2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මැති ඇමැති මෝල්පති සටන

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 304

කාදිනල් හිමිගේ චෝදනාවට අගමැතිගෙන් පිළිතරු
 

සජිත් මන්ත්‍රීන්ට වැඩි වගකීම් පවරයි
 

රමේෂ් පතිරණට කට වරදී
 

විග්නේෂ්වරනුත් ජිනීවා සමුළුවට ලියයි
 

බන්දුල ඇමැතිට නිලධාරියකුගෙන් විශේෂ පණිවිඩයක්
 

මිලින්ද ගැන රුද්‍රකුමාරන් අගමැති මෝදිට එවූ ලියුම
 

සතියේ දේශපාලන කතාබහ එතරම්ම සාරවත් නොවිණි. පාර්ලිමේන්තුවද රැස්වූ නමුත් ලොක්ඩවුන් හේතුවෙන් දේශපාලන උණුසුම තරමක් අඩු විය. එහෙත් ගතවූ දෙසතියට සාපේක්ෂව දේශපාලන කරළියේ යම් කැළඹීමක් විය. ආණ්ඩුව පීඩාවකින් තොරව ඉදිරියට යෑමට උත්සාහ කළ නමුත් විපක්ෂයේ රැවුම් ගෙරවුම් හේතුවෙන් ප්‍රශ්න එකින් එක වැඩි වන්නට විය. බඩු මිල, අත්‍යවශ්‍ය සේවා, හදිසි නීතිය, කාදිනල්තුමා ආදී සියල්ලම ආණ්ඩුවට අයහපත් ලෙස බලපෑම් කරන්නට විය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පමාවීම හේතුවෙන් අසතුටින් සිටි කාදිනල්තුමෝ හිටි හැටියේම ගෙවුණු සතියේ ආණ්ඩුව සමඟ තවත් ගැටුමකට මුල පිරෑහ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිල සංචාරයක් සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් උන්වහන්සේ මෙම කතාවට මුල පිරෑහ. ඒ අනුව බදාදා (8) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා වතිකානුවට ගොස් අසත්‍ය ප්‍රකාශ කොට පාප් වහන්සේද නොමඟ යැවීමට උත්සාහ කරන බවත්, එය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. ආණ්ඩුව සත්‍ය වසන් කිරීම සදහා තවත් තුරුම්පුවක් ගැසීමට සූදානම් වන බවද උන්වහන්සේ කීහ. දිගින් දිගටම ආණ්ඩුවට තර්ජනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටි කදිනල්තුමන් මෙවර යොමු කළේ දුස්රාවකි. මුළු රටේම අවධානය ඒ වෙත යොමුවිය.

මෙයින් පුදුමයට පත්වූ පිරිස අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද විය. මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ සැලවූ සැණින් ඔහු වහාම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සහ විදේශ ලේකම්වරයාට දුරකථන ඇමතුම් ගත්තේය. තම නිල සංචාරයේ අරමුණ වතිකානුවට යාමට හෝ පාප් වහන්සේ මුණගැසීම නොවන බව දැන සිටි අග්‍රාමාත්‍යවරයා නැවත එය තහවුරු කර ගැනීම පිණිස ඇමැතිවරයාගෙන් සහ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳ විමසා සිටියේය. "අපේ ගමනේ මෙහෙම කෑල්ලක් නෑනෙ. අපි කෙළින්ම යන්නේ බොලොංඤ්ඤා විශ්වවිද්‍යාලයට නේද?”  යනුවෙනි. මේ ගමනේ අරමුණ වූයේ බොලොංඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන සමුළුවක දේශනයක් පැවැත්වීමයි. "අපි ඒ විශ්වවිද්‍යාලයට ගියා ආපහු ආවා. වෙන කොහෙවත් යන්නේ නෑනෙ. මොකක්ද මේ කතාවේ තේරුම" අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ඇමැති ජී.එල්.ගෙන් සහ විදේශ කටයුතු ලේකම්වරයාගෙන් විමසා සිටියේය.

දැනගන්නට ලැබුණු පරිදි කාදිනල්තුමන්ගේ ප්‍රකාශයට පදනම් වී තිබුණේ ඉංග්‍රීසි පුවත්පතක පළවූ පුවතකි. අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු නොදැන ප්‍රකාශයක් සිදුකොට තිබිණි. ඔහු එහිදී කියා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ දී එවැනි හමුවක් සිදුවිය හැකි බවයි. කාදිනල්තුමන්ගේ සිත් තැවුලටත් බරපතළ ප්‍රකාශයටත් පදනම වූයේ මෙම පුවතයි.  කෙසේ හෝ අවසානයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලය ද විදේශ කටයුතු අමාත්‍යංශය ද මෙම සිදුවීම පහදා නිවේදන නිකුත් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ඉතාලි සංචාරය අතරතුරදී ශුද්ධොත්තම පාප් වහන්සේ මුණගැසීමක් සිදු නොවන බව ඉන් පැහැදිලිව කියැවිණි. එසේම දැනගන්නට ලැබෙන පරිදි මෙම උත්සවයට සහභාගි වන එකම ආගමික නායකයා එම ප්‍රදේශයේ කාදිනල්වරයාය.

කොවිඩ් ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමැති බන්දුල පසුගිය සඳුදා නිවසට පැමිණියේය. සුව වීමෙන් පසුව තම පළමු රාජකාරිය වශයෙන් ඇමැති බන්දුල මාර්ගගත කැබිනට් රැස්වීමට සූදානම් විය. රැස්වීමට සූදානම් වෙමින් හිටපු ඇමති බන්දුලට තම කාර්ය මණ්ඩලයේ නිලධාරියකුගෙන් විශේෂ පණිවිඩයක් ලැබිණි. පසුගිය සෙනසුරාදා සතොස මගින් පළකරන ලද සහල් සැපයුම්කරුවන්ගේ මිල ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමට පොළොන්නරුව පැත්තේ කිසිම මහ මෝල් හිමිකරුවකු ඉදිරිපත් වී නැති බව එම පණිවුඩය විය. තවදුරටත් කරුණු කී ඒ නිලධාරියා පුවත්පත් දැන්වීමට අමතරව සතොස ඒ ඒ මෝල් හිමිකරුවන්ට ලියුම් හා දුරකථන මාර්ගවලිනුත් මේ බව දැන්වුවද මේ ටෙන්ඩර් විවෘත කළ සඳුදා පස්වරු 2 වනවිටත් මිල ගණන් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කර නැති බවද දැනුම් දුන්නේය.

මේ අතර පසුගිය සතියේ දී සමගි ජන බලවේගයේ ප්‍රධාන වගකීම් කිහිපයක්  මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පැවරීම සිදුවිය. ඒ අනුව නව වගකීම බාරගත් මන්ත්‍රීවරුන් පිරිස ගෙවුණු සතියේ තම නව වගකීම් ඉටු කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කරන බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. සජබ වෘත්තීය සමිති කටයුතු සංවිධානය කිරීම මන්ත්‍රීවරුන් පස් දෙනකුට භාර දී තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාට සමගි සේවක සංගමය, තුෂාර ඉඳුනිල් මහතාට සමගි අධ්‍යාපන සංගමය, හරීන් ප්‍රනාන්දු හා සුරේෂ් වඩුවේල් යන මහත්වරුන්ට සමගි වතු කම්කරු සංගමය හා මුජිබර් රහුමාන් මහතාට සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ආදී වශයෙන් වගකීම් පැවරුණි. දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි  රට නැවත විවෘත වූ පසු මෙම මන්ත්‍රීවරුන් පිරිස සෙසු වෘත්තීය සමිති සහ වෘත්තීය සන්ධාන සමඟ සාකච්ඡා කර වෘත්තීය අරගල රැසකට මුලපිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

මීට අමතරව බෞද්ධාගමික කටයුතු තිස්ස අත්තනායක මහතාටද, කතෝලික ආගමික කටයුතු හරීන් ප්‍රනාන්දු, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ටද, මුස්ලිම් ආගමික කටයුතු එම්.එච්.ඒ. හලිම් මන්ත්‍රීවරයාට හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් තලතා අතුකෝරාළ මහත්මියට ද භාර විය. තලතා අතුකෝරාළ මහත්මිය ඒ වන විටත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් සංවිධානය කරමින් කාන්තාවන් සම්බන්ධ වැඩ කටයුතු රුසක නිරත වෙමින් සිටි බවද දැනගන්නට ලැබිණි.

මේ කාරණා ගැන දැනුවත් වූ ඇමති බන්දුල කැබිනට් රුස්වීම ආරම්භයේදීම ජනාධිපති වෙත ඒ බව දැනුම් දුන්නේය. ජනාධිපති එහිදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් නිවුන්හැල්ලට දුරකථනයෙන් දැනුම් දුන්නේ පොළොන්නරුවේ මෝල් හිමිකරුවන්ගෙන් සතොසට අවශ්‍ය සහල් ප්‍රමාණය ලබාගැනීමට ඉක්මණින්ම කටයුතු කරන ලෙසයි. ඉන්පසු ඒ ගැන අවශ්‍ය පියවර ගන්නට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ක්‍රියා කළේය.

මේ අතර අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පැනවූ හදිසි නීති රෙගුලාසි සමගි ජන බලවේගය ගෙවුණු සතිය පුරා දැඩිව විවේචනය කළේය. සඳුදා (6) සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. හදිසි නීති රෙගුලාසිවලට සමගි ජන බලවේගය තරයේ විරුද්ධ බවත්, එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් ඔහු කීවේය. එසේම මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරාගැනීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බඩු මිල පාලනයට හදිසි නීතියක් අනවශ්‍ය බවත්, ඒ වෙනුවට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත සහ එම අධිකාරිය පවතින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත්  සඳහන් කළේය. ආණ්ඩුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර හදිසි නීතිය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය වැළැක්වීමට පමණක් භාවිත කරන බව සඳහන් කළේය.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ලිපියක් යොමු කර තිබිණි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා රජය විසින් සම්මත කරගත් හදිසි නීති රෙගුලාසි මෙරට හමුදා පාලනයක් කරා යොමුකෙරෙන බව එහි සඳහන් විය. ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 48 වැනි සැසිවාරය ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත බැවින් මෙම ලිපියේ අරමුණ ඊට බලපෑමක් සිදු කිරීමක් බව පැහැදිලි විය. මේ අතර ජිනීවා ඉලක්ක කරගත් වැඩ කටයුතු රුසක් ඉදිරි සතියේ දී මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට දෙමළ ජාතික සංවිධානය ප්‍රමුඛ කණ්ඩායම් කිහිපයක් සැලසුම් කරමින් සිටින බවද  දැනගන්නට ලැබිණි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවෙන් පත්කර යැවූ මිලින්ද මොරගොඩ මහතාගේ අක්ත පත්‍ර බාරගැනීම ඉන්දීය රජය ප්‍රතික්ෂේප කළ බවට මාධ්‍ය වාර්තා පළ විය. ඊට හේතුව ලෙස කියැවුණේ මිලින්ද මොරගොඩ මහතා කැබිනට් තත්ත්වයේ තානාපතිවරයකු ලෙස ලක් රජය විසින් නම් කර තිබීමයි. කෙසේ වෙතත් ඒ වන විටත් අක්ත පත්‍රය බාරදීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ඉන්දීය විදේශ අමාත්‍යංශයට බාරදීමට මිලින්ද මොරගොඩ මහතා කටයුතු කර තිබිණි. එහෙත් ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද්  මහතා අක්ෂි ශල්‍යකර්මයක් හේතුවෙන් ගෙවුණු දිනවලදී නිවාඩු ලබා සිටියෙන් අක්ත පත්‍ර බාරදීමට පමා වී තිබිණි. නිවාඩුව අවසන් කර පැමිණි පසුවද ඉන්දීය ජනාධිපතිවරයා මේ දිනවල අමුත්තන් මුණගැසීම කල් දමා ඇතැයි වාර්තා වෙයි. ඒ අතර කොටි සංවිධානයේ ඊලම් රාජ්‍ය ප්‍රධානියා තමන් යැයි කියාගන්නා රුද්‍රකුමාරන් ඉන්දීය අගමැති මෝදි මහතාට ලිපියක් ලියමින් මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම බාරනොගන්නා ලෙස දන්වා තිබිණි.
ගෙවුණු සතියේ දී  ශ්‍රී ලංකාවේ පැතිර ගිය පුවත පිළිබඳව ද ඉන්දීය රජයේ අවධානය යොමුවිය. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ පවතින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වහාම නියෝගයක් නිකුත් කළේය. මෙම පුවත අසත්‍ය බවට නිවේදනයක් නිකුත් කරන්න යැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය කොළඹ  මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබිණි. අවසානයේ අක්ත පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ පුවතේ සත්‍යතාවක් නොමැති බව දන්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් ද නිකුත් කළේය.

කෙසේ හෝ මෙතෙක් නිල රාජකාරි ආරම්භ නොකළ ද ඉන්දියාවේ වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ට පහසුකම් සැපයීම සම්බන්ධව මොරගොඩ මහතා මේ දිනවල කටයුතු කරමින් සිටීයි. අක්ත පත්‍ර බාරදීමේ උත්සවයෙන් පසු මොරගොඩ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමුවීමට නියමිතය. මේ වන විටත් එම හමුවීම් පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍යංශය ඔහුව දැනුවත් කොට තිබේ.
මේ අතර ගෙවුණු සතියේ දේශපාලන කරලියේ කාගේත් අවධානය දිනාගත් තවත් චරිතයක් වූයේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාය. කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇතැයි  සතිය ආරම්භයේදීම දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා විය. ඔහු මෙලෙස ඉල්ලා අස්වනුයේ නැවතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය බාරගැනීම සඳහා බවද කියැවිණි. දැනට මහ බැංකුවේ අධිපති ධූරය දරණ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බැවින් ඉන් පුරප්පාඩු වන මහ බැංකු අධිපති ධූරය කබ්රාල් මහතා බාරගන්නා බව වාර්තා විය. අඟහරුවාදා (8) පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී ද මෙම ආරංචිය ප්‍රශ්නගත විය. එහිදී මහ බැංකු අධිපති ධූරය බාරගැනීමට සිදුවේවි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමාට පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද සඳහන් කළේය. මෙම ප්‍රකාශයත් සමඟ කබ්රාල් මහතාගේ ඉවත්වීම පිළිබඳ වූ පුවත සත්‍ය බව බොහෝ දෙනෙක් තහවුරු කරන්නට වූහ.

මීට සමගාමීවම අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කළ 2006 - 2015 කාල පරිච්ඡේදය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ඉල්ලා ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. මේ හරහා බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හටද විශ්‍රාම වැටුප් ලැබෙනු ඇතැයි පිරිසක් කීහ. ඒ හේතුවෙන්ම තමන් සිදු කළ ඉල්ලීම පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබන්නට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සිදුවිය. පත්වීමේ ලිපියට අනුව තමාට විශ්‍රාම වැටුපක් හිමි බවත් 2019 දී හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ඒ පිළිබඳ දැනුම් දුන් බවත් ඔහු පිළිගෙන තිබිණි. තවද අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට තමා කිසිදු බලපෑමක් නොකළ බවද ඔහු කීවේය. එහෙත් කබ්රාල් මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරවල අඩුවක් නොවිණි. අවසානයේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවීමට කටයුතු කළේය.

විශ්‍රාම වැටුප තමාට හිමිවිය යුතු වරප්‍රසාදයක් බව එහිදී ඔහු පැවසීය. එසේ නමුත් මේ දක්වා තමාට විශ්‍රාම වැටුපක් නොලැබුණු බවද ඔහු පැවසුවේය. මහ බැංකුවේ අධිපති ධූරය තමා නැවත බාරගන්නා බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි ඔහු මෙහිදී වැඩිදුරටත් කීවේය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබුණේ කබ්රාල් මහතා ඇතැම් රටවල ස්ථාපිත කර ඇති පරිද්දෙන් කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී ද මේ පිළිබඳව සාකච්ඡා වූ බව දැනගන්නට ලැබිණි. පසුගිය බ්‍රහස්පතින්දා (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු එක්ව මෙම සාකච්ඡාව පැවැත්වූහ. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද පිළිබඳව මෙන්ම වර්තමාන සමාජ දේශපාලන ආර්ථික තත්ත්වයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බව කියැවේ. මෙම සාකච්ඡාවේ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොවුණ ද මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කිරීම සම්බන්ධව ද සාකච්ඡා කොට එකඟතාවකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

ගෙවුණු සතියේ එක්සත් ජාතික පක්ෂය සිය 75 වැනි සංවත්සරය සැමරුවේය. සැප්තැම්බර් 6 වැනිදාට යෙදී තිබුණු එජාප 75 වැනි සංවත්සරය සැප්තැම්බර් 5 වැනි ඉරිදා දින සමරනු ලැබීය. එදින පස්වරු පහට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට ඩිජිටල් තාක්ෂණය මගින් සංවත්සර උත්සවය ප්‍රචාරය කිරීමට ඔවුහු කටයුතු කළහ. එක්සත් ජාතික පක්ෂ ෆේස්බුක් පිටුව, යූටියුබ් ගිණුම ඔස්සේ මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ ද මීට සම්බන්ධ වීමට පාක්ෂිකයන්ට අවකාශය සලසා දී තිබිණි. සංවත්සරයට සම්බන්ධ වෙමින් "ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සෞඛ්‍ය, ආර්ථික, දැනුම සහ පරිසරය සඳහා වන සතරවරම් රුකවරණය සහ ආරක්ෂාව පදනම් වූ යකඩ රාමුවක්, ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම වෙනස් නොවන ප්‍රතිපත්ති මාලාවක් යෝජනා කරන* බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“අභියෝග සැමදා ජයගත් පක්ෂයක් ලෙස මෙවරද රට ඉදිරියේ පවතින අභියෝග ජයගැනීමට අප සූදානම්. කෙටිකාලීන වැඩසටහනකින් ආර්ථිකය නගාසිටුවා රට ගොඩගැනීමටද දීර්ඝ කාලීන වැඩසටහනක් යටතේ තව අවුරුදු 27කින් නිදහසේ සියවස උදාවන මොහොතේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් යළි බිහි කරන්නට හැකියාව ඇත්තේද එක්සත් ජාතික පක්ෂයට පමණයි." ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තවත් සුවිශේෂී යෝජනාවක් ගෙවුණු සතියේ දී ඉදිරිපත් කර තිබිණි. එම  යෝජනාව ඉදිරිපත් වූයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවටයි. සභා නායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සැප්තැම්බර් 7 වැනිදා මෙම කාරක සභාව රැස්විය. ඒ අනුව එහිදී පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කළේය. එහිදී ප්‍රකාශ වූයේ කොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 25ක් ලෙස මන්ත්‍රීවරුන් පත් කර ගත යුතු බවයි. එසේම කොට්ඨාස සංඛ්‍යාව අඩු කිරීම මගින් පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කළ යුතු බවටද එජාපය යෝජනා  කළේය.

මේ අතර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි ගෙවුණු සතියේ මාධ්‍ය වාර්තා පළ විය. නාමල් රාජපක්ෂ මහතාට නව කැබිනට් සංශෝධනයෙන් හිමි වූ ව්‍යාපෘති අධීක්ෂණය විෂයේ කාර්ය සාධනය මෙහි අරමුණ විය. නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ සාකච්ජා කොට ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සමඟම නාමල් රාජපක්ෂ මහතා යටතේ මෙසේ පත් කිරීමට යෝජනා වී ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් පනස් දෙනා හට නිල රථයක් සහ දීමනාවක් ලබාදීමට සැරෙසෙන බවට කතාවක් පැතිර ගියේය. කෙසේ වෙතත් නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර දැරීමට අකමැති ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද ආණ්ඩුව තුළ සිටින බව කියැවිණි. දැනටමත් ඉන් කිහිප දෙනකු අදාළ තනතුරු ප්‍රතික්ෂේප කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරුන් රුසක් මෙම තනතුරු අපේක්ෂාවෙන් සිටියහ.

ගෙවුණු සතියේ පාර්ලිමේන්තුව රුස්වීම තවත් දේශපාලන කතිකාවන් රුසකට මාතෘකා සැපයුවේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි සඳුදා (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81කින් සම්මත විය. උණුසුම් විවාදයෙන් පසුව ඡන්ද විමසීම සිදුවිය. එහිදී පක්ෂව ඡන්ද 132ක් සහ විපක්ෂව ඡන්ද 51ක් ප්‍රකාශ විය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු විවිධ හේතු සඳහන් කරමින් මෙම ඡන්ද විමසීම මගහැර තිබිණි. එසේම හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මෙම ඡන්ද විමසීම මහහැර සිටියේය.

මෙම විවාදයට ජනතා විමුක්ති පෙරමුණ දැඩිව මැදිහත් විය. හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදීම අතිශය භයානක බවට පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර දිසානායක අනතුරු ඇඟවීය. පාරිභෝගික භාණ්ඩ හා සේවා කෙරෙහි පමණක් ක්‍රියාත්මක කෙරෙන මෙම නීතිය, ඉදිරියේදී වෙනත් නීති අත්හිටුවීමට සහ විශේෂ අධිකරණ පිහිටුවීමට පවා යොදාගත හැකි බව වැඩිදුරටත් ඔහු පැහැදිලි කළේය.
“අර්බුද විසඳන්න ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත දෙවැනි කොටස ක්‍රියාත්මක කර තිබෙනවා. මේ හරහා ඕනෑම රෙගුලාසියක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනපතිට ලැබෙනවා. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නත් අධිකරණයට ඉදිරිපත් නොකර දිගු කලක් රඳවා ගන්නත් මේ හරහා හැකියාව තිබෙනවා." යනුවෙන් ඔහු පැවසීය.

මුදල් පනතට සංශෝධන කිහිපයක් එකතු කිරීම සඳහා අඟහරුවාදා (07) පාර්ලිමේන්තුවේදී තවත් ඡන්ද විමසීමක් පැවැත්විණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එය මගහැර සිටීම විශේෂත්වයක් විය. එම නිසා වැඩි ඡන්ද 90කින් එම පනත සම්මත විය. එම සංශෝධනවලට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 44ක් පමණි. ඒ අනුව අවසානයේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ එම සංශෝධන වැඩි ඡන්දයෙන් සම්මත විය. හදිසි නීතිය සඳහා ඡන්දය ලබාදුන්  විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනකු මෙම ඡන්ද විමසීම මගහැර තිබිණි. කෙසේ වෙතත් මේ පනතට ද සමගි ජන බලවේගයේ දැඩි විරෝධයක් එල්ල විය. ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට අදහස් දැක්වීය. රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයන්ට, ජාවාරම්කාරයන්ට සහන දෙමින් කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමට අත තබා ඇතැයි විපක්ෂ නායකවරයා පැවසීය. මෙම පනත හරහා ජාවාරම්කාරයන්ට තමන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කර ගැනීමට හැකියාව ලැබෙන  බවද ඔහු පැවසීය.

ගෙවුණු සතියේ දී බැසිල් රාජපක්ෂ මහතාට තවත් අලුත් තනතුරක් ලැබිණි. ඒ අනුව ඔහු ආණ්ඩුවේ පක්ෂ නායකයෙක් ලෙස පත්විය. ඒ අනුව මින් ඉදිරියට බැසිල් රාජපක්ෂ මහතාට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම්වලට සහභාගි වීමේ අවස්ථාව හිමිවෙයි. බැසිල් රාජපක්ෂ මහතා ගෙවුණු සතියේ ඉතා කාර්යබහුල වී සිටියේය. රට නැවත විවෘත කිරීමෙන් පසු සංවර්ධන ව්‍යාපෘති රුසක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඔහු පොහොට්ටුවේ නියෝජිතයන් දැනුවත් කිරීමට කටයුතු කළේය. පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණු හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ද දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ අරමුණ විය.

 

► චමිදු නිසල්