2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

විදුලිය කැපිල්ලට දෙහිකැපිල්ලක්!

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 295

  • මහින්දගෙන් අනුරපුරදී කැපී පෙනෙන කතාවක්
  • අල්ලස් අරන් ඕ.අයි.සී.ලා මාරුකරනවා කියලා මට චෝදනා කරනවා - සරත් වීරසේකර
  • විපක්ෂය එක මේසෙට එන සාකච්ඡාවේ දෙවැන්නත්
  • ඉන්ධන ගන්න විඳින දුක ගම්මන්පිල කියයි
  • සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට තිස්සගෙන් සැර පිළිතුරක්
  • සජබ, ආණ්ඩුවේ අභියෝගය බාරගනී

රැලි කැරලි සහිත දේශපාලන සතියක් ගෙවී ගියේය. ගැටුම් ආරෝවන් කුමන්ත්‍රණ පිළිබඳ කතා සුපුරුදු පරිදි තිරය පිටුපස වූයේය. වාද විවාදවලද අඩුවක් නොතිබිණි. ආණ්ඩුවේ නව දේශපාලන ප්‍රවේශය ප්‍රධාන සංවාදය විය.

අරලියගහ මන්දිරයේ පසුගිය සඳුදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම තරමක උණුසුම් මුහුණුවරක් ගත් බවට දේශපාලන කරළියේ ආරංචි පැතිර ගියේය. ඒ හා සම්බන්ධ යම් යම් තොරතුරුද විවිධ මාධ්‍ය වාර්තා තුළ අන්තර්ගතව තිබුණි. කෙසේ වෙතත් ඒ හා සම්බන්ධ නිසි අනාවරණයක් කිසිදු පාර්ශ්වයක් විසින් සිදු නොකෙරිණි. එමනිසාම මෙම සිදුවීම් පෙළ දේශපාලන ආරංචි ඇසුරෙන් අපි විමසා බැලුවෙමු. ඉකුත් සඳුදා පැවැති මෙම හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතියේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව මෙදින කණ්ඩායම් රැස්වීමේදී පළමුව සංවාදයට ගැනුණේ මහපොළ භාරකාරත්ව අරමුදල පිළිබඳවයි. මෙම අරමුදල භාරව සිටි අග්‍ර විනිශ්චකාරවරයා එහි භාරකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව මෙහිදී කියැවුණි. ඒ හේතුවෙන් මහපොළ භාරකාරීත්ව පනත සංශෝධනය කොට වෙනත් අයෙක් එහි භාරකරු ලෙස නම් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. එය කඩිනමින් සිදුකළ යුතු බවද මෙහිදී ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඒ හා සම්බන්ධ විවිධ අදහස් මැති ඇමැතිවරු පළ කළෝය. කෙසේ වෙතත් අවසානයේ පිරිස එකඟතාවකට පැමිණියේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයෙක් මෙම තනතුරට සුදුසු බව පවසමිනි.

මේ ආදී වූ සංවාද අතරේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් අවස්ථාවකට එළඹියේ වාසුදේව අමාත්‍යවරයාගේ ඉල්ලීම හේතුවෙනි. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කිරිඇල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් මාරු කිරීමට සූදානම් වන බව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. එය එසේ සිදු නොකරන ලෙසද වාසුදේව මහතා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. මෙහිදී ඉදිරියට පැමිණි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය තමාට එම ස්ථාන මාරුවීම සිදුකළ යුතුම බව කියා සිටියාය. මේ අනුව වාසු සහ පවිත්‍රා අතර වාදයක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කළේය.

මෙම කතාවටම පැටලුණු පොලීසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කීවේ සිය දුක් ගැනවිල්ලකි. අල්ලස් ලබාගෙන තමා පොලිස් ස්ථානාධිපතිවරුන් මාරුකරන බවට ඇතැමුන් චෝදනා කරන බව ඔහු කියා සිටියේය. තමා එසේ නොකරන බව ඔහු කීවේය. මෙහිදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සංවාදයට මැදිහත් විය. මොනවා වුණත් පළාතේ ඉන්න මන්ත්‍රීවරුන් දැනගන්න ඕනෑ ඒ පළාතේ නිලධාරීන් ගැන. ඒ නිසා ඒ අයත් දැනුවත්ව මේ දේවල් සිද්ධ වෙනවා නම් හොඳයි අග්‍රාමාත්‍යවරයාගෙන් මතුවූයේ එවැනි අදහසකි. කෙසේ වෙතත් ජනපතිවරයා මේ හා සම්බන්ධව මතුකළේ වෙනත් අදහසකි. මැතිවරණ කොට්ඨාසයකට පොලීසි හතරක් පහක් තියෙනවා. එයින් එකකට විතරක් ඕනනම් මන්ත්‍රීතුමාට කැමති කෙනෙක් දාගන්න. ඒත් හැම පොලීසියටම මේ විදියට ඕ.අයි.සී.ලා දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් මේක කරන්න බෑ.

කෙසේ වෙතත් සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සුවිශේෂීම සිදුවීම සිදුවූයේ මෙම සිදුවීම් සියල්ලටම අනතුරුවයි. පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නැගී සිටියේය. ආර්ථික අර්බුද පිළිබඳ ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධ චෝදනා මුඛයෙන් කතාවක් ආරම්භ කළේය.

කොවිඩ් වසංගතය නිසා තමයි මේ ආර්ථිකය කඩාගෙන වැටුණේ. ඒත් ගම්මන්පිල ඇමතිතුමා කියනවා ආර්ථිකය කඩාගෙන වැටෙන්න හේතුව කොවිඩ් නෙවෙයි...* ආදී අදහස් මතු කරමින් ඔහු දිගින් දිගටම කතා කරන්නට විය. මෙම කතාව අවසන් වෙත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද කොවිඩ් නෙවෙයි කියලා කියනවා නම් වැරදියි. කොවිඩ් හින්දා තමයි මේ ආර්ථිකය කඩාගෙන වැටුණේ* ආදී වශයෙන් පවසමින් කොවිඩ් වසංගත හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට වූයේය.

මෙහිදී නැගී සිටි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් ප්‍රධාන හේතුවක් තමයි. මම කිව්වේ කොවිඩ් විතරක් නෙවෙයි එකම හේතුව කියලා* යනුවෙන් පැවසීය. තව අවුරුදු 5ක් ණය උගුලේ හිරවෙලා ඉන්නැතුව විසඳුමක් හොයාගත්තොත් අපිට පුළුවන් මේකෙන් ගොඩ යන්න. ඒ නිසයි මම කිව්වේ කොවිඩ් පමණක් නෙවෙයි මේ ආර්ථික අර්බුදයට හේතුව, පහුගිය කාලේ තිබුණු ආණ්ඩු ණය ගැනීම නිසා ඇතිවුණ ණය උගුලත් මෙකට හේතුවක් කියලා. ණය උගුල නිසා තමයි මේ අර්බුදය මෙච්චර උග්‍ර වුණේ.* උදය ගම්මන්පිලගේ මෙම කරුණු පැහැදිලි කිරීම සමඟ එම ප්‍රශ්නය යට ගියේය.

මීළඟට කරළියට පැමිණියේ විදුලිබල අර්බුදයයි. විදුලි කැපිල්ලේ තේරුම නොදැන පැහැදිලි කිරීම් සිදුකිරීමත්, නිසි කාලසටහනක් ලබා නොදීමත්, ඒ නිසාවෙන් ජනතාවගෙන් බැණුම් අහන්නට සිදුවීමත්, සම්බන්ධව කතාව ආරම්භ කළේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාය. මෙම කතාවට මැදිහත් වූ ජගත් කුමාර නම් පසුපෙළ මන්ත්‍රීවරයා කියා සිටියේ විදුලි කප්පාදුව සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යවරයා එකිනෙකට පරස්පර කතා පවසන බවයි. මේ එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බවත් ආණ්ඩුවක් ලෙස සියලුදෙනාම එක මතයක් කතා කළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

විදුලිබල කතාව සාකච්ඡාවට ලක්වීමත් සමඟම නැවතත් උදය ගම්මන්පිල සංවාදයට මැදිහත් විය. ඉන්ධන ලබාගැනීමේදී ඇති වෙත දුෂ්කරතා සම්බන්ධව ඔහු වඩාත් පුළුල් ලෙස පැහැදිලි කළේය. තමන් කතා කරන්නේ තමන්ගේ අමාත්‍යාංශය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මිස අනෙක් අමාත්‍යාංශ පිළිබඳ නොවන බව පවසමින් ඔහු මෙම පැහැදිලි කිරීම සිදු කරන්නට විය. අනතුරුව නැවතත් කරුණු පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 2015 වසරෙන් පසු විදුලි බලාගාර ඉදි නොකිරීමද වර්තමාන ගැටලුවට හේතුවක් වී ඇති බවයි. මම දිගින් දිගටම පුනර්ජනනීය බලශක්තියට රට මාරු විය යුතු බව කියා සිටින්නේ එබැවින් බව ජනපති කීවේය. මෙහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ඒවා නතර වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සිදු කළේය.

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ වූ අර්බුදයක්ද කෙමෙන් කෙමෙන් ඔඩු දුවන බවක් පෙනී ගියේය. පාඨලී චම්පික රණවක රණවකගේ 43 වැනි සේනාංකයේ සංවත්සර සැමරුම සමඟ මතුවූ මෙම අභ්‍යන්තර මත ගැටුම ගෙවුණු සතිය වනවිට තරමක් උණුසුම් විය. පාඨලී චම්පික රණවක මහතා යූ ටියුබ් සංවාද කිහිපයකටම සහභාගී වී තිබුණු අතර ඔහු ඒවායේදී පළකළ අදහස්ද මෙම අර්බුදය උග්‍ර අතට පෙරළීමට හේතු වූයේය. ඒ අනුව එක් සංවාදකදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහුව යෝජනා කිරීමට පුරෝගාමී වූයේ තමන් බවද ඔහු පවසා තිබුණි. සමගි ජනබලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒත් සමඟ නොගැලපීම නිසා බවද මෙම සංවාදයේදී වැඩිදුරටත් කියැවුණි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සති දෙකකට ඉහතදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධවද සජබ අභ්‍යන්තරයේ විවේචන ඇති වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පියාණන් වන හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන රැස්වීම්වලදී මතක් නොකරන ලෙස තමා පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දුන් බව සරත් ෆොන්සේකා මහතා පවසා තිබුණි. මේ සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ වූ විවේචනය යම් පමණකට තිස්ස අත්තනායක මහතා විසින් කරළියට රැගෙන ආවේය. ආර්. ප්‍රේමදාස යනු මේ රටේ පරිවර්තනයක් ඇතිකළ නායකයෙක් බව කී අත්තනායක මහතා රණසිංහ ප්‍රේමදාස ප්‍රතිරෑපයට පයින් ගසා, අමතක කර, ගුණමකුවකු ලෙස සමගි ජනබලවේගයට ඉදිරියට යා නොහැකි බවත් සිහිපත් කර සිටියේය.

මේ අතර මෙරට විපක්ෂ කණ්ඩායම් එකතු කරගනිමින් පැවැත්වෙන සාකච්ඡාවක දෙවැනි අදියර පසුගිය සතියේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බ්‍රහස්පතින්දා සිකුරාදා හෝ සති අන්තයේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි. ආරංචි අනුව මෙම සාකච්ඡාවේ ප්‍රධාන සංවිධායක ලෙස දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් මහතා කටයුතු කරයි. මීට සතියකට පමණ පෙර අදාළ සාකච්ඡාවේ පළමු වටය ඔහු විසින් සාර්ථකව පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. විපක්ෂයේ සියලුම පක්ෂ සහ ආණ්ඩුවේ පක්ෂ කිහිපයක සාමාජිකයන්ද මෙම සාකච්ඡාවට සහභාගී වී ඇතැයි කියැවේ. වර්තමානයේ රට මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත. මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස එකම සාකච්ඡා මේසයක සාකච්ඡා කළ බවටද දේශපාලන කරළියේ තොරතුරු හුවමාරු වී තිබේ. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවැති මෙම සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වීමට නියමිත වූ නමුත් ඔහු සහභාගී වී නැතැයි කියැවේ. දේශපාලන ආරංචි අනුව පසුගිය සතිය අග හෝ මෙම සතිඅන්තයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම සාකච්ඡාවේ දෙවැනි අදියරයි.

පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් ප්‍රධානතම සිදුවීම වූයේ අනුරාධපුරයේ පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ ජන හමුවයි. මෙම හමුව සම්බන්ධවද දේශපාලන කරළියේ තිරය පිටුපස කතා බොහෝ විය. ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදයක් රඳවා ගැනීමේ අරමුණ ඇතිව දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය වන රුලි මාලාවක පළමුවැන්න ලෙස මෙය ක්‍රියාත්මක විය. පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම කටයුත්ත සංවිධානය කිරීමේ ප්‍රධාන වගකීම් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසකට පැවරී තිබුණි. අනුරාධපුරය පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත රැස්වීම සඳහා ජනතාව කැඳවා ගැනීමේ අභියෝගය භාරවිය. දේශපාලන ආරංචි මාර්ග අනුව මෙහි සංවිධාන කටයුතු පිළිබඳ සියලු උපදෙස් බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබුණු නමුත් මෙවර ඔහු වගකීම් බෙදා තරමක් පසුපසට වී බලා සිටියේය. 

අනුරාධපුර රුලියේ කැපී පෙනෙන කතාව සිදුකළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. අපි කවදාවත් ඡන්ද පරාද වෙයි කියලා බයේ තීන්දු නොගත් අය නෙමෙයි, රටට වැදගත් නම් අපි ඒ තීන්දුව ඒ වෙලාවෙම ගන්නවා. අපේ ආණ්ඩුව පටන් ගත් හැම වැඩක්ම කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණයක් යනවා. අපිත් ජනතාව එක්ක පාරට බැහැලා ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. අපට මහ පාර වගේම ගොවි බිමත් හුරුයි. අපට වැල්ලේ ඇවිදලා, පාද යාත්‍රා ගිහිල්ලත් හොඳට පුරුදුයි. කම්කරුවෝ ගොවියෝ ජනතාව අතරට අපිත් යනවා. ඒ අභියෝගයට අභියෝගයෙන්ම මුහුණ දෙන්න අපි සූදානම්.* යනුවෙන් පවසමින් අගමැතිවරයා විපක්ෂයට අභියෝග කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව නොමඟ යවමින් රට අගාධයට ඇද දැමීමට පසුගිය ආණ්ඩු කළ කණ්ඩායම් නැවතත් එක්ව සිටින බව කීවේය. කුමන අභියෝග හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නැංවීමටත් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමටත් තමා කැපවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුරයේ පැවැත්වූ පොහොට්ටුවේ රුලියට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගි වී නොතිබීම බොහෝදෙනාගේ අවධානයට යොමුවිය. පොහොර ගැටලුව හේතුවෙන් ඔහුට එරෙහිව විරෝධතාවයක් ඇතිවිය හැකි බැවින් ඔහු රුලියට සහභාගී නොවූ බව දේශපාලන කරළියේ තිරය පිටුපස කතාවක් පැතිර ගියේය. ආණ්ඩුවේ ප්‍රධාන කථිකයෙක් ලෙස ඔහුගේ අඩුව මෙහිදී කැපී පෙනුණි. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධව මහින්දානන්ද පාර්ශ්වය ප්‍රතික්ෂේප කර තිබුණි.
එසේම රුලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ ජනතාවට ආචාර කරන අතරේ ඔහුගේ අත එසවීමට උත්සාහ දැරෑ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා පිළිබඳවද සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් යොමුවිය. පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයකු ලෙස මෙවන් රැස්වීම් සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මීට ඉහතදී අග්‍රාමාත්‍යවරයාගේ කතාවක් පිළිබඳ කල් ඇතුව සොයා බැලීමට ගොස් අර්බුදයක් ඇතිවිය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී කළ  අභියෝගයට සමගි ජනබලවේගය පසුදාම ප්‍රතිචාර දැක්වූයේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජනරුලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අභියෝගය බාර ගනිමින් තම පක්ෂයද ලබන මාසයේදී එම ක්‍රීඩාංගණයේදීම ජනරුලියක් පවත්වන බව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. රජය විසින් කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තම පක්ෂය රජයට අභියෝග කරන බවද පැවසූ ඔහු සමගි ජනබලවේගයට කුඹුර, මහපාර, වැල්ල මෙන්ම ඕනෑම ඡන්දයක්ද ඔට්ටු යැයිද කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂද ගෙවුණු සතියේ දේශපාලන කරළියේ කතා මවන්නට සමත් විය. එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් අතර පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම එජාප හිතවතකුගේ විවාහ මංගල අවස්ථාවකදී එකම දිස්ත්‍රික්කය නියෝජනය කළ සමගි ජනබලවේගයේ ගයන්ත කරුණාතිලක සහ එජාපයේ වජිර අබේවර්ධනද හමුවී සාකච්ඡා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සාගල රත්නායක මහතා පත්කර ඇති බවද ගෙවුණු සතියේ වාර්තා විය. සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස මීට ඉහතදී කටයුතු කළේය. මේ සම්බන්ධ හෙළිදරව් වන තොරතුරු අනුව නවීන් දිසානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර හිමි වූ නමුත් ඔහු එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නව පත්කිරීම සිදුකර තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ දැඩි විවේචනයක් සිදුකරමින් පසුගිය දිනක පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී අදහස් පළකළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බවද ගෙවුණු සතියේ මාධ්‍ය වාර්තා පළවී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අලුත් වැඩකට අත ගසා තිබුණි. පසුගිය සති අන්තයේ රැස්වූ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය මෙම කටයුතු සිදුවේ. ඒ අනුව ආර්ථික අර්බුදය, හරිත ගොවිතැන, ආණ්ඩුකරණය ඇතුළු කරුණු 15 කින් සමන්විත යෝජනාවලියක් ශ්‍රීලනිප විසින් මේ දිනවල සකස් කරමින් පවතියි. රටේ පවතින වත්මන් අර්බුදවලට පිළියම් යෝජනාවලියක් ලෙස මෙම යෝජනාවලිය රජයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසා සිටින්නේ රට මුහුණපා ඇති විවිධ අර්බුදකාරී තත්ත්වයන් තුළ උද්ගතවන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට ලබාදීම සඳහා මෙම විශේෂ යෝජනාවලිය සකසන බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් සංචාරයක් සඳහා මෙරටින් පිටව ගියේය. සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන්ගෙන් ලද ආරාධනාවකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාව බලා පිටත්ව ගිය බව ශ්‍රීලනිපය පවසයි. රටවල් 157ක නියෝජනයෙන් සහභගීත්වයෙන් සාමය පිළිබඳ ලෝක සමුළුව පැවැත්වේ. ඒ අනුව දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමැතීමට මෙන්ම ඒ අතර රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු මුණගැසීමටද සංචාරය අතරතුරදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තුවෙන් සිටින බව කියැවේ.

 චමිඳු නිසල්