2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

කරළිය කළඹන පැන්ඩෝරා පෙට්ටිය

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 232

♦ මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් අලුත් ප්‍රවේශයක්
♦ ගුරුසංගම් නියෝජිතයෝ “සුබෝධනී” වාර්තාවම ඉල්ලති
♦ පක්ෂ නායක රැස්වීම උණුසුම් කළ බැසිල් - සුමන්තිරන් ගැටුම
♦ බන්දුල වෙනුවෙන් ඇමැති පිරිසක් මත දක්වති
♦ පොහොර තහනමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
♦ මාධ්‍ය සදාචාරය රකින්නැයි සජබ ඉල්ලයි

පැන්ඩෝරාව අප රට මතට කඩා වැටුණේ දේශපාලන උල්කාපාතයක් පරිද්දෙනි. දේශපාලන කරළියේ නාටකීය ස්වභාවය තවදුරටත් වර්ධන වීමට එය හේතු විය. පක්ෂ දේශපාලන අර්බුද විවේචනද අඩුවක් නොවුණි. ගුරු - විදුහල්පති ගැටලුවටද අලුත් ප්‍රවේශයකින් විසඳුම් සෙවීම ආරම්භ විය.

නාරාහේන්පිට අභයාරාමයේදී පසුගිය බදාදා (6) සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වුණි. එය ගුරු - විදුහල් වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුවට විසඳුම් සෙවීම වෙනුවෙන් සංවිධානය වූ සර්වපාක්ෂික සමුළුවකි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවන් හමුවක් පවත්වන්නට යන බවත් ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට කල් ඇතිව ආරංචි විය. ඒ අනුව ජනපති මුරුත්තෙට්ටුවේ හිමියන් ඇමතුවේය. එහෙත් ජනාධිපති එම සාකච්ඡාවට විරෝධයක් ගොනු නොකළේය. සාකච්ඡා කිරීම පිළිබඳ ජනපති සුභවාදීව කතා කළේය. තමන් සියල්ලන්ම සමඟ නොව අදාළ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් බව දන්නවා සිටියේය. අදාළ පිරිසගෙන් යෝජනා රුගෙන ඒවා මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිට ඉදිරිපත් කොට විසඳුම් ලබාදීමට කටයුතු කිරීමට එකඟ විය. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමේ වැදගත් බව ජනාධිපති අවධාරණය කර සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මුරුත්තෙට්ටුවේ හිමි අමතා කල් ඇතිවම තොරතුරු විමසා සිටියේය. සාකච්ඡා කිරීම යහපත් බව අග්‍රාමාත්‍යවරයාද කියා සිටියේය. පක්ෂ දේශපාලන අවශ්‍යතා නොව මෙහිදී ප්‍රමුඛ විය යුත්තේ දරුවන් බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය. ඒ අනුව අදාළ යෝජනා සකසා මුරුත්තෙට්ටුවේ හිමියෝ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද එකඟ වූහ. ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සර්ව පාක්ෂික සමුළුව ඉකුත් 6 වැනිදා ආරම්භ විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලනඥයන් පිරිසක් ඊට සහභාගී වූහ. විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් එය සංවිධානය කොට තිබූ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද, උලපනේ සුමංගල, ඇතුළු මහා සංඝරත්නය මෙම සමුළුවට නායකත්වය ලබාදුන්හ.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව නියෝජනය කරන ගුරු සංගම් 13ක නියෝජනය කරමින් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. ඔවුහු තමන්ගේ ගැටලු රැස්ව සිටි පිරිස හමුවේ තැබූහ. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා කියා සිටියේ දෙවසරක් තිස්සේ මෙරට අධ්‍යාපනය සහමුලින්ම කඩා වැටී ඇති බවයි. එවන් තත්ත්වයක් තුළ පවා මේ රටේ දරු පරපුරේ සුභසිද්ධිය වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන් කරන අසීමිත කැපකිරීම කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතු බව ඔහු කියා සිටියේය. ඒ අතර ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ ගුරුවරයාට සහ විදුහල්පතිවරයාට නිසි තැන ලබාදෙන ලෙසත්. ‘සුබෝධනී’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බවය.
මෙම අවස්ථාවට සහභාගී වූ දේශපාලන නියෝජිතයන් වූයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‍ෂ, සමගි ජනබලවේයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන පිරිසයි. මෙම සාකච්ඡා අවසානයේ අවසන් යෝජනා තමන් වෙත ලබාදෙන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සියලු පාර්ශව වෙත දැනුම් දී තිබුණි. ඒ අනුව අදාළ යෝජනා පළමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමටත් පසුව ජනපති වෙත ඉදිරිපත් කිරීමටත් තීරණය කරගනු ලැබීය.

සිකුරාදා වන විට අදාළ යෝජනා මුරුත්තෙට්ටුවේ හිමියන්ට ලබා දීමට ගුරු සංගම් ඇතුළු සියලු පාර්ශ්ව කටයුතු කොට තිබිණි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ජනවාරි මස වන විට සුබෝධනී කමිටු යෝජනා ක්‍රියාත්මක කළ යුතුය යන්නය. එහෙත් මුරුත්තෙට්ටුවේ  හිමියන්ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැහැදිලි කර තිබුණේ රට තුළ පවතින ආර්ථික වටපිටාව හේතුකොටගෙන එය සිදු කළ නොහැකි බවයි. ඒ අනුව එම සාකච්ඡා ද ඇරඹූ තැනම නතර වන ලකුණු ගෙවුණු සතිය වන විට පෙනෙන්නට තිබිණි.

ගෙවුණු සතියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද දේශපාලන කරළියේ මාතෘකාවක් විය. වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ සිටින සමයේ ඔහු යටතේ පැවැති මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ සියලු කාර්යභාරයන් සහ බලතල මුදල් අමාත්‍යංශයට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ගෙවුණු සතියේදී නිකුත් විය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා තවත් බලවත් විය.

පාර්ලිමේන්තුවේ පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම නියෝජන කරන්නටද ගෙවුණු සතියේදී පළමු වතාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අවකාශ හිමිවිය. මෙහිදී රිෂාඩ් බදියුදීන් මහතා නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. එම්.ඒ. සුමන්තිරන් මහතාද ඒ සම්බන්ධව ප්‍රශ්න කරන්නට විය. මෙහිදී පක්ෂනායක රුස්වීම උණුසුම් වූයේය. සුමන්තිරන් මහතා අදහස් පළ කරද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු සැපයීමට ගියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රකාශයත් සමඟ සමගි ජනබලවේගයේ වෙනස්කම් කිහිපයක් පසුගිය සතියේදී සිදුවිය. මන්ත‍්‍රීවරුන්ට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කටයුතු කොට තිබුණි. සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමිතියාස් බාකීර් මාකර්, භාණ්ඩාගාරික ඉරාන් වික‍්‍රමරත්න, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු මෙම කමිටුවට ඇතුළත් වූහ. සමගි ජන බලවේගය නායක සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම කමිටුව පත්කරන ලදී. මන්ත‍්‍රීවරුන් හෝ යම් අයෙකුට පක්‍ෂය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවුවහොත් කමිටුව ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකර එම ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරනු ඇතැයි කියවුණි.

සමගි ජනබලවේගය ගැන අසත්‍ය ප‍්‍රවෘත්ති ප්‍රකාශ කරමින් ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ මාධ්‍ය මගින් බව ගෙවුණු සතියේදී සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

“මාධ්‍යයේ ස්වාධීනත්වය, සදාචාරය ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලනවා. අපි මේ ඉල්ලන්නේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. සමහරු සමගි ජනබලවේගය ගැන වැරදි ප‍්‍රවෘත්ති දානවා. සමගි ජනබලවේගයේ සියලුදෙනාම ශක්තිමත්ව සිටිනවා. අද රජය ඇතුලේම අය රජය විවේචනය කරනවා. ඒවා ගැන වාර්තා කරනවා වෙනුවට සජබ කැඩෙයි කියලා කියනවා. සජබ කැඩෙනවා නෙමෙයි, සජබ තවත් අය එකතුවෙනවා. දවසින් දවස ශක්තිමත් වෙනවා.”

මේ අතර පසුගිය සතියේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සමගි ගොවිජන පෙරමුණේ සභාපති හේමකුමාර නානායක්කාර සහ සමගි ගොවිජන පෙරමුණේ ලේකම් පී. හැරිසන් යන පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. රසායනික පොහොර වර්ග ආනයනය කිරීම සහ භාවිත කිරීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය අප්‍රේල් 27 වැනිදා ගත් තීරණය බලරහිත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පොහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා නම්කර තිබුණි.

ඉකුත් සඳුදා මෙතෙක් මාර්ගගතව පැවති කැබිනට් හමුව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමැතීමෙන් පසුව ජනපති එදින පෙරවරුවේ මෙරටට පැමිණියේය. ඇමැතිවරුන් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකොට කැබිනට් හමුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියේය. එහෙත් ජනපතිවරයා පැය 20කට වැඩි වෙහෙසකාරී ගුවන් ගමනකට සහභාගී වූ නිසා මෙම කැබිනට් රුස්වීම ද මාර්ගගතව පැවැත්වීමට අවසානයේ තීරණය විය.

කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කර තිබූ සහල් ආනයන යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධව කතිකාවක් නිර්මාණය විය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සහල් ආනයනය කිරීමට සියලු කටයුතු සූදානම් බවයි. ඒ අනුව දින වකවානු සමඟ ආනයනය කරන සහල් ප්‍රමාණ ද ඇමැති බන්දුල මෙහිදී සඳහන් කළ බව කියැවිණි. සහල් ආනයනය කිරීම පිළිබඳ අමාත්‍යවරුන් බහුතරයක් අදහස් දක්වමින් කියා සිටියේ මහා පරිමාණ මෝල් හිමියන්ට පාඩමක් ඉගැන්වීමට සහල් ආනයනය කිරීම හොඳ බවයි. මේ අතර ආධුනික අමාත්‍යවරයකු වුවද, කැබිනට් රුස්වීමේදි වැඩිම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ අමාත්‍යවරයා බවට පත්වීමට අධිකරණ කටයුතු භාර ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අමාත්‍යවරයා සමත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඔහු සති දෙකක් තුළ අධිකරණ කටයුතුවල සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකා 14ක් ඉදිරිපත් කර තිබීම විශේෂිත විය. 

මේ අතර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ගුරුවරයා වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේදී හඬ නගන්නට විය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ ඔහු කතා කළේය.
“අභූත චෝදනා එල්ල වී තිබෙන්නෙ අපේ කැබිනට් සගයෙක් වෙනුවෙන්. අපි එතුමා සමඟ ඉන්න ඕනෙ මේ වෙලාවෙ. මේ හින්දා ගුණවර්ධන ඇමැතිතුමා කියන දේ බලල ඔහුට සාධාරණයක් ඉටු කරන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම අපි හැමදෙනාම එකතුවෙලා කටයුතු කළ යුතුයි.” 

විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. චන්ද්‍රසේන, අලි සබ්‍රි ඇතුළු ඇමැතිවරුන් බහුතරයක් මෙම ප්‍රකාශය අනුමත කළහ.

බ්‍රහස්පතින්දා (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්විණි. බඩු මිල සම්බන්ධව අත්‍යවශ්‍ය තීරණය කිහිපයක් ගැනීමේ අරමුණින් මෙම කැබිනට් හමුව සංවිධානය විය. බඩු මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත් විය යුතුය යන යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගෙන එනු ලැබුවේය. ඊට හේතු සාධක රුසක් ඔහු විසින් ඉදිරිපත් කරන්නට යෙදුණි. 

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම තීරණයට එකඟ විය. එහෙත් අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් තිබිය යුතු බව ජනපතිවරයා අවධාරණ කළේය. ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසකට භාර විය. මේ කටයුත්ත සඳහා පාරිභෝගික කටයුතු විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද සම්බන්ධ කරගත යුතු බව ජනපතිවරයා කියා සිටියේය. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම ගෙවුණු සතියේ සිදුවිය.

මෙහිදී දේශපාලන කරුණු කාරණා රුසක් ද සාකච්ඡා විය. ආණ්ඩුවේ දේශපාලන කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම බාරගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. මෙය ආණ්ඩුවේ බොහෝ දෙනකු කලක පටන් බලා සිටි ආරාධනයක් විය. එම නිසාම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන විට සියලු දෙනාම අත්පුඩි ගසමින් සතුට පළ කළහ. අවසානයේ ආණ්ඩුවේ දේශපාලන කටයුතු කළමනාකරණය කිරීමේ වගකීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය. මේ සමඟ ආණ්ඩුවේ සෙසු පක්ෂ මතගැටුම් සාධනීය ලෙස නිරාකරණය කර ගැනීමට හැකි වෙතැයි ආණ්ඩුවේ බොහෝ දේශපාලනඥයෝ විශ්වාසය පළ කළහ.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා තවත් වැදගත් සාකච්ඡාවක් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයෝ ඊට එක්වූහ. මෙම පිරිස යුගදනවි බලාගාරය ඇතුළු රටේ සම්පත් විදේශ සමාගම් වෙත පැවරීම වැළැක්වීම පිණිස වරාය විදුලිය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළහ. සාකච්ඡාවට එක්වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සාමාජිකයන් පිරිස මෙම ගැටලුව ජනාධිපති හමුවට ගෙන යා යුතු බව තීරණය කොට තිබිණි.

කෙසේ වෙතත් වෘත්තීය සමිති ඉදිරිපත් කළ ගැටලුවලට ඇහුම්කන් දුන් දේශපාලන පක්ෂ නියෝජිතයන් ඔවුන් හට කියා සිටියේ අභ්‍යන්තර සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ තීරණය ප්‍රකාශ කරන බවයි. සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ මෙසේ කියා සිටියේය.

”අපි හිතන්න ඕන අපි රට මෙතනින් ගොඩගන්නේ කොහොමද කියන කාරණාව. එහෙම නැතිව ආණ්ඩු බලයක් හෝ ආණ්ඩු පෙරළීම වගේ විරෝධතා නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ තිබෙන ප්‍රශ්නවලින් රට ගොඩගන්නේ කොහොමද, ඒ සඳහා සැලැස්මක් හදාගන්නේ කොහොමද කියන කාරණාව. ඒ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අපි රජය එක්කත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

හිටපු ඇමැතිනී නිරෑපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිත කරමින් ලොව පුරා සිය ධනය සැඟවූ බව පැන්ඩෝරා පත්‍රිකා හරහා ප්‍රකාශයට පත්වීමත් සමඟ මෙරට දේශපාලනය කැළඹී ගියේය. ඒ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මසක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය. මේ සමඟම නීතිඥ සංගමය මෙන්ම සමගි ජන බලවේගය ද මේ හා සම්බන්ධව පරීක්ෂණ ඉල්ලා සිටියේය.

පැන්ඩෝරා පත්‍රිකා සිදුවීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන්ම සිය සටන් පාඨයක් ලෙස යොදාගන්නා බව ගෙවුණු සතියේ පෙනී ගියේය. නිරෑපමා රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ ඥාතීත්වය උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිහිපයක්ම සිදු කළේය.

“බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන නඩුවක් පවතින මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඩේෂන්ගේ නමට. 2015 ජනවාරි 08 රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ ගියේ තිරු නඩේෂන් එක්ක. තිරු නඩේෂන් හෝ නිරෑපමා රාජපක්ෂ මේ බලයේ ඉන්න වළල්ලෙන් පිට අය නෙවෙයි. ඒ වළල්ලේ ඇතුළේ ඉන්න අයගේම ධනය හෙළි වී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා."

මේ අතර සිකුරාදා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක නායකයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් බාර දුන්හ. කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්ඡාවක් ලබාදෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. ඒ අතර ආණ්ඩුව අමෙරිකානු සමාගමක් සමඟ අත්සන් කර ඇති මෙම ගිවිසුම යළි සලකා බලන්නැයිද හවුල්කාර පක්ෂවල නායකයෝ ජනාධිපතිවරයාගෙන් මෙම ලිපිය හරහා ඉල්ලා සිටියහ.

 චමිඳු නිසල් ද සිල්වා