2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

බැසිල් ඉන්දියාවේදී පූරි හදයි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 438

  • මහින්ද අරාබි රටවල තානාපතින් හමුවෙයි
  • පොහොට්ටු ශ්‍රීලනිප අවුලේ සැරකතා
  • කාගෙවත් ළඟ දෙකට නැමෙන්න යන්න එපා: ඩයනා කියයි
  • කංසා රට යවන්න ආණ්ඩුවෙන් සැලැස්මක්
  • ලසන්තගේ ගෑස් කතාවෙන් කමිටුව රත්වෙයි
  • එජාපයෙන් ගිය අර්ජුන අලුත් දේශපාලන ගමනක
  • විමල් ගැන ලාල්කාන්ත කිව්ව කතාව

 

 

 

 

 

පාර්ලිමේන්තු කලකෝලහල, පක්ෂ හැරයෑම්, ගෑස් පිපිරීම් සතියේ පුවත් මවන සිදුවීම් විය. කොවිඩ් වසංගතය සියල්ලට පසුපසින් සිට නැවත බැටදීම අරඹා තිබුණි. අය වැය හේතුවෙන් ආණ්ඩුවේ අර්බුද යට යමින් තිබුණද ශ්‍රීලනිප හිතුවක්කාර වන ලකුණු පෙනී ගියේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සතියේ ඉන්දියානු නිල සංචාරයක නිරත වූයේය. දේශපාලන මෙන්ම ආර්ථික අරමුණු රුසක් එම සංචාරය විෂයෙහි පැවතුණි. සිය මංගල අයවැය පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වන අතර බැසිල් රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වීම කැපී පෙනෙන සිදුවීමක් විය. මෙම සංචාරය පිළිබඳ එකින් එකට පරස්පර පුවත් ඉන්දීය මාධ්‍ය මෙන්ම ලාංකික මාධ්‍යයද වාර්තා කර තිබුණි.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සංචාරයේ පළමු දිනයේදී  ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදෙස් අමාත්‍යවරයා හමුවීමට නියමිත විය. ඉන්දීය විදෙස් අමාත්‍යවරයාගේ නිවෙසේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කොට තිබුණි. එහෙත් පාර්ලිමේන්තු සතියක් වීම හේතුවෙන් ඉන්දීය විදෙස් ඇමති ආචාර්ය එස්. ජයිශන්කර් මහතා කාර්ය බහුලව සිටියේය. ඒ හේතුවෙන් නිල හමුවට වෙන්වූ කාලය පිළිබඳ ගැටලුවක් මතුවිය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා විදෙස් ඇමතිවරයා අමතා පවසා තිබුණේ මුදල් අමාත්‍යවරිය සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හමුවන මොහොතේම සම්බන්ධ වී එම ස්ථානයේදී අදාළ සාකච්ඡාව පවත්වන ලෙසයි.

කෙසේ හෝ බදාදා දිනයේදී බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවීය. නවදිල්ලියේදී මෙම සාකච්ඡාව සිදුවූ අතර එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයට අදාළ කරුණු රුසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දැනුම්දීම පරිදි විදෙස් ඇමැති ආචාර්ය එස්. ජයිශන්කර් මහතා එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම්. එස්.ආර්. ආටිගල මහතා ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ වූහ. මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාය. ඊට අමතරව නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා මෙම අවස්ථාවට සම්බන්ධ විය.
අනතුරුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්විය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිස ඉන්දියාවේ සුලාබ් නම් රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) වෙත ගොස් එහි කටයුතු ගැන විමසා බැලීමට එක්වූහ. සුලාබ් ජාත්‍යන්තර සංවිධානය යනු ඉන්දියාවේ මානව හිමිකම්, පුනර්ජනනීය බලශක්ති යැපීම්, අපද්‍රව්‍ය කළමනාකරණය සහ අධ්‍යාපනය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ ආමන්ත්‍රණය කරන 50,000ක ශක්තිමත් ස්වේච්ඡා බළකායක් පදනම් වූ සමාජ සේවා සංවිධානයකි. මෙම චාරිකාවේදී මුදල් අමැති බැසිල් රාජපක්ෂ මහතාට ජීව වායුවලින් ආහාර පිසීමේ අත්දැකීමක් ලබා ගැනීමට හැකිවිය. වාර්තා වූ පරිදි ඉන්දියාවේ ජනප්‍රිය පූරී නම් ආහාරය සකස් කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවී තිබුණි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ගෑස් පිපිරීම් හේතුවෙන් මෙම අවස්ථාවේ ලබාගත් ඡායාරෑපයක් සමාජ මාධ්‍ය කැළඹීමට හේතු විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉකුත්දා බ්‍රහස්පතින්දා හමුවීමට නියමිත වුවත්. ඉහළ පෙළේ ආරංචි මාර්ග අනුව රැස්වීමට කාලසටහන් සකස් කිරීමේ දුෂ්කරතා මත මෙම හමුව එදින සිදු වී නොමැත. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ සංචාරයට සූදානම් වීම හේතුවෙන් මෙලෙස කාලසටහනේ යම් ගැටලුවක් නිර්මාණය වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව නැවතත් බ්‍රහස්පතින්දා දිනයේදී, මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයශංකර් මහතා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළේය. එය ඉන්දීය අගමැතිවරයාගේ උපදෙස් පරිදි සිදු වූ සාකච්ඡාවක් බවද කියැවුණි. ඊට අමතරව ඉන්දීය ඛණිජ තෙල් හා ස්වභාවික වායුන් අමාත්‍ය හර්දීප් සිංග් පූරි මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් යන මහත්වරුන්ද බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කොට තිබේ.

මේ අතර අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමද දේශපාලන කරළියේ අවධානය දිනාගත් සිදුවීමක් විය. එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බදාදා (29) ලිපියක් යවමින් දැනුම් දුන්නේය. 2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දැවැන්ත පරාජය හමුවේ වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍ය වුවත් අදටත් එවැනි නිසි සහ සුදුසු වැඩපිළිවෙළක් ඇති වන බවක් පෙනෙන්නට නොමැති වීම හේතුවක් බව රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබුණි. රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්ව ගුණාංග බෙහෙවින් අගය කරන බවද අර්ජුන රණතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම ඉවත්වීමට පෙරාතුව අර්ජුන රණතුංග මහතා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව ඔහුව සමගි ජනබලවේග ගම්පහ හෝ කොළඹ දිස්ත්‍රික්ක ආසන සංවිධායකවරයකු ලෙස පත් කිරීම පිළිබඳව ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබෙන බව කියැවුණි. කෙසේ වෙතත් කොළඹ හා ගම්පහ එම පක්ෂයේ දැනට සිටින ප්‍රබලයන් හා සංවිධායකවරුන් ඊට විරෝධය පළකර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

එජාපයෙන් ඉවත්වීමෙන් පසු දළදා වැඳ පුදාගත් අර්ජුන රණතුංග මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ආරාධනා කළහොත් ඊට අකමැත්තක් නැතැයි හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කලබල වීමට අවශ්‍ය නැතැයිද ඔහු කියා තිබුණි. හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනය කරන්නේ නම් ඊට අකමැත්තක් නැතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

මේ අතර කංසා සම්බන්ධ කතිකාවක්ද දේශපාලන කරළිය කැළඹුවේය. අපනයනය සඳහා කංසා වගා කිරීමට අවශ්‍ය කරන නීති ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. කෙසේ නමුත් කංසා සඳහා අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන්නේ අපනයනය සඳහා පමණක් බවත් ඔහු පැවසීය.

ඔහු පවසා සිටියේ ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා අදාළ අනුමැතිය ලබාගන්නා බවයි. කංසා අපයනය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත මේ වනවිට අධිකරණ අමාත්‍යවරයාට භාර දී ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් එහි අඩුපාඩු මඟහරවා ගැනීමට නියමිත බවත්, අනතුරුව කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ අතර සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ආණ්ඩුවට එකතු වූ ඩයනා ගමගේ විශේෂ කතාවක් කියා තිබුණි.

අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාවධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතුයි.

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර ගැටුම උග්‍රවන බව ගෙවුණු සතියේ පෙනී ගියේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දේවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජනතාවට හිතන්න දෙයක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රුස්විය. කාගේත් අවධානය ඊට යොමුවී තිබුණේ ශ්‍රීලනිප පොහොට්ටු ගැටුම උග්‍ර අතට හැරෙමින් පැවති හෙයිනි. දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රීලනිප මෙදින විශේෂ තීරණයකට එළඹ තිබුණි. ඒ අනුව වර්තමානයේ මහජනතාව මුහුණ දී ඇති සමාජ හා ආර්ථික අර්බුද පිළිබඳ අවධානය යොමුකරමින්, ස්වාධීන ජනමත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කළේය. දෙසැම්බර් මස අවසානයට පෙර මෙම දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇත. කෙසේ නමුත් මෙම ව්‍යාපාරය ආණ්ඩුවේ පොදුජන පෙරමුණ පාර්ශ්වයට සුභදායක වෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රුස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රකාශවලට තරමක් තදින් පිළිතුරු සැපයීය. ශ්‍රීලනිප කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙළ පිරිස් විසින් සිදුකළ ප්‍රකාශයන්ට ඔහු ප්‍රතිචාර දැක්වීමටද අමරවීර මහතා අමතක නොකළේය.

පක්ෂය තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමැති ධුර අත්හැරීමට සිය මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව ඔහු සඳහන් කළේය. ඒ පිළිබඳ මතභේදයක් නැතැයිද කීය. එසේ ඉවත් වීමට තීරණය කළහොත් ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව පනහක් හැටක් පමණ පිරිසක් ඉවත්වනු ඇතැයිද අමරවීර මහතා පැහැදිලි කළේය. ඒ අනුව විමල් උදය වාසු ඇතුළු සිය කණ්ඩායමට අයත් තිහක පමණ පිරිස මෙන්ම කලකිරී සිටින පොහොට්ටුව මන්ත්‍රීවරුද මෙලෙස ඉවත්වනු ඇති බව ඔහු පැවසීය. එසේ සිදුවහොත් ආණ්ඩුවේ තුනෙන් දෙක තියා සරල බහුතරයවත් නැතිවන හැටි බලාගත හැකි යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර පවතින තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැඩිව සැලකිලිමත් විය යුතු යැයිද අවධාරණය කළේය. ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන “ඇසිදිසි රක්ෂණාවරණය” ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය පිළිබඳ දක්වා තිබුණේ සුවිශේෂී අදහස් කිහිපයකි. ‘‘මාධ්‍යයට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යයට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රුක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍යය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි’’ යැයි කී අග්‍රාමාත්‍යවරයා ‘‘ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වාගේ කියලා මට හිතෙනවා’’ යැයිද පැවසීය. එය වර්තමාන ආණ්ඩුකරණය සම්බන්ධ මහින්ද රාජපක්ෂ මහතාගේ සිතුවිලි ප්‍රකට වූ අවස්ථාවක් එලෙස මාධ්‍යවේදීන් අතරේ කතිකාවක් නිර්මාණය වූයේය.

ශ්‍රී ලංකාවේ නේවාසික ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා විය. ඉස්ලාමීය රටවල තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන්ගේ මෙම හමුව සිදුව ඇත්තේ පසුගිය දිනෙක රාත්‍රී කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදීය. මෙම සුවිශේෂී හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ආරාධනාවකට අනුවය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව තමන් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණි. ආරංචි මාර්ග අනුව ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්වූ බව කියැවේ.

මේ අතර ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් පෙළ විටින්විට පාර්ලිමේන්තුව උණුසුම් කළේය. පාර්ලිමේන්තුවේදී ගෑස් පිපිරීම් පිළිබඳ විවාද ඇතිවූ අවස්ථාවේදී කථානායකතුමන් විසින් වෙළෙඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රුස්වී මේ ගැන සාකච්ඡා කළ යුතු බවට උපදෙස් ලබා දී තිබුණි. මෙය දේශපාලනයෙන් බැහැරව ගොස් ජනතාව වෙනුවෙන් විසඳිය යුතු කරුණක් වන නිසාම දේශපාලන පක්ෂ නොබලා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කළ යුතු කරුණක් බව කථානායකවරයා සඳහන් කර වැඩිදුරටත් සඳහන් තිබුණි. ඒ අනුව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රුස්වීමක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එක තුළදී සංවිධානය විය.

අමාත්‍යවරුන් මෙන්ම විපක්ෂ නායකවරයා සහ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බහුතර මැති ඇමතිවරුන් මෙම රැස්වීමට සහභාගී වූහ. ජනාධිපතිතුමා විසින් පත්කළ විද්වතුන් කමිටු සාමාජිකයෝද මේ අවස්ථාවට එක්වූහ. ඊට අමතරව ගෑස් සමාගම් නියෝජිතයන් සහ තවත් රාජ්‍ය ආයතන නියෝජිතයන් මෙන්ම ගෑස් සම්බන්ධ අදහස් දැක්වූ තවත් පාර්ශ්ව එක්ව සිටියහ.

ගෑස් සම්බන්ධයෙන් මෙතෙක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරපු සියලුම විමර්ශන හා ඊට අදාළව ගත් නෛතික ක්‍රියාමාර්ග ගැන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කළේය. මේ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා තිබුණේ එවැනි දීර්ඝ විස්තර අනවශ්‍ය බවත් ඉක්මනින් මෙම ගෑස් සංයුතිය ගැන කතා කළ යුතු බවකි. එසේම. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නිසා ඉක්මනින් මේ රුස්වීම අවසන් කළ යුතු බව පවසා තිබුණි. ඊට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා විරුද්ධ වීමත් සමඟ මෙම රුස්වීම තරමක් උණුසුම් විය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් විදෙස් සංචාරයක් සඳහා පිටත්ව යාමට සූදානම් වූයේය. ඩුබායිහිදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුව සඳහා සහභාගී වීම ජනපතිගේ අරමුණ විය. ඩුබායිහිදී පැවැත්වුණද මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දරනු ලැබුවේ ඉන්දියානු රජය විසිනි. ඉන්දියානු රජය වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ සභාපති රාම් මාධව් මෙම සමුළුවේ ප්‍රධන සංවිධායකවරයා ලෙස කටයුතු කරයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනපති සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිත වූහ. කෙසේ වෙතත් මෙම සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත ප්‍රමාණයකි.

මෙම සමුළුව සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා ලැබී තිබුණි. වාර්තා වූ තොරතුරු පරිදි මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇත. එසේම රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී දේශනයක් වෙන් කොට ඇති බව දැනගන්නට ලැබුණි. මෙම සංචාරයේදී ඩුබායි ශේක්වරයා හමුවීමටද ජනාධිපති කටයුතු කරන බව කියැවේ.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන්ද පසුගිය සතියේ විශේෂිත වූ ප්‍රකාශයක් අසන්නට ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ වෙබ් මාධ්‍යයකටය. ජනතා විමුක්ති පෙරමුණ තුළින්ම සිය දේශපාලන ගමන ආරම්භ කළ විමල් වීරවංශ අමාත්‍යවරයාට යළිත් එම පක්ෂයට පැමිණීමට හැකිදැයි යන්න පිළිබඳ කේ.ඩී. ලාල්කාන්ත මහතාගෙන් විමසූ අවස්ථාවේ අවස්ථාවේදී ඔහු ඊට පිළිතුරු දී තිබුණි.
බිඳ වැටී ඇති රට යළි ගොඩනැඟිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ බව වැඩි කලක් යාමට මත්තෙන් විමල් වීරවංශ මහතාද කියනු ඇතැයි යන්න තම විශ්වාසය බව ඔහු එහිදී කියා තිබුණි. ඒ බව තවම නොකීවත් ළඟදීම වීරවංශ මහතා ඒ බව කියනු ඇති බව දැන් දැන් පෙනෙන්න තිබෙන බවද ඔහු සඳහන් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් වීරවංශහට යළිත් ජේ.වී.පී වීමට නොහැකි බවද ඒ සඳහා කිසිදු ජේවීපී සාමාජිකයෙක් ඉඩ නොතබන ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. මෙම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ බොහෝ දෙනකුගේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනකුගේද අවධානය දිනා ගත්තේය.

 චමිඳු නිසල්