිළිබඳ තවදුරටත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සභාව ආරම්භයේදී තරමක් මධ්‍යස්ථව අදහස් දක්වා තිබුණි. විමල් උදය වාසු ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡා කළ යුතුය යන මතය අග්‍රමාත්‍යවරයාද දරණ බව පෙනී ගියේය.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන  ඇතුළු කණ්ඩායම දැඩි ස්ථාවරයක සිටින බව පෙනී ගියේය. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ පැයෙන් දෙකෙන් කැබිනට් රුස්වීම ඉවර වෙනවා. දැන් පැය තුන හතර කැබිනට් රුස්වීම යනවා. කැබිනට් රුස්වීමේ වැඩියෙන්ම කතා කරන්න විමල් උදය වාසු. යනුවෙන් මෙහිදී අදහස් දැක්වීම සිදුවන අතරේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තවත් කරුණක් ඉස්මතු කළේය. ඊයේ ඉන්ධන මිල සම්බන්ධව ඉතාම වැදගත් රුස්වීමක් තිබ්බා. ඒක ඉවර වෙන්න මිනිත්තු හතළිස් පහකට කලින් උදය ගම්මන්පිල ඇමතිතුමා නැගිටලා ගියා ඔය රුස්වීමට සහභාගී වෙන්න.

මෙහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද නැගෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී විමල්, උදය, වාසූ ඇතුළු කණ්ඩායම කටයුතු කළ ආකාරය සිහිපත් කරමින් කතාවක් කළේය. ඔහු ජනාධිපතිවරයාගෙන් තීරණයක් ගන්නා ලෙසද ඉල්ලා සිටියේය. මේ අතර ජයන්ත කැටගොඩ යෝජනා කර සිටියේ මෙම ප්‍රශ්නය මුළුමනින්ම මතු කළේ රතන හිමියන් බවයි. රතන හාමුදුරුවෝ ආණ්ඩුවේ රැස්වීමටත් යනවා, විපක්ෂයේ රැස්වීමටත් යනවා මේ පිරිසත් නොමග ඇරියේ රතන හාමුදුරුවෝ.. ඔහු කීය.

මෙලෙස සාකච්ඡාව ඉදිරියට ඇදෙන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ සියලුදෙනා එක්වී අවසන් තීරණයකට එළඹිය යුතු බවයි. මේ අතරේ නැගී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය කරුණු පැහැදිලි කිරීම සිදුකරන්නට විය. මේ ගොල්ලෝ ඔක්කොම මට ගහනවා. යුද්දෙකදි වුණත් ඉස්සෙල්ලම පහර දෙන්නේ ඉස්සරහින්ම යන සන්නද්ධ ඇතාට. හැබැයි ඉතින් මේවා මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔය නිසා විසිවෙනි සංශෝධනය ගැන ආපු වෙලාවේ පුරවැසිභාවය සම්බන්ධය ප්‍රශ්නය ඇති වුණාම මම ටිරාන් අලස් මන්ත්‍රීතුමාගේ නිවසේදී මේගොල්ලන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒත් මේ අය ඒ මතය පිළිගත්තේ නෑ බැසිල් රාජපක්ෂ සිදු කළේ මෙයට සමාන කරුණු දැක්වීමකි.

මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගතයුතු බව බැසිල් රාජපක්ෂ පැහැදිලිව කියා සිටියේය. මෙම කණ්ඩායම පළමුව විසිවැනි සංශෝධනයට විරුද්ධ වූ ආකාරයත්, අනතුරුව නැගෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී ක්‍රියා කළ ආකාරයත්, යුගදනවි බලාගාරය සිදුවීමේදී ක්‍රියා කළ ආකාරයත් ඔහු පිරිස ඉදිරියේ සිහිපත් කළේය. මේ ගොල්ලෝ ආණ්ඩුවෙත් ඉන්නවා වරප්‍රසාද ගන්නවා. මෙහෙම හරි නෑ. අපි දෙකෙන් එකක් තීරණය කරන්න ඕනෑ. මේ අනුව තීරණයක් ගැනීම සම්බන්ධව අවසාන වගකීම  ජනාධිපති සතු විය. ආරම්භයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටියද අග්‍රාමාත්‍යවරයාටද අවසානයේ තීරණයකට එකඟවීමට සිදුවිය. මෙම පිරිසට අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කොට අවස්ථා සලසා දුන් බව අග්‍රාමාත්‍යවරයාද පිළිගෙන තිබුණි. රුස්වීම පැය තුනකට ආසන්න කාලයක් දික් ඇදී ගියේය.

ඒ අනුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විශේෂ යමක් සිහිපත් කළේය. විමල්ලා උදයලා කැබිනට් රුස්වීමේ පැය තුන හතරක් කතා කරනවා කියලා කිව්වනේ. ඉතින් මේකත් අපි පැය තුන හතරක් කතා කළා. අපි තීන්දුවක් අරගෙන මේක ඉවර කරමු. ඒ අනුව අවසාන තීන්දුව ප්‍රකාශයට පත්විය. උදය සහ විමල් ඉවත් කිරීමට ජනපති තීරණය කළේය. බ්‍රහස්පතින්දා සවස 4:30ට නව දිවුරුම්දීම සූදානම් කිරීම උපදෙස් ලැබුණි. උදය ගම්මන්පිල මහතාගේ අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේ මහතාට ලබාදීමටත්, විමල් වීරවංශ මහතාගේ අමාත්‍යධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමටත් තීරණය විය. ඒ අනුව පුරප්පාඩු වන අමාත්‍ය ධූර සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාවද, විදුලිබල අමාත්‍ය ධූරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද යෝජනා වී තිබුණි.

දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩු වන අධ්‍යාපන අමාත්‍යධූරය එස්.බී. දිසානායකට ලබාදීමට යෝජනා වූ නමුත් එහිදී නිර්මාණය වූයේ ගැටලුවකි. මට අධ්‍යාපන අමාත්‍යංශය මිසක් මේක නම් එපා. කරුණාකරලා මට ඉල්ලන අමාත්‍යංශය ලබාදෙන්න මම ජේෂ්ඨයෙක්. විටින් විට අමාත්‍යංශය කීපයක්ම මාරු උනා. ඒ වුණාට මට අමාරුයි ඒ වැඩේ කරන්න. දිවුරුම් දීමට කටයුතු සූදානම් වන අතරේදී දිනේෂ් එසේ පැවසීමෙන් ගැටලු ඇතිවිය. අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරගැනීමට ඒ වනවිටත් එස්.බී. දිසානායක එහි සූදානමින් සිටියේය. දිනේෂ් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨයකු බැවින් ජනපතිට ඔහුගේ මතයට ඇහුම්කම් දීමට සිදුවිය. එස්.බී. පොඩ්ඩක් පැත්තකින් ඉන්න. මම දිනේෂ් එක්ක ඒ ප්‍රශ්න විසඳගන්නම්. ජනපති එම තීරණය තරමක් පසෙකට දමද්දී දිනේෂ් ගුණවර්ධන ජනපතිට සමුදී එම ස්ථානයෙන් පිටව ගියේය.

එස්.බී. දිසානායකට අමාත්‍යධූරයක් ලබාදීම සම්බන්ධව නුවරඑළිය දිස්ත්‍රිකයේ ජේෂ්ඨතම මහජන නියෝජිතයා වන සී.බී. රත්නායක තරමක අමනාපයකින් පසුවිය. කර්මාන්ත වැනි අමාත්‍යාංශයක් ඔහුට ලබාදීම සම්බන්ධව ඔහු එතරම් සතුටු නොවුණි. කෙසේ වෙතත් ජනපති අගමැති එස්.බී. දිසානායක ඇමති ධූරයට පත් කළ යුතුය යන තීරණය සිටියේය. එනිසා පක්ෂයේ ජේෂ්ඨයන් විසින් සී.බී. රත්නායක කරුණු පැහැදිලි කර දී තිබුණි. මෙදින දිලුම් අමුණුගම කොළඹ නොසිටියෙන් ඔහුට බ්‍රහස්පතින්දා සවස දිවුරුම් දීමට පැමිණීමට නොහැකි විය. ඒ නිසාවෙන් එම කටයුත්ත සිකුරාදා දිනය දක්වා කල් දමනු ලැබුවේය.

ඒ අනුව බ්‍රහස්පතින්දා අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ කිහිප දෙනකු පමණි. එස්.බී. දිසානායකට කර්මාන්ත අමාත්‍ය ධූරය ලැබුණු අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරය ලැබුණි. බලශක්ති අමාත්‍ය ධූරය ලැබුණේ ගාමිණී ලොකුගේ මහතාටය. මේ අතර කාලයේදී උදය ගම්මන්පිල මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කොට තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවාද යන්න පිළිබඳ අසා දැනගෙන තිබුණි. ඔහු කියා තිබුණේ එසේ නම් තමා අමාත්‍යාංශයෙන් බඩු ඉවත්කර ගන්නා බවයි. මේ අතර තමා ඉවත් කිරීම පිළිබඳව ස්තූතිය පළ කරමින් විමල් වීරවංශ මහතා සමාජ ජාල පණිවිඩයක් පළ කළේය.

බදාදා ආරම්භ වූ සිදුවීම් මාලාව සිකුරාදා වනවිටත් එක ලෙසම උණුසුම්ව පැවතිණි. සිකුරාදා විමල් උදය වාසු ඇතුළු පක්ෂ එකොළහේ නියෝජිතයෝ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූහ. දේශපාලන කරළියේ සියලු දෙනාගේම අවධානය ඒ වෙත යොමු වී තිබුණි. එහිදී තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය. හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේදී තනතුරු ලැබේද නොලැබේද යන්න සලකා නොබලන බවත්, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බවත් වීරවංශ මහතා පැවසීය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධව බරපතළ විවේචනයක් මෙහිදී සිදුකළ අතර වර්තමාන ආර්ථික ගැටලුව වගකිවයුත්තා ලෙස ඔහු බැසිල් රාජපක්ෂ නම් කළේය. එසේම වර්තමාන ජනාධිපතිවරයා යටතේ ඉතින් නැවතත් අමාත්‍යධූරයක් දැරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු කීය.

කෙළවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා ප්‍රතික්ෂේප කළේය. එය පෙත්සම ගොනු කිරීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම මූලික විය. ඒ අනුව මෙදින මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ කියා සිටියේ කාගේ ආනුභාවයෙන් මෙම තීන්දුව ලැබුණේදැයි නොදන්නා බවයි. කෙසේ වෙතත් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය හටගත් අර්බුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේය.

මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙක් ආර්ථිකය මෙහයවීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ පැවසීමට කටයුතු කළා. අපිව ඇමතිධුර වලින් ඉවත් කිරීම හරියට හඳේ ආවාට පෙන්වන්නට ඇඟිල්ල දිගු කළ විට ඇඟිල්ල කපා දැමීමක් වැනියි. මේ රට මෙවැනි තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ අය පිළිබඳව ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා. ඇමෙරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටින බවත් රට ඇමෙරිකාවෙන් නිදහස් කර ගැනීමේ සටනක් සිදුකිරීමට සිදුව තිබෙන බවත් කිව යුතුය

මෙහිදී තමන් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමෙන් ඉවත් වී සිටින බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය. අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තමන් මෙම තීරණයේ සිටින බවද හෙතෙම පැවසීය. තමන් කැබිනට් කැබිනට් රැස්වීම සඳහා හෝ අමාත්‍යාංශයේ කටයුතු සඳහා සහභාගී නොවන බව වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර එදින සවස්වරුවේ දැනගන්නට ලැබුණේ විමල් සහ උදය තමන්ගේ මන්ත්‍රීවරුන්ද සමඟ ආණ්ඩුව ඇතුළේ ස්වාධීන වන බවය. එසේම ඒ දෙදෙනා සමඟ වාසුදේව එදින රාත්‍රිෙය් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ හමුවක් පැවැත්වූ බවද සඳහන් වෙයි.

මෙම මාධ්‍ය හමුව අවසන් වෙත්ම තවත් අමාත්‍ය දිවුරුම් දීමක් සිදුවිය. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා දිවුරුම් දුන්නේය. ඒ අතරේම තමන්ගේ අමාත්‍යධූර පිළිබඳ තරමක කලකිරීමකින් පසුවූ සී.බී. රත්නායකට සහ විමලවීර දිසානායකටද නව අමාත්‍ය ධූර හිමි විය. ඒ අනුව සී.බී. රත්නායක මහතාට වනජීවී සංරක්ෂණ අමාත්‍යංශය ලැබුණි. විමලවීර දිසානායක මහතාට හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හිමිවිය. මේ අතර අරුන්දික ප්‍රනාන්දු මහතාට පසුගියදා අහිමි වූ අමාත්‍යධූරය සිකුරාදා නැවත ලැබුණි.


 චමිදු නිසල්