2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ඇමති මාරුවට බාලගිරිදෝෂය

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 376

  • රට ගොඩනගන අදහසේ ඉන්න කණ්ඩායම්වලට ජවිපෙන් කොළ එළියක්
  • මෛත්‍රීෙග් ඉල්ලීම උසාවිය ඉවත දමයි
  • අපිව තිබ්බේ බංකුවක් උඩ
  • සජිත් උතුරේ සංචාරයකට සූදානම් වෙයි
  • කැබිනට්ටුවේදී සුසිල්ගේ රෙදි ගැලවූ තුන්දෙනා
  • ශ්‍රීලනිපයේ කතාවලට පොහොට්ටුවෙන් දැඩි විරෝධය

 

 

වර්ෂාවසානයේ ලද නිවාඩු අවසානයේ නව වසර වෙනුවෙන් කරළියේ රැඟුම් පෑමට දේශපාලනඥයෝ සැදී පැහැදී සිටියෝය. වසර ආරම්භයේ මෙරට දේශපාලනය අනාගතය පිළිබඳ විෂයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවිය. එම සිදුවීම් හරහා  උදාවන වසර පිළිබඳ අනාවැකි කිහිපයක් ද කියවුණි. ඒ අතරේ ඉදිරි සතියේ සිදුවීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හේතුවෙන් ද තිරය පිටුපස කලබල බොහෝ විය.

වසර ආරම්භයේදීම කලක සිට පිපිරීමට නියමිතව තිබුණු දේශපාලන බෝම්බයක් පුපුරා ගියේය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් නෙරපීම නම් වූ එම සිදුවීම සතියේ ප්‍රමුඛ දේශපාලන පුවත විය. මාස හතරක පහක සිට  සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරමින් සිටියේය. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වුවත් ඔහුට රාජ්‍ය ඇමැති ධූරයක් පවා ලැබුණේ ප්‍රමාද වීය. එම නිසාම පෞද්ගලිකව ඔහු දේශපාලන වශයෙන් එතරම් සතුටින් සිටි බවක් නොපෙනුණි. කෙසේ වෙතත් ඔහුගේ විවේචන ආරම්භ වූයේ ආණ්ඩුවේ ඇතැම් තීරණ සහ ක්‍රියා කලාපයන් පිළිබඳවය. මීට මාස කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවේ දී ඔහු නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කළේය. එය වර්තමාන සිදුවීම් පෙළේ සැබෑ මූලාරම්භය විය.

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම වූයේ දෙල්කඳ පොළේ දී ඔහු සිදු කළ ප්‍රකාශයයි. ජනවාරි දෙවැනිදා උදෑසන දෙල්කඳ පොළට ගිය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දුන්නේය. අදාළ සිදුවීම පූර්ව සැලසුමකින් තොරව සිදුවූවක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබුණි. රාජ්‍ය අමාත්‍යවරයා එළවළු මිලදී ගැනීමට පැමිණි විට බඩු මිල පිළිබඳ සොයා බැලීමට පොළට පැමිණ සිටි මාධ්‍යවේදියා “ඇමැතිතුමා බඩු ගන්න ආවාද, බඩු මිලේ අඩුවක් නෑනෙ" යැයි ප්‍රශ්න කිරීමත් සමඟ මෙම අදළ සංවාදය ආරම්භ විය.

ඒ අනුව "බඩු මිල අඩු කරන්න වෙළෙඳ ඇමැතිලා ආහාර ඇමැතිලා කෘෂිකර්ම ඇමැතිලා දැනගන්න ඕනෑ." යනුවෙන් පැවසූ ප්‍රේමජයන්ත මහතා මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙවන් පැහැදිලි කිරීමක් සිදු කළේය. "පොහොර නැතිවුණාම කොහොමද ගොවීන් ඵලදාව ගන්නේ. කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා තමා රටම අමාරුවේ දාලා තියෙන්නේ. මේකට වගකින්න ඕනෑ තීන්දු ගත්ත අය" යනුවෙන් ඔහු පැවසීය. ඩොලර් ගැටලුව පිළිබඳ ඇසිය යුත්තේ ද ඩොලර් නැති කළ අයගෙන් බව ද හෙතෙම කීය. කෘෂිකර්ම ඇමැතිවරයා ද ෆේල් බව සඳහන් කළ ඔහු "අපේ ආණ්ඩුව වුණාට අපි තීන්දු ගන්න තැන්වල නෑ. අපිව බංකුවක් උඩ තියලා තියෙන්නේ. අපි රිසර්ව් ඉන්නේ. හරි තීන්දු තීරණ ගන්න තිබුණා. ඒත් දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන කට්ටියකට තමා තීන්දු ගන්න වෙන්නේ" යනුවෙන් පවසා ලොතරුයියක් ද මිලදී ගත්තේය.

මෙම සිදුවීම මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඇමැතිවරුන් කිහිප දෙනෙක් කෝපයට පත් වූහ. එම කෝපය පුරා ගියේ වසරේ පළමු කැබිනට් හමුවේදීය. සති දෙකකට පසු සඳුදා සවස කැබිනට්ටු රුස්විය. කැබිනට්ටුවේ ප්‍රමුඛ ලෙස මාතෘකා වූයේ සහන පැකේජය පිළිබඳය. සහන පැකේජය පිළිබඳ ඇමැතිවරු ප්‍රසාදයකින් පසුවූහ. විවිධ කරුණු රුසක් සාකච්ඡා වන අතරේ ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රේමජයන්ත ප්‍රකාශය සභාව හමුවේ තබමින් ඇමැතිවරුන් මෙවන් ප්‍රකාශ කිරීම පිළිබඳ චෝදනා මුඛයෙන් කතා කරන්නට විය. දේශපාලන ආරංචි මාර්ග අනුව ජෝන්ස්ටන්ගේ කතාවට ඌණපූර්ණයක් එක්කරමින් තමාට ද සුසිල් ප්‍රේමජයන්ත දොස් කී බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට්ටුව හමුවේ පවසා ඇත. එහිදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද මෙම ප්‍රකාශය විවේචනය කරමින් ඇමැතිවරුන් ෆේල් යනුවෙන් පැවසීම වරදක් බවත් ඇමැතිවරු උපරිමයෙන් කිරීමට උත්සාහ දරන බවත් කීවේය.

මේ සියල්ල අසා සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අවසානයේ අදාළ ප්‍රකාශය පිළිබඳ අප්‍රසාදයෙන් පසුවූ බව කියැවේ. දේශපාලන ආරංචි අනුව මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී තීරණය ඇත්තේ මෙම අවස්ථාවේදීය. එහෙත් ගනු ලබන තීරණය පිළිබඳ ජනාධිපතිවරයා කැබිනට්ටුවේදී කිසිවක් පවසා නොමැත. මෙදින ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද නිවාඩු ලබා සිටියෙන් පසු දා ජනපති සිය තීරණය ක්‍රියාත්මක කළේය. ඒ අනුව අඟහරුවාදා උදෑසන සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සකසන ලෙස හෙතෙම නියෝග කළේය. අවසානයේ එදිනම සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපිය ලැබීමට සැලැස්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබුණි.
එම සිදුවීම එසේ සිදුවන අතරේ තවත් සිදුවීම් රුසක් දේශපාලන කරළියේ සිදුවෙමින් තිබුණි. සමගි ජන බලවේගය නව වසරේ නව සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටියේය. ඒ සම්බන්ධයෙන් කතිකා කර‍ ගැනීමට සහ දැනුවත් කිරීමට ජනවාරි පළමු සතියේ සාද සහ හමුවීම් කිහිපයක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කොට තිබුණි. එහෙත් හදිසියේ එම සියලු සාද අත්හිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනවාරි 3 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන් සමඟ පැවැත්වීමට නියමිත සාදයක් ද අවලංගු කොට තිබුණි.

දේශපාලන ආරංචි අනුව සාද නොපැවැත්වීමේ අදහස විපක්ෂ නායකවරයාට පහළව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක් අතරතුරය. ගොවීන් මුහුණදෙන ප්‍රශ්න සහ ආහාර අර්බුද හමුවේ තමන්ට කිරිබත් කෑමට නොහැකි බව ඔහු සිය ලේකම්වරයකු අමතා පවසා ඇතැයි කියැවේ. මේ සමඟම මාධ්‍යවේදීන් සමඟ සජිත් ප්‍රේමදාස මහතා පැවැත්වීමට නියමිතව තිබුණු භෝජන සංග්‍රහයක් ද අහෝසි වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. සාද නොපැවැත්වුණ ද උද්ඝෝෂණ ව්‍යාපාර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සජබ නායකත්වය තීරණය කොට තිබුණි. එහි වූ සුවිශේෂී කරුණ නම් උද්ඝෝෂණ ව්‍යාපාර රහසේ සංවිධානය කිරීමට ඔවුන් තීරණය කොට තිබීමයි. ඒ අනුව පසුගිය සතියේ උද්ඝෝෂණ පැවැත්වුණු ස්ථාන කල් ඇතිව හෙළිදරව් කිරීම සජබ සංවිධායකයන් ප්‍රතික්ෂේප කර තිබූ බවට මාධ්‍ය වාර්තා පවා පළ විය.

මේ අතර සජබ නව සැලසුමක් පිළිබඳව ද ගෙවුණු සතියේ හෙළිදරව් විය. එය උතුරේ දේශපාලන ආකර්ශනය දිනාගැනීමේ සැලසුමකි. 2021 වසර අවසානයේ සජබ ඉහළ පෙළේ නායකත්වය විසින් මෙම සැලසුම සකස් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව මෙම සතිය අවසානයේ  සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දින හයක සංචාරයක් සදහා උතුරු පළාතට යෑමට  නියමිතය. බොහෝවිට මෙම සිකුරාදා දින හෝ සෙනසුරාදා දින සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම සංචාරයේ දී පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කියැවේ. වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශවල අදාළ කටයුතු සංවිධානය කර තිබේ.

මේ අතර ජාතික ජන බලවේගය ද නව වසරේ සිය දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටියේය. බදාදා දිනයේ දී මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමට ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මහනුවර බලා පිටත්ව ගොස් තිබුණි. මෙම ගමන සමාජ මාධ්‍යයේ ඉහළ අවධානයක් දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා නාහිමි දෙනමට හිස නමා වඳින ඡායාරෑපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර ඊට පාක්ෂිකයන් සහ වෙනත් කණ්ඩායම් විවිධ අර්ථ නිරෑපණ ලබා දෙනු දක්නට ලැබුණි. මෙම  ගමන අතරතුරදී ශ්‍රීලනිප සහ සජබ සමඟ ආණ්ඩු සෑදීමට ජවිපය සූදානම් දැයි අනුර කුමාර දිසානායක මහතාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළේය.
“ප්‍රධාන වශයෙන් අපි ඒ පක්ෂ සමඟ එකඟතාවයකට යෑමට කල්පනා කරන්නේ නෑ. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජන බලවේගයේ විතරක් නෙමෙයි අනෙක් පක්ෂවලත් අවංකභාවය තිබෙන, කැපකිරීම් තිබෙන, මේ රට ගොඩනැගීමට යම් අරමුණක් තියෙන කණ්ඩායම් ඉන්නවා. ඒ පුද්ගලයන් ඒ කණ්ඩායම් එක්ක අපි එකඟතාවයකින් වැඩ කටයුතු කරන්න සූදානම්. මොකද අපි ඔක්කෝටම තියෙන්නේ රට ගොඩනැගීමේ අරමුණ නම් ඒ වෙනුවෙන් එකතු කරගත හැකි කණ්ඩායම් එක්ක එකතුවීමට සූදානම්. නමුත් පක්ෂ ලෙස එකතුවීම ඵලක් නැහැ කියන එක අපේ ස්ථාවරයයි."

මේ අතර අනුර කුමාර දිසානායක විසින් සිදු කළ තවත් ප්‍රකාශයක් දේශපාලන කරළියේ කැළඹීමක් ඇති කළේය. ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව සූදානම් නම් තමන් ද සූදානම් බව ඔහු පවසා තිබුණි. මෙම ප්‍රකාශයට ද විවිධ අර්ථ නිරෑපණ ලැබුණු අතර මේ වසරේ ආණ්ඩුව ගෙදර යැවීමට ජවිපෙ සූදානම අසූව දශකයේ භීෂණය සමඟ සැසඳීමට ඇතැමෙක් උත්සාහ දැරෑහ. තවත් පිරිසක් කියා සිටියේ ජවිපෙ ප්‍රමුඛ විකල්ප බලවේගය මේ මොහොතේ කලබල විය යුතු නැති බවයි.

ඉදිරි සතිය ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය ‌කොට ඇති බව කිසිවකුට රහසක් නොවුණි. එය බලාපොරොත්තු වූවාට වඩා විශාල වෙනසක් වනු ඇති බව සති අන්තය එළඹෙන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රධානීන් පසුගිය සතිය පුරා ඊට අදාළ පිඹුරුපත් සකසන බව පෙනී ගියේය. කෙසේ වෙතත් මෙහිදී අලුතින් කැබිනට් මණ්ඩලයට කිසිවකුත් ඇතුළත් නොවනු ඇති අතර දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් අතරම අමාත්‍යංශ ‌මාරුවීමක් සිදුවනු ඇති බව කියවුණි.

කැබිනට් සංශෝධනය පිළිබඳ පැතිර යමින් තිබූ විවිධ ප්‍රචාර හේතුවෙන් මැති ඇමැතිවරුන් පවා කලබල වී ඇති බවක් පෙනී ගියේය. විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වෙනසක් සිදුකිරීමට නියමිත බවට වූ ආරංචි හේතුවෙන් ඇමැතිවරු අතර යම් සැකයක් ඇතිව තිබුණි. කෘෂිකර්ම අමාත්‍යාංශය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා හට ලබාදීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි පැතිර ගිය කතාව කාගේත් විශේෂ අවධානයට යොමුවිය. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනට් සංශෝධනයේදී වෙනසක් සිදුනොවන බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තහවුරු කර ගැනීමට හැකිවිය. ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වෙනස්කම් සිදුවනු ඇතැයි ඒ අනුව දැනගන්නට ලැබුණි.

බොහෝ දෙනකුට අනුව ජනවාරි 10 වැනිදා කැබිනට් සංශෝධනය සිදුවන බව කියවූ නමුත් එදිනට කැබිනට් සංශෝධනය සිදු නොවන බවද අප වෙත වාර්තා විය. ඒ අනුව සිකුරාදා වනවිටත් සංශෝධනය සඳහා ජනාධිපතිවරයා නිශ්චිතව දිනයක් නියම කොට නොතිබුණි. ජනවාරි අවසානයේ නව ජනාධිපති ලේකම්වරයා පත්කිරීමෙන් පසු කැබිනට් සංශෝධනය සිදුවීමට ඉඩ ඇති බවද ඇතැම් ආරංචි අනුව කියැවුණි එසේ නමුත් ජනාධිපතිවරයා අපේක්ෂා කළ පරිදි අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙනස් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නිමිතය.

මෙම සියලු තොරතුරු ගලා එන අතරේ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නම් වූ කතාංගය නොනවත්වා රෑපගත කෙරුණි. ධුරයෙන් ඉවත් කළ පසු අමාත්‍යාංශයට ගිය ප්‍රේමජයන්ත මහතා සිය වාහන භාර දී ත්‍රීරෝද රථයකින් ගෙදර ගියේය. අනතුරුව ඔහු මාධ්‍යයටද ප්‍රකාශ ලබාදීම ඇරඹුවේය. තමන්ට දෙල්කඳ පොළෙන් ගත් ලොතරුයිය ඇදුණ බව ඔහු කීවේය. මේ අතර හිතවත් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් කිහිපදෙනකු පමණක් ඔහු අමතා දුක සැප විමසා තිබුණු නමුත් බහුතරය ඔහු හා සංවාදයට මැලිවූයේ තමන්ට යම් ගැටලුවක් ඇති වෙතැයි බියෙනි. මේ අතර ඔහුට විවිධ පාර්ශ්ව වෙතින් දේශපාලන ආරාධනාද ලැබුණු බව දේශපාලන ආරංචි අනුව කියැවුණි.

සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම පිළිබඳ විවිධ ප්‍රකාශ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සිදුකරමින් සිටියහ. පුවත් මවන්නකු වූ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නැවත කාගෙත් අවධානයට ලක්වන කතාවක් කීවේය. ආණ්ඩුව පිළිබඳව සහ විකල්ප ආණ්ඩු තැනීම පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු සමහර තොරතුරුවල අවසන් ප්‍රතිපලයක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුවූ බව ඔහු කීවේය. මෙම ප්‍රකාශයටද පෙරළා පිළිතුරුදීමට සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් විය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු කීවේය.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කරන්නේ ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශ යන්න ඕනෑ නෑ. අපි කියන දේ එළිපිට කියනවා. ඉතිහාසයේ කවදාවත් අපි කුමන්ත්‍රණ කරපු මිනිස්සු නෙමේ. මෙතැන බරපතළ වන්නේ තිස්ස කුට්ටිආරච්චි වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද කියන එක. රජයේ ප්‍රධානීන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානයක් දිනාගත්තේය. ආණ්ඩුවට තදින් පහර දෙමින් නව වසර ඇරඹීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය. ජනවාරි සිව්වැනිදා මාතලේදී ඔහු විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. සුසිල් ප්‍රේමජයන්ත මෙසේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත්, ඉකුත් සතියේ නිමල් ලන්සා අමාත්‍යවරයා ආණ්ඩුවට එරෙහිව බරපතළ විවේචනයක් එල්ල කළද ආණ්ඩුවේ රහස් දන්නා නිසා ඔහුව තනතුරින් ඉවත් නොකරන බවද හිටපු ජනාධිපතිවරයා කීය. වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පොහොට්ටුවේ ජීරණය වෙලා ඉන්න සමහරු කියනවා 69 ලක්ෂය ඒ අයගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒ අයගේම නෙමෙයි. මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. මේක හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, එතැන ප්‍රබලම පක්ෂය අපි. අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වැනි පක්ෂය අපි.

මේ අතර ආණ්ඩුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධ ප්‍රතිචාර දැක්වීම ආරම්භ විය. පසුපෙළින් ආරම්භ වූ එම විරෝධ කැබිනට්ටුවටද ගමන් කරමින් තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකරාශී වූ සියලු සුළු පක්ෂ විනාශභාවයට පත් වෙමින් තිබෙන ඉතිහාසයක් ඇති පක්ෂයක් බවත් එම පක්ෂයෙන් ඉතා පරිස්සම් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කර පලක් නොමැති බවත් එය මීතොටමුල්ල කුණු කන්ද වැනි තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව අගය කළ පිරිසක්ද වූහ. ඒ අතර සුවිශේෂීම කරුණ වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය මාධ්‍ය නිවේදනක් ඔස්සේ සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයක් අගය කොට තිබීමයි. &ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 20 වැනි සංශෝධනයේ ආදීනව පෙන්වා දී තිබුණා. වර්තමාන රජයේ හවුල්කරුවකු වෙතින් එවැනි අදහස් ගලා ඒම ප්‍රජාතන්ත්‍රවාදය රුකගැනීමට ශක්තියක්. අපි එය අගය කරනවා.*
මේ අනුව සතිය පුරා පුවත් මැවූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සතිය අවසානය සුභදායක නොවුණි. ඒට හේතුව අධිකරණය ලබාදුන් තීන්දුවකි. පාස්කු චෝදනාවලින් මුදාහරින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය සිකුරාදා ප්‍රතික්ෂේප කර තිබුණි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙන නඩුවක හිටපු ජනාධිපතිවරයා එක් වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් ඔහු අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකොට තිබුණි.

ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂයද වැඩ අල්ලා ඇති බව දේශපාලන ආරංචි තහවුරු කළේය. එක්සත් ජාතික පක්ෂය 2022 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා සිරිකොතදී සිදුකෙරිණි.  වික්‍රමසිංහ මහතා සිරිකොත කාර්ය මණ්ඩලයට මෙන්ම පැමිණෙන අමුත්තන් වෙනුවෙන් කැවුම්, කිරිබත් සහ අනෙකුත් කෑම වර්ගවලින් සමන්විත කෑම මේසය මෙවරද සකසා විශේෂ සංග්‍රයක්ද පැවැත්වූයේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එදින පැමිණ සිටි රුවන් විජේවර්ධන, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් සමඟ මෙම උත්සවයට සහභාගී වූහ.

සෙසු පක්ෂ සේම නව වසර වෙනුවෙන් එජාපයද නව සැලසුම් සකස් කරමින් සිටියේය. ඒ අනුව ඔවුන් බස්නාහිර පළාත ඇතුළු ජනාකීර්ණ නගර මුල්කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ජනවාරි දෙවැනි සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබුණි. බස්නාහිර පළාතේ සහ කුරුණෑගල, මහනුවර, ගාල්ල යන ප්‍රධාන නගර මුල්කර ගනිමින් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද කියැවුණි.

සමගි ජනබලවේගය නව සටන් පාඨයක් සතිය අවසානයේ කරළියට රුගෙන ආවේය. ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා හමුදා පාලනයකට යාමට සැරසෙන්නේ දැයි සැක මතුවන බව ඔවුන් කීවේය. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම සැකය මතුකර අතර ආණ්ඩුව දිනපතාම පාර්ලිමේන්තුවට දැනුම් නොදී මුදල් මුද්‍රණය කරමින් සිටින බවද කීය. එමනිසා වහාම පාර්ලිමේන්තුව රුස්කිරීමට පියවර ගන්නා ලෙස තම පක්ෂය ආණ්ඩුවට බලකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

 චමිඳු නිසල්