2022 ජනවාරි 15 වන සෙනසුරාදා

නාමල්ගෙන් ශ්‍රීලනිපයට සැර පිළිතුරක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 335

  • උතුරේ දේශපාලන පක්ෂ 7කින් ඉන්දියාවට ඒකාබද්ධ ලිපියක්
  • අගමැති මහින්දට පකිස්ථාන සිසුන් ගෙන් ප්‍රසාදය
  • පැයෙන් රිවස් වූ ගෑස් පුටු මාරුව
  • සජිත් උපන් දිනය දා නල්ලූර් කෝවිලේ
  • ආචාර්ය පී.බී 44 වසරක සේවා කාලය අවසන් කරයි
  • ජ.වි.පෙට ජනතාව රැස් කරන්න අලුත් ක්‍රමයක්
  • චන්ද්‍රිකා කෘතිය ගැන දෙසුම හිටපු අගවිනිසුරුවරියගෙන්

 

 

 

ආණ්ඩුවේ අභියෝග, පක්ෂ අර්බුද, චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා, විපක්ෂ නායකයාගේ උතුරු සංචාර ඇතුළු පුවත් රැසක් මැවූ සතියක් ගෙවී ගියේය. නව දේශපාලන අර්බුද රැසක් පිළිබඳ ඉඟි ලැබෙමින් තිබුණි. ආණ්ඩුවේ සිදුවීමට නියමිත පරිවර්තන සම්බන්ධව කාගේත් අවධානය යොමුවිය. එහෙත් සති අන්තය වනතුරුත් ඒ පිළිබඳ වූයේ තරමක නිහැඬියාවකි. නිහැඬියාව හේතුවෙන් තැති ගත්තෝද වූහ.

චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා නිල සංචාරයක් සඳහා පසුගිය සතියේ දිවයිනට පැමිණියේය. අමාත්‍යවරයා සමඟ විසි දෙනකුට ආසන්න නියෝජිත පිරිසක්ද පැමිණ සිටියෝය. නව වසරේ ඔහු සිදුකරන පළමු විදෙස් සංචාරය වන මෙහිදී ඔහු රටවල් කිහිපයකට ගමන් කිරීමෙන් පසු ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි. චීන විදෙස් ඇමැතිවරයාගේ සංචාරය හේතුවෙන් ලෝක බලවතුන්ද ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් පසුවූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හමුවූ චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සම්බන්ධ සාකච්ඡාවට කොට තිබුණි. මෙහිදී චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සම්බන්ධ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කලේය. ඒ සම්බන්ධව සලකා බැලීමට විදෙස් ඇමැතිවරයා ජනාධිපතිවරයාට පොරොන්දු වූ බවද කියැවුණි.

මේ අතර චීන විදෙස් ඇමැතිවරයා  අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු විට රාජපක්ෂ මහතා ඔහුගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය. කොවිඩ් වසංගතය සමඟ මෙරට පැමිණ නැවත චීනය බලා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට සංචරණ සීමා හේතුවෙන් චීනයට යෑමට නොහැකිව සිටින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා චීන විදෙස් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටලුව දකුණු ආසියාවේ බොහෝ රටවල සිසුන්ට බලපා ඇති නමුත් එම රටවල් ඒ පිළිබඳ සංවේදී නොවුණි. පාකිස්තානයේ විශාල සිසුන් සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටියෙන් ඔවුන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් ට්විටර් සමාජ ජාලය හරහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පිළිබඳ විවේචනාත්ම අදහස් දැක්වීම් සිදුකර තිබුණි. එසේම මහින්ද රාජපක්ෂ මහතා ඇගයුමටද ලක් කළහ.

පසුගිය සති කිහිපයේ සේම ගෙවුණු සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කරළියේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතා සැර කතා කිහිපයක් කළේය. &ශ්‍රීලනිපය නැතිව දිනන්න බෑ කියපු අය ඡන්දෙන් පසු පළමු සතියේම සන්ධාන ගිවිසුම කඩකළා. ගිවිසුමේ කිසිම කාරණයක් අද වෙනකම් ඉටුකරලා නෑ. කරපිංචා වගේ අරගෙන විසි කෙරුවා. මේ ආදී ප්‍රකාශ ඒ අතර විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු රැසක් සැදී පැහැදී සිටියහ. ඔවුන් පොදුජන පෙරමුණ නායකයන්ටද කියා සිටියේ ශ්‍රීලනිපය සම්බන්ධව කඩිනම් පියවරක් ගතයුතු බවයි. මේ අතර පළමු වතාවට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රීලනිප අර්බුදය පිළිබඳ කතාකිරීමට ඉදිරිපත් විය. තැන් තැන්වල ආණ්ඩුව විවේචනය නොකර අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කීවේය.

ඕනෑම මැතිවරණයකට පොදුජන පෙරමුණ සූදානම්. මාධ්‍යයේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඉතින් මම හිතන්නේ තැන තැන කියවන්නේ නැතිව පක්ෂනායක රැස්වීමේ කියලා ගියොත් හොඳයි.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ප්‍රකාශ හේතුවෙන් බොහෝ සෙයින් කෝප වී සිටි බවක් කියැවුණි. ඔහු සිය හිතවත් මැති ඇමතිවරුන්හට පවසා තිබුණේ මෙය තවදුරටත් ඉවසා දරා සිටිය යුතු තත්ත්වයක් නොවන බවකි. ඒ සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප ක්‍රියාකාරීත්වය විවේනය කිරීමට තවත් මැති ඇමතිවරු ඉදිරිපත් වූහ.

කෙසේ නමුත් ආණ්ඩුවේ දේශපාලන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලනිප අර්බුද සම්බන්ධ තරමක් නිවුණු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පොදුජන පෙරමුණ පක්ෂ අභ්‍යන්තරයෙන් ශ්‍රීලනිපය සම්බන්ධව මතුවූ විරෝධතාව හමුවේ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අපි ඒ අයට කියමු විරෝධතාවක් තියෙනවා කියලා. ඒත් අපි එක අවස්ථාවක් දීලා බලමු... යනුවෙනි.

මේ සියල්ල අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැරයෑමට සැලසුම් කරමින් සිටින බවට කටකතාවක්ද දේශපාලන කරළියේ පැතිර ගියේය. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායකත්වය වෙනුවෙන් සැලසුම් හදන බවක්ද ඇතැම්හු කීහ. මේ අතරතුර බදාදා පැවැත්වීමට නියමිත පැවති පක්ෂනායක රැස්වීමට සහභාගී විය නොහැකි බවද ශ්‍රීලනිප ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත දන්වා තිබුණි. ඊට හේතුව කල් ඇතිව අනුරාධපුරයේ යොදාගත් පක්ෂයේ ආගමික කටයුත්තක් බව ඔවුහු කීහ.
සියල්ල අතරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත්තේය. ඔහු සමඟ එම ගමනට පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහ නව සංවිධායකයෝ රැසක් එක්වූහ. මෙම ගමනේදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරත්න හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. එම අවස්ථාවේ පල්ලේගම හිමියන් විසින් රචනා කළ ගීතයක්ද හිටපු ජනාධිපතිවරයාට සවන්දීමට කටයුතු සැලසීය. අනතුරු පිරිස සපිරිවරින් ගොස් මහා සෑය වැඳපුදා ගත්හ.

මේ අතර උතුරේ සංචාරයක නිරත වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව සමඟ විවිධ වැඩසටහන් රැසකට සහභාගී වෙමින් සිටියේය. මෙම සංචාරය අතරේම ප්‍රේමදාස මහතාගේ 55 වැනි ජන්ම දිනය යෙදී තිබීම සුවිශේෂී කරුණක් විය. ඒ අනුව සිය 55 වැනි ජන්ම දිනය නිමිත්තෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නල්ලූර් කෝවිල වෙත ගොස් ආශීර්වාද ලබා ගත්තේය. දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලබුණු පරිදි විශාල උපන් දින සාදයක් මෙදින නොපැවතුණි. විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන අය එකතුව සජිත් ප්‍රේමදාස මහතා සමඟ උපන්දින කේක් එකක් කපන ආකාරය දැක්වෙන ඡායාරෑප පෙළක් සමාජ මාධ්‍යයේ සංචරණය විය.

සිය උපන් දිනය දා යාපනය රදගුරු නිවස වෙත ගිය විපක්ෂ නායකවරයා යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාසම් රදගුරුතුමන්ද හමුවී ආශිර්වාද ලබා ගත්තේය. මෙදින සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරුන් නල්ලූර් යොවුන් ශාලාවේ සංවිධාන කළ හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණි. එහිදී &උතුම් නල්ලූර් පුදබිමේ සිට මම ප්‍රතිඥාවක් දෙනවා. නල්ලූර් ප්‍රතිඥාව හැටියට. අන්තවාදය රටින් තුරන් කරන වැඩපිළිවෙළ අපේ රජයක් තුළ ක්‍රියාත්මක කරනවා.* යනුවෙන් පවසමින් උතුරේ ජනතාවට ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.

මේ අතර මනිපායි ප්‍රදේශයේ සැහැල්ලු පන්දු තරගයකට සහභාගී වූ ප්‍රේමදාස මහතා තරුණයන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාකර තිබුණි. තරුණයන්ගේ පන්දුවට ඔහු වැරෙන් පහර දුන්නේය. බොහෝ පිරිසක් ප්‍රේමදාස මහතාට පන්දු යොමු කිරීමට ඉදිරිපත් වී සිටියහ. උතුරේ තරුණයන් ඔහුගෙන් සමරු සටහන් ලබාගන්නා ආකාරය මාධ්‍යයේ වාර්තා කොට තිබුණි.

උතුරෙන් තවත් දේශපාලන ආරංචි පසුගිය සතියේදී ගලා ආවේය. ඉන්දු-ලංකා ගිවිසුම පූර්ණ බලතල සහිතව ක්‍රියාත්මක කිරීමට ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඉන්දීය අගමැතිවරයා වෙත යැවෙන ලිපියට උතුරේ දේශපාලන පක්‍ෂ හතක් අත්සන් තබා තිබුණි. ලංකාවේ දෙමළ ජනයා මුහුණදෙන ගැටලු පිළිබඳව දෙමළ බස කතා කරන සියලු පාර්ශ්ව එක්ව පොදු ලියවිල්ලක් සකස් කොට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමුකරන ලෙස ඉන්දියාවෙන්ම සිදුකළ ඉල්ලීමක් අනුව මෙම ලිපිය සකස් විය.

පසුගිය සමයේ දමිළ බස කතාකරන පක්ෂ ඒකාබද්ධ වී මෙම ලිපිය සකස් කිරීම සම්බන්ධ විවිධ පුවත් පළවිය. කෙසේ වෙතත් නව ආරංචි මාර්ග අනුව කියවෙන්නේ දෙමළ, මුස්ලිම් හා කඳුකර දෙමළ දේශපාලන පක්‍ෂ නායකයන් එක්ව සාකච්ජා වට කිහිපයකින් අනතුරුව හවුල් ලියවිල්ලක් සකස් කරනු ලැබුවද අවසානයේ ඊට අත්සන් තබා ඇත්තේ උතුර නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්‍ෂ හතක් බවයි. මෙම ලිපියට පෙඩරල් හා ස්වයං නිර්ණය අයිතිය ගැන යෝජනා ඇතුළත් කිරීමත් සමඟ මුස්ලිම් හා කඳුකරයේ දෙමළ පක්‍ෂ ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ.

ගෙවුණු සතියේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මාරු කිරීම සහ මාරුව රිවස් කිරීමද විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයකු පත්කරන ලෙස දැනුම් දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පළමුව නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මුදල් අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කළ බවට ප්‍රධාන මාධ්‍ය ආයතන පවා වාර්තා කරන්නට වූයේ මේ අනුවය. නව සභාපති රේණුක පෙරේරා පත් කිරීමට කටයුතු කර ඇති බවට එම වාර්තා තුළ දක්වා තිබුණි. කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ජනවාරි 13දා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වන්නේ මේ අතරතුරයි. එම නිරීක්ෂණ චාරිකාවේදී වර්තමාන තත්ත්වය සහ අනාගත සැලසුම් පිළිබඳ සභාපතිවරයා සහ ලිට්‍රෝ සේවකයන් ජනපතිට පවසා ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්‍රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර් යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදුකරන බවත් සභාපති තෙෂාර ජයසිංහ මහතා ජනපති සමඟ පවසා තිබේ. එහි සිටි සේවකයන්ද සභාපතිවරයාගේ සේවය අගය කර තිබිණි.

මේ අතර කාලයේ රේණුක පෙරේරා මහතා නව පත්වීම භාර ගැනීමට සූදානමින් පසුවූ බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්ද නව පත් කිරීම පිළිබඳ විමසා ඇතැයි කියැවේ. එහෙත් ජනාධිපතිගේ නිරීක්ෂණ චාරිකාව අවසන් වෙත්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් රක්ෂණ සංස්ථාවට තවත් ලිපියක් ලැබී තිබේ. ආරංචි මාර්ග අනුව රේණුක පෙරේරා ලිට්‍රෝ සභාපති ලෙස පත්කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටවූ බව එහි සඳහන්ව තිබේ. ඒ අනුව ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා තවදුරටත් කටයුතු කරනු ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ඉදිරි සතියේ 18 වැනිදා ආරම්භ වීමට නියමිත වූයෙන් එදිනට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වෙමින් සිටියේය. මේ අතර ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධ තෙදින කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලා සිටියේය. පළමුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම විවාදය ඉල්ලා තිබුණි. පසුව ලෂ්මන් කිරිඇල්ල මහතා විවාදය පිළිබඳ යෝජනාව රැගෙන ආවේය. ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබාදිය යුතු යැයි පවසා තිබුණෙන් පසුගිය 11 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී රාජාසන කතාව සම්බන්ධ දෙදින විවාදයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය.

සියල්ල එලෙස සිදුවෙමින් පැවති අතරේ කවුරුත් උනන්දුවෙන් බලා සිටි කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල් යමින් තිබුණි. සංශෝධනය කල්යාමත් ඒ පිළිබඳ වූ විවිධ ආරංචිත් හේතුවෙන් දේශපාලන කටකතා රැසක් නිර්මාණය විය. ඇතැමුන් සංශෝධනය කෙරෙන ඇමැතිකම් සහ නව කැබිනට් ඇමැතිකම් ලැබීම් පිළිබඳ විවිධ කතා පතුරවා හැරියේය. තවත් පිරිසක් කියා සිටියේ කෝණ මාසයක් නැකැත් නොමැති නිසා කැබිනට් සංශෝධනය කල් යන බවකි. එහෙත් මෙම ප්‍රචාර කිසිවක සත්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි විය. නව ජනාධිපති ලේකම්වරයාගේ පත්කිරීමෙන් පසු ඉදිරි දිනක සුළු කැබිනට් සංශෝධනයක් සිදුවෙතැයි දැන් දැන් ලැබෙන දේශපාලන ආරංචි අනුව කියවේ.

ජනවාරි 19 වැනි බදාදා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සුභ මොහොතින් ජනාධිපති ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමට තීරණය කොට තිබුණි. එදින උත්සව සභාවක් නොපැවත්වීමටත් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ගාමිණී සෙනරත් මහතා වැඩ භාර ගැනීමට නියමිත විය. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වසර 44ක සේවා කාලය නිමකර ධුරයෙන් විශ්‍රාම ගැනීම නිමිති කොටගෙන තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. කෙසේ නමුත් කල් ඇතිව යොදාගත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊට සහභාගී වීමට නොහැකිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ජන බලවේගය සිය දේශපාලන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් ග්‍රාමිය මට්ටමින් රැස්වීමේ සංවිධානය කිරීම ගෙවුණු සතිය වනවිට කැපී පෙනෙන සිදුවීමක් විය. පැරණි ජවිපෙ සාමාජිකයන් සහ ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින පාර්ශ්ව එක්කර ගනිමින් ඔවුන් මෙම රැස්වීම සංවිධානය කිරීමට කටයුතු කොට තිබුණි. සාම්ප්‍රදායික ජවිපෙ සාමාජිකයන් නොව නව සාමාජිකයකුගේ නිවසක අදාළ රැස්වීම සංවිධානය කිරීමටත් ආණ්ඩු විරෝධී පිරිස් සොයා ගොස් ඔවුන් සමඟ කතා බහ කොට රැස්වීම් සඳහා කැඳවා ගැනීමත් මෙහිදී සිදුවිය. ඒ සඳහා සැලසුම් සහ උපදෙස් නායකත්වය විසින් ඔවුන් වෙත ලබා දී ඇතැයිද ජවිපෙ ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබුණි.

මේ අතර ජනමත විචාරණ භීතිකාවක්ද දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි. කොවිඩ් හේතුකොටගෙන ගෙවී ගිය වසර දෙකක කාලය යළි ලබාගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට එක්තරා තරුණයකු ‌තමන්ට යෝජනා කළ බවට ජනාධිපති කළ ප්‍රකාශයක් මෙම භීතිකාවට හේතුවිය. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සුලු පක්ෂ නායකයන් මුණගැසී ජනමත විචාරණ කතාව පිළිබඳ සහ මැතිවරණ කල් දැමීම පිළිබඳ සාකච්ඡා කිරීමටද සැලසුම් කොට ඇති බවට රාවයක්ද දේශපාලන කරළියේ පැතිර ගියේය.

කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් එහි තීරණ විවේචනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් පසුගිය දෙසතිය පුරා තරමක නිහඬ ප්‍රතිපදාවක් අනුගමනය කරමින් සිටින බව පෙනී ගියේය. ආණ්ඩුව විවේචනය කිරීමේ චෝදනාව මත සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඔහු දැරෑ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ජනපතිවරයා විසින් ඉවත් කිරීම සහ කැබිනට් සංශෝධනයක් පිළිබඳ පැතිර යමින් තිබූ කතාද ඊට හේතුවී ඇති බව කියැවුණි. එසේම දෙසතියක පෙර ජනපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී එය කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩකළ අය ඇමැති ධුරවලින් ඉවත් වීම වඩාත් නිවැරදි බවට සිදුකළ ප්‍රකාශයද ඒ පිටුපස ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් අමාත්‍යංශ කිහිපයක කාර්යභාරයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් ගැසට් නිවේදනය හරහා විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයට නව ආයතනයක් ලැබීම සුවිශේෂී කරුණක් විය. ඒ අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය වෙත එකතු කිරීම සිදුවූයේය. විමල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබුණේ ආයතන 15ක් පමණයි. නව ගැසට්ටුවත් සමඟ ආයතන සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගියේය.

ගෙවුණු සතියේ සිකුරාදා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිකුරාදා දිනයේදී සුවිශේෂී කටයුත්තට අත ගැසුවේය. ඇගේ ජීවිත කතාව අලලා ලියැවුණු චන්ද්‍රිකා නම් කෘතිය මෙදින එළිදැක්වීම සිදුවිය. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කොට තිබුණි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණි.

මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් රචිත කෘතියක් පිළිබඳවද ගෙවුණු සතියේ සමාජ මාධ්‍යයේ සාකච්ඡාවක් ඇතිවිය. සිංහල සිනමාවේ සිහින කුමාරයා වූ සිනමා නළු විජය කුමාරණතුංග මහතා සම්බන්ධයෙන් ඇය මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ. ඉංග්‍රීසි බසිමින් රචිත මෙම කෘතිය හරහා විජය සම්බන්ධයෙන් කිසිවකුත් නොදත් රහස් රැසක් හිටපු ජනාධිපතිනිය හෙළිදරව් කිරීමට කටයුතු කර ඇති බව සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිශීලකයන් සඳහන් කරයි.

මේ අතරම ජනාධිපතිවරයා තවත් සුවිශේෂී පත්කිරීමක් සිදුකළේය. ඒ අනුව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කරනු ලැබීය. ඇය පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් සිදුකරනු ලැබුවාය. මාස්ටර් සර්, රන් ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරියකි. මේ වනවිට ඇය හැත්තෑවන වියේ පසුවෙයි.

 චමිදු නිසල්