2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

යුගදනවි විරෝධය කැබිනට්ටුවට

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 191

  • ආණ්ඩුවේ සමගිය රුකීම මහින්ද අතට ගනී
  • ලොහාන්ට විරුද්ධ නඩුවට සුමන්තිරන්ලා
  • අයවැය ඇස්තමේන්තු ලබන සතියේ මැතිසබයට
  • මෛත්‍රීපාලට චන්ද්‍රිකාගෙන් දෝස් මුරයක්
  • මන්ත්‍රී චමින්දගෙන් සජිත්ට කොක්කක්
  • රටට අවාසි ගිවිසුම්වලට ඇමැති උදයගේ සහය නැතිලු
  • සුදුලූනු කතාව කැබිනට්ටුව රත් කරයි

 

ගෙවී ගියේ අර්බුදවලින් පිරුණු මාසයකි. වසංගතයෙන් හොඳහැටි බැට කෑ රටට ආර්ථික අගහිඟකම් වලින්ද බැට කන්නට සිදු වී තිබුණි. ගෙවුණු මාසය පුරා කරුණු කාරණා රැසක් අරභයා පක්ෂ විපක්ෂ මත ගැටුම්ද ඇතිවිය. පක්ෂ විපක්ෂ අභ්‍යන්තර ගැටුම්ද සුලභ විය. පසුගිය සතියේද තවත් අලුත් අර්බුද කරළියට පැමිණියේය. ඒ විපක්ෂයෙනි.

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය කලක පටන් ප්‍රසිද්ධ සංවාදයට මාතෘකවක් වූයේය. ගෙවුනු සතියේ එය කණපිට පෙරලුනි. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගයේ අසමගියක් සතියේ දේශපාලනය උණුසුම් කළේය. අර්බුදයට තුඩු දුන්නේ විපක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරයෙකු වන චමින්ද විජේසිරි මහතා සිදුකළ ප්‍රකාශයකි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ ආණ්ඩුවේ වැරදි පෙන්වමින් දේශපාලන ගමනක් යෑමට සූදානම් වන්නේ නම් එය රටේ ජනතාවට විහිළුවක් වන ඔහු කීවේය.

අපි කියනවා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ ආණ්ඩුවේ වැරදි දේවල් පෙන්න පෙන්න ආණ්ඩුවේ වැරදිත් එක්ක ගමනක් යන්න හදනවා නම් එක දේශපාලන වශයෙන් රටේ ජනතාවට විහිලුවක්. රට ගොඩගන්න ආර්ථික දැක්ම අපි රට හමුවේ තියන්න ඕනෑ. දර්ශනයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම අපේ කඳවුරේ තියෙන්න ඕනෑ. එහෙම නැතුව මළමිනී මතින්, කොරෝනා මතින්, මේ ආණ්ඩුවෙන් ජඩකම් හොරකම් මතින්, කුපාඩිකම් මතින් බලය ගන්න යම් උත්සාහයක යෙදෙනවා නම්, ඒ කඳවුරේ ඉඳගැනීම සඳහා අපිට අවස්ථාවක් එන්නෙ නෑ. දැන් දේශපාලන වශයෙන් මිනිස්සුන්ට 225ම එපාවෙලා තියෙනවා. 225ම නිවැරදි වන දේශපාලන ගමනක් නිර්මාණය කිරීම තමයි සමගි ජන ජනබලවේගයේ අපේ වගකීම වෙලා තියෙන්නේ.*
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෙවන් ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි  කිසිවෙකු අපේක්ෂා නොකළේය. එමනිසාම සමගි ජනබලවේගය තුළ මෙන්ම ආණ්ඩුව තුළද මෙම ප්‍රකාශය ප්‍රකාශය සම්බන්ධ සැලකිය යුතු කතාබහක් ඇතිවිය. විවිධ ආරංචි කටකතාද පැතිර යන්නට විය.

මෙම ප්‍රකාශයට පිළිතුරක් ලෙස ගත හැකි ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා සිදුකළේය. විපක්ෂනායක කාර්යාලයේ බදාදා (29) පැවති සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනකදී ප්‍රේමදාස මහතා මෙම කතාව කියා තිබුණි. අර්ථයක් ඇති, ජනතාව වෙනුවෙන් අපේ ගමනට ප්‍රයෝජනවත් වන ඕනෑම විවේචනයක් දරාගන්නටත් ඒවාට ඇහුම්කන් දෙන්නටත් තමන් කිසිවිටෙක පසුබට නොවන බව විපක්ෂ නායකවරයා කීවේය. එසේම අවලාද ලෙස නගන අර්ථවිරහිත විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් ගණන් නොගන්නා බවද ඔහු කීවේය.

&අපි යන දිසාව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්න කරනවා නම් අපි ඒ අයට පෙන්නනවා හුස්ම වැඩසටහන අපි යන දිශාවක එක සලකුණක් කියලා. අපේ ගමනේ අර්ථය දේශයට සේවයක් සිද්ධ කිරීම. අපේ දර්ශනය වචනයෙන්වත්, ප්‍රතිඥාවලින්වත්, ප්‍රතිපත්ති ප්‍රකාශනවලින්වත් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. හදවත පිරිසිදු නම්, ගමන නිවැරදි නම් එයින් රටට ජනතාවට වැඩක් කෙරෙනවා නම්, අන්න එතැනදී ජනතාවගේ අපේක්ෂාවන් සපල වෙනවා.

මේ අතරතුර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පදනම් කරගනිමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ද අදහස් දැක්වූහ. පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉදිරි පෙළ තරුණ මන්ත්‍රීවරුන් කලකිරීමකට පත් වී සිටින බවයි. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු මෙසේ අදහස් දැක්වූවේය.

මම ඉතා වගකීමෙන් යුතුව කියනවා. විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසක් සමගි ජනබලවේගය අතහැරලා අපේ ආණ්ඩුවට උදව් කරන්න සූදානමින් ඉන්නවා. නුදුරු දිනයකදී තමුන්වහන්සේලාට දකින්න පුළුවන්වෙයි විපක්ෂයේ මහා පිපිරීමක් පිළිබඳ තොරතුරු.

මේ ආදී වූ ප්‍රකාශ කිහිපයක් සහ ආරංචි හේතුවෙන් සමගි ජනබලවේගය තුළ බ්‍රහස්පතින්දා වනවිට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධ වූ කතිකාව තරමක් උණුසුම් විය. අවසානයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාව ප්‍රශ්න කළ යුතුය යන මතවාදය සමගි ජනබලවේගය තුළ ජයගෙන තිබුණි. ජේෂ්ඨයන් කිහිපදෙනකු ඊට මැදිහත් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු පක්ෂ නායක පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව සමගි ජන ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ඒ පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න කළේය. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පක්ෂය තීරණය කළ බව මහලේකම්වරයා එහිදී පැවසීය.

බ්‍රහස්පතින්දා (30) පෙරවරුවේ පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීම පැවැත්විණි. එහිදී ඔක්තෝබර් මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා දින පහක් පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායකයෝ තීරණය කළහ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති විසින් ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබුණි. මීට අමතරව තවත් පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දැනුම් දැනුම් දී තිබුණි.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ගෙවුණු සතියේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. තමන් දැන් දරන තනතුර අතහැර පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් බව ඔහු පැවසීය. වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. දයාසිරි ජයසේකර මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සඳහන් කළ දෙවැනි අවස්ථාව මෙය විය. කෙසේ නමුත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ ඉදිරි ගමන පිළිබඳ යම් ඉඟියක් සපයන කරුණක් බවද දේශපාලන කරලියේ සාකච්ඡාවට බඳුන් විය. කෙසේ වෙතත් වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටුකර ඇතැයි ජයසේකර මහතා මෙහිදී පැවසුවේය. එසේම තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීවේය.

පසුගිය ඉරිදාට (26) යෙදී තිබුණු බණ්ඩාරනායක ගුණානුස්මරණයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂිත විය. ගුණ සැමරුම පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය. සමාධියට පුෂ්පෝපහාර දක්වන්නට කණ්ඩායම් තුනක් අවස්ථා තුනකදී එහි පැමිණියේය. කල් ඇතුවම එහි පැමිණි බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සමාධියට පුෂ්පෝපහාර දක්වූහ. &පක්ෂය බණ්ඩාරනායකගේ නම විකුණගෙන කෑවා මිසක් කිසිදෙයක් සංවිධානය කළේ නෑ මෙතන. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියනේ අවුරුදු 5ක්. මෙතනට ආවේ එක සැරයයි. අද නම් එයි. ආයේ බණ්ඩාරනායකලව විකුණගෙන කන්න හදන්නේ.* යනුවෙන් එහිදී මාධ්‍යයට හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක්ද ඉන් අනතුරුව එහි පැමිණියේය. එහිදී &එතුමා ගෙනගිය දර්ශනය සහ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අද කරන්නේ.* යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේය. නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක්ද බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ අතර ඔවුන් කීවේ &අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො හැටියට පක්ෂයට ආදරෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් පාලනය කරන නායකයොත් සමග අපි එකඟ නෑ. ඒ අය මැරිච්ච බණ්ඩාරනායක මහතාව වර්ණනා කරලා ඒගොල්ලන් ඉදිරියට යන්න බලන්නේ. ජීවත්වෙලා ඉන්න බණ්ඩාරනායකලා දිහා බලන්නේ නෑ යනුවෙනි.

යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ වූ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය සිතූ තරම්ම ඇවිලී ගියේ නැත. එහෙත් ඕනෑම වේලාවක ඇවිලී යා හැකි පරිද්දෙන් අර්බුදය ක්‍රමයෙන් උණුසුම් විය. රතු එළි දල්වා සටනට බට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම අඩියක් පසුපසට ගත්ත බවක් වැටහී ගියේ ඔහු සතිය ආරම්භයේදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි.

විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වේ 40% කොටස් ගියාට යුගදනවි බලාගාරයේ පාලන බලය තියෙන්නේ ආණ්ඩුව අතේ කියලා. සභාපතිතුමා කියන විදිහට පාලන බලයක් යන්නේ නැත්නම් ඒක අපිට සලකා බැලිය හැකි තත්ත්වයක්. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට ඒ ගිවිසුම ඉදිරිපත් කළ යුතුව තියෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ ප්‍රකාශයක් සිදුකළේය. එය බලාගාර ගැටුම දික් ඇදීමට හේතුවිය හැකි ප්‍රකාශයක් බව පෙනී ගියේය. කෙසේ වෙතත් ඔහු පැවසුවේ යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම් වී බවය.

අවුරුදු 10ක් තිස්සේ අපිට කරගන්න බැරිවෙලා තිබුණු දෙයක් මේ අවස්ථාවේ අපි සිදුකරන්න යනකොට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒ විරුද්ධවීම සිදුකරන පුද්ගලයා ඒක කරන්නේ කුහකත්වය මත මිසක් රටට ආදරයෙන් නෙමෙයි.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇතුළු කණ්ඩායමට බැසිල් රාජපක්ෂ මහතා මෙහි පසුබිම පැහැදිලි කර දුන් බවද ඔහු කීවේය. ඔවුන් එය අවබෝධ කරගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එසේ නමුත් බලාගාරය සම්බන්ධ ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් පක්ෂය 11ක නායකයෝ පසුවූහ.

මේ අතර උදය ගම්මන්පිල අමාත්‍යවරයාද ගෙවුණු සතියේ කාගේත් අවධානයට ලක්වන ප්‍රකාශ කිහිපයක්ම සිදුකළේය. මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව ඔහු කීවේය. මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බවද ඇමතිවරයා පැහැදිලි කළේය. ඔහු පසුගිය සතිය තුළදී කියූ විශේෂිතම කතාව එය නොවුණි. ගම්මන්පිල අමාත්‍යවරයා ගෙදර බල්ලා උදාහරණයට ගනිමින් ආණ්ඩුව පිළිබඳ විශේෂිත කතාවක් කීවේය. එම කතාවට විවිධ අරුත් දෙන්නට බොහෝ දෙනෙකු උත්සහා කරන බව නිරීක්ෂණය විය.

තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවේ සිටින්නේ ගෙදර සිටින බල්ලා වගේ යැයි උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය. රූට ගෙදර සිටින බල්ලා ගෙදර ආරක්ෂාවට බුරන විට ගෙවල් හිමිකරු බල්ලා අල්ලා එළියට දැමුවහොත් ‌ගෙදර ආරක්ෂාව ඉවත් වී යනු ඇත. එමනිසා ගෙවල් හිමිකරු කළ යුත්තේ බල්ලා බුරන දිසාව බලා ගෙය ආරක්ෂා කර ගැනීම යැයි ඔහු කියා සිටියේය. අවසානයේදී තමන් ඇතුළු පිරිස යුගදනවි ගිවිසුමේ අහිතකර පැති පෙන්වා දෙන්නේද ඒ අරමුණින් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

මේ අතර බලාගාර අර්බුදය හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවිය හැකි ගැටුම් සමනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම මැදිහත්වන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. එහෙත් මාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ අවශ්‍ය නම් සුළු පක්ෂවලට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙසට අග්‍රාමාත්‍යවරයා කී බවකි. එය කරුණු වරදවා වාර්තා කිරීමක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනකදී පැහැදිලි කළේය. දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළ පරිද්දෙන් ආණ්ඩුවේ සියලු පාර්ශවල සමගිය ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම මේ මොහොතේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැවරී තිබේ. ඒ සඳහා නිල සහ නිල නොවන මට්ටමේ සාකච්ඡාද පැවැත්වෙන බව කියැවේ.

ඉකුත් බදාදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් පැවති පැවතියේය. වාර්තා වන පරිදි එම හමුව අරලියගහ මන්දිරයේදී පවත්වා තිබුණි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මෙම හමුව පිළිබඳ ට්විටර් පණිවිඩයක්ද නිකුත් කළේය. ද්විපාර්ශ්විකව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව එහි සඳහන් කර තිබුණු නමුත් සාකච්ඡා වූ කරුණු නිශ්චිතව පැහැදිලි කිරීමක් දෙපාර්ශ්වය විසින්ම ප්‍රසිද්ධට පත් නොකළේය. මේ අතර ඔක්තෝබර් මස මුල් සතියේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතාද ලංකාවට පැමිණීමට නියමිත බව හින්දු පුවත්පත අනාවරණය කොට තිබුණි. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා සාධනීය ලෙස වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව මේ වනවිට දෙපාර්ශවයම හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

සුදුලූනු වංචාවක් පිළිබඳ වූ චෝදනා නිසා කනස්සල්ලට පත්ව සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට කැබිනට්ටුවේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා අපූරු යෝජනාවක් කර තිබුණි. ඉකුත් සඳුදා පැවති පස්වරු 5ට ආරම්භ වී රාත්‍රී 10 වනතුරු පැවති කැබිනට් හමුවේදී පැය 5කට ආසන්න කාලයක් සාකච්ඡා කරන ලද්දේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ජීවන වියදම් කමිටු වාර්තාවයි. මෙම සාකච්ඡාව පවතින අතරතුර පොලීසිය භාරව කටයුතු කරන සරත් වීරසේකර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අවධානය සුදුලූනු වංචාව සම්බන්ධව නැගුණු චෝදනා වෙත යොමු කළේය. සුදුලූනු වංචාව පිළිබඳ වාර්තා කරන ලද මාධ්‍යවේදීන් හා කර්තෘවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් ඒ ඔහු අදහස් දක්වන්නට විය. එහෙත් එහිදී බන්දුල ගුණවර්ධන ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ කියා තිබුණි.

ගරු අගමැතිතුමනි, මම මේ සුදුලූනු වංචාව ගැන පොලිස්පතිතුමාට පැමිණිලි කළා. නමුත් කිසිම විදියකින් මාධ්‍යවේදීන්ට හෝ පුවත්පත් කර්තෘවරුන්ට චෝදනා කළේ නෑ. මට වුණ අසාධාරණයට, සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා තමයි මම ඉල්ලුවේ. 1989 ඉඳන් මගේ මේ දේශපාලන ජීවිතයේ කවදාවත් සතපහක වංචාවක් කරලා නෑ. රජයේ කියලාවත් මහජන මුදල් කිසිම විදියකින්, නූල් පොටකින්වත් හොරකම් කරපු නැති මට තමයි මේ අභූත චෝදනා කරන්නෙ. අග්‍රාමාත්‍යතුමාගෙනුත් මම ඉල්ලා සිටින්නෙ මේ පරීක්ෂණය සිදුකර මට සාධාරණයක් ඉටුකරන්න කියලා තමයි. මම කවදාවත් මාධ්‍යවේදීන් එක්කවත් මාධ්‍ය ආයතන එක්කවත් මගේ දේශපාලන ජීවිතයේ කිසිම දිනක ගැටුමක් ඇති කරගෙන නෑ. ඒ නිසා මේක රජය අපහසුතාවයට පත් කරන්න කුමන්ත්‍රණකාරී ලෙස වෙනත් පාර්ශ්වයක් විසින් මෙහෙයවන ක්‍රියාවලියක්.* මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මීට අවවාදාත්මකව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ බන්දුල ඇමතිතුමා කලබල වෙන්න එපා. අපිට මිනිස්සු චෝදනා කළත් රටේ මිනිස්සු දන්නවා ඔබතුමා හොරෙක් නෙවේ කියලා.* ඒ අනුව අනෙක් අමාත්‍යවරුද බන්දුල ගුණවර්ධන මහතාගේ සිත සැනසීමට කටයුතු කර තිබුණි.

ගෙවුණු සතියේදී හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව දෙමළ දේශපාලන සිරකරුවන් 8 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති බවද වාර්තා විය. අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රඳවා සිටි මෙම සිරකරුවන් දණගස්වා දඩුවම් කිරීමට රත්වත්තේ මහතා උත්සාහ ගත් බවට චෝදනා එල්ල කරමින් එම මූලික අයිතිවාසිකම් අයදුම්පත ගොණු කෙරුණි. සිරකරුවන් මෙම ඉල්ලීම ඔවුන්ගේ නීතීඥ මොහාන් බාලේන්ද්‍ර මහතා මගින් වන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ කේෂවන් සජන්දන් යන අය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවටද තොරතුරු වාර්තා විය.

 චමිදු නිසල්