2022 ජනවාරි 29 වන සෙනසුරාදා

අගමැති පුවත් මැවූ සතියක්!

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 329

  • රතන හිමි දේශපාලනයෙන් සමුගෙන බණ භාවනාවට බසිති
  • හවුල්කාර පක්ෂවලින් ආණ්ඩුවට යෝජනා 10ක්
  • යූ.ඇන්.පිය ගාලු යයි
  • විවිධ කණ්ඩායම් සමඟ සජබ සාකච්ඡා
  • නාමල් මෛත්‍රී හමුවක්
  • චම්පිකගේ 43 සජිත් මගහරියි
  • අගමැති ගිණුමෙන් සල්ලි ගත්තේ ආරක්ෂාවටලු

හොරකම්, යටිමඩි ගැසීම්, අසනීප, කටකතා සපිරි තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. නාටකීය ආරවුල් ගෙවුණු සතියේ සුලභ විය. උද්ඝෝෂණ විරෝධතා සුපුරුදු පරිදි ඉදිරියට ඇදුණි. රටේ විවිධ ක්ෂේත්‍ර තුළ මතු වූ අර්බුද කිසිවකට මෙම සතියේද නිශ්චිතව විසඳුමක් නොලැබුණි. කෙසේ නමුත් මේ සියල්ල අතරේම තිරය පිටුපස රහසේ කෙරුණු දේශපාලන කතා පිළිබඳ ආරංචිද විටින් විට අප වෙත ගලා ආවේය.

ගෙවුණු සතියේ ආරම්භයේම කාගේත් අවධානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුවූයේ හේතු කිහිපයක් හේතුවෙනි. ඉන් පළමුවැන්න වූයේ අග්‍රාමාත්‍යවරයා අසනීප වීම පිළිබඳ පැතිර ගිය කතාවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ පාදයේ සහ පිට කොන්දේ සැත්කම් දෙකක් සිදුකර ඇති බවට සමාජ මාධ්‍යයේ කටකතාවක් පැතිර ගොස් තිබුණි. එසේම අග්‍රාමාත්‍යවරයාගේ අසනීප තත්ත්වය පිළිබඳ තවත් කතා බොහෝ විය.

මෙහිදී සැබෑවට සිදුව තිබුණේ ඉකුත් සඳුදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කල් ඇතිව සැලසුම් කොට තිබූ සුළු සැත්කමක් වෙනුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමයි. මෙය ඉතා සුළු සැත්කමක් වූයෙන් රාජපක්ෂ මහතා එම සැත්කම නිමකොට සිය නිල නිවෙස බලා පිටත්ව ගොස් තිබුණි. එහෙත් සැත්කම පිළිබඳ වූ විවිධ ප්‍රචාර හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ඔහුගේ හිතෛෂීන්ටද දුරකථන ඇමතුම් රුසක් ලැබී තිබුණි. පසුව මෙහි සත්‍යතාව චමල් රාජපක්ෂ ඇමැතිතුමා තහවුරු කළේය.

මේ අතර ගෙවුණු සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හිතෛෂියකු වූ අයෙක් ඔහුට වංචාවක් කිරීම අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ අවධානයක් යොමුවීමට හේතුවක් විය. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් ඔහුගේ සමීපතම නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියැවුණි.

මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා වූයේ හිටපු කතානායකවරයකුගේ පුත්‍රයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.  ඔහු කලක් මහින්ද රාජපක්ෂ මහතාට සමීපව පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙක් ලෙසද කටයුතු කළේය. මීට කලකට ඉහත එක්තරා අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ප්‍රසිද්ධියේ බැණ වැදීම හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියටද පත්විය. කෙසේ වෙතත් මෙම වංචාව සම්බන්ධව විටින් විට මහින්ද රාජපක්ෂ මහතාහට තොරතුරු ලැබී තිබුණද ඔහු එම තොරතුරු අවධානයට නොගත් බව කියැවේ. මීට ඉහතදී මහින්ද රාජපක්ෂ මහතාට තවත් පුද්ගලයකු විසින් මෙවන්ම වංචාවක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණ විය.

මේ වනවිට හෙළිදරව් වන තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා අග්‍රාමාත්‍යවරයාගේ ඒ.ටී.එම්. කාඩ්පත උපයෝගී කර ගනිමින් වරින්වර මෙම මුදල් ලබාගෙන ඇතැයි කියැවේ. මෙම මූල්‍ය වංචාව හෙළිවීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් දැරෑ සියලු තනතුරුවලින් ඉවත්කර ඇති අතර මේ වනවිට විමර්ශන කටයුතු පවතින්නේ පොලිස් භාරයේය. මේ අතර තමා විටින් විට විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් මුදල් ලබාගත් බවත් එය නැවත ගෙවීමට සූදානම් බවත් ඔහු පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනුව දැන ගැනීමට ලැබේ. එකම ගිණුමක මෙලෙස මුදල් තබාගැනීම ආරක්ෂාවට නුසුදුසු බැවින් විටින් විට තමා මුදල් ලබාගත් බව ඔහු අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන් හමුවේ පවසා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.

ගෙවුණු සතියේදී සමගි ජනබලවේගය විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවක්ද දේශපාලන කරළියේ තිරය පිටුපස කතා අතර අසන්නට ලැබුණි. ඒ අනුව පසුගිය සති අන්තයේදී හෝ ඊට ආසන්න දිනක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී බටහිර තානාපතිවරු කිහිපදෙනකු මුණගැසී තිබේ. මෙහිදී දේශපාලන කරුණු සේම විපක්ෂ නායකවරයාගේ පාසල් සඳහා ආධාර කිරීමේ ව්‍යාපෘතියට ආධාර ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බව කියැවේ.

මෙහිදී බටහිර රටවල තානාපතිවරුන් විසින් සජිත් ප්‍රේමදාස මහතා සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ තොරතුරුද විමසා ඇති බවක් වාර්තා වේ. බටහිර රටවල ප්‍රධාන පෙළේ තානාපතිවරුන් පස්දෙනකු පමණ මෙම සාකච්ඡාවට එක්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සම්බන්ධ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය වූයේ සීමාසහිතවය.

මේ අතර පසුගිය ඉරිදා තවත් සුවිශේෂී ජාතික සමුළුවක් පැවැත්වුණි. එය  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන &43 සේනාංකයේ* පළමු ජාතික සමුළුව විය. මේ සඳහා පාඨලී චම්පික රණවක මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනා කොට තිබුණි. දේශපාලන ආරංචි මාර්ග අනුව සජබ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් සේම සජිත් ප්‍රේමදාස මහතාද 43 සේනාංකය සම්බන්ධ එතරම් පැහැදීමකින් පසු නොවේ. මීට ඉහත දී &43 සේනාංකය* සජබ සමඟ ඒකාබද්ධ කරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි. එවන් පසුබිමක මෙය ජාතික සමුළුව පිළිබඳ සජබ ඇතැම් පිරිස් පසුවූයේ නොසතුටිනි. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රාජකාරි කටයුතු හුවා දක්වමින් මෙම සමුළුව මග හැරියේය.

කෙසේ වෙතත් කළ ආරාධනය පිළිගෙන ස්වාධීනව තීන්දුවක් ගත් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පමණක් සජබය වෙනුවෙන් මෙම සමුළුවට සහභාගී වූයේය. මෙම සමුළුව සඳහා දේශපාලන චරිතවල පැමිණීමද සීමාසහිත වූ අතර ඊට සහභාගී වූයේ හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, මනෝ ගනේෂන් සහ හිටපු ඇමැති සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනකු පමණි.

දේශපාලන කරලියේ ගතවූ සති කිහිපය තුළ විශාල අවධානයක් දිනාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවුණු සතියේ තිරය පිටුපස කතා රුසකට ප්‍රස්තුත විය. පසුගිය සතිඅන්තයේ පැවැති මධ්‍යම කාරක සභා රුස්වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධ විවිධ කතා පැතිර ගියෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු කලබල වී සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු සමඟ පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩුවේ ඉහළ පෙළේ තනතුරු දරන හිතවතුන් කිහිප දෙනකු සාකච්ඡා කොට ඇති බවද කියැවිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරමින් සිටින පක්ෂ නායකයන් සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට පසුගිය සතියේදී තීරණයකට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මෙතෙක් ඊට අදාළ දින වෙන්කර නොමැති නමුත් එම සාකච්ඡා කඩිනමින් පැවැත්විය යුතු බව පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විවාහ මංගල්‍යයකදී මුණගැසුණු අවස්ථාවක් පිළිබඳව ද තොරතුරු වාර්තා විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙවුණු සතියේ එම දින පැවති මෙම විවාහ මංගල්‍ය සඳහා සහභාගී වීමට නියමිතව සිටියද වෛද්‍ය උපදෙස් මත අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී නොවුණු බව කියැවිණි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර ඔහු මනාල යුවළගේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් විවාහය සඳහා සාක්ෂියට අත්සන් කිරීමට නියමිතව සිටියේය.

කෙසේ වෙතත් අනෙක් පාර්ශ්වය වෙනුවෙන් විවාහයේ සාක්ෂි සඳහා අත්සන් කිරීමට සූදානමින් සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ අනුව මෙම විවාහ මංගල්‍යයේ දී නාමල් - මෛත්‍රී හමුවක් සිදුවිය. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා මෙම හමුව පිළිබඳ කල් ඇතිව දැන නොසිටි බව දේශපාලන ආරංචි මාර්ග අනුව කියැවිණි. එහෙත් විවාහයේදී හමුවූ නාමල් මෛත්‍රී ඉතා සුහදව කතාබහ කොට සාක්ෂියට අත්සන් තබා තිබුණි. ඉහත සතිවලදී ශ්‍රීලනිපය සම්බන්ධව දැඩි විවේචන ඉදිරිපත් කළ නාමල් රාජපක්ෂ මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීම දේශපාලන තිරය පිටුපස සංවාදයට ලක්විය.

එක්සත් ජාතික පක්ෂය ද වසරේ ක්‍රියාකාරී දේශපාලනය වේගවත් කිරීමට උත්සාහ දරන බවක් ගෙවුණු සතියේ දී පෙනී ගියේය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පක්ෂය වටා තරුණ කොටස් එකතු කර ගැනීමේ උත්සාහයක ඔවුහු නිරත වූහ. පක්ෂය හැර ගිය පිරිස් නැවතත් පක්ෂය වටා එකතු කර ගැනීමත් තරුණ කොටස් වෙත ආමන්ත්‍රණය කිරීමත් අරමුණු කොට ගනිමින් සමාලෝචන රුස්වීම් පෙළක් සංවිධානය විය.

මේ අතර ගාල්ල නගරයේ දී පසුගිය අඟහරුවාදා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ද එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. පාගමනක් ද සහිතව සංවිධානය වූ මෙම උද්ඝෝෂණය ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්විණි. මෙම අවස්ථාවට එජාප ප්‍රබලයන් රුසක් එක්ව සිටීම විශේෂිත විය. ඒ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප සභාපති වජිර අබේවර්ධන, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර, ලක්ෂ්මන් විජේමාන්න ඇතුළු පිරිසක් ඊට එක්වූහ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන කොළඹ නගරයේ පුරපති රෝසි සේනානායක මහත්මිය සම්බන්ධව එජාපයේ යම් පිරිසක් අසතුටින් පසුවන බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි. ඇයව පක්ෂයෙන් නෙරපීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව කියැවිණි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය රෝසි සේනානායක මහත්මිය සම්බන්ධව නිසි තීන්දුවක් ගෙන නොමැති බවද සතියේ තිරය පිටුපස දේශපාලන කතා අතර සාකච්ඡාවට ලක්විය.

මෙම වසරේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වනු ඇතැයි පැවසෙන ජිනීවා යෝජනාවක් සම්බන්ධව ද දේශපාලන කරළියේ අවධානය යොමු විය. ආණ්ඩුව ද මේ සම්බන්ධව අවධානය යොමුකොට ඇති බව පසුගිය සතියේ පැවති සාකච්ඡාවක් හරහා පැහැදිලි විය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය අඟහරුවාදා  නව වසරේ ප්‍රථම විදෙස්  රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා තිබුණි. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ ප්‍රගතිය පිළිබඳ තොරතුරු පෙබරවාරි මස අවසන් සතියේ දී ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම හුවමාරු කර ගැනීම මෙහි අරමුණ විය. මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 43කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරමින් පවසා සිටියේය.

පසුගිය සතියේ දී දින 8ක පාකිස්ථාන නිල සංචාරයකට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධ වී සිටියේය. පාකිස්ථානය විදේශීය රාජ්‍යයක් සමඟ  එළැඹුණු පළමු නිදහස් වෙළෙඳ ගිවිසුම වන ශ්‍රී ලංකා - පාකිස්ථාන නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත. එම ගිවිසුම මේ වන විට අකර්මණ්‍ය වී ඇති බැවින් එය නැවත සමාලෝචනය කිරීමට දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන් තීරණය කර තිබේ.

මේ අතර ඇමැති බන්දුල ගුණවර්ධන විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකොට ඇති බව දැනගන්නට ලැබේ. අප රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විශේෂ ආර්ථික පැකේජයක් ලබා දෙන ලෙස ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. ඔහු ඊට එකඟතාවය පළ කර තිබේ. මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ බෞද්ධ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට ඇමැති බන්දුලගේ සහයෝගය බලාපොරොත්තු වන බව ද පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය සති කිහිපය තුළදී විටින් විට ප්‍රකාශ සිදු කරමින් දේශපාලන කරළියේ නැවත අවධානය දිනාගෙන සිටින හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද ගෙවුණු සතියේ විශේෂිත ප්‍රකාශ කිහිපයක්ම සිදු කොට තිබුණි. ජනාධිපතිවරයා රටට පොරොන්දු වූ ආකාරයට ජනතාව හා පාර්ලිමේන්තුව මගින් සකස් වන ව්‍යවස්ථාවක් එළිදැක්වීම තවත් කල් නොදමන ලෙස ජයසූරිය මහතා  ඉල්ලා සිටියේය. “යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යන මැයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වනු ලැබූ සමුළුවක දී ඔහු මේ බව පැවසීය. කරු ජයසූරිය මහතා නායකත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ තවත් සිවිල් සංවිධාන එක්ව මෙම සමුළුව පවත්වා තිබුණි. කරු ජයසූරිය මහතා මේ දිනවල දී මෙවන් වැඩසටහන්වලට සහභාගී වෙමින් රට පුරා ගමන් කරමින් සිටියි. ඒ පිළිබඳව ද දේශපාලන කරලියේ ඉහළ අවධානයක් යොමුව තිබේ.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කිරීමත් සමඟ රතන හිමියන්ගේ දේශපාලනය පැවතියේ අර්බුදකාරී තත්ත්වයකය. එම අර්බුදය යම් කෙළවරකට පැමිණ ඇති බවක් ගෙවුණු සතියේ අසන්නට ලැබුණි. පසුගිය සතියේ වාර්තා වූ පරිදි යළිත් මැතිවරණවලට ඉදිරිපත් වීමට තමන් තුළ අදහසක් නැතැයි අතුරලියේ රතන හිමියන් පවසා ඇත. එමෙන්ම  බණ භාවනා කොට පැවිදි දිවිය ඉදිරියට ගෙන යාම සිතන බවද උන්වහන්සේ පවසා තිබේ. දේශපාලනය නොකළ ද අලුත් ජනතා ව්‍යාපාරයක් ඇරඹීමට රතන හිමියන් සූදානම්ව සිටින බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු අනුව රතන හිමියන් ඉදිරියේ දී නව දේශපාලන මුහුණුවරකින් කරළියට අවතීරණ වනු ඇත.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් එක්ව ආණ්ඩුවට නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින  බවක් පසුගිය සතියේ දේශපාලන කරළියේ අසන්නට ලැබුණි. රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩගැනීම සඳහා ඔවුන් මෙම යෝජනා ඉදිරිපත් කරන බව කියැවේ. එම අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ආසන්න දිනක දී ලබා දීමට නියමිතය. පසුව එම යෝජනා ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කෙරෙනු ඇත.

 චමිදු නිසල්