2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

මහින්දගේ කතාවට පසු රහස් කතා දෙකක්

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 408

  • ජනපති එතෙරදී රාජ්‍ය නායකයන් රැසක් හමුවෙයි
  • හේෂලාට සජිත්ගෙන් සාකච්ඡාවක්
  • බැසිල් පුබුදු කළ පොහොට්ටුවේ සංවත්සරය
  • ඇමැති දෙදෙනෙකුට මහින්දගෙන් භෝජන සංග්‍රහයක්
  • ඉන්දියාව ජනපතිට දුන් පොරොන්දුව
  • ඇමැති සබ්‍රිගේ ප්‍රශ්නය විසඳෙයි
  • ජවිපෙන් ගමෙන් පටන් ගන්න නව වැඩපිළිවෙළක්
  • සංජීව එදිරිමාන්නත් අගමැතිට කතාවක් එවයි

කලබලකාරී දේශපාලන සතියක් ගෙවී ගියේය. ජනපති විදෙස් ගත විය. පොහොට්ටුවේ සංවත්සරයද පුවත් මවන සිදුවීම් රැසකට හේතුවිය. විපක්ෂ කණ්ඩායම් උද්ඝෝෂණ සංවිධානය කරමින් පාරට බැස්සේය. මැති ඇමති සිත් අමනාපකම් පිළිබඳවද තොරතුරු ලැබුණි. එම නිසාම තිරය පිටුපස දේශපාලන කසුකුසු රැසක් නිර්මාණය වූයේය.

නොවැම්බර් පළමුවැනිදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහීදී ආරම්භ වූ COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කතාවක් සිදුකළේය. “නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනපති පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වනවිට කාබන් ශූන්‍යත්වයක් ළඟාකර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වනවිට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුඳී සිටියේ ස්කොට්ලන්තයේ ඩබල් ට්‍රී හිල්ටන් හෝටලයේය. මෙම හෝටලයෙහි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයෝ රුඳී සිටියහ. ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට පිටත්ව යාමට සූදානම් වන විට හෝටලය ඉදිරිපිට ඩයස්පෝරාවේ සාමාජිකයෝ පැමිණ විරෝධතාවක් පවත්වන්නට වූහ. එම අවස්ථාවේදී හෝටල් පාලනය විසින් ප්‍රදේශීය පොලීසියට මෙන්ම සමුළුවේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කණ්ඩායමටද මේ පිළිබඳ දන්වනු ලැබීය. හෝටල් පාලන අධිකාරිය ද පොලීසිය සමඟ ගොස් විරෝධතා නොපවත්වන ලෙසත් මෙහි රාජ්‍ය නායකයන් රුසක්  රුදී සිටින බවත් ඔවුනට පවසා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට පිටත්ව යන තුරුත් මෙම පිරිස විරෝධතා දැක්වූහ. කෙසේ වෙතත් එය සාමකාමී විරෝධතාවයක් විය.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස නම් කෙරුණු මෙම සමුළුවට ලොවපුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රුසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටියහ. සමුළුව අතර කාලයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමුවීමට ජනපති කටයුතු කළේය. වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රුසක ප්‍රවර්ධනය වෙනුවෙන් ජනපති සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා ඇතිවිය.

මෙම සංචාරයේදී ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි. ඊට ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් මහතාද එක්ව සිටියේය. එහිදී මෙරට ආර්ථික කටයුතු පිළිබඳව මෙන්ම සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. ඉන්දීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට එවීමට අජිත් ද්වාල් මහතා ජනපතිට පොරොන්දු විය. දෙරටටම වැදගත් කරුණු රුසක් පිළිබඳ කතාබහ කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් අවසානයේ ක්‍රිකට් ආදීවූ ක්‍රීඩා තොරතුරු පිළිබඳවද සතුටු සාමීචියේ යෙදුණු බව දැනගන්නට ලැබුණි.

මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සල්මන් බීන් හමාඩ් අල්කලීෆා, නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා, පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය, ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති ච්ලැඩ්මීර් සෙලෙන්ස්කි, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය ඇතුළු මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් රුසක් හමුවී සාකච්ඡා කළේය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ. ඒ අතර මෙරට සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ විදෙස් අමාත්‍ය පීරිස් මහතා සහ විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ මහතා අතර මෙම සංචාරයේදී මත ගැටුමක් නිර්මාණය වී ඇති බවයි. 

මෙහිදී ඇතිව තිබුණේ රාජ්‍ය නායකයා සමඟ සමුළුවට ඇතුළත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවකි. රාජ්‍ය නායකයා සමඟ සමුළුවේ රැඳී සිටීමට අවකාශය සලසා දී ඇත්තේ එක් අයකුට පමණි. ඒ සඳහා කල් ඇතිව නම් ලබා දී තිබුණි. ඊට ඇතුළත් වී තිබුණේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මියගේ නමයි. කෙසේ වෙතත් එය  දැනගත් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා ඇත්තේ විදේශ අමාත්‍යවරයාගේ නම ඊට ඇතුළත් කරන ලෙසය. ඒ සඳහා ලලිත් වීරතුංග මහතාගෙන් හෝ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතාගෙන් ගැටලුවක් ඇතිවී නොමැත. එහිදී ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ  “ජනාධිපතිතුමා ඇමැතිතුමත් එක්ක සහභාගි වෙන්න. මම නිරීක්ෂකයෙක් විදියට එළියෙ ඉන්නම්" යනුවෙන් බව අදළ පාර්ශ්වයන් ඔස්සේ දැනගන්නට ලැබේ.

සමගි ජනබලවේගයේ පසුපෙළ මන්ත්‍රී විරෝධය කළමනාකරණය කර ගැනීමට ජ්‍යෙෂ්ඨයන් අපොහොසත් වී ඇති බවටද ගෙවුණු සතියේ දේශපාලන ආරංචි ලැබුණි. ඉහත සතියේ ගොනුකළ විරෝධය හේතුකොටගෙන හේෂා විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හට ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා අවස්ථා ලබා දුන්නේය. එජාපය විනාශ කළ කල්ලියක් විසින් සමගි ජනබලවේගය විනාශ කිරීමට සූදානම් වන බව ඔවුන් එහිදී සඳහන් කර ඇතැයි කියැවේ.

පක්ෂය තුළ ගැටුම් ඇතිකර නොගන්නා ලෙස හේෂා ඇතුළු පිරිසට ජ්‍යෙෂ්ඨයන්ගෙන් අවවාද ලැබී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඒ අනුව තමන්ට පක්ෂය සමඟ හෝ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කිසිදු ගැටලුවක් නොමැති බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කියා සිටියේය. සැමදා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි. සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී අලුත් වැඩපිළිවෙළක් සමඟ ජනතාව ඉදිරියට යාම අත්‍යවශ්‍ය කාරණයක් නිසා මෙම සියලු සංවාද ප්‍රතිපත්ති සඳහා පමණක් යැයිද ඔහු සඳහන් කළේය. එසේම තමන් පක්ෂය කිසිදු දිනක හැරදා නොයන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

මෙරට ආණ්ඩු බලය දරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අඟහරුවාදා (02 දා) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. යහපාලන රජය සමයේ සිරගතව සිටියදී පහළ වූ අදහසක් අනුව බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂ නිර්මාණය කළ බව කියැවෙයි. 2016 නොවැම්බර් 02 දින බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසේදී චාම් උත්සවයක් පවත්වා මෙම පක්ෂය ආරම්භ කර තිබේ. කෙසේ හෝ අද වනවිට වසර පහක් අවසානයේ එම දේශපාලන පක්ෂය මෙරට රාජ්‍ය බලය ලබාගෙන ඇත. ඒ අනුව ඉකුත්දා පැවැති නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ පැවති පක්ෂ සංවත්සරය සතියේ සුවිශේෂී දේශපාලන සිදුවීමක් වීමට කරුණු කාරණා රැසක් හේතු විය.

පක්ෂ නායකයා ලෙස සංවත්සරයේ ප්‍රධාන දේශනය හිමිවූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටය. එම දේශනය පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට හේතු විය. රට තුළ පවතින ආර්ථික දේශපාලන තත්ත්වයන් ඉතා කෙටි කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයා විග්‍රහ කොට දැක්වීමට සමත් වූ බව බොහෝ දෙනෙක් කීහ. දේශපාලන ආරංචි තහවුරු කරනු ලැබුවේ මෙම කතාව මුළුමනින්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ අදහස මතින් නිර්මාණය වූ බවයි. මෙම කතාවේ සුවිශේෂී බව වූයේ එහි අන්තර්ගතය සලකා බලන විට වර්තමාන ආණ්ඩුවේ ඉහළ පහළ ප්‍රධානීන් සියලු දෙනාටම ඒ හරහා අවවාදත්මක උපදෙස් ලබාදීමයි.

කෙසේ වෙතත් මෙම කතාව සිදුකිරීමට මත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා සුවිශේෂී කතාවකට සූදානම් වන බව පොදුජන පෙරමුණ ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනකු හට ආරංචි වී තිබුණි. ඒ නිසාවෙන්ම අභ්‍යන්තරයේ යම් කසුකුසුවක් නිර්මාණය වූයේය. එම ඇමතිවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවේ පිටපත කලින්ම කියවා බැලීමට උත්සාහ කළෝය. පොදුජන පෙරමුණ මාධ්‍ය භාරව කටයුතු කළ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාට සංවත්සරය සඳහා සිදු කිරීමට කතාවක් නිර්මාණය කොට එහි පිටපතද එවා තිබුණි. අඩ සියවසක දේශපාලන අත්දැකීම සහිත දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ මහතාට උද්ගත වූ තත්ත්වය අවබෝධ කර ගැනීමට අපහසු වූයේ නැත. හෙතෙම දැඩි තීරණයකට එළැඹ සිටියේය. මම කරන්නේ මගේ කතාව. මේක මමත් කාටවත් පෙන්වන්නෙ නෑ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංවත්සර දෙසුම අරඹන තුරුම ඔහුගේ කතාව පිළිබඳ බොහෝ දෙනකුට වූයේ කුහුලකි. මෙම කතාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ විශේෂිත කරුණු රුසකි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු රාජ්‍ය පාලනය මිස දේශපාලනය නොකිරීම ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීනවීමට හේතුව බව මහින්ද රාජපක්ෂ මහතා සෘජුව කියා සිටියේය. ජනතාව අතරට නොයාමේ ඵල විපාක ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ ලොකු කුඩා පක්ෂ අගය කරමින් කතා කළ රාජපක්ෂ මහතා මේ කවුරුත් අපිට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරු නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒ අයත් අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය. ඒ නිසා ඒ සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රූනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම. යනුවෙන්ද පැවැසීය.

එසේම තරුණ පරපුර රට පිරිසුදු කරමින් වීදි සිතුවම් අඳිමින් ලබාදුන් පණිවිඩය  තේරුම් ගත යුතුව තිබූ බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත වුණා. නගර අවලස්සන වුණා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවිඩය තේරුම් ගන්න ඕනා. අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය

මෛත්‍රීපාල සිරිසේන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හවුල්කාර පක්ෂ නායකයෝ ද සභාවේ සිටියහ. කෙසේ වෙතත් විමල් වීරවංශ මහතා මෙහි නොපැමිණි අතර ඔහුව නියෝජනය කළේ නිමල් පියතිස්ස මන්ත්‍රීවරයාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතාව අවසන් කොට සභාවට පැමිණෙන විට හිටපු ජනපති ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාගේ දෑතින් අල්ලා ඔහුගේ කණට කොඳුරා රහසක් කීවේය. එය අසා සුපුරුදු සිනාව පෑ මහින්ද රාජපක්ෂ මහතා පස්සේ කතාකරමු යැයි කීවේය. එය බොහෝ දෙනකුගේ කුතුහලය ඇවිස්සූ සිදුවීමක් විය. මෙම රහස කුමක්දැයි දැනගැනීමට බොහෝ දෙනෙකුට අවැසි විය. එහෙත් එය හෙළි නොවුණි.

ඉතාම හොඳ කතාවක්. ඔබතුමාට එදා වගේම අදත් අතීතය මතකයි. හුඟක් දෙනෙකුට මේ අතීතය මතක නෑ. ඒක තමයි තියෙන ප්‍රශ්නය.

දේශයට වාර්තා වූ පරිදි මහින්දට මෛත්‍රී කිවූ රහස මෙය විය. මේ අතර තවත් රහස් කතාවක් එළිපිටම සිදුවූ බව දැක්වෙන අපූරු සේයාරුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු විය. සංවත්සරයට සහභාගී වූ උදය ගම්මන්පිල මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ කණට කොඳුරා යමක් පවසන අයුරු එහි දැක්වුණි. රහස් කියුමන් උදය බැසිල්ට කියා තිබුණේ තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කල්තබා පිටත්ව යනු බවයි. එවිට උදයගේ අතින් අල්ලාගත් බැසිල් හොඳයි අපි හමුවෙමු යැයි කීය.

ජනතාව මැදිහත් කරගත් සක්‍රීය නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෙවුණු සතියේ දී පැවසීය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ද නව දේශපාලන ක්‍රියාන්විතයක් ආරම්භ කළේය. මෙය ග්‍රාමීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නිර්මාණය කළ වැඩසටහනක් වූ අතර  “ගමෙන් පටන්ගමු" නමින් නම් කොට තිබුණි. නොවැම්බර් පළමු වැනිදා මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය මහරගම දී සිදුවිය.

“ගමෙන් පටන්ගමු" සමාරම්භක උත්සවයට සම්බන්ධ වෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. විශාල බලාපොරොත්තු සහිතව තුනෙන් දෙකක බලයක් දී පත් කරගත් ආණ්ඩුවෙන් තම බලාපොරොත්තු ඉටු නොවන බව මේ වන විට ජනතාව තේරුම් ගෙන සිටින බව ඔහු කීය. අවුරුදු හැත්තෑවක් ජනතාවට බොරු පොරොන්දු දෙමින් විවිධ පක්ෂ බලය ලබාගත් නමුත් වංචා දූෂණවල අඩුවක් වී නැතැයි ද ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ජනතාවට එපා වූ පාලනය ඉවත් කර අලුත් දේශපාලන ගමනක් යෑම මෙම වැඩසටහන හරහා සිදුවන බව කීවේය.

මේ අතර අලි සබ්‍රි අමාත්‍යවරයා සම්බන්ධව ද ගෙවුණු සතියේ විවිධ කතා පැතිර යන්නට විය. ඥානසාර හිමියන්ගේ පත්වීම සම්බන්ධව ඔහු සිටියේ අමනාපයෙනි. ජනපති ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට පෙර ඉහත සතියේ දී අලි සබ්‍රි අමාත්‍යවරයා ජනපති ඇමතීය. ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධව කතා කිරීමට ඔහු අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා (28) ඔහුට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබුණි. දේශපාලන ආරංචි අනුව එදින ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අලි සබ්‍රි අමාත්‍යවරයා පැයක පමණ කාලයක් ජනපති හමුවීමේ බලාපොරොත්තුවෙන් රුඳී සිටියේය. එහෙත් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා ඔහුට දන්වා සිටියේ ජනාධිපතිවරයා හදිසි රාජකාරි කටයුත්තක නියැලී සිටින බවයි. ඒ අනුව ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට පෙර වෙනත් වෙලාවක් වෙන්කර දෙන බවද ලේකම්වරයා දන්වා තිබුණි. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව යන තුරුම අලි සබ්‍රි අමාත්‍යවරයාට අවස්ථාවක් නොලැබුණි. ඒ  අනුව ඉකුත් සෙනසුරාදා ඔහු සිය සමීපතම කාර්ය මණ්ඩලයට සමුගැනීමේ සාදයක් සූදානම් කළේය. දේශපාලන ආරංචි අනුව සාදයට පැමිණි නිලධාරීන් අමතා ඔහු මෙසේ කියා සිටියේය "මම අවුරුද්දක් වැඩ කළා. මට දැන් කනස්සල්ලක් තියෙනවා. ඒ නිසාම ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ මම ඉවත් වෙනවා." අදාළ සාදය සම්බන්ධ පුවත දේශපාලන කරළියේ තිරය පිටුපස කතාබහට ලක්විණි. ඒ අතර අලි සබ්‍රි අමාත්‍යවරයා ඒ මොහොතේ මෙරට සිටි රාජ්‍යයේ වගකිවයුත්තන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ඇමතුවේය.

“ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් පත් කරලා තියෙනවා. මම දන්නෙත් නෑ මේ කමිටුව පත් කරන තුරුම. මම අධිකරණ ඇමැති. මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසමින් ඉන්නේ. එක රටක් - එක නීතියක් තමයි එහි අරමුණත්. එහෙම තියෙද්දී තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නෙ, මම නොදැනුවත්ව එහෙම වුණාම මට මේ තනතුරේ ඉන්න අමාරුයි. අනිත් කාරණය ඥානසාර ස්වාමීන් වහන්සේ එක්ක ගනුදෙනු කිරීම මට අපහසුයි. උන්වහන්සේ විටින් විට මට විවිධ චෝදනා නගලා තියෙනවා. නමුත් මට උන්වහන්සේත් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මම මේ තනතුරෙන් ඉවත් වෙනවා. ඒ සම්බන්ධවත් ගැටලුවක් නෑ."

ඇමැතිවරයා විසින් නිල වශයෙන් අග්‍රමාත්‍යවරයා සහ කතානායකවරයා මේ අයුරින් දැනුවත් කළ බව දේශපාලන ආරංචි  මාර්ග සඳහන් කළේය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා “කලබල වෙන්න එපා. අපි මේක කතා කරලා විසඳගමු" යනුවෙන් ඔහුට දන්වා ඇති බවද කියවුණි.

පසුගිය ඉරිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට ද දුරකථන ඇමතුමක් ගත්තේය. එදින රාත්‍රී භෝජන සංග්‍රහයකට  පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට ආරාධනය කළේය. ඇමැතිවරු දෙදෙනා කලින් යොදාගත් වැඩ තිබුණද අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පිළිගත්හ. කෙසේ වෙතත් එදින සන්ධ්‍යාවේ දී අග්‍රාමාත්‍ය කාර්යාලය ඔවුන්ට හට දන්වා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා තරමක  අසනීප තත්ත්වයකින් පසුවන බැවින්  වෙනත් දිනයකට නියමිත භෝජන සංග්‍රහය කල් දමන බවයි. මේ අතර පසුදින සඳුදා කැබිනට් රුස්වීමෙන් පසුව ද භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.  එහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සමඟ කතාබහ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු විය.

සඳුදා කැබිනට් රුස්වීම පැවැත්විණි. පොහොර ගැටලුව ප්‍රමුඛ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා ඇතිවිය. මහින්දානන්ද ඇමැතිවරයා පොහොර ගැටලුව සම්බන්ධව එල්ල වන විරෝධයන්ට මුහුණ දීමට රජයේ අනෙක් ඇමැතිවරුන්ගෙන් සහයෝගය ඉල්ලා සිටියේය. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පොහොර අර්බුදය සම්බන්ධව මෙන්ම ඉදිරි අයවැය සම්බන්ධව ද පැහැදිලි කිරීම් සිදු කළේය. මේ අතර සුපුරුදු පරිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුදු ලූනු ගැටලුව නැවතත් කරළියට පැමිණියේය. ඒ සම්බන්ධව ගන්නා නීතිමය පියවර පිළිබඳ ගුණවර්ධන මහතා අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් ප්‍රශ්න කළේය. එහිදී ද සංවාදයක් හට ගැනුණි. කෙසේ වෙතත් මෙදින කැබිනට් රුස්වීම අවසානයේ පැවති භෝජන සංග්‍රහය එතරම්  සාර්ථක නොවිණි. ඇමැතිවරුන් විවිධ රාජකාරි යොදාගෙන තිබුණෙන් බොහෝ දෙනෙක් පිටව ගියහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් උදය ගම්මන්පිල මහතා ද කල් ඇතිවම පිටව ගියෙන් අගමැතිවරයාගේ බලාපොරොත්තුව ඉටු නොවිණි.
ඒ අනුව නැවතත් බදාදා දිනයේදී අදාළ භෝජන සංග්‍රහය සඳහා කටයුතු සූදානම් විය. ගම්මන්පිල අමාත්‍යවරයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ආරාධනා ලැබුණේ විමල් වීරවංශ අමාත්‍යවරයාට පමණි. ඒ අතර අලි සබ්‍රි අමාත්‍යවරයාට ද මෙම භෝජන සංග්‍රහය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළේය. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි මෙහි දී බරපතළ කරුණු සාකච්ඡා නොවිණි.

“වාද විවාද ඇතිවෙනවා. අපි ඒවා ගණන් නොගෙන ඉස්සරහට යමු. අපි හැමෝම එකට හිටපු කණ්ඩායමක්. මම විපක්ෂයේදී වගේම ආණ්ඩුවේ ඉඳලාත් ආණ්ඩුව විවේචනය කරලා තියෙනවා. එහෙම තමා ප්‍රශ්න ඇතිවෙනවා. අපි ඒවා විසඳගෙන ඉස්සරහට යමු." අග්‍රාමාත්‍යවරයා මෙවැනි අදහසක් පළ කළ බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

අලි සබ්‍රි අමාත්‍යවරයා තමාට ඇති ගැටලුව පිළිබඳ වැඩිදුරටත් කතා නොකළේය. ඔහු තවත් කටයුත්තක් යොදාගෙන තිබුණෙන් කල් ඇතිව පිටව ගියේය. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ඒ වන විටත් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි. එහෙත් ජනපතිවරයා පැමිණි පසු විවිධ සාම දූතයෝ මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූහ. තමන් ආණ්ඩුව සමඟ ගැටලු ඇති කොටගෙන ඉවත් නොවන බව අලි සබ්‍රි කී බව ද සිකුරාදා වන විට මාධ්‍ය වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සිය අවසන් තීන්දුව ගැනීමට පෙර ජනපති හමුවීමේ බලාපොරොත්තුවෙන් අලි සබ්‍රි අමාත්‍යවරයා පසුවන බවයි. සිකුරාදා මෙම හමුව සිදුවිය. ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් ජයසුන්දර මහතා සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාද සාකච්ඡාවට එක්විය. එහිදී ජනාධිපතිවරයා සබ්‍රි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඉල්ලා අස්වීමේ තීරණය අත්හිටුවන ලෙසයි. ප්‍රශ්නයට තුඩුදුන් කාර්ය සාධන බලකායට අදාල නීති වෙනස් කරන බවටද ප්‍රතිඥාදුනි. ඒනිසා ඉල්ලා අස්වීමේ ලිපියත් රැගෙන පැමිණි සබ්‍රි අමාත්‍යවරයා සිය තීරණය වෙනස් කළේය.   

 චමිදු නිසල්